හැමෝම පිළිගන්න මත විමසුමෙන් සජිත් ඉදිරියෙන්!
ප්‍රබල මන්ත්‍රීට අමෙරිකාව දොර වහයි!
උවිඳු-විමල් එක පාරක යන ලකුණු!
කුලියාපිටි එජාප රැස්වීමේ කචල් පිට කචල්!
මත විමසුමේ බොරුව
පසුගිය කාලයේදී මෙරට දේශපාලනය පමණක් නොව ජාත්‍යන්තර දේශපාලනය පවා කලඹාලූ ආචාර්ය රවි රන්නන් එලිය නමැත්තකු විසින් සිදුකරනු ලැබූ මත විමසුමක් පිළිබඳ අවස්ථා කිහිපයකදීම අපි මෙම තීරය ඔස්සේ වරින් වර තොරතුරු වාර්තා කළෙමු. එහිදී අප කියා සිටියේ මෙරට දේශපාලනය පිළිබඳ හාංකවිසියක් හෝ නොදන්නා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මත විමසුම් සිදුකළ අයකු ලෙස සැලකෙන මේ රන්නන් එලිය නමැත්තා දුරකතන මාර්ගවලින් තෝරාගත් 500 දෙනකුට කතා කොට මත විමසුමක් සිදුකොට ඇති බවත්, ඒ හරහා මෙරට දේශපාලන පක්ෂවලට ඉදිරි ජනාධිපතිවරණයේදී ලැබෙනු ඇති බවට උපකල්පනය කර ඇති ඡන්ද ප්‍රතිශතයන් ගණනාවක් ප්‍රකාශ කර ඇති බවත්ය. එහිදී පළමු මත විමසුමෙන් රන්නන් එලිය ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට 39%ක ඉහළ ප්‍රතිශතයක් ලබාදී තිබූ අතර සමගි ජන බලවේගයට 27%කුත්, එජාපයට 10%කුත් ලබා දීමට පියවර ගෙන තිබිණ. ඒ හරහා රන්නන් එළිය ජවිපෙ පරාජය කිරීමට නම් සජබය සහ එජාපය එක්විය යුතු බවට මතයක් නිර්මාණය කොට තිබිණි. ඊට එකල ආණ්ඩුව පැත්තෙන් දැවැන්ත ප්‍රචාරයක් ලබාදී තිබූ අතර, මෙරට ප්‍රවීණ දේශපාලන විචාරකයන් යැයි කියාගන්නා බොහොමයක් දෙනා මේ රන්නන් එලිය කවුද, ඔහු කරන්නේ මොනවාද යන්න පිළිබඳ කිසිදු සොයාබැලීමක් නොමැතිව මෙම මතවිමසුමේ තිබූ තොරතුරු තමන්ගේ දේශපාලන ලිපිවලට යොදාගෙන මහා පල් හෑලි ලියූ ආකාරයක් දැකගත හැකි විය.
එමෙන්ම පුදුමයට කාරණාව වන්නේ ‘ද හින්දු’, ‘එන්.ඩී.ටී.වී.’ වැනි ප්‍රධාන පෙළේ ඉන්දීය මාධ්‍ය නාලිකා පවා රන්නන් එලිය නමැත්තා විසින් සිදුකරනු ලැබූ මෙම මත විමසුමේ තොරතුරු උපුටාගෙන සිය මාධ්‍යයන්හි පළකිරීමට පියවර ගෙන තිබීමය. ඒ අනුව, සියල්ලන්ම රන්නන් එලිය පිළිබඳ සොයා නොබලා ඔහුගේ මත විමසුමේ තොරතුරුවලට ප්‍රසිද්ධියක් දෙද්දී ‘රාජ්‍ය රහස්’ තීරය මේ රන්නන් එලිය කවුරුන්ද යන්න පිළිබඳ සොයා බැලීමක නිරත විය. එහිදී රන්නන් එලියගේ තොරතුරු රටට අනාවරණය කරමින් අප පෙන්වා දුන්නේ මෙය මතවිමසුම සම්පූර්ණයෙන්ම අසත්‍ය තොරතුරු මත පදනම්ව යම් දේශපාලන අරමුණක් ඉටුකර ගැනීම පෙරදැරිව නිර්මාණය කරන ලද එකක් බවය. තවදුරටත් අප පෙන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය විසින් රන්නන් එලිය නමැත්තා හසුරුවන බවත්, ජවිපෙ ඉහළට පැමිණ ඇති බව රටටත්, විපක්ෂයටත් පෙන්වා ඒ හරහා ජවිපෙ පරාජය කිරීමට නම් එජාපය සහ සජබය එකතු විය යුතු බවට වූ මතවාදය රට ඇතුළේත්, සජබය ඇතුළේත් පැලකිරීම සඳහා මෙම උපායමාර්ගය යොදාගෙන ඇති බවත්ය.Sri Lanka Latest News
ටිල්විනුත් ගත්තා
කෙසේ වෙතත් අප එම අනාවරණය කිරීමෙන් පසු 37%ක ප්‍රතිශතයක් තිබූ ජවිපෙ අනුරව එක් වරම 51% දක්වා ඉහළ නැංවීමට කටයුතු කළ රන්නන් එලිය, ඉන් අනතුරුව මත විමසුම් සිදුකිරීම තාවකාලිකව නවතා දැමූ බවක් දැකගන්නට ලැබිණි. ඒ අවස්ථාවේදී දේශපාලන වාසිය තකා දේශපාලන පරිණතභාවයක් ඇති අයකු ලෙස සැලකෙන ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවා රන්නන් එලියගේ මෙම මත විමසුම්වල ප්‍රතිඵල දේශපාලන වේදිකාවල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ආකාරයක් දැකගත හැකි විය.
නියම මතවිමසුම එළියට ආවා
මැතිවරණ ආසන්න වෙද්දී මෙවැනි හතු පිපෙනවාක් මෙන් මාධ්‍ය වෙත නිකුත් කරනු ලබන මත විමසුම් කොතෙක් තිබුණද, ඉතා නිවැරැදිව, පිළිගත හැකි ආකාරයට, ඉහළ නිරවiතාවකින් යුතුව සිදුකරනු ලබන මත විමසුම්ද නැතුවා නොවේ. බොහෝ විට බුද්ධි අංශ සහ තානාපති කාර්යාල මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මත විමසුම් සඳහාම වෙන්වූ ආයතනද මේ ආකාරයට මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් යම් පුරෝකථන කොට මත විමසුම් සිදුකරන ආකාරයක් දැකගත හැකිය. ඒවා රන්නන් එලිය සිදුකළ ආකාරයේ 100කට 200කට දුරකතන ඇමතුම් ලබාදී සිදුකරන ඒවා නොව, පළාත් වශයෙන්, දිස්ත්‍රික්ක වශයෙන්, නගර වශයෙන්, ස්ත්‍රී පුරුෂ වශයෙන්, බාල, මහලු, තරුණ වශයෙන්, රැකියා යනාදී වශයෙන් සියලු කුලකයන් ආවරණය වන ආකාරයට 5000 ඉක්මවා යන ආකාරයේ නියැදියක් තෝරාගෙන සිදුකරන මත විමසුම් ලෙස ක්ෂේත්‍රයේ ප්‍රකටය. මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් පළමු වරට හෙළිදරව් කිරීමට යන්නේ ඒ ආකාරයේ ඉතා වගකීමකින් යුතුව ජාත්‍යන්තර මට්ටමේ ආයතනයක් විසින් සිදුකරනු ලැබූ විශේෂ මත විමසුමක තොරතුරු පිළිබඳවය. මෙම මත විමසුමේ සම්පූර්ණ තොරතුරු මේ වන තෙක් ප්‍රසිද්ධියට පත්කර නැතත්, එහි සංක්ෂිප්තයක් පසුගිය සඳුදා දිනයේදී මෙරට විවිධ පාර්ශ්ව අතට පත්වී තිබිණි. එම තොරතුර ආණ්ඩුවේ ඉහළම තැන්වලට පමණක් නොව, තානාපති කාර්යාලවලටද, විපක්ෂයේ දේශපාලනඥයන් කිහිප දෙනකු අතටද පත්ව තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණි. එහි අවසන් වාර්තාව තවමත් ‘රාජ්‍ය රහස්’ තීරයට ලැබී නොමැති වීම හේතුවෙන් එය අප විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකරන නමුත්, එහි සංක්ෂිප්ත තොරතුරු පිළිබඳ ඉතා වගකීමෙන් යුතුව ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ මෙරට පාඨකයන්ගේ දැනගැනීම සඳහා පළකිරීමට මෙවර අප සූදානම්ය.
