කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය සම්බන්ධ සිදුවීමේදී ලංකාවේ දේශපාලනයට දකුණු ආසියානු කලාපයේ බලවතා වන ඉන්දියාවේ බලපෑම පිළිබඳව සෑම දේශපාලන පක්ෂයක්ම අඩු වැඩි වශයෙන් කතා කළ ආකාරයක් දැකගත හැකි විය. නැඟෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් පමණක් නොව ලංකාවේ ආණ්ඩු පෙරළීමේ සහ පිහිටුවීමේදී පවා ඉන්දියාව තිරය පිටුපස විශාල භූමිකාවක් රඟදැක්වූ බව ඉකුත් කාලයේ පැවැති ප්‍රධාන මැතිවරණ දෙස බලන විට පැහැදිලිවම පෙනී යන්නකි.
ඉන්දියාවේ අතීත කෙරුවාව
එහි ආසන්නතම උදාහරණය වන්නේ 2015 වසර වනවිට බලගතුම දේශපාලන රාජධානියක් ලංකාව තුළ ගොඩනඟාගෙන සිටි රාජපක්ෂවරුන් පරාජයට පත්කිරීම පසුපස ඉන්දියාව සිටි බවට වූ කාරණයය. ඊට හේතු වශයෙන් එවකදී කියැවුණේ රාජපක්ෂවරුන් ඉන්දියාව ගණන් නොගෙන චීන හිතවාදී ප්‍රතිපත්තියක් ගෙනයෑම බවකි. එමෙන්ම 2004 මහ මැතිවරණයේදී රනිල්ගේ ආණ්ඩුව පරාජයට පත්කර ගෙදර යැවීම පිටුපසද ඉන්දියාව සිටි බව කියැවිණ. ඊට හේතු වශයෙන් දැක්වුණේ වික්‍රමසිංහ රජය ඉන්දියාව මඟහැර යුරෝපාකරය ඇතුලු බටහිරට බර වීමය.
කෙසේවෙතත් කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය ඉන්දියාවට ලබා නොදීමට ආණ්ඩුව ගත් තීන්දුවත් සමඟ මෙම ඉතිහාසය දන්නා බොහෝ දෙනා බලා සිටියේ ඉන්දියාව ඊට ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳවය. ඉන්දියාව ඊට එළිපිට ප්‍රතිචාර නොදැක්වුවත් පසුගිය දින කිහිපය පුරා කොළඹ ජනතාව පුදුමයට පත්කරවන සුළු අමුතු අත්දැකීමක් ලබාදීමට ඉන්දියාව පියවර ගත්තේය. ඒ ඉන්දීය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා කොළඹ අහස් කුස ආක්‍රමණය කොට සන්දර්ශන පෙන්වීම හරහාය. ආණ්ඩුව පාර්ශ්වයෙන් කියැවුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 70ක් පිරීම නිමිත්තෙන් ඉන්දියාවේ සහ ලංකාවේ ගුවන් හමුදාව ඒකාබද්ධව සිදුකරන මෙහෙයුම් ලෙස මෙය සිදු කළ හැකි බවකි.
යාපනේ පත්තරෙන් එළියට ආ රහස
කෙසේ වෙතත් ආණ්ඩුව පැත්තෙන් මෙම ප්‍රතිචාරය දැක්වීමට සතියක් පමණ තබා ඉකුත් පෙබරවාරි 26 වැනි දින යාපනයේ පළවන ප්‍රකට පුවත්පතක් වන ‘කලෙයි කදීර්’ පුවත්පත සිය මුල් පුවත ලෙසම වාර්තා කරමින් හෙළිදරව් කර සිටියේ ඉන්දීය ගුවන් යානා යාපනයේ ඉහළ අහසේ හදිසියේම මතුවූ බවකි. මෙම ‘කලෙයි කදීර්’ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා උතුරේ පමණක් නොව දකුණේද කීර්තිනාමයක් දිනා සිටින ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකි. මෙම පුවත හරහා කලෙයි කදීර් පුවත්පත අනියමින් කියා තිබුණේ යුද්ධය පැවැති අවස්ථාවේදී ඉන්දීය ගුවන් හමුදාව ලංකාවේ ගුවන් සීමාව ආක්‍රමණය කොට යාපනයට ගුවනින් විත් පරිප්පු දැමුවා හා සමාන සිදුවීමක් යාපනයේ ජනතාව එදින යළි අත්දුටු බවකි. ඒ සම්බන්ධ ඡායාරූප පවා කලෙයි කදීර් පුවත්පත සිය මුල් පිටුවේ පළකිරීමටද පියවර ගෙන තිබිණ.
නමුත් එවැන්නක් එහිදී සිදුව නොතිබුණද කොළඹ ජනතාව පවා මේ ආකාරයට ඉන්දීය ගුවන් යානා ලංකාවට පැමිණ ඇති බවක් පළමුවරට දැනගත්තේ උතුරේ මෙම පුවත්පත මේ පිළිබඳව කළ අනාවරණයත් සමඟය. ඒ අනුව පුවත්පත අනාවරණය කළ ආකාරයටම ඉන්දීය ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව සිදුකෙරුණු සරඹ සන්දර්ශනය කොළඹ ජනතාවට දැකගත හැකි වූයේ ඉකුත් බදාදා (03දා) දින සිටය. ඒ අනුව කොළඹ ජනතාව සවස් වන විට ගාලුමුවදොරට රැස්වී මෙම ඉන්දු ලංකා ගුවන් සංදර්ශන බලා සිටියේ හරියට චිත්‍රපටයක් බලනවා හා සමානවය.
