වී අලෙවි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිනී චම්පිකා ඩී. ධර්මසේන එම තනතුරින් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුමේධ පෙරේරා විසින් වී හා ධාන්‍ය, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් අනිල් විජේසිරි මහතා හට ලිඛිතව දැනුම් දී ඇත.
ධර්මසේන මහත්මිය සාමාන්‍යාධිකාරී තනතුරට පත් කර තිබුණේ එම අමාත්‍යාංශය මගිනි.
වී අලෙවි මණ්ඩලය සඳහා පොලිසැක් මලු මිලට ගැනීමේ කමිටු සාමාජිකාවක ලෙස කටයුතු කර ඇති ඇයට එරෙහිව චෝදනා එල්ල වූ බවත් එම චෝදනා අතර මණ්ඩලයට රුපියල් දෙකෝටි විසි දෙලක්ෂයකට අධික මූල්‍යමය අලාභයක් සිදු කළ බවට වන චෝදනාවක් පවතින බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ලිපියේ සඳහන්ව තිබේ.
එම මලු මිලට ගැනීමට සම්බන්ධ වූ නිලධාරීන්ට විධිමත් විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන් කරන ලේකම්වරයා ඒ අනුව මෙම නිලධාරිනියට ද ඉතා ඉක්මනින් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද දැනුම් දී ඇත.










