මහ රෑ තිරුකුමාර් ජනපතිට කතා කරයි!
ජනපතිගෙන් මුරුත්තෙට්ටුවේ හිමිට තනතුරක්!
රන්ජන් නිදහස් කරන්න ජනපති කැමැතියි!
ජාත්‍යන්තර කතාවකින් බැසිල්ට යකා නගී!
රිෂාඩ් ගැන නීතිපති මතය එක වාක්‍යයයි!
පැන්ඩෝරා හෙළිදරව්වෙන් ආණ්ඩුව හෙල්ලෙයි!
පසුගිය සතියේ ලොවම කැලඹූ ප්‍රධානම පුවත වූයේ පැන්ඩෝරා ලේඛන මගින් සිදුකර තිබූ ආන්දෝලනාත්මක අනාවරණයන්ය. එහිදී ලොව ප්‍රධාන රටවල රාජ්‍ය නායකයන්, දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන්, ක්‍රීඩකයන් විසින් විදෙස් රටවල පවත්වාගෙන යනු ලබන රහස් ගිණුම් පිළිබඳ විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබූ අතර එම අනාවරණයත් සමග බොහෝ රටවල බරපතළ දේශපාලන අර්බුද ගණනාවක් මතුකර තිබූ ආකාරයක් දැකගත හැකි විය. එහිදී පළමු ප්‍රකාශය නිකුත් කරමින් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කියා සිටියේ මෙම හෙළිදරව්ව තුළ පාකිස්තාන දේශපාලනයේ හා ප්‍රධාන පෙළේ පුද්ගලයන් කිහිප දෙනකුම නම් කොට ඇති බැවින් ඒ සියලු දෙනා පිළිබඳ විනිවිද පෙනෙන පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරනවා යැයි කියාය.
පාකිස්තානය තුළ පමණක් නොව පසුගිය සතියේදී ලංකාවේද මේ පැන්ඩෝරා පත්‍රිකා විශාල ආන්දෝලනයක් මතුකර තිබිණි. ඒ, අදාළ හෙළිදරව්වේ රාජපක්ෂ පවුලේ සාමාජිකයකුගේද නමක් ඇතුළත්ව තිබීම හරහාය. ඒ රාජපක්ෂවරයා වෙන කවුරුවත් නොව නිරූපමා රාජපක්ෂය. නිරූපමාගේ පමණක් නොව ඇගේ සැමියා වන ප්‍රකට ව්‍යාපාරික තිරුකුමාර් නඩේසන්ගේ නමද එහි ඇතුළත්ව තිබීම හේතුකොට ගෙන විපක්ෂය ආණ්ඩුව ඉලක්ක කර බරපතළ ප්‍රහාරයක් දියත් කර තිබෙන ආකාරයක් දැකගත හැකි විය. මන්ද එදා විපක්ෂය චෝදනා කළ මල්වානේ ඉඩමේ හිමිකරු ලෙස සඳහන්ව තිබුණේද මේ කියන තිරුකුමාර්ගේ නමය.
මහින්ද-බැසිල්-නාමල්ගෙන් තිරුකුමාර්ට ඇමතුම්!
කෙසේ වෙතත් පැන්ඩෝරා පත්‍රිකා මගින් තිරුකුමාර්ගේ නම හෙළි කිරීමත් සමගම ආණ්ඩුවේ ඉහළම දේශපාලනඥයන් කිහිප දෙනකුම ඔහුට දුරකතන ඇමතුම් ලබාදුන් ආකාරයක් දැකගත හැකි විය. ඉන් පළමුවැන්නා වී තිබුණේ අගමැති මහින්ද රාජපක්ෂය. ඒ අනුව තිරුකුමාර්ට කතා කළ මහින්ද මේ පිළිබඳ කරුණු විමසා සිටීමට පියවර ගත්තේය. එහිදී තිරුකුමාර් මහින්දට කියා සිටියේ මෙම මුදල් 1994ට පෙර තමන් විසින් තැන්පත් කළ ව්‍යාපාරික ධනය බවත්, ඒ සම්බන්ධයෙන් තමන්ට සැඟවීමට කිසිවක් නොමැති බවත්ය. ඉන් අනතුරුව බැසිල්ද, පසුව නාමල්ද තිරුකුමාර්ට කතා කොට මේ පිළිබඳ විමසීම් කර තිබූ අතර තිරුකුමාර් ඒ සියලු දෙනාටම දී තිබුණේ මහින්දට දුන් පිළිතුරමය. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නේ නම් තමන් ඒ ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම් බවද තිරුකුමාර් මේ සියලු දෙනාටම දැනුම්දී සිටියේය.
තිරුකුමාර් කැබිනට්ටුවටත් ඇවිත්!
කෙසේ වෙතත් ඉකුත් සතියේ පාර්ලිමේන්තු සතියක් වූ බැවින් පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතදීත් විපක්ෂයේ දේශපාලකයන් මෙම පැන්ඩෝරා මාතෘකාව රස කරමින් තලුමරන ආකාරයක් දැකගත හැකි විය. ඒ නිසාම ආණ්ඩුවටද මෙම චෝදනාවෙන් ගැලවී සිටිය නොහැකි තත්ත්වයක් මතුව ඇති ආකාරයක් දැකගන්නට ලැබිණි. එය කෙතරම් තදට ආණ්ඩුවට දැනුණාද කියනවා නම් සඳුදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද මෙය මාතෘකාවක් බවට පත්වන තරමටම තත්ත්වය උඩුදුවා තිබිණි. එදින කැබිනට් රැස්වීමට ජනාධිපතිවරයා සහභාගි වී නොසිටි අතර රැස්වීම පැවැත්වූයේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේය. කැබිනට් රැස්වීම අවසන් භාගයේ මෙම මාතෘකාව මුලින්ම කතා කළේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලය. කෙහෙළිය කියා සිටියේ මේ සම්බන්ධයෙන් බරපතළ සාකච්ඡාවක් රට ඇතුළේ මතුව ඇතැයි කියාය.
ඩලස් විමර්ශනයක් ඉල්ලයි!
‘දැන් මේක ලොකු ප්‍රශ්නයක් බවට පත්වෙලා. ඒ නිසා අපි මේකට මොනව හරි කරන්න ඕනෙ…’ යනුවෙන් කෙහෙළිය කියද්දී ඊට පිළිතුරු දුන්නේ ඩලස්ය.
