මහ මැතිවරණයෙන් පසු පළමු වරට පාර්ලිමේන්තුව රැස්වූයේ පසුගිය 21 වැනිදාය. නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමද එදින සිදුවූ අතර, එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජාසන කතාවද සිදුකළේය. පහත පළවන්නේ එම රාජාසන කතාවෙන් උපුටා ගත් කොටසකි. (Sri Lanka Latest News)
‘ ශක්තිමත්, යහපත් රාජ්‍ය සේවයකින් තොරව අපට ඉදිරියට යන්න බැහැ. ලෝකයේ සෑම රටකම අලුත් හැරවුමක් ලබාගැනීමේදී දේශපාලන නායකත්වයේ මගපෙන්වීම වගේම රාජ්‍ය අංශයේ ක්‍රියාකාරීත්වය ඉතා වැදගත් වෙනවා. දේශපාලන අධිකාරීන්ට කවර ප්‍රමාණයේ ඉලක්ක සහ අපේක්ෂාවන් තිබුණත්, ඒ අපේක්ෂාවන් සහ ඉලක්ක මෙහෙයවිය හැකි වන්නේ ඊට සරිලන වන, අනුගත වන රාජ්‍ය සේවයක් නිර්මාණය කරගැනීමට සමත් වුවහොත් පමණයි. එනිසා මහජනතාවගේ හිතසුව පිණිස වැඩකරන කාර්යක්ෂම රාජ්‍ය සේවයක් යළි මේ රටේ ස්ථාපිත කළ යුතු බව මා විශ්වාස කරනවා.
ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහසට අනුව සෑම පුරවැසියෙකුටම තමන් අදහන ආගම, භාෂාව සහ තම සංස්කෘතීන් හුදකලාවීමට ලක්විය යුතු නැහැ. තමන් අදහන ආගම, සංස්කෘතිය, නියෝජනය කරන දේශපාලනය තමන්ට අතිරේක පීඩාවක් ගෙන එන බවට හැඟීමක් ඇති වියයුතු නැහැ. දේශපාලන වශයෙන් කුමන මත දැරුවත් නිදහස සෑම දෙනාටම පොදු දෙයක් විය යුතුයි. සෑම කෙනකුටම බියෙන්, සැකෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් රාජ්‍යයක් බිහි කිරීම අපගේ වගකීමක්. ඒ වගකීම ඉටුකරන බවට අප ඔබට සහතික වෙනවා.
නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු වන්නේ මේ පාර්ලිමේන්තුව තුළ සකස් කරන නීති තුළින් පමණක් නොවෙයි. මේ පාර්ලිමේන්තුව තුළ විවිධ අවස්ථාවල දීර්ඝ සාකච්ඡා සහ දීර්ඝ විවාද තුළින් ඉතාමත් ප්‍රගතිශීලී ශක්තිමත් නීති අප සම්පාදනය කොට තිබෙනවා. හැබැයි නීති සම්පාදනය කිරීම ප්‍රමාණවත් නැහැ. එම නීති නිසි පරිදි ක්‍රියාවේ යෙදිය යුතුව තිබෙනවා. ඒ වගේම ජනතාවට නීතිය ක්‍රියාත්මක වෙනවා කියන හැඟීම ඇති විය යුතුව තිබෙනවා.
නමුත් පසුගිය කාලය පුරා අපේ රටේ සිදුව තිබෙන දේ තමයි නීතිය පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳවැටීම. තමන්ට යම් අසාධාරණයක් සිදුවූ විට නීතිය ඉදිරියට ගොස් සාධාරණය ඉටුකරගත හැකියි කියන විශ්වාසය බිඳවැටී තිබෙනවා. තමන්ට යම් අයුක්තියක් සිදුවුවහොත් එම අයුක්තිය විසඳා ගැනීම සඳහා නීතියේ පිහිට පැතිය හැකියි කියන විශ්වාසය බිඳවැටී තිබෙනවා. ඒ නිසා පොදු ජනතාව තුළ නීතියේ ආධිපත්‍ය පිළිබඳ තිබෙන විශ්වාසය බිඳවැටී තිබෙනවා. නීතියේ හා විධානයේ ආධිපත්‍ය ශක්තිමත් කිරීමකින් තොරව යහපත් රාජ්‍යයක් ගොඩනැගීමට හැකිවනු ඇතැයි අප කිසිසේත් විශ්වාස කරන්නේ නැහැ. යහපත් රාජ්‍යයක් ගොඩනගනවා නම් එහි ප්‍රධාන සාධකය බවට නීතියේ විධානයේ ආධිපත්‍ය සහතික විය යුතුයි. ඒ නිසා ජනාධිපතිවරයා ලෙසත්, ආණ්ඩුව ලෙසත් අප මේ නීතියට යටත්. කිසිදු දේශපාලනඥයෙක් හෝ අධිකාරී බලයක් තිබෙන කිසිවෙක් මින් පසුව නීතියට උඩින් සිටින්නේ නැහැ. හැම දෙනාම නීතියට යටත්ව සිටිය යුතුයි. ඒ වගේම නීතිය පිළිබඳ ජනතාවගේ බිඳවැටුණු විශ්වාසය නැවතත් තහවුරු කළ යුතුයි. මෙහිදී කිසිවකුගෙන් පළිගැනීමේ, කිසිවකු හඹාගොස් දඩයම් කිරීමේ වුවමනාවක් අපට නැහැ. හැම දෙනාටම නිදහසේ දේශපාලනය කිරීමේ අයිතිය අප තහවුරු කරනවා.
