කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේ අරමුණින් ඉන්දියාවේ අදානි සමූහය සමග ගිවිසුම් ගත වීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ.
ඒ අනුව වරායේ නැගෙනහිර පර්යන්තයේ 49%ක අයිතිය ඉන්දියාවේ අදානි සමූහය සහ ජෝන් කීල්ස් ආයතනය වෙතටත්, 51%ක අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වන ලෙසත් ගිවිසුම් අස්සන් කිරීමට සැලසුම් කර ඇති බව පැවසේ.
කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ඇති විශේෂ ලක්ෂණය වන්නේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු 49%ක කොටස් අයිතිය හිමි අදානි සමූහය වෙත සහ ජෝන් කීල්ස් ආයතනය වෙත පවරා දීමට කටයුතු කර තිබීමය.
මීට පෙර වරාය නැගෙනහිර පර්යන්තයේ කටයුතුවලින් 49%ක අයිතිය තිබුණේ ඉන්දියාවටත්, ජපානයටත්ය.
නමුත් ආණ්ඩුව බලයට පත්වූ සැණින් නැගෙනහිර පර්යන්තය ආණ්ඩුවට ලබා ගැනීම සදහා විශේෂ වැඩපිළිවෙළක් දියත් කොට තිබිණ.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය වර්ජන කිහිපයක්ද වරාය තුළ ආරම්භ කළ අතර ආණ්ඩුව ගෙන ඒම සදහා විශාල දායකත්වයක් සැපයූ ඇල්ලේ ගුණවංශ හිමියන්ද මෙම විරෝධතා සදහා එක්ව සිටිනු දැකගත හැකිවිය.
එම විරෝධතාවලින් පසුව ජපානය වරාය නැගෙනහිර පර්යන්තයේ කටයුතුවලින් ඉවත්වීමට පියවර ගෙන තිබිණ.
ඒ අනුව බොහෝ දෙනා සිතා සිටියේ ඉන්දියාවද ඉන් ඉවත් වනු ඇති බවකි.
නමුත් ඉන්දියාව පසුගිය සති කිහිපය පුරාම මේ සම්බන්ධයෙන් ආණ්ඩුව සමග සාකච්ජා වට ගණනාවක් පැවැත්වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේ අදානි සමූහයට සහ ජෝන් කීල්ස් සමාගමට පර්යන්තයේ 49%ක කොටස් පැවරීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.