IMF ගැන මුලින්ම ඇත්තම කතාව අපි කිව්වා!
කැබිනට් එකේ විරුද්ධ වූ ඇමැති!
සජිත් IMF ගල්ගස්සවයි!
බෲවර් කියපු කතාව!
‘මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබා දුන් ඇතැම් ඉලක්ක සපුරාලීමට හැකියාව ලැබී නෑ. ඒ නිසා මූල්‍ය අරමුදල මගින් ලබා දුන් ණය මුදලේ දෙවන වාරිකය ලබා දීම කල් දැමීමට අප කටයුතු කරනවා. එමෙන්ම දෙවන වාරිකය ලබා දෙන කාලපරාසයක් පිළිබඳ කියන්න අපහසුයි…’ Sri Lanka Latest News
මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් මහතා පසුගිය බදාදා පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටි විශේෂ කාරණාවය. පීටර් බෲවර් සැප්තැම්බර් 27 වැනි බදාදා මහබැංකු පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශයට පත් කළත්, ‘මව්රට’ ‘රාජ්‍ය රහස්’ තීරය මෙවැනි අවදානමක තොරතුරු පළමු වතාවට රටට හෙළි කළේ සැප්තැම්බර් 03 වැනිදා මුද්‍රණය වූ ‘මව්රට’ පුවත්පත ඔස්සේය. ඒ, එවැනි තොරතුරක් පිළිබඳ මෙරට කිසිදු මාධ්‍යයකට හෝ කිසිදු දේශපාලනඥයකුට හෝ මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය සම්බන්ධයෙන් අදහසක් හෝ නොතිබූ කාලයකය. අප එම අතිවිශේෂ තොරතුර රටට අනාවරණ කළේද ආවාට ගියාට හෝ හිතලු මත හෝ අහම්බෙන් හෝ නොව අප වෙත ලැබී තිබුණු නිශ්චිත හා විශ්වසනීය තොරතුරු පදනම් කරගෙනය.
අපි මුලින්ම කිව්වේ සැප්. 3..!
වාරිකය කල් යයිද?
කෙසේ වෙතත් මේ වන විට බොහෝ දෙනාට මතුව ඇති ප්‍රශ්නයක් වන්නේ චීනය සමග මේ ආකාරයෙන් ගනුදෙනු කිරීමට ගොස් ආණ්ඩු බිඳගත් ආසන්නතම උදාහරණ ගණනාවක් පැවැතියදී යළි යළිත් එවැනි ගැටලු ඇතිකර ගැනීමට වත්මන් ආණ්ඩුවද කටයුතු කරන්නේ මන්ද යැයි කියාය. බොහෝ දෙනා කියන්නේ ජනාධිපතිවරයා මෙවැනි තීන්දුවක් ගෙන ඇත්තේ ලබන ඔක්තෝබරයේ සිදුකිරීමට නියමිත ජනාධිපතිවරයාගේ චීන සංචාරයේදී විශාල සහනයක් චීනයෙන් ලබාගැනීමට ජනාධිපතිවරයා බලාපොරොත්තුවෙන් සිටින නිසා යැයි කියාය. නමුත් එහි ඇති භයානක තත්ත්වය වන්නේ යම් හෙයකින් මෙම ගැටලු මුල්කොට ගෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ඔක්තෝබර් මාසයේදී සාර්ථකව අවසන් කරගැනීමට ලංකාවට නොහැකි වුවහොත් එම කරුණ මුල්කොට ගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය ගිවිසුමෙන් ඉවත් නොවී දෙවැනි වාරිකය ලංකාවට ලබාදීම කල්දැමීමේ අවදානමක් මතුව තිබීමය. එසේ මූල්‍ය අරමුදල දෙවැනි වාරිකය ලංකාවට ලබාදීම පමා කිරීමට තීන්දු කළහොත් එය නියත වශයෙන්ම ලංකාවේ ආර්ථිකය මුල්කරගෙන එල්ල වුණු ප්‍රබල ප්‍රහාරයක් වනු නොඅනුමානය. මන්ද යත් ලංකාවට මෙම කටයුතු සාර්ථක කරගැනීමට නොහැකි බවට ඒ හරහා ලෝකයට පණිවුඩයක් යෑම ඊට හේතුවය.
‘රාජ්‍ය රහස්’ සැප්තැම්බර් 03
අපි සැප්. 10 කියපු කතාව!
IMF මත දෙක
ඇමෙරිකාවේදී ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එසේ සාකච්ඡා පවත්වද්දී මේ දිනවල ලංකාවේද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය පළමු සමාලෝචනයේ සාකච්ඡාවන්ට සහභාගි වී සිටින ආකාරයක් දැකගන්නට තිබිණි. මෙම සාකච්ඡාවන්හිදී මතුව ඇති කරුණු මුල්කරගෙන ආර්ථික හා දේශපාලන විශ්ලේෂකයන් මේ වන විට මත දෙකක් ප්‍රකාශ කරන අතර, එක් මතයකින් කියැවෙන්නේ තවමත් ලංකාව ප්‍රධාන කොන්දේසි කිහිපයක් ඉටුකර නොමැති බැවින් මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය වන ඩොලර් මිලියන 333ක මුදල ලබාදීම ප්‍රමාද කරනු ඇති බවකි. දෙවැනි මතය වී ඇත්තේ කොන්දේසි ඉටු නොකර තිබුණද මූල්‍ය අරමුදල විසින් මෙවර වාරිකය ලබාදී තුන්වැනි වාරිකය ලබාදීම අත්හිටුවනු ඇතැයි කියාය.
‘රාජ්‍ය රහස්’ සැප්තැම්බර් 10
අන්තිමට කියපු දේ!
අපි මේවා කියන්නේ ඇයි?
අප මේ තොරතුරු ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කරන්නේ වෙන කිසිවක් නිසා නොව මේ තිත්ත ඇත්ත පිළිබඳ ලංකාවේ කිසිදු මාධ්‍යයක් කතා නොකරන නිසාය. ඒ හේතුවෙන් ලංකාවේ ජනතාව මේ කිසිදු තොරතුරක් නොදන්නා නිසාය. ලංකාවේ කිසිදු ප්‍රශ්නයක් නොමැති ආකාරයට මෙරට මාධ්‍ය තොරතුරු වාර්තා කිරීම හේතුවෙන් ලංකාවේ ජනතාවද සිතන්නේ දැන් සියලු ප්‍රශ්න අවසන්ව ඇතැයි කියාය. නමුත් අප මෙම තොරතුරු වාර්තා කරන්නේ ඇත්ත තත්ත්වය සහ අවදානම කල්තියාම පෙන්වා දීම මාධ්‍ය සතු වගකීමක් වන නිසාය.
මූල්‍ය අරමුදලත් පඹ ගාලක
මේ තත්ත්වය මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද ලංකාව සම්බන්ධයෙන් මුහුණ දී සිටින්නේ තරමක් අසීරු තත්ත්වයකටය. එක් අතකින් ලංකාව තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පොරොන්දු වූ කොන්දේසිවලින් ඉටුකර ඇත්තේ ඉතා අල්ප ප්‍රමාණයකි. ඒ නිසා ණය වාරිකයේ දෙවැනි කොටස ලබාදීම පිළිබඳ ඔවුන් තුළද ඇත්තේ දෙගිඩියාවකි. නමුත් ලංකාවේ තත්ත්වය දෙස බලන විට දෙවැනි වාරිකය නිදහස් නොකළොත් තත්ත්වය තවත් දරුණු අතට පෙරළීම වැළැක්විය නොහැකිය. එමනිසා ඇතැමුන් පවසන්නේ දෙවැනි වාරිකය ලබාදීම කල්දැමීමේ තත්ත්වයක් පවා මතුවිය හැකි යැයි කියාය. එමෙන්ම එය ණය වාරික නිදහස් කිරීමේ අවසන් අවස්ථාව වනු ඇති බවද ඇතැමුන්ගේ මතයය.