සජිත් ඉදිරියෙන්
ඒ අනුව මෙම මත විමසුමෙන් ඉතා පැහැදිලි ලෙසම අනාවරණ කොට ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සජබයට 39%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවන බවත්, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට 20%කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් හිමිවන බවත්ය. පසුගිය වතාවේ පැවැති ජනාධිපතිවරණයේදී 69 ලක්ෂයක ජනවරමක් ලබාගත් පොහොට්ටුවට මෙවර මැතිවරණයේදී හිමිවන්නේ 9%ක් බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයට හිමිවන්නේ 5%ක් පමණක් බවත්, තවත් අපේක්ෂකයන් කිහිප දෙනකුට 1%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් හිමිවන බවත් එම මත විමසුමෙන් අනාවරණ කොට තිබේ. මීට අමතරව එහි දැකගන්නට ඇති සුවිශේෂම කාරණය වන්නේ 24%ක ප්‍රතිශතයක් තවමත් සිය ඡන්දය ලබාදෙන්නේ කවරෙකුටද යන්න පිළිබඳ අවසන් තීන්දුවක් ගෙන නොමැති බවත්, කිසිදු අපේක්ෂකයකු තවමත් 50% සීමාව ඉක්මවා ගොස් නොමැති බවත්ය.
මෙම ප්‍රකට ආයතනය මෙකී මතවිමසුම සිදු කොට ඇත්තේ උතුරු නැගෙනහිර දෙපළාත නොමැතිවය. උතුරේ ඡන්දය පසෙකින් තබා නැගෙනහිර පළාත පිළිබඳව කතා කළහොත් එහි බලය හිමි රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් යන දෙදෙනාම මේ වනවිට සිටින්නේ සජිත් සමගය. එම ඡන්ද ප්‍රතිශතය සහ උතුරේ යම් ඡන්ද ප්‍රතිශතයක් ලබා ගතහොත් සජිත්ට පහසුවෙන්ම 50% ඉක්මවා යන ඡන්ද ප්‍රතිශයක් ගත හැකි බව මෙම ප්‍රතිපලයෙන් පැහැදිලිවම දැකගන්නට ඇති කාරණාවය.
මේ මත විමසුමට අනුව ඉතා පැහැදිලිව පෙනී යන්නේ දැනට ඇති තත්ත්වය යටතේ සජිත් සියල්ලන් අභිභවා පැහැදිලිවම ඉදිරියෙන් සිටින බවය. තවමත් මෙම මත විමසුමේ අවසන් නිල ප්‍රකාශය ප්‍රසිද්ධ කර නොමැති බැවින්, අප එහි නිල තොරතුරු ඉදිරිපත් නොකරන බවත්, එම මත විමසුම නිල වශයෙන් ප්‍රසිද්ධ කිරීමෙන් පසු සියල්ලන්ටම පළමුව අප එය ‘මව්රට’ ඔස්සේ රටට දැනුම් දීමට කටයුතු කරන බවත් මෙහිදී සඳහන් කළ යුතුව ඇත. ඒ අනුව පසුගිය සඳුදා වන විටම මෙම මත විමසුමේ ඇති තොරතුරු සියලු තානාපති කාර්යාලවල ස්ථාපිත කර ඇති දේශපාලන අංශවලට ලැබී තිබුණු බවක්ද රාජ්‍ය රහස් තීරයට ආරංචිය.
පැනිලි ඇරඹේ
මීට අමතරව පසුගිය කාලයේදී ප්‍රබල රටවල් දෙකක තානාපති කාර්යාල මගින්ද මේ ආකාරයේම දීපව්‍යාප්ත මත විමසුමක් සිදුකර තිබූ අතර, එමගින් ලැබුණු ප්‍රතිඵල සහ මෙම ස්වාධීන ආයතනය සිදුකර තිබූ මත විමසුමේ ප්‍රතිඵල බොහෝ සමපාත බවක් දැකගන්නට පුළුවන. ඒ අනුව ඉදිරි කාලසීමාවේදී ප්‍රධාන පක්ෂවල පිල් මාරුවීම් ඇතුළු ප්‍රබල වෙනස්කම් රැසක් සිදුවන ආකාරයක් දැකගැනීමට සියල්ලන්ටම හැකිවනු ඇත.
රනිලුත් හිටියේ මේක බලාගෙන
අප මීට පෙර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අවස්ථා කිහිපයකදීම වාර්තා කර සිටියේ ජනාධිපතිවරයා විසින්ද තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කිරීම සඳහා එක්තරා මත විමසුමක ප්‍රතිඵල ප්‍රකාශයට පත්වන තෙක් සිටින බවත්, ඒ අනුව මාර්තු අවසානයේදී හෝ අප්‍රේල් මුල සතියේදී සිය තීරණය ප්‍රකාශයට පත්කිරීමට සූදානමින් සිටින බවත්ය. අප ඒ අවස්ථාවේදී නම්ගම් නොකියා කියා සිටියේද ඉහත සඳහන් පිළිගත් ආයතනය මගින් සිදුකරනු ලබන මත විමසුමේ ප්‍රතිඵලය පිටවන තෙක් ජනාධිපතිවරයා කල් මරමින් සිටි බවකි. ජනාධිපතිවරයා මෙම ආයතනයේ මත විමසුම් ප්‍රතිඵල පිළිබඳ 100%ක් විශ්වාස කරන අයකු ලෙස ඉතිහාසයේ සිටම ප්‍රකටය. පසුගිය කාලයේ රනිල් දේශපාලන තීන්දු රැසක්ම ගෙන තිබුණේ මෙම ආයතනය මගින් සිදු කර තිබූ මතවිමසුම්වල අවසන් ප්‍රතිපල බලාය. එය හොඳහැටි වටහාගත හැකි උදාහරණ කිහිපයක්ද රනිල්ගේ මෑතකාලීන දේශපාලන ඉතිහාසයේ දැකගන්නට තිබේ. එක් උදාහරණයක් වන්නේ 2019 පැවැති ජනාධිපතිවරණයය. එය එක්සත් ජාතික පක්ෂයටත්, පොහොට්ටුවටත් ඉතා තීරණාත්මක එකක් වීම හේතුකොට ගෙන තම තමන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරාගැනීම සඳහා ප්‍රධාන පක්ෂ දෙකම මෙම ආයතනය මගින් සිදුකරන මත විමසුමේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කරන තෙක් කල් මරමින් සිටියේය. ඒ අවස්ථාවේදී එජාපයෙන් අපේක්ෂකත්වයට ඉදිරිපත් වීම සඳහා රනිල්, කරු, සජිත් යන තිදෙනාම සූදානමින් සිටි අතර, පොහොට්ටුවෙන් අපේක්ෂකත්වයට ඉදිරිපත් වීමට බැසිල්, ගෝඨා ඇතුළු කිහිප දෙනෙක්ද සූදානමින් සිටියහ.