ඕමල්පේ හිමි කී කතාව
කෙසේ වෙතත් මෙම ඉන්දීය ගුවන් හමුදාව ලංකා ගුවන් සීමාවේ සංදර්ශන පෙන්වීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් වචනයක් හෝ නොකීවාට වත්මන් ආණ්ඩුව පත්කිරීම සඳහා යම් දායකත්වයක් සැපයූ ඕමල්පේ සෝභිත හිමියන් පසුගිය සතියේ ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකරමින් අදහස් පළ කළ ආකාරයක් දැකගත හැකි විය. එහිදී උන් වහන්සේ කියා සිටියේ ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරයට ඉන්දීය ගුවන් යානා එක්කර ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුව ලැජ්ජා විය යුතු යැයි කියාය.
කෙසේ වෙතත් මෙම සිදුවීම හා සම්බන්ධ සිදුවීමක්ද, එසේත් නැත්නම් අහඹු සිදුවීමක්ද යන්න පිළිබඳව නිශ්චිත තොරතුරු නැතත් මෙම ඉන්දීය ගුවන් යානා කොළඹ අහසේ රිසි සේ සැරිසරද්දී ආණ්ඩුව එක්තරා විශේෂ තීන්දුවක් ගත්තේය. ඒ, කොළඹ වරායේ බටහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට පැවරීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව ඉකුත් සඳුදා (01දා) දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමය. ඒ අනුව වරායේ අයිතියෙන් 85%ක් වසර 35කට ඉන්දියාවේ අදානි සමාගමට පවරමින් මෙම කැබිනට් පත්‍රිකාව ආණ්ඩුව ඉදිරිපත් කර තිබිණ.
මෙම කැබිනට් පත්‍රිකාව නිකුත් වීමත්, ඕමල්පේ සෝභිත හිමියන්ගේ ප්‍රකාශයත් නිසා වහාම මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයද සඳුදා දින නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කොළඹ වරායේ බටහිර ජැටිය අදානි සමාගමට ලබාදෙන ලෙස ඉන්දියාව පාර්ශ්වයෙන් කිසිදු ඉල්ලීමක් සිදු නොකළ බවකි.
ගෝඨාභය 2024 සටනට නෑ
ඉකුත් ජනාධිපතිවරණයේදී 69 ලක්ෂයක ජනතාවකගේ මනාපය රැගෙන මෙරට ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව කිවහොත් ඔබ පුදුම වනවාට කිසිදු සැකයක් නැත. නමුත් ඒ සම්බන්ධ සිදුවීම පෙළක් සම්බන්ධයෙන් සමාජ වෙබ් අඩවි ජාල විශේෂ පුවතක් පළකර තිබිණ. අපට දැනගන්නට ඇති ආරංචිවලට අනුව ජනාධිපතිවරයා මෙම කාරණය ප්‍රසිද්ධියේ රටට නොකීවද එය දැනුම් දිය යුතු පක්ෂ නායකයන්ට, සිය හිතවතුන්ට සහ පවුලේ උදවියට දැනටමත් ඒ බව දැනුම් දී අවසන්ය.
මීට අමතරව ජනාධිපතිවරයා ඉකුත් කාලයේදී තමන් හමුවීමට පැමිණි ස්වාමීන් වහන්සේලා කිහිප නමකටද මෙම කාරණය දැනුම්දීමට කටයුතු කර තිබිණි. එම තොරතුරු කනින් කොණින් කටකතා වශයෙන් හෝ ඕපාදූප වශයෙන් හෝ තැන් තැන්වල කියැවුණද ජනාධිපතිවරයා එය පක්ෂ නායකයන් ඉදිරියේ නිල වශයෙන් සඳහන් කිරීමට පියවර ගෙන තිබුණේ ඉකුත් සතියේදීය. එම හමුවට පොහොට්ටුව හැර ආණ්ඩුව නියෝජනය කරන අනෙකුත් පක්ෂ නියෝජිතයන් සහභාගී වී තිබිණ.
