නාමල් ගහපු දේශපාලන සැලසුමට වෙච්ච දෙයක්!
මහින්ද රනිල්ගෙන් අගමැතිකම ඉල්ලයි!
එන්න කියලා තියෙද්දිත් රනිල් ඉන්දියාවට නොයන හේතුව!
යනවා යනවා ආණ්ඩුවට යනවා…!
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය භාරගත් දින සිටම මෙරට මාධ්‍යවල වෙබ් අඩවිවල, සමාජ මාධ්‍ය ජාලවල නිරන්තරයෙන්ම පළවූ විශේෂ පුවතක් විය. ඒ, සජබෙන් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඉවත්ව ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුවට එක්වීමට සූදානම් වනවා යැයි කියාය. ආණ්ඩුවට ප්‍රශ්න ඇතිවූ සහ ඇතිවන සෑම අවස්ථාවකදීම මෙම පුවත සංවිධානාත්මකව ආණ්ඩුව පැත්තෙන් මාධ්‍යවල පළකිරීමට පියවර ගත්තේ ඒ හරහා රටේ ජනමතය වෙන පැත්තකට යොමු කිරීම සඳහාය. ඇතැම් අවස්ථාවලදී එසේ එන සජබ මන්ත්‍රීවරුන් කණ්ඩායමේ ගණන් හිලව් සහ නම් පවා මෙම පුවත්වල සඳහන් කර තිබෙනු දක්නට හැකි විය. මන්ත්‍රීවරුන් 10 දෙනකුගෙන් පටන්ගත් මෙම ගණන් හිලව් ප්‍රමාණය අවසානයේදී මන්ත්‍රීවරු 40 දක්වා ඉහළ ගොස් තිබිණි. එහි කූඨප්‍රාප්තිය දැකගන්නට හැකි වූයේ අප්‍රේල් 04 වැනිදා පැවැති පාර්ලිමේන්තු රැස්වීමේදී සජබ මන්ත්‍රීවරු 40ක් ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනිමට සූදානම්ව සිටින බවට ඇතැම් මාධ්‍ය තොරතුරු වාර්තා කිරීමත් සමගය. එය එදින මෙරට ප්‍රධාන පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය බවට පත්වූ ආකාරයක්ද දැකගත හැකි විය. මෙය ඒ තරමටම සංවිධානාත්මකව පළකෙරුණු පුවතක් වීම නිසා රටේ ජනතාවද එය සම්පූර්ණයෙන්ම විශ්වාස කරමින් 04 වැනිදා සජබෙන් මන්ත්‍රීවරු 40 දෙනකු ආණ්ඩුවට එක්වන ආකාරය දැකබලා ගැනීම සඳහා රූපවාහිනිය ඉදිරිපිට ඇහැ කන ඇරගෙන බලා සිටිනු දැකගත හැකි විය.
මිනිස්සුත් විශ්වාස කළා!
නමුත් 04 වැනිදා කිසිදු සජබ මන්ත්‍රීවරයකු ආණ්ඩුව සමග එක්වූයේ නැත. එම නිසා ආණ්ඩුව පාර්ශ්වයෙන් ගෙනගිය මහා මාධ්‍ය මෙහෙයුමක් එක් වරම හතරගාතේ දමා බිම ඇදවැටුණු ආකාරයක් දැකගන්නට ලැබිණි. කොටින්ම කියනවා නම් සමාජ මාධ්‍ය ජාල පුවත් සහ වෙබ් අඩවි පුවත් පමණක් නොව, පත්තරවල ටීවීවල යන දේශාපලන පුවත් පවා විශ්වාස නොකරන තැනට මෙම සිදුවීම හරහා ජනතාව පත්ව සිටින ආකාරයක් දැකගත හැකි විය.
රාජිතට ඇතුළෙන්ම සපෝට් එකක්!
මේ ආකාරයට සජබයෙන් ආණ්ඩුවට එක්වන පුවතට ස්වභාවික මරණයක් හිමිවීමත් සමග තවත් විශේෂ සිදුවීමක් ඊට දින කිහිපයකට පසු විපක්ෂ නායක කාර්යාලයේදී දැකගන්නට ලැබිණි. ඒ, ආණ්ඩුවට ‘ඔන්න යනවා… මෙන්න යනවා..’ යැයි කී රාජිත සේනාරත්න මහතා විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය හමුවකට සහභාගි වීමය. සජබෙන් ආණ්ඩුවට එක්වන පුවත කඩාවැටෙමින් තිබියදී රාජිත පැවැත්වූ මාධ්‍ය හමුවෙන් පසු නැවතත් එම පුවතට අලුතෙන් පණ ලැබුණු බවක් දැකගන්නට ලැබුණේ මාධ්‍ය හමුවේදී රාජිත ජාතික ආණ්ඩුවකට සජබය සහාය දිය යුතු බවටත්, ඇමැතිකම් ගතයුතු බවටත් නැවත වතාවක් ප්‍රකාශ කිරීමත් සමගය. විපක්ෂ නායක කාර්යාලය වැනි තැනකට පැමිණ පක්ෂයේ ස්ථාවරයට පිටින් යමින් රාජිත මෙවැනි අදහසක් පළකිරීම හිටිහැටියේම සිදුවූවක් නොවන බව එහිදී බොහෝ දෙනාගේ අදහස වී තිබිණි. එය ඉතා සැලසුම්සහගතව විපක්ෂ නායක කාර්යාලයේ නිලධාරීන් දෙතුන් දෙනකු දැනුවත්ව සිදුවූවක් බව බොහෝ දෙනාගේ විශ්වාසයය. 04 වැනිදා සජබයේ 40ක් ආණ්ඩුවට එක්වන බව කියමින් ආණ්ඩුවට සම්බන්ධ මාධ්‍ය ගෙනගිය කතාව අමු කෙප්පයක් බවට විපක්ෂ නායකවරයාත්, විපක්ෂ මන්ත්‍රීවරුනුත් නිවේදන පිට නිවේදන නිකුත් කරමින් කියා සිටියදී එම මතයට පිටින් යමින් රාජිත කළ මෙම ප්‍රකාශයත් සමග සජබය යළිත් දෙබරයට ගල් ගැසුවාක් මෙන් ඇවිස්සී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව සජබ මන්ත්‍රීවරු දිගට හරහට රාජිතට පහර එල්ල කරමින් ප්‍රකාශ නිකුත් කළ අතර, ඔවුන් කෙළින්ම කියා සිටියේ එක්කෝ රාජිත වහාම මෙම ප්‍රකාශය ඉල්ලා අස්කරගත යුතු බවත්, එසේත් නැත්නම් රාජිත ආණ්ඩුවට එක්ව ඇමැතිකමක් ගෙන තමන්ගේ වැඩක් කරගත යුතු බවත්ය. එමෙන්ම රාජිතගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගතයුතු බවද එම මන්ත්‍රීවරු සජිත්ට දැනුම් දීමට පියවර ගත්හ. මීට අමතරව රට වටෙන්ම ආසන සංවිධායකවරුන්ගෙන් සජිත්ට ලැබුණු දුරකතන ඇමතුම්වලින් කියැවුණේ වහාම රාජිතව පක්ෂයෙන් ඉවත් කළ යුතු බවත්, එසේ නොවුණහොත් රාජිත පක්ෂයට මහත් විනාශයක් කරනු ඇති බවත්ය.
රංජිත් රාජිතට ගෙදරට එන්න කියයි!