සජිත් එදත් ඉදිරියෙන්
එහිදී මෙම මත විමසුමෙන් අනාවරණ කර තිබුණේ රනිල් එජාප අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් 7%ක් වැනි ප්‍රතිශතයක් ලබාගනු ඇති බවත්, කරු ඉදිරිපත් වුවහොත් 3%ක් වැනි ප්‍රතිශතයක් ලබාගනු ඇති බවත්ය. නමුත් සජිත් ඉදිරිපත් වුවහොත් 33%ක ප්‍රතිශතයක් ලබාගනු ඇති බවද එම මත විමසුමෙන් අනාවරණ කර තිබිණි. ඒ සමගම පොහොට්ටුවේ අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය ඉදිරිපත් වුවහොත් 31%ක ප්‍රතිශතයක් ලබාගනු ඇති බවද එම මත විමසුමෙන් අනාවරණ කර තිබිණි.
ඒ අනුව මෙම මත විමසුමේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමත් සමග එජාපය ඇතුළෙන් විශාල බලපෑමක් එල්ල වූයේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් සජිත්ව නම්කළ යුතු යැයි කියාය. අවසානයේදී රනිල්ටද සිදුවූයේ මෙම මත විමසුමට හිස නමා අකැමැත්තෙන් හෝ සජිත්ට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමටය. මහින්දටද ගෝඨාභයට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට සිදුවිය. මෙම මත විමසුම පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙරාතුව සිදුකොට තිබූ එකක් බැවින් ඒ වන විටත් සජිත් සිටියේ ගෝඨාභයට වඩා 2%ක් ඉදිරියෙනි. සජිත්ගේ එම ඡන්ද ගොඩට උතුරු නැගෙනහිර දෙමළ මුස්ලිම් ඡන්ද එකතු වූ විට පහසුවෙන්ම එම ප්‍රතිශතය 50% ඉක්මවා යෑමට අවස්ථාව ඇති බව පැහැදිලිවම පෙනිණි. නමුත් සියල්ල කනපිට පෙරලුණේ පාස්කු ප්‍රහාරය සිදුවීමත් සමගය. ඉන් අනතුරුව ආරක්ෂාව සම්බන්ධ කාරණය ඉස්මතු කරමින් පොහොට්ටුව හිටපු ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ගෝඨාභය ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවට ප්‍රකාශ කිරීමත් සමග සැලකිය යුතු ඡන්ද ප්‍රතිශතයක් ඔහුට ලැබුණු ආකාරයක් දැකගත හැකි විය. අනෙක් අතට 2019දී එම ආයතනය ප්‍රකාශයට පත්කළ මත විමසුමේ ජවිපෙ ගනු ඇති බවට අනුමාන කර තිබුණේ 4%ක ඡන්ද ප්‍රතිශතයකි.
රවිවත් අයින් කළා
ඒ, එක් උදාහරණයකි. මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයෙන් අප මෙම ආයතනය මගින් සිදුකරනු ලබන මත විමසුම පිළිබඳ රනිල් කෙතරම් විශ්වාසය තබා සිටිනවාද යන්න පිළිබඳ කියැවෙන තවත් උදාහරණයක් පළමු වතාවට හෙළිදරව් කිරීමට සූදානම්ය. ඒ, 2015 යහපාලන ආණ්ඩුව පිහිටුවීමෙන් පසු සිදුවූ ප්‍රධාන සිදුවීමක් මුල් කරගෙනය. එහිදී මහ බැංකු බැඳුම්කර වංචාව සිදුවීමෙන් පසු රට ඇතුළේ ඊට එරෙහිව විශාල මතවාදයක් ගොඩනැගීමට පොහොට්ටුව ප්‍රධාන විපක්ෂය කටයුතු කොට තිබිණි. එහිදී පොහොට්ටුව දැඩිව කියා සිටියේ එවක අගමැතිවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහත්, මුදල් ඇමැති රවි කරුණානායක ඇතුළු පිරිසක් ඊට වගකිව යුතු යැයි කියාය. ඒ අනුව බලාගෙන සිටියදීම වාගේ යහපාලන ආණ්ඩුවට රට ඇතුළේ තිබූ ජනප්‍රසාදය කඩාගෙන වැටෙන ආකාරයක් දැකගන්නට ලැබිණි.
ඒ අවස්ථාවේදී රනිල් ආණ්ඩුවේ ජනප්‍රියත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මේ කියන ප්‍රධාන සමාගමට මත විමසුමක් සිදුකිරීමට භාරදී තිබිණි. එහි ප්‍රතිඵලවලින් කියා තිබුණේ ආණ්ඩුවට එරෙහිව ඇති විරෝධය යම් තරමකින් හෝ සමනය කරගැනීමට නම් රවි කරුණානායක මහතා මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බවකි. ඒ අනුව, අගමැති රනිල්ද අවසානයේදී රවිව මුදල් ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කරනු ලැබුවේ එම මත විමසුමේ ප්‍රතිඵලයට අනුවය.
රනිල්ගේ තීන්දුව
ඒ අනුව ජනාධිපතිවරයා බොහෝ විශ්වාසය තබා ඇති ආයතනයක් මගින් ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ කර ඇති මෙම මත විමසුමේ ප්‍රතිඵලය මේ වනවිට ජනාධිපතිවරයාගේ අතට ලැබී ඇතිවාට කිසිදු සැකයක් නැත. ඒ අනුව ජනාධිපතිවරයා ඉදිරි සති කිහිපය ඇතුළත තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවාද, එසේත් නැත්නම් වෙනත් දේශපාලන තීන්දුවක් ගන්නවාද යන්න ප්‍රකාශයට පත්කරනු ඇත.
අනෙක් අතට මෙම මත විමසුම මගින් හෙළිදරව් කර ඇති ලොකුම තොරතුර වන්නේ පොහොට්ටුවේ සිදුව ඇති කඩාවැටීමය. පසුගිය ජනාධිපතිවරණයේදී 52%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබූ පොහොට්ටුවට මෙවර හිමිවනු ඇති බවට මත විමසුමෙන් අනාවරණ කර ඇත්තේ 7%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. ඒ අනුව පොහොට්ටුවද ඉදිරි සති කිහිපය ඇතුළත දේශපාලන තීන්දු රැසක් ගැනීමට නියමිතව ඇති බවද දැනගන්නට ඇත.
බැසිල් සද්දෙ දමයි
මාස කිහිපයක් ඇමෙරිකාවේ ගතකළ බැසිල් රාජපක්ෂ මහතා යළි ලංකාවට හදිසියේම පැමිණියේ පාර්ලිමේන්තුව ඇතුළේ දේශපාලන පෙරළියක් සිදුකිරීමට සහ ඒ හරහා මහ මැතිවරණයක් පැවැත්වීමේ සැලසුම ඇතිව බව ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ මීට සති දෙකකට පෙර අපි අනාවරණ කළෙමු. අප කළ අනාවරණය 100%ක් තහවුරු කරමින් බැසිල් පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී සිරස රූපවාහිනියට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් කියා සිටියේ පළමුව ජනාධිපතිවරණය තියනවාට වඩා මහ මැතිවරණයක් පවත්වන්නේ නම් තමන් ඊට කැමැති යැයි කියාය. ඊට හේතු වශයෙන් බැසිල් පෙන්වා දුන්නේ ජනාධිපතිවරණයක් පවත්වා ඉන් ජයගන්නා පක්ෂය ඊළඟ අවස්ථාවේ මහ මැතිවරණයක් පවත්වන විට අනෙකුත් දේශපාලන පක්ෂ හෝදාගෙන ගොස් ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂය ජයගන්නා බවත්, පළමුව මහ මැතිවරණයක් පැවැත්වූ විට එවැනි තත්ත්වයක් ඇති නොවී යම් තුලනාත්මක තත්ත්වයක් ඇතිවන බවත්ය. බැසිල්ගේ මෙම ප්‍රකාශය හරහා මීට දෙසතියකට පෙර අප කළ අනාවරණය 100%ක් තහවුරු වන බව ආරම්භයේදීම සඳහන් කර සිටියේ ඒ නිසාය.
