පාර්ලිමේන්තු භෝජනාගාර අංශයෙන් මස් මාළු බිත්තර කරවල වැනි ආහාර ද්‍රව්‍ය පිට කිරීමේ සිද්ධීන් පෙර නොවූ විරූ ලෙස වැඩිවී ඇතැයි වාර්තා වේ.
මෙලෙස ආහාර ද්‍රව්‍ය පිට කිරීම නිසා රජයට වාර්ෂිකව අතිවිශාල පාඩුවක් සිදුවන බව ගණන් බලා ඇත.
මස් මාළු කරවල බිත්තර වැනි ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ යෑම සමග සමහර සේවකයන් එම ද්‍රව්‍ය හොර රහසේ සිය නිවෙස්වලට දිනපතාම පාහේ රැගෙන යන බව තතු දත් ආරංචි මාර්ග තොරතුරු අනාවරණය කළේය.
සමහර නිලධාරීන් මේ සම්බන්ධයෙන් පාලිමේන්තු ප්‍රධානින්ට දැනටමත් පැමිණිලි කර ඇත.
තැම්බූ බිත්තර පසුගිය දිනවල ඉතා විශාල වශයෙන් රැගෙන ගොස් ඇති බව පවසන එම ආරංචි මාර්ග පිසූ ආහාරවලට අමතරව වියළි ආහාර ද්‍රව්‍යද පාර්ලිමේන්තුවෙන් පිට කරන බව ප්‍රකාශ කළේය.
සිය ගමන් මලුවල සඟවාගෙන මේ ද්‍රව්‍ය මෙලෙස රැගෙන යන හෙයින් ගමන්මලු නිසිආකාරව පරික්ෂා කෙරෙන්නේ නම් මෙවැනි අක්‍රමිකතා වළක්වා ගත හැකි බව පාර්ලිමේන්තු නිලධාරීහු පිරිසක් අප සමග පැවසූහ.
පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු ප්‍රධානීන් මෙවැනි අක්‍රමිකතා වැලැක්වීමට නිරන්තරව උපදෙස් ලබාදෙමින් විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබුණද ආහාර පිට කිරීම සූක්ෂම ආකාරයට දිගින් දිගටම සිදුවන බව තතු දත් අය පෙන්වා දෙති.
ආපනශාලා සහ මුළුතැන්ගෙය ආශ්‍රිතව විශේෂිත ආරක්ෂක ජාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නේ නම් මෙවැනි අක්‍රමිකතා වැළැක්වීමට හැකි බවද ඔවුහු සඳහන් කරති.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු ප්‍රධානියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ආහාර ද්‍රව්‍ය සූක්ෂම ආකාරයට යම් යම් ප්‍රමාණවලින් පිට කිරීම දිගින් දිගටම සිදුවන්නේ යැයි තමා පිළිගන්නා බවයි.
මේ සම්බන්ධයෙන් සොයා බලා තොරතුරු වාර්තා කරන ලෙස අදාල නිලධාරීන්ට දැනටමත් දැනුම්දී ඇතැයිද ඔහු සඳහන් කළේය. -ලංකාදීප