දිගින් දිගටම එල්ල වූ මෙම බලපෑම් හමුවේ සජිත්ද අවසානයේ තීන්දු කළේ රාජිතට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටය. ඒ අනුව සජිත් කළේ පක්ෂයේ විනය කමිටුව නියෝජනය කරන පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, ලක්ෂ්මන් කිරිඇල්ල, තිස්ස අත්තනායක ආදීන්ට කතාකොට රාජිත සමග මේ පිළිබඳ සාකච්ඡා කොට විසඳුමකට එන්න යැයි කියාය. සජිත්ගේ එම දැනුම්දීමට අනුව රංජිත් රාජිතට කතා කොට, තමන්ගේ නිවෙසේ හමුවක් සූදානම් කොට ඇති බවත්, ඊට සහභාගි වී ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරන ලෙසත් දැනුම දී සිටියේය. එම දැනුම් දීමට අනුව නියමිත දින රාජිත, රංජිත්ගේ ගෙදරට පැමිණියේ තමන් කළ ප්‍රකාශය පිළිබඳ පැහැදිලි කිරීමක් විනය කමිටු සාමාජිකයන්ට සිදුකිරීම සඳහාය.
පටන් ගත්ත වෙලාවේ සිට රාජිතගෙන් මව්රටට ප්‍රහාර!
විනය කමිටුවේ ජ්‍යෙෂ්ඨයන්ගේ සහභාගිත්වයෙන් මෙම හමුව පැවැත්වුණද එය විනය පරීක්ෂණයකට වඩා පැවතියේ සුහද සාකච්ඡාවක් ලෙසටය. අපට දැනගන්නට තිබෙන තොරතුරුවලින් කියැවෙන්නේ රාජිත මෙහිදී තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කොට චෝදනාවෙන් ගැළවෙනවාට වඩා, රාජිත සම්බන්ධයෙන් රටට කරුණු හෙළිදරව් කළ ‘මව්රට’ පුවත්පතටත්, ‘මව්රට’ වෙබ් අඩවියටත් දිගින් දිගටම දොස් පැවරීමට කටයුතු කර ඇති බවය. එහිදී රාජිත සඳහන් කොට ඇත්තේ ‘මව්රට’ මෙම සිදුවීම අවුස්සමින් ඇදගෙන යෑමට කටයුතු කිරීම හේතුවෙන් මෙම ප්‍රශ්නය පැනනැගී ඇතැයි කියාය.
කට්ටියක් වැඩේ ෂේප් කරන්න ගේමක් ගැහුවාද?
කෙසේ වෙතත් මෙහිදී රංජිත්, රාජිතට දැනුම් දී සිටියේ ඊට පෙර දින පක්ෂයේ වෘත්තීය සමිති නියෝජිතයන් 75 දෙනකු පමණ පැමිණ තමන් මුණගැසුණු බවත්, එහිදී රාජිත සම්බන්ධයෙන් වහාම විනය ක්‍රියාමාර්ග ගතයුතු බවට ඔවුන් තමන්ට දැඩිව දැනුම් දුන් බවත්ය. ඒ අනුව මේ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගතයුතු බව රංජිත් එහිදී රාජිතට දැනුම් දී සිටියේය. නමුත් රාජිත එහිදීද ප්‍රශ්නය ‘මව්රට’ පිට දමමින් ඇඟ බේරාගෙන උත්තර දී ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එහිදී රාජිත කී ඇතැම් කතාවන්ට එහි සිටි ඇතැමුන් දුන් ලිස්සා යන පිළිතුරුත්, ඇතැමුන් රාජිතගේ කතාවට හසුව අදහස් දැක්වූ සැටිත් අපට ආරංචිය. එමෙන්ම රාජිත ආණ්ඩුවට යෑමට කළ කුමන්ත්‍රණය සහ පාක්ෂිකයන් පාවාදෙමින් කළ කුමන්ත්‍රණය ‘මව්රට’ පිටින් දමා ෂේප් වීමට කළ උත්සාහයේදී සාකච්ඡාවේ සිටි එක්කෙනෙක් හෝ දෙදෙනෙක් ඊට උඩගෙඩි දෙමින් හැසිරුණු ආකාරය පිළිබඳවද මේ වන විට අප වෙත තොරතුරු ලැබී තිබේ. ඒ සියල්ලක්ම නිසි වේලාව පැමිණි පසු රටට හෙළිදරව් කිරීමට අප සූදානම්ය. එහිදී ඇතැමුන්ගේ දෙබිඩි පිළිවෙත් පිළිබඳවද අපට මේ වන විට තොරතුරු විශාල ප්‍රමාණයක් ලැබී තිබේ. ඒ අනුව ඒ සියලු දෙනාටම අපට කීමට ඇත්තේ අපව ඇන්දවීමට හෝ අපව කඩේ යැවීමට ලේසි නැති බවය. මේ සියලු දෙනාටම ජනතාව ඉදිරියට යා යුතු මොහොතක් එළඹෙන බව සිහියේ තබා ගත යුතුය. ඒ මොහොතේදී අප ඔවුන් පිළිබඳ අකුරක් නෑර ජනතාවට හෙළිදරව් කිරීමටද සූදානම් බවද මෙහිදී සඳහන් කළ යුතුය.
පණිවුඩ අරන් ගියේ මාධ්‍යවේදියෙක්!
මීට අමතරව රාජිත මෙම සාකච්ඡාවට එද්දී වැඩේ ගොඩින් බේරාගැනීම සඳහා දෙපැත්තටම පණිවුඩ එහා මෙහා ගෙනගිය මාධ්‍යවේදියකු පිළිබඳවද මේ වන විට අප වෙත තොරතුරු වාර්තා වී තිබේ. මෙම මාධ්‍යවේදියා දෙපැත්තටම පණිවුඩ ගෙන යමින් වැඩේ ගොඩදමා ගැනීමට දෙපැත්තටම අවශ්‍ය පසුබිම සකස් කර දී ඇති බවක්ද ආරංචිය.
පැය 24ක් ඇතුළත නිවේදනයක්!
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී රංජිත් මද්දුමබණ්ඩාර ඉතා දැඩි ස්ථාවරයක් ගෙන තිබූ බවටද අප වෙත තොරතුරු වාර්තා වී තිබේ. රාජිත දිගටම තම කතාව මාධ්‍ය මගින් විකෘති කොට ඇති බව සඳහන් කරද්දී රංජිත් කියා සිටියේ එසේ නම් මෙම කතාව නිවැරැදි කොට නිවේදනයක් නිකුත් කරන ලෙසටය. කිරිඇල්ල සහ තිස්සද එම ස්ථාවරයේම සිටීම නිසා අවසානයේදී රාජිත කියා සිටියේ පැය 24ක් ඇතුළත තමන් එම නිවේදනය නිකුත් කිරීමට සූදානම් යැයි කියාය. ඒ අනුව අවසානයේදී එම ප්‍රකාශය නිවැරැදි කොට පක්ෂයට හානියක් නොවන ආකාරයට නිවේදනයක් නිකුත් කිරීමට තමන් කටයුතු කරන බව රාජිත විනය කමිටු සාමාජිකයන්ට දැනුම් දී සිටියේය.
අපි ඒ වෙලාවෙම කතාව ගැහුවා!
ඒ අනුව ඒ මොහොතේම www.mawratanews.lk අප වෙබ් අඩවිය ඔස්සේ මෙම පුවත රටට අනාවරණ කිරීමටද අපි පියවර ගත්තෙමු. ඒ වනවිට විපක්ෂ නායක සජිත් කොළඹින් පිට සිටි බැවින් රංජිත් ඇතුළු සියලු දෙනාම මේ බව දුරකතන ඇමතුමක් මගින් සජිත්ට දැනුම් දීමට ද පියවර ගත්හ.
රාජිත පොරොන්දුව කඩයි! හේතුව මාරයි!