අමුත්තෙක් ඇවිත්
කෙසේ වෙතත් පසුගිය සතියේ බැසිල් ලංකාවට පැමිණ මුලින්ම කළේ ජනාධිපතිවරයා මුණගැසී වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට පියවර ගැනීමය. එම සාකච්ඡාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වී සිටි බවත්, පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ දෙපාර්ශ්වය අතර සාකච්ඡා වූ බවත් සති අන්ත ඉංග්‍රීසි පුවත්පත්වල දේශපාලන ඕපාදූප තීරවලත්, වෙබ් අඩවිවලත් වාර්තා කිරීමට කටයුතු කොට තිබිණි. නමුත් නිවැරැදි තොරතුරු ලැබී නොතිබීම නිසාදෝ මේ කිසිදු මාධ්‍යයක් ජනාධිපතිවරයා හා බැසිල් – මහින්ද හමුවේ සිදුවූ විශේෂම සිදුවීම් කිහිපය වාර්තා කොට තිබුණේ නැත. මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප සූදානම් වන්නේ එම හමුවේදී සිදුවූ විශේෂම සිදුවීම් කිහිපය පාඨක ඔබ හමුවේ තැබීමටය.
මෙහිදී ජනාධිපතිවරයා හා බැසිල්ලා අතර සාකච්ඡාව ආරම්භ වී මද වේලාවක් යනවිට බැසිල් පුදුමයට පත්කරමින් විශේෂ අමුත්තකු පැමිණ සාකච්ඡාවේ අසුන්ගත් ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අමුත්තා අන් කවරකුවත් නොව මහින්දගේ දෙවැනි පුත්‍රයා වූ යෝෂිත රාජපක්ෂය. රාජපක්ෂ පවුලේ ප්‍රසිද්ධ දේශපාලනයේ නිරතව සිටින නාමල් රාජපක්ෂට හෝ ආරාධනා නොකොට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් යෝෂිත රාජපක්ෂට ආරාධනා කර තිබීමත්, එම ආරාධනය පිළිබඳ බැසිල් හාංකවිසියක් හෝ නොදැන සිටීමත් නිසා මෙම සිදුවීමෙන් බැසිල් විමතියටත්, කෝපයටත් පත්වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. සාකච්ඡාව ආරම්භ වී මද වේලාවක් ඉක්ම යෑමෙන් පසු අතරමැදදී යෝෂිත ප්‍රමාද වී සාකච්ඡා මේසයේ අසුන්ගැනිම නිසා බැසිල්ගේ කෝපය දෙගුණ තෙගුණ වී තිබූ ආකාරයක් දැකගත හැකි විය.
අපි කලිනුත් කිව්වා
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් යෝෂිතට ආරාධනා කර තිබුණේ පසුගිය කාලය පුරා යෝෂිත සමග පැවැති සමීප සම්බන්ධය නිසාය. මීට පෙර අප අවස්ථා කිහිපයකදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයන් කිහිපයක් කරමින් කියා සිටියේ ජනාධිපතිවරයා හා මහින්ද අතර කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී නිතර නිතර හමුවීම් පැවැත්වෙන බවත්, ඒ සියල්ල සංවිධාන කරන්නේ යෝෂිත හා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ සම්බන්ධීකරණයෙන් බවත්ය. එම නිසා සාගල හා යෝෂිත අතර සමීප හිතවත්කමක් ගොඩනැගී ඇති බවත්, මහින්ද හා ජනාධිපතිවරයා අතර පැවැත්වෙන හමුවීම්වලට යෝෂිතද සහභාගි වන බවත් අපි එහිදී පෙන්වා දුන්නෙමු. ඒ හිතවත්කම මත ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මෙම සාකච්ඡාවටද යෝෂිතට ආරාධනා කර තිබූ ආකාරයක් දැකගත හැකි විය.
වාදයක පැටලෙයි
මේ ආකාරයට සාකච්ඡාව අතරමැදදී යෝෂිතගේ පැමිණීමෙන් වික්ෂිප්ත වී සිටි බැසිල් එක් අවස්ථාවක සාකච්ඡාව මැදදී තරමක් උස් හඬින් ජනාධිපතිවරයා සමග වාදයක පැටලුනු ආකාරයක් දකගත හැකි විය. ඒ, ආණ්ඩුව පොහොට්ටුවේ වුවද පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට හා පාක්ෂිකයන්ට ආණ්ඩුවෙන් නිසි සැලකීමක් නොලැබෙන බව කියමිනි.
‘ආණ්ඩුව අපේ. ජනවරම තියෙන්නේ අපිට. ඒ නිසා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට පාක්ෂිකයන්ට සලකන්න ඕනේ. නමුත් ඒක මේ වෙද්දී සිද්ධ වෙන්නේ නෑ. ඒ ගැන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට ලොකු කලකිරීමක් තියෙනවා’ යනුවෙන් කියමින් බැසිල් තරමක් උස් හඬින් කතා කරද්දී රනිල්ද ඊට තරමක් උස් හඬින් පිළිතුරු ලබාදුන් ආකාරයක් දැකගත හැකි විය. ‘මම එහෙම කළේ ඒ වෙද්දී රට ඇතුළේ පොහොට්ටුවට ලොකු විරෝධයක් මතුවෙලා තියෙන නිසා. මේ වෙලාවේ පොහොට්ටුවට තවත් ඇමැතිකම් දෙන්න ගියොත් ඒ විරෝධය ආපහු ඇතිවෙන්න පුළුවන්’ යැයි කියමින් ජනාධිපතිවරයා පිළිතුරු දෙද්දී බැසිල්ද ඒ ස්වරයෙන්ම නොකියා කියා සිටියේ ජනාධිපතිවරයා මෙම තනතුරේ සිටින්නේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දය නිසා යැයි කියාය.
ඒ ආකාරයට මෙම උණුසුම් සංවාදය එතැනින් අවසන් වුවද මෙම සිදුවීම හරහා ආණ්ඩුව ඇතුළේ තවත් අර්බුද ගණනාවක ආරම්භයක් සනිටුහන් කොට ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. බැසිල් සිරසට මහ මැතිවරණයක් පවත්වන්නේ නම් තමන් කැමැති බවට ප්‍රකාශයක් කළේද මෙම උණුසුම් හමුවෙන් පසුවය. නමුත් විශේෂම සිදුවීම වන්නේ මේ කිසිදු පුවතක් එකදු පුවත්පතක් හෝ වාර්තා කර නොතිබීමය.