නමුත් ලංකාවේ ආන්දෝලනයට තුඩුදී ඇති අපරාධ විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපරාධකරුවන් කල්පනා කරනවා නම් ඒවා කාලයේ වැලිතලාවෙන් යටපත්වී අවසන් වනු ඇතැයි කියා එය නීතිය පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳවැටීමක්.
නීතිය පිළිබඳ ජනතාවගේ විශ්වාසය තහවුරු කිරීමට නම් ආන්දෝලනයට තුඩුදී තිබෙන අපරාධ පිළිබඳ යළි විමර්ශනය කොට වින්දිතයන්ට සාධාරණත්වයත්, අපරාධකරුවන්ට දඬුවමත් ලබාදිය යුතුයි. විවිධ අවස්ථාවල මේ රටේ සිදුව තිබෙන අපරාධ තමන්ගේ දේශපාලන වේදිකාවේ සටන් පාඨ බවට පත්කරගත්තා. හැබැයි ගොඩනැගුණු කිසිදු රාජ්‍යයක් ඒ පිළිබඳ සාධාරණය ඉටුකිරීමට අසමත් වී තිබෙනවා.
ආන්දෝලනයට තුඩුදී තිබෙන අපරාධවලට සම්බන්ධ වගඋත්තරකරුවන් හෙළිදරව් කරන බවටත්, ඔවුන් නීතිය හමුවට ගෙන ගොස් වින්දිතයන්ට සාධාරණය ඉටුකරන බවටත් අප ඔබට සහතික වෙනවා. නීතිය, යුක්තිය, සාධාරණත්වය ඉටුවන රාජ්‍යයක් අපට අවශ්‍යයි. මේ ලැබී තිබෙන ජනවරම තුළවත් එම රාජ්‍ය ස්ථාපිත කිරීමට අප අසමත් වන්නේ නම් යළි එවැනි රාජ්‍යයක් පිළිබඳ අප සිහින දැකීමෙන්වත් ඵලක් නැහැ.
මේ ජන වරමේ වුවමනාව ඒ සඳහා තිබෙනවා. එම හඬ සහ අඳෝනාව තිබෙනවා. තමන්ගේ ඥාතීන් මියයාමේ ප්‍රකාශන මේ ජනවරම තුළ තිබෙනවා. ඝාතනයට ලක්වූවන්ගේ මිතුරන්ගේ අඳෝනාව මෙම ජනවරම තුළ තිබෙනවා. ඒ සඳහා අප යුක්තිය ඉටු කරන්නේ නැත්නම් කවුද එය ඉටු කරන්නේ, කාටද එය භාර දෙන්නේ. අප විසින් මේ දේ ඉටු කරන්නේ නැත්නම් යුක්තිය, සාධාරණය පිළිබඳ මේ රටේ සිහින මැරෙනවා.
ඒ නිසා යුක්තිය සහ සාධාරණත්වය යළි මේ රට තුළ ස්ථාපිත කළ යුතුයි. අපරාධ හා තුඩුදී තිබෙන වංචා දූෂණ පිළිබඳ අප නීතිය ඉටුකොට නීතියේ විධානයේ ආධිපත්‍යයත්, නීතිය පිළිබඳ ජනතාවගේ තිබෙන විශ්වාසයත් යළිත් තහවුරු කිරීමට කටයුතු කළ යුතුයි.