මේ ආකාරයට ප්‍රශ්නය නිමා වූ බවක් දැකගන්නට ලැබුණද එය එසේ නොවුණේ විනය කමිටුවට දුන් පොරොන්දුව කඩකරමින් රාජිත පැය 24ක් ඇතුළත අදාළ නිවේදනය නිකුත් නොකිරීමත් සමගය. ඒ අනුව සියලු දෙනාම ඒ පිළිබඳ රාජිතගෙන් විමසද්දී රාජිත ඔවුන්ට දැනුම්දී සිටියේ ඊට සම්බන්ධ පුවත ‘මව්රට’ වෙබ් අඩවියේ පළවී තිබුණු බැවින් තමන් එම නිවේදනය නිකුත් කිරීමට සූදානම් නැති බවකි. ඒ වෙනුවට ඔහු නැවත නැවතත් තමන් පෙර දැරූ ස්ථාවරයම දරමින් ‘ද මෝනිං’ පුවත්පතට, ඇමැතිකම් ගෙන ආණ්ඩුවට එක්විය යුතු බව ප්‍රකාශ කිරීමට පියවර ගෙන තිබිණි. මීට අමතරව ‘ලැජ්ජයි මව්රට’ යනුවෙන් සඳහන් කරමින් විශේෂ සටහනක් සිය ෆේස්බුක් පිටුවේ පළකිරීමට ද රාජිත පියවර ගෙන තිබිණි.
රාජිතට කළුතර දොර වැහෙයි!
මේ ආකාරයට රාජිත කලින් දුන් පොරොන්දුව කඩකිරීමත් සමග නැවත වරක් පක්ෂය ඇතුළෙන්ම ඔහුට එරෙහිව බරපතළ ප්‍රහාරයක් එල්ල වන ආකාරයක් දැකගත හැකි විය. එහිදී දරුණුම ප්‍රහාරය එල්ල කළේ වෙන කවුරුවත් නොව රාජිතගේ කළුතර දිස්ත්‍රික්කයේම අගලවත්ත සජබ ආසන සංවිධායක ජගත් විතාන මහතාය. ජගත් විතාන එහිදී කෙළින්ම කියා සිටියේ රාජිත සජබෙන් පන්නා දැමිය යුතු යැයි කියාය. එපමණක් නොව තවත් විශේෂ රහසක්ද එහිදී ජගත් රටට හෙළිදරව් කළේය. ඒ, ඊට පෙර දින රාජිතගේ ප්‍රධානත්වයෙන් කළුතර පැවැති රැස්වීමකට පැමිණ ඇති රාජිත සෙනග නොමැති වීම නිසා වාහනයෙන්වත් නොබැස යළි පිටව ගොස් ඇති බවය. විශාල පිරිසකට එම රැස්වීමට ආරාධනා කර ඇති නමුත් ඊට පැමිණ සිටියේ හතර දෙනකු පමණක් බවද ජගත් එහිදී කියා සිටියේය. මේ නිසා අද වන විට රාජිතට කළුතරදී රැස්වීමක් හෝ තබාගැනීමට නොහැකි තත්ත්වයට පත්ව සිටින බව ජගත් සඳහන් කර සිටියේය.
බලන්නකෝ දාලා තියෙන කමෙන්ට්ස්!
මීට අමතරව රාජිත සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල සහ ජාතික තලයේ මාධ්‍යවල පළවන පුවත්වලට ලැබෙන ප්‍රතිචාර සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ යමක් සඳහන් කළ යුතුව තිබේ. වෙනදා නම් රාජිතගේ කතාවලට පාඨකයන්ගෙන් ධනාත්මක ප්‍රතිචාර විශාල වශයෙන් ලැබෙමින් පැවැතියත් මේ වන විට රාජිතගේ ප්‍රකාශ වලට ලැබෙන ප්‍රතිචාර රාජපක්ෂවරුන් හා සම්බන්ධ ප්‍රකාශවලට වැටෙන ප්‍රතිචාරවලට සමාන තත්ත්වයකට පත්ව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. මේ වන විට අප මෙම පාඨක ප්‍රතිචාර විශාල ප්‍රමාණයක් එකතු කරගෙන තිබෙන අතර, ඉදිරියේදී රටටම දැකබලා ගැනීම සඳහා ඒවා පළකිරීමටද සැලසුම් කර ඇති බව සඳහන් කළ යුතුව ඇත.
මන්ත්‍රීවරුන්ට ගම්වල ඉන්න නෑ!
එමෙන්ම රාජිතගේ මෙම වැඩ නිසා සිංහල අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය සජබ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ටත්, තරුණ මන්ත්‍රීවරුන්ටත් මුහුණ දීමට සිදුව තිබුණේ විශාල අකරතැබ්බයකටය. ඒ, අලුත් අවුරුද්දට බුලත් හුරුලු රැගෙන සජබ මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට පැමිණෙන පාක්ෂිකයන් අලුත් අවුරුද්දට සුබපතා රාජිත සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගතයුතු බවට මෙම මන්ත්‍රීවරුන්ට දැනුම් දී සිටීම නිසාය. පැමිණි සියලු පාක්ෂිකයන්ගේ එකම ඉල්ලීම මෙය බවට පත්ව තිබීම හේතුවෙන් අවුරුදු සමය නිමවී යළි කොළඹ බලා පැමිණි සියලු දෙනා විපක්ෂ නායක සජිත්ට දැනුම් දී සිටියේ රාජිත නිසා තමන්ට අලුත් අවුරුද්දේ ගමේ පාරකවත් බැස යන්නට නොහැකි තත්ත්වයක් උදාවී තිබුණු බවකි.
තවත් මඩක් ගහයි!
මේ සියල්ල අතරවාරයේ සජිත් ඉලක්ක කරගෙන තවත් ඉතා අවර ගනයේ මාධ්‍ය මෙහෙයුමක් කිසියම් පාර්ශ්වයක් විසින් දියත් කර ඇති ආකාරයක් පසුගිය සතියේ දැකගන්නට ලැබිණි. ඒ, 2018 වසරේ සජිත් කළ ප්‍රකාශයක් හදිසියේම අද ඊයේ කළ එකක් මෙන් හඟවා සමාජ මාධ්‍ය ජාල හරහා ඊට පුළුල් ප්‍රචාරයක් ලබාදී තිබීමත් සමගය. එහිදී දැකගන්නට ලැබුණ විශේෂම සිදුවීම වූයේ රාජිත මේ දිනවල කරන ප්‍රකාශවලට සමීප අදහස් කිහිපයක්ම සජිත්ගේ මෙම වීඩියෝ හරහාද දැකගන්නට ලැබීම නිසාය. සජිත් 2018දී එජාපය සමග සමීපව කටයුතු කළ යුතු බවට කර තිබූ ප්‍රකාශයක් මෙහි ඇතුළත්ව තිබූ අතර, රාජිත කියන ආකාරයටම ජාතික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට ප්‍රකාශයක්ද එහි ඇතුළත්ව තිබිණි.
සජිත්ගෙන් විශේෂ නිවේදනයක්!
කෙසේ වෙතත් මෙම වීඩියෝව මාධ්‍ය වෙත නිකුත් වීමත් සමග සමගි ජන බලවේගය මෙන්ම සජිත්ද විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ කිසිසේත්ම සමගි ජන බලවේගය වත්මන් ජනධිපතිවරයා සමග එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ නැති බවකි. එමෙන්ම කිසිදු මන්ත්‍රීවරයෙක් මුදල්වලට වහල් වී වරදාන වරප්‍රසාද ලබාගෙන ආණ්ඩුවට එක් නොවන බවද සජිත් එහිදී කියා සිටියේය. ඒ අනුව සජිත් මුල් කරගෙන නිකුත් කළ වීඩියෝවද අමු පට්ටපල් කෙබරයක් බවට පත්විය.