යෝෂිතට ආ ඇමැතුම
මීට අමතරව මෙම හමුවෙන් පසු සිදුවූ තවත් විශේෂ සිදුවීමක්ද වාර්තා කිරීමට අප සූදානම්ය. ඒ, සාකච්ඡාවෙන් පසු යම් පුද්ගලයකුගෙන් යෝෂිතට ලැබුණු දුරකතන ඇමතුමක් පිළිබඳවය. එහිදී ඇමතුම ලබාදුන් පුද්ගලයා යෝෂිතට පවසා තිබුණේ සාකච්ඡාවේදී බැසිල් කතා කළ විලාසය පිළිබඳ ජනාධිපතිවරයා නොසතුටෙන් පසුවන බවය. බැසිල් එසේ කතා කරද්දී යෝෂිත නිහඬව සිටීම පිළිබඳවත්, මහින්ද හෝ එය සමතයකට පත් කිරීමට ලොකු උත්සාහයක් නොදැරීම පිළිබඳවත් එහිදී යෝෂිතට අප්‍රසාදයෙන් යුතුව මෙම පුද්ගලයා අදහස් දක්වා ඇති බවත් ආරංචිය.
පෙරළි ඇරඹේ
කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් පසු මාධ්‍යයට වාර්තා නොවුණු සිදුවීම් බොහොමයක් බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොහොට්ටුවේ ප්‍රධාන කාර්යාලය තුළ පෙළගැසෙමින් තිබිණි. ඉන් ප්‍රධානතම සිදුවීම වූයේ පොහොට්ටුව ඉතා ඉක්මනින් දේශපාලන තීන්දුවක් ගැනීම සඳහා සූදානම් විය යුතු බවට වූ පණිවුඩය බැසිල්ගෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට ඉදිරිපත් වීමය. අප මේ තීරයෙන් කලින් අනාවරණ කොට තිබූ පරිදි බැසිල්ද සිය දේශපාලන තීන්දු තීරණ ගන්නේ නිකම් ආවාට ගියාට නොව තමන් විසින්ම සිදුකරන ගම් මට්ටමේ බිම් මට්ටමෙ මත විමසුම් මූලික කොටගෙනය. බැසිල් මෙම මත විමසුම් සිදුකරන ලෙසට සිය කණ්ඩායමට දැනුම් දී තිබුණේ ඇමෙරිකාව බලා පිටත්ව යෑමට පෙරාතුවය. එහි ප්‍රතිඵල බැසිල්ගේ අතට පත්ව තිබුණේ ඇමෙරිකාවෙ සිටියදීමය. ඒ ප්‍රතිඵලවලට අනුව ඉහළින්ම සිටින්නේ සජිත් ප්‍රමුඛ සජබය බව බැසිල්ට මතවිමසුම්කරුවන් විසින් වාර්තා කොට තිබිණ. පොහොට්ටුව සිටින තැනද බැසිල්ට දැනුම් දීමට ඔවුන් කටයුතු කොට තිබිණ. මේ නිසා ඡන්ද සටනකදී පොහොට්ටුවට තව ඉහළට පැමිණීමට නම් මහන්සි වී වැඩ කළයුතු බවද බැසිල් දනී. බැසිල් ලංකාවට පැමිණියේද ඒ උපාය උපක්‍රම සියල්ල සකස් කරගෙන ඒවා ක්‍රියාවේ යෙදවීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගෙනමය.
එමෙන්ම ජනාධිපතිවරයා සමග පැවැති හමුවේදී බැසිල් උස් හඬින් ජනාධිපතිවරයාට කතා කිරීමට පෙළඹුණේ ඇයි? ඊට හේතුව වෙන මොකක්වත් නොව තමන් විසින් සිදුකළ මත විමසුමේදී සජබය සහ ජවිපෙ පොහොට්ටුවට වඩා ඉහළින් සිටියත් ජනාධිපතිවරයාට සහ එජාපයට අත්ව ඇති ඉරණම පිළිබඳ යම් ඉඟියක් බැසිල්ට ලැබී තිබුණු නිසාය.
පොහොට්ටුවෙන් අප්ක්ෂකයෙක්
ඒ අනුව මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප තවත් විශේෂ අනාවරණයක් සිදුකිරීමට සූදානම්ය. ඒ, නියත වශයෙන්ම ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුව අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට මේ වනවිට අවසන් තීන්දුවක් ගෙන ඇති බවය. එම අපේක්ෂකයා රාජපක්ෂවරයකු නොවන බවද ඉතා වගකීමෙන් යුතුව තහවුරු කිරීමට අප සූදානම්ය. ඒ සමගම පොහොට්ටුව මේ තියෙන තැනින් ඔසවා ඉහළට ගෙන ඒම සඳහා යම් විශේෂ තීන්දුවක්ද පොහොට්ටුව විසින් මේ වන විට ගනු ලැබ තිබේ. ඒ, මහින්දව නැවත වතාවක් ඉදිරියට ගැනීමටය. ගම් ඇතුළේදී පොහොට්ටුව යම් පසුබෑමක් ලබා තිබුණද තවමත් ගමේ ජනතාව මහින්ද කෙරෙහි යම් ආකර්ෂණයක් ඇති නිසා ඉදිරියේදී මහින්දගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුව නැවත වතාවක් ගමට බැසීමට තීන්දු කොට ඇති බවක්ද දැනගන්නට ඇත.
අනෙක් අතට තවදුරටත් පොහොට්ටුව ආණ්ඩුව ඇතුළේ අසුන්ගෙන සිටීම සම්බන්ධයෙන් මේ වන විට පොහොට්ටුව ඇතුළේ විශාල සංවාදයක් මතුව ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. බොහෝ දෙනා බැසිල්ට පෙන්වා දී ඇත්තේත්, බැසිල්ගේ ස්ථාවරය වී ඇත්තේත් තවදුරටත් ආණ්ඩු පක්ෂයේ අසුන්ගෙන සිටීමෙන් පොහොට්ටුවට කිසිදු සුගතියක් අත් නොවන බවකි. එම නිසා ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණයකට යෑමේ අවස්ථා මොනවාද යන්න පිළිබඳ මේ දිනවල පොහොට්ටු ප්‍රධානීන් තෝරමින් සිටින බවද දැනගන්නට තිබේ. එමෙන්ම හදිසි මහ මැතිවරණයක් පැවැත්වුවහොත් ජනාධිපතිවරයා සමග සිටින පොහොට්ටු ප්‍රධානීන් පිළිබඳ දැඩි තීන්දුවක් ගැනීමටද පොහොට්ටුව තීරණය කොට ඇත. එම පිරිස කවුරුන්ද යන්න දැනටමත් හඳුනාගෙන ඇති අතර, ඔවන්ට මහමැතිවරණයේදී නාමයෝජනා ලබා නොදීමටත්, ඔවුන් වෙනුවට ඒ ඒ දිස්ත්‍රික්කවල දෙවැනි පෙළ නායකයන් ඉදිරියට ගැනීමටත් පොහොට්ටුව තීන්දු කොට ඇති බවක්ද දැනගන්නට ඇත. ඒ අනුව ලබන සිංහල අලුත් අවුරුද්ද වන විට රට ඇතුළේ රතිඤ්ඤා ගිනිකෙළි පුපුරන සද්දවලට අමතරව ආණ්ඩුව ඇතුළේද ගිනිකෙළි සංදර්ශන දැකබලා ගැනීමට ජනතාවට හැකිවනු නොඅනුමානය.
උවිඳු-විමල් එක පාරක
අතීතයේ සිටම ජවිපෙ දේශපාලනය සිදුකෙළ් ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහිවය. ඒ ඉන්දිය විරෝධය කොතෙක්ද කියනවා නම් ජවිපෙ පන්ති පහෙන් එකක් ඉන්දීය ව්‍යාප්තවාදය සම්බන්ධයෙන් විය. නමුත් පසුගියදා සිදුකෙරුණු ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ හදිසි ඉන්දීය සංචාරයත් සමග ජවිපෙ ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහි සටන අතහැර දැමූ ආකාරයක් දැකගත හැකි විය.
