මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ හෙවත් බොහෝ දෙනා දන්නා චිචී විසින් අභ්‍යවකාශය වෙත යවනු ලැබූ බව කියන සන්නිවේදන චන්ද්‍රිකාව අභ්‍යවකාශයට ගොස් අදට (27) වසර 10ක් වෙනවා.
“ශ්‍රී ලංකාවේ මංගල සන්නිවේදන චන්ද්‍රිකාව SUPREMESAT-1 මීට ටික වේලාවකට පෙර චීනයේ XI-CHANG අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් දියත් කරන ලදී” යයි චිචීගේ වැඩිමහල් සොහොයුරු එවකටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ නාමල් රාජපක්ෂ 2012 නොවැම්බර් 27 වෙනිදා ප.ව. 5.29ට සිය ෆේස් බුක් හි සටහන් කර තිබුණා.
අභ්‍යවකාශයට යැවූ බව කියන මෙම SUPREMESAT-1 වෙනුවෙන්ම 2011 ඔක්තෝබර් 25 දින SuperSAT (Pvt) Ltd යනුවෙන් ආයතනයක් පවා පිහිටුවා තිබුණා. එම ආයතනය හැඳින්වුණේ ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම චන්ද්‍රිකා ක්‍රියාකරු ලෙසටයි. එය චන්ද්‍රිකා නිෂ්පාදන ආයතනයක් වන China Great Wall Industry Corporation (CGWIC) සමඟ හවුල්කාරිත්වයක් ඇති බවයි එකල වාර්තා වුණේ.
SuperSAT (Pvt) Ltd විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව බව කියමින් SUPREMESAT-1 පළමුව අභ්‍යාවකාශයට යවන බව කියවුණේ 2012 නොවැම්බර් 12 දින යි. ඉන් තවත් දින 15ක ට පසුව චීනයේ Xi-Chang වෙතින් චීචීගේ චන්ද්‍රිකාව දියත් කරන ලද බව කියනු ලැබුවා. එකල සඳහන් වුණේ සන්නිවේදන චන්ද්‍රිකාවක් හිමි ලොව 27 වැනි පුද්ගලික සමාගම බවට SuperSAT (Pvt) Ltd පත් වූ බවයි. චන්ද්‍රිකාවේ ජීව කාලය වසර පහළොවක් වන අතර ඒ හරහා දකුණු හා මධ්‍යම ආසියාව, නැඟෙනහිර අප්‍රිකාව හා ඈත පෙරදිග රටවලට සේවා සැපයෙනු ඇති බවයි එකල සඳහන් වුණේ.
අදාළ සමාගම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 320කට අධික ආයෝජනයක් කිරීමට සැලසුම් කර ඇති බව එවකට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයන් විසින් ප්‍රවෘත්ති සාකච්ඡා වලදී පවසා තිබුණා.
SuperSAT (Pvt) Ltd විසින් ආයෝජන මණ්ඩලය (BOI) ව්‍යාපෘතියක් ලෙස මෙරට පළමු ‘අභ්‍යවකාශ ඇකඩමිය’ සඳහා මුල්ගල් තබා ඇති බවයි වාර්තා කළේ. ඒ ඇමරිකානු ඩොලර් මිලියන 20 ක ආයෝජනයක් සහිතව මහනුවර, පල්ලෙකැලේ දී බවයි කියවුණේ. ඒ අතර ශ්‍රී ලාංකිකයින් අතර අභ්‍යවකාශ සහ චන්ද්‍රිකා තාක්‍ෂණය පුහුණු කිරීම ඉලක්ක කර සහ චන්ද්‍රිකා මෙහෙයුම් අධීක්ෂණය කිරීම සඳහා කොග්ගල ප්‍රදේශයේ සැටලයිට් භූමි මධ්‍යස්ථානයක් ඉදිකිරීමට නියමිත බව පැවසුවා.
එවකට මෙරට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වූයේ මේ වනවිට ආණ්ඩුවේ ඉවත්ව ස්වාධීනව කටයුතු කරන බව පවසන පොහොට්ටුවේ මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ යි. අභ්‍යවකාශයට යැවූ බව කියන චිචීගේ චන්ද්‍රිකාව පිළිබඳව අගය කරමින් ඒ පිළිබඳව වැය කළ මුදල පවා සාධාරණය කරමින් ඔහු විසින් අදහස් දක්වා තිබුණා.
2012 නොවැම්බර් 21 අමාත්‍ය කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් මහාචාර්ය තිස්ස විතාරණ ඇමතිවරයා පැවසුවේ චිචීගේ චන්ද්‍රිකාව 2013 සිට සන්නිවේදන කටයුතු ආරම්භ කරන බවයි.
“මේ චන්ද්‍රිකාව 2013 ජනවාරි මුල සතියේ සිට අදාළ සන්නිවේදන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. මෙය ශ්‍රී ලංකා සන්නිවේදන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක්.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළට අවශ්‍ය තාක්ෂණය සපයන පදනමක් බවට මෙම කර්තව්‍යය පත්වෙනවා. මේ සඳහා අවශ්‍ය දැනුම සහ සහයෝගය ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය මඟින් ලබා දුන්නා.
නව සන්නිවේදන චන්ද්‍රිකාව ස්ථානගත කිරීමත් සමඟ මෙරට විද්‍යුත් සන්නිවේදන අවශ්‍යතා මෙන්ම පරිසර ආරක්ෂාව, ආපදා කළමනාකරණය, ඛණිජ සම්පත් හඳුනා ගැනීම හා ඒවායේ ගුණාත්මකභාවය මැනීම, පතල් කැණීම්, ස්වභාවික උවඳුරු හඳුනා ගැනීම වඩාත් කාර්යක්ෂම වෙනවා” යි මහාචාර්ය තිස්ස විතාරණ අමාත්‍යවරයා පවසා තිබුණා.