රාජපක්ෂවරුන් යළි එකමුතු වෙයි! බලය ගන්න සැලසුම් හදයි!
කොඩ් එකේ ලංකාව ගැන වචනයක් නෑ!
ඩයනා ගැනත් වැඩ ඉක්මන් කරන්න තීන්දුයි!
පොහොට්ටුව 21ට නෑ!
හරීන්ගේ – මනූෂගේ හෙළිදරව් කටට වෙච්ච දෙයක්!
පසුගිය සතියේ ලංකාවේ දේශපාලනය උඩු යටිකුරු කළ සිදුවීමක් වූයේ ජනාධිපතිවරයාගේත්, ආණ්ඩුවේත් පතුරු යවමින් සිටි හරින් ප්‍රනාන්දුත්, මනුෂ නානායක්කාරත් ආණ්ඩුවට එක්වී ජනාධිපතිවරයාගේ අතින්ම ඇමැති ධුර දෙකක් ලබා ගැනීමය. ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනා විමතිය පළ කර සිටීමට ප්‍රධාන හේතුවක් වූයේ විපක්‍ෂයේ වැඩියෙන්ම ජනාධිපතිවරයාව විවේචනය කළ මන්ත්‍රීවරුන් දෙදෙනා බවට හරීනුත්, මනුෂත් ප්‍රසිද්ධියක් ලබා සිටීම නිසාය. මෙහිදී සර් ෆේල් යන මතය රට ඇතුළේ පැල කිරීමට මූලිකත්වය ගෙන තිබුණේත් වෙන කවුරුවත් නොව හරීනුත්, මනුෂත්ය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ රහස් තොරතුරු පාර්ලිමේන්තුවේ අනාවරණය කරමින් එම ප්‍රහාරයේ දේශපාලන කුමන්ත්‍රණයක් පැවැති බව රට හමුවේ පළමු වරට අනාවරණය කර සිටියේද හරීනුත්, මනුෂත්ය. නමුත් පන්තියේ සිටින නරකම ළමයාට ශිෂ්‍ය නායක පත්වීමක් ලබා දෙනවා සේ ජනාධිපතිවරයා කළේ හරීනුත්, මනුෂත් තමන් ළඟට ගෙන ඔවුන්ට ඇමැති ධුර දෙකක් ලබා දීමය. ඒ අනුව දැන් හරීනුත්, මනුෂත් සර් ෆේල් කියා කියන්නේ නැත. එමෙන්ම පාස්කු ප්‍රහාරය ගැන වෙනදා වගේ විශේෂ අනාවරණයන් කරන්නේද නැත.
අනේ ෆොටෝ නම් එළියට දාන්න එපා!
ඒ කෙසේ වෙතත් හරීනුත්, මනුෂත් ජනාධිපතිවරයා හමුවට ගොස මෙසේ ඇමැති ධුර ලබාගත්තද ඒ මොහොතේ ඊට අදාළ ඡායාරූප ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කෙරුණේ නැත. හරීන් සහ මනුෂ සමග තවත් කැබිනට් අමාත්‍යවරුන් හය දෙනෙකු දිවුරුම් දුන් අතර ඔවුන් හය දෙනාගේ ඡායාරුප පමණක් ඒ අවස්ථාවේ මාධ්‍යවලට ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කිරීම විශේෂත්වයක් විය. ඒ අනුව බොහෝ දෙනා සොයා බලන්නට වූයේ හරීන්ගේ සහ මනුෂගේ ඡායාරූපවලට කුමක් වූවාද කියාය. ඒ පිටුපස ඇත්තේ රසබර කතාවකි.
මනූෂ පරණ මිතුරා සුදේවට කතා කරයි!
මේ වන විට ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරන සුදේව හෙට්ටිආරච්චි යනු මනුෂගේ සමීපතම මිතුරෙකි. සුදේව මාධ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් තනතුර බාර ගැනීමට ප්‍රථම අවසන් වරට සේවය කළේ ස්වර්ණවාහිනී ආයතනයේ ප්‍රධානියෙකු ලෙසය. මනුෂත් සිය දේශපාලනය පටන් ගැනීමට ප්‍රථම මාධ්‍ය ජීවිතය ආරම්භ කළේ ස්වර්ණවාහිනී ආයතනයෙනි. එකල සිටම මනුෂත්, සුදේවත් අතර මාධ්‍ය හිතවත්කම යහමින් තිබිණ. ඒ නිසාම මනූෂ අමාත්‍ය තනතුරේ දිවුරුම් දීමෙන් පසුව සුදේවට කතා කර කියා සිටියේ හැකි නම් තමන් සහ හරීන් දිවුරුම් දීමේ ඡායාරූප මාධ්‍යයට නිකුත් නොකරන්නැයි කියාය. මනුෂටත් වඩා එහි දැඩි වුවමනාව තිබුණේ හරීන්ටය. මන්ද යත් හරීන් තදබල ලෙස ජනාධිපතිවරයා විවේචනය කළ අයකු නිසා ජනාධිපතිවරයාගේ අතින් ඇමැති ධුර ලබා ගන්නා ඡායාරූප ප්‍රසිද්ධියට පත්කළහොත් ඊට සමාජජාලා මාධ්‍යවල ප්‍රබල ප්‍රහාරයක් එල්ල වීම නොවැළැක්විය හැකි නිසා හරීන් මනුෂට කියා සිටියේ කෙසේ හෝ ඡායාරූප මාධ්‍යයට නිකුත් කිරීම වළක්වා ගත යුතු යැයි කියාය. ඒ අනුව පෙර කී ආකාරයටම මනුෂ සුදේවට කතා කොට එම ඉල්ලීම දැනුම් දීමට පියවර ගත්තේය. අනෙකුත් සියලුම ඇමැතිවරුන් ජනාධිපතිවරයා අතින් අමාත්‍ය ධුර ලබා ගන්නා ඡායාරූප මාධ්‍ය අංශය මගින් නිකුත් වුවද හරීනුත්, මනුෂත් ඇමැති ධුර ගන්නා ඡායාරූප මාධ්‍යට නිකුත් නොවූයේ එම එකඟතාවට අනුවය.