‘මේ ගැන විමර්ශනයක් කරන එකේ කිසි ප්‍රශ්නයක් නෑ. මොකද මේවාගෙන් හෙළිදරව් කරලා තියෙන්නේ 94ට කලින් සිද්ධ වෙච්ච දෙයක්. ඒ කියන්නේ පසුගිය රාජපක්ෂ ආණ්ඩුවටවත්, කලින් සිද්ධියක් තමයි මේ කියලා තියෙන්නේ…’ යැයි ඩලස් කියද්දී තවත් ඇමැතිවරු කිහිප දෙනකුම මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමේ වැදගත්කම පෙන්වා දුන්හ.
මහ රෑ තිරුකුමාර් ජනපතිට කතා කරයි!
කෙසේ වෙතත් චෝදනාව එල්ලවී ඇති තිරුකුමාර්ද සිටියේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නේ නම් ඊට සම්පූර්ණ සහාය ලබාදීමේ ස්ථාවරයකය. ඒ අනුව ඉකුත් අඟහරුවාදා රාත්‍රියේ තිරුකුමාර් ජනාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ලබාදුන්නේද ඒ බව දැනුම් දීම සඳහාය.
‘මේ සිද්ධිය දැන් ආණ්ඩුවට පහරදෙන්න විපක්ෂය අරන් ඉන්න බවක් පේනවා. ඒ නිසා ඔබතුමා මේ ගැන ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්න. මොකද මම මේ ගැන පොඩ්ඩක්වත් බය නෑ, මම මේ ගැන තොරතුරු ඇතුළත් කරල ඔබතුමාට ලියුමකුත් එවන්නයි ලෑස්ති වෙලා ඉන්නේ…’ යැයි කියමින් තිරුකුමාර් කියද්දී ජනාධිපතිවරයාද කියා සිටියේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට තමන් දැනටමත් තීන්දු කර ඇතැයි කියාය. ඒ අනුව ජනාධිපතිවරයා බදාදා උදෑසනම මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස අල්ලස් කොමිසමට උපදෙස් ලබාදීමටද පියවර ගෙන තිබිණි.
නියෝගය එන්න කලින් නිරූපමා ලන්ඩන් යයි
මේ සියලු සිදුවීම් අතරවාරයේ පසුගිය බදාදා වන විට දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර ගිය කටකතාවකින් කියැවුණේ තිරුකුමාර් – නිරූපමා යුවල හදිසියේම රටින් බැහැර වීමට කටයුතු කොට ඇතැයි කියාය. සමාජ මාධ්‍ය ජාලවල මෙම පුවත පළවීමත් සමග අපිද මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට කටයුතු කළෙමු. එහිදී එම පුවතේ අර්ධ සත්‍යයක් ඇති බව අපට අනාවරණ කරගත හැකි විය. එනම් නිරූපමා විදෙස්ගතව ඇති බවය. තිරු-නිරූපමා යුවලගේ දරුවන් රැඳී සිටින්නේ එංගලන්තයේ බැවින් පසුගිය සතියේ නිරූපමා එංගලන්තය බලා ගොස් තිබුණද තිරුකුමාර් නම් තවමත් සිටින්නේ ලංකාවේය.
අභයාරාමය විපක්ෂයට යයිද?
අභයාරාමය සැලකෙන්නේ වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා ප්‍රධාන දායකත්වය ලබාදුන් තිඹිරිගෙය ලෙසටය. මන්ද යත් එදා 2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතාට මාධ්‍ය හමුවක් හෝ පැවැත්වීමට කාර්යාලයක් කොළඹින් සොයාගත නොහැකිව තිබියදී ඒ සඳහා සිය පන්සල වූ අභයාරාමය ලබාදීමට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ගත් නිර්භීත තීන්දුව වත්මන් ආණ්ඩුව පිහිටුවීමේ ප්‍රධාන සාධකයක් විය. එදා සිට මහින්දගේ කාර්යාලය බවට අභයාරාමය පත්විය. ආණ්ඩුව පෙරළන සටන් බිම බවට අභයාරාමය පත්විය. යහපාලන ආණ්ඩුවට එරෙහිව මහ සඟරුවන සහ ජනතාව එක් කළ මහ පන්සල බවට අභයාරාමය පත්විය.
නමුත් ආණ්ඩුව පිහිටුවා ටික කාලයක් ගතවන විට ආණ්ඩුවේ ගමන් මඟ ගැන පළමු චෝදනාව එල්ල වූයේද අභයාරාමයෙන් වීම විශේෂ සිදුවීමකි. පසුගිය කාලය පුරාම ආනන්ද හිමියන් අභයාරාමයේ මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කිරීමට පියවර ගෙන තිබීම ආණ්ඩුවේ ප්‍රධානීන්ටද හිසරදයක් බවට පත්ව තිබිණි. මේ හේතුව නිසාම එදා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් නිතර යන එන තැනක් වූ අභයාරාමයට විපක්ෂයේ මන්ත්‍රීවරුද පැමිණෙන්නට පටන් ගත්හ. වරක් විජයදාස රාජපක්ෂ මහතා අභයාරාමයේදී ආණ්ඩුව සහ ජනාධිපතිවරයා විවේචනය කරමින් මාධ්‍ය හමුවක් පැවැත්වීය. මේ නිසාම ජනාධිපතිවරයා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට දුරකතන ඇමතුමක් ලබාදී දොස් පැවරූ පුවතක්ද එකල මාධ්‍ය වාර්තා කොට තිබිණි. ඒ බව ආනන්ද හිමියන් අගමැති මහින්දටද දැනුම් දීමට පියවර ගෙන තිබූ අතර මාධ්‍යයටද ඒ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කිරීමට කටයුතු කර තිබිණි. එම සිදුවීමෙන් පසු අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයා ආනන්ද හිමියන්ට ඇමතුම් ගෙන තිබුණත් උන්වහන්සේ එම ඇමතුම්වලට පිළිතුරු ලබාදීමට උනන්දු වූ බවක් දැනගන්නට නොතිබිණි.
ආණ්ඩුව කලබල වෙයි!