කෙසේ වෙතත් ජවිපෙ ආරම්භක නායකයා වූ රෝහණ විජේවීර විසින් රටට ඉදිරිපත් කළ ඒ ඉන්දීය ව්‍යාප්තවාදය නැවත වතාවක් කරළියට පැමිණි ආකාරයක් දැකගත හැකි විය. ඒ, වෙන කාගෙන්වත් නොව රෝහණ විජේවීරගේ පුත්‍රයා වූ උවිඳු විජේවීරගෙන්ය. ඒ අනුව පසුගිය 12 වැනිදා කොළඹ 07, නිදහස් චතුරස්‍රයේ පිහිටි පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේදී උවිඳුගේ ප්‍රධානත්වයෙන් ‘ඉන්දියානු ආක්‍රමණයේ මාර්ග සිතියම – එට්කා – අවසන් සැකසුම’ නමින් කෘතියක් එළිදැක්විණි. එහි මුලසුන හෙබවූයේ ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහිව එදා සිට අදහස් දැක්වූ සිංහල බෞද්ධ නායකයකු වන ආචාර්ය ගුණදාස අමරසේකරය. මීට අමතරව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ද එහි මුලසුන දැරූ අතර, කල්‍යානන්ද තිරාණගම, වෛi වසන්ත බණ්ඩාර, උවිඳු විජේවීර එහි විශේෂ දෙසුම් සිදුකළහ.
මීට අමතරව උවිඳු තවත් පියවරක් ඉදිරියට තබමින් සිකුරාදා දිනයේ කොළඹ සිට මහනුවරට රථ පෙළපාළියක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. ඒ, රෝහණ විජේවීර 88-89 කාලයේ අතට ගත් සටන් පාඨය වූ ‘මව්බිම අනතුරේ’ නම් සටන් පාඨය ඉදිරියේ තබාගෙනය. ඒ සම්බන්ධයෙන් පසුගිය බදාදා දිනයේදී කොළඹ පුරා පෝස්ටර් ව්‍යාපාරයක්ද දියත් කොට තිබූ අතර, ඒ පෝස්ටරයෙන්ද ඉදිරියේදී ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහිව උවිඳු විජේවීර ඇතුළු කණ්ඩායම විශාල පෙරමුණක් නිර්මාණය කිරීමේ සූදානමක් ඇති ආකාරයක් දැකගන්නට පුළුවන.
විමලුත් සටනට
මේ ආකාරයට විජේවීරගේ පුත් උවිඳු විජේවීර ඉන්දියාවට එරෙහිව දැඩි මතවාදයක් රට ඇතුළේ ගොඩනැගීමට කටයුතු කරද්දී ඊට සමගාමීව තවත් ප්‍රබල චරිතයක්ද ඉන්දීය විරෝධය අතට ගනිමින් දැවැන්ත දේශපාලන මෙහෙයුමක් පසුගිය සතියේ ආරම්භ කළ ආකාරයක් දැකගත හැකි විය. ඒ වෙන කවුරුවත් නොව විමල් වීරවංශය. විමල්ද පසුගිය කාලය පුරාම ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහිව දැඩිව අදහස් දැක්වූ අයකු ලෙස ප්‍රකටය. ඒ අනුව විමල් ‘77න් ඇරැඹි පරාධීන ආර්ථික මොඩලයෙන් ගැළවීමට එක්වවු’ යන තේමාව යටතේ ලබන 23 වැනිදා මහරගම තරුණ සේවා සභාවේදී ප්‍රසිද්ධ දේශනයක් පැවැත්වීමට නියමිතය. ඒ අනුව ඉදිරියේදී ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහිව එකම මාවතක ගමන් කරන උවිඳු විජේවීරත්, විමල් වීරවංශත් යම් තැනකදී එකතු වනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයය.
කෙසේ වෙතත් පසුගිය කාලය පුරාම ලංකා භූමිය සම්බන්ධයෙන් ඉන්දියාවත්, චීනයත් පැටලී සිටියේ සීතල යුද්ධයකය. නිරතුරුවම පාහේ චීන පර්යේෂණ නෞකා ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණ නිරීක්ෂණ කටයුතුවල නිරත වූ අතර, ඒ සෑම අවස්ථාවකදීම ඉන්දියාව නිල වශයෙන් ඊට විරෝධය පළකළ ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම ඉකුත් මාස කිහිපය ඇතුළත චීනය සහ ඉන්දියාව ලංකාවට වැඩි බරක් තබා කටයුතු කළ ආකාරයක්ද දැකගත හැකි විය. කෙසේ වෙතත් විමලුත්, උවිඳු විජේවීරත් ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහිව වැඩ අල්ලන්නේ මෙවැනි පසුබිමකය. එහිදී පසුගියදා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ කොන්සල්වරයා වන චෙන් ෂියෑං ගුවෑන් මහතා විමල්ගේ කෝට්ටේ පිහිටි කාර්යාලයටම පැමිණ ඔහු හා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව තිරය පිටුපස පැවැති ඉන්දු චීන බල අරගලය මේ වන විට කෙළින්ම කරළියට පිවිස ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. ඒ හරහා ඉදිරියේදී ඉන්දියාවට එරෙහිව රට ඇතුළේ විශාල දේශපාලන බලවේගයක් නිර්මාණය වීමේ ඉඩකඩක් ඇති බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.
අමෙරිකාවෙන් තහනමක්
2009 වසරේදී යුද්ධය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තරයෙන් එල්ලවූ බලගතුම චෝදනාව වූයේ යුද්ධයේදී යුද අපරාධ සිදුව ඇතැයි යන්නය. එය කොතරම් ප්‍රබල ලෙස එම කාලසීමාවේදී ඉදිරිපත් වූවාද කියනවා නම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට අවස්ථා ගණනාවකදීම ඒ සම්බන්ධයෙන් යෝජනා පවා ලංකාවට එරෙහිව ඉදිරිපත්ි වූ ආකාරයක් දැකගත හැකි විය. විවිධ රටවල් ලංකාවට එරෙහිව යෝජනා සම්මත කරගැනීමට කටයුතු කොට තිබිණි. නමුත් කාලයාගේ ඇවෑමෙන් එම චෝදනා යටපත්ව යෑම හේතුකොට ගෙන ලංකාවට එරෙහිව කිසියම් බරපතළ තීන්දුවක් ගැනීමට නොහැකි වූ තැන ලොව ප්‍රබල රටවල් කළේ ලංකාව ඉලක්ක කරගෙන විවිධ ආකාරයේ සම්බාධක පැනවීමට කටයුතු කිරීමය. ඉන් එකක් වූයේ යුද්ධයට ඍජුවම සම්බන්ධව කටයුතු කළ හමුදාපතිවරුන්ට සහ ඉහළ පෙළේ හමුදා නිලධාරීන්ට සිය රටවලට ඇතුළු වීම වළක්වාලමින් සංචාරක සීමා පැනවීමය. ඒ අනුව එවක යුද හමුදාපතිවරයාව සිටි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට, ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ප්‍රධාන පෙළේ හමුදා නිලධාරීන් කිහිප දෙනකුට අදටත් ඇමෙරිකාවට ඇතුළු වීමට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට ඇමෙරිකාව කටයුතු කොට ඇත. එපමණක් නොව යුරෝපයේ ප්‍රධාන පෙළේ රටවල්ද, ඔස්ටේ්‍රලියාවද අවස්ථා ගණනාවකදීම යුද්ධයට සම්බන්ධ වූ නිලධාරීන්ට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කර තිබිණි.
