‘රුපියල් බිලියන 10කට අධික මහජන ධනය වංචා කරමින් ශ්‍රී ලංකාවේදී සිදුවුණු 2015 මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීම සඳහා එම සිදුවීමට ප්‍රධාන වශයෙන් චෝදනා ලබා සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, දැනට ඔහු වාසය කරන සිංගප්පූරුවේ සිට නැවත ලංකාවට ගෙන්වා ගැනීමට මෙරට අනුප්‍රාප්තික රජයන් කිහිපයක්ම වසර 10ක් තිස්සේ පොරොන්දු වී ඇත. මෙම රජය පත්වීමෙන් පසුවද 2025 වසරේදී මුල් භාගයේදීද මෙම ක්‍රියාවලිය ගැන යම් තීන්දු තීරණ සාකච්ඡා වෙමින් පැවැතිණි. ඒ අනුව රාජ්‍යතාන්ත්‍රික ක්‍රමවේදයක් යටතේ අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වාගැනීමට උත්සාහ කළද ඊට ප්‍රථම වාරවලදී මෙන් එය අසාර්ථක විය. ශ්‍රී ලංකාවේ ඉල්ලීම සිංගප්පූරුව ප්‍රතික්ෂේප කළ විට එය රාජ්‍යතාන්ත්‍රික අසාර්ථකත්වයක් ලෙසට මාධ්‍ය සිරස්තල හඳුන්වා දී තිබිණි. නමුත් එය වැරැදි නිර්ණය කිරීමකි. මෙහිදී සත්‍ය ලෙසම අප දුටුවේ අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන ඒම සිංගප්පූරුවේ ප්‍රතික්ෂේප කිරීමක් නොව ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ නිසි නීතිමය සූදානමක් නොමැතිකමක් හෙළිදරව් කිරීමක් ලෙසයි. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ යම් නීතිමය අන්ධභාවයක් නොවේද…?’Sri Lanka Latest News
කුමක්ද මෙලෙස ඇසෙන බැරෑරුම් කතාන්දරය? මෙය කියා සිටින්නේ කවරකු විසින්ද? ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුව ඇති විශාලතම රාජ්‍ය මූල්‍යමය වංචාවක් වන ‘ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර වංචාව’ ගැන මෙරට නොදන්නා අයෙක් නැති තරම්ය. එසේම එම මහා මූල්‍ය අපරාධයේ මහමොළකරු ලෙස සැලකෙන හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් නමැති පුද්ගලයා ගැනද නොදන්නා කෙනෙක් නැත. මෙයට වසර 10කට ඉහතදී එනම් 2015දී මෙම වංචාව සිදුවීමෙන් පසුව එම වංචාවේ ප්‍රධාන චූදිතයා ලෙස සැලකෙන අර්ජුන මහේන්ද්‍රන් හොර රහසේම සිංගප්පූරුවට පලාගියේය. සිංගප්පූරුවේ රජයේ යම් අනුදැනුමක් මත ඔහු මෙම වසර 10 පුරාම ඉතා නිරුපද්‍රිතව එරට තුළ ජීවත් වෙයි. මෙවැනි වටපිටාවකදී ඔහු නැවත මෙරටට ගෙන්වා ගැනීමට ගත් උත්සාහයන් සියල්ලමද ව්‍යර්ථ වී ඇත. ඒ අනුව එසේ වන්නේ කුමන හේතුවක් නිසාදැයි යම් පැහැදිලි විග්‍රහයක් එක්තරා නීති ක්ෂේත්‍රයේ විද්වතකු විසින් සිදුකරන ආකාරය අප මෙම ලිපියෙන් ඔබට හෙළිකර සිටිමු. මෙම විග්‍රහය සැබැවින්ම මෙතෙක් කිසිදු පාර්ශ්වයක් විසින් හෙළිකර නොමැති සුවිශේෂ වතගොතකි. එසේ නම් මෙම ආන්දෝලනාත්මක කතාව හෙළිකර සිටින්නේ කවරෙක්ද?
මෙම සුවිශේෂ විශ්ලේෂණය සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ මහාධිකරණයේ හිටපු ප්‍රධාන විනිසුරුවරයකු වන සෑම් සමරකෝන් මහතා විසිනි. එසේම ඔහු කොළඹ දිස්ත්‍රික් අධිකරණයේද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ලෙසද කටයුතු කර ඇත. තවද ඔහු මෙරට මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇති නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකි. වර්තමානයේදී ඔහු ඔස්ටේ්‍රලියාවේ ජාත්‍යන්තර නීතිමය සංවිධානයක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටී. නීති විශාරද සෑම් සමරකෝන් මහතා විසින් මෙරට මහබැංකු බැඳුම්කර වංචාවට අදාළ ඉහත සුවිශේෂ විශ්ලේෂණය සිදුකර තිබුණේ මෙරට සහ ජාත්‍යන්තරව ප්‍රකට මාර්ගගත පුවත්පතක් වන Colombo Telegraph (කලම්බෝ ටෙලිග්‍රාෆ්) වෙනුවෙනි. ඔහු එහිදී හෙළිකළ අනෙක් සුවිශේෂ කරුණු මොනවාදැයි සොයා බලමු.
