2019 ජනවාරි මාසයේ සහරාන් ඇතුළු කණ්ඩායම පිළිබදව සියලු තොරතුරු ජාතික ආරක්ෂක කවුන්සිලයට ලිඛිතව හා වාචිකව වාර්තා කළ බව හිටපු බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ප්‍රහාරය පිළිබදව පරීක්ෂණ පවත්වන ජනාධිපති විමර්ශන කොමිසම වෙත ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම එක් අවස්ථාවකදී සහරාන් අන්තවාදියකු නොව සැබෑ ත්‍රස්තවාදියකු බව ආරක්ෂක මණ්ඩලයට දැනුම් දුන් බවද නිලන්ත ජයවර්ධන මහතා කොමිසම හමුවේ අනාවරණය කොට ඇත.
දිගින් දිගටම සහරාන් පිළිබදව අනතුරු ඇගවීම් කළද ඔහු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු විමර්ශන කණ්ඩායමක් කටයුතු නොකළ බවද හෙතෙම අනාවරණය කොට තිබේ.
එමෙන්ම මාවනැල්ලේ බුදුපිළිම කැඩීමේ සිද්ධිය ත්‍රස්ත ක්‍රියාවක් බවත්, ඊට සහරාන් සම්බන්ධ බව තමන් 2019 ජනවාරි මාසයේ ආරක්ෂක කවුන්සිලය දැනුවත් කර තිබූ බවත්, සහරාන් අත්අඩංගුවට නොගතහොත් විශාල විනාශයක් සිදුවීමට ඉඩ ඇති බව තමන් එහිදී පෙන්වා දුන් බවත් ජයවර්ධන මහතා කොමිසම හමුවේ අනාවරණය කොට ඇත.











