මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත් කෙටුම්පත හෙවත් පොදුවේ සලකන ඔන්ලයින් පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතාවයක් පාර්ලිමේන්තු වටරවුම අසල දී පැවැත්වූවා. සමාජ සංවිධාන ගණනාවක් නියෝජනය කරන බොහෝ දෙනෙකු ඊට එක්ව තිබුණා.Sri Lanka Latest News
මෙම විරෝධතාවයට අදාළ ව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබුණා.
පොල්දූව වටරවුමේ සිට පාර්ලිමේන්තු මාර්ගය අවහිර කරමින් පාර්ලිමේන්තු ප්‍රධාන දොරටුව අවහිර කරමින් සහ පාර්ලිමේන්තුවට පිවිසිය නොහැකි ලෙස ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවය පැවැත්වීමට නියමිත බවයි වැලිකඩ පොලීසිය අධිකරණයට දන්වා තිබුණේ. තමන්ට ලද තොරතුරක් මත වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කළ ඉල්ලීමක් අනුව අධිකරණය එම වාරණ නියෝගය ලබාදී තිබුණා.
මාර්ගය භාවිත කරන මහජනතාවට හා පදිකයින්ට අවහිර වන සේ කිසිදු මාර්ගයක් හරස් කර හෝ ප්‍රචණ්ඩක්‍රියා නොකිරීමටත්, මහජන නියොජිතයින්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාදයන් උල්ලංඝනය වන අයුරින් හා රාජකාරියේ යෙදී සිටින රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරි සඳහා බාධාවක් සිදුවන අයුරින් හෝ කිසිදු පුද්ගලයෙකුට අවහිරයක් නොවන අයුරින් අදාළ උද්ඝෝෂණය සිදුකිරීමට වගබලාගත යුතු බව අධිකරණය දැනුම් දී ඇති බව මෙම විරෝධතාවය ආරම්භවීමටත් පෙර පොලිසිය විසින් විරෝධතාකරුවන්ට දැනුම් දුන්නා.
එසේ වගකීම භාරගැනීමට නොහැකි නම් අදාළ උද්ඝෝෂණය වගඋත්තරකරුවන් විසින් නොපමාව විසුරුවා හැරිය යුතු බව ද අධිකරණය නියෝග කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙම අණ කඩ කළොහොත් සාමය රකිනු සඳහා ශ්‍රී ලංකා පොලීසිය වහාම පියවර ගත යුතු බව ද අධිකරණය දැනුම්දී තිබෙන බව පොලිසිය විරෝධතාකරුවන්ට කියා සිටියා.
විශාල පොලිස් බලඇණියක් කැඳවා, අධිකරණ නියෝග ලබා තිබියදීත් විශාල පිරිසක් මෙම විරෝධයට එක්ව සිටීම විශේෂයක්.










