කුරිරු ත්‍රස්තවාදයක් නිසා තමාට පියා අහිමි වුණා සේ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූ පවුල් රාජපක්ෂලා විසින් අනාථ කළ බවත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට ගෙන එන බව පැවසුවත් බලයට පත් වූ දින සිටම කළේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දේවල් යටගැසූ බවත් සමහර පරීක්ෂණ වාර්තා ජාතික ආරක්ෂාව කියා එළියට නොදුන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එබැවින් මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු ම දෙනා නීතිය හමුවට ගෙන එන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට සමගි ජන බලවේග රජයක් යටතේ දේශීය මෙන්ම විදේශීය දක්ෂම ආරක්ෂක ආයතන සම්බන්ධ කර ගන්නා බවත් කුමන ත්‍රස්තවාදී ක්‍රියාවන් කරන අයට අනිවාර්යෙන් මරණිය දණ්ඩනය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා ඊයේ (28) වත්තල දී පැවසීය.
එහි දී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.
මටත් මගේ පියා අහිමි වුණේ කුරිරු ත්‍රස්තවාදයක් නිසා. පාස්කු ප්‍රහාරයෙන් ඒ නීච නින්ධිත ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූ පවුල් රාජපක්ෂලා අනාථ කළා. ඒ අය කිව්වා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුම දෙනා නීතිය හමුවට ගෙන එනවා කියලා. ආපු දවසේ ඉදලා කලේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හැම කටයුත්තක්ම හංගන්න හදපු එක. යට ගහපු එක. නියෝමාල් මැතිතුමා කිව්ව වගේ කරපු පරීක්ෂණ වාර්තාවල සමහර වාර්තා ජාතික ආරක්ෂාව කියලා මේ තොරතුරු එළියට දාන්න බැහැ කිව්වා.
මම එක දෙයක් කියන්නම්. මේ පාස්ක-ු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා අපි නීතිය හමුවට ගෙන එන වැඩපිළිවෙළ ශක්තිමත් කිරිමට දේශීය ආරක්ෂක අංශ පමණක් නොව ස්කොට්ලන්ඩ් යාඩ් ආයතනය, ඇමරිකාවේ එෆ්බීඅයි එක වැනි ජාත්‍යන්තරව සුපිරිම ආයතන ටික සම්බන්ධ කර ගෙන මේ පාස්කු ප්‍රහාරයට මුල් වූ සියලුම දෙනා අධිකරණය හමුවට නීතියට හමුවට ගෙන එනවා පමණක් නොව පාස්කු ප්‍රහාරට හෝ කොටි ත්‍රස්තවාදය හෝ කුමන ත්‍රස්තවාදයක් හෝ වේවා ඒ සඳහා සම්බන්ධ වන සියලු දෙනාට මරණීය දණ්ඩනය ලබා දෙන්න කටයුතු කරනවා. කවුරු මොනව හිතුවත් ඒක කරනවා.
මම දන්නවා මේක කිව්ව හැටියේ එක කොට්ටාසයක් කුලප්පු වෙනවා. එයාලා කියනවා ඒක ලිබරල් මතයට විරුද්ධයි කියලා. හැබැයි එයාලා ලිබරල් කම් කරනකොට පාසලක් පාසලක් ගානේ කුඩු ව්‍යාප්ත වේවි. දැනුව ව්‍යාප්ත වෙලා ඉවරයි. 43 ලක්ෂයක් මේ රටේ පාසල් දූ දරුවන් කුඩු නිසා අනාථ වෙලා. විනාශ වෙලා. මම වසර ගණනාවකට පෙර කිව්වා මේ රටේ කුඩු සංස්කෘතිය විනාශ කරන්න දැඩි නීති රීති ගෙන ආ යුතුයි කියලා. ඒ නිසා මම පොරොන්දු වෙනවා අපේ රජයක් තුළ සිංගප්පූරුවට හා සමාන නිති රීති ගෙනවිත් කුඩු කාරයෝ ටික අනිවාර්යෙන් විනාශ කරනවා.
මේකටත් හෙට ඉදන් ගහවි. කමක් නැහැ. මම එඩිට් කරපු සංස්කරණය කරපු නායකයෙක් නෙමෙයි. මම කතා කරනකොට ඒ කාලේ වගේ ටෙලි ෆොන්ටර් නැහැ. කෝච් කෙනෙක් ඉදලා නැහැ. මම කියන හැම දෙයක්ම හදවතින් ම එන අදහස්. ගමේ භාෂාවෙන් කියනවා නම් බොක්කෙන්ම එන අදහස් මේවා. මම කියනවා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මිනීමරුවෝ ටික මහමොළකරුවෝ ටික නිතිය හමුවට ගේනවා පමණක් නොව කුඩු සංස්කෘතිය විනාශ කරනවා.
අයිස් නිසා කුඩු නිසා මේ රටේ සංස්කෘතියට වන හානිය අප්‍රමානයි. ඔබ දන්නවාද දන්නෑ ඊසි කෑෂ් ක්‍රමය නිසා පාසල් පද්ධතියම කුඩා කාරයෝ ගිල ගෙන හමාරයි. මම ඒ වසංගතය විනාශ කරලා නැති කරලාම දානවා.
