ගෙවෙමින් පවතින්නේ දේශපාලනයේ අතිශය තීරණාත්මක හෝරාවන් කිහිපයකි. ඒ සඳහා හේතු වී ඇත්තේ ආණ්ඩුව පමණක් නොව විපක්ෂයත් මේ වන විට විවිධ සම්මන්ත්‍රණ, කුමන්ත්‍රණ, සතරකන් මන්ත්‍රණ, රහස් හමුවීම් ආදිය පවත්වමින් තම තමන්ගේ බලය තහවුරු කරගැනීමට මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කරමින් සිටීම නිසාය. විශේෂයෙන්ම ආණ්ඩුව ඇතුළේ මේ වන විට කණ්ඩායම් කිහිපයක්ම නිර්මාණය වී එළිපිට ගැටුම් ඇතිකරගන්නා ආකාරයක් දැකගන්නට තිබේ. ඒ සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන හවුල්කාර පක්ෂ දහයය. ශ්‍රීලනිපයත් ආණ්ඩුව සමග සිටියද මේ වනවිට එක කකුලක් තියාගෙන සිටින්නේ මේ කියන විමල් පිලත් එක්කය.
පසුපෙළ ඇතුළේ ගැටුමක්! ප්‍රමිතට පහර දීමේ සූදානමක්!
මේ අර්බුදය මැද පසුගිය සතිය වන විට ආණ්ඩුවේ පසුපෙළ නියෝජනය කරන ප්‍රධාන චරිතයක් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ආණ්ඩුවේ වත්මන් ගමන විවේචනය කරමින් ප්‍රබල ප්‍රකාශයක් කිරීමට පියවර ගත්තේය. එම පුවත අප වෙබ් අඩවිය වන www.mawratanews.lk වෙබ් අඩවියේ පළකිරීමටද පියවර ගත්තෙමු. එහිදී ප්‍රමිත කියා සිටියේ දැනට රට තුළ ප්‍රශ්න ගණනාවක් උද්ගතව ඇති බවත්, වහාම ආණ්ඩුව එම ප්‍රශ්න විසඳීමට කටයුතු කළ යුතු බවත්, එසේ කළ නොහැකි නම් ඊට හේතු රටට ඉදිරිපත් කළ යුතු බවත්ය. ආණ්ඩුවේ පසුපෙළ සිටින්නේ ආණ්ඩුවට ප්‍රශස්ති ගායනා කිරීමටම නොවන බව කී ප්‍රමිත, ආණ්ඩුව ප්‍රශ්න විසඳන්නේ නැත්නම් තරුණ මන්ත්‍රීවරුන්ටද තීන්දුවක් ගැනීමට සිදුවන බවද කියා සිටියේය.
ප්‍රමිතගේ කතාවට දෙපැත්තෙන්ම අදහස්! වට්ස්ඇප් ගෲප් එකේ චෝදනාවක්!
ප්‍රමිත කළ මෙම ප්‍රකාශය අප වෙබ් අඩවියේ පළවීමත් සමග ආණ්ඩුවේ පසුපෙළ නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම ප්‍රමිතට කතා කොට ඒ ආකාරයෙන් අදහස් දැක්වීම සම්බන්ධයෙන් විරෝධය පළකිරීමට පියවර ගෙන තිබිණි. එපමණක් නොව, ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් සම්බන්ධව සිටින වට්ස්ඇප් කණ්ඩායමේ පණිවුඩ තබමින් පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම ප්‍රමිතගේ මෙම ක්‍රියාව විවේචනය කිරීමටද කටයුතු කොට තිබිණි. කෙසේ වෙතත් ප්‍රමිතද තමන් එසේ අදහස් දැක්වීමට බලපෑ හේතු සඳහන් කරමින් යම් පැහැදිලි කිරීමක් කර තිබූ අතර, ඊට පක්ෂව මෙන්ම විපක්ෂවද අදහස් පළවී තිබූ ආකාරයක් එහිදී දැකගත හැකි විය. කෙසේ වෙතත් පසුපෙළ දෙතුන් දෙනකු පමණක් මෙසේ ප්‍රමිතට එරෙහිව අදහස් දැක්වීමට කටයුතු කර තිබුණත් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු මෙන්ම පසුපෙළ මන්ත්‍රීවරුන් රැසක්ද ප්‍රමිතට කතාකොට එසේ ඇත්ත කතා කිරීම සම්බන්ධයෙන් ඔහුට ප්‍රශංසා කිරීමටද කටයුතු කර තිබීම විශේෂ සිදුවීමක් විය.
