ජපානය ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ සමුළුවක් සංවිධානය කිරීමට අපේක්ෂා කරන බව මීට දින කිහිපයකට පෙර මෙරට මාධ්‍ය කිහිපයක් මෙන්ම රොයිටර් පුවත් සේවයද වාර්තා කොට තිබිණ.
ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට යම් සහනයක් සලසා දීමේ අරමුණ ඇතිව ජපානය මේ සදහා යොමු වී ඇති බවද එම වාර්තාවන්ගෙන් වැඩි දුරටත් කියවිණ.
කෙසේ වෙතත් ජපාන රජය එම ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කරන බව අද ඩේලි එෆ්.ටී පුවත්පත වාර්තා කොට තිබේ.
පසුගිය අගහරුවාදා පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා ලංකාව වෙනුවෙන් එවැනි සමුළුවක් පැවැත්වීමේ සූදානමක් නැති බව ප්‍රකාශ කර තිබේ.
‘අපි ශ්‍රී ලංකාව සමඟ විවිධ අන්තර් සම්බන්ධතා පවත්වමින් සිටිමු. ශ්‍රී ලංකාවේ බරපතළ ආර්ථික තත්ත්වය පිළිබඳව ද අපි හොඳින් නිරීක්ෂණය කරමින් සිටිමු. රටේ පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ ඖෂධ නිෂ්පාදන සහ ආහාර වශයෙන් මානුෂීය ආධාර රටට ලබාදීමේ සැලසුම් අපි මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටිනවා.
‘ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ පැරිස් සමාජය සමඟ සම්බන්ධීකරණයෙන් විනිවිදභාවය සහතික කරමින් මූල්‍ය හා ආර්ථික විසඳුම් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. අපේ රට ශ්‍රී ලංකාවේ තත්ත්වය හොඳින් නිරීක්ෂණය කර ශ්‍රී ලංකාව හෝ වෙනත් ජාත්‍යන්තර පරිත්‍යාගශීලී සංවිධාන සමඟ සාකච්ඡා කරනු ඇත” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා ඇත.