අස්සන් කළේ තත්ත්වය නොදැනද?
අනෙක් අතට මූල්‍ය අරමුදල ලංකාව සමග ගිවිසුම් අස්සන් කළේ ජාත්‍යන්තරය තුළ පවතින මේ තත්ත්වය පිළිබඳ නොදැනද යන්න පිළිබඳ මේ වන විට යම් කතාබහක් මතුව තිබේ. එවැනි වාතාවරණයක් හමුවේ යම් හෙයකින් මූල්‍ය අරමුදල සිය වාරික නිදහස් කිරීම අත්හිටුවීමට පියවර ගතහොත් නැවත වතාවක් ලංකාව බංකොලොත් රටක් බවට ප්‍රකාශ කිරීමට ඇති අවදානම ඉතා ඉහළය. ඒ ආකාරයට එක් වතාවකට වඩා වැඩි ගණනක් සිය රට බංකොලොත් බව ප්‍රකාශයට පත්කළ රටවල්ද ලොව නැතුවා නොවේ. එම තත්ත්වය වළක්වා ගන්නට තම ආණ්ඩුව මුලින්ම විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩකටයුතු අවසන් කොට මූල්‍ය ස්ථාවරත්වය ගොඩනගාගත යුතුය. ණය වාරික හා පොලී නිසි අයුරින් ගෙවීම ආරම්භ කළ යුතුය. මුලින් කීවාක් මෙන්ම අප මේවා වාර්තා කරන්නේ දේශපාලනඥයන්ගේ සුන්දර කතාවලට රැවැටී රට සුරපුරයක් බවට පත්වනු ඇතැයි සිතන යම් පිරිසක් තවමත් සිටින නිසාත්, ඇත්ත තත්ත්වය පිළිබඳ රට වැසියන් දැනුවත්ව සිටිය යුතු නිසාත්ය.
‘රාජ්‍ය රහස්’ සැප්තැම්බර් 24
ආණ්ඩුව හිටියේ ලැබෙන තැනක!
කෙසේවෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම තීන්දුව ගත්තේ ආවාට ගියාට නොව පසුගිය මාස කිහිපය පුරා ලංකාව තුළ වර්ධනය වෙමින් තිබූ තත්ත්වය පිළිබඳ හොඳින් සොයා බලාය. පළමු අවස්ථාවේදී මූල්‍ය අරමුදල ලංකාවට ණය නිකුත් කිරීමෙන් පසු මෙරට විපක්ෂයේ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන නියෝජිතයන් සහ වෘත්තිකයන් හමුවී සාකච්ඡා කොට මාධ්‍ය වෙත සුබවාදී අදහස් රැසක් දක්වා තිබිණි. ආණ්ඩුවේ ඉහළ පෙළ නියෝජිතයන්ද පසුගිය කාලයේදී බොහෝ සැහැල්ලුවෙන් සහ විශ්වාසයෙන් යුතුව මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ මූල්‍ය අරමුදල මගින් දෙවැනි වාරිකය නිසැකවම ලංකාවට ලබාදෙනු ඇතැයි කියාය. ඇමැතිවරුන් පමණක් නොව මහබැංකු අධිපතිවරයාද වරෙක සඳහන් කර තිබුණේ මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලංකාවට හිමිවනු ඇතැයි කියාය.
අපි ඇත්ත පෙන්නුවා!
නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධුරය භාරගත් දින සිටම දේශපාලන ක්ෂේත්‍රයේ මතුවෙමින් පැවැති සැබෑ තත්ත්වය රටට පෙන්වා දෙමින් අප කියා සිටියේ පවතින තත්ත්වය යටතේ ලොව කිසිදු රටක් ලංකාවට ආධාර නොකරන තත්ත්වයක් මතුවී ඇතැයි කියාය. මූල්‍ය අරමුදල සමග පමණක් ගනුදෙනු කොට රට බංකොලොත්භාවයෙන් මුදාගත නොහැකි බවත්, ඒ සඳහා ජාත්‍යන්තරයේ බලවත් රටවල් සමග යහපත් ගනුදෙනුවක් සිදුකළ යුතු බවත් අපි එහිදී පෙන්වා දුන්නෙමු. එහිදී එක් වතාවක අප මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජී.එල්. පීරිස් මහතා ඇතුළු කණ්ඩායම හමුවී කළ සාකච්ඡාවක තොරතුරුද ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අනාවරණ කළෙමු. එහිදී අප කියා සිටියේ වත්මන් ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය නොතබා ඡන්ද කල්දැමීමට කටයුතු කර ඇති ආකාරය පිළිබඳවත්, ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ ජනතාවගේ නිදහස හා අයිතිවාසිකම් සීමා කරන අණ පනත් පාර්ලිමේන්තුවට රැගෙන එන ආකාරය පිළිබඳවත්, රට බංකොලොත් වී තිබියදී දූෂිත ගනුදෙනුවල යෙදෙන ආකාරය පිළිබඳවත්, සජිත් ඇතුළු විපක්ෂය මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට පෙන්වා දී තිබූ බවකි. ඒ අවස්ථාවේදී මූල්‍ය අරමුදලේ නියෝජිතයා වූ පීටර් බෲවර් මාධ්‍ය හමුවක් තබමින් කියා සිටියේ ලංකාවට බරපතළ ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවත්, එම ප්‍රතිසංස්කරණ සිදුකිරීමට නම් ජනවරමක් සහිත ආණ්ඩුවක් පත්විය යුතු බවත්ය. පීටර් බෲවර්ගේ මෙම ‘ජනවරමක් සහිත ආණ්ඩුවක්‘ තිබිය යුතුය යන කතාව නිසා එකල බෲවර් මෙරට ජනතාව අතර ජනප්‍රිය චරිතයක් බවට පත්ව තිබිණි.
ජනප්‍රියත්වය කඩා වැටෙයි!
බොහෝ දෙනා කියා සිටියේ ජනතාවගේ ඡන්ද අයිතිය රැක දීමට, ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කර දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යම් සහායක් ලබාදෙනු ඇතැයි කියාය. නමුත් සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. ආණ්ඩුව සිටියේ දිගින් දිගටම ත්‍රස්ත විරෝධී පනත, විකාශන අධිකාරී පනත, මාර්ගගත ක්‍රමවේදවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත වැනි මර්දනකාරී පනත් ගෙන එමින් දිගට හරහට ජනතා අයිතිවාසිකම් මර්දනය කරන තැනකය. ඒ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මූල්‍ය අරමුදලේ අදහස වී තිබුණේ තමන්ට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ජනවරමක් නැතැයි කියාය.
ජනමත විමසුම කියපු කතාව!
මීට අමතරව පසුගිය කාලයේදී මෙරට ස්වාධීන මත සමීක්ෂණ ආයතනයක් වූ වෙරිටේ රිසර්ච් කණ්ඩායම සිදුකර තිබූ ජනමත විමසුමකින් අනාවරණ කොට තිබුණේ මූල්‍ය අරමුදල කෙරෙහි මෙරට ජනතාව තුළ තිබූ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇතැයි කියාය. එම සමීක්ෂණයේදී 28%ක පිරිසක් මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළට සහාය දක්වා තිබුණත්, 45%ක ප්‍රතිශතයක් මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ අසාර්ථක බව ප්‍රකාශ කොට තිබිණි.
සජිත්ව හමුවෙයි!