කෙසේ වෙතත් පසුගිය සතියේදීද අභයාරාමයේ විශේෂ සිදුවීමක් සිදුවිය. එය කෙතරම් විශේෂද කියනවා නම් ආණ්ඩුවද තරමක් හෙල්ලී යන සිදුවීමක් බවට එය පත්ව තිබූ ආකාරයක් දැකගත හැකි විය. ඒ වෙන කිසිවක් නොව විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයන් එකතු කිරීමේ සිදුවීමකි. ඒ සඳහා බලපා තිබූ ප්‍රධාන ප්‍රශ්නය වූයේ මේ දිනවල අංක එකේ ගැටලුවක් බවට පත්ව ඇති ගුරු විදුහල්පති වැටුප් විසමතාව විසඳීමේ ප්‍රශ්නයය. එය විසඳීම සඳහා විපක්ෂයේ සියලු පක්ෂ නියෝජිතයන් සහ වෘත්තීය සමිති එකතු කර සන්ධානයක් නිර්මාණය කිරීම මෙම කැඳවීමේ අරමුණ විය.
ඇතුළෙ කතාව ටිකක් වෙනස්!
කෙසේ වෙතත් ආණ්ඩුවට එරෙහිව විපක්ෂය එකතු කරන උත්සාහයක් ලෙස මෙය එළියට පෙනෙන්නට තිබුණත් එහි අභ්‍යන්තර කතාව මිට තරමක් වෙනස් එකක් විය. ආණ්ඩුවේ බොහෝ දෙනා මෙම හමුව මුරුත්තෙට්ටුවේ හිමියන් සංවිධාන කරන එකක් ලෙස සිතුවත් ඇත්තෙන්ම එම හමුව සංවිධාන කොට තිබුණේ මුරුත්තෙට්ටුවේ හිමියන් නොව, උලපනේ සුමංගල හිමියන්ය. විපක්ෂයේ සියලු පක්ෂ නියෝජිතයන්ට මෙන්ම වෘත්තීය සමිති නායකයන්ටත්, ආණ්ඩුවේ පාර්ශ්වවලටත් මේ සඳහා සහභාගි වන ලෙස ආරාධනා කළේ උලපනේ හිමියන්ය. එසේ උලපනේ හිමියන් මෙවැනි සාකච්ඡාවක් සංවිධාන කිරීමටත්, මුරුත්තෙට්ටුවේ හිමියන් ඒ සඳහා සිය පන්සල ලබාදීමටත් බලපෑ හේතුවක්ද තිබිණි. ඒ, දැනට දින 90කට ආසන්න වෙමින් පවතින ගුරු විදුහල්පති වර්ජනය විසඳා ගැනීම සඳහා වෘත්තීය සමිති හා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්ඡා වට ගණනාවක් අභයාරාමයේ පැවැත්වීමය.
දිනේෂ්-ස්ටාලින් රහස් කතා!
මෙම සාකච්ඡාවලට දිනේෂ්ට අමතරව වෘත්තීය සමිති පාර්ශ්වයෙන් ජෝෂප් ස්ටාලින්, මහින්ද ජයසිංහ ඇතුළු ප්‍රධාන පෙළේ ගුරු සංගම් නියෝජිතයන්ද සහභාගි වී සිටියහ. එමෙන්ම සාකච්ඡාද ඉතා ඵලදායක අයුරින් ඉදිරියට ගිය ආකාරයක්ද දැකගන්නට තිබිණි. මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ මැදිහත්වීමෙන් පැවැත්වුණු මෙම සාකච්ඡාවල ප්‍රගතිය දිනේෂ් විසින් ආණ්ඩුවේ ප්‍රධානීන්ටද දැනුම් දීමට පියවර ගෙන තිබිණි.
වීරසේකර වැඩේ බකල් කරයි!
එසේ තිබියදී මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා ගුරුවරුන් ඉලක්ක කරගනිමින් පසුගියදා කළ එක්තරා ප්‍රකාශයක් හේතුවෙන් මෙම සාකච්ඡා සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වන වටපිටාවක් මතුවූ ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී සරත් වීරසේකර කියා සිටියේ රටේ පවතින වසංගත තත්ත්වය නොතකා ගුරුවරුන් පාරට බැස උද්ඝෝෂණය කිරීමට කටයුතු කරනවා නම් තමන් ඊට ප්‍රතිචාර දක්වන්නට සූදානම් යැයි කියාය. මෘදුව කටයුතු කිරීමෙන් පලක් නැති බවත්, උද්ඝෝෂකයන්ට එරෙහිව දැඩිව ක්‍රියාත්මක විය යුතු බව තමන් කැබිනට් මණ්ඩලයට පවා පෙන්වා දුන් බවත් එහිදී සරත් වීරසේකර ප්‍රසිද්ධියේම කියා සිටීම මේ සාකච්ඡා කඩාකප්පල් වීමට බලපෑ ප්‍රධාන හේතුව විය. සාකච්ඡා සාර්ථක වීමට ඔන්න මෙන්න කියා තිබියදී සිදුවූ මෙම සිදුවීමෙන් දිනේෂ්ද දැඩි කෝපයට පත්ව සිටියේය. ඒ නිසා වහාම ඒ පිළිබඳ අගමැතිවරයා දැනුවත් කිරීමටද දිනේෂ් පියවර ගෙන තිබිණි. කෙසේ වෙතත් උලපනේ සුමංගල හිමියන් විපක්ෂයේ ප්‍රධානීන්ගේ සාකච්ඡාවක් අභයාරාමයේ සංවිධාන කළේ මෙම සාකච්ඡා බිඳවැටීමෙන් අනතුරුවය.
ජනපතිට ආ රහස් වාර්තාව!
නමුත් එදින උදෑසන වන විට ආණ්ඩුවේ ප්‍රධානීන් අතට පත්ව තිබූ රහස් වාර්තාවකින් කියැවුණේ ආණ්ඩුවට එරෙහි විශාල රැස්වීමක් මුරුත්තෙට්ටුවේ හිමියන් විසින් අභයාරාමයේ සංවිධාන කොට ඇතැයි කියාය. ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පමණක් නොව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රීලනිපයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සහභාගි වන බවත් එම රහස් වාර්තාවෙන් ආණ්ඩුවට දැනුම් දී තිබිණි.
පළමු ඇමතුම ජනපතිගෙන්!
මේ තොරතුරු වාර්තා වීමත් සමග රැස්වීම පැවැත්වීමට නියමිතව තිබූ බදාදා උදේම මුරුත්තෙට්ටුවේ හිමියන්ට පළමු දුරකතන ඇමතුම ලැබුණේ වෙන කාගෙන්වත් නොව, ජනාධිපතිවරයාගෙනි. අවසන් වරට මෙසේ කතා කළ ජනාධිපතිවරයා මුරුත්තෙට්ටුවේ හිමියන්ට දොස් පවරා තිබුණද මෙවර ඉතා සුහද අයුරින් උන්වහන්සේ සමග අදහස් හුවමාරු කරගෙන තිබිණි. ආගිය තොරතුරු විමසීමෙන් පසුව ජනාධිපතිවරයා, ‘මොකක්ද හාමුදුරුවනේ අද මේ පන්සලේ තියන්න හදන රැස්වීම?’ කියා විමසද්දී මුරුත්තෙට්ටුවේ හිමියෝද ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළහ.