විමල් එක්ක විශේෂ සාකච්ජාවක්
මෙම හමුවට කලින් තවත් එක්තරා විශේෂ පුද්ගලයකු සමඟද ජනාධිපතිවරයා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබිණ. ඒ අන් කවුරුවත් නොව පසුගිය සති කිහිපය තුළදීම ආණ්ඩුව ඇතුළේ කැරලිකාරයාගේ චරිතයට පණ පෙවූ විමල් වීරවංශය. විමල් ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් නිර්මාණය කරමින් මාධ්‍යයට කර තිබූ ප්‍රකාශයකින් කියා තිබුණේ ජනාධිපතිවරයා වහාම දේශපාලන කටයුතු සඳහා සම්බන්ධ කරගත යුතු බවත්, ඒ සඳහා පොහොට්ටුවේ ඉහළ තනතුරක් ජනාධිපතිවරයාට ලබාදිය යුතු බවත්ය. විමල්ගේ මේ ප්‍රකාශයට සහාය දක්වමින් ආණ්ඩුවට සහාය දක්වන පක්ෂ දහයක් පමණ තැන් තැන්වල මුණගැසී සාකච්ඡා කිරීම නිසා ආණ්ඩුවේ අනෙකුත් පාර්ශ්වයන් පමණක් නොව ජනාධිපතිවරයාද මුහුණදී සිටියේ දැඩි අසීරුතාවයකටය. ඒ නිසාම පක්ෂ නායකයන් හමුවීමට කළින් විමල්ව මුණගැසීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබිණ.
විමල්ට තහනම් නියෝගයක්
මෙම සාකච්ඡාවේදී පැහැදිලිවම ජනාධිපතිවරයා විමල්ට දැනුම්දී සිටියේ තමන්ව මුල්කරගෙන ආණ්ඩුව ඇතුළේ ගෙනයන මෙහෙයුම වහාම නවත්වන්න යැයි කියාය. තමන් පොහොට්ටුවෙන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ බවත්, ඒ හරහා ජයග්‍රහණය කළ බවත් මෙහිදී විමල්ට කියා සිටි ජනාධිපතිවරයා තමන්ට වෙනත් කිසිදු බලවේගයක හෝ දේශපාලන බලවේගයක කිසිදු තනතුරක් දැරීමේ සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් විමල්ට පෙන්වා දුන්නේය. එම නිසා මින් ඉදිරියට පක්ෂවල තනතුරුවලට තමාගේ නම සම්බන්ධ කරමින් අදහස් නොදක්වන ලෙසද එහිදී ජනාධිපතිවරයා විමල්ට දැනුම්දී සිටියේය.
විමල්ගේ හඩ නිහඩ වෙයි
එමෙන්ම යළිත් වතාවක් ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමේ අදහසක් තමන්ගේ සිතේ නැති බවද ජනාධිපතිවරයා එහිදී විමල්ට දැනුම් දී සිටීමට පියවර ගත්තේය.
ජනාධිපතිවරයා විමල්ට කළ මෙම දැනුම්දීමත් සමඟ ජනාධිපතිවරයාට පොහොට්ටුවේ තනතුරක් ලබා දිය යුතු බව කියමින් විමල් ආණ්ඩුව ඇතුළේ කල්ලියක් නිර්මාණය කරගෙන ගෙනගිය මෙහෙයුම හිටිහැටියේම කඩාවැටුණු ආකාරයක් දැකගත හැකි විය. අදාළ සාකච්ඡාවෙන් පසු මාධ්‍යවේදීන් විමල්ගෙන් එම සාකච්ඡාව පිළිබඳව විමසද්දී තනතුරු සම්බන්ධයෙන් වචනයක්වත් නොකී විමල් ආණ්ඩුව ඇතුළේ මතුව ඇති අර්බුද විසඳා ගැනීම සඳහා සෑම දෙසතියකට වතාවක් ජනාධිපතිවරයා සමඟ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති බවද සඳහන් කර සිටියේය.
පක්ෂ නායකයන්ටත් තීන්දුව දැනුම් දෙයි
ජනාධිපතිවරයා ඉකුත් සතියේ ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ නායකයන් මුණගැසුණේ එම පොරොන්දුවට අනුවය. නමුත් එම සාකච්ඡාවට විමල් සහභාගි වී නොසිටියේ ඊට කලින් පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විමල්ට කියන්නට අවශ්‍ය දේ කෙළින්ම කී නිසා විය යුතුය.
කෙසේ වෙතත් පක්ෂ නායකයන් සමඟ පැවැත් රැස්වීමේදී මුලින්ම ආණ්ඩුව ඇතුළේ තමන්ට මුහුණදීමට සිදුව ඇති අර්බුද, පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් සිදුවන කෙණෙහිලිකම්, බැසිල් රාජපක්ෂ මහතාගෙන් සිදුවන මදිපුංචිකම් ආදිය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට පක්ෂ නායකයෝ පියවර ගත්හ. ජනාධිපතිවරයා ඔවුන් සඳහන් කළ සියලුම කරුණුවලට ඉතා හොඳින් ඇහුම්කන් දෙමින් සිටි ආකාරයක් දැකගන්නට ලැබුණු නිසා සියල්ලන්ම සිතා සිටියේ ජනාධිපතිවරයා වහාම එම ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට මැදිහත් වනු ඇතැයි කියාය. නමුත් මේ සියල්ලම අසා සිටි ජනාධිපතිවරයා අවසානයේදී සඳහන් කර සිටියේ ඔවුන් හීනෙකින්වත් අසන්නට සූදානම්ව නොසිටි කාරණයකි.