මෙවර මූල්‍ය අරමුදල සිය පළමු සමාලෝචනය සඳහා ලංකාවට පැමිණියේ මෙවැනි වාතාවරණයක් මධ්‍යයේය. මෙම සංචාරයේදී මූල්‍ය අරමුදල ජනාධිපතිවරයා සමගත්, වෘත්තිකයන් සමගත්, ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගය සමගත් සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කොට තිබිණි. මෙහිදී විශේෂම සාකච්ඡාව සිදුවූයේ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගය සමගය. මෙම හමුවේදී මූල්‍ය අරමුදල සුපුරුදු පරිදි තම පැත්තේ කතාව කියා සිටියද සජිත් ප්‍රමුඛ විපක්ෂයේ නියෝජිතයන් හොඳින් සූදානම් වී සාකච්ඡාවට පැමිණ තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී සජිත් මුලින්ම ප්‍රශ්න කර සිටියේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළේ වත්මන් තත්ත්වය පිළිබඳවය. ඊට පිළිතුරු දෙමින් බෲවර් කියා සිටියේ ගැටලු ගණනාවක් පැවැතියද එම සකච්ඡා තවමත් ඉදිරියට ඇදෙමින් පවතින බවකි. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී යම් එකඟතාවක් ඇතිකර ගත හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද එහිදී බෲවර් විපක්ෂ නායකවරයාට පෙන්වා දුන්නේය.
අයි.එම්.එෆ්. ගල්ගැහෙයි!
කෙසේ වෙතත් ඉන් අනතුරුව මූල්‍ය අරමුදලද හිටිහැටියේම වික්ෂිප්ත වී ගිය ප්‍රශ්නය ඇසුවේ සජිත්ය. එහිදී දැඩි ස්ථාවරයක් ගනිමින් සජිත් කියා සිටියේ මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව ඇතිකරගත් ගිවිසුම රටේ ජනතාවට හිතකර නැති බවත්, ඉදිරියේදී බලයට එන සජබ ආණ්ඩුවක් යටතේ නියත වශයෙන්ම මෙම ගිවිසුම වෙනස් කිරීමට තමන් පියවර ගන්නා බවත්ය. කිසිවකුත් බලාපොරොත්තු නොවූ පරිදි නිකුත් වූ සජිත්ගේ මේ දැඩි ප්‍රකාශයත් සමග බෲවර් ඇතුළු මූල්‍ය අරමුදලේ නිලධාරීන් හිටිවනම ගල්ගැසී ගිය ආකාරයක් දැකගත හැකි විය. නමුත් ඒ බව නොපෙන්වූ බෲවර් තරමක සිනාමුසු මුහුණින් අසා සිටියේ එසේ නම් ගිවිසුමේ වෙනස් කළ යුතු වගන්ති මොනවාද යන්නය. සජිත් එහිදී කෙළින්ම කියා සිටියේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණයෙන්ම අසාධාරණ බවත්, පළමු වැනි වගන්තිය වෙනස් කිරීමට කටයුතු කරන බවත්ය.
මෙන්න මූණටම කියපු කතාව!
‘දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ විශාල අසාධාරණයක් මේ රටේ මිනිස්සුන්ට වුණා. ආණ්ඩුව එතැනදී බැඳුම්කරවල ආයෝජනය කරපු පෝසතුන්ටවත්, මේ රටේ බැංකුවලටවත් අත තිබ්බේ නෑ. ආණ්ඩුව කළේ සාමාන්‍ය මිනිස්සුන්ගේ සල්ලි තැන්පත් කරලා තියෙන ඊ.පී.එෆ්., ඊ.ටී.එෆ්. අරමුදල්වලට අත තිබ්බ එක. ඒකෙන් සාමාන්‍ය ජනතාවට විශාල අසාධාරණයක් වුණා. අපේ ආණ්ඩුවක් යටතේ අපි ඒ අසාධාරණය වෙන්න ඉඩ තියන්නේ නෑ. අපි වැඩි බරක් දාන්නේ පෝසතුන්ට. ඒ වගන්තිය අපි අනිවාර්යයෙන්ම වෙනස් කරන්න කටයුතු කරනවා….’ යනුවෙන් සජිත් කියද්දී ගල්ගැසී සිටි මූල්‍ය අරමුදලේ නිලධාරීන් කියා සිටියේ එම යෝජනාව පැමිණියේ මූල්‍ය අරමුදල පැත්තෙන් නොව, ආණ්ඩුව පැත්තෙන් යැයි කියාය. මූල්‍ය අරමුදල කියා සිටියේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම මූලික අවශ්‍යතාවක් පමණක් යැයි කියාය. ඊට පිළිතුරු දෙමින් සජිත් නැවතත් කියා සිටියේ මෙම ගිවිසුමේ ඇති තවත් වගන්ති කිහිපයක් සම්බන්ධයෙන්ම මේ වන විට නැවත අධ්‍යයනය කරගෙන යන බවත්, ඒවාද ඉදිරියේදී වෙනස් කිරීමට සාකච්ඡා ආරම්භ කරන බවත්ය.
ජී.එල්. පටන් ගනී!
අනතුරුව සජිත් නැවතූ තැනින් පටන් ගත්තේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාය. ජී.එල්. මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට පෙන්වා දුන්නේ ආණ්ඩුව මූල්‍ය අරමුදල මගින් ලබාදුන් ණය මුදල රටට පෙන්වමින් දැඩි මර්දනකාරී අණ පනත් රැසක් ගෙන ඒම හරහා ජනතාව මර්දනයට ලක්කිරීමට සූදානම් වනවා යැයි කියාය.
ජනවරමක් නැද්ද!
‘ආණ්ඩුව ඔබතුමාලා දුන් ණය වාරිකය ප්‍රයෝජනයට අරගෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු රැසක් සිදුකරගෙන යනවා. දැන් පළාත් පාලන මැතිවරණය සම්පූර්ණයෙන්ම අකුළලා දාලා තියෙන්නේ. ඒ ඡන්දේ තියෙන දිනයක්වත් අපි දැන්නේ නෑ. ඒ ඡන්ද කල්දාන වැඩේට මහා භාණ්ඩාගාරය ඍජුවම මැදිහත් වුණා. ඊළඟට විකාශන අධිකාරී පනත, ත්‍රස්ත විරෝධී පනත, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත අරන් ඇවිත් විශාල ජනතා මර්දනයක් සිදුකරන්නයි ආණ්ඩුව හදන්නේ. ඒවා ගැන කතාකරන්න ඔබතුමාලට ජනවරමක් නෑ කියලා කියන්න එපා. ඔබතුමාලා මේ රටේ මිනිස්සු ගැන හිතන්න ඕනේ…’ යනුවෙන් කියමින් ජී.එල්. ද මානව හිමිකම් පැත්තෙන් දීර්ඝ විස්තරයක් මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවේ තැබීමට පියවර ගත්තේය.
කරපු හොරකම්!
එපමණක් නොව සජිත් ඇතුළු කණ්ඩායම මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය ආණ්ඩුවට ලබාදීමෙන් පසුව මේ දක්වා වූ කාලසීමාව ඇතුළත ආණ්ඩුව ඇතුළේ සිදුව ඇති බරපතළ වංචා දූෂණ රැසක් සහ මුදල් නාස්ති කිරීම් පිළිබඳ මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට කරුණු පෙන්වා දීමට පියවර ගත්හ. ඒ අනුව අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ සජිත් ඇතුළු කණ්ඩායම හෙළිදරව් කළ මෙම තොරතුරු සමග මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පවා දැඩි විමතියට පත්වූ බවකි. එම ආරංචිවලින් වැඩිදුරටත් කියැවුණේ ආණ්ඩුව සමග ඇතිකරගත් එකඟතාව පිළිබඳ මූල්‍ය අරමුදලට නැවත වතාවක් සිතා බැලීමට මෙම හමුව බොහෝ ඉවහල් වූ බවකි.
ජනාධිපති හමුවුණා!