‘මේ අය මගෙන් ඉල්ලුවා ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය විසඳගන්න මට මැදිහත් වෙන්න කියලා. පසුගිය දවස් ටිකේ දිනේෂ් ඇමැතිතුමා එක්ක සාකච්ඡා කිහිපයකුත් පන්සලේ සිද්ධ වුණා. හැබැයි ප්‍රශ්නය විසඳගන්න ඔන්න මෙන්න තියෙද්දී සරත් වීරසේකර කරපු කතාවක් නිසා ඒවා කඩාකප්පල් වුණා. ඉතින් මේ ප්‍රශ්නය විසඳන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ…’ යනුවෙන් මුරුත්තෙට්ටුවේ හිමියන් පැහැදිලි කරද්දී ජනාධිපතිවරයාද එය අගය කරමින් අදහස් දක්වනු දැකගන්නට ලැබිණි.
ජනපතිගෙන් මුරුත්තෙට්ටුවේ හිමිට තනතුරක්!
‘බොහොම හොඳයි අපේ හාමුදුරුවනේ. ඔබවහන්සේවත් මැදිහත් වෙලා මේ ප්‍රශ්නය විසඳගන්න පසුබිම සකස් කරන එක හොඳයි. ඒක දිගටම කරන්න…’ යැයි කී ජනාධිපතිවරයා තවත් සුබ ආරංචියක් මුරුත්තෙට්ටුවේ හිමියන්ට දැනුම් දීමටද පියවර ගත්තේය. ඒ, මුරුත්තෙට්ටුවේ හිමියන් විසින් සිදුකරන ජාතික සේවාව අගය කිරීම සඳහා විශ්වවිiාල උපකුලපති ධුරයක් උන්වහන්සේ වෙත පිරිනැමීමට රජය තීරණය කර ඇතැයි කියාය.
මහින්දගෙන් මුරුත්තෙට්ටුවේ හිමිට උපදෙසක්!
කෙසේ හෝ අභයාරාමයේ මෙම රැස්වීම පිළිබඳ දහවල් වන විට අගමැති මහින්දගෙන්ද මුරුත්තෙට්ටුවේ හිමියන්ට දුරකතන ඇමතුමක් ලැබිණි. ඒ, බොහෝ දුරට ජනාධිපතිවරයා විසින් මෙම රැස්වීම පිළිබඳ අගමැතිවරයා දැනුවත් කිරීමෙන් පසුව විය යුතුය. ආගිය තොරතුරු පිළිබඳවත්, රැස්වීම පිළිබඳවත් මුලින් අදහස් හුවමාරු කරගත් අගමැතිවරයා සාකච්ඡාව අවසන් කළේ මුරුත්තෙට්ටුවේ හිමියන්ගෙන් ඉල්ලීමක්ද කරමිනි. ඒ, සාකච්ඡාවේ නායකත්වය ගන්නා ලෙසට මුරුත්තෙට්ටුවේ හිමියන්ට දැනුම්දීමක්ද කරමිනි. එම දැනුම්දීමට අනුව කළාද, එසේත් නැත්නම් කලින් ඇතිකරගත් එකඟතාවකට අනුව කළාද යන්න පැහැදිලි නැතත් සාකච්ඡාවේ ප්‍රධානීන්ට වෙන්ව තිබූ ප්‍රධාන මේසයේ මුරුත්තෙට්ටුවේ හිමි නායකත්වය ගෙන සිටිනු සියලු දෙනාට දැකගත හැකි විය. සිය කතාවේදී උන්වහන්සේ එදින උදෑසන ජනාධිපතිවරයා පමණක් නොව අගමැතිවරයාද තමන්ට දුරකතන ඇමතුම් ලබාදෙමින් මේ පිළිබඳ විමසා සිටි බව පිරිසට දැනුම් දීමටද කටයුතු කළහ.
ජනපති සජිත්ටත් කෝල් කරයි!
මේ ආකාරයට බදාදා උදෑසන ජනාධිපතිවරයා මුරුත්තෙට්ටුවේ හිමියන්ට පමණක් නොව තවත් කිහිප දෙනකුටම දුරකතන ඇමතුම් ලබාදීමට කටයුතු කළේය. ඉන් එක් අයකු වූයේ විපක්ෂ නායක මෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාය. ජනාධිපතිවරයා මෙම ඇමතුම් ලබාගැනීමට බලපා තිබූ ප්‍රධානම කරුණක් වූයේ පසුගිය දින කිහිපය පුරාම සජිත් ගොවි බිම්වලට ගොස් රට තුළ මතුව ඇති පොහොර හිඟය පිළිබඳ හා ගොවි ප්‍රශ්න පිළිබඳ දක්වා තිබූ අදහස්ය. ජනාධිපතිවරයාගේ මතය වී තිබුණේ විපක්ෂ නායකවරයා ආණ්ඩුව විසින් ගෙන ගිය කාබනික පොහොර ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළට එරෙහිව කටයුතු කර බවකි.
‘ඔබතුමා ඇයි මේ ආණ්ඩුව ගෙන යන කාබනික පොහොර වගාව විවේචනය කරන්නේ? බලන්න රසායනික පොහොර භාවිතයෙන් මොන තරම් විනාශයක් වෙලා තියෙනවද කියලා…’ යනුවෙන් ජනාධිපතිවරයා තරමක් නෝක්කාඩු ස්වරයෙන් කතා කරද්දී සජිත් පැහැදිලිවම කියා සිටියේ කාබනික පොහොර වගාවට තමන් හෝ තම පක්ෂය විරුද්ධ නැතැයි කියාය.
අපි විරුද්ධ නෑ… විරුද්ධ කරන විදිහටයි!