“මම ආයෙමත් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවෙන්න තීන්දු කරලයි තියෙන්නෙ. ආයෙමත් මම ජනාධිපති අපේක්ෂකයෙක් විදිහට තරගයට එන්නෙ නැහැ. ඕගොල්ලො ඊළඟ ජනාධිපතිවරණයට හොඳ අපේක්ෂකයෙක් හොයාගන්න. හැබැයි එහෙම තෝරගනිද්දි දෙමළ, මුස්ලිම් සුළුජාතික ඡන්ද දිනාගන්න පුළුවන් අපේක්ෂකයෙක් ඕගොල්ලො හොයාගන්න ඕනෙ. මොකද ඊළඟ ඡන්දය සුළු ජාතික ඡන්ද නැතිව දිනන්න අමාරුයි. සිංහල බෞද්ධ ඡන්ද ටික අරන් දෙන එක මම කරල දෙන්නම්….” යනුවෙන් ජනාධිපතිවරයා දිගටම කියාගෙන යද්දී පක්ෂ නායකයන් සිටියේ කිසිවක් කියාගත නොහැකිව එකිනෙකාගේ මුහුණු බලමින් තුෂ්ණිම්භූතවය.
ඔය කතාව එළියෙ නම් කියන්න එපා… -දයාසිරි
ඒ අනුව අසීරුවෙන් හෝ වචන ගැලපුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වන දයාසිරි ජයසේකරය. දයාසිරි කියා සිටියේ පක්ෂ නායකයන් ඉදිරියේ මෙම කරුණු කීවද ජනතාව ඉදිරියේ කිසිසේත්ම මෙවැන්නක් ප්‍රකාශ කිරීමට පියවර නොගන්නා ලෙසය.
“ජනාධිපතිතුමනි, ඔබතුමා ඔය කතාව අපි ඉස්සරහ කිව්වට මිනිස්සු ඉස්සරහ නම් කියන්න යන්න එපා. දැනටමත් ගොඩක් අය වෙනස් වෙලා ඉන්නෙ. ඒ අස්සෙ ඔබතුමා ඕක කිව්වොත් එහෙම අපි මේ කරන වැඩ ටිකවත් කරගන්න ලැබෙන එකක් නෑ….” යනුවෙන් දයාසිරි කියද්දී ගම්මන්පිලද එම කරුණම ජනාධිපතිවරයාට දැනුම්දීමට පියවර ගත්තේය. නමුත් දයාසිරිගේ සහ ගම්මන්පිලගේ එම අදහස්වලට ජනාධිපතිවරයා කිසිදු ප්‍රතිචාරයක් දක්වන්නට ගියේ නැත. ඒ වෙනුවට ජනාධිපතිවරයා කළේ තමන්ට සුපුරුදු මද සිනහව පෑම පමණි. එමෙන්ම රැස්වීම අවසන් කරමින් ජනාධිපතිවරයා නැවැත වතාවක් පක්ෂ නායකයන්ට දැනුම්දී සිටියේ සුළු ජාතික පක්ෂවල විශ්වාසය දිනාගත හැකි අපේක්ෂකයකු සොයා ගැනීමට පියවර ගන්නා ලෙසය.
ගෝඨා නැත්නම් එන්නෙ කව්ද
මෙම සිදුවීම එතැනින් අවසන් වුවද ඒ හරහා මතුවූ ඊළඟ ප්‍රශ්නය වුණේ ජනාධිපතිවරයා පක්ෂ නායකයන්ට සොයා ගැනීමට යැයි කියන ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්නය. ජනාධිපතිවරයා සඳහන් කරන ආකාරයට සුළු ජාතික පක්ෂ සහාය ලබාගැනීමට හැකි ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්නය. ජනාධිපතිවරයා පක්ෂ නායකයන්ට එකතු වන ලෙස ඉඟි කරන්නේ කා සමගද යන්නය.
ජනාධිපතිවරයා එම අවස්ථාවේදී නමක් ගමක් සඳහන් නොකළද එම තොරතුර වාර්තා වීමත් සමඟ අපිද ජනාධිපතිවරයා මේ කියන්න යන්නේ කා ගැනද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමක නිරත වීමු. ඊට හේතු වූයේ ජනාධිපතිවරයා ආවාට ගියාට මෙවැනි කතාවක් පක්ෂ නායකයන් ඉදිරියේ කිසිසේත්ම පැවසීමට ඉඩක් නොමැති බැවිනි. ඒ අනුව ආණ්ඩුවේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න ගැන මේ වන විටත් රාජපක්ෂ පවුල අතර අවසන් එකඟතාවක් සිදුව ඇති බව ජනාධිපතිවරයාගේ මෙම කතාවෙන් හොඳටම පැහැදිලිය. එහිදී අප කළ ගවේෂණයේදී අපට පැහැදිලිවම පෙනී ගියේ ජනාධිපතිවරයා කී ආකාරයට ඊළඟ ජනාධිපතිවරණයේදී සිංහල ඡන්ද මෙන්ම දෙමළ, මුස්ලිම් ඡන්දද දිනාගත හැකි එකම නායකයා වෙන කවුරුවත් නොව බැසිල් රාජපක්ෂ මහතා විය යුතුය යැයි කියාය.