මෙම හමුවෙන් පසු මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ වෘත්තීය සමිති නියෝජිතයන් හා ජනාධිපතිවරයා හමුවීමට පියවර ගත්හ. එම හමුවීම්වලින් පසු මහබැංකු පරිශ්‍රයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූ මූල්‍ය අරමුදලේ කණ්ඩායම් ප්‍රධානී බෲවර් පැහැදිලිවම කියා සිටියේ ඉලක්කයන් සම්පූර්ණ නොකර තිබීම හේතුවෙන් ණය මුදලේ දෙවැනි වාරිකය ලබාදීම කල්දමන බවත් ඒ සම්බන්ධයෙන් කාලසීමාවක් සඳහන් කළ නොහැකි බවත්ය. ඒ අනුව අප මාසයකට ආසන්න කාලයක් පුරා මෙම තීරය ඔස්සේ අනාවරණ කළ තොරතුර මේ වන විට 100%ක්ම තහවුරු වී ඇති බව සඳහන් කළ යුතුය. මේ හරහා රටේ ආර්ථිකයට සිදුවන බලපෑම ඉදිරි කාලයේදී දැකබලා ගත හැකිවනු ඇත.
ගිවිසුම වෙනස් වෙයිද!
කෙසේවෙතත් මෙහිදී එක් මාධ්‍යවේදියකු බෲවර්ගෙන් විශේෂ ප්‍රශ්නයක් ඇසීමටද පියවර ගත්තේය. ඒ, විපක්ෂනායකවරයා ප්‍රසිද්ධියේම කියා සිටි පරිදි මූල්‍ය අරමුදලේ ගිවිසුම නැවත වතාවක් වෙනස් කළ හැකිද යන කාරණාවය. ඊට පිළිතුරු දුන් බෲවර් කියා සිටියේ අවශ්‍ය නම් සාකච්ඡා කොට ගිවිසුම වෙනස් කිරීමේ හැකියාව පවතින බවකි. ඒ සඳහා යම් කාලයක් ගතවන බවද බෲවර් සඳහන් කර සිටියේය.
හැමිල්ටන් ප්‍රශ්නය!
නමුත් මෙහි ඇති බරපතළ තත්ත්වය එය පමණක්ම නොවේ. මීට පෙර ‘රාජ්‍ය රහස්’ තීරයකින් අප අනාවරණ කළ පරිදි බැඳුම්කර නොගෙවා සිටීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හැමිල්ටන් රිසර්ව් බැංකුව මගින් දමා ඇති නඩුවේ තීන්දුව ලබන මාසයේදී ලබාදීමට නියමිතව තිබීමය. පසුගිය මාසයේ මෙම නඩු තීන්දුව ලබාදීමට නියමිතව තිබුණත් එම තීන්දුව හරහා ලංකාවට දැඩි බලපෑමක් විය හැකි බැවින් ඊට මැදිහත් වූ ඇමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව එය මාසයකින් කල්දමන ලෙස අධිකරණයට දැනුම්දීමක් කර සිටියේය. ඒ අනුව අදාළ තීන්දුව ඉදිරි දින කිහිපය ඇතුළත ලබාදීමට නියමිත අතර යම් හෙයකින් ඉන් ලංකාවට අවාසිසහගත තීන්දුවක් ලැබුණොත් තවත් බරපතළ ජාත්‍යන්තර අර්බුදයකට මුහුණ දීමට ආණ්ඩුවට සිදුවනු ඇත.
පැරිස් සමාජය සද්ද නෑ!
මේ සියල්ල අතරවාරයේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ද පවතින්නේ මහත් අර්බුදකාරී වාතාවරණයකය. මුලින් ලංකාවට සහාය පළකරමින් අදහස් දැක්වූ පැරිස් සමාජය මේ වන විට පසුවන්නේ නිහඬ ව්‍රතයකය. පසුගිය සතියේදී මෙම තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් අප කියා සිටියේ ඇමෙරිකානු සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝජියාවා මුණගැසී පැරිස් සමාජයේ ණය ප්‍රතිව්‍යුහගත වැඩසටහන හැකි ඉක්මනින් ප්‍රකාශයට පත්කරවන ලෙසට ඉතා බැගෑපත්ව ඉල්ලා සිටි බවකි. නමුත් අද වනතුරුත් ජෝජියාවාගෙන් හෝ පැරිස් සමාජය පැත්තෙන් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැත.
චීනය නෑ!
ඒ අතරවාරයේදී ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනයේ සහභාගිත්වයෙන් තොරව අනෙකුත් ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් යම් ගනුදෙනුවකට එළඹීමට සූදානමින් සිටින බව බ්ලූම්බර්ග් පුවත් සේවය පසුගිය සතියේ අනාවරණ කළේය. ලබන මාසයේ මොරොක්කෝවේ පැවැත්වීමට නියමිත අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු රැස්වීම අතරතුර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව එම පුවත් සේවය වාර්තා කොට තිබිණි. නමුත් ලංකාවේ ප්‍රධානතම ණය හිමියා වන චීනය නොමැතිව සිදුකරන මෙම සාකච්ඡා කෙතරම් දුරට සාර්ථක වනු ඇද්ද යන්න සම්බන්ධයෙන් ඇත්තේ මහත් අවිනිශ්චිත තත්ත්වයකි. එමෙන්ම මූල්‍ය අරමුදල බදාදා දිනයේ ප්‍රකාශයට පත්කළ තීන්දුවත් සමග ලංකාවට මෙතෙක් සුළු සුළු ණය ප්‍රමාණයන් ලබාදුන් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුවද තවත් ණය ලබාදීම අත්හිටුවීමේ අවදානමක් මතුව ඇති බව දැනගන්නට ඇත. එසේ වුවහොත් තත්ත්වය තවත් බරපතළ වනු ඇති බව අමුතුවෙන් කිවයුතු නැත.
රනිල්ගේ චීනෙන් දෙයිද?
මතුව ඇති අර්බුදකාරී සහ ආන්දෝලනාත්මක පසුබිම යටතේ රටේම ජනතාව බලා සිටින්නේ ජනාධිපතිවරයාගේ ඊළඟ චීන සංචාරය දෙසය. මන්ද යත් මූල්‍ය අර්බුදය හමුවේ දැනට යම් හෝ ණය මුදලක් ලබාගැනීම සඳහා ඉතිරිව ඇති එකම රට චීනය වන නිසාය. ඒ අනුව බොහෝ දෙනා සිතන්නේ මේ මස මැදදී සිදුකිරීමට නියමිත ජනාධිපතිවරයාගේ චීන සංචාරයේදී අත් දෙක පිරෙන්න චීන මූල්‍යාධාර ලැබෙනු ඇතැයි කියාය. චීනෙන් ගොඩයෑමට හැකිවනු ඇතැයි කියාය. පාඨකයන් වෙත නිවැරැදි තොරතුරු මේ දක්වා රැගෙන ආ අප, චීනය තුළ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ තොරතුරු ගෙන ඒමට සූදානම්ය. අප පෙර සිට සඳහන් කළ පරිදිම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළේදී චීනය මුල සිටම සිටියේ අනෙක් රටවල් සමග එකම වේදිකාවකට පැමිණ එම කටයුතු සිදුකිරීමට තමන් සූදානම් නැතැයි යන ස්ථාවරයේය. ආරම්භයේදී විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලට ඉන්දියාව, ජපානය, ඇමෙරිකාව, පැරිස් සමාජය සිය ඉහළ පෙළේ නියෝජිතයන් සහභාගි කරවුවද චීනය කළේ ඊට නිරීක්ෂකයකු ලෙස තම රටේ නියෝජිතයකු සහභාගි කරවීමය. එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළේදී කොන්දේසියක් ඉදිරිපත් කරමින් ඔවුන් කියා සිටියේ අපට පෙර ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව සම්බන්ධයෙන් ඇති ණය ප්‍රතිව්‍යුහගත කොට පෙන්විය යුතු යැයි කියාය.
චීනය දීපු සහනය!
