ලසන්ත වික්‍රමතුංග මාධ්‍යවේදියාව මට පළමුව මුණගැහුණේ කැලණිය විශ්වවිද්‍යාලයේදී මට ලැබුණු නිබන්ධනයක් නිසා. රෝහණ ලක්ෂ්මන් පියදාස සර් මට භාරදුන්නේ 1953 හර්තාලය පිළිබඳ කොළඹ මහජන පුස්තකාලයේ පරණ පත්තර හොයා ගවේෂණයක් කරන්න කියලා. සතියක් විතර බැලුවත් වැඩේ මට සෙට් නොවූ නිසා ඒ ගැන සර්ට කිව්වා.
එහෙනම්, ‘සන්ඩේ ලීඩර් එකේ ලසන්ත වික්රමතුංගව දන්නවද? හොයාගෙන ඉන්ටර්වීව් එකක් කරන්න පුළුවන්ද?’ Sri Lanka Latest News
ඉඟුරු දීලා මිරිස් ගන්නවා වගේ වැඩක් කියලා හිතුණත්, ඒකේ පොඩි ගතියක් තිබුණා.
‘සර් ලසන්තව කන්ටැක් කරගන්නේ කොහොමද? අල්ලගන්න අමාරුයි නේද?’
‘ඇයි යකෝ ඒකත් මම කරලා දෙන්න ඕනෙද?’
අමාරුම නම් වෙන එකක්.
‘එපා සර් මම සන්ඩේ ලීඩර් පත්තරේ බලලා ටෙලිෆෝන් අංකේ හොයා ගන්නම්.’
වැඩේ බාරගත්තා. ඒ කාලේ ලීඩර් ප්‍රෙස් එක තිබුණේ ජේම්ස් පීරිස් මාවතේ, අද Altair බිල්ඩිම තියෙන තැනට ආසන්නව, CCC වගේ බිල්ඩිමක නමක්.
ලේකම්වරියට කාරණාව කිව්වා. ලසන්ත එක්ක චෙක් කරලා ඩයරිය බලලා මට පැය භාගයක් දුන්නා.
ගඩොල් භාගෙ ෆෝන් එකක්, කොලයි පෑනයි, කැමරාවයි අරගෙන 10ට එතැනට ගියා. ලීඩර් කර්තෘ මණ්ඩලයත් එතැනම තිබුණු නිසා ඒක හරිම කාර්යබහුල තැනක්. AC කරපු ඔෆිස් එකකට ගිහින් මාව හඳුන්වලා දෙනකොටම, ඔහු එකෙන් එකට එන ටෙලිෆෝන් ඇමතුම් අතරේ හිටියා. අන්තිමේදී, ‘සොරි, දන්නෙ නැද්ද ඉතින්, ඔයාද අර එනවා කිව්වේ?’ කියලා සිනාවෙන් කතාවට වැටුණා.
‘මොකද කරන්නේ? කාලද? තේකක් බොමුද?’ කියලා ඉතාම සරලව වැඩේ පටන් ගත්තා. මගේ ප්‍රශ්න ටිකට හරිම ලස්සනට, විවෘතව උත්තර දුන්නා.
මම – ඔබේ මාධ්‍ය ජීවිතයේ අමතක නොවන සිදුවීම?
ලසන්ත – 99 ආපු චන්ද්‍රිකාගේ ආණ්ඩුවත් එක්ක හැප්පුණු එක තමයි (ඒ ආණ්ඩුවේ එක එක වැරදි පෙන්නපු එක)
‘සිංහල පත්තරයක් පටන් ගත්තොත් මම කෝල් එකක් දෙන්නම්’ කියලා මගේ නොම්මරෙත් ඉල්ලගත්තා.
පස්සේ නිබන්ධනය හදලා ඒකේ කොපියක් දෙන දවසක, දවල් වෙලා ගියාම, කාර් එකේ නගින්න යන ගමන් ‘දැන් මම මේ යන්න හදන්නේ’ කියලා රත්මලාන ප්‍රෙස් එකට යනවා කියලා කිව්වා. ‘ඔක්කොම හරි නේද?’ කියලා මම දුන්න ලිපි ගොනුව පිටිපස්සේ සීට් එකෙන් දාගෙනම ගියා.
ඇත්තටම එදා රෝහණ ලක්ෂ්මන් පියදාස, ආරියරත්න ඇතුගල සර්ලා එහෙම මුණ නොගැහුණා නම් මේ කතාව මෙහෙම ලියන්න වෙන්නේ නැහැ.
බැරි වෙලාවත් අර නිබන්ධනයට දුන්න 1953 හර්තාල් ගැන එහෙම ලිව්වා නම් ඒත් එහෙමයි.
අවුරුදු ගානකින් පස්සේ ඔහු ආපහු දැකගන්න ලැබුණේ මළගෙදරදී. දේහය තිබුණේ බත්තරමුල්ල, රොබට් ගුණවර්ධන පාරේ නිවසේ. මම හවස් වෙලා ගියාට ගෙදරට ළංවෙද්දී කවුරුත් හිටියේ නැහැ. බැනර් විතරයි, හැමතැනම හිස්. ගෙදරට ඇතුළු වෙද්දී කාන්තාවක් ආවා. ලසන්තගේ අලුත් බිරිඳ සොනාලි කියලා මම ඇයව හඳුනාගත්තා. ‘බොඩිය දැන් ගිනිච්චේ, ලසන්ත හිටපු නුගේගොඩ ගෙදරට’ කියලා ඇය කිව්වා. (එතකොට අලුතෙන් විවාහ වෙලා මාස ගානයි කියලා මම හිතන්නේ.)
මම කවුද, ලසන්තව කොහොමද අඳුනන්නේ කියලා විස්තර කළා. ඇය මට සමරු සටහන් පොත පෙන්නලා, ‘මෙතැනත් ඔබේ ශෝකය ප්‍රකාශ කරන්න’ කියලා කිව්වා. බය නැතුව ලියන, Reynolds වගේ සරල පෑන් පාවිච්චි කරපු, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගවේෂණශීලී මාධ්‍යවේදියෙක් වූ චරිතයකට මගේ අවසන් ගෞරවය එහි ලියා තැබුවා.
කවුද මැරුවේ, මොකටද මැරුවේ කියලා හැමෝම දන්නවා. ඒත් සාක්ෂි නැහැ. නැත්නම් සාක්ෂි වසන් වුණා. ගිය අවුරුද්දේ මුල අල්ලාගත් චූදිතයන් තුන්දෙනාත් නිදහස් කළා. අවුරුදු 17ක් වෙනවා. ජනාධිපතිලා ආවා, ආණ්ඩු වෙනස් වුණා.
ඒත් අදටත් ලසන්ත වික්රමතුංගගේ මිනීමරුවන් නිදැල්ලේ. ඔබේ ආත්මයට සැනසීමක් ලැබේවා…
අසංක ගුණසේකර










