පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස ඊයේ (10) මාතලේ දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනතා ගැටළු රැසකට එසැණ විසඳුම් දුන්නේය.
මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිව සිටියදී ඇරඹි රයිතලාව පාලමේ ඉදිකිරීම් නිම කිරීමට පසුගිය රජය අසමත්වීම නිසා තමන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි ගම්වාසීහූ ජනාධිපතිතුමාට කීහ. එබැවින් අඹන්ගං කෝරළයේ ප්‍රාදේශීය සභාව සහ පල්ලේතැන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අතර ගමනාගමනයට කි.මි 15ක අමතර දුරක් යාමට සිදුව ඇතැයි ජනතාව පෙන්වා දුන්හ. කයිකාවල, කුඹල්තොට මාර්ගයේ ඉදිකිරීම් ද ඇණ හිට ඇත. මහා මාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.ආර්. පේමසිරි මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගත් ජනාධිපතිතුමා පාලමේ සහ මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස උපදෙස් දුන්නේය.
පුටු මේස ලබා දෙන ලෙස මැටිහක්කල මොන්ටිගොල්ල ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් පිරිසක් කළ ඉල්ලීම ද දුරකථනය ඔස්සේ අධ්‍යාපන අමාත්‍යවරයා දැනුවත් කර විසඳීමට ජනාධිපතිතුමා පියවර ගත්තේය.
විසල් මාතලේ උප ජල යෝජනා ක්‍රමය පුළුල් කර ලග්ගල ආසනයේ ජල ගැටළුවට විසඳුම් දෙන ලෙසත්, ගම්වාසී දරුවන්ට පරිගණක තාක්ෂණික දැනුම අත්කර ගැනීමට ඊ-නැණසල ව්‍යාපෘතිය නැවත සවිබල ගන්වන ලෙසත් ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.
සමන් විජේනායක මහතා ලග්ගල, අඹන්ගගල මැටිහක්ක මහජන ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජන හමුවට එක් වූ ජනාධිපතිතුමා වෙත මේ යෝජනා ඉදිරිපත් කෙරිණ.
ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල සති වෙළෙඳපොළ භූමියේ සංවිධාන කර තිබූ ජන හමුවකද ජනාධිපතිවරයා සහභාගී විය. ප්‍රදේශයේ ගොවීන් කෘෂිකර්මාන්තය වෙනුවෙන් දක්වන කැපකිරීම එහිදී ජනාධිපතිවරයා අගය කළේය.
දඹුල්ල නගර සභාවේ මූලිකත්වයෙන් සිදුකරන රංගිරි ජීව හරිත කාබනික පොහොර නිෂ්පාදනාගාරයේ මෙහෙයුම් පිළිබඳව ද ජනාධිපතිවරයා එහිදී දැනුවත් කෙරිණි. එමගින් මාතලේ සහ දඹුල්ල ප්‍රදේශවලට කාබනික පොහොර ටොන් 03 බැගින් දිනපතා සැපයේ. ප්‍රදේශයේ කසළ කළමනාකරණ ව්‍යාපෘතිය සංවර්ධනයට සහය වුවහොත් මධ්‍යම පළාතට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය නිෂ්පාදනය කළ හැකි බව නාගරික මන්ත්‍රීවරු සඳහන් කළහ.
නාගරික සංවර්ධන අධිකාරිය, පුරාවිද්‍යා සහ වනජීවි දෙපාර්තමේන්තුව අතර ඇති පරස්පර අදහස් හේතුවෙන් සීගිරිය ආශ්‍රිත ඉඩම් ආරවුල් දීර්ඝ කාලයක සිට විසඳී නැති බව ජනතාව ජනාධිපතිවරයා සමග පැවසූහ. ඉන් සංචාරක ව්‍යාපාරයට වන අහිතකර බලපෑම ඔවුහු පෙන්වා දුන්හ.
ඉදිකෙරෙමින් පවතින ශිතාගාරයේ වැඩ කඩිනමින් නිම කර දෙන ලෙස ද ගොවීහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
මොරගහකන්ද ව්‍යාපෘතිය නිසා ඉඩම් අහිමිවීමෙන් උද්ගත ගැටළු සහ පානීය ජල ප්‍රශ්නය මෙන්ම අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් වල අඩුපාඩු පිළිබඳව ද ලග්ගල ප්‍රදේශවාසිහූ ජනාධිපතිතුමා දැනුවත් කළහ. තිලක් බණ්ඩාර මහතා ලග්ගල බස් නැවතුම්පළ අසල සංවිධාන කර තිබූ ජනහමුවට සහභාගී වූ ජනාධිපතිතුමාට ජනතාව මේ බව දන්වා සිටියහ.
ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා ලග්ගල නාවුල ප්‍රදේශයේ සංවිධාන කළ ජනහමුවට ද ජනාධිපතිතුමා සහභාගී විය. මාතලේ සංවර්ධන සැලැස්ම යෝජනාවලිය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණග
අඹන්ගග කෝරළයේ ප්‍රාදේශීය සභාවෙන් සැපයෙන ජලය පානයට නුසුදුසු බව මාතලේ තොටගමුවල පලාපත්වල ජනතාව ජනාධිපතිතුමා සමග පැවසූහ. ගැටළුව පිළිබඳව නිලධාරීන් දැනුවත් කර පිළියම් යෙදීමට උපදෙස් දෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය. නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා මාතලේ පලාපත්වල සංවිධාන කළ ජනහමුවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.
රෝහණ දිසානායක මහතා මාතලේ නගරයේ ළමා උද්‍යානය අසළ සහ සමන්ත ධර්මසේන මහතා රත්තොට, උකුවෙල ප්‍රදේශීය සභා රථගාල ඉදිරිපිට සංවිධාන කළ ජනහමුවලට ද ජනාධිපතිතුමා සහභාගී විය.
ගත වු කාලය තුල ජනාධිපතිතුමා රට වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග රැස්ව සිටි ජනතාවගේ මහත් පැසසුමට ලක් විය.