බැසිල් 2024ට සූදානම් වෙයි
බැසිල්ද ඇත්තටම මේ වන විට සූදානමින් සිටින්නේ ඊළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වශයෙන් තරගයට ඉදිරිපත් වීමට සැලසුම් සකස් කරමින්ය. නමුත් නිසැකවම බැසිල්ගේ මෙම තීන්දුවට පොහොට්ටුව ඇතුළෙන් කැරලි මෙන්ම කැපිලි, කෙටිලිත් එල්ලවීමට ඉඩ තිබේ. එමෙන්ම දැනටමත් බැසිල් තරගයට පැමිණියහොත් පරාජය කළ හැකි බවට ආණ්ඩුවේ ඇතුළේ සිටින යම් යම් බලවේග, විපක්ෂයේ දේශපාලන සංවිධාන මෙන්ම රාජ්‍ය නොවන සංවිධානද සිතා සිටින බවක් දැකගන්නට ඇත. එය ඉතා පහසු කටයුත්තක් ලෙස ඔවුන් සිතා සිටියද අපට කීමට ඇත්තේ හිතන තරම් එය පහසු වැඩක් නොවනු ඇතැයි කියාය. මන්ද යත් බැසිල්ට ඒ සඳහා අවශ්‍ය කාලය සහ තුරුම්පු උවමනාවටත් වඩා ඉතිරිව තිබීම ඊට හේතුවය.
පරද්දන්න ලේසි වෙයිද
මීට පෙර ජනාධිපතිවරුන් වශයෙන් තේරී පත්වූ බොහෝ දෙනකු ඒ සඳහා සූදානම් වූයේ උපරිම වශයෙන් අවුරුද්දකට, එකහමාරකට අඩු කාල සීමාවක් ඉතිරිව පැවතියදීය. නමුත් බැසිල්ට ඒ සඳහා සූදානම් වීමට තවත් වසර තුනකට ආසන්න කාලයක් ඉතිරිව තිබේ. එමෙන්ම බැසිල් යනු දේශපාලන ක්‍රීඩාවේදී තුරුම්පු අතේ තබාගෙන ක්‍රීඩා කිරීමට උපන් රුසියෙකි. ඒ ඒ තුරුම්පු ඇදිය යුතු වේලාවල් මොනවාද යන්න බැසිල් හොඳහැටි දනී. එම නිසා බැසිල්ට තමන්ගේ අතේ ඇති ඒ තුරුම්පු අදින්නට තවත් අවුරුදු තුනක කාලයක් ඉතිරිව තිබේ.
එමෙන්ම බැසිල්ට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන විටදී තුනෙන් දෙකක ශක්තිමත් ආණ්ඩුවක සහාය ඔහුට හිමිවනු ඇත. එමෙන්ම 69 ලක්ෂයක ජනතාවගේ ඡන්දය ලබාගත් ජනාධිපතිවරයකුද ඔහු පසුපස හිඳිනු ඇත. එම නිසා අපට කියන්නට ඇත්තේ බැසිල් පරාජයට පත්කිරීම හිතන තරම් ලෙහෙසි, පහසු එකක් නොවනු ඇතැයි කියාය.
සජබෙන් එන්නෙ සජිත්
මේ ආකාරයට ඊළඟ ජනාධිපතිවරණයට වසර තුනක් තියා රාජපක්ෂවරුන් ඒ සඳහා සූදානම් වෙද්දී ප්‍රධාන විපක්ෂය වන සමඟි ජන බලවේගයද පසුගිය සතියේදී ඒ සම්බන්ධව අතිශයින් වැදගත් තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය. ඒ, එළැඹෙන ජනාධිපතිවරණයේදී කිසිදු පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සූදානමක් නොමැති බවත්, විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමඟි ජන බලවේයේ නායකයා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බවත්ය. ඉකුත් අවස්ථාවන් දෙකකදීම ප්‍රධාන විපක්ෂය වශයෙන් එක්සත් ජාතික පක්ෂය පොදු අපේක්ෂකයන් ඉදිරිපත් කොට අත්විඳින්නට සිදුවූ විනාශකාරී සහ වේදනාකාරී ඇත්දැකීම සමඟි ජන බලවේගය විසින් මෙම තීන්දුව ගැනීමට හේතු වී තිබේ. එවකදී එජාප නායකයා වූ රනිල් වික්‍රමසිංහ තමන් ජනාධිපතිවරණයට එන බව පෙන්වා අවසන් මොහොතේ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම මඟින් අවසානයේදී එජාපය සම්පූර්ණයෙන්ම විනාශ වූ බව බොහෝ දෙනාගේ අදහසය. අවසන් වතාවේදී මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා වශයෙන් ජයග්‍රහණය කළද එම ආණ්ඩුව යටතේ කිසිදු එජාප සාමාජිකයකුට රැකියාවක් හෝ ලබාදීමට නොහැකි වීමත්, එජාපය හා ශ්‍රීලනිපය අතර සිදුවූ කඹ ඇදීමත් හේතුකොටගෙන අවසානයේදී ආණ්ඩුව පමණක් නොව එජාපයත් විනාශ වීම සමඟි ජන බලවේගයට මෙම තීන්දුව ගැනීමට හේතුපාදක වී ඇත.