කීපදෙනෙක් ඉහළින් අදහස් අරන්!
කෙසේ වෙතත් ප්‍රමිතගේ මෙම සිදුවීම එතැනින් අවසන් කිරීමට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ කිහිප දෙනා සූදානම් වූයේ නැත. ඒ අනුව ඔවුන් සැලසුම් කළේ අඟහරුවාදා පැවැත්වීමට නියමිත ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රමිතට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමටය. ඒ බව ඔවුන් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනකුට කල් තියා දැනුම් දීමටද කටයුතු කර තිබිණ. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ එම ජ්‍යෙෂ්ඨයන් දෙදෙනා ඔවුන්ගේ එම කටයුත්තට ‘හා‘ හෝ ‘එපා‘ යැයි කියා නොකීමය. එසේ එපා යැයි නොකීම නිසා පසුපෙළෙහි මෙම මන්ත්‍රීවරුන් දෙතුන් දෙනා ප්‍රමිතට පහර දෙන වැඩේ සැලසුම් කිරීමට පියවර ගත්හ. අඟහරුවාදා දින අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් එක් මන්ත්‍රී කණ්ඩායමක් රැස්වීමක් පෙරවරුවේත්, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තවත් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පස්වරුවේත් කැඳවා තිබූ නිසා ජනාධිපතිවරයාගේ රැස්වීමේදී මෙම ප්‍රමිතගේ ප්‍රශ්නය එළියට ගැනීමටද ඔවුන් තීරණය කර තිබිණි.
මන්ත්‍රීවරුන්ට කිසිම ප්‍රශ්නයක් නෑ! දෙපාරක් ඇහුවත් ‘හ්ම්’ නෑ!
කෙසේ වෙතත් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරවරුවේ පැවැති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී වැඩි දෙයක් කතාබහට ලක්වූයේ නැත. අලි සබි්‍ර විසින් සතියට අදාළ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් පසු අගමැතිවරයා මන්ත්‍රීවරුන්ට දැනුම් දී සිටියේ තමන්ට ඇති ප්‍රශ්න ඉදිරිපත් කරන්නැයි කියාය. වෙනදා නම් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අගමැතිවරයා මෙම ප්‍රකාශය කිරීමෙන් අනතුරුව ඇමැතිවරුන් පමණක් නොව මන්ත්‍රීවරුන්ද නොනවත්වාම තෙල් ප්‍රශ්න, ගෑස් ප්‍රශ්න, පොහොර ප්‍රශ්න, විදුලි ප්‍රශ්නය ආදී ගමට බලපාන ප්‍රශ්න ගැන නොනවත්වා කතා කළද, එදින කිසිදු අයකු ‘හ්ම්’ වචනයක් හෝ නොකියා නිශ්ශබ්දව සිටීම එහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීමක් විය. මැති ඇමැතිවරුන්ගේ මේ නිහඬ බව නිසාම පුදුමයට පත්වූ මහින්ද තවත් වරක් ප්‍රශ්න තිබෙනවාදැයි කියා විමසා සිටියත්, ඒ අවස්ථාවේදීද මැති ඇමැතිවරුන් සියල්ලක්ම වචනයක් හෝ නොකියා නිහඬව සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ නිසාම මහින්ද මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් කිරීමට පියවර ගත්තේය.
නිශ්ශබ්දය භයානක පණිවුඩයක්ද?
ඒ අනුව මෙම රැස්වීම අවසන් වූ වහා ජ්‍යෙෂ්ඨයන් අතර ගිය කසුකුසුවකින් කියැවුණේ මන්ත්‍රී කණ්ඩායම සද්දෙ දානවාට වඩා මෙසේ නිශ්ශබ්දතාව සිටීම හරහා විශාල පණිවුඩයක් අගමැතිවරයාට ලබාදී ඇතැයි කියාය. එය හොඳ සංඥාවක් නොවන බවද එහිදී කියැවිණි. එමෙන්ම මෙම මන්ත්‍රීවරුන් සවස පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයාගේ රැස්වීමේදී අදහස් දැක්වීමට සූදානමින් සිටීම ඊට හේතුව විය හැකි බවද එහිදී වැඩිදුරටත් කියැවිණි.