‘නෑ ජනාධිපතිතුමනි, මමවත්, මගේ පක්ෂයවත්, කාබනික පොහොර වගාවට විරුද්ධ නෑ, නමුත් අපි කියන්නේ මේ ක්‍රමවේදයේ ප්‍රශ්නයක් තියෙනවා කියලයි. එක පාරටම රසායනික පොහොර තහනම් කරපු එකෙන් ගොවීන් විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණදීලා තියෙනවා. තවම ඒ අයට පොහොර ලැබිලා නෑ. අස්වැන්න අඩුවෙලා. මේ විදියට ගියොත් ඉස්සරහට බරපතළ ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වේවි…’ යැයි කියමින් සජිත් සිය මතය පැහැදිලි කරද්දී ජනාධිපතිවරයා කියා සිටියේ එසේ නම් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට පැමිණෙන්න යැයි කියාය. එවිට සජිත් කියා සිටියේ තමන්ට ඒ පිළිබඳ තනි තීරණයක් ගත නොහැකි බවත්, ඒ පිළිබඳ පක්ෂය සමග සාකච්ඡා කොට හැකි ඉක්මනින් දැනුම් දෙන බවත්ය.
රන්ජන් ගැනත් සජිත් මතක් කරයි!
කෙසේ වෙතත් සාකච්ඡා අවසානයේදී සජිත් තවත් කාරණාවක් පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවූවේය. ඒ, දැනට සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීම පිළිබඳවය. එහිදී ජනාධිපතිවරයාද ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වමින් කියා සිටියේ තමන්ටද රන්ජන්ව නිදහස් කිරීමේ අවශ්‍යතාවක් ඇතැයි කියාය. ඉදිරියේදී ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට තමන් කටයුතු කරන බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සජිත්ට දැනුම්දීමට පියවර ගත්තේය.
සජිත්ට විතරක් නෙමෙයි රංජිත්ටත් කෝල් කරලා!
එදින පාර්ලිමේන්තුව පැවැති දිනයක් වූ බැවින් සජිත් උදෑසනම පාර්ලිමේන්තුවට පැමිණ සිය පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මේ පිළිබඳ දැනුම් දීමට පියවර ගත්තේය. සජිත් මේ කරුණ හෙළි කරද්දී පක්ෂ මහලේකම්වරයා වූ රංජිත් මද්දුමබණ්ඩාරද කියා සිටියේ ජනාධිපතිවරයා උදෑසන තමන්ටද ඇමතුමක් ලබාදී සාකච්ඡා සඳහා පැමිණෙන ලෙස ආරාධනා කළ බවකි.
ඩයනා පන්නන වාර්තාව පිටු දහස පන්නයි!
ඒ අනුව සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවැත්විණි. එහිදී පළමුවෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩලයට යොමු කෙරුණේ පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙස පත්වීම් ලබා පසුව 20 වැනි සංශෝධනයට සහාය දක්වමින් ආණ්ඩු පක්ෂයට එකතු වූ ඩයනා ගමගේ මහත්මියට සම්බන්ධ විනය කමිටු පරීක්ෂණ වාර්තාවය. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මෙම වාර්තාව පිටු දහසක්ද ඉක්මවා ගොස් තිබීමය. ඒ අනුව අදාළ විනය පරීක්ෂණ වාර්තාව පදනම් කරගෙන මැතිවරණ කොමිසමට ඩයනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ ලිපිය යොමුකිරීමටත්, ඊට අදාළ නීතිමය කටයුතු කරගෙන යාමත් රන්ජිත් මද්දුමබණ්ඩාරට පැවරිණි.
ජනපතිගේ ආරාධනාවට විරෝධය!
ඉන් අනතුරුව සාකච්ඡා කෙරුණේ පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සමගි ජන බලවේගයට සිදුකර ඇති නිල ආරාධනාව පිළිබඳවය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මන්ත්‍රීවරුන් අති බහුතරයක් ජනාධිපතිවරයා කළ මෙම ආරාධනාව ප්‍රතික්ෂේප කළ යුතු බවට සජිත් වෙත ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට සිටීමය.
‘දැන් ආණ්ඩුව පොහොර ප්‍රශ්නයෙන් නන්නත්තාර වෙලයි ඉන්නෙ. කාබනික පොහොර වැඩේ හොඳ වුණත් ආණ්ඩුව ඒක කරපු විදිය සම්පූර්ණ වැරැදියි. දැන් පොහොර නැතිව තේ කර්මාන්තයම කඩන් වැටිලා. වී ගොවියො, එළවළු ගොවියො ඉවරයි. දැන් ගොවියො බලන් ඉන්නෙ ආණ්ඩුවට එරෙහිව පාරට බහින්න රට අරිනකල්. ඉතින් ආණ්ඩුව හදන්නෙ අපිත් එක්ක සාකච්ඡා කරලා විපක්ෂයත් මේකට සපෝට් කියලා පෙන්වන්න. අපි ඒ උගුලට අහුවෙන්න හොඳ නෑ. අපි මේ යෝජනාව ප්‍රතික්ෂේප කරමු…’ යනුවෙන් මන්ත්‍රීවරුන් පිරිසක් කියද්දී තවත් පිරිසක් කියා සිටියේ රටේ ජනාධිපතිවරයා සිදු කළ ආරාධනාවක් නිසා එය එක් වරම ප්‍රතික්ෂේප කිරීම සුදුසු නැති බවය. ඒ අනුව ඔවුන් කියා සිටියේ සාකච්ඡා සඳහා ජනාධිපතිවරයාගේ ආරාධනාව පිළිගත යුතු යැයි කියාය.
යනවා නම් කොන්දේසි දාමු!
ඒ අනුව අවසානයේදී තීන්දු වූයේ සාකච්ඡාව සඳහා යන්නේ නම් ඊට කලින් කොන්දේසි ඉදිරිපත් කළ යුතු යැයි කියාය. එනම් සාකච්ඡාවේදී මතු කරන කරුණු සියල්ලම කල් තියා ප්‍රසිද්ධ කිරීමටත්, පොහොර ප්‍රශ්නයේදී ආණ්ඩුව අනාගත් සියලු තැන් එකින් එක සාකච්ඡාවට පෙර රට හමුවේ තැබීමටත් පිරිස තීන්දු කළහ.
පළාත් සභා එනවා!
පළාත් සභා මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවට එල්ල වෙමින් පවතින බලපෑම මේ වන විට ඇත්තේ දිනෙන් දිනම ඉහළ යමින්ය. විශේෂයෙන්ම විදේශ ඇමැති ජේ.එල්. පීරිස් මහතා ඇමෙරිකානු සංචාරය අතරතුරදී ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් මහතා මුණගැසුණු අවස්ථාවේදීද පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සහතිකයක් ලබාදීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රිංග්ලා මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී පවා පැවැති සෑම සාකච්ඡාවකදීම හෙතෙම උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අදහස් පළ කොට තිබිණි.
කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණය වේවා කුමන මැතිවරණයක් වේවා ඒ සියල්ල පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ නිසි බලධාරියා වී ඇත්තේ බැසිල් රාජපක්ෂය. ඒ අනුව බැසිල් සමග ඉන්දීය විදේශ ලේකම්වරයා පැවැත්වූ සාකච්ඡාවේදී මේ පළාත් සභා ඡන්ද මාතෘකාවද එළියට ඇදී ආවේය. එහිදී බැසිල් ඒ සඳහා ලබාදුන්නේ අපූරු පිළිතුරකි.
බැසිල්ගේ ස්ථාවරය!
‘අපි කැමැතියි ඕනෙ වෙලාවක ඡන්දය තියන්න. හැබැයි ඒකට බාධකයක් වෙලා තියෙන්නේ ගිය ආණ්ඩුව කාලෙ කරපු මිස්ටේක් එකක්. ඒකෙන් ඡන්දය තියන ක්‍රමය ගැන ප්‍රශ්නයක් තියෙනවා. අනෙක ආණ්ඩුව ඇතුළෙ ඉන්න සමහර පක්ෂ කැමැති නෑ පළාත් සභා ක්‍රමයට. එහෙම වුණොත් අපි පළාත් සභා ක්‍රමය තියන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළොත් මේ පක්ෂ ඒකට විරුද්ධ වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපට තුනෙන් දෙක ගන්න බැරි වෙයි…’ යනුවෙන් බැසිල් ඉන්දීය විදේශ ලේකම්වරයාට දැනුම්දී තිබිණි.
පණිවුඩය ඉන්දියාවෙන් දෙමළ සන්ධානයට!
කෙසේ වෙතත් මෙම සාකච්ඡාව නිමාවීමත් සමග ඉන්දීය විදේශ ලේකම්වරයා බැසිල්ගේ මෙම ස්ථාවරය පිළිබඳ මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කිරීමට කටයුතු කළේය. එම දැනුම්දීමත් සමග ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය එම පණිවුඩය දෙමළ ජාතික සන්ධානයට දැනුම් දීමට කටයුතු කළේය. ඒ සමගම සුමන්තිරන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ඇමතුමක් ලබාදී මෙහි වැඩිදුර තොරතුරු විමසා ආණ්ඩුව එවැනි ස්ථාවරයක සිටින්නේ නම් මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය තුනෙන් දෙකේ බහුතර බලය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය සූදානම් බව දැනුම් දීමට පියවර ගත්තේය. එමෙන්ම දෙමළ ජාතික සන්ධානය එය සමගි ජන බලවේගයට දැනුම් දීමටද පියවර ගත්තේය. එහිදී සමගි ජන බලවේගය පැත්තෙන්ද කියා සිටියේ ඊට අවශ්‍ය තුනෙන් දෙකේ බලය ආණ්ඩුවට ලබා දීමට තම පක්ෂයද සූදනම් බවත්, දිනේෂ්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මැතිවරණ සීමා නීර්ණය කොමිසමට ඒ පිළිබඳ දැනටමත් දැනුම්දී ඇති බවත්ය.
ෂ්‍රිංග්ලා ජනපතිට ජන්දය මතක් කරයි!
කෙසේ වෙතත් ඉන්දීය විදේශ ලේකම්වරයා ජනාධිපතිවරයා හමුවීමට ගියේ දෙමළ ජාතික සන්ධානය පැත්තෙන් ලැබුණු මේ තුනෙන් දෙකේ සහතිකයත් අතේ තියාගෙනය. ඒ අනුව සාකච්ඡාවේදී මැතිවරණ සම්බන්ධයෙන් වූ මාතෘකාව ඇදී ආ අවස්ථාවේදී ඉන්දීය විදේශ ලේකම්වරයා මේ තත්ත්වය ජනාධිපතිවරයාට දැනුම් දීමටද පියවර ගත්තේය. එම දැනුම්දීමෙන් පසු ජනාධිපතිවරයාද ඉන්දීය විදේශ ලේකම්වරයාට දැනුම්දී සිටියේ හැකි පළමු අවස්ථාවේදීම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නා බවකි.
ජනපති දිගටම වෙනස් වෙයි!
ජනාධිපතිවරයා දේශපාලනයට පැමිණීමට පෙර දැරූ යම් යම් දැඩි ස්ථාවරයන් මේ වන විට වෙනස් වෙමින් පවතින බව පසුගිය සති කිහිපය තිස්සේම අපි ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේම අනාවරණ කර සිටියෙමු. එහිදී අප පෙන්වා දුන්නේ ඇමෙරිකාවට යෑමට පෙර ජනාධිපතිවරයා සිටි ඇතැම් දැඩි ස්ථාවරයන් එම සංචාරය තුළදී වෙනස් කිරීමට පියවර ගෙන තිබූ බවකි. උදාහරණයක් ලෙස දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට සූදානම් බව, දෙමළ සිරකරුවන් නිදහස් කිරීමට සූදානම් බව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා සූදානම් බව එහිදී අපි පෙන්වා දුන්නෙමු.
ඇමෙරිකානු සංචාරය නිමවා ලංකාවට පැමිණීමෙන් පසුද ජනාධිපතිවරයා මෙතෙක් දැරූ ස්ථාවරයන් වෙනස් කොට ඇති ආකාරයක් පැහැදිලිවම දැකගන්නට ලැබිණි. ඒ, ජනාධිපතිවරයා හා යුරෝපා කොමිසමේ නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවේදීය. මෙම හමුව මිරිහානේ පිහිටි ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවෙසේ පැවැති අතර එහිදී ජනාධිපතිවරයා තමන් සිදුකිරීමට බලාපොරොත්තු වන කරුණු සහ මෙතෙක් සිදුකර ඇති දෑ යුරෝපා සංගමයේ අවධානයට යොමු කළේය.
යුරෝපා සංගමයට කියපු කතා!
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනයට අවශ්‍ය කමිටු පත්කර ඒවායේ වාර්තා අනුව අධිකරණ අමාත්‍යවරයාටත්, නීතිපතිතුමාටත් උපදෙස් ලබාදී ඇති බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති සංශෝධනය කළ යුතු වගන්ති සංශෝධනයට කඩිනම් පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා පැවැසීය. එලෙසම වර්තමාන ලෝකයේ මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඇති එකඟතාවන්ට අනුව කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කරනු ලැබීය.
කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකයට සිදු වූ බලපෑම සහ එමගින් රජය අපේක්ෂිත සම්පූර්ණ සැලසුම් ඉටුකර ගැනීමට එල්ල වූ බාධාවන්ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එසේ තිබියදීත් දීර්ඝ කාලීන යුද්ධය නිසා ඇතිවූ ගැටලු රැසකට විසඳුම් ලබාදීමටත් උතුරු – නැගෙනහිර පළාත් සංවර්ධනයට සේම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිලි කළේය. විශේෂයෙන් අතුරුදන් වූවන්ගේ පවුල්වලට සහන සැලසීමට සහ අතුරුදන් වූවන්ට වන්දි ගෙවීමට පියවර ගත් බව පෙන්වා දෙනු ලැබීය.
රටේ අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගැනීමට සහ රට ඉදිරියට ගෙන යාමට දෙමළ දේශපාලන පක්ෂ, දෙමළ ඩයස්පෝරාවේ සිටින පිරිස සහ විදෙස්ගත සියලු පාර්ශ්ව එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේදීද තමා සඳහන් කළ බවද ජනාධිපතිවරයා යුරෝපා නියෝජිතයන් හමුවේ කියා සිටියේය.
උද්ඝෝෂණවලට ගැහුවෙ නෑ!
සිවිල් සංවිධාන සමග අන්‍යෝන්‍ය අවබෝධයෙන් ක්‍රියාකරන අතර ඒවායේ සහාය රටේ සංහිඳියාවට සහ දියුණුවට ලබාගන්නා බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
පසුගිය දෙවසර තුළ පැවති උද්ඝෝෂණවලට කිසිඳු අවස්ථාවක බැටන් ප්‍රහාර, ජල ප්‍රහාර හෝ කඳුළු ගෑස් එල්ල නොකිරීමට උපදෙස් ලබාදුන් බවත්, උද්ඝෝෂණ සඳහා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට වෙනම ස්ථානයක් වෙන්කළ බවත් පෙන්වා දෙනු ලැබිණ.
රජය ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළද ඒවාට අවධානය යොමු නොවන අතර කුඩා සිදුවීමක් පාදක කරගනිමින් විවිධ පාර්ශ්ව සාවද්‍ය මතවාද ඇතිකිරීම කනගාටුදායක බව ජනාධිපතිවරයාා පැවසීය.
රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව කටයුතු කිරීමටත්, පෞද්ගලික අංශය වැඩිදියුණු කර රටේ සංවර්ධනයට දායක කරගැනීමටත්, ගුණාත්මක රාජ්‍ය සේවයක් සඳහා දියුණු රටවල තාක්ෂණ ක්‍රමෝපායන් අනුගත කිරීමටත් පියවර ගනිමින් සිටින බව ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පෙන්වා දුන්නේය.
රිෂාඩ්ගෙන් පාර්ලිමේන්තුව කැලඹෙයි!
පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීම ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේ මේ වන විට බන්ධනාගාරගත කොට සිටින රිෂාඩ් බදුර්දීන් මහතා සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයත්, විපක්ෂයත් අතර දැඩි වචන හුවමාරුවක් සිදුවීම මුල්කරගෙනය. මෙහිදී රිෂාඩ් සම්බන්ධ ප්‍රශ්නය කරළියට පැමිණියේ අඟහරුවාදා දිනයේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාත්, බදාදා දිනයේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාත් කතානායකවරයාගෙන් රිෂාඩ් පිළිබඳ මතුකර තිබූ වරප්‍රසාද ප්‍රශ්න මුල් කරගෙනය. එහිදී රනිල් කියා තිබුණේ චෝදනා ගොනු කිරීමකින් තොරව රිෂාඩ් රඳවාගෙන සිටින බවත්, එය නීත්‍යනුකූල නොවන බවත්ය. කිරිඇල්ලටද රිෂාඩ්ගේ මන්ත්‍රී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් ශාරීරික අවශ්‍යතා පවා රිෂාඩ්ට ඉටුකර ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවත්, පිටතින් කෑම රැගෙන ඒමට දී තිබූ අවස්ථාව අහිමි කර ඇති බවත් කියා සිටියේය.
නීතිපතිවරයාගේ මතය සභාවට නොකියයි!
කෙසේ වෙතත් බ්‍රහස්පතින්දා දිනයේදී ඒ සම්බන්ධයෙන් කතානායකවරයා පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ නීතිපතිවරයා තමන් වෙත රිෂාඩ් සම්බන්ධයෙන් වන මතය දැනුම්දී ඇති බවය. ඒ අනුව කිරිඇල්ල කියා සිටියේ එසේ නම් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න යැයි කියාය. නමුත් පාර්ලිමේන්තුවට නීතිපතිවරයාගේ එම මතය ඉදිරිපත් කළ නොහැකි බවත්, අවශ්‍ය නම් තමා අසලට පැමිණියහොත් එම මතය පෙන්විය හැකි බවත් කතානායකවරයා කිරිඇල්ලට දැනුම් දීමත් සමග විපක්ෂය ඊට එරෙහිව මත පළ කරන ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව අවසානයේදී තීන්දු වූයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පවත්වා රිෂාඩ් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය.
කිව්වේ එකම එක වාක්‍යයයි!
මෙම පක්ෂ නායක රැස්වීමට ආණ්ඩුව නියෝජනය කරමින් බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායමක්ද, විපක්ෂය නියෝජනය කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල, අනුර කුමාර, රිෂාඩ් බදුර්දීන්, රවුෆ් හකීම්, එම්.ඒ. සුමන්තිරන් ඇතුළු කණ්ඩායමක් සහභාගි වී සිටියහ. මෙහිදී පළමුවෙන්ම රිෂාඩ් සම්බන්ධ නීතිපති මතය කතානායකවරයා විසින් පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කරනු ලැබීය. එහිදී දැකගත හැකි වූ විශේෂ සිදුවීම වූයේ එක් වාක්‍යයක් පමණක් රිෂාඩ් සම්බන්ධයෙන් නීතිපතිවරයා සිය මතය වශයෙන් ප්‍රකාශ කොට තිබීමය. එහිදී සඳහන්ව තිබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පරීක්ෂණ සිදුකෙරෙන බැවින් තවදුරටත් මන්ත්‍රීවරයා රඳවා තබාගත යුතු බවකි.
සුමන්තිරන්ගෙන් චෝදනා වැළක්!