අලි ජාතික ආණ්ඩු බොරුවක්! මනෝගේ නමත් ගාවයි!
එම මාධ්‍ය නාඩගම අවසන් වී එහි රස්නය නිවෙන්නටත් මත්තෙන් තවත් විශාල බොරුවක් ජාතික ආණ්ඩුව මුල් කරගෙන මෙරට ජාතික යැයි කියාගන්නා මාධ්‍යයක පළවී තිබිණි. එහි සඳහන් වූයේ ලබන 25 වැනිදා ආණ්ඩුව, ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවටත්, ඉන් අනතුරුව සමගි ජන සන්ධානයේ පාර්ශ්වකරුවන් වන මනෝ ගනේෂන් හා රවුෆ් හකීම් එක්ව ජාතික ආණ්ඩුවට සහාය දිය යුතු බවට වූ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවටත්ය. මෙය මනෝ ගනේෂන් විසින් මෙම මාධ්‍යයට ප්‍රකාශ කර තිබූ බවද එම පුවතේ සඳහන්ව තිබිණි.
මනෝ වහාම ට්විටර් පණිවුඩ 2ක් තියයි!
ජාතික ධාරාවේ මාධ්‍යයක මෙම පුවත පළවීමත් සමග තවත් වෙබ් අඩවි කිහිපයක්ද මෙම පුවත ඒ අයුරින්ම පළකරමින් සමගි ජන සන්ධානයේ මනෝ-හකීම් ඇතුළු කණ්ඩායමක් ජාතික ආණ්ඩුවකට එක්වීමට සූදානමින් සිටින බවට වාර්තා කර සිටියේය.ඒ සමගම බොහෝ දෙනා මනෝට කතාකොට එහි ඇත්ත නැත්ත විමසීමට පියවර ගත්හ. එහිදී මනෝ කියා සිටියේ තමන් කිසිදු තැනක එවැනි ප්‍රකාශයක් සිදුනොකළ බවකි. ඒ අනුව මනෝ කළේ වහාම ඒ පිළිබඳ කොළඹින් බැහැරව සිටි සජිත්ට දුරකතන ඇමතුමක් ලබාදී දැනුවත් කිරීමය. ජාතික ආණ්ඩුවක් සම්බන්ධයෙන් තමන් යෝජනාවක් ගෙන ඒමට සූදානම් බවට පළව ඇති පුවත සම්පූර්ණයෙන් අසත්‍යයක් බව එහිදී මනෝ සජිත්ට දැනුම් දී සිටියේය. තමන් ඊට එරෙහිව නිවේදනයක් නිකුත් කරන බවද මනෝ සජිත්ට දැනුම් දී සිටියේය. ඒ අනුව මනෝ කළේ සිය ට්විටර් ගිණුමේ විශේෂ පණිවුඩ දෙකක් තැබීමය. එන් එකක සඳහන් වූයේ මෙම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් යැයි කියාය. අනෙක් පණිවුඩයෙන් කියැවුණේ තමන් ජාතික ආණ්ඩුවකට නොව, වත්මන් ආණ්ඩුවට හෝ ඇමැතිකම් ගෙන එකතු වීමට සූදානම් නැති බවකි.
හර්ෂ-කබීර්-ඉරාන්!
මනෝට සහ හකීම්ට අමතරව පසුගිය දිනවල ආණ්ඩුවට එක්වන බවට නිතරම වාර්තා කර තිබූ තවත් නම් තුනක් වූයේ හර්ෂ, කබීර් සහ ඉරාන්ගේ නම්ය. මුලින් මුලින් ඊට ප්‍රතිචාර දැක්වීමට ඔවුන් පියවර ගෙන තිබුණද, පසුව ප්‍රතිචාර දක්වා පළක් නොමැති වීම හේතුවෙන් ඒවාට උත්තර දෙන්නට හෝ හර්ෂ, කබීර්, ඉරාන් කටයුතු කළේ නැත. කෙසේ වෙතත් පසුගිය සතියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් මෙම ප්‍රශ්නය නැවත වතාවක් ඔවුන්ගෙන් විමසා සිටීමට පියවර ගෙන තිබිණි. එහිදී ඊට ඍජු පිළිතුරක් දුන් මේ තිදෙනාම කියා සිටියේ තමන් කිසිසේත්ම ආණ්ඩුවට එක් නොවන බවත්, වත්මන් ආණ්ඩුවේ තනතුරු ගැනීමට කටයුතු නොකරන බවත්ය.
කාටත් හොරා හැදෙන සන්ධානයක්!
කෙසේ වෙතත් මේ ආකාරයට මාධ්‍ය යොදාගෙන විවිධ කණ්ඩායම් විපක්ෂය අතර මතභේද ඇතිකිරීමට කටයුතු කරන අතරවාරයේ කාටත් හොරා විපක්ෂය ඇතුළේ පුළුල් සන්ධානයක් ගොඩනැගෙන ආකාරයක් පසුගිය සතිය වන විට දැකගන්නට ලැබිණි. ඒ, ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රතිත්‍රස්ත පනත මුල් කරගෙනය. මෙම සන්ධානය තව පැය කිහිපයක් ඇතුළතදී එළිදැක්වීමට නියමිත අතර ඊට විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂ සහ සිවිල් සංවිධාන, බහුජන සංවිධාන එක්වීමට නියමිතව ඇත. පසුගිය සතියේදී සජිත් සූම් තාක්ෂණය ඔස්සේ විවිධ පාර්ශ්ව සමග කතාබහ කරමින් මේ වෙනුවෙන් වැඩි කාලයක් මිඩංගු කළ ආකාරයක්ද දැකගත හැකි විය.
ඡන්දෙ එන්නෙ රාජපක්ෂ තියරියට!
මීට සති කිහිපයකට ඉහතදී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් අප කියා සිටියේ ලබන අගෝස්තු මාසය වන විට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තමන් කටයුතු කරන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ජනධිපතිවරයා විසින් විශේෂ දැනුම් දීමක් කර ඇති බවකි. සැප්තැම්බර් මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් සිය පළමු සමාලෝචනය සිදුකිරීමට නියමිතව ඇති බැවින් ඊට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ජනාධිපතිවරයාගේ අරමුණ වී ඇති බවද අපි එහිදී සඳහන් කර සිටියෙමු. කෙසේ වෙතත් මේ වන විට අගෝස්තුවේ පැවැත්වීමට නියමිත මැතිවරණයද ‘රාජපක්ෂ තියරියට’ අනුව පවත්වන්නට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. රාජපක්ෂ තියරියට අනුව යැයි අප කියන්නේ කඩින්කඩ මැතිවරණ පැවැත්වීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇති නිසාය.
පළමුව උතුරු නැගෙනහිරට විතරක් ඡන්දය!
ඒ අනුව ජනාධිපතිවරයා සැලසුම් කර ඇත්තේ ඉන්දියාවට මීට පෙර දුන් පොරොන්දුවකට අනුව පළාත් සභා මැතිවරණයද කඩින්කඩ පැවැත්වීමටය. ඒ, පළමුව උතුරු-නැගෙනහිරත්, දෙවැනුව ඊට පරිබාහිරව ඇති පළාත් සභාවලත් කඩින්කඩ මැතිවරණ පැවැත්වීමටය. එහිදීද පළමුව ආණ්ඩුවට වාසිසහගත යැයි සැලකිය හැකි පළාත් සභා මැතිවරණය පැවැත්වීම ජනාධිපතිවරයාගේ සැලසුම වී තිබේ.
දිනේෂ්ට කියන්න කියයි!