කෙසේ වෙතත් ලංකාවේ විශාලතම ණය හිමියා වශයෙන් චීනය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමයේදී ලංකාවට විශාල සහනයක් ලබාදීමට පියවර ගෙන තිබිණි. ඒ, කොරෝනා සමයේදී චීනයට ගෙවීමට ඇති ණය හා වාරික මුදල් ගෙවීම සඳහා වසරක සහන කාලයක් ලබාදී තිබීමය. එම සහන කාලය අවසන් වීමට නියමිතව තිබුණේ ඉකුත් දෙසැම්බර් මාසයේදීය. නමුත් ගෝඨාභයගෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණ කළ ඉල්ලීමකට අනුව තවත් වසරකින්, එනම් මේ දෙසැම්බරය දක්වා එම කාලය දීර්ඝ කිරීමට චීනය පියවර ගෙන තිබිණි. නැවත එම කාලය දීර්ඝ නොකිරීමට චීනය කටයුතු නොකළහොත් ලබන ජනවාරියේ සිට ලංකාවට චීනයේ ණය හා පොලී වාරික ගෙවීම ආරම්භ කිරීමට සිදුවනු ඇත.
දෙන්නෙ පොඩ්ඩයි!
ඒ අනුව මෙවර අපට ඇති තොරතුරුවලට අනුව තවත් විශේෂ තොරතුරක් අනාවරණ කිරීමට අප සූදානම්ය. එනම්, මෙවර චීන සංචාරයේදී ජනාධිපතිවරයා ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ලබාදෙන ලෙස ඉල්ලා සිටියද අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මේ තාක් ලංකාවට ලබාදී ඇති සහන කාලය අවසන් වනතුරු කිසිවක් කිරීමට චීනයට හැකියාවක් නොමැති බව දැනුම් දීමට චීනය සූදානමින් සිටින බවකි. නව සාකච්ඡා ආරම්භ කිරීම සඳහා සහන කාලය අවසන් වන තෙක් සිටින ලෙස දැනුම් දීමට චීනය සූදානමින් සිටින බවකි. ඒ අනුව චීනය සූදානම් වන්නේ මෙතෙක් ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ සුළු සුළු ආධාර ලබාදීමේ වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන යෑමට මිස ආණ්ඩුව සිතා සිටින ආකාරයේ දැවැන්ත මුදල් කන්දරාවක් ලබාදීමට නම් නොවේ. මෙතෙක් ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප කළ තොරතුරු අනාවරණයන් 100%ක්ම තහවුරු වී ඇති බැවින් අප හෙළිකරන මෙම තොරතුරේ සත්‍ය අසත්‍යතාවද තවත් දින කිහිපයකින් විමසා බැලීමට පාඨක ඔබට පුළුවන.
නැවේ පළහිලව්ව!
ඒ සියල්ල අතරවාරයේ චීනයේ ෂී යැන්ග් 6 නෞකාව මේ වන විට ජාත්‍යන්තරය තුළ මතුකර ඇති ආන්දෝලනයද එතරම් සුළු පටු නොවේ. මෙවැනි චීන පර්යේෂණ නැවක් ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වීමත් සමග ඉන්දියාව පමණක් නොව ඇමෙරිකාව, ජපානය, වැනි රටවල්ද ඊට සිය විරෝධය පළකිරීමට පියවර ගෙන තිබිණි. ජනාධිපතිවරයා ඇමෙරිකානු සංචාරය ආරම්භ කිරීමට පෙරම මෙම චීන නැවට ලංකාවට ඇතුළු වීම සඳහා මෙරට යම් යම් ආයතනවලින් අවසර ලබාදීමටද කටයුතු කොට තිබිණි. ඒ සම්බන්ධයෙන් ඉන්දියාව ආණ්ඩුවේ ප්‍රබලයන්ගෙන් විමසීම් කරද්දී ඔවුන්ද දැනුම්දී තිබුණේ අපට ඉන්දියාව මෙන්ම චීනයත් අවශ්‍ය යැයි කියාය. ලංකාව කිසිදු රටකට යටත් වූවක් නොවන බව ඔවුන් එහිදී දැනුම් දීමට පියවර ගෙන තිබිණි. ඉන්දියාව පමණක් නොව ප්‍රබල රටවලින්ද චීන නැව පිළිබඳ විමසීම් කරද්දී ආණ්ඩුවේ නියෝජිතයන් ලබාදී තිබුණේ මෙවැනිම පිළිතුරුය. මීට අමතරව ඇමෙරිකාවේ යෑමට ප්‍රථම ජනාධිපතිවරයා ඇමෙරිකන් විරෝධී රටක් ලෙස සැලකෙන කියුබාවේ සංචාරය කිරීමෙන් වැරැදි සංඥාවක් ඇමෙරිකාවට ගිය බවද අපි මේ තීරය ඔස්සේ මීට පෙර වාර්තා කළෙමු.
අවුකුස් ප්‍රශ්නය!
එමෙන්ම ජනාධිපතිවරයා ඇමෙරිකාවේ සිට ඇමෙරිකාව, බි්‍රතාන්‍යය, ඔස්ටේ්‍රලියාව වැනි රටවල් එක්ව පිහිටුවාගෙන ඇති ‘අවුකුස්’ සංවිධානය විවේචනය කරමින් චීන හිතැති ප්‍රකාශයක් සිදුකිරීම හරහා බරපතළ ආන්දෝලනයක් හටගත් බවද අප වාර්තා කළෙමු. එසේම ජනාධිපතිවරයා ඇමෙරිකාවට යෑමට ප්‍රථම ජෝ බයිඩන් සමග මුහුණට මුහුණ සාකච්ඡාවක් ලබාගැනීමට විශාල උත්සාහයක් දැරුවත් පළමුව ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී අවසානයේ එය අවලංගු වූ ආකාරයක් අප මෙහි වාර්තා කර තැබුවෙමු.
සබි්‍ර කරපු කතාව!
එම සියලු තොරතුරු අනාවරණ කිරීමෙන් පසු අප පසුගිය සතියේ තවත් සුවිශේෂ තොරතුරක් වාර්තා කරමින් ආණ්ඩුව ඔක්තෝබර් මාසයේ ලංකාවට පැමිණීමට නියමිතව ඇති චීන නෞකාව කෙසේ හෝ නොවැම්බරය දක්වා කල්දමන ලෙසට චීනයෙන් ඉල්ලීමක් කළ බවද වාර්තා කර සිටියෙමු. පසුගිය සතියේ මෙරට විදේශ අමාත්‍ය අලි සබි්‍ර මහතා මේ බව තහවුරු කරමින් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබුණේ තවමත් චීන නැවට ලංකාවට පැමිණීමට අවසර ලබාදී නොමැති බවකි. ඉන්දීය මාධ්‍ය සබි්‍රගේ මෙම ප්‍රකාශයට විශාල ප්‍රචාරයක් ලබාදුන්නද ඒ ඉන්දීය මාධ්‍යම ඊට පසු දින වාර්තා කොට තිබුණේ චීන නැව ඉන්දියන් සාගරයට ඇතුළු වී ඇති බවත්, ලංකාව දෙසට ගමන් කිරීම ආරම්භ කොට ඇති බවත්ය.
ඉන්දියාවෙන් එනවා!
ඒ අනුව අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ජනාධිපතිවරයාගේ චීන සංචාරය අවසන් වූ වහාම ඉහළ පෙළේ දූත පිරිසක් ලංකාවට එවීමට ඉන්දියාව තීන්දු කොට ඇති බවය. මෙම ඉන්දීය දූත පිරිස ජනාධිපතිවරයා හා ආණ්ඩුවේ ඉහළ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට සැලසුම් කොට ඇති බවත්, එහිදී චීන ඔත්තු නැව් ඉන්දීය සාගරය හරහා ලංකාවට ඇතුළු වීම සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිට කරුණු දැක්වීමට සැලසුම් කොට ඇති බවත් දැනගන්නට ඇත. ජනාධිපතිවරයා මේ මස මැදදී චීන සංචාරයක නිරත වීමට නියමිත බැවින් දැනට ඒ සම්බන්ධයෙන් මෘදු ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීමටත්, ජනාධිපතිවරයාගේ චීන සංචාරය අවසන් වූ වහා ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයන්ට අවතීරණ වීමටත් ඉන්දියාව තීරණය කොට ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඉන්දියාව මෙම සාකච්ඡාවට පැමිණෙන්නේම ඉදිරියේදී ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහ කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ කිහිපයක් ගැනීමෙන් අනතුරුව බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
බටහිර ඇවිස්සෙයි!