ප්‍රමිතට ගහන්න අවි අමෝරයි! ප්‍රමිත වෙනුවෙන් ඇමැතිවරු දෙදෙනෙක්!
ඒ අතර පසුපෙළ මන්ත්‍රීවරුන් අතරද විශේෂ මෙහෙයුමක් දියත් වන ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී එක් පිරිසක් ප්‍රමිතට එරෙහිව අවි අමෝරන්නට මන්ත්‍රීවරුන් එකතු කරද්දී තවත් පිරිසක් ප්‍රමිතව ආරක්ෂා කිරීමට එළියට ආ ආකාරයක් දැකගන්නට ලැබිණි. විශේෂයෙන්ම පසුපෙළ මන්ත්‍රීවරු රැසක් ප්‍රමිතට කතා කොට කියා සිටියේ දෙතුන් දෙනකු ප්‍රමිතට ප්‍රහාර එල්ල කළහොත් ඔහු වෙනුවෙන් අදහස් දැක්වීමට කටයුතු කරනවා යැයි කියාය. මේ අතර ඇමැතිවරු දෙදෙනෙක්ද වූහ. ඉන් එක් අයකු වූයේ කංචන විජේසේකරය. අනෙක් කෙනා වූයේ ඉන්දික අනුරුද්ධය. ප්‍රමිතට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇති බවට කනින් කොනින් තොරතුරු වාර්තා වීමත් සමග වහාම ඊට මැදිහත් වූ කංචනත්, ඉන්දිකත් ප්‍රමිතට පහර දීමට සූදානමින් සිටි බව බව කියන පසුපෙළ දෙතුන් දෙනාට කතාකොට වහාම එම ක්‍රියාව නතර කරන ලෙස දැනුම් දීමට කටයුතු කළහ. ප්‍රමිත යනු පසුපෙළ ප්‍රධානියකු බවත්, ආණ්ඩුව ගෙන ඒමට සහ ආණ්ඩුව ආරක්ෂා කරගැනීමට කැපවී කටයුතු කරන අයකු බවත් එම මන්ත්‍රීවරුන්ට පෙන්වා දුන් අමාත්‍යවරුන් දෙදෙනා ආණ්ඩුවේ වැරැදි ඇත්නම් එය පෙන්වා දී නිවැරැදි මඟට ගැනීමට උත්සාහ කිරීම ආණ්ඩුවට ආදරේ කරන මන්ත්‍රීවරුන් විසින් කළ යුත්තක් බවද කියා සිටියහ. එම නිසා යම් හෙයකින් ප්‍රමිතට මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පහරදීමට උත්සාහ කළහොත් ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් මතුවිය හැකි බවද මෙම ඇමැතිවරු ඔවුන්ට දැනුම්දී සිටියහ.
ප්‍රමිතත් යුද්ධයට සූදානම් වෙයි!
එමෙන්ම ප්‍රමිතද මෙම මන්ත්‍රීවරුන්ට පණිවුඩයක් යවමින් දැනුම් දී සිටියේ යම් හෙයකින් තමන්ට මන්ත්‍රී කණ්ඩායමෙන් පහරදීමක් කළහොත් ඊට තමන්ට පෙරළා ප්‍රතිප්‍රහාර දක්වන බවත්, තමන් වෙනුවෙන් පෙනී සිටීමට බහුතරයක් මන්ත්‍රීවරුන් සූදානමින් සිටින බවත්ය. ඒ අනුව අවසානයේදී ප්‍රමිතට පහරදීමට සිටි පසුපෙළ මන්ත්‍රීවරුන් දෙතුන් දෙනා එම අදහස අත්හැරීමට තීරණය කළේ ප්‍රමිත වෙනුවෙන් පෙනී සිටීමට බොහෝ දෙනකු ඉදිරිපත් වීමට තීරණය කර තිබූ නිසාය.
මන්ත්‍රීවරු ප්‍රමිතගේ සහායට!