ලැජ්ජයි… අප්පිරියයි.. අහක බලාගෙන ගත්තේ!
කෙසේ වෙතත් වැඩේ බකල් වූයේ අමාත්‍ය ධුරය ලබා පැය කිහිපයක් ගතවීමට මත්තෙන් හරීන් සංචාරක අමාත්‍යංශයට ගොස් මාධ්‍ය හමුවක් කැඳවීමත් සමගය. එහිදී මාධ්‍යවේදීන් විසින් හරීන්ගෙන් ජනාධිපතිවරයා අතින් ඇමැතිකම ලබා ගත්තේ රෙදි ඇඳගෙනදැයි විමසද්දී හරීන් දුන් පිළිතුරත් සමග සියල්ල කණපිට පෙරළිණ. එහිදී හරීන් කියා සිටියේ තමන්ට ජනාධිපතිවරයා අතින් ඇමැතිකම ගැනීමේදී විශාල ලජ්ජාවක් ඇති වූ බවකි. තමන් අප්පිරියාවෙන් ජනාධිපතිවරයා අතින් ඇමැති ධුරය ලබාගත් බවත්, එහිදී ජනාධිපතිවරයාගේ මුහුණවත් නොබැලූ බවත් හරීන් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ ඔලොක්කුවට මෙන් හිනාවෙමින්ය. එය ලබාගත් ආකාරය පුනරූපනය කරමින් හරින් සිය හිස පිටුපසට හරවා ‘මම ඇමැති කම ගත්තේ මේ විදියට අහක බලාගෙන’ යැයිද කියා සිටියේය. ඒ අනුව මාධ්‍යයද ඒ මොහොතේම හරීන් ජනාධිපතිවරයා අතින් ඇමැතිකම් ගත්තේ අප්පිරියාවෙන් බවත්, එහිදී ජනාධිපතිවරයාගේ මුහුණවත් නොබැලූ බවත් සඳහන් කරමින් පුවත් පළ කිරීමට පියවර ගෙන තිබිණ.
මාධ්‍ය ඒකකය රටටම ඇත්ත පෙන්වයි!
වැඩේ පත්තු වූයේ ඒත් සමගය. හරීන්ගේ කතාවට මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබා දී ඇති බව දැකීමත් සමග ජනාධිපති මාධ්‍ය ඒකකයද සියලු හිතවත්කම් පසෙක තබා හරීනුත්, මනුෂත් ඇමැතිකම් ලබා ගන්නා අවස්ථාවේ ඡායාරූප මාධ්‍යට නිකුත් කිරීමට ඒ මොහොතේම පියවර ගත්තේය. එම ඡායාරූප බලද්දී නම් හරීන් කියූ ආකාරයට කිසිදු අප්පිරියාවක් හෝ ලැජ්ජාවක් දක්නට ලැබුණේ නැත. එමෙන්ම හරීන් හිටියේ ඔහු කී ආකාරයට පිටුපස බලාගෙන නොව ජනාධිපතිවරයාගේ මුහුණ දෙස බලාගෙන කටපුරා සිනාසෙමිනි. ඒ අනුව හරින් මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය පැය කිහිපයක් යෑමට මත්තෙන් අසත්‍යය එකක් බවට පත්ව තිබීම විශේෂ සිදුවීමක් විය.
21 ඉස්සරහට යනවද-පස්සට යනවාද?
‘ගෝඨා ගෝ හෝම්’ කියමින් ගෝල්ෆේස් පිටිය ඉදිරියේ අරගලය කෙරූ තරුණ තරුණියන්ගේ එක ඉල්ලීමක් වූයේ විධායක බලය අහෝසි කොට එම බලය පාර්ලිමේන්තුවට පැවරිය යුතු බවය. මේ නිසාම පසුගිය කාලයේදී විවිධ පාර්ශ්ව 21 වැනි සංශෝධනය නමින් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි. ඉන් එකක් වූයේ විජයදාස රාජපක්‍ෂ මහතා විපක්‍ෂයේ සිටියදී පාර්ලිමේන්තුවට ගෙන ආ 21 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාවය. ඊට අමතරව සමගි ජනබලවේගයද 21 වැනි ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරීමට පියවර ගෙන තිබිණ. එමෙන්ම ජනාධිපතිවරයාද මීට පෙර දින කිහිපයකට පෙර ජාතිය අමතමින් කියා සිටියේ විධායක බලය අහෝසි කිරීමට තමන් සූදානමින් සිටින බවය.