එමෙන්ම පළාත් පාලන මැතිවරණයද කඩින්කඩ පැවැත්වීමට සැලසුම් කොට ඇති ජනාධිපතිවරයා එහිදීද උතුරු නැගෙනහිර ප්‍රදේශවලට අමතරව දකුණේ ආණ්ඩුවට වාසිසහගත යැයි සැලකිය හැකි පළාත් පාලන ආයතනවල මැතිවරණ මුලින්ම පැවැත්වීමට තීරණය කොට ඇති බවද දැනගන්නට තිබේ. ඒ අනුව ජනාධිපතිවරයා පසුගිය සතියේ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා කැඳවා මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කරන ලෙස දැනුම් දීමට පියවර ගත්තේය.
ඉන්දියාව විරෝධය පළ කරයි!
මෙම දැනුම්දීමට අනුව අගමැතිවරයා මැතිවරණ කොමිසම කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගත්තද එහිදී ඊට ඔවුන්ගෙන් පළවූයේ දැඩි විරෝධයකි. ඒ, කිසිසේත්ම එවැන්නක් සිදුකළ නොහැකි යැයි කියාය. මැතිවරණ කොමිසමට අමතරව මෙම තත්ත්වය වාර්තා වීමත් සමග ඉන්දියාව පැත්තෙන්ද බරපතළ පණිවුඩයක් ආණ්ඩුවට එවා ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එහිදී එම පණිවුඩයෙන් දැනුම් දී ඇත්තේ මැතිවරණය පවත්වන ලෙස රටේ ජනතාවගෙන් ප්‍රබල ඉල්ලීමක් ඇති බවත්, එවැනි තත්ත්වයක් යටතේ උතුරු-නැගෙනහිර පමණක් මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව පියවර ගතහොත් නැවත වතාවක් උතුර-දකුණ අතර බරපතළ බෙදීමක් මතුවිය හැකි බවත්ය. ඒ හරහා දැනට රට තුළ යම් තරමකට හෝ ගොඩනැගී ඇති සංහිඳියාව බරපතළ ලෙස කඩවීමේ අනතුරක් මතුවිය හැකි බවද ඉන්දියාව එහිදී දැනුම් දීමට කටයුතු කර ඇති බව ආරංචිය. කෙසේ වෙතත් එසේ උතුරු- නැගෙනහිර පළාත් සභා මැතිවරණය පැවැත්වීම අත්‍යාවශ්‍ය නම්, එම පළාත්වල පමණක් නොපවත්වා දකුණේ පළාත් සභා එකක් හෝ කිහිපයක් ඒ සමගම පවත්වන ලෙස ඉන්දියාව මෙහිදී දැනුම්දීමක් කොට ඇති බවද පැවසේ. ඒ අනුව අපට දැනගන්නට ඇති ආරංචි මාර්ගවලින් කියැවෙන්නේ ආණ්ඩුව මේ වන විට උතුරු-නැගෙනහිර පළාත් සභා මැතිවරණය පවත්වන අතරවාරයේ දකුණේ තමන්ට වාසිසහගත යැයි සැලකෙන තවත් පළාත් සභාවක හෝ දෙකක මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවය. කෙසේ වුවත් කුමන තත්ත්වයක් යටතේ හෝ ලබන සැප්තැම්බර් මාසයට ප්‍රථම ආණ්ඩුවට කුමන හෝ මැතිවරණයකට යෑමට සිදුවන බව නම් නියත වශයෙන්ම සඳහන් කළ යුතුය.
රනිල් ඇයි ඉන්දියාවේ නොයන්නේ!
මේ අතර මේ වන විට සියල්ලන්ටම අමතක වී ඇති කාරණාවක් වී ඇත්තේ තම රටේ සංචාරයක නිරත වන ලෙස ඉන්දීය අගමැතිවරයා විසින් ජනාධිපිවරයා වෙත ඉදිරිපත් කර ඇති යෝජනාවට අනුව මෙතෙක් ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරය නොකළේ මන්දැයි කියාය. ජනාධිපතිවරයා බලයට පත්වූ වහාම විවිධ මාර්ග ඔස්සේ ඉන්දියාවට යෑමට අවස්ථාව සලසා ගැනීමට උත්සාහ කළද, ඒ සෑම අවස්ථාවකම ඉන්දියාවේ දොර ජනාධිපතිවරයා වෙනුවෙන් විවර වූයේ නැත. නමුත් අවසන් වතාවට ඉන්දීය විදේශ ඇමැති එස්. ජෙයශංකර් මහතා දිවයිනට පැමිණි අවස්ථාවේ ජනාධිපතිවරයාට ඉන්දියාවේ සංචාරය කරන ලෙස ආරාධනා කිරීමට පියවර ගත්තේය. ජනාධිපතිවරයාට ඉන්දියාවේ සංචාරය කිරීමට තිබූ දැඩි වුවමනාව හේතුවෙන් සියලු දෙනාම සිතා සිටියේ මෙම ආරාධනාව ලද වහාම ජනාධිපතිවරයා ඉන්දියාව බලා පිටත්ව යනු ඇතැයි කියාය. නමුත් අද වනතුරු ජනාධිපතිවරයා ඉන්දියාව බලා පිටත්ව නොගියා පමණක් නොව, අඩුම වශයෙන් ඉන්දියාවෙන් ආරාධනාවක් ලැබුණු බව හෝ නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට පියවර ගත්තේ නැත. ඒ අනුව ජනාධිපතිවරයා ඉන්දියාව බලා පිටත්ව නොගිය හේතුව කුමක්ද යන්න පිළිබඳ පසුගිය දින කිහිපයේදී අපද විශේෂ සොයාබැලීමක් සිදු කළෙමු.
හේතුව අපි හොයාගත්තා!
එහිදී අපට අනාවරණ වූයේ ඉන්දියාවට පැමිණෙන ලෙසට ආරාධනා කරන ගමන්ම ඒ සමග දැඩි කොන්දේසි කිහිපයක්ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කොට ඇති බවය. ඉන් පළමුවැන්න වී ඇත්තේ ඉන්දීය සංචාරයේ දින නියම කිරීමට ප්‍රථම උතුරු-නැගෙනහිර පළාත් සභා මැතිවරණය පවත්වා අවසන් කරන ලෙසට ඉන්දියාව ජනාධිපතිවරයාට දැනුම් දී තිබීමය. දෙවැනි කොන්දේසිය වී ඇත්තේ මීට පෙර පැවැති සාකච්ඡාවලදී ඉන්දියාවට ලබාදෙන බවට පොරොන්දු වූ සියලු ව්‍යාපෘතිවල ලිපි ලේඛන කටයුතු අවසන් කොට, ඒවා අස්සන් කරන මට්ටමට පැමිණි පසු පමණක් ඉන්දියාවේ සංචාරය කරන ලෙසටය. මීට හේතුවී ඇත්තේ පසුගිය කාලසීමාව පුරාම ඉන්දියාවට ලබාදෙන බවට ලංකා ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශ වූ ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ගිවිසුම් අස්සන් කිරීමෙන් පසුවද අවසන් මොහොතේ අත්හිටුවීමට ආණ්ඩුව පියවර ගෙන තිබීමය. ඇතැම් දෑ අධිකරණය ඉදිරියට යෑමෙන් පසු අතරමඟ නැවැත්වීමට පියවර ගෙන තිබිණි. තවත් බොහෝ දෑ ආණ්ඩු මාරුවීමත් සමග අත්හිටුවීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව මෙවර ඉන්දියාව ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ සියලු කරුණු පිළිගත හැකි මට්ටමකට පැමිණි පසු පමණක් ඉන්දියාවේ සංචාරයකට පැමිණෙන ලෙසය. ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය දින නියමයකින් තොරව කල්ගොස් ඇත්තේ මෙම හේතුව මතය.