කෙසේ වෙතත් සවස් වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට අගමැතිවරයා, බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සියලු දෙනා සහභාගි වී සිටි ආකාරයක් දැකගත හැකි විය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීම වූයේ මැති ඇමැතිවරුන් බොහෝ දෙනකුම ප්‍රමිත එළියේ අදහස් දක්වා තිබූ ආකාරයටම එහිදී අදහස් පළ කිරීමය. ජනතාව මේ වන විට දැඩි පීඩාවකට පත්ව සිටින බව පෙන්වා දුන් මැති ඇමැතිවරුන්, වහාම ඔවුන්ට සහන සැලසිය යුතු බවද කියා සිටියේය.
බැසිල්ගෙන් ආන්දෝලනාත්මක කතාවක්! වෙනම කුලුපොලු හමුදාවක්!
කෙසේ වෙතත් මෙහිදී සියලු දෙනාගේම අවධානය යොමුවූ සිදුවීම් දෙකක් සිදුවිය. ඒ, ජනාධිපතිවරයාත්, මුදල් ඇමැතිවරටයත්, මේ කණ්ඩායම් රැස්වීමේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයන් දෙකක් සිදුකිරීමය. මෙහිදී මුදල් ඇමැතිවරයාගේ ප්‍රකාශයට මුල් වූයේ මැති ඇමැතිවරුන් බොහෝ දෙනකු දැනට රට තුළ මතුවෙමින් පවතින ආණ්ඩු විරෝධය පිළිබඳ අදහස් දැක්වීමය. ඊට පිළිතුරු දෙමින් බැසිල් ඉන්දියාව උදාහරණයට ගනිමින් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීමට පියවර ගත්තේය.
‘මං මේ කියන එක එළියෙ ගිහිල්ලා නම් කතා කරන්න එපා. ඔයගොල්ලන්ගේ දැනගැනීමට විතරයි මම මේක කියන්නේ. දැන් ඉන්දියාව ගත්තොත් බලයෙ ඉන්න මෝඩිගේ භාරතීය ජනතා පක්ෂය ආරම්භයේ සිටම වෙනම කණ්ඩායමක් නිර්මාණය කරලා තිබ්බා මේ විරෝධතාවලට මුහුණ දෙන්න. ඒකට කිව්වේ ආර්.එස්.එස්. එක කියලා. ආණ්ඩුවට ප්‍රශ්න එද්දී මේ ආර්.එස්.එස්. එක තමයි එළියට බැහැලා ඒ ප්‍රශ්න විසඳන්නේ. පෙළක් වෙලාවට ප්‍රජාතන්ත්‍රවාදී විදියට මේ ප්‍රශ්න විසඳන්න බැරි වුණාම ආර්.එස්.එස්. එක බැහැලා, ගහලා කරලා මේ ප්‍රශ්න විසඳන්න වැඩ කළා. ඒ නිසා ඒ ආර්.එස්.එස්. එක බී.ජේ.පී. එකට ලොකු ශක්තියක් වුණා. ඒක අපටත් ලොකු පාඩමක්. අදත් බී.ජේ.පී. එක බලයෙ ඉන්නෙ ඒ නිසයි. ඒ නිසා අපිටත් ආර්.එස්.එස්. එක වගේ නැති වුණත් ඉස්සරහට මේ විරෝධතාවලට මුහුණ දෙන්න හොඳ කුළු පොලු හමුදාවක් හදන්න වේවි. එහෙම තමයි ඉන්දියාවෙ වෙන්නේ. හැබැයි මේවා එළියෙ ගිහිල්ලා නම් කතා කරන්න එපා…’ යන්න බැසිල් එහිදී කියා සිටි කතාවය.
බැසිල්ගේ මේ කතාව හරහා ලොකු පණිවුඩයක් මේ වන විට ආණ්ඩුව පැත්තෙන් නිකුත් වී තිබේ. ඒ, ඉදිරියේදී විරෝධතාවලට එරෙහිව යම් මර්දනකාරී වැඩපිළිවෙළක් ආණ්ඩුව පැත්තෙන් දියත් වීමේ ඉඩකඩක් ඇති බවය.
ඩොලර් ගැන බැසිල්ගෙන් සහතිකයක්!
ඊට අමතරව තවත් එක් සහතිකයක්ද මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ලබාදීමට බැසිල් පියවර ගත්තේය. ඒ, දැනට රට තුළ මතුව ඇති ඩොලර් ප්‍රශ්නය සම්බන්ධයෙන්ය.