මෙහිදී මුලින්ම ඊට විරෝධය පළකරමින් කතා කළේ එම්.ඒ. සුමන්තිරන්ය. සුමන්තිරන් කියා සිටියේ එසේ චෝදනා රහිතව රඳවා තබාගැනීම වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් යැයි කියාය. කිරිඇල්ලද ඊට එක්වෙමින් රිෂාඩ්ගේ කෑම ප්‍රශ්නයද, ශාරීරික අවශ්‍යතා ඉටුකරගැනීමේ ප්‍රශ්නයද පිරිසගේ අවධානයට යොමු කළේය. රිෂාඩ්ද එය සත්‍යයක් බව පිරිසට පෙන්වා දුන්නේය.
ඒ අනුව ජොන්ස්ටන් ඒ අවස්ථාවේදීම බන්ධනාගාර නිලධාරීන්ට කතා කොට මේ කතාවේ ඇත්ත නැත්ත සොයා බැලීමට පියවර ගත්තේය. එහිදී බන්ධනාගාරය පැත්තෙන් කියැවුණේ කොරෝනා තත්ත්වය හේතුවෙන් පිටතින් කෑම රැගෙන ඒම අත්හිටුවා ඇති බවත්, ලබන 15 වැනිදායින් පසු නැවත ඊට ඉඩ ලබාදෙන බවත්ය.
කෙසේ වෙතත් මෙහිදී ජොන්ස්ටන් බන්ධනාගාර ජීවිතය පිළිබඳ සිය අත්දැකීම්ද පිරිසට විස්තර කර දුන්නේය.
ජොනී හිරේ අත්දැකීම් කියයි!
‘හිරේ ඇතුළෙ ඉඳිද්දී එහෙම තමයි. අපිත් ගිය ආණ්ඩු කාලෙ හිරේ හිටියා. අපි එක පැදුරේ තුන්දෙනෙක් නිදාගත්තා. කන්න නෑ. ටොයිලට් යන්න විදියක් නෑ. ඒ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවටවත්, කතානායකවරයාටවත් මොනවත් කරන්න බෑ. ඕනෙ නම් අධිකරණ ඇමැතිවරයාට කතා කරලා සහනයක් ගන්න බලන්න. එහෙම නැතිව පාර්ලිමේන්තුවට කරන්න දෙයක් නෑ…’ යනුවෙන් ජොන්ස්ටන් කියද්දී ඊට එරෙහිව සුමන්තිරන් කරුණු දක්වන ආකාරයක් දැකගත හැකි විය.
ජාත්‍යන්තර කතාවකින් බැසිල්ට යකා නගී!
‘එහෙම කරන්න බෑ. දැන් මේක ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත්වෙලා ඉවරයි. පසුගිය දවස් ටිකේ ලංකාවට ආපු යුරෝපා නියෝජිතයනුත් ඉන්දීය නියෝජිතයනුත් මේ ගැන ඇසුවා…’ යැයි සුමන්තිරන් කියද්දී බැසිල්ගේ රතු කට්ට පැන්න ස්වරූපයක් දැකගත හැකි විය. ඒ ජාත්‍යන්තර කතාවක් සුමන්තිරන්ගේ කටින් පැනීමත් සමගය.
‘ඒක මාර ජාත්‍යන්තරයක්නේ. රිෂාඩ් විතරද ඔය ජාත්‍යන්තරයට ඉන්නේ. අපට ඔය ජාත්‍යන්තරය නැද්ද? අපිව හිරේ විලංගුවේ දාලා තියාගෙන ඉද්දී ඔය ජාත්‍යන්තරය හිටියෙ කොහෙද? මාව හිරේ දැම්මෙ මහ රෑ නඩු අහලා…’ යනුවෙන් බැසිල් කියද්දී සුමන්තිරන්ද ඊට පිළිතුරු ලබාදීමට යෑමෙන් දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවන ආකාරයක් දැකගන්නට ලැබිණි.
බැසිල් ගෙනා අලුත් යෝජනාව!
කෙසේ වෙතත් තත්ත්වය තරමක් සමතයකට පත්වීමෙන් පසු බැසිල් සුමන්තිරන්ට පවතින තත්ත්වය යළි පැහැදිලි කරදීමට පියවර ගත්තේය. එහිදී බැසිල් කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකළ යුතු ක්‍රමවේදය පිළිබඳ නිශ්චිත නීතිරීති නැතැයි කියාය.
‘අපි ඔක්කොම මේක තේරුම් ගන්න ඕනෙ. අද ඔය පැත්තෙ කට්ටියට ඔහොම වෙන්න පුළුවන්. හෙට මේ පැත්තෙ කට්ටියට එහෙම වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණා කියලා පාර්ලිමේන්තුවට කරන්න පුළුවන් දෙයක් නෑ. අත්අඩංගුවට ගනිද්දී කතානායක දැනුවත් කිරීමක් කරනවා විතරයි. එතැනින් පස්සේ සිද්ධ වෙන කිසිම දේකට පාර්ලිමේන්තුවට මැදිහත් වෙන්න බෑ. ඒකට අපි දෙගොල්ලො මෙතන ගහ මරාගෙන වැඩක් නෑ. එහෙම නම් ඔක්කොම එකතු වෙලා යෝනාවක් ගේමු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත්තට පස්සේ මේ මේ ක්‍රමවේදය අනුගමනය කළ යුතුයි කියලා. එතකොට ඔය ප්‍රශ්නය ඉවරයි…’ යනුවෙන් බැසිල් පැවැසීමත් සමග එම මාතෘකාව අවසන් විය.
ජොනී රිෂාඩ්ගේ කරට අතදාගනී!
කෙසේ වෙතත් සාකච්ඡාව අවසන් වී ජොනී එළියට පැමිණෙද්දී පිටුපසින් පැමිණි රිෂාඩ්, ‘ජොනී ජොනී…’ යැයි කියමින් ජොනීව නවතාගෙන ඔහු සමග කතා කිරීමට පියවර ගත්තේය. එහිදී රිෂාඩ් කියා සිටියේ තමන්ට ජොන්ස්ටන් සමග කිසිදු පෞද්ගලික ප්‍රශ්නයක් නොමැති බවත්, තමන් චෝදනාවක් නැතිව හිරේ විලංගුවේ වැටී සිටින බවත්ය. ඊට පිළිතුරු දෙමින් ජොනීද රිෂාඩ්ගේ කරට අතදා ගනිමින් කියා සිටියේ තමන්ටද රිෂාඩ් සමග පෞද්ගලික ප්‍රශ්නයක් නැති නමුත් විපක්ෂය රිෂාඩ් යොදාගනිමින් කරන දේශපාලනයට තමන් විරුද්ධ බවය.