මේ සියල්ල අතරවාරයේ ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රතිත්‍රස්ත පනත සහ මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පිළිබඳ පනත මුල්කොටගෙනද මේ වන විට රට ඇතුළේ පමණක් නොව ජාත්‍යන්තරය තුළද විශාල ආන්දෝලනයක් මතුව තිබේ. කවුරුත් එතරම් අවධානයක් යොමු නොකළද මෙම තත්ත්වය කෙතරම් දුරදිග ගොස් තිබෙනවාද කියනවා නම් ප්‍රධාන පෙළේ බටහිර රටවල් ලංකාවේ ප්‍රධාන පෙළේ නීතිඥවරුන් කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන තරමට තත්ත්වය ඔඩුදුවා ඇති බවක් දැකගන්නට තිබේ. ඒ හරහා මෙම පනත් දෙක සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදුකිරීමට බටහිර තානාපති කාර්යාල සැලසුම් කොට ඇති බවක්ද වාර්තා වේ.
ඊටත් වඩා හපන්!
ඒ අනුව නීති විශාරදයන් දැනට පෙන්වා දී ඇති කරුණුවලින් මෙම පනත් දෙකම ජාත්‍යන්තර නීතිරීතිවලට සහ ආචාරධර්මවලට පටහැනි ජනතාවගේ අයිතිවාසිකම් සීමාකරන මර්දනකාරී පනත් දෙකක් ලෙස බටහිර තානාපති කාර්යාල හඳුනාගෙන තිබේ. මෙහිදී ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳ විමසා බැලුවහොත් ජාත්‍යන්තර ප්‍රජාව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සහ යුරෝපා කොමිසම කලක සිටම ලංකාවට පෙන්වා දී තිබූ කරුණක් වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කළ යුතු යැයි කියාය. ආණ්ඩුව එම ඉල්ලීම ඉටුකරන බව පෙන්වා මේ වනවිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ඊටත් වඩා බරපතළ වගන්ති ඇතුළත් ප්‍රතිත්‍රස්ත පනත ගෙන ඒම හරහා තවත් අර්බුදයක් ජාත්‍යන්තරය හමුවේ ඇතිකරගෙන තිබේ. මේ වන විට රටේ ආර්ථිකය බිඳ වැටී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය දෙවැනි වාරිකය දින නියමයක් නොමැතිව කල් දමන බවට ප්‍රකාශ කොට තිබියදී මෙවැනි අර්බුදකාරී පනත් ගෙන ඒම හරහා ලංකාවට මුහුණ දීමට ඇති අනතුර එතරම් සුළුපටු නැත.
ජීඑස්පී අනතුරේ
ජීඑස්.පී. නැතිවෙයිද?
ඒ අනුව අද අපි මෙම තීරය ඔස්සේ වාර්තා කර සිටින්නේ ආණ්ඩුව මෙම පනත් සම්මත කළහොත් යුරෝපා කොමිසම මගින් ලංකාවට ලබාදී ඇති ජී.එස්.පී. ප්ලස් සහනයද අවසන් වීමේ ඉඩකඩ බොහෝ වැඩි බවය. ඒ සම්බන්ධයෙන් යම් සාකච්ඡා වටයක් යුරෝපා කොමිසම තුළද මේ වන විට ආරම්භ වී ඇති බවත් ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇත.
නූලාන්ඩ් කරපු කතාව!
විදේශ අමාත්‍ය අලි සබි්‍ර මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සහභාගි වීම සඳහා ඇමෙරිකාවට ගොස් සිටි අවස්ථාවේ ඇමෙරිකාවේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරිය වන වික්ටෝරියා නුලාන්ඩ් මහත්මිය මුණගැසුණේ මෙවැනි පසුබිමක් මතුව තිබියදීය. අපට ඇති තොරතුරුවලට අනුව මෙම හමුවේදී නුලාන්ඩ් විසින් මෙම පනත් සංශෝධනය විය යුතු බව අලි සබි්‍රට දැනුම් දී ඇති බවත් ආරංචිය.
තවත් බෝම්බයක්!
ඒ සියල්ල අස්සේ ලංකාවට එරෙහිව තවත් දේශපාලන බෝම්බයක් පත්තු කරමින් ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය නියෝජනය කරන පක්ෂ විපක්ෂ සෙනෙට් සභිකයන් 12 දෙනකු විසින් ලංකාව සම්බන්ධයෙන් කරුණු රැසක් ඇතුළත් කොට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා හට විශේෂ ලිපියක් යොමුකොට තිබිණි. මෙම ලිපිය යොමුකොට තිබුණේ ජනාධිපතිවරයා ඇමෙරිකාවේ සංචාරය කරමින් සිටියදීම වීම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීමකි. ඒ අවස්ථාවේදී එම ලිපිය එළියට නොපැමිණුනද මේ වන වට එම ලිපිය එළියට දැමීමට ඇමෙරිකානු බලධාරීන් පියවර ගෙන ඇත. එහි සඳහන්ව ඇත්තේ ආණ්ඩුව සිදු කොට ඇති මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඇතුලු චෝදනාවලට ලක්වූවන් නෙදර්ලන්තයේ හේග් අධිකරණය ඉදිරියට පමුණුවාලීමට අමෙරිකාව බලපෑම් කළ යුතු බවකි.
බැසිල්ගේ අලුත් ගේම!
ජාත්‍යන්තරය තුළ ලංකාව සම්බන්ධයෙන් මෙවැනි අර්බුදකාරී වාතාවරණයක් මතුව පැවැතියදී ජනාධිපතිවරයා ඇමෙරිකාව බලා පිටත්ව යෑමට ප්‍රථම පොහොට්ටුවේ මහමොළකරු වශයෙන් සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා හමුවූ බව අපි මෙම තීරයෙන් වාර්තා කර සිටියෙමු. එහිදී කතාබහට ලක්වූ බව කියැවෙන තොරතුරු අප පමණක් නොව අනෙකුත් මාධ්‍යද අඩු වැඩි වශයෙන් වාර්තා කර තිබූ ආකාරයක් දැකගත හැකි විය. කෙසේ වෙතත් මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අතිවිශේෂ හෙළිදරව්වක් කරමින් මෙම හමුවේ සිදුවූ කිසිදු මාධ්‍යයක් වාර්තා නොකළ කරණක් පාඨකයන් හමුවේ තැබීමට සූදානම්ය.
ජනමත විමසුමේ ප්‍රතිපල!
මෙම හමුවට බැසිල් සහභාගි වී තිබුණේ හිස් අතින් නොව ඊට දින කිහිපයකට ඉහතදී තමන් වෙත ලැබී තිබුණු අතිශය රහසිගත මත විමසුමක ප්‍රතිඵල ලේඛනයද අතේ තබාගෙනය. එම මත විමසුමෙන් දක්වා තිබුණේ ඉදිරි ජනාධිපතිවරණයකදී සහ මහමැතිවරණයකදී පක්ෂ විසින් ලබාගනු ඇති බව කියන ප්‍රතිඵලයන්ය. සාකච්ඡාව ආරම්භයේදීම එම මත විමසුම්වල ප්‍රතිඵල ජනාධිපතිවරයා හමුවේ තබමින් බැසිල් කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයකදී හෝ මහ මැතිවරණයකදී ලැබෙනු ඇතැයි අපේක්ෂිත ප්‍රතිඵල මෙම මත විමසුම හරහා හෙළිදරව් වී ඇතැයි කියාය.
කාටවත් දිනන්න බෑ!