අපි හෙළිකරපු අතේ රෝල්!
පසුගිය කාලය පුරාම මෙරට ඇතැම් මාධ්‍ය රටේ ප්‍රශ්න ජනතාවට අමතක කරලීමේ අරමුණෙන් හෝ වෙනත් යම් යම් දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණෙන් හෝ බොරු පුවත් සමාජගත කිරීමේ කටයුත්ත ජයටම කරගෙන ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. බොහෝ අවස්ථාවලදී මාධ්‍ය විසින් ගැසූ එම ‘අතේ රෝල්’ ඒ අවස්ථාවේදීම www.mawratanews.lk අප වෙබ් අඩවිය ඔස්සේ රටට හෙළිකිරීමටත්, එහි ඇත්ත කතාව රටට අනාවරණ කිරීමටත් අප පියවර ගත්තේ මේ රටේ ජනතාව සෑම දෙයකම ඇත්ත කතාව දැනගත යුතු නිසාය. මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප කියන්නට යන්නේද මාධ්‍ය විසින් පසුගිය කාලය පුරා ගැසූ තවත් එවැනි අතේ රෝලක් පිළිබඳවය.
ජනාධිපතිවරණය තියන්න පුලුවන්ද?
මීට සති කිහිපයකට පෙරාතුව සිටම මාධ්‍ය විසින් මෙන්ම ආණ්ඩුවට හිතවත් ඇතැම් දේශපාලකයන් විසින්ද ගෙනගිය කතාවක් වූයේ මේ වසර අවසානයේදී ජනාධිපතිවරණයක් කැඳවීමට ජනාධිපතිවරයා සැලසුම් කරමින් සිටින බවකි. එතෙක් ඉන් මෙපිට කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙන බවද මේ දේශපාලකයන් විසින් සහ මාධ්‍ය විසින් ප්‍රචාරය කරනු ලැබ තිබිණි. ඒ අනුව මේ සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විශේෂ අධ්‍යයනයක් කිරීමට පියවර ගෙන තිබිණි. කෙසේ වෙතත් ව්‍යවස්ථාවේ 40 වැනි වගන්තිය යටතේ ඒ ආකාරයට වසර 4කට පසු ජනාධිපතිවරණයක් කැඳවිය හැක්කේ ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වන ජනාධිපතිවරයකුට පමණක් බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ. ජනාධිපති ධුරය හිස්වීමෙන් පසු අතරමැදදී පාර්ලිමේන්තුව හරහා තේරී පත්වන අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුගේ වගකීම ලෙස එහි සඳහන්ව ඇත්තේ ඉතිරි ධුර කාලය පවත්වාගෙන යෑම බවද ඔවුන්ගේ අදහස වී තිබේ.
කරන්න පුලුවන් මෙහෙමයි!
කෙසේ වෙතත් ඔවුන් පෙන්වා දෙන්නේ වසර 4ක් ගතවීමෙන් පසු ජනාධිපතිවරණයකට යෑමට අවශ්‍ය ප්‍රතිපාදනද එහි ඇතුළත්ව ඇති බවය. ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඊට තුනෙන් දෙකේ විශේෂ බහුතර බලයක් ලබාගැනීම සහ ජනමත විචාරණයක් පවත්වා ඊට අනුමැතිය ලබාගැනීම එම ක්‍රම දෙකය. නමුත් පවතින වාතාවරණය යටතේ එම කාර්යයන් දෙකම ඉතා අසීරු බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ. ඒ අනුව වසර අවසානයේ හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීමේ කතාව මාධ්‍ය විසින් ගෙන ගිය පොඩි මීඩියා ෂෝ එකක් මිස වෙන යමක් නොවන බව සඳහන් කළ යුතුය.
තරුණ ඩීල් පප්පා!
ඩීල් දේශපාලනය අපේ රටේ ජනතාවට එතරම් අලුත් දෙයක් නොවන්නේ ආණ්ඩු බලය දරන්නේ කවුරුන් විසින්ද, විපක්ෂයේ දේශපාලකයන් යම් යම් පෞද්ගලික කාරණා මත ආණ්ඩුවේ ප්‍රධානීන් සමග ඩීල් දමාගෙන ආණ්ඩුවට පක්ෂපාතීව කටයුතු කරන බවට ඕනෑ තරම් උදාහරණ අතීතයේ සිටම දැකගත හැකි වීම නිසාය. ඒ වාගේ ඩීල් පප්පලා අදටත් ආණ්ඩු පක්ෂයේ පමණක් නොව විපක්ෂයේද සිටින බවට උදාහරණ බොහෝය. මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පළමු වරට අනාවරණ කරන්නට යන්නේද පාර්ලිමේන්තුවේ සිටින තරුණ මන්ත්‍රීවරයකු මේ දිනවල ආණ්ඩුවේ ඉහළම ප්‍රබලයකු සමග දමාගෙන තිබූ ඩීල් එකක් පිළිබඳවය.
ඩීල් එක අරක්කු ලයිසන් එකක්!
කාලයක් තිස්සේ මේ තරුණ මන්ත්‍රීවරයා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ සිටින වයින් ව්‍යාපාරිකයකු තමන්ට මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා බලපත්‍රයක් ලබාගැනීමට උපකාර කරන ලෙසට මෙම තරුණ මන්ත්‍රීවරයාට දැනුම් දී තිබිණි. ඒ අනුව තරුණ මන්ත්‍රීවරයා මීට මාස කිහිපයකට පෙර සිටම ආණ්ඩුවේ ඉහළම අයකු සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා වටයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබිණි. ඒ අවස්ථාවේදීම මේ තරුණ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් තොරතුරු ‘රාජ්‍ය රහස්’ තීරයට වාර්තා වීම නිසා අපද මේ පිළිබඳ කිසියම් සෝදිසියකින් සිටි බවද මෙහිදී සඳහන් කළ යුතුය.
නුවරඑළි ගිහින් ස්තූති කරයි!
ඒ අනු මේ තරුණ දේශපාලනඥයා හිටිහැටියේ පසුගිය සතියේ නුවරඑළිය බලා ගොස් තිබුණේ ආණ්ඩුවේ මේ කියන ප්‍රබලයාද මුණගැසීම සඳහාය. මන්ද ඒ දිනවල ආණ්ඩුවේ මේ ප්‍රබලයා විවේක සුවයෙන් නුවරඑළියේ ගතකිරීම ඊට හේතුව විය. මේ පිළිබඳ තොරතුරු වාර්තා වූ වහාම ‘රාජ්‍ය රහස්’ තීරයද මේ පිළිබඳ විශේෂ සොයාබැලීමක් කළේ මෙම තරුණ දේශපාලනඥයා හදිසියේම ආණ්ඩුවේ මේ කියන ප්‍රබලයා මුණගැසීමට කටයුතු කළේ මන්ද යන්න සොයාගැනීම සඳහාය. එවිට අපට අනාවරණය වුණේ පෙර සඳහන් කළ මත්පැන් බලපත්‍රය අදාළ ව්‍යාපාරිකයාට ලබාදීමේ මෙහෙයුම සාර්ථක වී ඇති බවත්, ඊට ස්තුති කිරීම සඳහා තරුණ මන්ත්‍රීවරයා නුවරඑළිය බලා ගොස් ඇති බවත්ය.
අපි නම එළියට දාන්න සූදානම්!
