• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්ද-රනිල් පළමු ඩීල් එක දාපු හැටි: මහින්දගේ 50න් මගේ 20 -තුෂාර ගුණරත්න

June 21, 2020
in Exclusive
Reading Time: 14 mins read
A A
මහින්ද-රනිල් පළමු ඩීල් එක දාපු හැටි: මහින්දගේ 50න් මගේ 20  -තුෂාර ගුණරත්න
Share on WhatsAppShare on Facebook

මහින්ද රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු දේශපාලන ජීවිතයේ 50 වසර සැමරුවේ මීට සති 3කට පෙරය. එහිදී ඒ අවුරුදු 50න් අවුරුදු 20ක මගේ මතකය පිළිබඳව පසු ගිය සතියේ පළකළ ලිපියේ අවසන් කොටසයි මේ…

මහින්දගේ පපුවටම වැදුණු චෙන්නායි අනාවැකිය

මන්ත්‍රිවරයකු ලෙස දේශපාලන ගමන ආරම්භ කළ මහින්ද කෙදිනකවත් මේ රටේ අගමැතිවරයා වීමට හෝ ජනාධිපතිවරයා වීමට සිහින මැවූවකු නොවීය. නමුත් ඒ සම්බන්ධයෙන් වූ ඉඟියක් මහින්දගේ හිතට කාවද්දන ප්‍රබල සිදුවීමක් 1997 කාලයේදී පමණ සිදුවිය. එකල මහින්ද පෞද්ගලික සංචාරයක් සඳහා දින කිහිපයක් ඉන්දියාවට ගොස් සිට නැවැත ලංකාවට පැමිණීමෙන් පසු මුණගැසීමට පැමිණෙන ලෙසට මට ඇමැතුමක් ලැබිණ. ඒ අනුව මමත්, හෙට්ටිගේත් රාත්‍රි 8ට පමණ මහින්දගේ ගෙදර ගිය පසු වෙනදාට වඩා විශාල ප්‍රීතියකින් මහින්ද සිටිනු අපට දැකගන්නට ලැබිණ. ඒ සිනාමුසු මුහුණින්ම “තමුසෙල හිතන් හිටියෙ මම හැමදාම ධීවර ඇමැතිකමේ ඉඳී කියලනෙ. බලනවකො මොකද වෙන්නෙ කියල.” යනුවෙන් මහින්ද කියද්දී අපගේ කුතුහලයද දෙගුණ තෙගුණ විය. ඒ අනුව මම “මොකද වුණේ? මොකද වුණේ?” යනුවෙන් විමසද්දී මහින්ද කීවේ “තමුසෙල නවුසර් ෆවුසිව අඳුනනවද” කියාය. මා නවුසර්ව හැඳින නොසිටියද හෙට්ටිගේ නවුසර් හඳුනන බව කියා සිටියේය.
“අපි චෙන්නායිවලට ගියා. මට එහෙදි නියම සාත්තරකාරයෙක් හම්බුණා. එයා සරත් කුමාර්ගෙ (ජනප්‍රිය තමිල්නාඩු නළුවෙකි) ඥාතියෙක් වෙනව. මට ඒ සාත්තරකාරය මාර කතාවක්නෙ කිව්වෙ. ඒක මම කියන්නෙ නෑ. එතැන නවුසරුත් හිටිය. ගිහිල්ල නවුසර්ගෙන් අහගෙන ආයි මෙහෙට එනවකො” යැයි කී මහින්ද එසැණින් නවුසර්ට ඇමැතුමක් ගෙන හෙට්ටිගේත්, මාත් නවුසර් මුණගැසීමට පැමිණෙන බවත්, චෙන්නායි ජ්‍යොතිෂවේදියා කී අනාවැකිය අකුරක් නෑර මටත් හෙට්ටිගේටත් දැනුම්දෙන ලෙසත් කියා සිටියේය. ඒ අනුව හෙට්ටිගේත්, මමත් මහින්දගේ නිවෙසට නිවාස කිහිපයක් එපිටින් පිහිටි නවුසර්ගේ නිවෙසට ඇවිද ගියෙමු. මා පළමුවරට නවුසර්ව හඳුනාව ගත්තේ එදිනය. මුලින් මුලින් නවුසර් කතාව කියා සිටීමට අදිමදි කළත් මට සියලුම කතාව එළියට ගැනීමට අවශ්‍යව තිබිණ. ඒ අනුව මම ටික වේලාවක් ආගිය තොරතුරු නවුසර් සමඟ කියද්දී නවුසර් මට හිතවත් විය. ඒ අනුව සුළු මොහොතකට පසු මම හීන්සීරුවේ මාතෘකාවට එලඹුණෙමි.
“චෙන්නායිවල ඉන්නවා හොඳට සාස්තර කියන පවුලක්. ඉතින් මම ඒක කිව්වහම ඇමැතිතුමා කිව්ව එයාටත් යන්න ඕනෙ කියල. ඉතින් මම එක්කන් ගියා. මාර ඒවනෙ එයා මහින්දට කිව්වෙ.” යනුවෙන් නවුසර් කියද්දී එම අනාවැකිය කුමක්ද යන්න දැනගන්නා තුරු අපට ඉවසිල්ලක් නොවීය.
“වැඩිකල් යන්න ඉස්සෙල්ල ඇමැතිතුමා පාර්ලිමේන්තු විපක්ෂයේ ලොකු පුටුවකට එනව කිව්ව. හැබැයි එතැනින් එහාට තියෙන්නෙ උඩට යන ගමනක් කිව්ව. එතැනින් නවතින්නෙ නැතුව 2000න් පස්සෙ අනිවාර්යයෙන් ආණ්ඩුවෙ ලොකු පුටුවකට යනව කිව්ව. එතැනිනුත් නවතින්නෙ නැතුව මෙතුමා රටේ ජනාධිපති වෙලා තමයි නවතින්නෙ කියලයි ඒ සාස්තරේට කිව්වෙ. මහින්ද ඇහුව ඉතින් කොයි කාලෙද කියල. කාලෙ ගැන කිව්වෙ නැතත් 2012න් පස්සෙ නම් හොඳ කාලයක් එන්නෙ නෑ කියල තමයි කිව්වෙ.” යනුවෙන් නවුසර් අපට කියද්දී අපද සිටියේ පුදුමයට පත්වය. ඒ අනුව එම කතාව වහාම අවසන් කළ අපි නැවැතත් මහින්දගේ ගෙදරට ගියේ මේ අනාවැකියේ නොකියවුණු තවත් තොරතුරු දැනගන්නටය. මහින්ද ඒ පිළිබඳව අපට එදින බොහෝ තොරතුරු එළිදරව් කළ අතර එම අනාවැකියත් සමඟ මහින්ද බොහෝ ප්‍රීතියට පත්ව සිටින ආකාරයක් මට හැඟී ගියේය. එමෙන්ම අවස්ථා ගණනාවකදීම මහින්ද එම ජ්‍යොතිෂවේදියාව දැඩිව වර්ණනා කිරීමට පියවර ගත්තේය. ඒ අනුව එම අනාවැකිය මහින්දගේ හිතට හොඳටම කාවැදී ඇති බව මට එහිදී හැඟී ගිය කාරණයක් විය.