බොහෝ දෙනාගේ අපේක්ෂාව කොහොමද මේ රටේ ප්‍රශ්න විසදන්නේ කියලා. මේ රටේ ප්‍රශ්න විසදන්න මේ රජය අනුගමනය කරන වැඩපිළිවෙළ වැරදියි. රජය කරන්නේ ආර්ථිකය කුඩා කිරීමයයි. ආර්ථිකය සංකෝචනය කිරීමයි. ආර්ථිකය කුඩා කරන කොට ගෘහයේ ආර්ථිකය නිවසේ ආර්ථිකය කුඩා වෙනවා. ඒකට සියයට 30ක 35ක පොලි අනුපාතිකයක් දාලා. බදු පිට බදු ගහනවා. අතේ තියන සල්ලි ටික පිට්පොකට් ගහනවා.
රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ඉගැන්නුවා දැවැන්ත ආර්ථීකයක් අර්බුධයක් ක්‍රියාත්මක කරන කොට ඉන් ගොඩ ආ යුත්තේ වර්ධනයක් තුළින් බව. සංකෝචනය කරලා මේක කරන්න බැහැ. ඒ නිසා මිත්‍රවරුනි අපේ රජයක් තුළ අපි මානුෂීය ධනවාදී ප්‍රතිපත්ති තුළ ධනය උත්පාදනය කරලා මේ රටේ හැම දෙනාටම ඒ ධනය යුක්තිය සාධාරණත්වය තුළ බෙදී යන මානුෂීය ධනවාදී විවෘත ආර්ථික වැඩපිළිවෙළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා.
මේ අර්ථික අර්බුධයෙන් ගොඩ එන්න අලුතින් සිතිය යුතුයි. එදා රණසිංහ ප්‍රේමදාස මැතිත-ුමා රට තුළ ත්‍රස්ත යුද්ද දෙකක් තිබියදී ඇගලුම් කම්හල් 200 ව්‍යාපෘතිය ආරම්භ කළා. රට තුළ රතු පලසක් විදේශීය ආයෝජකයින්ට එලුවා. අපේ රටට එන්න කිව්වා. බදු සහන දුන්නා. විවිධ පහසුකම් දුන්නා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ඇගලුම් කම්හල් නිසා තමයි මෙහෙම හරි හුස්ම ගන්නේ අපි.
අපිත් වගබලා ගන්න ඕන මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න සෘජු විදේශ ආයෝජන ගන්න ඕන. ලෝකයේ තිබෙන බිලියනයපතියන්ගේ ලිස්ට් එක. ඇයි අපිට බැරි ආයෝජන කේන්ද්‍රස්ථානයක් ඇති කරන්න බැරි. එකතැනකින් ආයෝජකයින්ට අනුමැතිය ලබා දෙන වැඩපිළිවෙළක්. ආයෝජකයෝ එනවා කියන්නේ කර්මාන්තශාලා ඇති වෙනවා. ආර්ථිකය වර්ධනය වෙනවා. නිෂ්පාදන ඇති වෙනවා. රැකියා බිහි වෙනවා. ඒ තුළින් රටට සල්ලි ලැබෙන කොට මිනිසුන්ට සල්ලි ලැබෙන කොට ඒවා රාජ්‍ය ආදායමට එකතු වෙන කොට අපිට පුළුවන් මේ බංකොලොත්භාවයෙන් ගොඩ එන්න.
හැබැයි පගා සංස්කෘතිය කොමිස් සංස්කෘතිය තුළ ආයෝජකයෝ එන්නැ. මම පැහැදිලිව කියනවා අපි රජයක් ලෙස හොරකම තුරන් කිරීම සදහා දූෂණය අල්ලස වංචාව තුරන් කිරීමට ස්ථාවර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. අපේ රජයක් තුළ හොරුන්ට ඉඩක් නැහැ. අනිවාර්යෙන්ම අපි අහිමි වූ දේපල රටට නැවත ගෙන ඒම පනතක් සහ කළමනාකරණ අධිකාරියක් ඇති කරනවා. එක්සත් ජාතින් ක්‍රියාත්මක කරන්න ජාත්‍යන්තරය සමග සම්බන්ධ වෙනවා. ඉන්ටර්පෝල් ඇතුළු ලෝකයේ ආරක්ෂක ආයතන සමග සම්බන්ධ වී හොරු අල්ලනවා පමණක් නොව හොරු හොරාකාපු සම්පත් ටික අපේ රටේ මතු පරපුර උදෙසා නැවත ලබා ගන්නවා.
එකට ලක්ෂ 220ක් සියලු දෙනා එකට එක්ව රට ගොඩ නගන මහා ජාතික විප්ලවයකට මහා සංවර්ධන ව්‍යායාමයකට අපි එකතු වෙමු. මේ ජන පීඩක ජන ඝාතක ආණ්ඩුවට විරුද්ධව වැඩකරන ජනතාව මහ පාරට බැස්සා. අද මේ රටේ තිබෙන්නේ පාලකයන්ට එක නීතියක්. ලක්ෂ 220ට එක නීතියක්. පාලකයන්ට දුක තේරෙන්නෑ. පාලකයන්ට බඩගින්නක් නැහැ. ඔවුන්ට අගහිග කම් නැහැ. මේ හැමදෙයක්ම කරන්නේ බදු ගෙවන ජනතාවගේ මුදල් වලින්..