‘මේක අපි කරපු මත විමසුමක්. අපි කරපු මත විමසුම්වල ප්‍රතිඵල හැම එකක්ම හරි ගියා. ඒවා වැරැදිලා නෑ. ඊළඟ අවුරුද්ද ඡන්ද වසරක්. ජනාධිපතිවරණය තියන්න ඕනෙ. හැබැයි ජනාධිපතිවරණය තිබ්බොත් මොන වගේ ප්‍රතිඵලයක් එයිද කියල මේ මත විමසුමේ තියෙනවා. ඒකට අනුව ඔබතුමාට ජයගන්න බෑ. අපි දාන අපේක්ෂකයාට දිනන්න පුළුවන්කමකුත් නෑ. එහෙම වුණොත් වෙන අපේක්ෂකයො අතර සටනක් තියෙයි. අනෙක මේ ප්‍රතිඵලවලට අනුව මහ ඡන්දයකට ගියොත් කිසි කෙනෙක්ට බහුතරයක් ගන්න පුළුවන්කමක් නෑ….’ යනුවෙන් ජනාධිපතිවරයාට කී බැසිල්, යම් යම් පක්ෂ වැඩි ආසන ගණනක් ලබාගනු ඇති බවටද ජනාධිපතිවරයාට ඉඟි කර සිටියේය. එසේ වුවහොත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එජාපයටත්, පොහොට්ටුවටත් පාර්ලිමේන්තුව ඇතුළේ යම් දේශපාලන ගේමක් ගැසීමට සිදුවනු ඇති බවද බැසිල් ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේය.
අලුත්ම තියරිය!
කෙසේ වෙතත් දෙදෙනා අතර සාකච්ඡාවේ හොඳම කොටස පැමිණියේ ඉන් අනතුරුවය. ඒ, මෙම අවාසිසහගත තත්ත්වය මගහරවා ගැනීම සඳහා කළ යුතු කටයුත්ත පිළිබඳ බැසිල් ජනාධිපතිවරයා වෙත පෙන්වා දීමත් සමගය. එහිදී බැසිල් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර සිටියේ අලුත්ම දේශපාලන තියරියකි.
විධායකය අහෝසියි?
සාමාන්‍යයෙන් බැසිල් සැලකෙන්නේ ආවාට ගියාට දේශපාලන ගේම් ගසන අයකු ලෙස නොව කල්යල් බලා දේශපාලන ගේම් ගසන කෙළිකාරයකු ලෙසටය. බැසිල්ගේ ගණන් හැදිල්ලට අනුව තවත් අවුරුදු 10කට 15කටවත් පොහොට්ටුවෙන් ජනාධිපතිවරයකු බිහිකිරීමේ අවස්ථාවක් නැති බව පෙනී ගොස් ඇති නිසා ශක්තිමත් ලෙස පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීම බැසිල්ගේ සැලසුම වී ඇති බව පැවසේ. අලුත්ම දේශපාලන තියරිය ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමේ පසුබිම වී තිබුණේ බැසිල්ගේ මෙම සැලසුමය.
ජනමත විචාරණයක්!
ඒ අනුව බැසිල්ගේ යෝජනාව වී තිබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මේ අවස්ථාවේ ඇති හොඳම විකල්පය බවය. මේ වන විටත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් යම් යම් නඩු තීන්දු දී ඇති නිසා ජනමත විචාරණයක් හරහා එය අහෝසි කිරීම පහසු බවත්, විධායක ක්‍රමය අවශ්‍යද, නැද්ද කියා එවිට ජනතාවගෙන් ඇසිය හැකි බවත් බැසිල් එහිදී ජනාධිපතිවරයාට පෙන්වා දී තිබිණි. ඉන් අනතුරුව අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තු ක්‍රමයකට යා හැකි බවද එහිදී බැසිල් ජනාධිපතිවරයාට පැහැදිලි කර දී ඇත.
පාර්ලිමේන්තුව ඇතුළේ ගේමක්!
ඒ අනුව බැසිල්ගේ ගේම හරි පැහැදිලිය. විධායක ක්‍රමය අහෝසි කරන බවට යෝජනාවක් ගෙන ආවොත් ඊට විරුද්ධ වීමට සමගි ජන බලවේගයටත්, ජනතා විමුක්ති පෙරමුණටවත් නොහැකි බව බැසිල් දනී. අනතුරුව පවත්වන මහ මැතිවරණයේදී එජාපය හා පොහොට්ටුව එක්ව හෝ තනි තනිව තරග වැදී පාර්ලිමේන්තුව ඇතුළේ ගේමක් ගැසිය හැකි බවද බැසිල් දනී. තුන්කල් බලා බැසිල් ජනාධිපතිවරයා හමුවී මෙම දේශපාලන බෝම්බය පත්තු කළේ ඒ නිසා විය යුතු බව බොහෝ දෙනාගේ අදහසය.
රනිල් කැමැති වෙයිද!
කෙසේ වෙතත් ජනාධිපතිවරයා ඊට එක්වර කැමැති වූවාද නොවූවාද යන්න පිළිබඳ තොරතුරු නොමැති නමුත් අප කළ සොයාබැලීම්වලදී දැනගන්නට ලැබුණේ ජනාධිපතිවරයාගෙන්ද ඊට ලොකු විරෝධයක් නොමැති බවකි. තමන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයගැනීමේ හැකියාවක් නොමැති නම්, පොහොට්ටුවටද එය ජයගත නොහැකි නම් ජනාධිපතිවරණයක් පවත්වා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හෝ ජවිපෙ නායක අනුර කුමාර දිසානායකට හෝ ජනාධිපති ධුරය භාරදීමට ජනාධිපතිවරයා හිත හදාගනු ඇතැයි කිසිසේත්ම සිතිය නොහැකිය. ඒ අතින් බලද්දී බැසිල් ගෙනා යෝජනාව හොඳම විකල්පය බව ජනාධිපතිවරයාටද සිතෙනු ඇත. අප එසේ කියන්නේ මේ වනවිට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා ගණනාවක්ම ආණ්ඩුව ඇතුළේ පැවැත්වී ඇති බවට අප වෙත ඇති තොරතුරු පදනම් කරගෙනය. කෙසේ වෙතත් ඉදිරි දිනවලදී ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්ව සමග මෙම මාතෘකාව පිළිබඳ එළිපිට සංවාදයක් ආරම්භ වනු ඇති බව අපගේ විශ්වාසයය.
බැට් එක දායිද?
නමුත් ජනාධිපතිවරයාද දේශපාලන පොර පිටියේ හොඳට තෙම්පරාදු වී සිටින අයකු නිසා ජනාධිපතිවරයාද බැසිල් දමන පන්දුවලට පිට පිට පහර එල්ල කරන්නකු නොවේ. එම නිසා බැසිල් දැමූ මේ පන්දුවට ජනාධිපතිවරයා කෙසේ පහර දීමට කටයුතු කරන්නේදැයි බැලීමට තව ටික දවසක් ඉවසා සිටිය යුතුව ඇත.
පොහොට්ටුව කැඳවයි!
බැසිල් ඉකුත් සතියේ සිකුරාදා දින පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන් බත්තරමුල්ලේ ප්‍රධාන කාර්යාලයට කැඳවූයේ මෙවැනි පසුබිමක් යටතේය. ඒ වන විට ජනාධිපතිවරයා හා බැසිල් අතර සාකච්ඡාවක් පැවැති බවට තොරතුරු වාර්තා වී තිබීම නිසා මන්ත්‍රීවරුන් මෙන්ම ආසන සංවිධායකවරුන් විශාල පිරිසක් ඊට සහභාගි වී සිටි ආකාරයක් දැකගත හැකි විය. මෙහිදී බැසිල් සාකච්ඡාව අරඹමින් පිරිසට උපදෙස් දුන්නේ ඉදිරියේදී ඡන්ද කිහිපයක් පැමිණීමට ඉඩකඩ ඇති නිසා ගම් මට්ටමින් පක්ෂය ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙසය.
ඇමැති ධූර?
අනතුරුව මන්ත්‍රීවරුන් බැසිල්ගෙන් විමසා සිටියේ ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී ඇමැති ධුර සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවට මාධ්‍ය වාර්තා කොට ඇති නිසා එහි කුමක් සිදුවීද යන්න කියාය. බැසිල් එහිදී කියා සිටියේ තමන් ජනාධිපතිවරයා සමග අමාත්‍ය ධුර සම්බන්ධයෙන් කිසිවක් කතා කළේ නැතැයි කියාය.
