මෙවර අප තවත් රහසක් රාජ්‍ය රහස් තීරය ඔස්සේ හෙළිකිරීමට සූදානම්ය. ඒ මුල්ලේරියාව රෝහලේ පැවැති පී.සී.ආර්. යන්ත්‍රය බිඳවැටීම සම්බන්ධයෙන්ය. චීන පරිත්‍යාගයක් ලෙස ලැබී තිබූ මෙම පී.සී.ආර්. යන්ත්‍රය කොරෝනා දෙවැනි රැල්ල ආරම්භ වීමත් සමඟ විශාල වශයෙන් ප්‍රයෝජනයට ගත් අතර පසුගිය සතියේ මේ යන්ත්‍රය ක්‍රියාවිරහිත වීමත් සමඟ පී.සී.ආර්. කිරීම සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයකට මුහුණදීමට ආණ්ඩුවට සිදුවිය. ඒ අනුව රට ඇතුළේ බරපතළ ප්‍රශ්නයක් මතුවූවා පමණක් නොව පී.සී.ආර්. පරීක්ෂණ පිළිබඳව කිසිවකුත් වග නොකියන තත්ත්වයක්ද මතුවන ආකාරයක් දැකගත හැකි විය.
ඒ අනුව මේ පිළිබඳව සියල්ලන්ම මුනිවත රකිද්දී එහි අවදානම හරියටම වටහාගෙන සිටි හමුදාවේ විශේෂ අංශයක් එම පී.සී.ආර්. යන්ත්‍රය යළි පණගන්වන මෙහෙයුමට අත තිබ්බේය. ඒ අනුව ඔවුන් මුල්ලේරියා රෝහලට ගොස් එම යන්ත්‍රය පිළිබඳව සොයා බලා එය නිෂ්පාදනය කරන ලද චීන සමාගමත් සමඟ අන්තර්ජාලය ඔස්සේ සජීවීව අදහස් හුවමාරු කර ගැනීමට පියවර ගත්තත්, එය අලුත්වැඩියා කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැත. ඒ අනුව අවසානයේදී තීන්දු වූයේ එම යන්ත්‍රය අලුත්වැඩියා කිරීම සඳහා චීන තාක්ෂණවේදීන් මෙරටට ගෙන්වා ගැනීමටය. ඒ අනුව එම හමුදා අංශය සිය ප්‍රධානියාට මේ සම්බන්ධයෙන් දැනුම්දීමෙන් අනතුරුව හෙතෙම ඒ පිළිබඳව හමුදාපතිවරයා දැනුවත් කිරීමට පියවර ගත්තේය. හමුදාපතිවරයා එය ජනාධිපතිවරයා වෙත දැනුම්දීමෙන් පසු අවසානයේදී තීන්දු වූයේ අදාළ පී.සී.ආර්. යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය අත්‍යවශ්‍ය වන හෙයින් කෙසේ හෝ චීන තාක්ෂණවේදීන් මෙරටට ගෙන්වා ගැනීමටය. ඒ අනුව මෙරට චීන තානාපති කාර්යාලය හා සාකච්ඡාවක් ආරම්භ වූ අතර ඔවුන් දැනුම් දී සිටියේ ඒ සම්බන්ධ චීන තාක්ෂණවේදීන් ලබාදීමට හැකියාව ඇතැයි කියාය. පසුව වහාම විශේෂ ගුවන් යානයක් චීනය බලා පිටත් කෙරුණු අතර, එමඟින් චීන තාක්ෂණවේදීන් මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගැනිණ. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ අදාළ ගුවන් යානය එම චීන තාක්ෂණවේදීන් දෙදෙනා පමණක් රැගෙන මෙරටට පැමිණීමය.
ඒ අනුව ලංකාවට පැමිණි වහා ඔවුන් දෙදෙනා මුල්ලේරියාව රෝහලට ගොස් එම චීන පී.සී.ආර්. යන්ත්‍රය මුල සිට අගට පරීක්ෂා කර බැලීමට පියවර ගත්හ. එක දිගට පැය 10ක් පුරා යන්ත්‍රයේ තත්ත්වය පරීක්ෂා කළද එහි ඇති වැරැද්ද කුමක්ද කියා නිශ්චය කර ගැනීමට ඔවුනටද නොහැකි විය. ඒ අනුව ඔවුන්ට වැටහී ගියේ යන්ත්‍රයේ දෝෂයක් නොමැති බවත්, යන්ත්‍රය තබා ඇති මේසය සහ ආනතියේ ගැටලුවක් පවතින බවත්ය. ඒ අනුව එය නිසි අයුරින් සකස් කිරීමත් සමඟ පී.සී.ආර්. යන්ත්‍රය නැවැතත් සිය රාජකාරි ආරම්භ කරනු දැකගන්නට ලැබිණ.
කපිල පුංචිමාන්නගේ