වසරකට ආසන්න කාලයක් පුරා ඇදී ගොස් තිබුණු සයිප්‍රසයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ ගමන් බලපත්‍ර අලුත් කිරීමේ ගැටලුවක් විසදා දීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත.
සයිප්‍රසයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 500කට අධික ප්‍රමාණයක් මෙසේ සිය විදේශ ගමන් බලපත්‍ර අලුත් කිරීම සදහා මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබුණද වසරකට ආසන්න කාලයක් පුරා එය ඉටුවී තිබුණේ නැත.
ඒ අනුව සයිප්‍රසයේ වෙසෙන ශ්‍රී ලාංකික කතක් වූ නිරෝෂණී වික්‍රමරත්න මේ සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.
පසුව විපක්ෂනායකවරයා මෙම ප්‍රශ්නය විමසා බලා ආගමන විගමන පාලකවරයා වූ හර්ෂ ඉලුක්පිටිය මහතා දුරකතනයෙන් සම්බන්ධ කරගෙන මාර්ගගත ඇමතුමක් ඔස්සේ සයිප්‍රසයේ සිටින මෙම පිරිස සමග සාකච්ඡා කොට තිබේ.
එම සාකච්ඡාවේදී අදාළ ගැටලුව කඩිනමින් විසදා දීමට ඉලුක්පිටිය මහතා පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් මව්රට පුවත්පත සමග සයිප්‍රසයේ සිට සම්බන්ධ වූ නිරෝෂණී වික්‍රමරත්න මෙසේ අදහස් පළ කර සිටියේය.
‘සයිප්‍රස්වල වීසා ඇතිව ඉන්න ලාංකිකයන් විශාල පිරිසක් තමන්ගේ ගමන් බලපත්‍ර අලුත් කරගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවට එවලා තිබුණා. සමහර ඒවා මාස 10ක් ගතවෙලා තිබුණා. නමුත් වැඩේ කෙරිලා තිබුණෙ නෑ. පස්සෙ මම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නොම්මරේ හොයාගෙන එතුමට කතා කරලා අපේ ප්‍රශ්නය කිව්වා. එතුමා ඒ ගැන හොයලා බලලා ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහත්තයත් එක්ක කතා කරලා අපි කණ්ඩායමක් එක්ක ගෲප් කෝල් එකක් අරගෙන මේ ප්‍රශ්නය විසදන්න කටයුතු කළා. මේ වෙද්දි ඒ පාස්පෝට් සියල්ල අලුත් කරලා රෝමෙට තැපැල් කළා කියලා හර්ෂ ඉලුක්පිටිය මහත්තයා අපිට දැනුම් දීලා තියෙනවා. අපි මේ ප්‍රශ්නය විසදන්න විපක්ෂනායකතුමා මැදිහත් වීම ගැන එතුමට ස්තූති කරනවා..’ යැයි ඇය සදහන් කර සිටියාය.
Sajith Cyprus