නමුත් එජාපය මේ වන විට දෙකට තුනට කැඩී තිබුණද එජාපය ඇතුළේ පොදු අපේක්ෂක හොල්මන යළිත් වතාවක් හොල්මන් කිරීමට පටන් ගෙන ඇති බවක් දැකගන්නට තිබේ. විවිධ වෙබ් අඩවි ඔස්සේ ඒ සම්බන්ධ වූ ඉඟි බිඟිද එළියට පනින ආකාරයක් දැකගන්නට තිබේ. ඒ කෙසේ වුවත් පසුගිය සතියේ පැවැති සමඟි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර සිටියේ මෙම පොදු අපේක්ෂක සෙල්ලම මුල්කරගෙන එජාපය විනාශ වී ගිය බවකි.
පොදු අපේක්ෂක කතා මීට පස්සෙ නෑ
“පොදු අපේක්ෂකයො පස්සෙ ගිහිල්ලා අන්තිමේදි එජාපය විශාල වශයෙන් කඩන් වැටුණා. පක්ෂය ඇතුළෙ ගැටුම් හටගත්තා. අපිට ඒ ආණ්ඩුවෙන් පාක්ෂියන්ට මොනවත්ම කරන්න බැරි වුණා. ඒ සියලු ප්‍රශ්න මැද්දෙ තමයි අපි අන්තිමට සමඟි ජන බලවේගය නිර්මාණය කළේ. ඒ නිසා මම එක සහිතකයක් මේ වෙලාවෙ දෙනවා. ආයෙ කිසිම දවසක පොදු අපේක්ෂකයො අපි ඉදිරිපත් කරන්නෙ නැහැ. ගිය පාර වෙච්ච ප්‍රශ්න මේ රටේ මිනිස්සුන්ට අමතක නැහැ. ඒ නිසා මිනිස්සු ආයෙත් කවදාවත් පොදු අපේක්ෂකයන්ට ඡන්දෙ දෙන්නෙ නැහැ. හැබැයි අපි ඊළඟ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන දැවැන්ත සන්ධානයක් ගොඩනඟනවා. අපේ පක්ෂයෙ නායකයා තමයි ඒ සන්ධානයෙන් අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වෙන්නෙ. මට ඒ සන්ධානය ගැන දැන්ම ඔබතුමන්ලට කියන්න බැහැ. කවුරුවත් හිතන්නෙ නැති බලසම්පන්න සන්ධානයක් තමයි අපි ඊළඟට හදන්න සැලැසුම් කරල තියෙන්නෙ. මේ පක්ෂෙ නායකයා ඒ සන්ධානයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. ඒක මම පැහැදිලිවම ඔබතුමාලට කියනවා. ඒ නිසා ආයිමත් පොදු අපේක්ෂක කතා මේ පක්ෂය ඇතුළෙ නෑ…” යනුවෙන් සජිත් එහිදී දැඩි ප්‍රකාශයක් කරනු දැකගත හැකි විය.
එහිදී සියලුම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් සජිත්ගේ ස්ථාවරය ඒකමතිකව සම්මත කළ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව සජිත් සිය ස්ථාවරය පසුගිය සතියේ කෑගල්ලේ පැවැති රැස්වීමකදීද ප්‍රසිද්ධියට පත්කිරීමට පියවර ගත්තේය. ඒ, කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීන්දුවේ යම් යම් කොටස් පමණක් ඇතැම් මාධ්‍ය පළකිරීමට පියවර ගෙන තිබීම හේතුවෙනි.
ශ්‍රීලනිපයත් අමුතුම සටනකට සැරසෙයි
පොහොට්ටුවත්, සමඟි ජන බලවේගයත් මේ ආකාරයට ජනාධිපතිවරණය සඳහා අවි ආයුධ එක්රැස් කරද්දී ශ්‍රීලනිපයද මේ වන විට කිසියම් පෙරළියකට සූදානම් වන ලකුණු පහළ කොට තිබේ. පසුගිය කාලය පුරාම ශ්‍රීලනිප පාර්ශ්වයෙන් කියැවුණේ තමන්ට පොහොට්ටුව පාර්ශ්වයෙන් විශාල අසාධාරණයක් සිදුව ඇතැයි කියාය. ජනාධිපතිවරණයට පෙර දෙපාර්ශ්වය අතර ඇතිකරගත් එකඟතාවයන්ට පොහොට්ටුව ගරු කරන්නේ නැතැයි කියාය. එම නිසා කුමන අවස්ථාවක හෝ ශ්‍රීලනිපයට යම් දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවනු ඇති බවද ඔවුන් අවස්ථා කිහිපයකදීම ආණ්ඩුව කරන බලධාරීන්ට පෙන්වා දී තිබිණ. ඒ අනුවදෝ පසුගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය ෆේස්බුක් පිටුවේ එක්තරා විශේෂ කාරණාවක් සටහන් කිරීමට පියවර ගෙන තිබිණ. එම සටහනේ තිබූ විශේෂම සිදුවීම වූයේ ඒ හරහා තැන් කිහිපයකදීම ආණ්ඩුවටත්, ආණ්ඩුවේ ප්‍රධානීන්ටත්, පොහොට්ටුවටත් පහර එල්ල කිරීමට ශ්‍රීලනිපය පියවර ගෙන තිබීමය. පහත සඳහන් වන්නේ ශ්‍රීලනිප නිල ෆේස්බුක් පිටුවේ ඔවුන් තබා තිබූ සටහනය.
