කොළඹ මැගසින් බන්ධනාගාරයේ නිලධාරීන් දෙදෙනකු රැඳවියන් දෙදෙනකු හා එක්ව සිදුකළ බව කියන පහරදීමකින් එම බන්ධනාගාරයේ රැඳවියකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Sri Lanka Latest News
මෙලෙස මියගොස් ඇත්තේ 54 හැවිරිදි මහරගම ප්‍රදේශයේ පදිංචි හේවාධීර දොන් ගැමුණුජිත් නම් එක්දරු පියකි.
මොහු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව යටතේ පසුගිය මස 23 වැනිදා මහරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මෙම සැකකරු සතුව අයිස් මත්ද්‍රව්‍ය ඇති බවට මතුවූ සැකයක් මත බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු ඔහු පරීක්ෂා කිරීමට පසුගිය 26 වැනිදා උත්සාහ දරා තිබේ.
එම අවස්ථාවේදී ඔහු එම අයිස් මත්ද්‍රව්‍ය ගිලීමත් සමග අදාළ නිලධාරීන් දෙදෙනා තවත් රැඳවියන් දෙදෙනකු සමග එක්ව ඔහුට අමානුෂික ලෙස පහරදී ඇති ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි.
පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ සැකකරු බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබිණි. ඔහු එලෙස ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා (16 වැනිදා) මියගොස් තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය පරික්ෂණ ආරම්භ කළ අතර මේ පිළිබඳ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.
ඔවුන් පවසා ඇත්තේ, මියගිය පුද්ගලයා බන්ධනාගාර නිලධාරීන් දැක ඔහු සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය මුඛයට දමා ගිලගත් බවයි. පසුව බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු විසින් තවත් රැඳවියන් දෙදෙනකු සමග එක්ව ඔහුට අමානුෂික ලෙස පහරදී වමනය කරවීම සඳහා ලුණු මිශ්‍ර වතුර බෝතල් දෙකක් පෙවූ බවද සිද්ධිය ඇසින් දුටු රැඳවියන් විමර්ශන නිලධාරීන් හමුවේ සාක්ෂි ලබාදෙමින් පවසා ඇත.
අනතුරුව සිද්ධිය වූ මැගසින් බන්ධනාගාරය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් සම්පත් ජයවර්ධන විසින් පරීක්ෂා කළ අතර දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (18 වැනිදා) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබිණි.
පහරකෑමෙන් මියගිය පුද්ගලයාගේ බිරිය වන රසිකා සංජීවනී පැවසුවේ, තම සැමියාගේ සිරුරේ තුවාල පැල්ලම් රැසක් දැකගැනීමට ලැබුණු බවයි. ඔහු පහරකෑමෙන් අනතුරුව බොහෝ වේලාවක් රෝහල්ගත නොකර බන්ධනාගාරය තුළ රඳවාගෙන සිට ඇති බවද ඇය සඳහන් කළාය.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන විදානගේ හා අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිරෝෂ් වික්‍රමරත්න යන නිලධාරීහු සිදුකරති.










