යාපනය විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කර තිබූ ස්මාරකය ඉවත්කිරීමට විරෝධය පළ කරමින් ලබන සඳුදා දිනයේ නවදිල්ලි හි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වන බව එම්.ඩී.එම්.කේ පක්ෂයේ නිර්මාතෘ වයිකෝ ප්‍රකාශ කර ඇත.
මීට අමතරව ඒ සම්බන්ධයෙන් ඉන්දියානු තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළුව දේශපාලඥයින් පිරිසක් ශ්‍රී ලංකා රජයට චෝදනා එල්ල කර තිබේ.
තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය කේ. පලනිස්වාමි, නියෝජ්‍ය ප්‍රධානී ඕ. පන්නීර්සෙල්වම් සහ ඩී.එම්.කේ පක්ෂයේ සභාපති එම්.කේ. ස්ටාලින් ඇතුළු පිරිසක් මෙලෙස චෝදනාඑල්ල කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
අදාළ ස්මාරකය ඉවත් කිරීම ලොව පුරා ද්‍රවිඩ ජනතාව ශෝකයට පත් කරන කරුණක් බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකා රජයට චෝදනා එල්ල කරන තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යපලනිස්වාමි පෙන්වා දෙන්නේ අදාළ සිදුවීම තරයේ හෙළා දකින බවය.
මෙම සිද්ධිය ඉන්දීය රජය ද හෙළා දැකිය යුතු බව ඩී.එම්. කේපක්ෂයේ සභාපති එම්.කේ.ස්ටාලින් ප්‍රකාශ කර තිබේ.