කැබිනට්ටුවට ආ 21…!
කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය බාර ගැනීමත් සමග 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය කඩිනම් වන ආකාරයක් දැකගන්නට ලැබිණ. එහිදී අධිකරණ අමාත්‍ය ධුරය බාරගත් විජයදාස රාජපක්‍ෂ මහතාද ඉකුත් සති අන්තය වන විට කියා සිටියේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳුදා දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තමන් කටයුතු කරන බවත්, ඉන්පසු ඊට අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත්ය.
ජනපති පොහොට්ටු කැබිනට්ටුව කැදවයි!
මේ ආකාරයට විධායක බලය අහෝසි කරන 21 වැනි සංශෝධනය සඳුදා දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට විජයදාස රාපක්‍ෂ මහතා සූදානමින් සිටින බව ජනාධිපතිවරයාටත් වාර්තා විය. ඒ අනුව ජනාධිපතිවරයා කළේ වහාම පොහොට්ටුව පමණක් නියෝජනය කරන කැබිනට් ඇමැතිවරුන් ඉරිදා දිනයේදී ජනාධිපති මන්දිරයට කැඳවා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගැනීමය. එම සාකච්ඡාවට ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, කාංචන විජේසේකර ඇතුළු පොහොට්ටුවේ කැබිනට් ඇමැතිවරුන් කිහිප දෙනෙක් එක්ව සිටියහ. එහිදී බොහෝ කැබිනට් ඇමැතිවරුන් ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ මේ වන විට 21 වැනි සංශෝධනය ගැන විජයදාස සහ හරීන් විපක්‍ෂයේ සිටි ආකාරයටම මහ ලොකු කයිවාරු ගසමින් සිටින බවත්, ආර්ථික අර්බුදයක් මතුව ඇති මේ මොහොතේ 21 වැනි සංශෝධනය රැගෙන විත් ජනාධිපති බලතල අහෝසි කිරීමට ගියහොත් දේශපාලන අරාජිකත්වයක් පවා රට ඇතුළේ මතු වීමට හැකි බවත්ය. එම නිසා මේ අවස්ථාවේ විධායක බලතල ජනාධිපති යටතේ තබාගත යුතු බවද එම ඇමැතිවරුන්ගේ මතය විය. ඒ අනුව ජනාධිපතිවරයා අවසානයේ තීන්දු කළේ යම් හෙයකින් සඳුදා දින 21 වැනි සංශෝධනය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් වුවහොත් ඊට සහාය නොදීමටය.
ඔය විදිහට 21 ගේන්න එපා! ජනපති දැඩි තීන්දුවක!
එමෙන්ම අමාත්‍යවරුන් මෙහිදී තවත් කරුණක් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළේය. ඒ, සඳුදා දිනයේදී 21 වැනි සංශෝධනයට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වෙනවා නම් මේ වන විට එහි කෙටුම්පතක් සියලුම අමාත්‍යවරුන් අතට ලැබී තිබිය යුතු බවය. නමුත් තවමත් එවැන්නක් ලැබී නොමැති නිසා එහි කුමක් අඩංගු වී ඇත්දැයි තමන් නොදන්නා බවද කැබිනට් ඇමැතිවරු මෙහිදී ජනාධිපතිවරයා වෙත පෙන්වා දුන්හ. ඒ අනුව වහාම ජනාධිපතිවරයා විජයදාස රාජපක්‍ෂට කතා කොට දැනුම් දී සිටියේ 21 වැනි සංශෝධනය කැබිනට් පත්‍රිකාවක් ලෙස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ නොහැකි බවකි.
විජේදාසයි හරීනුයි යළි පොර ටෝක් දෙයි!
මෙම පසුබිම යටතේ 21 වැනි සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ නොහැකි බව් විජයදාසටත් වැටහී තිබිණි. ඒ අනුව ඔහු දැඩිව සිය හිතවතුන්ට කියා සිටියේ නියත වශයෙන්ම සඳුදා දිනයේදී 21 වැනි සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත්, එසේ කළ නොහැකි නම් තමන් අධිකරණ ඇමැතිකමින් ඉවත් වී විපක්‍ෂයේ අසුන් ගන්නා බවත්ය. විජයදාසට අමතරව හරින්ද විපක්‍ෂයේ සිටියාක් මෙන්ම මාධ්‍ය හමුවේ කියා සිටියේ 21 වැනි සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරන්නේ නම් ඇමැති ධුරය සම්බන්ධයෙන් තමන් තීන්දුවක් ගැනීමට සූදානම් යැයි කියාය.
කැබිනට් පත්‍රිකාවක් නෑ! ආවේ කඩදාසියක් විතරයි!
