විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (09) මහනුවර ඓතිහාසික මල්වතු මහා විහාරය වෙත පැමිණ මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබා ගත්තේය.

ඉන් අනතුරුව මහනුවර ඓතිහාසික අස්ගිරි මහා විහාරය වෙත පැමිණ මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහානායක මාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබා ගත්තේය. අස්ගිරි මහා පරිවෙනාධිපති පූජ්‍යපාද නාරම්පනාවේ ආනන්ද හිමිපාණන්වහන්සේ ද එම අවස්ථාව සහභාගී වූහ.
සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, පා.ම මයන්ත දිසානායක ඇතුලු පිරිසක් ද එම අවස්ථාවට එක් වූහ.
පසුව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික දිය අගලේ ආරක්‍ෂිත බැම්මේ විශාල කොටසක් කඩා වැටී ඇති අතර එය නිරීක්ෂණය කිරීම සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (09) එම ස්ථානය වෙත පැමිණියේ ය.
ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික දිය අගලේ මීටර් 10ක පමණ කොටසක් මෙසේ කඩා වැටී ඇති අතර එම ස්ථානයේ බැම්මේ තවත් කොටසක් කඩා වැටීමේ තර්ජනයට ද ලක්ව තිබේ.

මේ පිළිබඳව විපක්ෂ නායකතුමාගේ විශේෂ අවධානය යොමු විය.
සමගි ජන බලවේගය මගින් ක්‍රියාත්මක ‘දිනමු’ කමිටු පිහිටුවීමේ වැඩසටහනට සමගාමීව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහනුවර දිස්ත්‍රික්කයේ විහාරථානවල මහා සංඝරත්නය ද වෙනත් ආගමික නායකයින්ද බැහැදැක ආශිර්වාදය ලබාගත්තේය.











