ජපාන අගමැති ෂිගේරු ඉෂිබා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.Sri Lanka Latest News
68 හැවිරිදි ඉෂිබා එරට වේලාවෙන් අද (07) සවස 6.00ට පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී සිය තීරණය තහවුරු කර ඇත.
එහිදී ඔහු පවසා ඇත්තේ, තම පක්ෂය ලැබූ මැතිවරණ පරාජයන්හි වගකීම තමන් භාරගන්නා බවය.
පක්ෂය තුළ භේදීමක් ඇතිවීම වැළැක්වීම සඳහා තමා ජපාන අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ෂිගේරු ඉෂිබා ප්‍රකාශ කර තිබේ.
අද දවස පුරා බටහිර ලෝකයේ ප්‍රධාන මාතෘකාවක් වූයේ ජපාන අගමැතිවරයාගේ මෙම ඉල්ලා අස්වීමට ගෙන තිබූ තීරණයයි.
ඔහුගේ එම තීරණය ලොව සිව්වන විශාලම ආර්ථිකය හිමි ජපානය තුළ නව දේශපාලන අවිනිශ්චිතතාවක් ඇති කරනු ඇති බව විදෙස් වාර්තාවන්හි දැක් වේ.
ඉකුත් ජූලි මාසයේ පැවති ජපාන මැතිවරණයෙන් සිය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ප්‍රමුඛ සන්ධානය ඓතිහාසික පරාජයක් ලැබීමත් සමග අග්‍රාමාත්‍ය ඉෂිබා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ඔහුගේ පක්ෂය තුළින්ම මත ඉදිරිපත් විය.
විශේෂයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ අන්ත දක්ෂිණාංශිකයන් ඉෂිබාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කළේය.
ජපානයට බාහිරව සහ අභ්‍යන්තරව අභියෝග එල්ල වෙමින් තිබෙන අවස්ථාවක අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වුවහොත් ජපානය තුළ දේශපාලන අර්බුදයක් නිර්මාණය විය හැකි බව පවසමින් එම ඉල්ලීම් ඉෂිබා මුලදී ප්‍රතික්ෂේප කළේය.
කෙසේ වෙතත් ජීවන වියදම ඉහළ යෑම හේතුවෙන් සිය ඡන්දදායකයින්ගෙන් එල්ල වූ පීඩනය, අමෙරිකානු වෙළෙඳ ගිවිසුම වැනි හේතුන් ද ඔහුගේ ඉල්ලා අස්වීමේ තීරණයට බලපා ඇත.










