දෑස නොපෙනුනත් මගේ – වැඩිය පාඩු නෑ…
ඇගිලි තුඩින් අතගගා – ඉගෙනගන්නෙ මා…
ඒ ගීතය හරියටම වැටහුණේ අදය. ඒ, හිමාෂා කාවින්දයා හේරත්ගේ කතාව ඇසූ පසුය.
ඇය සැබෑ දක්ෂ දැරියකි. උපතින් දෙනෙත් අන්ධ බව ඇයට ජීවිතය ජයගන්නට කිසිදු බාධාවක් වී නැත. මේ පුංචි කෙල්ල ඒ සමාර්ථ නවයක් සමග මෙවර අපොස සාමාන්‍ය පෙළ සමත් වූවාය.
ඈ උපන්නේ අනුරාධපුරයේය. දෑස් නොපෙනෙන සිඟිත්තිය ඉපදී කලක් ගතවන විට සැණින් යමක් අවබෝධ කරගනිමින් දක්ෂ ලෙස අභියෝග ජයගන්නා බව දත් මවත් පියත් ඇය කැටුව කුරුණෑගලට ආහ.
”හොඳින් උගන්න ගන්න නම් ඇයට අවශ්‍ය පහසුකම් අපි ලබාදිය යුතුව තිබුණා. අපට තේරුණා දුව හුඟක් දක්ෂයි කියලා. එයා අපෙන් අහ අහ ඉගෙන ගත්තා. ඒ වගේම පුංචි කාලේ ඉඳලම හරි ලස්සනට සින්දු කිව්වා…” ඇයගේ මව වන ගීතානි කියන්නීය.
”කාවින්ද්‍යාගේ මුල්ම පාසල වුණේ කුරුණෑගල සඳකඩ විශේෂ පාසල 2016 වසරේ දී ශිෂ්‍යත්වය සමත් වුණේ ලකුණු 173ක් ලබාගෙන.”
”ඉන් අනතුරුව අපි දුවව කුරුණෑගල මහින්ද විද්‍යාලයට ඇතුළත් කළා. සාමාන්‍ය පෙළ ඉගෙන ගැනීමට දුව ලොකු උනන්දුවක් දැක්වුවා. ඒ විතරක් නෙවෙයි දුව මහින්දෙ ඉඳගෙන සංගීතයත් හැදෑරුවා. එයා ගායනයට ගොඩක් දක්ෂයි. සහතික පත් විශාල ප්‍රමාණයක් දිනාගන්න එයට පුළුවන් වුණා. එතැන් සිට දක්ෂ ලෙස විභාගයට මුහුණ දුන් කාවින්ද්‍යා මේ වසරේ ඒ නවයක් සහිතව සමත් වුණා….” ඒ අම්මා කීවාය.
කාවින්ද්‍යාගේ පියා අනුර හේරත්ය. අයියා ප්‍රවීන් හේරත්ය.
සංගීතයට දක්ෂ කාවින්ද්‍යා 2017 වසරේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ලබන්නීය. සාමාන්‍ය දරුවන් අතර ඇය අසාමාන්‍ය වූයේ එසේය.
”නමුත් දුව කවදාවත් ඒ ගැන උදම් අනා සතුටු වුණේ නැහැ. එයා හැම වෙලාවෙම බලන්නෙ කාට හරි උදව් කරන්න. කවුරු හරි දුකෙන් ඉන්නවා කිව්වොත් එයා හුඟක් දුක් වෙන ළමයෙක්. අද අපි ගොඩක් සතුටු වෙනවා එයාගේ දක්ෂතාවන් දැකලා…” කාවින්ද්‍යාගේ අම්මා ගීතානි අවසන් වශයෙන් කීවාය.
lankasara