නමුත් ඇත්තම කතාව නම් සඳුදා දිනයේ කැබිනට් මණ්ඩලයට 21 වැනි සංශෝධනය කියා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වූයේ නැත. ඒ වෙනුවට ඉදිරිපත් වූයේ 21 වැනි සංශෝධනය යනුවෙන් සටහන් වූ කඩදාසියක් පමණි. ඒ අනුව ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා කෙළින්ම කියා සිටියේ පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්‍ෂවල එකඟතාවය ද විමසා සිටිය යුතු බවය. පොහොට්ටුවේ ඇමැතිවරුන්ගේ මතයද මෙය බව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී සිටියේය. ඒ අනුව ඇත්තටම සිදුවූයේ විජයදාස ඉදිරිපත් කළ 21 වැනි සංශෝධනයට ජනාධිපතිවරයාත්, පොහොට්ටුවේ කැබිනට් ඇමැතිවරුනුත් පාපන්දුවකට පහර දෙනවා වාගේ හතර අතේට පහර එල්ල කිරීමය. ඒ අනුව විජේදාසගේ 21ට කැබිනට් අනුමැතිය හිමිවුණේද නැත.
ජනපතිගෙන් හරීන්ට ටොක්කක්! සද්ද නැතිව අහගෙන ඉදියි!
ඉන් අනතුරුව තවත් විශේෂ සිදුවීමක් සිදුවිය. ඒ, හරින් එළියේ කර තිබූ කතා කිහිපයකට ප්‍රතිචාර දැක්වීමට ජනාධිපතිවරයා පියවර ගැනීමය. එහිදි ජනාධිපතිවරයා හරින්ට දැනුම් දී සිටියේ ආණ්ඩුව ඇතුළේ සිටිනවා නම් සාමූහික වගකීමට අනුව කටයුතු කළ යුතු බවත්, තැන් තැන්වල විවිධ කතා කීමෙන් වැළකී සිටිය යුතු බවත්ය. ජනාධිපතිවරයා මෙම දැනුම් දීම කළ වහාම අදහස් දැක්වීම ආරම්භ කළ ප්‍රසන්න රණතුංග ඇමැතිවරයාද කියා සිටියේ සාමුහික වගකීම ආරක්‍ෂා කිරීම කාගේත් වගකීමක් බවත්, ඉකුත් කැබිනට් මණ්ඩලය අර්බුදයට ලක්වුණේ ඇමැතිවරු එළියට ගොස් විවිධ කතා කිරීම නිසා බවත්ය. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ජනාධිපතිවරයාත්, ප්‍රසන්නත් මෙසේ කියද්දී හරින් වචනයක් හෝ නොකියා ඒ සියල්ල අසා සිටීමය.
පොහොට්ටුව 21 ගැන නිල මතය කියයි!
කෙසේවෙතත් මෙම කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව පොහොට්ටුවද නිකම් සිටියේ නැත. ඒ අනුව ඔවුන්ද කළේ සිය පක්‍ෂ මහලේකම් වරයා වූ සාගර කාරියවසම් ලවා 21 වැනි සංශෝධනය සම්බන්ධයෙන් පක්‍ෂයේ මතය රටට දැනුම් දීමය. එහිදී සාගර කාරියවසම් පැහැදිලිව කියා සිටියේ පොහොට්ටුවේ සහායෙන් රනිල්ව අගමැතිවරයා බවට පත්කළේ ව්‍යවස්ථා සංශෝධන සිදුකිරීමට නොව දැනට රටේ මතුව ඇති බරපතළ ආර්ථික අර්බුදය විමසා ගැනීමට යැයි කියාය. තවමත් රට පුරා ගෑස්, තෙල්, කිරිපිටි පෝලිම් දැකගන්නට හැකි බව කී සාගර, අගමැතිවරයා පළමුව කළ යුත්තේ එම පෝලිම් නැතිකිරීම බවද කියා සිටියේය. ඉන් අනතුරුව ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව අවධානය යොමු කළ හැකි බවත් හෙතෙම එහිදී සඳහන් කළේය. මීට අමතරව තවත් එක් කරුණක් ගැන අවධාරණය කිරීමට සාගර පියවර ගත්තේය. ඒ, යම්කිසි පුද්ගලයෙක් ඉලක්ක කරගෙන රැගෙන එන ව්‍යවස්ථා සංශෝධනයන්ට පොහොට්ටුව පක්‍ෂයක් ලෙස එකඟ නොවන බවකි. ඒ හරහා සාගර නොකියා කියා සිටියේ බැසිල් ඉලක්ක කොට විජයදාස 21 වැනි සංශෝධනය රැගෙන විත් ඇති බවත්, ඊට සහාය නොදීමට පොහොට්ටුව කටයුතු නොකරන බවත්ය. ඒ අනුව විජයදාස රාජපක්‍ෂලා හිතන ආකාරයට 21 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත නොවන බව සක්සුදක් සේ පැහැදිලිය.
නීතීඥ සංගමයත්-සජිතුත් විරුද්ධයි!