මන්ත්‍රීට වෙච්ච දේ
කෙසේ වෙතත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යුද්ධයට පෙර සිටම ඇමෙරිකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබා තිබීම හේතුවෙන් ඒ අවස්ථාවේදී ගෝඨා පිළිබඳ ඇමෙරිකාව තීන්දුවක් නොගත්තද, පසුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇමෙරිකානු ද්විත්ව පුරවැසිභාවය අත්හැරීමෙන් පසු යළිත් කිසිදු අවස්ථාවක ඇමෙරිකාවට ඇතුළු වීමට වීසා ලබාදීමට ඇමෙරිකාව කටයුතු කළේ නැත. අවම වශයෙන් අරගලය අවස්ථාවේදී ගෝඨා ලංකාවෙන් පලායෑමෙන් පසු අවස්ථා ගණනාවකදීම ඇමෙරිකාවට ඇතුළු වීම සඳහා වීසා ඉල්ලුම් කරනු ලැබුවද ඒ සෑම අවස්ථාවකදීම ඇමෙරිකාව එය ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත්තේය. එමෙන්ම තවත් ප්‍රබල රටවල් කිහිපයක්ම ගෝඨාගේ වීසා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අවසානයේදී පසුගිය කාලය පුරාම ගෝඨාට ලංකාවෙන් පිටතට කියා යෑමට හැකිවූයේ ඩුබායි රාජ්‍යයටත්, බැංකොක් නුවරටත් පමණි.
සාමාන්‍යයෙන් යුද්ධයට සම්බන්ධ වූ ආරක්ෂක නිලධාරීන් සම්බන්ධයෙන් ඇමෙරිකාව මෙවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කළද කිසිදු අවස්ථාවක දේශපාලනඥයන් සම්බන්ධයෙන් එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැත. නමුත් හිටිහැටියේම පසුගිය සතියේදී ආණ්ඩුවේ ප්‍රබල මන්ත්‍රීවරයකුට එම කනගාටුදායක සිදුවීමට මුහුණ දීමට සිදුවිය. මේ මන්ත්‍රීවරයා මේ වන විට තනතුරක් නොදරා ආණ්ඩු පක්ෂයේ රැඳී සිටියද, ඉකුත් කාල සමයේදී ආණ්ඩු ගණනාවකම ප්‍රබල කැබිනට් අමාත්‍ය ධුර දැරූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු ලෙස සැලකේ. යුද්ධයට කිසිදු සම්බන්ධයක් නොමැති වුවද, යුද ජයග්‍රහණය කාලයේ මේ මන්ත්‍රීවරයාද එම ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුව සිටියේය.
මේ ප්‍රබල මන්ත්‍රීවරයාගේ පුත්‍රයා සිටින්නේ ඇමෙරිකාවේ අධ්‍යාපන කටයුතුවල නිරත වෙමිනි. ඒ අනුව මේ ප්‍රබල මන්ත්‍රීවරයා සිය පුතා බැලීම සඳහා ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් වීසා අයැදුම් කළද කිසිවකු නොසිතූ ආකාරයට ඔහුගේ වීසා ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප කිරීමට එම තානාපති කාර්යාලය පියවර ගෙන තිබිණි. ඉන් පුදුමයට පත් මේ ප්‍රබල මන්ත්‍රීවරයා ඊට බලපෑ හේතු මොනවාද යන්න පිළිබඳ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් විමසා තිබුණද, එම හේතු කිසිවක් එම පාර්ශ්වයෙන් ඉදිරිපත් කොට නොතිබිණි.
මෙම තොරතුර රාජ්‍ය රහස් තීරයට වාර්තා වීමත් සමග අපද මෙම කතාවේ ඇත්ත නැත්ත සොයා බැලීමට පියවර ගත්තේ එම පුවත සුළුවෙන් තැකිය නොහැකි එකක් නිසාය. එහිදී අපට දැනගන්නට ඇත්තේ හමුදා නිලධාරීන්ගේ නොවන වීසා ප්‍රතික්ෂේප කළ යුතු විශාල පිරිසකගේ නම් ලැයිස්තුවක් ඇමෙරිකානු බලධාරීන් විසින් මේ වන විටත් සකස් කොට අවසන් බවය. එම නම් ලැයිස්තුවට දේශපාලකයන්ගේ පමණක් නොව, මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම්වලට අදාළ රාජ්‍ය නිලධාරීන්ගේ නම්ද, විවිධ චෝදනාවලට ලක්ව ඇති වෙනත් ක්ෂේත්‍රවල නිලධාරීන්ගේ නම්ද, අධිකරණ ක්ෂේත්‍රයේ කිහිපදෙනකුගේ නම්ද ඇතුළත්ව තිබෙන බව ආරංචිය. ඇමෙරිකාව සකස් කොට ඇති මෙම නම් ලැයිස්තුව මේ වන විට යුරෝපය, ඔස්ටේ්‍රලියාව ඇතුළු ප්‍රධාන පෙළේ රටවල් රැසක් අතට පත්වී ඇති බවද දැනගන්නට ඇත.
මෙම නම් ලැයිස්තුව කෙසේ හෝ ලබාගැනීමට අප දැඩි උත්සාහයක් දැරුවද අවම වශයෙන් එහි ඉඟියක් හෝ ලබාගැනීමට අපට හැකි වූයේ නැත. ඒ අනුව, එම නම් ලැයිස්තුවේ සිටින්නේ කවුරුන්ද යන්න දැනගැනීමට නම් මේ ආකාරයට වීසා ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප වන තෙක්ම සිටිය යුතුය.
කුලියාපිටියේ කචල්
ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂය පළමු මහජන රැස්වීම පැවැත්වූයේ පසුගිය සතියේදී කුලියාපිටියේදීය. කුරුණෑගල එජාප ප්‍රබලයා වූ අකිල විරාජ් කාරියවසම් මහතා මෙම රැස්වීම සංවිධාන කරමින් කියා සිටියේ දැවැන්ත ජනතා සහභාගිත්වයකින් මෙම රැස්වීම පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත්, ඒ සමග ජනාධිපතිවරණ මැතිවරණ සටන එජාපය ආරම්භ කරන බවත්ය. ඒ අනුව, කුලියාපිටියේ රැස්වීමට ආණ්ඩුවේ මාධ්‍ය විශාල ප්‍රචාරයක් ලබාදීමට පියවර ගෙන තිබිණි. නමුත් කිසිදු මාධ්‍යයක වාර්තා නොවූ තිරය පිටුපස සිදුවූ සිදුවීම් කිහිපයක්ද ජනාධිපතිවරයාගේ කුලියාපිටිය රැස්වීමේදී සිදුව තිබිණි.
ඉන් පළමුවැන්න වූයේ සජබයේ සිට එජාපයට එක්වූ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ නොපැමිණීමය. සාමාන්‍යයෙන් හරීන් සැලකෙන්නේ දක්ෂ සංවිධායකවරයකු ලෙසටය. එජාප පළමු මහජන රැස්වීම නිසා බොහෝ දෙනා සිතා සිටියේ හරීන් එහි සැලකිය යුතු රාජකාරි කොටසක් සිදුකරනු ඇතැයි කියාය. නමුත් රැස්වීම පැවැති දිනයේදී හරීන් ඊට සහභාගි නොවීම බොහෝ දෙනාගේ පුදුමයට හේතු වී තිබිණි.
