2011 වසරේදී ක්‍රිකට් ලෝක කුසලානය මුදලට පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කර තිබූ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වනවිට ඉහළ පෙළේ පරීක්ෂණයක් ආරම්භ වී ඇති බව වාර්තා වේ.
ඉකුත් යහපාලන ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන්ම කටයුතු කළ හරීන් ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද දූෂණ වැළැක්වීම සම්බන්ධයෙන් වූ නව පනත යටතේ මෙම පරීක්ෂණය ආරම්භ වී ඇති බව දැනගන්නට ඇත.
මෙම නව පනත යටතේ එකී විමර්ශන ආරම්භ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා නීතිපතිවරයාගෙන් ලබාගෙන ඇති උපදෙස්වලින් අනතුරුව මෙකී විමර්ශනය ආරම්භ වී ඇති බව වාර්තා වේ.
මෙම පරීක්ෂණ කමිටුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ෆොන්සේකා මහතා යටතේ ක්‍රියාත්මක බවද දැනගන්නට ඇති අතර පරීක්ෂණයේ අවසන් වාර්තාව නීතිපතිවරයා වෙත මුලින්ම ලබා දීමට සැලසුම් කර ඇති බවද පැවසේ.
කෙසේවෙතත් මෙම විමර්ශනයේ ඇති විශේෂත්වය වන්නේ නව පනත යටතේ මෙම පරීක්ෂණ සිදු කරන විට අසත්‍ය චෝදනාවන් ඉදිරිපත් කරන්නවුන් හට දඩුවම් ලබා දීමට හැකි පරිදි පනත සකස් කර තිබීමය.
ඒ අනුව යම් හෙයකින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා එල්ල කළ චෝදනාව අසත්‍ය බව ඔප්පු වුවහොත් ඔහුට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ අවදානමක්ද මේ වන විට මතුව ඇත.










