2015 -2019 යන කාල සීමාවේදී ලංකා සතොස සමාගමට අයත් වාහන අවභාවිතා කිරීමේ චෝදනාව මත හිටපු වරාය රාජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරූෆ් මහතා ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
අබ්දුල්ලා මහරූෆ් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂය නියෝජයනය කරනු ලබන්නෙකි.
එම චෝදනාව සම්බන්ධයෙන් මාතලේ පදිංචි මොහොමඩ් අස්ලාම් නැමැති පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලක් මත ඊයේ රාත්‍රියේ පුද්ගලයින් දෙදෙනෙක් ව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ලංකා සතොස ආයතනයේ වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන්. විශේෂයෙන්ම 2015ත් 2019ත් අතර කාලය තුළ මෙම අවභාවිතයන් සිදුව ඇති බවට වාර්තා වෙනවා. එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් වන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම නියෝජ්‍ය ඇමතිවරයෙක් ලෙස කටයුතු කර ඇති අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් නමැති අය සහ මාතලේ ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් අස්ලාම් නමැති අයෙකි. විශේෂයෙන්ම ලංකා සතොස ආයතනයට අනුයුක්තව තිබූ වාහන කිහිපයක් අවභාවිත කිරීම සම්බන්ධයෙනුයි මොවුන් අත්අඩංගුවට ඇත්තේ. හිටපු මන්ත්‍රීවරයා ඔහුගේ නිවස පිහිටි කින්නියා ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් ව අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබෙනවා” යනුවෙන් ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
එමෙන්ම පසුගිය රජය සමයේ සතොස ආයතනය භාරව සිටියේ ද රිෂාඩ් බදුර්දීන් හිටපු අමාත්‍යවරයායි.











