මෙරට පැවැත්වෙන විරෝධතා පාලනය කිරීමේ දී පොලිසිය කටයුතු කරන ආකාරය ජාත්‍යන්තර නීතීන්ට සහ ප්‍රමිතීන්ට අනුකූල නොවන බවයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය(Amnesty International) කියන්නේ. ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවකට අනුව 2022 වසරේ මාර්තු මාසයේ සිට 2023 වසරේ ජුනි මාසය දක්වා මෙරට පවත්වා ඇති විරෝධතා සංඛ්‍යාව 30ක්. එයින් 17ක් පොලිසිය විසින් මර්දනය කිරීම ජාත්‍යන්තර නීතීන්ට සහ ප්‍රමිතීන්ට අනුකූල නොවූ බවයි මෙම වාර්තාව මගින් වීඩියෝ සාක්ෂි සහිතව පෙන්වා දී ඇත්තේ.Sri Lanka Latest News
ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම පැවැරී ඇති නිලධාරීන්, ප්‍රචණ්ඩ ලෙස විරෝධතා මර්දනය කරමින් මානව හිමිකම් කඩ කරන බව අදාළ වාර්තාවේ සඳහන් කෙරෙනවා.
මෙරට පැවති සිවිල් යුද්ධය අතරතුරදී බලහත්කාරයෙන් අතුරුදහන් කරවනු ලැබූවන්ගේ ඥාතීන් විසින් 2017 වසරේ සිට අඛණ්ඩව සාමකාමී විරෝධතා සංවිධාන කරන අතර, උතුරු – නැඟෙනහිර පළාත්වල ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ විසින් නිරන්තරයෙන් සිදු කරනු ලබන සෝදිසි කිරීම්, බිය ගැන්වීම් සහ හිරිහැර කිරීම් පිළිබඳව ද අදාළ වාර්තාවෙන් අනාවරණ කර තිබෙනවා. උතුරේ සන්නද්ධ අරගලය යුදමය වශයෙන් පරාජය කර වසර 15කට පසුවත් එම පළාත් දැඩි ලෙස හමුදාකරණය වී පවතින බවයි ජාත්‍යන්තර ක්ෂමා ආයතන පෙන්වා දෙන්නේ.
මුලතිව් දිස්ත්‍රික්කයේ පමණක් 60,000ක් පමණ හමුදා භට පිරිසක් ඉතිරිව සිටින බව ද අදාළ වාර්තාවේ දැක්වෙනවා. එම කලාපයේ සෑම සිවිල් වැසියන් දෙදෙනකු සඳහාම එක් සොල්දාදුවකු යොදවා ඇති අතර, එය ලෝකයේ වැඩියෙන්ම හමුදාකරණය වූ ප්‍රදේශවලින් එකක් බවට පත්ව ඇති බවයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අනාවරණ කරනවා. හමුදාව දිගින් දිගටම සාමාන්‍ය ජනයාට අයත් ඉඩම් අල්ලාගෙන සිටීම හේතුවෙන් දෙමළ ජනයා දහස් ගණනක් අවතැන්ව ඇති බව එහි සඳහන් වන්නේ.
ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් උල්ලංඝණය කරමින්, පොලිසිය විසින් විරෝධතාකරුවන්ගේ පිටුපස සිට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සිය වාර්තාවේ දක්වනවා.
කඳුළු ගෑස් භාවිත කිරීමේ දී ප්‍රමාණවත් පූර්වාරක්ෂක පියවර අනුගමනය නොකරමින් පොලීසිය දිගින් දිගටම පාසල් අසල සහ පැහැදිලි පිටවීමක් නොමැති ප්‍රදේශවලට කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එමඟින් විරෝධතා වලට කිසිඳු සහභාගිත්වයක් නොමැති ළමයින් සහ අවට සිටින පිරිස් නිකරුණේ රසායනික ද්‍රව්‍යවල බලපෑමට නිරාවරණය වූ බව, මෙම වාර්තාවෙන් හෙළිදරව් වනවා.
“ආරම්භයේ සිටම, ශ්‍රී ලංකා පොලීසිය 2022 – 2023 විරෝධතා වෙත ප්‍රවේශ වූයේ ඒවා නීති විරෝධී සහ ප්‍රචණ්ඩකාරී වනු ඇති බවත් ඒවා මර්දනය කිරීමට බලය යෙදවිය යුතු බවත් උපකල්පනය කරමින්. සාමකාමීව උද්ඝෝෂණ කිරීමට මිනිසුන්ට අයිතියක් ඇති බවත්, විරෝධතා සඳහා පහසුකම් සැළසීමට සහ විරෝධතා ආරක්ෂා කිරීමට බලධාරීන්ට යුතුකමක් ඇති බවත් හඳුනා ගැනීමට පොලිසිය අසමත් වී තිබේ. ඒ වෙනුවට ඔවුන් බොහෝ දුරට සාමකාමී විරෝධතාකරුවන් ඉලක්ක කර, ලුහුබැඳ ගොස් පහර දී ඇත” යි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය හි දකුණු ආසියා කලාපීය අධ්‍යක්ෂ ස්මෘති සිං කියනවා.
විරෝධතා පාලනයට හමුදාව යෙදවීම සාමාන්‍යයෙන් සුදුසු නැති බව පෙන්වා දෙන වාර්තාව, එසේ තිබියදීත්, රටේ දකුණේ විරෝධතා කිහිපයක දී ම ඒවා මර්දනයට හමුදා නිලධාරීන් යෙදවීම දක්නට ලැබුණු බව ප්‍රකාශ කරනවා.
සාමකාමීව රැස්වීමේ නිදහස සඳහා ඇති අයිතිය ආරක්ෂා කිරීමටත් ඒ සදහා අවශ්‍ය පහසුකම් සැලසීමට ක්‍රියාකිරීමටත් ශ්‍රී ලංකා බලධාරීන් යොමු කිරීමට, තමන් සතු සියලුම ද්විපාර්ශ්වික, බහුපාර්ශ්වික සහ කලාපීය ඉඩ ප්‍රස්ථා භාවිතා කරන මෙන් ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සහයෝගීතාවයන්හි නියැලී සිටින ආණ්ඩු ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සංවිධානය ඉල්ලා සිටිනවා.