චන්ද්‍රකා කැබිනට්ටුවේදී ලසන්තගේත්-මගේත් නම් කියයි

මහින්ද නිසා සතිඅන්ත දේශපාලන තිරු ලිපිත්, දේශපාලන තීරු ලිපි නිසා මහින්දත් ජනප්‍රියත්වයට පත්වීමත් සමඟ එම තීරුවලට තොරතුරු දෙන්නේ මහින්ද බවට චන්ද්‍රිකාගේත්, එකල ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරුන්ගේත් විශාල සැකයක් තිබිණ. ඇතැම් අවස්ථාවල චන්ද්‍රිකා මේ බව ප්‍රසිද්ධියේම කියා සිටින්නට කටයුතු කළාය. එමෙන්ම චන්ද්‍රිකා මහින්දට නමකුත් පටබැන්දාය. ඒ “කැබිනට් රිපෝටර්” කියාය. වරක් කැබිනෙට්ටුවේදී ධීවර අමාත්‍යාංශයේ විෂයයක් සම්බන්ධයෙන් චන්ද්‍රිකා හා මහින්ද අතර විශාල ආරවුලක් ඇතිවිය. දෙදෙනාම දෙපස සිට බොහෝ වේලාවක් වාද කර ගැනීමෙන් පසු එම වාදය අවසන් කරමින් චන්ද්‍රිකා කියා සිටියේ “දැන් ඉතින් ඔයා මෙතැනින් එළියට ගිහිල්ල කරන වැඬේ මම හොඳටම දන්නව. ඔයා ඉස්සෙල්ලාම කරන්නෙ ලසන්තට කතා කරන එක. ඊළඟට කරන්නෙ තුෂාර ගුණරත්නට කතා කරන එක. ඊට පස්සෙ මෙතන වෙච්ච දේවලුයි නොවිච්ච දේවලුයි ඔක්කොම ඒ අයට කියන එක.” යැයි කියාය. චන්ද්‍රිකා කී ආකාරයෙන්ම මහින්ද කැබිනෙට්ටුවෙන් පසුව මටත්, ලසන්තටත් කතාකොට මේ විස්තර රස කර කර දුන්නේය. අපි එයද එකල අපේ තීරු ලිපිවල රසවත්ව ලියා තැබුවෙමු.
කෙසේ වෙතත් ටික කලක් යන විට කැබිනට් තොරතුරු පිටට යෑම සම්බන්ධයෙන් චන්ද්‍රිකා ඇතුළු කණ්ඩායම මහින්ද පසුපස දැඩි ලෙස පැන්නීමට පියවර ගත්හ. එහි ප්‍රතිඵලය වූයේ මහින්ද යන එන තැන් සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් යෙදවීමය. එහිදී මහින්ද හමුවන පුද්ගලයන් පිළිබඳ ඉහළට වාර්තා කිරීම ඔවුන්ගේ කාර්යය විය. මීට අමතරව තමන්ගේ දුරකතන සියල්ල ‘ටැප්’ කිරීමට පියවර ගෙන ඇති බවට මහින්දට තොරතුරු වාර්තා වී තිබිණ. ඒ අනුව මහින්ද ඉන්පසු දුරකතනවලින් අපට තොරතුරු ලබාදීමට කටයුතු කළේ නැත. ඒ වෙනුවට මහින්ද කළේ තමන්ට අතිශය හිතවත් කවුරුන් හෝ අතේ අපට පණිවුඩයක් එවීමය. නවුසර් ෆවුසිත්, ප්‍රියන්ත කාරියප්පෙරුමත් බොහෝ දුරට එසේ මහින්දගේ පණිවුඩ රැගෙන ආ පණිවුඩකරුවෝ වූහ. ඒ අනුව නවුසර්ගේත්, ප්‍රියන්තගේත් වාහනවල නැඟීගොස් මහින්දව මුණගැසී තොරතුරු ලබාගැනීමට ඉන්පසුව අපි කටයුතු කළෙමු.
මේ ආකාරයට දේශපාලන තීරු ලිපි හරහා රට ඇතුළේ දේශපාලන චරිතයක් බවට මහින්ද පත්වෙමින් සිටින බව ආණ්ඩුව ඇතුළේ සිටි අනෙකුත් ප්‍රබල දේශපාලනඥයන්ටද ඉව වැටී තිබිණ. චන්ද්‍රිකා සමඟ බොහෝ හිතවත්ව කටයුතු කළ ප්‍රබල දේශපාලනඥයන්ට පවා මේ රහ දැනී තිබිණ. ඒ අනුව ඔවුන්ටද කැබිනට් මණ්ඩලයේ ඔවුන්ගේ පැත්තෙන් සිදුවන සිදුවීම් දේශපාලන තීරුවලට ලබාදී වීරයාගේ ප්‍රතිරූපය සාදාගැනීමේ අවශ්‍යතාවක් මතුවී තිබිණ.

එස්.බී. මංගලගේ අතටම අහුවෙයි

දේශපාලනඥයන්ගේ හැසිරීම පිළිබඳව හොඳ ඉවක් ඇති මහින්දට මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා විය. ඒ අනුව මහින්ද මට දවසක් කතාකොට කියා සිටියේ තමන්ගෙන්ම පමණක් නොව අනෙකුත් ඇමැතිවරුන්ගෙන්ද කැබිනට් තොරතුරු ලබාගැනීමට කටයුතු කරන ලෙසටය.
“දැන් කැබිනට් තොරතුරු හොයන්න මගේ පස්සෙන්ම එන්න එපා. මගේ ෆෝන් හිටන් ටැප් කරල තියෙන්නෙ. තව කීපදෙනෙක්ම ඇතුළෙ ඉන්නව බලාගෙන කොලම්වලට තොරතුරු දෙන්න.” යැයි කී මහින්ද මට ඔත්තුවක් ලබාදීමටද කටයුතු කළේය.
“ඊළඟ නායකයා වෙන්න එස්.බී.ත්, දැන් ඉඳලම ඇඳගෙන ඉන්නෙ. මේක මාවම තියාගෙන කන්නෙ නැතුව එස්.බී.ගෙ පස්සෙ පන්නනවා. මිනිහ දැන් තොරතුරු දෙන ලයින් එකේ ඉන්නෙ.” යනුවෙන් මහින්ද දුන් තොරතුරට අනුව මමද එස්.බී. පසුපස පැන්නීමට පටන් ගත්තෙමි. මාත් සමඟ ඊට එක්වූයේ එවක සන්ඬේ ටයිම්ස් පුවත්පතේ දේශපාලන තීරු ලිපිය රචනා කළ ඬේලි මිරර් කර්තෘව සිටි ලලිත් අලහකෝන්ය. ඒ අනුව අප දෙදෙනා එස්.බී. හමුවී අපගේ මාර්ගයට එස්.බී. ගෙන ඒමට කටයුතු කළෙමු. මුලදි මුලදී රසවත් විදිහට නැතත් කැබිනට් මණ්ඩලයේ සිදුවන යම් යම් සිදුවීම් අපට ලබාදීමට එස්.බී. කටයුතු කළේය. මේ සබඳතාව වැඩිදියුණුවත්ම අපි සතිපතා එස්.බී.ගේ නිවෙසට යෑම පුරුද්දක් කරගත්තෙමු. බොහෝ රාත්‍රීන්හිදී එස්.බී.ගෙන් ලැබෙන උම්බලකඩ බයිට් එක හපමින් මධුවිත තොලගාමින් පැය ගණන් අපි එස්.බී. සමඟ කතා කළෙමු. ඒ කතාවල ඇත්ත නැත්ත දැන ගැනීමට මහින්දටද කතා කිරීම අපි පුරුද්දක් කරගතිමු. එස්.බී.ගේ කතාවල අඩුපාඩුව අපට සපුරාලූයේ මහින්දය.

ඒ අනුව මහින්දගෙන් කැබිනට් තොරතුරු නොලැබෙන තත්ත්වයක් යටතේ කැබිනට් රහස් එළියට ඒම පිළිබඳව ආණ්ඩුවේ ප්‍රබලයන්ද සිටියේ කිසිවක් සිතාගත නොහැකි තත්ත්වයකය. එසේ කැබිනට් තොරතුරු දෙන ඇමැතිවරුන් සොයා චන්ද්‍රිකා විශේෂ මෙහෙයුම් කිහිපයක්ද දියත් කර තිබිණ. කෙසේ වෙතත් පසුකාලීනව මමත්, ලලිතුත් එස්.බී.ගේ ගෙදරට යනවා වෙනුවට පාර්ලිමේන්තුවේ පිහිටි එස්.බී.ගේ නිල කාමරයට ගොස් කැබිනට් තොරතුරු ලබාගැනීම පුරුද්දක් කරගතිමු. අපගේ මෙම පුරුද්ද එකල කිසිවකු විසින් හෝ නිරීක්ෂණය කරමින් සිටි බවක් අපට වැටහුණේ නැත. ඒ අනුව දිනක් එස්.බී.ගේ කාමරය තුළ අපට කැබිනට් තොරතුරු ලබාදෙමින් සිටියදී හදිසියේම දොර ඇරගෙන කාමරයට ආවේ ඊට කාමර කිහිපයකට එපිටින් සිටි මංගල සමරවීරය. දොර ඇරගෙන මංගල කාමරයට ආවේම “ගඟ ගලන තැන අද අහුවුණා” යැයි කියමිනි. සමඟම එස්.බී. දැඩි අපහසුතාවකට ලක්වන ආකාරයක් දැකගන්නට ලැබිණ. “නෑ මේ මුන් ඇවිල්ල මගෙත් එක්ක අනම් මනම් කතා කරනවා” යනුවෙන් වචන එකතු කරමින් කලබලයට පත් එස්.බී. තටම තටමා කීවද එය පිළි නොගත් මංගල එස්.බී.ට කෑගැසීමට පියවර ගත්තේය. එහි ප්‍රතිඵලය වූයේ ඉන්පසු කෙදිනකවත් එස්.බී. අපට ඇතුළේ කතා නොකියා සිටීමය. අඩුම තරමේ අපගේ ඇමැතුමකටවත් ප්‍රතිචාර දැක්වීම එස්.බී. කටයුතු කළේ නැත.