‘අර්ජුන මහේන්ද්‍රන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියෛ්දී මෙරට සෑම පරිපාලනයක්ම විදේශීය අකැමැත්ත හෝ දේශපාලන මැදිහත්වීම්වලට දෝෂාරෝපණය කර ඇත. නමුත් එම සත්‍යය බෙහෙවින් අඩු නාටකාකාර ස්වරූපයක් පෙන්නුම් කරන අතර, බොහෝ අපහසුතාවකට පත්කරන හේතු සාධකයක්ද වෙයි. මෙහිදී කිව හැක්කේ මෙම ක්‍රියාවලියට අදාළ වන සිංගප්පූරුවේ නීතිමය අවශ්‍යතා සපුරා නැති බවයි. ශ්‍රී ලංකාවේ ඉල්ලීම සිංගප්පූරුව විසින් ප්‍රතික්ෂේප කිරීමේ සැබෑ හේතුව කුමක්ද? සිංගප්පූරුවේ නීතිපති මණ්ඩලය (Attorney-General’s Chambers of Singapore) විසින් අර්ජුන මහේන්ද්‍රන් ආරක්ෂා කිරීම උදෙසා ශ්‍රී ලංකාව සිදුකළ උදර්පණ (පිටුවහල් කිරීම) ඉල්ලීම ප්‍රතික්ෂෛ්ප කළේ නැත. ඔවුන් එසේ කළේ ශ්‍රී ලංකාවේ ඉල්ලීම, 1968 සිංගප්පූරුවේ උදර්පණ පනත (Singapore’s Extradition Act of 1968) යටතේ දක්වා ඇති පරීක්ෂණ අසාර්ථක වූ බැවිණි. එම නීතියට කරුණු තුනක් අවශ්‍ය බැව් අවධාරණය කර ඇත…’
- චෝදනාවට ලක්වූ ක්‍රියාව රටවල් දෙකෙහිම අපරාධයක් විය යුතුය. එනම් ද්විත්ව අපරාධ පරීක්ෂණයකි.
- සිංගප්පූරුවේ ප්‍රමිතීන් යටතේ නඩු විභාගයක් සාධාරණීකරණය කිරීමට තරම් සාක්ෂි සියල්ල ශක්තිමත් විය යුතුය. (Prima facie test – ප්‍රයිමා ෆේසී පරීක්ෂණය).
- උදර්පණ ඉල්ලීම දේශපාලනික අභිප්‍රායන්ගෙන් පැනනැගිය යුතු නොවේ.
‘අපේ ගොනුව ඉහත බාධක තුනෙහිම පැකිළුණු බැව් පැහැදිලිවම පෙනෙන්නට ඇත. ශ්‍රී ලංකාවේ දණ්ඩනීති සංග්‍රහය සහ අල්ලස් පනත යටතේ ශ්‍රී ලංකාව එල්ල කර ඇති චෝදනා සිංගප්පූරුවට හඳුනාගත හැකි ආකාරයෙන් ගොනුකර නොමැත. සාක්ෂි විශාල ප්‍රමාණයක් තිබුණද අපරාධකාරී චේතනාව පැහැදිලිව ඔප්පු කළේ නැත. බැඳුම්කර විවාදයේ දේශපාලනික වශයෙන් ආරෝපිත ස්වභාවය, මෙය දේශපාලනීකරණය වූ නඩු පැවරීමක් ලෙස දැකිය හැකි බවට සිංගප්පූරුවේ මතය තවදුරටත් ශක්තිමත් කළේය. අපගේ ක්‍රියාවලියට නීතිමය අඩුපාඩු ගණනාවකින් සමන්විත විය. සිංගප්පූරුවේ තීරණය, සිංගප්පූරු වොන්ග් යූලාන් සිට එක්සත් රාජධානියේ රේ නීල්සන් දක්වා තමන්ගේම අධිකරණ සහ අනෙකුත් පොදුරාජ්‍ය මණ්ඩලීය අධිකරණ බලප්‍රදේශවල තීන්දු පිළිබිඹු කරයි. එය පරිමාවට වඩා නිරවද්‍යතාව සහ වාචාලකමට වඩා නීත්‍යනුකූලභාවය අවධාරණය කරයි. ශ්‍රී ලංකාවේ නීතිමය ඉදිරිපත් කිරීම ප්‍රධාන හිඟයන් කිහිපයකටම ද්‍රෝහී වූ ආකාරය දක්නට හැකි විය. එම ප්‍රධානතම හේතුසාධක කුමක්දැයි සොයා බලමු…’
● නොගැළපෙන නීතිමය අර්ථ දැක්වීම්: සිංගප්පූරුවේ දණ්ඩනීති සංග්‍රහයේ හෝ එහි දූෂණ වැළැක්වීමේ පනතේ සමාන වගන්ති සමග අපගේ චෝදනා පෙළගැස්වීමට අප අපොහොසත් වීම.
