පසුගිය කාලයේ දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රකට කියමනක් වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ‘උන් ඔක්කොම යාළුවො මල්ලි’ යන්නය.Sri Lanka Latest News
එය ජනතාව අතර වඩාත් ප්‍රචලිත වූයේ තට්ටු මාරු ක්‍රමයට පැවැති රජයන් සියල්ලම පසුගිය ආණ්ඩුවල හොරු අල්ලන බව ප්‍රකාශ කොට බලය ලබාගත්තත්, බලය ලබාගැනීමෙන් පසු ඒ සියල්ල අමතක කර දමා ඔවුන් චෝදනා කළ හොරුන් සමගම අත්වැල් බැඳගෙන ආණ්ඩු කිරීමට කටයුතු කිරීම නිසාය.
මේ නිසා පසුගිය මහ මැතිවරණයේදී ජනතාව ජාතික ජන බලවේගය ප්‍රමුඛ මාලිමා ආණ්ඩුවට බලය දුන්නේ ඒ හොරුන් අල්ලා හිරේ දමන බවට මාලිමාවේ ප්‍රධානීන් රටට දුන් පොරොන්දුව නිසාය.
නමුත් කනගාටුවට කරුණ වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම හොරු බව කියමින් තම ආණ්ඩුවක් බලයට පත්වූ සැණින් එම හොරුන්ට එරෙහිව පියවර ගන්නා ලෙස මාලිමාවේ ප්‍රධානීන් විපක්ෂයේ සිටියදී අවධාරණය කළද මෙතෙක් පසුගිය ආණ්ඩුවේ බරපතළ චෝදනා එල්ල වූ කිසිවකුට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කොට ඇති බවක් දැකගන්නට නොමැති වීමය.
විශේෂයෙන්ම 2015 -2019 යහපාලන ආණ්ඩු සමයේ සිදුවූ කුප්‍රකට බැඳුම්කර ගනුදෙනුවේ මහමොළකරුවන් ඇල්ලීම කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉකුත් ආණ්ඩු සමයේ ගෙවුණු වසර දෙකක පමණ කාලය තුළ සිදුව ඇතැයි කියන බරපතළ වංචා දූෂණ සම්බන්ධයෙන් හෝ වගකිව යුතු කිසිවකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
උදාහරණයක් ලෙස ඉකුත් ආණ්ඩු සමයේ සිදුවූ විදෙස් ගුවන් ගමන් බලපත්‍ර ගෙන්වීමේදී සිදුව ඇතැයි කියන බරපතළ මූල්‍ය වංචාව, ඉඩම් අත්පත් කරගෙන ඇති බවට එල්ල වී ඇති චෝදනා, විදෙස් රැකියාවන්ට පුද්ගලයන් යවන බව දැනුම් දී කෝටි ගණන් මුදල් උපයා ඇති බවට එල්ල වී ඇති චෝදනා, ගෑස් ගෙන්වීමේදී සිදුව ඇතැයි කියන වංචා දූෂණ චෝදනා සහ විද්‍යුත් වාහන ගෙන්වීමේදී සිදුව ඇතැයි කියන චෝදනාවන්ට සම්බන්ධ ඉහළ පෙළේ පුද්ගලයන් කිසිවකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
ඒ අනුව විපක්ෂයේ සිටියදී කී පරිදි මෙම දූෂණ චෝදනා එල්ල වී ඇති පුද්ගලයන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, දුන් පොරොන්දු ඉටු කරන ලෙසත් මහජනතාව ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.