කෙසේ වෙතත් මෙහිදී තවත් විශේෂ කරුණක්ද සඳහන් කළ යුතුමය. ඒ තරුණ හෝ වේවා මහලු හෝ වේවා මේ මන්ත්‍රීවරුන් ආණ්ඩුව සමග කරන ගනුදෙනු පිළිබඳවය. සාමාන්‍යයෙන් ජනතාව තමන් නියෝජනය කරමින් යම් දේශපාලනඥයකු පාර්ලිමේන්තුවට යවන්නේ තම පළාතට රටට වැඩක් කරගැනීමට මිස ආණ්ඩුව සමග ඩීල් දමන්නට නොවේ. පසුගියදා පැවැති ජන අරගලයේදීද අවධානයට යොමුවුණු ප්‍රධාන කරුණක් වූයේ මේ ඩීල් දේශපාලනය අවසන් කළ යුතු බවට වූ කාරණයය. එසේ තිබියදී පාර්ලිමේන්තුවට එන මේ තරුණ මන්ත්‍රීවරු අරගලයෙන් පාඩම් ඉගෙන නොගෙන පරණ තාලයටම දේශපාලනය කරනවා නම් ඒවා හෙළිදරව් කිරීම මාධ්‍යයේ වගකීමක් බව අපගේ විශ්වාසයය. ඒ අනුව ඉදිරියේදී මේ මත්පැන් බලපත්‍රය ඉල්ලුම් කළ ව්‍යාපාරිකයා කවුද, ඊට සම්බන්ධ වූ තරුණ දේශපාලනඥයා කවුද යන්න රටට හෙළිදරව් කිරීමට අප සූදානම්ය. එහිදී යම්යම් පිරිස් අපට අවලාද, චෝදනා එල්ල කළද වේදිකා මත, මාධ්‍ය හමුවලදී යහපාලනය, විනිවිදභාවය, දූෂණයෙන් තොර වීම පිළිබඳ ‘පොර ටෝක්’ දෙන මේ දේශපාලනඥයන් සහ ඔවුන්ගේ සැබෑ ස්වරූපය එකක් නොව දෙකක් බව රටට හෙළිකිරීම මාධ්‍යයේ වගකීමය. ඒ, ජනතාව තමන් පාර්ලිමේන්තුවට පත්කර යවන පුද්ගලයන්ගේ සැබෑ ස්වරූපය හඳුනාගත යුතු වීම නිසාය.
මහින්ද අගමැති ගේම ඉස්සරහට අරන් යයි!
අලුත් අවුරුද්දට පෙර සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අපි අතිවිශේෂ අනාවරණයක් සිදුකරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අලුත් දේශපාලන මෙහෙයුමක් ආරම්භ කොට ඇති බව හෙළිදරව් කර සිටියෙමු. එහිදී අප කියා සිටියේ ලබන මැයි මස 07 වැනි දිනට පසු මහින්දට හොඳ කලක් උදාවන බවට ජ්‍යොතිෂමය උපදෙස් රැසක් ලැබී ඇති බවත්, ඒ අනුව නැවත වතාවක් අගමැති ධුරය ලබාගැනීම සඳහා මහින්ද මාස කිහිපයක් පුරා විවිධ සැලසුම් සකස් කරමින් සිටින බවත්ය. ඒ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී ආණ්ඩුවේ ප්‍රබලයන් වෙතත්, අගමැති දිනේෂ් ගුණවර්ධන වෙතත් නොනිල වශයෙන් මහින්ද පණිවුඩ යවමින් සිටි බවද අපි එහිදී අනාවරණ කර සිටියෙමු. මේ සඳහා ජ්‍යෙතිෂ උපදෙස්වලට අමතරව තවත් විශේෂ කරුණක්ද බලපා තිබිණි. ඒ, ආණ්ඩු කිරීමට ජනවරම ලබාදී තිබුණේ පොහොට්ටුවට බැවින් නැවත වතාවක් ආණ්ඩු බලය ලබාගත යුතු බවට පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් මහින්දට ලැබුණු ඉල්ලීම්ය. ඇත්ත වශයෙන්ම 2019 වසරේදී ලක්ෂ 69ක ජනතාවක් මේ රටේ ජනාධිපති ධුරය වසර 5කට භාරදුන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂටය. ලක්ෂ 68ක ජනතාවක් තුනෙන් දෙකේ අතිබහුතර බලයක් ලබාදෙමින් ආණ්ඩුව සහ අගමැති ධුරය ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ මහතාටය. නමුත් ජනතා අරගලය හේතුවෙන් ගෝඨා රටින් පලායෑමත් සමග පාර්ලිමේන්තුව මගින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තෝරා ගත්තේය. මහින්දද අගමැති ධුරයෙන් ඉවත් වීමත් සමග එම තනතුර හිමිවූයේ දිනේෂ්ටය. පසුව ආණ්ඩු පක්ෂයෙන් විශාල පිරිසක් විපක්ෂයට පැමිණියේය. විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයට ගියේය. ඒ අතින් බලද්දී එදා 2019 ජනතාව ලබාදුන් ජනවරම අද පත්ව ඇත්තේ විශාල විකෘතියකටය.
නාමල් වෙනම ගේමක් ගහයි!
නමුත් දැන් තත්ත්වය සාමාන්‍ය අතට පෙරළී ඇති බැවින් පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් මහින්දට දැනුම් දී තිබුණේ ජනවරමට අනුව යළි අගමැති ධුරය ලබාගෙන පොහොට්ටුවේ ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවත්, එසේ නොවුණහොත් පොහොට්ටුවේ පාක්ෂිකයන්ට ඉදිරියේදී විශාල ගැටලුවකට මුහුණ දීමට සිදුවනු ඇති බවත්ය. ඒ අනුව මහින්දද මීට මාස කිහිපයකට ඉහතදී යළි අගමැතිකම ගැනීමට තීන්දු කළද පවුල ඇතුළෙන්ම පැමිණි යම් බාධාවක් හේතුවෙන් එය කල්දැමීමට සිදුවිය. ඒ බාධාව වූයේ රාජපක්ෂ පවුලේ ඔටුන්න හිමි කුමාරයා වන නාමල් රාජපක්ෂ විසින් වෙනම දේශපාලන න්‍යායපත්‍රයකට අනුව කටයුතු කිරීමට සැලසුම් කර තිබීම නිසාය. නාමල්ගේ සැලසුම වී තිබුණේ අගමැතිකම පොහොට්ටුවට ගැනීම නොව, විපක්ෂ නායකකම පොහොට්ටුවට ගැනීමෙන් ඊට වඩා වාසිදායක තත්ත්වයක් නිර්මාණය කරගත හැකි යැයි කියාය. නාමල් තමන්ට හිතවත් කිහිප දෙනකු සමග මෙම සැලසුම සකස් කොට තිබුණු අතර ඒ අනුව නාමල්ලාගේ සැලසුම වී තිබුණේ අගමැතිකම සජිත්ට ලබාදී සමගි ජන බලවේගය ආණ්ඩුවට තල්ලු කිරීමය. ඒ හරහා පොහොට්ටුව විපක්ෂයේ අසුන්ගෙන විපක්ෂ නායක ධුරය නාමල්ට ලාබගැනීම සැලසුමේ ඊළඟ පියවර විය. ඔවුන්ගේ ගණන් හැදීම වී තිබුණේ ඊළඟ මැතිවරණය එද්දී පවතින ආර්ථික ගැටලු විශාල වශයෙන් වර්ධනය වී රට තුළත් ජනතාව අතරත් රනිල් සහ සජිත් යන දෙදෙනාම දැඩි අප්‍රසාදයට ලක්වනු ඇති බවත්, ඒ හරහා පොහොට්ටුවට වාසිදායක තත්ත්වයක් නිර්මාණය වී යළි ආණ්ඩු බලය ඇල්ලිය හැකි බවත්ය.
නාමල් ගිහින් රනිල්වත් හමුවෙලා!