තොරතුරු ගන්න ජෙයරාජ්-දි.මූ. සෙට් කරපු හැටි

මේ සමය වෙද්දී ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරුන් වූ ජෙයරාජ් සහ දි.මු.ද චන්ද්‍රිකා සමඟ කිසියම් අර්බුදයක් නිර්මාණය කරගෙන සිටියහ. එස්.බී.ගේ අලකලංචියෙන් පසුව මහින්ද අපට තවත් ඔත්තුවක් දෙමින් කියා සිටියේ ජෙයරාජ් සහ දි.මු. චන්ද්‍රිකා සමඟ අවුලකින් සිටින බවත්, කැබිනට් තොරතුරු ලබාගැනීම සඳහා හීන්සීරුවේ ඔවුන් හට කිට්ටු කරන ලෙසත්ය. මා සමඟ එදා සිටි කුමාරසිරි හෙට්ටිගේ දි.මු. සමඟ හිතවත්කමක් තිබුණු නිසා හෙට්ටිගේ කියා සිටියේ තමන් දි.මු.ට ඒ සම්බන්ධයෙන් කතාකොට සබඳතාවය ගොඩනගා දෙන්නම් යැයි කියාය. නමුත් මා ඉදිරියේදීම දි.මු.ට කතා කළ මහින්ද අප සම්බන්ධයෙන් දැනුම්දී තොරතුරු ලබාදෙන ලෙසට දි.මු.ට දැනුම්දීමට කටයුතු කළේය. නමුත් ගැටලුව වූයේ එකල දි.මු. තම එකම සිහිනය වූ අම්බුලුවාව නිර්මාණය කිරීමේ කටයුත්තට අතගසා තිබීමය. අප හමුවූ සෑම විටකදීම පළමුව පැය තුනක් පමණ කල් වේලා ගෙන අම්බුලුවාව ගැන පමණක් කතා කළ දි.මු. අවසන් පැයේ පමණක් අපට අවශ්‍ය තොරතුරු ලබාදීමට කටයුතු කළේය. නමුත් එය ඉතාම වෙහෙසකර කටයුත්තක් වූ නිසා පසුව අපි එය මහින්දටද දැනුම්දී දි.මු.ගෙන් තොරතුරු ගැනීම නවතා දැමීමට කටයුතු කළෙමු.
මහින්ද ජෙයරාජ් සම්බන්ධයෙන් අපට ඔත්තුව දුන්නේ ඉන් පසුවය. ඒ අනුව ජෙයරාජ් පස්සේ වැටුණු අපට ටික කාලයක් යද්දීම මහින්දගෙන් මෙන් රසවත් තොරතුරු ජෙයරාජ්ගෙන් ලබාගත හැකි විය. ජෙයරාජ්ද කතාවට රුසියෙකු වූ නිසා මහින්ද මෙන්ම රස කරකර කැබිනට් තොරතුරු අපට ලබාදීමට කටයුතු කළේය.

චන්ද්‍රිකාට යකා නග්ගපු මහින්දගේ වදුරා

මහින්ද සතුව කිසියම් කතාවක් ඉතා රසවත් ලෙස නාට්‍යානුසාරීව ප්‍රකාශ කිරීමේ නිසඟ හැකියාවක් තිබිණ. එසේ මහින්ද ඉතා රසවත්ව සිනාසෙමින් හරි ලස්සනට දුන් එක්තරා විශේෂ කතාවක් මෙහිදී මගේ සිහියට නැඟේ. ඒ මහින්දගේ ග්‍රෙගරි පාරේ පිහිටි නිල නිවෙසේ රැඳී සිටි විශාල වඳුරකු හා සම්බන්ධ සිදුවීමකි. මහින්දගේ බාලම දරුවන් දෙදෙනා වූ යෝෂිතත්, චිචීත් කුඩා කල සිටම සතුන්ට විශාල ප්‍රියතාවයක් දැක්වූ හෙයින් එකල මහින්දගේ ගෙවත්තෙහි විවිධ වර්ගයේ සතුන් ඇති කිරීමට පියවර ගෙන තිබිණ. නිතරම මේ සතුන් දෙස බලමින් නිදහසේ වත්තේ ඇවිදීමටද එකල මහින්ද පුරුදුව සිටියේය. කෙසේ වෙතත් මේ කූඩු කළ සතුන් අතර නිදහසේ එහා මෙහා සැරිසැරූ විශාල වඳුරකුද එකල අපට දැකගන්නට හැකි විය. අප සිතා සිටියේ මේ වඳුරාද යෝෂිත හා චිචී විසින් ඇතිකරන එකකු යැයි කියාය. දවසක් අප මහින්දගේ නිවෙසට යද්දී මහින්ද විශාල කනස්සල්ලකින් සිටිනු දැකගන්නට ලැබිණ. එකල චන්ද්‍රිකාද නිතරම මහින්ද පසුපස පන්නමින් අර්බුද ඇතිකරන නිසා එකත් එකටම එදිනද කැබිනෙට්ටුවේදී චන්ද්‍රිකා සමඟ අවුලක් ඇතිකරගෙන ඇති බව අපට ඉවෙන් මෙන් වැටහිණ.
“බලනවකො අද මාර බාල්දියක්නෙ චන්ද්‍රිකා පෙරළුවෙ කැබිනට් එක ඇතුළෙදි. මේ අපේ ගෙදර අයාලේ යන වඳුරෙක් ඇවිල්ල හිටිය. මූට ඉතින් අපේ අයත් කන්න බොන්න දීල මෙහෙට පුරුදු වෙලා හිටිය. අද කැබිනට් එක මැද්දෙදි එක පාරටම චන්ද්‍රිකා මගේ දිහා බලල හෙන හයියෙන් කිව්වෙන මහින්ද මේ ගෙදර සත්තු හදනව නම් පරිස්සමෙන් හදාගන්න කියල. මම උඩ බිම බැලුව මේ මොකක්ද මේ කියන්නෙ කියල. මම ඇහුව ඇයි මැඩම් කියල. පස්සෙ චන්ද්‍රිකා මට කිව්වෙන, නෑ මේ ග්‍රෙගරි පාරෙ ඉන්න ගෑනුන්ගෙන් කෝල්ස් එනව හෝගාල ගෙවල්වල ඉන්න විදිහක් නෑ කියල, ඔයාගෙ ගෙවල්වල් ඉන්න වඳුරෙක් ගෙවල්වලට පැනල ඒ ගෑනුන්ගෙ බ්‍රෙෂියර් උස්සන් යනව කියල. මට පොළොව පලන් යන්න හිතුන. මම ගෙදර ආපු ගමන් කිව්ව ඔන්න ඔය වඳුරව සත්තුවත්තට ගිහින් දානව කියල.” යනුවෙන් මහින්ද කියද්දී අපි බඩවල් අල්ලාගෙන සිනාසෙන්නට වීමු. එමෙන්ම එම සිදුවීමද අප දේශපාලන තීරයේ රසකර ලියා තැබීමටද කටයුතු කළෙමු.

විජයගෙයි මහින්දගෙයි හිතවත්කම

එකල මහින්ද සමඟ සතුටු සාමීචියේ යෙදී සිටින අපට මහින්ද විසින් නිතරම මතක් කරනු ලබන එක් නමක් තිබේ. ඒ විජය කුමාරතුංගගේ නමය. විජය – මාලනී යනු එකල සිනමාවේ අතිශය ජනප්‍රිය චරිත දෙකය. මහින්දද සිනමා ලෝලියෙක් නිසා එකල විජය – මාලනී සමඟ සමීප හිතවත්කමක් ඔහුට තිබිණ. පසුකාලීනව මහින්දට දිනපතා පුවත්පත්වල කාටුන්වලින් දිගටම පහර දෙද්දී දිනක් මහින්ද මට විජය ඔහුට කී කතාවක් කියා සිටියේය.
“මට කාටුන්වලින් ගහද්දි කිසිම දුකක් දැනෙන්නෙ නෑ. ඒ අඳින අය ගැන වෛරයක් හිතෙන්නෙත් නෑ. මොකද මට දවසක් විජය ඔය කාටුන් ගැන හොඳ කතාවක් කිව්ව. ඒ කාලෙ විජයට කොමිනියුස්ට් පක්ෂ පත්තරවලිනුයි, ශ්‍රී ලංකා එකේ පත්තරවලිනුයි දිගටම ගැහුව. හැමදාම කාටුන්වලිනුත් ගැහුව. හැබැයි විජය කවදාවත් ඒ අයට වෛර කරන්න ගියේ නෑ. හැබැයි විජය මට කිව්ව මිනිහෙක් දේශපාලනයට ඇවිල්ල ජනප්‍රියයි කියල දැනගන්න නම් අනිවාර්යයෙන් කාටුන්වලින් ගුටිකන්න ඕනෙ කියල. මොකද දේශපාලනඥයාගේ ජනප්‍රියතාව මනින එක මිනුම්දණ්ඩක් තමයි කාටුන් කියන්නෙ. විජය කවදාවත් ඒ අයට වෛර කරන්න ගියේ නෑ. ඉතින් මමත් මට කොච්චර කාටුන්කාරයො ගැහුවත් මං ඒ අයට වෛර කරන්න, බනින්න යන්නෙ නෑ. ඒක තමයි මගේ ජනප්‍රියත්වය.” යනුවෙන් මහින්ද මට කියා සිටියේය. ඒ විජය සම්බන්ධයෙන් මට කී බොහෝ කතාවලින් එකක් පමණි.
2004 වසරේ අවසන් භාගය වන විට ශ්‍රීලනිපයේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් කිසියම් සටනක් ආරම්භ වී තිබූ අතර, චන්ද්‍රිකා සිටියේ මහින්දට අපේක්ෂකත්වය නොදෙන බවට වූ ස්ථාවරයේය. නමුත් ශ්‍රීලනිපයේ අතිබහුතරයකගේත්, පාක්ෂිකයන්ගේත් උවමනාව වූයේ මහින්ද ජනාධිපති අපේක්ෂකයා වනු දැකීමටය. ඒ සමය වන විට මම එක්සත් ජාතික පක්ෂ නායකයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතා සමඟද සමීප සබඳතාවක් ගොඩනඟාගෙන සිටියෙමි. ඒ අනුව සතියට වතාවක් රනිල්ව මුණගැසෙන මම එජාප අභ්‍යන්තර තොරතුරු රනිල්ගෙන් ගෙන දේශපාලන තීරයට වාර්තා කරමින් සිටියෙමි. මහින්දද මෙය නොදැන සිටියා නොවේ. 2005 ජනාධිපතිවරණයට ස්ථිර වශයෙන් එජාපයට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටියේ රනිල්ය. එමෙන්ම ජයග්‍රහණය පිළිබඳවද රනිල්ට දැඩි විශ්වාසයක් පැවතිණ.