‘අපට ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා. ඒකෙ හංගන්න දෙයක් නෑ. ඒ නිසා තමයි තෙල්, විදුලි, ගෑස් ප්‍රශ්නත් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මම එක සහතිකයක් ඕගොල්ලන්ට දෙනවා. මම අප්‍රේල් මාසෙ වෙද්දී මේ ඩොලර් ප්‍රශ්නය විසඳනවා. ඊට පස්සේ මේ ප්‍රශ්න එකක්වත් අපට එන්නෙ නෑ…’ යනුවෙන් බැසිල් කියද්දී එතෙක් මැති ඇමැතිවරුන්ගේ මැලවී තිබුණු මුහුණුවල සිනා මල් පිපින ආකාරයක් දැකගත හැකි විය.
පුතා ගැන ජනපතිගෙන් සංවේදී කතාවක්!
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ කතාවේදී නම් දැකගන්නට ලැබුණේ තරමක් වෙනස් විදියේ සිදුවීමකි. ජනාධිපතිවරයා මෙහිදී විනාඩි 40ක පමණ කතාවක් කළ අතර මීට පෙර ජාතිය අමතා කළ කතාවේ තොරතුරු එහි අන්තර්ගත වී තිබුණු ආකාරයක් දැකගත හැකි විය. නමුත් එම කතාව අතරතුරදී ජනාධිපතිවරයා ඉතා සංවේදීව තවත් විශේෂ කාරණාවක් හෙළිකිරීමටද කටයුතු කළේය. ඒ, සිය පුත්‍රයා සම්බන්ධයෙන්ය.
‘දැන් මට සෝෂල් මීඩියාවල දිගට හරහට පහර දෙනවා. ඒ මම ජනාධිපති නිසා. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් මේ ප්‍රශ්නෙට මගේ පුතාවත් සම්බන්ධ කරගෙන තියෙනවා. මගෙ පුතා කිසිම දේශපාලනයකට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. මම ජනාධිපති වුණාට පස්සේ එයා ලංකාවට ආවෙත් එක සැරයයි. එයා ඇමෙරිකාවෙ ලොකු සමාගමක රැකියාවක් කරනවා. දැන් එක් කණ්ඩායමක් මගෙ පුතාටත් පහර දෙන්න පටන් අරගෙන. ඒ අය දැන් හැමදාම මගෙ පුතා වැඩකරන සමාගමට කතා කරලා කියනවා එයාගෙ තාත්තා යුද අපරාධ කරපු කෙනෙක්, මානව හිමිකම් කඩපු කෙනෙක්, දූෂණ වංචාවලට සම්බන්ධ කෙනෙක් කියලා. ඒ සමාගම්වල නීතිරීති තද නිසා එහෙම කම්ප්ලේන් එකක් ආපුවාම නිදහසට කරුණු විමසන්න කටයුතු කරනවා. මුලින් මුලින් ඉඳලා හිටලා ඒ වගේ කෝල්ස් ගියත්, දැන් දිගටම මේ දේ සිද්ධ වෙන්න පටන් අරන් තියෙන නිසා මගෙ පුතා ලොකු මානසික පීඩාවකින් ඉන්නේ. ඒක හරි කනගාටුදායක තත්ත්වයක්…’ යනුවෙන් ජනාධිපතිවරයා ඉතා සංවේදී ආකාරයෙන් අදහස් පළ කරද්දී සියලු දෙනාම පුදුමයට පත්ව එය අසා සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. එමෙන්ම ජනාධිපතිවරයාගේ පුත්‍රයා පත්ව ඇති තත්ත්වය පිළිබඳ ඔවුන් කනගාටු වන ආකාරයක්ද එහිදී දැකගන්නට ලැබිණ.
ලන්සා ඩීල් එකකද? ගැහුවෙ ගේම් එකක්ද?