අපි දන්නවා මේ ආණ්ඩුව භාරගන්නා විට අප විපක්ෂයේ දේශපාලනයේ යෙදෙමින් සිටියත් අපේ ආර්ථිකයේ තිබෙන ගැඹුරේ ප්‍රමාණය අප දැන සිටියා. අපේ ආර්ථිකය විශාල ගැඹුරක සහ විශාල ප්‍රමාණාත්මක පැතිරීමක සිර වී තිබෙන ආර්ථිකයක්. ඉතාමත් සියුම් හුයකින් එල්ලා තිබෙන ආර්ථිකයක් අපට තිබෙන්නේ. මේ ආර්ථිකයට විශාල කම්පනයන් ඔරොත්තු දෙන්නේ නැහැ. මේ ආර්ථිකයට විශාල හැරවුම් ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා බලය ගත් විගස අපේ අපේක්ෂාව බවට පත්වුණේ ආර්ථික ස්ථාවරත්වය සහ ඊට අදාළ කණ්ඩායම්වල විශ්වාසය තහවුරු කිරීම. මේ ආර්ථිකයේ ඇති වී තිබෙන අර්බුදයේ ප්‍රමාණය මත අපේ කුඩා හෝ අත්වැරදීමක් මහත් ප්‍රතිවිපාක ගෙන දෙනවා. කුඩා හෝ කම්පනයක් මේ ආර්ථිකයට තවදුරටත් ඔරොත්තු දෙන්නේ නැහැ.
ඒ නිසා මේ ආර්ථිකය ඉතා සියුම්ව බිඳවැටීමට ඉඩ නොතබා සෑම තීරණයක්ම සෑම අවස්ථාවකදීම පැති ගණනාවකින් කල්පනා කර ගතයුතු අවස්ථාවකට අප එළැඹ සිටිනවා. වැරදි කිරීමේ අවස්ථාවක් හෝ අත්වැරැද්දක් කිරීමේ අවස්ථාවක් මේ ආර්ථිකය තුළ අපට උරුම කරදී නැහැ. ඒ නිසා මේ ආර්ථිකය මෙහෙයවීමේ දී සියුම් හැම තැනක්ම හරියට කල්පනා කර සංවාදයට ලක්කර තීන්දු ගත යුතුයි.
අප ජනාධිපතිවරණයේ දී ප්‍රකාශයට පත්කර තිබුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවට පැමිණෙන ලද රාජ්‍යයක් තමයි අපට ලැබෙන්නේ. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවක් තිබෙන රාජ්‍යයක, එම එකඟතාව බිඳවට්ටා අපට ඉදිරි ගමනක් නැති බව අප තේරුම් ගෙන ඇති බව. ඒ අනුව අප ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී ජනතාවට පොරොන්දුවක් දුන්නා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී තිබෙන මෙම එකඟතාවන්ට අනුරූප වන පරිදි ආර්ථිකය හැසිරවීමට අප සූදානම් බව.
ඒ අනුව අප දැනට ක්‍රියාමාර්ග කිහිපයක නිරත වෙමින් සිටිනවා. අපි කවුරුත් දන්නවා එහි තුන්වැනි සමාලෝචනය ප්‍රමාද වී තිබෙනවා. තුන්වැනි සමාලෝචනය අප ආරම්භ කළ යුතුව තිබුණේ සැප්තැම්බර් මාසයේ. නමුත් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය හේතුකොට ගෙන තුන්වැනි සමාලෝචනය ආරම්භ කිරීම සඳහා අපට කාලයක් ගතවුණා.
මහ මැතිවරණය අවසන් වූ වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය පසුගිය 17 වැනිදා ලංකාවට පැමිණියා. අප ඔවුන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් සිටිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට මෙම 23 වැනිදා එළැඹීමට හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරියට යන ගමනේ ඉතාමත් තීරණාත්මක පියවරක්.
ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එකඟ වූ වැඩසටහන් ඇතුළේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැටගැසී තිබුණා. අප බලය ගන්නා විටත් ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවකට පැමිණ තිබුණා. ඒ වාගේම වාණිජ වෙළෙඳපොළේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර පිළිබඳ සාකච්ඡා ආරම්භ කර තිබුණා. එම සාකච්ඡා ජනාධිපතිවරණයට දින දෙකකට පෙර අවසන් වූ බව මාධ්‍ය හරහා ප්‍රකාශ වුණා. ඒ නිසා අපිට යළි ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡාවලට ඉඩකඩක් විවෘත වී තිබුණේ නැහැ. අවුරුදු දෙකකට වැඩි කාලයක් සාකච්ඡා සඳහා බඳුන් වී තිබුණා. නැවත ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡා ආරම්භ වුවහොත් දීර්ඝ කාලයක් ගතවෙනවා. මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන අවසන් කර ගැනීමෙන් තොරව අපට ආර්ථිකය ඉදිරියට ගෙන යාමට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ….’