මේ ආකාරයට යම් දේශපාලන සැලසුමක් සකස් කර ගැනීමෙන් අනතුරුව නාමල් ජනාධිපතිවරයා මුණගැසී මේ පිළිබඳ කිහිප වතාවක්ම සාකච්ඡා කර ඇති බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එහිදී නාමල්, ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ පොහොට්ටුව විපක්ෂයට යෑමට සූදානම් බවත්, විපක්ෂ නායක ධුරය තමන් විසින් බාරගෙන ආණ්ඩුවව වැටෙන්නට නොදී ඉදිරියට යෑමට සහාය දීමට කටයුතු කරන බවත්ය.
නාමල්ගේ සැලසුම් අවුල් වෙයි!
නාමල්ගේ මෙම දේශපාලන තියරිය හේතුවෙන් මහින්ද යළි අගමැති ධුරය ලබාගැනීමේ මෙහෙයුම මාස කිහිපයකින් කල්දැමීමට කටයුතු කළද නාමල්ගේ තියරිය ප්‍රායෝගිකව වැඩ කරන පාටක් දැකගන්නට ලැබුණේ නැත. සජිත් තියා සජබෙ කිසිදු මන්ත්‍රීවරයකු ආණ්ඩුවට එක්වන පාටක් දැකගන්නට තිබුණේද නැත. ඒ නිසා අවසානයේදී මහින්ද තීරණය කළේ නාමල්ගේ විපක්ෂ නායක ධුරය අල්ලන මෙහෙයුම ‘ඕෆ්’ කර ආණ්ඩුවේ අගමැතිකම අල්ලන මෙහෙයුම ‘ඔන්’ කරන්නටය.
චීනය මොනවා කරයිද?
මහින්ද සිංහල අලුත් අවුරුද්දට පෙර මේ තීන්දුව ගත්තේද නිකම් ආවාට ගියාට නොව ආණ්ඩුව අතට ගෙන එය බාධාවකින් තොරව කරගෙන යෑමේ සැලසුමද සකස් කිරීමෙන් අනතුරුවය.
ඉන් එක් සැලසුමක් වූයේ ආණ්ඩුව භාරගැනීමෙන් අනතුරුව ආණ්ඩුව පවත්වාගෙන යෑමට අවශ්‍ය මුදල් සොයාගැනීමය. ඒ අනුව මහින්දගේ සැලසුම වී තිබුණේ යළිත් චීනය සමග පැරැණි සබඳතා අලුත් කරගෙන රට කරවීමට අවශ්‍ය මුදල් සොයාගැනීමය. මේ වන විට චීනය මුල් කරගෙන ජාත්‍යන්තර දේශපාලනය තුළද විශාල බෙදීමක් හටගෙන ඇති අතර, ඇමෙරිකාව, ඉන්දියාව ඇතුළු ප්‍රබල රටවල් සිටින්නේ චීනය ලංකාවට සිදුකරන අතපෙවීම් නැවැත්වීමේ ස්ථාවරයකය. මෙම රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් ලංකාවට ලබාදීමට අවශ්‍ය පසුබිම සකස් කළේද මෙම චීන අතපෙවීම අවසන් කළ යුතු වූ නිසාය. නමුත් දැන් මූල්‍ය අරමුදලේ ණය ලබාගැනීම සම්බන්ධයෙන්ද හටගෙන ඇත්තේ යම් ගැටලුකාරී වාතාවරණයකි. මූල්‍ය අරමුදලේ ප්‍රධානම කොන්දේසිය වන විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා මේ වන විට ආරම්භ වී ඇති නමුත් ලංකාවේ ප්‍රධාන ණය හිමියා වන චීනය එම සාකච්ඡාවලට මෙතෙක් සහභාගි වී නොමැත. පසුගියදා අමෙරිකාවේ පැවැති පළමු සාකච්ඡාවට එක්ව සිටියේ ඇමෙරිකාව, ඉන්දියාව, ජපානය සහ පැරිස් සමාජයේ සාමාජික රටවල් පමණි. ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ඉතා අසීරු තැනකට තල්ලු වන ආකාරයක් මේ වන විට දැකගන්නට තිබේ.
චීන තානාපති මහින්දට සහතිකයක් දීලා!
මෙවැනි පසුබිමක් යටතේ අප මීට සති කිහිපයකට ඉහතදී සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා වන කී ෂෙන් හොන් මහතා නිතර නිතර මහින්දගේ නිල නිවෙස වන විජේරාම පාරේ නිවෙසට පැමිණෙන බවය. ඒ අනුව චීනය මේ වන විට මතුව ඇති ගෝලීය ප්‍රශ්නයද කළමනාකරණය කිරීම සඳහා උපයෝගී කරගැනීමට සැලසුම් කර ඇත්තේ මහින්දවය. ඒ අනුව ඔවුන්ගේ සැලසුම වී ඇත්තේද මහින්ද වැනි ප්‍රබලයකු අගමැති ධුරයට පත් කරගතහොත් ජාත්‍යන්තර ප්‍රශ්නය චීනයට වාසිසහගත ලෙස කළමනාකරණය කරගත හැකි යැයි කියාය. මේ නිසා යම් හෙයකින් මහින්ද අගමැති ධුරය ලබාගන්නවා නම් ඩොලර් බිලියන හයක මුදලක් ලබාදීමට චීනය කැමැත්ත පළකොට ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
ගිහින් රනිල්වත් හමුවෙයි!
මහින්ද අගමැති ධුරය ලබාගැනීම සම්බන්ධයෙන් රනිල් සමග සාකච්ඡා කිරීමට තීරණය කළේ මෙම චීන සහතිකයද අතේ තබාගෙනය. ඒ අනුව අලුත් අවුරුද්දට පෙර රනිල්ට කතාකළ මහින්ද තමන්ට හමුවීමට වෙලාවක් ලබාදෙන ලෙස රනිල්ට දැනුම් දී සිටීමට පියවර ගත්තේය. ඒ වන විට රනිල් නුවරඑළියේ සිටි බැවින්, කොළඹ පැමිණි වහා හමුවවීමට හැකි බව දැනුම් දී සිටියේය. ඒ අනුව මෙම සාකච්ඡාව පසුගිය සතියේ පැවැති අතර, මහින්ද එහිදී අගමැති ධුරය ලබාගැනීම සම්බන්ධයෙන් නිල ඉල්ලීම ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බවක් ආරංචිය. එහිදී ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ අපේක්ෂකත්වය රනිල්ට ලබාදිය හැකි බවද මෙහිදී මහින්ද රනිල්ට දැනුම්දී ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
කොළඹ තරු පහේ හෝටලයක් අලුත් ගේමක්!
මේ අතර ජනාධිපතිවරයා හා මහින්ද අතර පැවැති මෙම සාකච්ඡාවට ප්‍රථම මහින්දට ඉතා හිතවත් පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් අතර සාකච්ඡාවක්ද කොළඹ තරු පහේ හෝටලයක පැවැත්විණි. රාත්‍රී භෝජන සංග්‍රහයක් සමග පැවැති මෙම සාකච්ඡාවේදී ඉදිරි දේශපාලන සැලසුම් දියත් කිරීම සම්බන්ධයෙන්ද විශේෂ කතාබහක් සිදුව තිබේ. එහිදී ලබන මැයි – ජුනි මාස වන විට පොහොට්ටු ආණ්ඩුවක් නිර්මාණය කළ හැකි ආකාරයත්, ඉන් අනතුරුව රට ඇතුළේ දේශපාලනය කළ යුතු ආකාරය පිළිබඳවත් මෙහිදී දීර්ඝව සාකච්ඡා වී ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. නමුත් මේ සියල්ල තීරණය වන්නේ මහින්දට අගමැති ධුරය ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ලැබෙන ප්‍රතිචාරය මතය.