මේ ආකාරයට පැවැති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් වීමෙන් පසු තවත් විශේෂ සිදුවීමක් සිදුවිය. ඒ, පසුගිය සඳුදා දින සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ නිමල් ලන්සා මහතා මුල්කරගෙනය. ලන්සාද එදින මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වී පසුපස අසුනකට බර වී සිටි අතර, රැස්වීම නිමවීමෙන් පසු බැසිල් ලන්සාට තමා සමීපයට අඬගසනු දැකගන්නට ලැබිණි. සාමාන්‍යයෙන් ලන්සා සැලකෙන්නේ බැසිල්ට අතිශය සමීප අයකු ලෙසිනි. ඒ අනුව බැසිල් කළ දැනුම්දීමත් සමග ලන්සා ඔහු අසලට යන ආකාරයත්, විනාඩි කිහිපයක් දෙදෙනා අතර සාකච්ඡාවක් සිදුවන ආකාරයත්, ඉන් අනතුරුව බැසිල් ජනාධිපතිවරයා දෙසට අත දිගුකර යමක් පවසන ආකාරයත් පිරිසට දැකගත හැකි විය. ඒ අනුව සුළු මොහොතකින් ලන්සා ජනාධිපතිවරයා වෙත ගොස් කෙටි සාකච්ඡාවක් පවත්වන ආකාරයක්ද මන්ත්‍රීවරුන්ට දැකගත හැකි විය. මේ සිදුවීම දෙස මැති ඇමැතිවරුන් මහත් කුතුහලයෙන් යුතුව බලා සිටියේ දැන් ලන්සා හා ආණ්ඩුව අතර තිබූ ප්‍රශ්නය අවසන් වූ ආකාරයක් මේ හරහා පෙනෙන්නට තිබූ නිසාය. ඒ නිසාම ලන්සා එතැනින් ඉවත්ව එළියට පැමිණි පසු මැති ඇමැතිවරු සිනාසෙමින් ඔහුගෙන් විමසා සිටියේ, ‘ආ දැන් ප්‍රශ්නෙ ඉවරයි නේද…?’ යැයි කියාය. නමුත් ලන්සා දුන්නේ අපූරු පිළිතුරකි.
‘මොන පිස්සුද, ඒ ගැහුවෙ ගේම් එකක්. ඔක්කොම ඉස්සරහා ඒ පෙන්නුවෙ මම ඒ අය එක්ක ඩීල් එකක ඉන්නවා කියලා….’ යන්න ලන්සා ඊට දුන් පිළිතුර විය.
ජනපතිගේ මිරිහාන නිවසේ විශේෂ සාකච්ජාවක්!
රට ඇතුළේ මේ වන විට ආර්ථික දේශපාලන අර්බූදයත් සමග විපක්ෂයද ජනතාව එක්රැස් කරමින් සිය බලමුළු තරකිරීම ආරම්භ කර තිබේ. මීට සති දෙකකට ඉහතදී එහි පළමු පියවර තබමින් සමගි ජන බලවේගය කොළඹට දහස් සංඛ්‍යාත ජනකායක් ගෙන්වා ජනාධිපති ලේකම් කාර්යාලය වැටලීමට කටයුතු කළ අතර, පසුගිය සතියේ ජනතා විමුක්ති පෙරමුණ නුගේගොඩ රැස්වීමක් පවත්වා සිය හයිය පෙන්වීමට පියවර ගත්තේය. එමෙන්ම රට පුරාම ඇති ගෑස් පෝලිම්, තෙල් පෝලිම් සහ විදුලිය විසන්ධි කිරීම් හේතුකොට ගෙන මේ වන විට ආණ්ඩු විරෝධී රැල්ලක්ද මතුවෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ. මේ නිසාම පසුගිය සඳුදා ජනාධිපතිවරයා පදිංචිව සිටින මිරිහානේ පෞද්ගලික නිවසෙහි විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. අපට ඇති ආරංචිවලට අනුව මෙම රැස්වීමට ජනාධිපතිවරයා සමග ආරක්ෂක අංශ නියෝජනය කරන ප්‍රධානීන්ද, ආරක්ෂක ලේකම්වරයාද, බුද්ධි අංශ ප්‍රධානීන්ද සහභාගි වී සිට ඇති අතර, පෙරවරු 8ට ආරම්භ වූ රැස්වීම සවස 4 වන තුරුම පැවැති බවක් දැනගන්නට ඇත.
ආරක්ෂක නිලධාරීන්ගෙන් ප්‍රසන්ටේෂන් එකක්!