ප්‍රේමදාසට සම කොට ගුරුදා විග්‍රහයක් ලියා දෙන ලෙසට මගෙන් කළ ඉල්ලීම

මේ කාලයේදී රටේ විශාල ඉල්ලුමක් ප්‍රේමදාස චරිතයට ගොඩනැඟෙමින් තිබිණ. රනිල් ඒ වන විටත් ජයග්‍රාහී මානසිකත්වයෙන් සිටි නිසා රටේ ඇතුළෙන් ගොඩනැඟෙමින් තිබූ මේ ප්‍රේමදාස ප්‍රතිරූපය පිළිබඳව රනිල්ට එතරම් වැදගත්කමක් තිබුණේ නැත. නමුත් රට ඇතුළේ ප්‍රේමදාස චරිතයකට ඉල්ලුමක් පවතින බව හොඳ දේශපාලන සත්ත්වයකු වන මහින්දගේ දේශපාලන ඉවට වැටී තිබිණ. ඒ අනුව දිනක් මට කතා කළ මහින්ද මගෙන් එක්තරා උදව්වක් ඉල්ලා සිටියේය.
“අයිසෙ මට එක උදව්වක් කරනවකො. අර උපුල් ජෝශප් ඔක්කොම ලියන්නෙ රනිල්ට සපෝට් කරලනෙ. මිනිහට කියනවකො මම ගැන එකක් ලියන්න කියල.” යනුවෙන් මහින්ද කියද්දී මා අසා සිටියේ “මොනව ගැන ලියන්නද” කියාය.

“මේ බලනවා දැන් යූ.ඇන්.පී.කාරයො ඉල්ලන්නෙ ප්‍රේමදාස කෙනෙක්. ඉතින් මමනෙ දැනට ඉන්න එකම ප්‍රේමදාස. මොකද මමත් ප්‍රේමදාස වගේ ගමේ මිනිහ. පොඩි මිනිහ. වෘත්තීය සමිතිකාරයා. මමත් ප්‍රේමදාස වගේ වැඩ කරන්නෙ. ඒ ගැන පොඞ්ඩක් ලියන්න කියනවකො.” යනුවෙන් මහින්ද මට කීමත් සමඟ මම වැටුණේ හද්ද අමාරුවකය. මන්දයත් ලංකාදීපයේ ගුරුදා විග්‍රහය ලියූ උපුල් ජෝශප් ප්‍රනාන්දු මගේ අතීසමීපතම මිත්‍රයකු වුවත් ඔහු සිය ලිපි පළකළේ එක්සත් ජාතික පක්ෂයට සහ රනිල්ට පක්ෂපාතීවය. උපුල්ටම ආවේණිකව තිබූ ලිවීමේ හැකියාව හා කලාව නිසා එකල යූ.ඇන්.පී.කාරයෝ පමණක් නොව ශ්‍රී ලංකාකාරයෝද පක්ෂ බේදයකින් තොරව ගුරුදා විග්‍රහය කියවූහ. මහින්දද උපුල්ගේ හොඳ පාඨකයකු විය. ඒ අනුව මම උපුල් හමුවී වටින් ගොඩින් මහින්දගේ මේ ඉල්ලීම ගැන ඔහු දැනුවත් කළෙමි. මුලින් මුලින් අදිමදි කළත් මගේ ඇවිටිලි කිරීම නිසාම උපුල් මහින්දගේ මේ ඉල්ලීම ඉෂ්ට කිරීමට පියවර ගත්තේය. 2004 ජූලි මස 08 වැනි දින ‘සන්ධාන ආණ්ඩුවේ ප්‍රේමදාස චරිතය’ යන හිසින් යුතුව උපුල් ලංකාදීපයට ගුරුදා විග්‍රහයක් ලීවේ ඒ අනුවය.

2005 ජන්දෙ පටන් ගත්තෙම පරාද වෙලා

කෙසේ වෙතත් මහින්ද අගමැති වී ඉතා අසීරු සටනකින් පසු 2005 ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමෙන් පසු දිනක් මහින්ද මට පණිවුඩකරුවකු අතේ විසුම්පායට පැමිණ තමන් හමුවන ලෙසට පණිවුඩයක් එවා තිබිණ. ඒ අනුව මා විසුම්පායට යද්දී එහි තවත් එක්තරා අමුත්තකුද සිටියේය. ඒ වෙන කවුරුත් නොව ඩලස් අලහප්පෙරුමය. ඩලස් ඒ වන විට ඇමෙරිකාවේ සිටි අතර මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන්ම මහින්ද ඩලස්ව ලංකාවට කැඳවා ගෙනවිත් තිබිණ. ඒ අනුව ඩලස්ට මාව හඳුන්වා දීම මෙම හමුවේ එක් අරමුණක්ව තිබිණ. කෙසේ වෙතත් ටික වේලාවක් අප කතා කරමින් සිටියදී පාර්ලිමේන්තුවෙන් මහින්දට දුරකකතන ඇමැතුමක් ලැබුණු අතර ඉන් කියැවුණේ විපක්ෂය මහින්දගෙන් ප්‍රශ්න කිහිපයක් අසා ඇති බවත්, ඊට පිළිතුරු ලබාදිය යුතු බවත්ය. ඒ අනුව අප දෙදෙනාට තමන් එන තෙක් කතාබහ කරමින් සිටින ලෙස දැනුම්දුන් මහින්ද වහාම පාර්ලිමේන්තුව බලා පිටව ගියේය. ඒ අනුව ඩලස් හා මා අතර පැවැති සාකච්ඡාවේදී මට වැටහී ගිය එක් කාරණයක් වූයේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන් මහින්ද පිලේ ප්‍රබලයන්ටත් කිසියම් සැකයක් පැවැති බවකි. ඔවුන් ඡන්ද සටන ආරම්භ කළේම රනිල් ජයගනු ඇති බවට වූ ස්ථාවරයේ සිටය. එය මට වඩාත් තහවුරු වූයේ ඩලස් මා හා කී මේ කතාවත් සමඟිනි.
“තුෂාර ඉලෙක්ෂන් එකෙන් පස්සෙ ඔයාටයි මටයි ලොකු රෝල් එකක් තියෙනව කරන්න. ජනාධිපතිවරණය රනිල් දිනයි. රනිල් දින්නට පස්සෙ මහින්දයි රනිල් අතරයි සම්බන්ධතාව ගොඩනඟන පාලමක් හදන්න ඔයාට ලොකු වැඩ කොටසක් කරන්න තියෙනව.” යනුවෙන් ඩලස් මට කියද්දී මමද ඊට හිස සලමින් එකඟතාවය පළ කළෙමි.