මීට අමතරව සබරගමුවේ ආණ්ඩුකාරවරයා වන නවීන් දිසානායක මහතා කුලියාපිටිය රැස්වීමට සහභාගි වී මොහොතකින් ඉන් පිටව යෑමද විශේෂ සිදුවීමක් විය. බොහෝ දෙනා ඒ පිළිබඳ සොයා බලද්දී දැනගන්නට ලැබුණේ නවීන්ට කුරුණෑගල වේදිකාවේ මුලින් කතාවක් වෙන්කොට තිබූ නමුත් පසුව කිසිවකු විසින් කථික ලැයිස්තුවෙන් නවීන්ගේ නම කපා දැමීම නවීන්ගේ නික්ම යෑමට හේතු වූවා යැයි කියාය. එය 100%ක්ම සත්‍ය බව තහවුරු වූයේ මොහොතක් යෑමට මත්තෙන් නවීන් සිය ට්විටර් ගිණුමේ එම කාරණාවම ඉස්මතු කරමින් විශේෂ සටහනක් තැබීම නිසාය.
මීට අමතරව පසුගිය 12 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එජාප කළමනාකරණ කමිටුව රැස්වූ අතර, එහිදීද කුලියාපිටියේ රැස්වීම සම්න්ධයෙන් වාද විවාද රැසක් සිදුවිය. එහිදී බොහෝ දෙනා හරීන් රැස්වීමෙන් කරඇරීම පිළිබඳ චෝදනා මුඛයෙන් කතා කළ ආකාරයක් දැකගන්නට ලැබිණි. රැස්වීමේ ප්‍රචාරක අංශය සම්පූර්ණයෙන්ම හරීන්ට භාරදී තිබුණද රැස්වීම පැවැති දිනය පුරාම හරීන්ගේ ජංගම දුරකනය ක්‍රියා විරහිතව තිබූ බවට එහිදී බොහෝ දෙනා චෝදනා මුඛයෙන් කතාකරනු දැකගත හැකි විය. මේ නිසාමදෝ කුලියාපිටිය රැස්වීම පැවැත්වීමට ප්‍රථම ඒ සම්බන්ධයෙන් මහා ඉහළින් අදහස් දැක්වූ බොහෝ දෙනා කුලියාපිටිය රැස්වීම අවසන් වීමෙන් පසු වචනයක් හෝ කතා නොකොට නිහඬව මාධ්‍යයෙන් වසංවී සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි.
හරීන් එළියට
කෙසේ වෙතත් මෙම පසුබෑම නිසාමදෝ මේ වන විට එජාපය තීරණය කොට ඇත්තේ එළඹෙන මැයි දින පෙළපාළිය ඉතා ඉහළින් සැමරීමටය. මෙවර මැයි රැලිය සංවිධාන කිරීම භාරදී ඇත්තේ වෙන කාටවත් නොව හරීන් ප්‍රනාන්දුටය. පසුගියදා හරීන්ගෙන් මේ සම්බන්ධයෙන් විමසීමේදී සිනාසෙමින් ඔහු කියා සිටියේ, ‘කුලියාපිටියේ තිබ්බේ පොඩි සාමාජික රැස්වීමක්. අපි මැයි රැලිය විශාල ජනකායක් එක්ක කොළඹදී සමරන්න සැලසුම් කරලා තියෙනවා. මේක තමයි ඉතිහාසයේ කොළඹ තිබ්බ විශාලම මැයි රැලිය වෙන්නේ’ යැයි කියාය. මේ ආකාරයට කුලියාපිටිය රැස්වීමට නෝන්ඩියක් දමමින් හරීන් කළ මෙම ප්‍රකාශයටද මේ වන විට පක්ෂය ඇතුළෙන්ම යම් යම් ප්‍රහාර එල්ල වෙමින් පවතින බවද දැනගන්නට ඇත.
ජවිපෙ බෙදිල්ල
පසුගියදා පැවැති කාන්තා දිනය නිමිති කොට ගෙන දේශපාලන පක්ෂ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ ආකාරයක් දැකගත හැකි විය. සජබය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එදින පෙරවරුවේ කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලට ඉන්කියුබේටර් යන්ත්‍රයක් ඇතුළු තවත් උපකරණ ගණනාවක් පරිත්‍යාග කළ අතර, පස්වරුවේ මුජිබර් රහුමාන් මහතා සමග කොළඹ නගර සීමාවේ සියලු ගැබිණි මවුවරුන්ට සහල් මලු ප්‍රදානය කිරීමක් සිදුකළේය. ජවිපෙ ප්‍රධාන ජාතික ජන බලවේගය එදින රටේ ප්‍රධාන නගර කිහිපයකදී කාන්තාවන් පෙරටු කරගෙන ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ කිහිපයක් සිදුකළ ආකාරයක් දැකගත හැකි විය.
මේ ආකාරයට සජබයත්, ජවිපෙත් ක්‍රම දෙකකට කාන්තා දිනය සැමරුවද, එදින සවස් වරුව වන විට සජිත් ඉලක්ක කරගෙන සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත මඩ ප්‍රචාරයක් දියත් වන ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ, කොළඹ ගැබිණි මවුවරුන්ට සජිත් සහල් මලු බෙදාදීම මුල්කරගෙනය. එහිදී ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් 200කට වැඩි ප්‍රමාණයකින් පමණ එකවර සජිත්ව ඉලක්ක කරගෙන දැඩි ප්‍රහාරයක් දියත් වුණු අතර, ඊට ප්‍රතිචාර දක්වමින් සජිත් කියා සිටියේ මෙම පිරිස් පාසල් දරුවන්ට ස්මාර්ට් පන්ති කාමරයක් ලබාදීම පවා විවේචනය කරන බවත්, පාසල්වලට බස් රථයක් ලබාදීම පවා විවේචනය කරන බවත්ය. තමන් ඒ කිසිවක් තඹේකට මායිම් නොකරන බවද කියා සිටි සජිත් මෙවැනි පහරදීම්වලින් තමන්ගේ ජනතා සුබසාධන වැඩසටහන් නැවැත්විය නොහැකි බවද කියා සිටියේය. කෙසේ වෙතත් බොහෝ දෙනා එහිදී සජිත්ට පෙන්වා දී තිබුණේ ව්‍යාජ ගිණුම් උපයෝගී කරගෙන ජවිපෙ ප්‍රචාරක යාන්ත්‍රණය හරහා මෙම ප්‍රහාරය එල්ල කොට තිබූ බවකි.
කෙසේ වෙතත් එදින රාත්‍රිය වන විට මෙතෙක් කිසිවකුත් නොදුටු බඩු බෙදාදීමේ ඡායාරූප රැසක්ද සමාජ මාධ්‍ය වෙත කිසියම් පාර්ශ්වයක් විසින් මුදාහැර තිබිණි. එම බඩු බෙදීමේ ඡායාරූපවල සිටියේ වෙන කවුරුවත් නොව මේ දිනවල සජිත්ගේ බඩු බෙදිල්ලට දැඩිව ප්‍රහාර එල්ල කරන ජවිපෙ ප්‍රධානීන්ය. එහි එක් ඡායාරූපයක සිටියේ වෙන කවුරුවත් නොව ජවිපෙ නායක අනුර කුමාර දිසානායකය. තවත් ඡායාරූපයක සිටියේ සුනිල් හඳුන්නෙත්තිය. ඔවුන්ද පසුගිය කාලයේදී ජනතාවට බඩු බෙදන ආකාරය හුවාදැක්වෙන අවස්ථා රැසක් මෙම ඡායාරූපවලින් දැකගන්නට ලැබිණි.