මෙම සාකච්ඡාවේදී රටේ දැනට මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක සංවාදයක් ජනාධිපතිවරයා හා ආරක්ෂක අංශ ප්‍රධානීන් අතර පැවැති බවක්ද ආරංචිය. ආරක්ෂක ලේකම්වරයා විසින් සංවිධාන කර තිබූ මෙම හමුවේදී බුද්ධි අංශ නිලධාරීන් විසින් රටේ දැනට මතුව ඇති තත්ත්වය පිළිබඳ සකස් කොට ඇති වාර්තා, විග්‍රහයන් සහ පුරෝකථනයන් දීර්ඝව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ බවද ආරංචිය. ඒ පිළිබඳ විශේෂ ඉදිරිපත් කිරීමක් (ප්‍රසන්ටේෂන් එකක්) මේ පිරිස විසින් ජනාධිපතිවරයාට සිදුකර ඇති බවක්ද දැනගන්නට ඇත.
ගනුදෙනු කරන විදිහ ගැනත් වාර්තාවක්!
එමෙන්ම ඉදිරියේදී මතුවිය හැකි යම් යම් අර්බුදකාරී තත්ත්වයන් මෙන්ම ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ඇමැතිවරුන් ජනතාව සමග ගනුදෙනු කළ යුතු ආකාරය පිළිබඳවද මෙහිදී ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ බුද්ධි නිලධාරීන් විසින් ජනාධිපතිවරයා වෙත වාර්තාවක් ලබා දී ඇති බවක්ද ආරංචිය.
යනවාද නැද්ද- තීන්දුව ගන්න සජබය රැස්වෙයි!
මේ සියල්ල අතරවාරයේ පසුගිය බදාදා දිනයේ ජනාධිපතිවරයා කැඳවූ සර්වපාක්ෂික සමුළුවද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එම යෝජනාව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ප්‍රකාශයට පත්වීමත් සමග මේ දිනවල ආණ්ඩුව සමග ගැටුමක් ඇතිකරගෙන සිටින විමල්, උදය පිල කියා සිටියේ තමන් ජනාධිපතිවරයාගේ සර්වපාක්ෂික සමුළුව වර්ජනය කරනවා යැයි කියාය. ජවිපෙද ප්‍රසිද්ධියේම කියා සිටියේ තමන්ද මෙම සමුළුවට නොයන බවකි. ඒ අනුව සියලු දෙනාම බලා සිටියේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය මෙහිදී කුමන තීන්දුවක් ගනු ඇතිද යන්න සම්බන්ධයෙන්ය.
සජබ කොන් කිරීමේ සැලැසුමක්!
ඒ අනුව සමගි ජන බලවේගය එම තීන්දුව ගැනීම සඳහා පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ විශේෂ රැස්වීමක් බදාදා පෙරවරුවේ කඳවා තිබුණත්, අඟහරුවාදා රාත්‍රිය වන විට ඔවුන්ට ලැබෙමින් තිබූ තොරතුරුවලින් දැනගන්නට ලැබී තිබුණේ ආණ්ඩුව මෙම සර්වපාක්ෂික සමුළුව හරහා සජබ කොන් කිරීමේ මෙහෙයුමක් සැලසුම් කර ඇතැයි කියාය. සජබ නියෝජිතයන් සර්වපාක්ෂික සමුළුවට පැමිණි විට එය ආවරණය කරන ජනාධිපති මාධ්‍ය ඒකකයේ කැමරා ශිල්පීන්ටත්, රූපවාහිනී ආයතනයේ කැමරා ශිල්පීන්ටත් ඔවුන්ට වැඩි ආවරණයක් නොදෙන ලෙසට ඉහළින් උපදෙස් ලැබී ඇති බවත්, සමුළුවට සහභාගි වන එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිරූපය කැපීපෙනෙන ලෙස ඉහළ නැංවෙන පරිදි ආවරණ කටයුතු සිදුකරන ලෙස උපදෙස් ලැබී ඇති බවත් එහිදී ඔවුන්ට දැනගන්නට ලැබී තිබිණි.
කලින් කළා වගේ රනිල් පුම්බයිද? වීඩියෝ බලන්න වෙනම ටීම් එකක්!