දිනන්න පාර කැපූ ශ්‍රී මහාබෝධියේ හාස්කම

මේ ආකාරයට පරාජය එළිපත්තේ සිට ජනාධිපතිවරණ ඡන්ද සටන ආරම්භ කළද මැතිවරණ සටනේ අවසන් අදියරයට එළැඹෙන විට මහින්දට තරමක් හොඳ වටපිටාවක් රට ඇතුළේ නිර්මාණය වෙමින් තිබිණ. මැතිවරණ සටන නිමා වීමට ඔන්න මෙන්න කියා තිබියදී අරලියගහ මැදුරට ගිය මට දැකගන්නට ලැබුණේ මහින්ද විශාල සතුටකින් යුතුව සිටින ආකාරයය. එදින මහින්දගේ මුහුණින් දැකගන්නට ලැබුණේ හරියටම ජනාධිපතිවරණය දින්නා හා සමාන ඉරියව්ය. ඒ අනුව දැඩි කුතුහලයකින් සිටි මා මුලින්ම මහින්දගෙන් විමසා සිටියේ “කවදාවත් නැතුව මොකද මේ අද චූන් එකේ ඉන්නෙ අගමැතිතුමා” යැයි කියාය. මහින්ද එහිදී මට දුන්නේ අපූරු පිළිතුරකි.
“මට මාර සිද්ධියක් වුණානෙ ඊයෙ. දැන් නම් මට විශ්වාසයි මම ෂුවර් එකට දිනනව. ඊයෙ අපිට වවුනියාවෙ මීටින් එකක් දාල තිබුණ. මම චොපර් එකේ ගිහිල්ල වවුනියාවෙන් බැස්සම සිකියුරිටි එකෙන් කිව්ව තත්ත්වය එච්චර හරිනෑ, ඒක හින්ද මීටින් එක තියන්න දෙන්න බෑ කියල. මමත් ඉතින් මීටින් එක කෑන්සල් කරල වවුනියාවෙ ඉඳන්ම බර්ටිට කතා කරල කිව්ව මම දැන් අනුරාධපුරයට එනව, ශ්‍රීමහ බෝධියට මගෙත් එක්ක යමු කියල. මම චොපර් එකේ අනුරාධපුරයට ඇවිත් එහෙම්මම බර්ටිත් එක්ක ශ්‍රීමහ බෝධියෙ උඩ මළුවට ගියා. එතන මම වැඳ වැඳ ඉඳිද්දි ශ්‍රී මහ බෝධිය බෝ කොළයක් ඇවිල්ල හරියටම මගේ අත උඩට වැටුණ. ඒක දැකපු හාමුදුරුවොත් මට කිව්ව මේක හරි අසාමාන්‍ය සිදුවීමක්, සුබ ලකුණක්, ඔබතුමා ස්ථිර වශයෙන්ම මේ රටේ ජනාධිපති වෙනව කියල. මං ඉතින් ඇහුව ඇයි ඔබ වහන්සේ එහෙම කියන්නෙ කියල. උන්වහන්සේ මට කිව්ව මෙතැනට ඕන තරම් රාජ්‍ය නායකයො එනව, හැබැයි ඒ එන කිසිම කෙනෙක්ගෙ අතට ශ්‍රීමහ බෝධීන් වහන්සේගෙම බෝ කොළයක් කවදාවත් වැටිල නෑ කියලා. ඒ හින්ද මම ඒ බෝ කොළය ගෙදර අරන් ආව.” යනුවෙන් කියද්දී මහින්දගේ මුහුණ සතුටින් ඉපිළෙනු මට දැකගන්නට ලැබිණ. එදා මම මේ කතාව ඉරිදා ලංකාදීප දේශපාලන තීරුවේ ඉතා රසවත්ව පළ කිරීමටද පියවර ගත්තෙමි. ඒ කිව්වා වගේම ජනාධිපතිවරණය ජයග්‍රහණය කොට සිටි රනිල්ව අන්තිම මොහොතේ පරාජයට පත්කොට ඉතා සුළු වැඩි ඡන්ද ගණනකින් රටේ ජනාධිපතිවරයා බවට පත්වීමට මහින්ද හැකියාව ලැබිණ. මහින්දට ඒ සඳහා පෙරමඟ සුබ ලකුණු කී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝ කොළය අද මහින්ද ගාව තියෙනවාද කියන්න මම දන්නේ නැත.

ශිරන්තිවත් බය කළ අරලිය ගහ මැදුරේ හොල්මන

තවත් දිනෙක මහින්ද කී අරලියගහ මන්දිරයේ සිටි හොල්මනක් පිළිබඳව අපූරු කතාවක්ද මට මෙහිදී සිහියට නැඟේ. ඒ සිද්ධිය එළියට ආවේ දිනක් මා අරලියගහ මැදුරට ඇතුළු වෙද්දී ඇසුණු බුරුම, තායිලන්ත වැනි විදෙස් උරුවකින් යුත් ධර්ම දේශනාවක් මුල්කරගෙනය. මේ සම්බන්ධයෙන් මම මහින්දගෙන් විමසා සිටිද්දී මේ හොල්මන් කතාව එළියට ආවේය.
“නෑ අයිසෙ මේක ඇතුළෙ මාර සෙල්ලම්නෙ වෙන්නෙ. හැමදාම මේක ඇතුළෙ රෑට දවස් දෙක තුනකට සැරයක් කුස්සිය පැත්තෙ වළං පෙරළනව ඇහෙනව. ඇතුළෙ ඉන්න කට්ටිය මට එහෙම එකක් කිව්වත් මමත් ඒක වැඩිය ගණන් ගත්තෙ නෑ. හැබැයි පහුගිය සතියෙ ශිරන්ති කුස්සියට යද්දි එයා ඇස් දෙකටම දැකල ගෑනු කෙනෙක් වළං පෙරළගෙන කුස්සිය ඇතුළෙන් යනව. ශිරන්තිත් බය වෙලා හොඳටම. ඒ පාර අපිට තේරුණා මොකක් හරි සිද්ධියක් මේක ඇතුළෙ තියනව කියල. ඒ ගැන දන්න කට්ටියගෙන් ඇහුවම අපිට කිව්වෙ පැය 24ම අරලියගහ මන්දිරය ඇතුළෙ පිරිත් දාල තියන්න කියල. ඒකයි ඔය දැන් පිරිත් දාල තියෙන්නෙ” යනුවෙන් මහින්ද කී අරලියගහ මන්දිරයේ හොල්මන් කතාව මම එම සති අන්තයේ දේශපාලන තීරයේ පළකිරීමටද පියවර ගත්තේය.

