පළාත් පාලන මැතිවරණය කෙසේ හෝ කල් දමා ගැනීමේ අරමුණින් ආණ්ඩුව විසින් හෙට දිනයේ ව්‍යවස්ථාදායක සභාව පත්කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් කැදවීමට පියවර ගෙන ඇත.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාව හෙට පස්වරු 4.30ට සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට සැලසුම් කොට ඇති බව වාර්තා වේ.
මෙම සාකච්ඡාවට කතානායකවරයාට අමතරව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාද, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද සහභාගී වීමට නියමිතය.
මෙහිදී කෙසේ හෝ ව්‍යවස්ථාදායක සභාවට පත් කිරීමට නියමිත සිවිල් පුරවැසියන් තිදෙනා සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට ආණ්ඩුවේ පාර්ශ්වයන්ට අවශ්‍යව ඇති බවක් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ, ව්‍යවස්ථාදායක සභාව ක්‍රියාක්මක වීම සදහා සිවිල් නියෝජිතයන් තිදෙනාගේ නම් පාර්ලිමේන්තුව හරහා යෝජනාවක් මගින් සම්මත වීමට අවශ්‍යව තිබීම හේතුකොටගෙනය.
ලබන ජනවාරි 17 වැනි දිනට කැදවීමට නියමිතව තිබූ පාර්ලිමේන්තුව කඩිමුඩියේ ලබන 5 වැනිදාට කැදවීමට ආණ්ඩුව සැලසුම් කර ඇත්තේද මෙම නම් 3 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමේ අරමුණ ඇතිව බව පැවසේ.
මෙසේ කඩිනමින් ව්‍යවස්ථාදායක සභාව පත්කරගැනීම හරහා පළාත් පාලන මැතිවරණය කල්දමා ගැනීමට පොටක් පාදා ගැනීම ආණ්ඩුවේ අරමුණ වී ඇති බව විපක්ෂ දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හා විපක්ෂයේ පක්ෂ නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වී ඇති අතර මෙහිදීද මේ සම්බන්ධයෙන් දීර්ඝඝ සාකච්ඡා වී ඇති බවක් දැනගන්නට ඇත.