● දුර්වල සාක්ෂි සිතියම්ගත කිරීම: අපගේ සාක්ෂි බොහොමයක් විදේශීය නීතිය යටතේ පිළිගත හැකි නොවීම.
● දේශපාලන ඝෝෂාව: දේශපාලනඥයන්ගේ අඛණ්ඩ ප්‍රසිද්ධ ප්‍රකාශ නිසා සිංගප්පූරුවෙන් පිටුවහල් කිරීමේ ඉල්ලීම්වලදී අවශ්‍ය කරන මධ්‍යස්ථභාවය අඩපණ විය.
‘හුදෙක් මේවා තාක්ෂණික කරුණු නොවේ. නීතියේදී ස්වරූපය යනු හරයයි. අපගේ වැරැදි සිංගප්පූරුවේ නීතිමය භාෂාවට පරිවර්තනය කිරීමට හෝ එහි සාක්ෂි ප්‍රමිතීන්ට අනුකූල සාක්ෂි ලෙස පෙන්වීමට හෝ නොහැකි නම් අපි එකම බිත්තියකට පමණක් පහර දෙමින් සිටින්නෙමු. දැන් එසේනම් මෙම පද්ධතිය නිවැරැදි කරන්නේ කෙසේද? අන් අයට දොස් පැවරීම නවතා අපගේ ප්‍රවේශය නිවැරැදි කිරීමට කාලය පැමිණ ඇත. දේශසීමා යුක්තිය පිළිබඳ විශ්වසනීයත්වය නැවත ඇතිකිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන්නේ නම් පියවර කිහිපයක් අත්‍යාවශ්‍ය වෙයි. ඒවා මෙසේ ගෙනහැර දැක්විය හැකිය..’
- අනාගත චෝදනා නැවත සකස් කරන්න: සිංගප්පූරුවේ ව්‍යවස්ථාපිත විධිවිධාන සමග, විශේෂයෙන් සාපරාධී විශ්වාසය කඩකිරීම සහ රාජ්‍ය අංශයේ දූෂණය ආමන්ත්‍රණය කරන වැරැදි හරියටම ගළපන්න.
- සාක්ෂි ප්‍රමිතීන් උත්ශ්‍රේණිගත කිරීම: දේශපාලන කොමිෂන් සභා සහ හෙළිදරව් කළ වාර්තා මගින් සහතික කළ අධිකරණයට සූදානම් ලේඛන සමග ප්‍රතිස්ථාපනය කරන්න. නොතාරිස් ප්‍රකාශන, අධිකරණ වෛද්‍ය විගණන සහ අනෙකුත් අදාළ සත්‍යාපිත පිටපත් සියල්ලක්ම ඉදිරිපත් කරන්න.
- නඩු පැවරීම දේශපාලනීකරණයෙන් තොර කිරීම: නීතිපති දෙපාර්තමේන්තුව තුළ දේශපාලන විවරණවලින් හුදෙකලාව සහ තොර වූ ස්වාධීන උදර්පණ ඒකකයක් නිර්මාණය කිරීම.
- අන්‍යෝන්‍ය නීති සහාය භාවිත කරන්න: පිටුවහල් කිරීම මත පමණක් රඳා නොසිට, දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය (43 වැනි වගන්තිය) යටතේ ව්‍යුහගත සහයෝගිතාවක් ගොඩනගා ගන්න.
- නීත්‍යනුකූල රාජ්‍යතාන්ත්‍රික පීඩනය පවත්වා ගන්න: ‘ඉන්ටර්පෝල්’ ජාත්‍යන්තර පොලිසියේ රතුනිවේදනය සක්‍රීයව තබාගන්න. එසේම එය වෘත්තීයභාවය සමග ඒකාබද්ධ කරන්න. නමුත් ජනතාවාදය සමග එකතු නොකරන්න.
‘අර්ජුන මහේන්ද්‍රන්ගේ සිදුවීම එක් මිනිසකු හේ එක් අපකීර්තියක් පිළිබඳ පමණක් නොවේ. එය ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියටම ගෝලීය වේදිකාව තුළ විශ්වාසයෙන් යුතුව ක්‍රියාත්මක විය හැකිද යින්න පිළිබඳ පරීක්ෂණයකි. පිටුවහල් කිරීම යනු නීතිමය ක්‍රියාවලියක් මිස දේශපාලන ප්‍රචාරක සටන් පාඨයක් නොවේ. සිංගප්පූරුව තම නීතිය නිවැරැදිව ක්‍රියාත්මක කර ඇත. ශ්‍රී ලංකාවට වගවීමට අවශ්‍ය නම් එය දේශීය කෝපය නොව, ජාත්‍යන්තර නීතියේ භාෂාවෙන් කතා කළ යුතුය. ප්‍රතිසංස්කරණය වහා අත්‍යාවශ්‍යව ඇත. එය අවබෝධ කරගන්න…’

ප්‍රියන්ත හෙට්ටිගේ