මහින්ද-ලසන්ත අර්බුදය හැදුණු හැටි

මීට අමතරව මහින්දගේ 50 වසරක දේශපාලන ජීවිතය සම්බන්ධයෙන් කතා කිරීමේදී මගේ වසර 20 තුළ මෙතෙක් කිසිදු දිනෙක හෙළි නොකළ රහස් රැසක්ද මගේ මතකයේ පවතී. ඉන් ඇතැම් කරුණු කිසිදු තැනක හෙළි කළ නොහැකි අතිශය රහසිගත සිදුවීම්ය. මේ හෙළි කරන්නට යන්නේද මෙතෙක් කිසිදු දිනෙක හෙළි කර නොමැති සිදුවීම් දෙකකි. ඉන් එකක් ලසන්ත වික්‍රමතුංග සම්බන්ධයෙන්ය. අනෙක මහින්ද හා රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන්ය.
ලසන්ත 2006 වසරේදී අරලියගහ මන්දිරය සම්බන්ධයෙන් අමුතුම තාලේ හෙළිදරව්වක් සිය සන්ඬේ ලීඩර් පුවත්පත හරහා රටට හෙළි කළේය. ඒ මහින්ද සහ ශිරන්ති ඉන්දියාවේ ගුරුවායුර් කෝවිලට ගොස් මහින්ද එහි තරාදියක නැඟ සිදුකරන තුලාබරම් පූජාවේ ඡායාරූපයක් පුවත්පතේ පළකිරීමය. මේ ඡායාරූපයට මහින්දට හොඳටම කේන්ති ගොස් තිබිණ. ඒ අනුව දිනක් පෙරවරු 10ට පමණ මට කතා කළ ලසන්ත තමන් මෝටර් රථය පදවමින් සිටියදී මහින්ද දුරකතනයෙන් කතාකොට කුණුහරපෙන් බැනවැදුණු බවත්, තමන්ද “තමුසෙට මම බය නෑ” කියමින් මහින්දට බැනවැදුණු බවත් කියා සිටියේය. මෙය පුවත්පතේ ලොකුවට පළකළ යුතු බවත් ලසන්ත මට කීය. මා එවිට ලසන්තගෙන් ඇසුවේ එම දුරකතන සංවාදය පටිගත කළාද කියාය. ලසන්ත එය පටිගත කළ බවත්, මෙම පුවත මහින්දට දැනුම්දෙන ලෙසත් මට කීවේය.
ඒ අනුව මා මහින්දට කතාකොට මේ සිද්ධිය විමසද්දී මහින්ද කියා සිටියේ “මොන පිස්සුද. මම නම් බැන්නෙ නෑ. වෙනද වගේ තමයි කතා කළේ. එයා ඒක තර්ජනයක් විදිහට අරගෙනද.” යනුවෙනි. කිව්ව වගේම ලසන්තගේ ලීඩර් පුවත්පතේත්, ඉරුදින පුවත්පතේත් මහින්ද තමන්ට කුණුහරුපෙන් බැනවැදුණු බවට ලොකුවට පළවිය. පසු අවස්ථාවකදී මම ලසන්තගෙන් මෙම සංවාදය පිළිබඳව විමසා සිටිද්දී ලසන්ත මට කියා සිටියේ හාත්පසින්ම වෙනස් කතාවකි.
“මට එදා මහින්ද කතා කරල කුණුහරුපෙන් බැන්න තමයි. මම ඩ්‍රයිව් කරන හින්ද ඒක මට රෙකෝඞ් කරගන්න බැරි වුණා. පස්සෙ මම වාහනේ අයින් කරල රෙකෝඞ් කරන්න යද්දි මහින්ද ෆෝන් එක කට් කළා.” යනුවෙන් ලසන්ත මට එහිදී කියා සිටියේය.
ඒ වන විට මහින්දත්, ලසන්තත් අතර යම් විරසකයක් මතුව තිබුණු අතර, ඒ හේතුවෙන් ලසන්ත සිටියේ රනිල් සමඟ සබඳකම් පවත්වමින්ය. ඒ නිසා මහින්දට ලීඩර් පුවත්පත හරහා පහරදීමද ලසන්ත දිගටම කරගෙන ගියේය. වරක් ලසන්ත සන්ඬේ ලීඩර් පුවත්පත මඟින් මහින්ද ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසු මිලියන 500ක් වියදම් කොට අරලියගහ මැදුර යට ආරක්ෂාව පිණිස බංකරයක් ඉදිකිරීමට කටයුතු කර ඇතැයි ලීවේය. මෙය එකල මහත් ආන්දෝලනාත්මක පුවතක් බවට පත්ව තිබිණ. ඒ පුවත පළවීමත් සමඟ ලසන්ත අත්අඩංගුවට ගැනීමට සී.අයි.ඩී.ය සූදානම් වන බවට ලසන්තට විශ්වාසවන්ත තොරතුරක් ලැබිණ. ඒ වන විට ලසන්තගේ කාර්යාලය තිබුණේ බොරැල්ල වෝඞ් පෙදෙසේය. ඒ අනුව මට කතා කළ ලසන්ත වහාම මහින්දව හමුවී තමා අත්අඩංගුවට ගැනීමේ සූදානම පිළිබඳ දැනුම්දී මහින්දගේ ප්‍රතිචාර දෙස බලන ලෙස මගෙන් ඉල්ලා සිටියේය. මන්දයත් ලසන්තට අවශ්‍යව තිබුණේ තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානම පිළිබඳව මහින්ද දන්නවාදැයි සැකහැර දැන ගැනීමටය. ඒ අනුව මාද වහාම මහින්දට කතාකොට හමුවීම සඳහා වේලාවක් ඉල්ලා සිටියේය. මට දැනුම්දීමක් කෙරුණේ සවස 3.30ට අරලියගහ මන්දියට පැමිණෙන ලෙසටය. ඒ වන විට ලසන්ත සියලු ජාත්‍යන්තර මාධ්‍ය සහ තානාපති කාර්යාල මේ සම්බන්ධයෙන් දැනුවත් කර තිබීම හේතුවෙන් එදින සියලු මාධ්‍ය එකම කඩිගුලක් සේ ඇවිස්සී ගොස් තිබිණ.
සවස 3.30ට මා අරලියගහ මන්දියරට යද්දී මහින්ද සිටියේ කෙටි නින්දකට වැටීය. පසුව මහින්ද කමිසයක්වත් නොමැතිව මා මුණගැසීමට පැමිණීමෙන් අනතුරුව මම ලසන්තගේ සිදුවීම මහින්දට කීවෙමි. මහින්ද ඉන් පුදුමයට පත්වූ බවක් මට පෙනිණ. ඒ අනුව ලසන්තව අත්අඩංගුවට ගැනීමේ සූදානම ගැන මහින්ද කිසිවක් නොදන්නා බවක් මට වැටහිණ.
“පිස්සුද අයිසෙ. අපි මොකටද එයාව ඇතුළට අරගෙන වීරයෙක් කරන්නෙ. මොන බොරුවක්ද ඔය කතාව” යනුවෙන් කියමින් මහින්ද මගේ ඇඟට ගොඩවෙද්දී මම කියා සිටියේ “නෑ ජනාධිපතිතුමා පොඞ්ඩක් ඕක චෙක් කරල බලන්න” යැයි කියාය. ඒ අනුව මුලින්ම මහින්ද කතා කළේ පොලිස්පතිටය. පොලිස්පති මේ ගැන යමක් කියද්දී මහින්ද කේන්තියෙන් මෙන් කියා සිටියේ “මොන පිස්සු වැඩක්ද ඔය කරන්න යන්නෙ. අහක ඉන්න උන් වීරයො කරන්න ලෑස්ති වෙන්න එපා” යැයි කියාය. ඉන් අනතුරුව බැසිල්ටත්, ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභයටත් කතාකොට මහින්ද “ඕන නැති වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා” යනුවෙන් කියා සිටියේය.
ඒ අනුව වහාම අරලියගහ මන්දිරයෙන් පිටතට පැමිණි මා මුල්ම ඇමැතුම ගත්තේ ලසන්තටය. සිදුව ඇති දේ පැහැදිලි කිරීමෙන් අනතුරුව ලසන්ත මට කියා සිටියේ සී.අයි.ඩී.ය මඟට ඇවිත් හැරී ගිය බවට තමන්ට තොරතුරු ලැබුණු බවය. මමද ඒ කතාව නැවැත පරීක්ෂා කරද්දී සී.අයි.ඩී.ය ලසන්තව අත්අඩංගුවට ගැනීමට පැමිණෙද්දී පොලිස්පතිවරයාගෙන් ලැබුණු දුරකතන ඇමැතුමකට අනුව නැවැත හැරී ගිය බව තහවුරු විය.

රනිල් -මහින්ද පළමු ඩීල් එක දාන්න මැදිහත් වුණු හැටි

රනිල් සහ මහින්ද සම්බන්ධයෙන් මේ හෙළි කරන්නට යන්නේ මෙතෙක් කෙදිනකවත් හෙළි නොකළ දේශපාලන රහසකි. මේ දිනවල නම් මහින්ද හා රනිල් අතර දේශපාලන ඩීල් පවතින බව දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ කාරණයකි. නමුත් 2005 ජනාධිපතිවරණය නිමාවීමත් සමඟ මහින්දත් රනිලුත් සිටියේ මුහුණට මුහුණවත් නොබලන තත්ත්වයකය. එමෙන්ම ජනාධිපතිවරණ පරාජයත් සමඟ රනිල්ට පක්ෂය ඇතුළේ බරපතළ දේශපාලන කැරැල්ලකට මුහුණදීමට සිදුවිය. 2006 මුල් භාගයේදී ආරම්භ වූ මේ කැරැල්ලෙන් රනිල් දැඩි ලෙස අසරණ වූයේ ඔහු වටා සිටි ප්‍රබලයන් රැසක්ම කැරැල්ලත් සමඟ එක්වී ඔහුට එරෙහිව යෑම නිසාය. ඒ අනුව හදිසියේම දිනක් රනිල්ගෙන් මට ලැබුණු දුරකතන ඇමැතුමෙන් කියැවුණේ කොල්ලුපිටිය 5 වැනි පටුමගේ පිහිටි ඔහුගේ නිවෙසට පැමිණෙන ලෙසටය. එසේ ගිය මගෙන් රනිල් විශේෂ ඉල්ලීමක් කළේය.
“මට මේ වෙලාවේ මහින්දව හම්බුවෙන්න ඕනෙ ඉතාම රහසිගතව. තුෂාරට පුළුවන්ද ගිහිල්ල ඒක මහින්දත් එක්ක කතා කරන්න.” යනුවෙන් රනිල් මට කියද්දී ඉල්ලීම පිළිගත් මා වහාම මහින්දට දුරකතන ඇමැතුමක් ලබාදී ඉතාම හදිසි කටයුත්තක් මුල්කරගෙන හමුවීමට අවශ්‍ය බව දැනුම්දී සිටියෙමි.