‘මෛත්‍රිපාල සිරිසේන…’
“පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් නොව සරල බහුතරයක් හෝ තමුන්ගේ පක්ෂයට නොමැතිව ඒක නෑ… මේක නෑ… නොකියමින් රාජ්‍යය පාලනය කල ලංකාවේ එකම ජනාධිපතිවරයා ඔහුය.
සිය පාලන කාලය තුළ කිසිදු මාධ්‍යවේදියෙකුට, විරුද්ධවාදියෙකුට තුවක්කුව එල්ල නොකළ, පුද්ගලයන් අතුරුදන් නොකළ, පහර දීම්, ගිනි තැබීම් නොකළ, ඕනෑම පුද්ගලයෙකුට ජනාධිපතිවරයාව අවශ්‍ය අන්දමට හාස්‍යයට ලක් කිරීමට නිදහස දුන් එකම ලාංකික ජනාධිපතිවරයාය.
ගල්, වැලි කැණීම් සහ වනාන්තර විනාශය නතර කිරීමට උපරිමයෙන්ම මැදිහත් වූ පාලකයා ඔහුය.
සිය සහෝදරයා රටේ අංක එකේ සහල් ව්‍යාපාරිකයා වුණු වාතාවරණයක් යටතේ පවා අද මෙන් විකාරරූපී නොවී පාලන මිලක් යටතේ වෙළෙඳපොළේ සහල් හිඟයකින් තොරව ජනතාවට මිලදී ගැනීමට ක්‍රමවේදයක් සෑදූ ජනාධිපතිවරයාය.
කුඩ්ඩන්, මැරයන්, ස්ත්‍රී දූෂකයන්, ජාවාරම්කරුවන් සහ ත්‍රස්තවාදීන් නායක තනතුරුවල අරක්ගෙන සිටි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එයින් මුදවා ගෙන මහාචාර්ය විශ්වා වර්ණපාල, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ආචාර්ය සුරේන් රාඝවන් වැනි වියතුන් ඉහළ තනතුරුවලට පත්කොට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නැවතත් ගෞරවාන්විත තැනකට ගෙන ආ නායකයා ඔහුය.
බැසිල් රාජපක්ෂගේ සූක්ෂම මැතිවරණ යාන්ත්‍රණය ඔස්සේ පොහොට්ටුවේ සිටි අනෙකුත් පක්ෂ සියල්ලට පහර වැදී මැතිවරණයෙන් අඩපණ වෙද්දී සියළු බාධක මධ්‍යයේ ඉවසීමෙන් තම පක්ෂයට ආසන 16ක් දිනා ගැනීමට මග කියූ නායකයාය.
තම පාලන කාලය තුළ රාජ්‍යය මාධ්‍යය පෙර පැවැති පාලනයන් මෙන් විසි හතර පැයේ ආණ්ඩුවේ රෙදි අපුල්ලන ලොන්ඩරි බවට පත් නොකොට විපක්ෂයටත් නියෝජනයක් ලබා දීමට තරම් මාධ්‍යය නිදහසක් දුන් නායකයාය.
කහ කුඩු කිලෝ එක රුපියල් අටදාහටත්, වැසිකිළි කට්ටලය රුපියල් හතළිස්දාහටත් මිලදී ගැනීමට සිදුවන සාගත යුගයක් නිර්මාණය නොකොට ගෑස්, පිටි, සීනි, සහල් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අවම මිලක තබා ජීවන වියදම පාලනය කිරීමට කටයුතු කළ නායකයාය.
ගමක් ගමක් ගානේ යමින් දකින දකින තැන ගස් කොලන් කපන වනාන්තර ඇලජික් එකක් නොමැති වූ නායකයා ඔහුය.
විදෙස්ගත ශ්‍රමිකයාගෙන් පවා ගසා කමින් තම පරපුරට ආත්ම හතකට ධනය ඒකරාශි කරන මහජන මුදල් හොරෙකු නොවූ නායකයා ඔහුය.
අවසාන වශයෙන් හැම දෙනාම අහන ප්‍රශ්නය.
එතකොට පාස්කු ප්‍රහාරය?
ඔව්… පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ඔහුට බැරිවුණා.
ඒ හේතුවෙන් ඔහු හිරේ යෑමට අවශ්‍ය නම්, පාස්කු ඉරිදා බෝම්බ ගසා සමූල ඝාතනයක් සිදු කොට රටේ දේශපාලන වාතාවරණය වෙනස් කිරීමට කටයුතු කළ මහමොළකරුවන් කවුද කියා හෙළි කළ යුතුයි. ප්‍රසිද්ධියේ එල්ලුම් ගස් යැවිය යුතුයි…
ඒත් කොමිසන් වාර්තාවේ ඒ අය ගැන මොකුත් සදහනක් තියෙනවද?”