අනෙක් අතට විජයදාස ඉදිරිපත් කළ 21 වැනි සංශෝධනය සම්බන්ධයෙන් වහාම ශ්‍රී ලංකා නීතිඥ සංගමයත්, සමගි ජනබලවේගයත් සිය ස්ථාවරය ප්‍රකාශයට පත්කිරීමට පියවර ගෙන තිබිණ. ඔවුන් පෙන්වා දී තිබුණේ විජයදාස ඉදිරිපත් කර ඇති 21 වැනි සංශෝධනයෙන් සත්‍ය ලෙසම විධායක බලතල කප්පාදු නොවන බවකි. ඒ අනුව ඔවුන් ඊට විරෝධය පළකරන බවද නිකුත් කළ නිවේදනයේ සඳහන් වී ඇත.
රනිල් හිතවතුන්ට ගෝඨා ගැන කියපු රහස!
කෙසේ වෙතත් මෙම කැබිනට් මණ්ඩල රැස්වීම නිමාවීමෙන් පසු එදිනම රාත්‍රියේ රනිල් සිය හිතවතුන් කිහිප දෙනෙකු හමුවී රටේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබිණි. එහිදී රනිල් එදින කැබිනට් මණ්ඩල රැස්වීමේදී හරින්ට අනතුරු අඟවමින් ජනාධිපතිවරයා එල්ල කළ ප්‍රහාරය පිළිබඳව දීර්ඝව අදහස් දැක්වීම විශේෂ සිදුවීමක් විය. එය අසුබ ලකුණක් බව කියා සිටි රනිල්, 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා දැරූ ස්ථාවරය විවේචනයට ලක්කරමින් අදහස් පළ කළ ආකාරයක් දැකගන්නට ලැබිණි. මෙම තත්ත්වය යටතේ ජනාධිපතිවරයා සමග කටයුතු කිරීම අසීරු බවද රනිල් සිය හිතවතුන් හමුවේ ප්‍රකාශ කර සිටීම විශේෂ සිදුවීමක් විය.
දෙනවා කියපු ලෝක ආධාරවලට වෙච්ච දෙයක්!
පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ අපි ආණ්ඩුවට ජාත්‍යන්තරය තුළ හිමිවී ඇති තැන පිළිබඳව විශේෂ අනාවරණයක් කළෙමු. එහිදී අප උදාහරණ සහිතව පෙන්වා දුන්නේ නව අගමැතිවරයා ලෙස රනිල් පත්වූ වහා ජාත්‍යන්තර ආධාර ගලා එන බවට ඇතැම් මාධ්‍ය හිතාමතාම ගෙන ගිය ප්‍රචාර අසත්‍ය බවත්, මාධ්‍ය කියන ආකාරයේ කිසිවක් සිදුවී නැති බවත්ය. උදාහරණයක් ලෙස රනිල් පත්වූ වහා ජපානය ඩොලර් බිලියන පහක ආධාර ලබා දෙන බවට මාධ්‍ය හරහා ප්‍රචාරය වුවත් එවැන්නක් සිදුවී නොමැති බව අපි එහිදී පැහැදිලිව කියා සිටියෙමු. ඊට අමතරව ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා ලංකාවට ආධාර ලබාදීමට නම් දේශපාලන ස්ථාවරත්වයක් සහ මූල්‍ය ස්ථායිතාව පවත්වාගත යුතු බව දැනුම් දී ඇති බවද අපි එහිදී සටහන් කර සිටියෙමු.
කොඩ් එකේ ලංකාව ගැන වචනයක් නෑ!
කෙසේ වෙතත් පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය අප අවසන් කළේ 24 වැනිදා ජපානයේ ‘කොඩ්’ හෙවත් ඇමෙරිකාව, ඉන්දියාව, ජපානය, ඕස්ටේ්‍රලියා යන රටවල ප්‍රධානත්වයෙන් සමුළුවක් පැවැත්වීමට නියමිත බවත්, එහිදී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා කොට ආධාර ලබා ගැනීමේ ප්‍රයත්නයක් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් දියත් කර ඇති බවත් කියමිනි. එහිදී ජනාධිපතිවරයා ඍජුවම ඉන්දීය විදේශ අමාත්‍යවරයාට ඇමැතුමක් ලබා දී මේ පිළිබඳව දැනුම් දී ඇති බවත්, අගමැති රනිල් හිටපු ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයකු මෙන්ම මේ වන විට ඇමෙරිකාවේ සේවය කරන තරංජිත් සිං මහතා හට කතා කර ඇති බවත්, ඉන්දියාවේ මහ කොමසාරිස්වරයා වන මිලින්ද මොරගොඩ මහතා හරහා අගමැති මෝදිට ඒ පිළිබඳ දැනුම් දීමක් කොට ඇති බවත් එහි අපි සඳහන් කළෙමු.
මෙවර අප රාජ්‍ය රහස් තීරය මගින් අනාවරණය කිරීමට සූදානම් වන්නේ මෙම ‘කොඩ්’ රැස්වීමේදී මෙවර සිදුවූ දෙයය. එහිදී බොහෝ දෙනා ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා වනු ඇති බවක් සිතා සිටියත් අවම වශයෙන් එහිදී වචනයක් හෝ ලංකාව ගැන සාකච්ජා වී නැත. අඩුම තරමේ මෝදි සහ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා අතර පැවැති සාකච්ඡාවේදීවත්, රටවල් හතරේ නායකයන් අතර පැවැති සාකච්ඡාවේදීවත් මෝදි ලංකාව ගැන අදහස් දැක්වීමට ඉදිරිපත් නොවීම විශේෂ සිදුවීමකි. ඒ වෙනුවට ඊට පසු අවස්ථාවකදී මෝදි කියා සිටියේ ලංකාව මේ වන විට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති බවත්, එය විසඳාලීමට ඉන්දියාව ආධාර උපකාර කරන බවත්ය.