ඇමැතිකම් කතා නෑ!
‘නෑ, මම ජනාධිපතිතුමා එක්ක ඇමැතිකම් ගැන වචනයක් කතා කළේ නෑ. එතුමා ජනාධිපති වුණාට ආණ්ඩුව අපේ. අපි ආරම්භයේදීම ඇමැතිකම් හිමිවිය යුතු අයගේ ලැයිස්තුවක් ජනාධිපතිතුමාට යැව්වා. ඒක කරන නොකරන එක එතුමාගේ වැඩක්. මෙතැනින් එහාට මම ඒ ගැන එක වචනයක්වත් එතුමා එක්ක කතාකරන්නේ නැහැ. ඇමැතිකම් ගැන කතා කළා කියලා මාධ්‍යවල ගිය කතා බොරු…’ යැයි කී බැසිල් සමෘද්ධිය සහ අයවැය පිළිබඳවද ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බව කියා සිටියේය.
සහන අයවැයක්!
‘අනෙක මම ජනාධිපතිතුමාට දැනුම් දුන්නා සමෘද්ධි ව්‍යාපාරය කප්පාදු නොකර දිගටම පවත්වාගෙන යන්න කියලා. ඒ වගේම මම කිව්වා ඊළඟ අයවැය ජනතාවට උපරිමයෙන් සහන දෙන්න ඕනෙ කියලා…’ යැයිද බැසිල් මන්ත්‍රීවරුන්ට දැනුම් දී සිටියේය.
කසකස්තාන් ජනපති විතරයි!
සිය කියුබානු සහ ඇමෙරිකානු සංචාර නිමාකොට පසුගිය සති අන්තයේ දිවයිනට පැමිණි ජනාධිපතිවරයා යළි ඉකුත් අඟහරුවාදා දින ජර්මනිය බලා පිටත්ව ගියේ එහි පැවැති ‘බර්ලින් ගෝලීය සංවාදය’ සමුළුවට සහභාගි වීම සඳහාය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා සිදු කළ කියුබානු සහ ඇමෙරිකානු සංචාරවලදී රාජ්‍ය නායකයන් රැසකට අතට අත දී කතා කිරීමට හැකියාව ලැබුණද මෙම සමුළුවේදී ජනාධිපතිවරයාට රාජ්‍ය නායකයකු ලෙස මුණගැසුණේ කසකස්තාන ජනාධිපතිවරයා වූ කාසිම් ජෝමාට් මෝකයෙව් මහතා පමණි. ඒ, එම සමුළුවට සහභාගි වී සිටි එකම රාජ්‍ය නායකයා කාසිම් පමණක් වීම නිසාය. මීට අමතරව ඇල්බේනියා අගමැති එඩී රාමා මහතා හා ජර්මන් චාන්සලර්වරයා වූ ඕලැෆ් ස්කොල්ස් මහතා සමගද සාකච්ඡා පැවැත්වීමට ජනාධිපතිවරයා කටයුතු කොට තිබිණි.
කරන්ට් වදිනවා!
පාඩු ලබන බව කියමින් ආණ්ඩුව පසුගිය කාලයේදී විදුලි බිල අවස්ථා දෙකකදීම ඉහළ දැමීමට පියවර ගෙන තිබුණේ විපක්ෂයේ සහ ජනතාවගේ දැඩි විරෝධය මධ්‍යයේය. ඒ විරෝධය අවම කරගැනීම සඳහා ඒ අවස්ථාවේ ආණ්ඩුව ලබාදුන් පිළිතුර වූයේ එම වැඩිකිරීම හේතුවෙන් මණ්ඩලයේ පාඩුව පියවාගත හැකි බවත්, යළිත් වතාවක් බිල වැඩිකිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බවත්ය. නමුත් ගැටලුව වූයේ එසේ කියා මාස 2ක් ගතවීමටත් මත්තෙන් යළිත් වතාවක් විදුලි බිල ඉහළ දැමීමට ආණ්ඩුව ඇතුළේ සාකච්ඡාවක් මතුවීමය.
වතුරවලට වෙච්ච දේ!
පසුගිය සඳුදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා එම අදහස කරළියට ගෙන එමින් විදුලි බිල යළි ඉහළ දැමිය යුතුව ඇති බව කියා සිටියේය. ඉකුත් සමයේදී නිසි පරිදි ජල විදුලි නිෂ්පාදනය සිදු නොවීම නිසාත්, විදුලිය නිෂ්පාදනයට යොදාගැනීමට නියමිතව තිබූ ජලය ගොවිතැනට මුදාහැරීමට සිදුව තිබීම නිසාත් මණ්ඩලය රුපියල් බිලියන 30ක අලාභයක් ලබා ඇති බව කී කංචන ඒ නිසා යළිත් වතාවක් විදුලි බිල ඉහළ නැංවිය යුතු බව කියා සිටියේය.
නලින් විතරක් විරුද්ධයි!
කෙසේ වෙතත් කංචන මෙසේ කියද්දී ඇමැතිවරු කිසිවෙක් වචනයක් හෝ නොකියා කට වසාගෙන සිටියත් කිසිවකුත් නොසිතූ පරිදි එක් අමාත්‍යවරයකු පමණක් ඊට එරෙහිව අදහස් පළකළ ආකාරයක් දැකගත හැකි විය. ඒ, වෙන කවුරුවත් නොව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාය. නලින් කියා සිටියේ විදුලි බිල දෙවතාවක් ඉහළ නංවා තිබියදී තවත් වතාවක් ඉහළ නැංවීමට කටයතු කළහොත් ඊට එරෙහිව විශාල ජනතා විරෝධයක් මතුවීම වැළැක්විය නොහැකි යැයි කියාය.
බිස්නස් වැටේවි!
‘කලින් අපි දෙපාරක් ලයිට් බිල වැඩි කළා. ඒ වෙලාවේ අපි කිව්වේ ආයෙත් විදුලි බිල වැඩිකරන්නෙ නෑ කියලයි. මොකද මේ වෙලාවේ මිනිස්සු හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. ආයෙත් ලයිට් බිල වැඩි කළොත් මිනිස්සුන්ට මොනවත් කරගන්න බැරි වේවි. ව්‍යාපාර කඩන් වැටේවි…’ යනුවෙන් නලින් කියාගෙන යද්දී ඇමැතිවරු සියලු දෙනා එය අසාගෙන සිටියා විනා නලින්ට පක්ෂව අදහස් දක්වන්නට ගියේ නැත. ඒ අනුව අවසානයේදී විදුලි බිල ඉහළ නැංවීමේ යෝජනාව විදුලිබල මණ්ඩලය හරහා මහජන උපයෝගිතා කොමිසමට යැවීමට ආණ්ඩුව පියවර ගත්තේය.
මරික්කාර්ගේ විරෝධය!
කෙසේ වෙතත් මේ බව ඉකුත් බ්‍රහස්පතින්දා වන තෙක්ම නිල වශයෙන් එළියට නොආවද බදාදා දිනය වන විට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මෙවැනි සිදුවීමක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා විය. ඒ අනුව සජබ මාධ්‍ය ප්‍රකාශක එස්.එම් මරික්කාර් මහතා පළමුව මේ බව රටට හෙළිකරමින් ආණ්ඩුව විදුලි බිල ඉහළ නැංවීමට සැලසුම් කර තිබෙන බව කියා සිටියේය. එහිදී විදුලි පාරිභෝගිකයන් කිහිප දෙනකුම සිය බිල්පත් පෙන්වමින් මාධ්‍ය හමුවේ කියා සිටියේ නැවත වතාවක් විදුලි බිල ඉහළ දැමීමට සූදානම් වුවහොත් ඊට විරෝධය පා පාරට බැසීමට සූදානම් බවකි.