ඒ අනුව මහින්දව හමුවූ මා රනිල්ගේ ඉල්ලීම ඔහුට දැනුම්දී සිටීමට කටයුතු කළේය. එවිට මහින්දගේ ප්‍රශ්නය වූයේ හමුවන තැන පිළිබඳවය.
“එහෙනම් අපි අරලියගහ මන්දිරේ හම්බුවෙමු. මම වාහනයක් එවන්නම්. ඔයත් රනිල් එක්කම එන්න” යනුවෙන් මහින්ද කීවත් රනිල් ඊට එකඟතාවය පළකළේ නැත. රනිල් කීවේ එය කැරලිකාර පිරිස් දැනගත හොත් තමන්ට විශාල අවාසියක් වෙතැයි කියාය. ඒ අනුව හමුවන තැන පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් මතුව තිබිණ. පණිවුඩ කීපයක් දෙපැත්තට හුවමාරු වීමෙන් අනතුරුව කොල්ලුපිටියේ ග්‍රීන්පාක්හි පිහිටි ලලිත් ප්‍රනාන්දුගේ නිවෙසේ මෙම රහසිගත හමුව පැවැත්වීමට දෙදෙනාම එකඟ විය. දෙපැත්තේම කොන්දේසිය වූයේ මෙම හමුව සම්බන්ධයෙන් අප සිවුදෙනා හැරෙන්නට වෙන කිසිවකුත් දැන නොසිටිය යුතු බවකි. රහස් හමුවේ සංවිධාන කටයුතු මගේ පිට පැටවිණ.
ඒ අනුව ලලිත්ගේ නිවෙසට ගිය මම හමුවේ සංවිධාන කටයුතු කළෙමි. එම නිවෙසේ ඇතුළු වීමට සහ පිටවීමට දොරටු දෙකක් තිබූ අතර, ඇතුළු වීමේ දොරටුවෙන් රනිල්ව ඇතුළට ගෙන වහාම දොර වසා දැමීමටත්, පසුව පිටවීමේ දොරටුවෙන් මහින්දව ඇතුළට ගෙන දොරටු වසා දැමීමටත් සැලැසුම් කෙරිණ. එමෙන්ම රාත්‍රි භෝජනයක්ද දෙදෙනාටම සූදානම් කෙරිණ. රනිල්ට මෙම හමුව හරහා අවශ්‍යව තිබුණේ කැරලිකාර පිල ශක්තිමත් වන අයුරින් මහින්ද ලබාදෙන සහාය නවතා ගැනීමය.
සැලැසුම් කරගත් පරිදි මුලින්ම ලලීන්ගේ නිවෙසට පැමිණියේ රනිලුත්, මමත්ය. එසේ ආ ගමන් දොරටු වසා දැමීමට පියවර ගැනිණ. විනාඩි 20ක් පමණ වන විට මහින්දගේ වාහනය අනෙක් ගේට්ටුවෙන් ඇතුළට ආවේය. එහි සිටියේ රියැදුරුත්, ආරක්ෂක නිලධාරියා වන නෙවිලුත්, මහින්දත් පමණි. ඒ ආ සැණින් මා නිවෙසින් පිටතට පැමිණියේ මහින්ද පිළිගැනීමටය. නමුත් මහින්දගේ මුහුණේ දක්නට ලැබුණේ සැර පරුෂ පෙනුමකි.
“තුෂාර ඔයා තව කාටද මේ මීටින් එක ගැන කිව්වෙ?” යැයි මහින්ද කියද්දී පුදුම වූ මා කියා සිටියේ කිසිවකුටත් මා මේ ගැන කටක් සෙලවූයේ නැතැයි කියාය.
“මාර වැඬේනෙ වුණේ. මම ටෙම්පල්ටී්‍රස්වලින් එළියට බහිද්දිම ජෙයරාජ් ආව කඩාගෙන. මගෙන් ඇහුව රනිල්ව හම්බුවෙන්න නේද යන්නෙ. තුෂාර නේද වැඬේ සෙට් කළේ කියල. මම කිව්ව මොන පිස්සුද මම මේ වෙන ගමනක් යන්නෙ කියල.” මහින්ද කියද්දී මාද කියා සිටියේ එසේ නම් වෙනත් පාර්ශ්වයකින් කතාව එළියට යන්න ඇතැයි කියාය.
හොඳම සිද්ධිය දැකගන්නට ලැබුණේ සාකච්ඡාව ආරම්භයෙන් පසුවය. ජනාධිපතිවරණ සමයේ තිබූ තරහ මරහ නිසා රනිල් මහින්දගේත්, මහින්ද රනිල්ගේත් මුහුණවත් නොබැලූ අතර මට සිදුවූයේ දෙදෙනා මැද සිට දෙදෙනාගේ මුහුණු එකට මුණගැස්සවීම සඳහා විවිධ මාතෘකා සාකච්ඡා මේසයට දමන්නටය. විවිධ මාතෘකා එසේ දැමුවද දෙදෙනාම උත්තර දුන්නේ මා දෙස බලා මිස දෙදෙනාගේ මුහුණු දෙස බලා නොවේ. පසුව ඒ වන විට යළිත් මෝදුවෙමින් තිබූ යුද උණුසුම පිළිබඳව මාතෘකාව මා සාකච්ඡා මේසයට දැමීමත් සමඟ තත්ත්වය වෙනස් විය. එහිදී රනිල් එල්.ටී.ටී.ඊ.ය යුදමය වශයෙන් පරාජය කළ හැකි බව අතීත උදාහරණ විග්‍රහ කරද්දී මහින්දද ඒ දෙස තරමක උනන්දුවකින් යුතුව බලා සිටිනු දැකගත හැකි විය. මුලින් මුලින් මහින්ද ඇනුම්පද රනිල්ට එල්ල කළද පසුව මහින්දද රනිල්ගේ මුහුණ දෙස බලා කතා කරනු පෙනිණ. ඒ අනුව සාකච්ඡා මේසයෙන් මට නැඟිට යෑමට නිසි අවස්ථාව එළැඹ ඇති බව වටහාගත් මම දෙදෙනාට නිදහසේ කතා කරන්නට ඉඩදී සාකච්ඡා මේසයෙන් නැඟිට පිටතට පැමිණ නෙවිල් සමඟ ආගිය තොරතුරු කතාබස් කරමින් සිටියෙමි. දෙදෙනා අතර සාකච්ඡාව විනාඩි 35ක් තරම් වේලා ඇදී ගියේය. එහිදී විශේෂ මාතෘකා රැසක් සාකච්ඡා වී ඇති බව මට දැනගන්නට ලැබුණද ඒ සියල්ල රහස්ම විය. අද මහින්ද – රනිල් ඩීල් ගැන සැවොම කතා කළත් ඒ ඩීල් එකට ආරම්භය ලැබුණේ මා හරහාය.

මව්බිම පටන් ගන්න ගිහින් වෙච්ච දෙයක්

මේ කියන්නට යන්නේ මහින්ද හා මා අතර සිදුවූ තවත් විශේෂ සිදුවීමක් සම්බන්ධයෙනි. මගේ පත්තර ජීවිතයේ එක්තරා විශේෂතම අවස්ථාවක් වූයේ වසර 25ක් ලංකාදීප පුවත්පතේ සේවය කොට මව්බිම පුවත්පත ආරම්භ කිරීම සඳහා ලංකාදීපයෙන් ඉවත් වීමට ගත් තීන්දුවය. එවක ටිරාන් අලස් සිටියේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සමඟ එකට දේශපාලනය කරමිනි. ටිරාන් ෆොන්සේකාගේ පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයෙක් විය. ඒ වන විට මංගල, ශ්‍රීපතිලා ශ්‍රීලනිපයෙන් කඩාගෙන ගොස් ටිරාන් සමඟ එජාපයට සම්බන්ධ වී රාඩා ගනුදෙනුව මුල්කරගෙන මහින්දට, බැසිල්ට එරෙහිව සාක්ෂි ලබාදීම හේතුවෙන් විශාල ප්‍රශ්නයක් මතුව තිබිණ. නමුත් ටිරාන්ගේ ඉල්ලීම උඩ මව්බිම ආරම්භ කිරීමට මා ලංකාදීපෙන් ඉවත් වීමට තීරණය කළද මුල් අවස්ථාවේදී එය මහින්දට දැනුම්දීමට මා කටයුතු කළේ නැත. ඒ මහින්ද මා නවතනු ඇති බවට වූ සිතුවිල්ල මතය. නමුත් මා ලංකාදීපයෙන් ඉවත් වූ පසු ඒ බව දැනුම්දීමට මහින්ද හමුවීමට ගියෙමි. එදා සිදුවූ සිදුවීම මට අද වගේ මතකය. අරලියගහ මැදුරේ උඩු මහලට ගිය මා මහින්ද හමුවී ලංකාදීපයෙන් ඉවත්වීමේ තීන්දුව ඔහුට දැනුම් දී සිටියෙමි. මහින්ද ඇසුවේ මා යන්නේ කොහෙද කියාය. මා ටිරාන් අලස් සමඟ මව්බිම ආරම්භ කිරීමට යන බව දැනුම් දීමත් සමඟ මහින්දගේ මුහුණේ ඉරියව් සම්පූර්ණයෙන් වෙනස් විය. දැඩි කලබලයට පත්වූ මහින්ද මගෙන් ඇසුවේ “තමුසෙට පිස්සුද” යැයි කියාය. “අයිසෙ තමුසෙට පිස්සුද. ඕක එක පාරකුත් වැහුවා. මහ මෝඩ තීන්දුවක්නෙ අරන් තියෙන්නෙ. ඕක හරියන වැඩක් නෙමෙයි. ඇයි ලංකාදීපෙන් අයින් වුණේ” යනුවෙන් මහින්ද අසද්දී මා කීවේ ෆොන්සේකාටත්, ටිරාන්ටත් යටත් නොවන අලුත් ජාතික පත්තරයක් නිර්මාණය කිරීමට මා ඉවත්වූ බවකි.
“ඕක කරන්න හම්බුවෙන්නෙ නෑ. ඔහොම ඉන්නව මම බන්දුලට කතා කරල ලේක්හවුස් එකේ මොකක් හරි බලන්නම්” යනුවෙන් මහින්ද යළි කියද්දී මා කීවේ දැන් ටිරාන්ට අවසන් වචනයක් ලබාදී ඇති බවකි. නමුත් මව්බිමෙ කිසිදු අවස්ථාවක මහින්දට පහරදීමක් නොකරන බව කී මා පුවත්පතට මහින්දගේ සහය ලබාදෙන ලෙසද ඉල්ලා සිටියෙමි. නමුත් මහින්දගේ ඉරියව්වලින් ප්‍රතිචාර එතරම් හොඳ නැති බව මට වැටහිණ.
කෙසේ වෙතත් මව්බිම ආරම්භ කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී මගේ බිරියගේ පියාණන්ගේ අභාවය සිදුවිය. දේහය තබා තිබුණේ බොරැල්ලේ ඒ.එෆ්. රේමන්ඩී මල් ශාලාවේය. ඒ වන විටත් මව්බිමට එරෙහිව රාජ්‍ය මාධ්‍ය හරහා විශාල විරෝධයක් සමාජගත කරමින් තිබිණ. දිනේෂ් ගුණවර්ධනලා මව්බිමට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමටද පියවර ගෙන තිබිණි. අවසන් කටයුතු සිදුවන දින දහවල් මට ලැබුණු පණිවුඩයකින් කියැවුණේ මහින්ද මල් ශාලාවට පැමිණීමට සූදානමින් සිටින බවකි. අවසන් වරට සිදුවූ එතරම් ප්‍රසන්න නොවූ හමුවෙන් පසු මහින්ද හා මා අතර කිසිදු හමුවක් හෝ සංවාදයක් සිදුව නොතිබූ නිසා එදින මාද සිටියේ තරමක් චකිතයකට පත්වය. මහින්ද පැමිණියේ නවුසර් සමඟය. හිත් අමනාපකම් අමතක කොට ඇති බව මා මුලින් සිතා සිටියත් වාහනයෙන් බසින මහින්දගේ මුහුණ තරහෙන් පිරී තිබූ ආකාරයක් මට දැකගත හැකි විය. කෙළින්ම පැමිණ දේහයට අවසන් ගෞරව දැක්වූ මහින්ද පසුව මඳ වේලාවක් සිට මට හිසින් ඉඟිකර කීවේ වාහනය දෙසට පැමිණෙන ලෙසටය. ඒ අනුව මාද මහින්ද පසුපස වාහනය ළඟට ගිය විට මහින්ද මට කීවේ මා හීනෙන්වත් නොසිතූ කතාවකි.