ඒ අනුව මෙම සටහන හරහා එකක් හොඳටම පැහැදිලිය. ඒ ශ්‍රීලනිපය ආණ්ඩුව ඇතුළේ සිටියද මේ වන විට ආණ්ඩුවට එරෙහිව කිසියම් සන්ධානයක් ගොඩනැඟීම සඳහා පිඹුරුපත් සකස් කරමින් සිටින බවය.
අමල් හර්ෂට පුටුව නැතිවුණු හේතුව
මේ දිනවල කොරෝනා එන්නත ලබාදීම මුල්කරගෙන ආණ්ඩුවේ ප්‍රධානීන්ට ගැටලු ගණනාවකට මුහුණදීමට සිදුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ඉන් ප්‍රධාන එකක් වී ඇත්තේ සාමාන්‍ය ජනතාවට ලබාදීමට ඇති එන්නත්වලින් සැලකිය යුතු කොටසක් පෝලිමෙන් පිට පැන ප්‍රභූ පවුල්වල ඥාතීන් විසින් විදගෙන ඇති බවට එල්ල වී ඇති චෝදනාවය. මේ හේතුව මත එන්නත්කරණ ක්‍රමවේදය දේශපාලනීකරණය වී ඇති බව කියමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එන්නත්කරණ වැඩසටහනින් ඉවත් වීමට පවා එක් අවස්ථාවක තීන්දු කොට තිබිණ.
කෙසේ වෙතත් පසුගිය සතියේදී මෙම එන්නත්කරණ සිදුවීමක් මුල්කරගෙන ප්‍රාථමික සෞඛ්‍ය, කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතාට එම තනතුරින් ඉවත් වීමටද සිදුවිය. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන සනත් ජයසූරියට පෝලිමෙන් පිට පැන කොරෝනා එන්නත ලබාදීමට මැදිහත් වීමේ චෝදනාව මතය. එම තනතුරෙන් ඉවත් කළ පසුව ඔහු පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන හා ගෘහාශ්‍රිත සත්ත්ව පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කිරීමට පියවර ගෙන තිබේ. සාමාන්‍යයෙන් ඕනෑම රටක එන්නත ලබාගැනීම සඳහා සාමාන්‍ය ජනතාව අතර පවතින බිය නැති කිරීම සඳහා දේශපාලනඥයන්, ජනප්‍රිය පුද්ගලයන්, ක්‍රිකට් ක්‍රීඩකයන්, කලාකරුවන් ආදිය එන්නත විදගැනීම සාමාන්‍ය සිදුවීමකි. ඒ අනුව යමින් ජයසූරියද එන්නත ලබාගැනීමට පියවර ගෙන තිබිණ. නමුත් සනත්ට එන්නත ලබාදීමට මැදිහත් වූ බව කියමින් අමල් හර්ෂට චෝදනා එල්ලවීමත් සමඟ ඔහු එම අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබිණ.
මහින්ද-ශිරන්ති දෙන්නාම මැදිහත් වෙයි
නමුත් මොහොතක් යෑමට මත්තෙන් අමල් හර්ෂගේ ඉවත් කිරීම ආණ්ඩුව ඇතුළේ බරපතළ ප්‍රශ්නයක් බවට පත්වූයේ අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඊට මැදිහත් වීමත් සමඟය. ඒ අනුව වහාම මහින්දටත්, ශිරන්තිටත් කතා කළ මුරුත්තෙට්ටුවේ හිමියන් අමල් හර්ෂ ඉවත් කිරීම සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය පළකිරීමට පියවර ගත්තේය. එය වහාම අත්හිටුවීමට කටයුතු කරන ලෙස මුරුත්තෙට්ටුවේ හිමියෝ මහින්දගෙනුත්, ශිරන්තිගෙනුත් ඉල්ලා සිටියහ. එම ඉල්ලීමට අනුව මහින්දත්, ශිරන්තිත් යන දෙදෙනාම ජනාධිපතිවරයාටත්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාටත් කතාකොට ඒ පිළිබඳ දැනුම්දීමට පියවර ගත්හ. නමුත් එයද මේ වන තෙක් ඉටුවී ඇති පාටක් පෙනෙන්නට නැත.
ඒ අනුව පසුගිය කාලයේ තරමක් නිහඬව සිටි මුරුත්තෙට්ටුවේ හිමියන් නැවත වතාවක් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් දැඩි ලෙස ආණ්ඩුව විවේචනය කිරීමට පියවර ගත්තේය. ආණ්ඩුව බලයට පත්කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් කනගාටු වන බව කී උන්වහන්සේ මේ වන විට ජනතාව ආණ්ඩුව කෙරෙහි කලකිරී ඇති බවද සඳහන් කර සිටියහ. මෙම සිදුවීමත් සමඟ අභයාරාමයෙන් ආණ්ඩුවට එරෙහිව පැනනැඟුණු කැරැල්ල යළිත් වතාවක් අලුත් ආකාරයකින් කරළයට පැමිණ ඇති ආකාරයක් දැකගන්නට ඇත.