පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ ආණ්ඩුව ඇතුළේ ඉඳන් ආණ්ඩුවට ගහපු ප්‍රධානියකු ලෙස හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා ප්‍රසිද්ධියක් ඉසිලීය. අධිකරණ අමාත්‍ය ධුරය දරමින් සිටියදීම විජයදාස බැඳුම්කර වංචාව පිළිබඳ දැඩිව අදහස් දැක්වීමක් කළේය. එක්සත් ජාතික පක්‍ෂ ප්‍රධානීන් ඊට වගකිව යුතු බව කියා සිටියේය.
විජයදාස ඇතුළේ ඉඳගෙන මේ විදියට ආණ්ඩුවට ගහන එක යහපාලන ආණ්ඩුවේ ප්‍රධානීන්ට දිරෙව්වේ නැත. ඒ නිසා විජයදාසව ඇමැතිකමේ තියන්න යහපාලන ප්‍රධානීන් සූදානම් වූයේ නැත. වහාම ඇමැතිකමෙන් ඉවත් වන ලෙසට ඔවුන් විජයදාසට දැනුම් දුන්නේය. ඇමැතිකමෙන් ඉවත් නොවන්නේ නම් විශ්වාසභංගයක් ගෙනැවිත් ඇමැතිකමෙන් ඉවත් කරන බවට පණිවුඩ එව්වේය. ඒකේ ප්‍රතිඵලය වුණේ විජයදාස ඇමැතිකමෙන් ඉවත් වීමය.
යහපාලන ආණ්ඩුව ඇතුළේ පමණක් නොව මේ ආණ්ඩුව ඇතුළේද විජයදාස ඒ චරිතයම රඟපාන්න පටන් ගත්තේය. ආණ්ඩුවට එරෙහිව දැඩි ප්‍රකාශ නිකුත් කළේය. ආණ්ඩුවේ ගමන වැරැදි බව කියා සිටියේය. ආණ්ඩුවේ වැරැදි පෙන්වා දෙමින් ගෝඨාභයට ලියුම් ලිව්වේය.
විජයදාස මෙහෙම හැසිරුණා කියා යහපාලන ආණ්ඩුවේ වාගේ විජයදාසට තර්ජන කරන්නට මේ ආණ්ඩුවේ කිසිවෙකුත් ඉදිරිපත් වූයේ නැත. විජයදාසට උත්තර දෙන්න කවුරුත් ගියේ නැත. ඒකෙන් මේ ආණ්ඩුව පෙන්වූයේ තුනෙන් දෙකක ආණ්ඩුවක් වුවත් ඕනෑම අවස්ථාවක විවේචනවලට මුහුණ දීමට ආණ්ඩුව සූදානම් යැයි කියාය. වැරැදි තැන් ඇත්නම් ඒ තැන් නිවැරැදි කරගැනීමට ආණ්ඩුව සූදානම් යැයි කියාය.
පසුගිය සතියේදී ඩලස් මේ කතාව අපූරුවට රටට පැහැදිලි කළේය.
‘ආණ්ඩුව ඇතුළේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ සියලුදෙනාම පවුලක් වගේ වැඩ කරනවා. පවුලක් ඇතුළෙත් විවිධ මතවාද, ගැටුම් තියෙනවා. අපි ඒවා පවුල ඇතුළෙම විසඳාගෙන එකමුතුව වැඩ කරනවා.’
ඩලස් කියා තිබුණේ එහෙම කතාවකි.
හැබැයි ඩලස් මෙහෙම කියද්දී විපක්‍ෂය නම් හිටියේ ආණ්ඩුව ඇතුළේ ගැටුම් හේතු කොට ගෙන අද හෙට ආණ්ඩුව කඩන්වැටේ යැයි කියා දින ගනිමින්ය. ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ නියෝජිතයන් වූ විමල් – ගම්මන්පිල – වාසුදේවලා ආණ්ඩුවට එරෙහිව ප්‍රකාශ නිකුත් කරද්දී, රට වසා දැමිය යුතු බවට ලියුම් ලියද්දී විපක්‍ෂය හිටියේ හොඳටම චූන් වෙලාය. විමල්ලාට පොහොට්ටුවේ මහලේකම්වරයා වූ සාගර කාරියවසම් උත්තර බැඳිද්දී විපක්‍ෂය හිටියේ හොඳටම ‘උෂාර්’ වෙලාය.
ඒ විතරක් නොව ඩලස්ද කලකිරී සිටින බවට විපක්‍ෂය සමාජ මාධ්‍ය ජාලවල පුවත් පළ කළේය. ඩලස්ව මුරුංගා අත්තේ තබමින් විපක්‍ෂයේ පැත්තෙන් විවිධ ප්‍රකාශ නිකුත් වන ආකාරයක්ද දැකගත හැකි විය.
හැබැයි විපක්‍ෂය බලාගෙන හිටපු කිසිම දෙයක් සිද්ධ වුණේ නැත. සිද්ධ වෙච්ච එකම දේ කලකිරිලා යැයි විපක්‍ෂය කියපු හැමෝම ආණ්ඩුව ආරක්‍ෂා කර ගැනීමට එකා මෙන් කැපවී කටයුතු කිරීමය.
කලකිරිලා ඉන්නවා කියපු ඩලස් ප්‍රසිද්ධියේම අද ආණ්ඩුවේ සියලුදෙනා එකම පවුලක් මෙන් කටයුතු කරන බව සඳහන් කරයි.
