සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැත. මේ කියමන කැලෑ කොලමේ අපි ඒකාන්තයෙන්ම විශ්වාස කරන නියතයක්. ගෙවීයන 2025 වසර දෙස ආපසු හැරී බැලීමේදී අපි රටක් ජාතියක් ලෙස ඉතාමත් ඛේදනීය ඉරණමකට ගොදුරු වෙලා තියෙනවා කියන එක සැඟවිය නොහැකි සත්‍යයක්.Sri Lanka Latest News
අනෙකුත් කරුණු කාරණා මොනවා වුණත් පාරිසරික හා ස්වභාවික කාලගුණ බලපෑම් නිසා අපට මෙහෙම වුණා කියන එක තමා බැලූ බැල්මට පේන්න තියෙන්නේ. පරිසරයට, සතා සීපාවට අප විසින් වසර කීපයක් පුරා කරනු ලැබූ අනීතික අසාධාරණ ක්‍රියාකම්වලට සොබාදහම අපට ප්‍රතිචාර දක්වලා තියෙනවා. ඊට වගකිවයුත්තෝ වන්නේ මේ රටේ පුරවැසියන් වන අපමය.

මෙම ලිපිය ලියන මොහොත වනවිට මෙරට අලි ඇතුන් ඝාතන 400ක් පමණ ඉක්මවා තියෙනවා. අද වනතුරුත් ඒ පිළිබඳ නිසි පරීක්ෂණයක්, ගතයුතු නිශ්චිත ඉදිරි පියවරක් ගැන බලධාරීන් නිහඬයි. එම ඝාතනවලින් 99%කටම හේතු වී තිබෙන්නේ මිනිස් ක්‍රියාකාරකම්.
කැලෑ කැපීම, ගංගා ඇළදොළ අවහිර කිරීම, කඳු හෑරීම හා අනවසර ඉදිකිරීම් මෙන්ම මෙකී නොකී මිනිස් ක්‍රියාකාරකම්වලට අද සොබාදහම ඉතා රුදුරු විදියට උත්තර දීලා තියෙනවා. මෙයින්වත් අපි ජාතියක් රටක් විදිහට පාඩමක් ඉගෙන නොගෙන තිරසර පාරිසරික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොකරන්නේ නම්, අපට අනාගතයේදී මීට වඩා රුදුරු ස්වභාවික විපත්වලට මුහුණ දීමට සිදුවන බව නියතයි.
අද වනතුරුත් මේ කිසිම පාරිසරික ප්‍රශ්නයකට නිලධාරීන්, බලධාරීන් හා පාලකයන් නිසි විසඳුම් ලබාදී නැත. පුරවැසියන් වන අප හා විෂය ප්‍රාමාණික උගතුන් විසින් ලබාදුන් විසඳුම් යෝජනා තාමත් තියෙන්නේ හමස් පෙට්ටියේ. පාලකයන්ට ඒ ගැන නිසි උනන්දුවක් හා අවශ්‍යතාවක් නැති බවයි පෙනී යන්නේ. ඔවුන් සතුව ඇත්තේ පැලැස්තර විසඳුම් පමණයි.
පරිසරය විනාශ කරමින් මොනතරම් වැටකඩුලු බැඳගෙන රාජ මාලිගා තැනුවත් සොබාදහමේ නීතියට ඒ හැමදේම යටත් බව අපේ රටේ මිනිස්සුන් දැන්වත් තේරුම් ගන්නවා නම් නිවැරැදි වන්නට ඒ ටික හොඳටම ප්‍රමාණවත්ය. වනජීවී සංරක්ෂණය, පාරිසරික සාක්ෂරතාව, කැළිකසළ කළමනාකරණය අතින් අපි තාමත් ඉන්නේ ඉතා පසුගාමී අවධියකය. අවිධිමත් සංවර්ධනය, කළමනාකරණය නොවූ ජනාවාසකරණය, තාක්ෂණය හා මුසු නොවන කෘෂිකර්මාන්තයද මීට අදාළයි.
ස්වභාවික සම්පත්වලින් අනූන, ජෛව විවිධත්වයෙන් උපරිම මර්මස්ථානයක් වන අපේ රටේ පාලකයන්ට හා නිලධාරීන්ට පරිසරයේ වැදගත්කම හා සොබාදහමේ නීතියේ ප්‍රබලත්වය වැටහී, නිසි කලට අවශ්‍ය අණපනත් සක්‍රීය කරමින් මේ සුන්දර රට නැවත වතාවක් ගොඩනගන්න පාඩම් ඉගෙන ගතයුතු කාලය පැමිණ ඇතැයි කැලෑ කොලමේ අපි තරයේ විශ්වාස කරන අතර, එසේ නොවුණහොත් අපට ඉදිරි අනාගතයේදී කඳුලින් පිරි රටක ජීවත් වන්නට සිදුවනු නොඅනුමානයි.
පරිසරහිතකාමීව, සොබාදහමට අනුගත වන රටක ජීවත් වන්නට ලබන්නා වූ 2026 වසරේදීවත් අපි හැමෝටම වාසනාව ලැබේවායි කැලෑ කොලමේ අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා.

සමන් හල්ලොලුව