සමන්තාට රනිල් කතා කරයි! සමන්තා කළ යුතු දේ කියයි!
මේ ආකාරයට ‘කොඩ්’ රැස්වීමේ ප්‍රතිඵලය ලංකාවට අහිතකර බව වාර්තා වීමත් සමග වහාම රනිල් කළේ යූ.එස්.ඒඩ් ආයතනයේ ප්‍රධානියා වූ සමන්තා පවර් හට දුරකතන ඇමැතුමක් ලබාදීමය. එහිදී රනිල් කියා සිටියේ දැනට රටේ පවතින තත්ත්වය හමුවේ හදිසි ආධාර ලංකාවට අවශ්‍ය යැයි කියාය. ඒ අනුව මෙම ඇමැතුම සම්බන්ධයෙන් රනිල් සහ ආණ්ඩුවට හිතවත් රූපවාහිනී මාධ්‍ය සහ පුවත්පත් දිගින් දිගටම යූ.එස්.ඒඩ්. ආයතනය ලංකාවට ආධාර ලබා දීමට සූදානම් බව ප්‍රචාරය කළ නමුත් සත්‍ය තත්ත්වය එසේ නොවීය. එහිදී සමන්තා පවර් පැහැදිලිවම රනිල්ට දැනුම් දී තිබුණේ සිය ආයතනය කලින් තීන්දු කර තිබූ ආකාරයටම ආධාර ලබා දීමට නම් පළමුව ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බවත්, එවිට ලංකාවට ආධාර ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ හැකි බවත්ය. කෙසේ වෙතත් මූල්‍ය අරමුදල සමග පවත්වන සාකච්ඡාවලදී තම ආයතනයේ සහාය ලබා දිය හැකි බවද මෙහිදී සමන්තා පවර් රනිල්ට දැනුම් දී සිටියාය. ඒ අනුව එම සාකච්ඡාවේදී ආධාර ලබා දීම සම්බන්ධයෙන් වචනයක් හෝ සඳහන් නොවීම විශේෂ සිදුවීමක් විය.
මුදල් ඇමැතිකම රනිල්ට කැරකුණු හැටි!
කෙසේ වෙතත් ලංකාවට ආධාර ලබා ගැනීමේදී පසුගිය සතිය ආරම්භ වන විටත් මුදල් අමාත්‍යවරයකු පත්කර නොතිබීම බරපතළ තත්ත්වයක් විය. ඒ වන විටත් අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් තමන්ට මුදල් ඇමැතිකමද ලබා දිය යුතු බවට යෝජනා වී තිබුණත් ජනාධිපතිවරයා රනිල්ට මුදල් ඇමැතිකම නොදීමේ දැඩි ස්ථාවරයක සිටින බවක් දැකගන්නට ලැබිණ. ඒ සඳහා ජනාධිපතිවරයාට බලපෑ හේතුද තිබිණි. ඉන් ප්‍රධාන හේතුවක් වූයේ ඉකුත් යහපාලන ආණ්ඩු සමයේදී සිදුවූ මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සාක්‍ෂි සහ ප්‍රකාශ ලබා දුන් එවකට නියෝජ්‍ය අධිපතිවරයකු ලෙස සේවය කළ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ වන විට මහබැංකු අධිපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත්කර තිබීමය. යම් හෙයකින් රනිල්ට මුදල් ඇමැතිකම ලබාදුනහොත් මහබැංකුවද ඔහු යටතට වැටෙන්නක් නිසා දෙදෙනා අතර ගැටුම් ඇතිවනු ඇති බවට මත පලවී තිබීම ඊට හේතු වී තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයාගේ සැලැසුම වී තිබුණේ මුදල් අමාත්‍යවරයා ලෙස කෙටි කලක් සේවය කළ අලි සබි්‍රටම නැවැතත් මුදල් අමාත්‍ය ධුරය ලබා දීමය. නමුත් ඊට බාධාවක් වී තිබුණේ සබි්‍රගේ පවුලේ ඥාතීන් දැඩි විරෝධයක් පළකොට තිබීමය. නමුත් ජනාධිපතිවරයා දිගින් දිගටම අලි සබි්‍රගෙන් කරන ලද ඉල්ලීම් හේතුවෙන් අවසානයේදී මුදල් අමාත්‍ය ධුරය ගැනීමටද සබි්‍ර එකඟතාව පළකොට ඇති බවක්ද කියැවිණි.
ගෝඨා-රනිල් උණුසුම් කතාබහක්!