බලමුකො අපි මව්බිම පටන්ගන්න හැටි

“බලමුකො අපි මව්බිම පටන්ගන්න හැටි” යන්න මහින්ද දුන් උත්තරය විය. එම පිළිතුරෙන් මා දැඩි අපහසුතාවට පත්වුණත් මහින්ද දුන් එම පිළිතුර අන් කිසිවකුටත් නොකී මා උපුල් ජෝශප්ට පමණක් එය දැනුම්දීමට කටයුතු කළෙමි. අඩුම තරමින් ටිරාන්ටවත් මා එය කියන්නට ගියේ නැත. කෙසේ හෝ පුවත්පත ආරම්භ කිරීමෙන් පසුව මහින්ද සමඟ යළි සබඳකම් ආරම්භ කළ හැකි බවට වූ දැඩි විශ්වාසයක් මගේ හිතේ පැවතිණ. රාජ්‍ය මාධ්‍යවලින් එල්ලවූ දැඩි විරෝධතා මධ්‍යයේ අපි මව්බිම ආරම්භ කළෙමු. ෆොන්සේකාගේ පුවත් පල කිරීමේදී මා දැඩි ලෙස පරිස්සම්සහගත විය. එමෙන්ම අන් කිසිදු පුවත්පතකටත් වඩා වෙනස් සහ අලුත්ම ශෛලියකින් මහින්දගේ පුවත් වාර්තා කිරීමටද පියවර ගත්තෙමු. එහි ප්‍රතිඵලය වූයේ සුළු කාලයකින්ම මව්බිම පාඨකයෙක් බවට මහින්ද පත්කර ගැනීමට මට හැකිවීමය. මහින්දගේ පුවත් කතාකොට පළකරන තැනට ඉතා කෙටි කලකින් මම මව්බිම රැගෙන ආවෙමි. එය මා ලැබූ එක්තරා ජයග්‍රහණයක් වූ අතර, අප දෙදෙනා අතර පැවැති පරණ ගනුදෙනුවද පසුව ආරම්භ විය.

කේලාම් නිසා අරලිය ගහ මැදුර මට තහනම් කලාපයක් වෙයි

කෙසේ වෙතත් මහින්ද හා මා අතර පැවැති මේ අතිශය සමීප හිතවත්කම රිසි වූවෝ මෙන්ම නොරිසි වූවෝද බොහෝ සිටියහ. මහින්ද ජනාධිපති වූවාට පසුව එක් එක් පුද්ගලයන් පැමිණ එක එක්කෙනා පිළිබඳව මහින්දට කියන කතා මා අනන්තවත් අසා ඇත. දැක ඇත. යුද ජයග්‍රහණයෙන් පසුව මහින්ද දේශපාලන වශයෙන් ඉහළ ස්ථාවරයක සිටියදී මට විරුද්ධවද මේ ආකාරයේම විශාල කතා ගොඩක් මහින්දගේ කනට වැටී තිබිණ. එහි එක් සිදුවීමක් මට අද මෙන් මතකය. දිනක් මා අරලියගහ මන්දියට ගොස් මහින්ද හමුවී කතාබහ කොට සමුගනිද්දී මහින්ද මට විශේෂ කතාවක් කීවේය.
“තුෂාර ඔයා දන්නවද ඔයා අරලියගහ මන්දියට ඇවිල්ල මාව හම්බුවෙලා මේ ගේට්ටුවෙන් එළියට ගියාට පස්සෙ මට කොච්චර කෝල්ස් එනවද කියල ඔයාව මේ හතර මායිමේ වැද්දගන්න එපා කියල. ඔයා මෙතන වෙන දේවල් ලසන්තට ගිහින් දෙනවලු, රනිල්ට කියනවලු. මුන් ටික මට මහ පුදුම වදයක් දෙන්නෙ. මේ නිසා ටික දවසක් මේ පැත්තෙ නෑවිත් ඉන්න.” යන්න එහිදී මහින්ද මට පළමු වතාවට කී අතර මා මුල්කරගෙන මහින්ද පත්ව සිටින අසීරු තත්ත්වය වටහාගන්නට මට අපහසු නොවීය. මට විරුද්ධව විවිධ කතා කී අය පිළිබඳව එහිදී මට විවිධ ඉඟි ලබාදීමටද මහින්ද කටයුතු කළේය. ඒ අනුව මහින්දගේ තත්ත්වය වටහාගත් මා ඔහුට කරන උදව්වක් ලෙස ඉන්පසු අරලියගහ මන්දිරය පැත්ත පළාතේ ගියේ නැත.

පාටියේදී මට ආ කෝල් එක

මේ අයුරින් මාස තුනක් පමණ ගෙවී ගියේය. දැන් මා හා මහින්ද අතර කතාබහක්, හමුවක් නැත. දිනක් මගේ හිතවතකුගේ දියණියකගේ උපන්දින සාදයක් පැවැත්විණ. අපට සූදානම් කොට තිබුණේ ඉහළ මාලයේ ස්ථානයකි. මේසයේ සිටියේ මමත්, තවත් දෙදෙනෙකුත් පමණි. සාදය ආරම්භ වීමෙන් පසු අරලියගහ මැදුරෙන් මට දුරකකතන ඇමැතුමක් ලැබුණු අතර ජනාධිපතිවරයා ඇමැතුමේ සිටින බව කියැවිණ. ඒ ඇමැතුමෙන් මමද පුදුමයට පත්විණ.
“ආ මොකද තමුසෙට වෙලා තියෙන්නෙ.” යනුවෙන් මහින්ද සුපුරුදු සිනාමුසු හඬින් පවසද්දී මා කියා සිටියේ “නෑ ඉතින් ඔබතුමා මට එන්න එපා කිව්වනෙ. මම ඉතින් ආවෙ නෑ” යැයි කියාය.
“අනේ පිස්සු නැතුව හෙට මේ පැත්තෙ ඇවිල්ල යනව. මේ මුන්ට පිස්සුනෙ. මාර කතා ටිකක් තියෙනව මට කියන්න” යනුවෙන් මහින්ද කළ ආරාධනාවට අනුව ඊට පසු දිනම යළිත් මම අරලියගහ මන්දිරයට ගියෙමි. ඉන් පසුව වෙනදා මෙන්ම අප දෙදෙනාගේ ඇයිහොඳයිය දිගටම පැවැත්විණ.
මේ මහින්දගේ පනහෙන් මගේ විස්සට ඇතුළත්ව තිබූ වාර්තා කළ හැකි ආකාරයේ සිදුවීම් කිහිපයකි. මා සිතනුයේ මා මේ හෙළිකළ ඇතැම් සිදුවීම්වලින් කිසිවකුටත් හානියක් නොවනු ඇති බවකි. එමෙන්ම මහින්දගේ දේශපාලන ගමන පිළිබඳව කිසියම් අදහසක් ගැනීමට ඉවහල් වන බවකි. මීට අමතරව ඇතැම් සිදුවීම් මාත්, මහින්දත්, ඊට සම්බන්ධ වූ අනෙක් පුද්ගලයනුත් පමණක් දන්නා සදාකල් රහස් බවට පත්ව තිබිය යුතු බව මගේ හැඟීමය. මා එසේ කියන්නේ මාධ්‍යවේදියකුටත් එහා ගොස් අප දෙදෙනා අතර කතාබහ වූ කරුණු, සිදුවූ සිදුවීම් අනන්තවත් ඇති නිසාය. ඒවා සදාකල් රහස් ලෙස වැළලී යා යුතු බව මගේ විශ්වාසයය.

තුෂාර ගුණරත්න

SendShareShare
Previous Post

සෙලින්කෝ ලයිෆ් සෞඛ්‍ය රක්ෂණය ප්‍රවර්ධනය කරයි

Next Post

DFCC රන්වරමෙන් හදිසි මුදල් අවශ්‍යතාවන්ට විසඳුම්

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.