ආණ්ඩුවෙන් එළියට බහින්න බලාගෙන ඉන්නවා කියපු විමල් අද ආණ්ඩුව මුහුණ දෙන ප්‍රධානම ප්‍රශ්නයක් වන ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසඳීමේ වගකීම කරට ගෙන සිටී. විමල් කියන්නේ කමිටුව හරහා මෙම ගැටලුවට සාධාරණ විසඳුමක් යෝජනා කර ඇතැයි කියාය. රුපියල් 5,000ක දීමනාවක් ලබා දීම කමිටුවේ යෝජනාවක් නොවන බව කියන විමල් එය වැඩි හොඳට මුදල් අමාත්‍ය බැසිල් විසින් කළ එකක් බවද කියයි. මෙම විසඳුම හෝ පිළිනොගන්නා ගුරුවරුන් ෂයිලොක් පන්නයේ පිරිස් බවටද විමල් චෝදනා කර සිටී.
ඊළඟට උදය ගම්මන්පිලත් එසේමය. පසුගිය කාලයේ තෙල් මිල ඉහළ දැමීම මුල්කරගෙන ගම්මන්පිල එක්ක ආණ්ඩුවේම ප්‍රධානීන් කටකැඩිච්ච කතා කියා ගත්තත් පසුගිය කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයාත්, බැසිලුත් ගම්මන්පිලට විශේෂ ස්තුතියක් කළ බව වාර්තා වී තිබිණි. ඒ ගම්මන්පිල ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි යළි ලංකාවට ලබා ගැනීමට දියත් කර ඇති සටන මුල්කරගෙනය.
වාසුගේ ප්‍රශ්නයත් එසේමය. වාසුත් පසුගිය කාලයේ ආණ්ඩුවට එරෙහිව යම් යම් අදහස් ප්‍රකාශ කළත් දැන් කියන්නේ සියලුදෙනාම එකමුතුව ආණ්ඩුව කළයුතු යැයි කියාය.
ඒ වගේම මේ සියලුදෙනා එක්ක බැසිල් බරපතළ ගැටුමක් හදාගෙන ඇති බවටත් විපක්‍ෂය පසුගිය කාලයේ විවිධ කතා කීහ.
‘බැසිල් කොයි වෙලාවේ හරි විමල්, ගම්මන්පිලලාව ගහලා පන්නවා… ඒ අයගේ අමාත්‍යාංශවලට සල්ලි දෙන එකකුත් නෑ…’
විපක්‍ෂය කීවේ එහෙමය.
හැබැයි ඒ සියල්ල හීන බවට පත්කරමින් පසුගිය කාලයේදී බැසිල් මේ සියලු පක්‍ෂ වෙන් වෙන්ව මුදල් අමාත්‍යාංශයට කැඳවා සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. ඉදිරි අය-වැය ලේඛනය හදන්න ඒ පක්‍ෂවලින් යෝජනා ඉල්ලුවේය. විමල්, ගම්මන්පිල, වාසු ඒ සාකච්ඡා ඉතා සාධනීය ලෙස පැවැති බව් මාධ්‍යයට ප්‍රකාශ කළහ.
මෙහෙම ප්‍රකාශ විමල්ලාගේ පැත්තෙන් නිකුත් වෙද්දී විපක්‍ෂය දැන් ඉන්නේ කුඤ්ඤය ගලවා වලිගය හිරකරගත් වඳුරා ගානට වැටිලා තක්කු මුක්කු වෙලාය.
අනෙක සන්ධාන දේශපාලනයේදී ආණ්ඩුවක් ඇතුළේ මතගැටුම් ඇති වීම ස්වාභාවිකය. එය එදා ඉඳන් ගහපු සන්ධාන ආණ්ඩුවල දැකගන්නට ඇති පොදු ලක්‍ෂණයකි. හැබැයි ඒ සන්ධාන ආණ්ඩුවල ඇති වූ ගැටුම් හා මේ සන්ධාන ආණ්ඩුව ඇතුළේ ඇති වන ගැටුම් අතරේ පැහැදිලි වෙනස්කමක් දැකගන්න තිබේ. ඒ මතගැටුම් හේතුවෙන්ම මේ සන්ධානය ශක්තිමත් වීමය.
ඉතිහාසයේ සන්ධාන ආණ්ඩුවල තිබ්බ ගැටුම්වලින් ඒ ආණ්ඩු කඩාවැටුණත් මේ සන්ධාන ආණ්ඩුව ඇතුළේ එසේ නොවේ. මේ සන්ධාන ආණ්ඩුව ශක්තිමත් වන්නේ පක්‍ෂ අතර ගැටුම් හේතුකොටගෙනය. ඒකට හොඳම උදාහරණය ගම්මන්පිලට එරෙහිව විපක්‍ෂය අරගෙන ආ විශ්වාසභංගයය.
විපක්‍ෂය හිතුවේ ආණ්ඩුව ඇතුළේ මතගැටුම් නිසා ගම්මන්පිලගේ විශ්වාසභංගයෙන් ආණ්ඩුව දෙකට කැඩේවි යැයි කියාය. හැබැයි අන්තිමේදී වුණේ මතගැටුම්වලින් බෙදී සිටි ආණ්ඩුව විපක්‍ෂයේ විශ්වාසභංගයෙන් එකමුතු වීමය. පෝට්සිටි පනතේදීවත් සොයාගන්නට බැරි වූ තුනෙන් දෙක ගම්මන්පිලගේ විශ්වාසභංගයේදී හදා පෙන්වීමට ආණ්ඩුවට ඒ හරහා ඉඩ ලැබිණි.
ඒ නිසා ආණ්ඩුවේ මතගැටුම් ඉදිරියට දමා ආණ්ඩු බලය ගන්න විපක්‍ෂය බලා ඉන්නවා නම් විපක්‍ෂයටත් වෙන්නේ අර මොකද්ද එක වැටෙනකම් එළුවාගේ පස්සේ ගිය නරියාට වෙච්ච දේමය.