නමුත් අවසානයේදී රනිල් දැඩි තීන්දුවක් ගනිමින් තමන්ට වත්මන් මූල්‍ය අර්බුදය විසඳීමට නම් මුදල් අමාත්‍ය ධුරයද අවශ්‍ය බව ජනාධිපතිවරයාට දැනුම් දී සිටීමට පියවර ගෙන තිබිණ. ඒ අනුව වහාම ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්ට කතා කළ රනිල් තමන්ට මුදල් අමාත්‍යාංශ අවශ්‍ය බව ජනාධිපතිවරයාට දැනුම් දෙන්න යැයි ඉල්ලා තිබිණ. ඒ සංවාදය කොතරම් දුරදිග ගියාදැැයි කියනවා නම් වරක් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ රනිල් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවූ බවක්ද නිල නොවන වශයෙන් ආරංචිය.
ගෝඨා හර්ෂටත් කතා කරයි!
මේ අතර ජනාධිපතිවරයා මුදල් ඇමැතිකම බාර ගන්නා ලෙස දැනුම් දෙමින් වරක් සමගි ජනබලවේගයේ හර්ෂ ද සිල්වාට දුරකතන ඇමැතුමක් ලබා දීමටද පියවර ගත්තේය. ඇතැම් නිල නොවන ආරංචිවලින් කියැවෙන්නේ ජනාධිපතිවරයා හා හර්ෂ අතර හමුවක්ද සිදුවූ බවකි. එය තහවුරු වී නැතත් එම සාකච්ඡාවේදී හර්ෂ පැහැදිලිව ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ දැනට පිහිටුවා ඇති ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධුරය බාර ගැනීමට තමන් කිසිසේත්ම සූදානම් නැතැයි කියාය. ජනතාව පමණක් නොව ජාත්‍යන්තරයද පිළිගන්නේ සර්ව පාක්‍ෂික රජයක් බවත්, එවැනි ආණ්ඩුවක් බිහි කරන්නේ නම් පමණක් තමන් එහි මුදල් අමාත්‍ය ධුරය බාර ගැනීමට සූදානම් බවත් හර්ෂ ජනාධිපතිවරයාට දැනුම් දී තිබිණ.
ඒ අනුව අලි සබි්‍ර මෙන්ම හර්ෂ ද මුදල් අමාත්‍ය ධුරය බාර ගැනීම ප්‍රතික්‍ෂේප කළ බැවින් අවසානයේදී එම ධුරය රනිල්ටම ලබා දීමට ජනාධිපතිවරයාට සිදුවිය.
හරීන්-මනූෂ සජබෙන් දොට්ට!
මේ අතර සජිත්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා දින පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්විය. සමගි ජන බලවේගයේ තීන්දුවට පිටුපා යමින් ස්වාධීන වී ආණ්ඩුවට සහයෝගය දෙන්නට ගිය හරින් සහ මනුෂ සම්බන්ධයෙන් එහිදී වශයෙන් සාකච්ඡාවට ගැනුණු අතර ඒ සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය විවිධ අදහස් ඉදිරිපත් කරනු ලැබීය.
”ඔබතුමා ගත්ත තීන්දුව සියයට සියයක් නිවැරදි කියල අද වෙනකොට ඔප්පු වෙලා ඉවරයි.මේ ආණ්ඩුව කරන්නේ සම්පූර්ණ ප්‍රෝඩාවක් බව දැන් මුළු රටම දන්නවා”
ගයන්ත කරුණාතිලක කීවේය.
”සමහරු කියනවා ඔබතුමා අගමැතිකම ගන්න ගියා කියලා.හැබැයි ඒ අය අමතක කරනවා අගමැතිකම් ගන්න ගියේ රාජපක්ෂලා ගෙදර යන්න ඕන කියන කොන්දේසිය උඩ කියලා”
හෙක්ටර් අප්පුහාමි කීවේය.
”අද වෙලා තියෙන්නේ, සම්පූර්ණයෙන්ම රාජපක්ෂලා ආපහු කරළියට එන එක.බිත්තියට හේත්තු වෙච්චි ගෝඨාභය ආපහු සුරක්ෂිත කළේ කොන්දේසි විරහිතව ගිහින් එයාලට සහාය දුන්න රනිල් වික්‍රමසිංහ නිසා”
නලින් බණ්ඩාර කීවේය.
”එකම ඉතිං හැමදාම රාජපක්ෂලාගේ ගැලවුම්කාරයා. ආරක්ෂකයා.හැබැයි අපිට දුක අපි බොහොම ආදරයෙන් හිටපු අපේ දෙන්නෙකුත් ඒ ආරක්ෂකයින්ගේ ගොඩට එකතු වෙච්ච එක ගැන”
චමින්ද විජේසිරි කීවේය.
ඩයනා ගැනත් වැඩ ඉක්මන් කරයි!
ඒ අනුව අවසානයේදී හරීනුත්, මනුෂත් පක්‍ෂයෙන් ඉවත් කිරීමට ඒකමතිකව තීන්දු විය.
මෙහිදී දොස්තර රාජිත සේනාරත්න තවත් ප්‍රශ්නයක් මතු කළේය. ඒ ඩයනා ගමගේ ආණ්ඩුවට එක්වීම සම්බන්ධයෙන් පිළිබඳ නීති කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන්ය. එහිදී රංජිත් කියා සිටියේ මේ වන විට නීතිඥවරුන් විසින් එම කටයුතු සිදුකරමින් සිටින බවකි. එහිදී රාජිත කියා සිටියේ එම කටයුතු වහාම අවසන් කොට ඩයනා සම්බන්ධයෙන්ද අවසන් තීන්දුවක් ගන්නා ලෙසටය.
චමල්ට පළමු ඇමතුම බැසිල්ගෙන්!
මීට සති දෙකකට ඉහතදී මහින්ද රාජපක්‍ෂ සම්බන්ධයෙන් රාජපක්‍ෂ පවුලේ වැඩිමලා වන චමල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේ ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයක් මහත් ආන්දෝලනයකට තුඩු දී තිබිණි. එහිදී චමල් කියා සිටියේ මහින්ද 2015දී දේශපාලනයෙන් ඉවත් වූවා නම් රාජපක්‍ෂ පවුලට මෙවැනි ඉරණමකට මුහුණ දීමට සිදුනොවන බවත්, සෑම දේශපාලනඥයෙක්ම තමන් දේශපාලනයෙන් ඉවත්වීමේ වේලාව නිශ්චිතව දැන සිටිය යුතු බවත්ය. චමල්ගේ මෙම ප්‍රකාශයට ඒ අවස්ථාවේදී මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලැබීමත් සමග චමල්ට පළමුවැනි දුරකතන ඇමැතුම ලැබුණේ රාජපක්ෂ පවුලේ බාලයා වන බැසිල් රාජපක්‍ෂ මහතාගෙනි. බැසිල් එහිදී දැඩිව චමල්ගේ ප්‍රකාශය විවේචනය කරමින් කියා සිටියේ එවැනි ප්‍රකාශයක් සිදුනොකළ යුතුව තිබූ බවත්, චමල්ටත්, ශෂීන්ද්‍රටත් දේශපාලනයේ මේ දක්වා වූ දුරක් පැමිණීම සඳහා මහින්ද විශාල ලෙස උදව් උපකාර කර තිබූ බවත්ය. එම නිසා ඒවා අමතක නොකරන ලෙස බැසිල් චමල්ගෙන් ඉල්ලීමක්ද කළේය.
මහින්දට හොයපු ගෙදර!
කෙසේවෙතත් චමල්ගේ මෙම ප්‍රකාශයත් සමග නැවැත වරක් රාජපක්‍ෂ පවුල අතර දේශපාලන එකමුතුභාවයක් ගොඩනැඟුණු ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ අනුව පසුගිය සතියේ රාජපක්‍ෂ පවුලේ කිහිප දෙනෙකු එකතු වී සාකච්ඡා කළ බවක් නිල නොවන වශයෙන් රාජ්‍ය රහස් තීරයට ආරංචිය. එහිදී සාකච්ඡා වී තිබූ එක් මාතෘකාවක් වූයේ දැනට විවිධ ස්ථානවල රැඳී සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ස්ථිර ආරක්ෂිත නිවාසයක් සොයා ගැනීමය. මේ වන විට ඒ මහතා රැඳී සිටි විජේරාම නිල නිවෙස අලුත්වැඩියා කටයුතු කරමින් තිබීමත්, අගමැති ධුරයෙන් ඉවත් වීම නිසා අරලියගහ මන්දිරයේ රැඳී සිටීමට නොහැකි වීමත් එම සාකච්ඡාවට හේතු වී තිබිණ. එසේම මහින්දට වඩාත් ආරක්‍ෂක ස්ථානයක් ලබා දිය යුතු බවද සියලු දෙනාගේම අදහස විය. ඒ අනුව ජනාධිපතිවරයා වහාම ඒ සම්බන්ධයෙන් බලධාරීන්ට උපදෙස් දුන්නේ ආරක්‍ෂක ස්ථානයක් සොයා බලන ලෙසටය. එහිදී බොහෝ දෙනා කියා සිටියේ මංගල සමරවීර මෙන්ම ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වාසය කළ නිල නිවෙස ඊට සුදුසුම තැන කියාය. ඒ අනුව වාහම එම නිල නිවෙස හිස්කර මහින්දට ලබා දෙන ලෙස නියෝග නිකුත් විය.
බලය ගන්නේ කොහොමද?
මීට අමතරව ඇතැමුන් විසින් බැසිල් ඉලක්ක කර ගෙන ඒමට සූදානම් කර සිටින ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවද පිරිස අතර දීර්ඝ ලෙස සාකච්ඡා විය. එහිදී ද තීන්දු වූයේ මේ වන විට සක්‍රීය ලෙස දේශපාලනයේ සිටින්නේ බැසිල් වීම නිසා ඔහුට එරෙහිව විරුද්ධව ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයකට සහාය ලබා නොදීමටය. එමෙන්ම ඉදිරියේදී යළි රාජපක්‍ෂ පවුල වෙත බලය ලබා ගන්නා ආකාරය පිළිබඳවද මෙහිදී කරුණු සාකච්ඡා වී ඇති බව රාජ්‍ය රහස් තීරයට ආරංචි විය.