මීට පෙර පැවැති සර්වපාක්ෂික සමුළුවේදීද මෙවැනිම ආකාරයේ සිදුවීමක් සිදුවූ බව එහිදී කතා කළ බොහෝ දෙනා සජිත්ට දැනුම්දී තිබිණි. ඉකුත් කොරෝනා සමයේදී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සර්වපාක්ෂික සමුළුව පැවැති අතර, ඊට සජබ නායකයා සහභාගි වුවත්, රනිල්ගේ ප්‍රතිරූපය වර්ධනය වන ආකාරයට එහි මාධ්‍ය ආවරණ කටයුතු සිදුකොට තිබූ බව ඉන් කියැවිණි. ඒ අනුව සජිත් කළේ එදින රාත්‍රියේ විශේෂ කණ්ඩායමක් පත්කොට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සර්වපාක්ෂික සමුළුවේ විකාශය කළ රූපරාමු ගෙන්වාදෙන ඒවා විමර්ශනය කරන ලෙස උපදෙස් ලබා දීමය. ඒ අනුව එම කණ්ඩායම වහාම අදාළ දිනයේ සියලුම රූපවාහිනී විකාශයන්වල රූප රාමු ගෙන්වාගෙන ඒවා විකාශය කළ ආකාරය සියුම්ව නිරීක්ෂණය කිරීමට පියවර ගත්හ. ඒ අනුව ඔවුන්ටද තහවුරු වූයේ රාජ්‍ය මාධ්‍ය පමණක් නොව ආණ්ඩුවට හිතවත් පෞද්ගලික මාධ්‍ය පවා රනිල්ගේ ප්‍රතිරූපය වර්ධනය වන ආකාරයට පුවත් විකාශය සිදුකර ඇති බවය. ඒ අනුව ඊට අදාළ වාර්තාව සකස් කළ එම කණ්ඩායම එදිනම රාත්‍රියේ සජිත්ට එය ලබාදීමට පියවර ගත්හ.
යන්න එපා! අවසන් තීන්දුව ප්‍රකාශයට!
බදාදා පෙරවරුවේ සජිත්, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමට පැමිණියේ මෙම වාර්තාවත් අතේ තියාගෙනය. එහිදී ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු මෙම රැස්වීමට සහභාගි විය යුතු බව සඳහන් කළද බහුතරයක් මන්ත්‍රීවරුන් එම මතයට විරෝධය පළකරමින් සර්වපාක්ෂික සමුළුව වර්ජනය කළ යුතු බව කියා සිටියේය. එහිදී තරුණ මන්ත්‍රීවරුන් බහුතරයක් කියා සිටියේ රට තුළ දැඩි ආණ්ඩු විරෝධී මතයක් මතුව ඇති මේ මොහොතේ සජබය ඊට සහභාගි වී ආන්ඩුව වෙනුවෙන් බෙල්ල දියයුතු නැතැයි කියාය. එමෙන්ම බොහොමයක් ජ්‍යෙෂ්ඨයන් පෙන්වා දුන්නේ ආණ්ඩුව ඉකුත් සර්වපාක්ෂික සමුළුවේදී කළාක් මෙන්ම මෙවරද රනිල්ව පුම්බා සජබෙ නියෝජිතයන් කොන් කරනු ඇති බවකි. සජබය මේ වන විට ජනතාව අතර ජනප්‍රියත්වයට පත්ව සිටින අවස්ථාවක ආණ්ඩුවේ මෙම දහංගැටවලට හසුවිය යුතු නැති බවද ඔවුහු එහිදී මන්ත්‍රී කණ්ඩායමට පෙන්වා දුන්හ.
ලිපියේ අස්සන ගැන ප්‍රශ්නයක්!
අනෙක් අතට මේ වන විට දැඩි ආණ්ඩු විරෝධයක් රට ඇතුළේ මතුව පවතින නිසා වගකිව යුතු විපක්ෂයක් ලෙස මෙම සර්වපාක්ෂික සමුළුවෙන් ඉවත් වීමට කටයුතු කළ යුතු බවද බහුතරයේ අදහස විය. ඒ අනුව අවසානයේදී තීන්දු වූයේ සර්වපාක්ෂික සමුළුව වර්ජනය කිරීමටත්, ඒ පිළිබඳ ජනාධිපතිවරයාට ලිපියක් මාර්ගයෙන් දැනුම් දීමටත්ය. මෙහිදී තවත් විශේෂ යමක් දැකගන්නට ලැබිණ. ඒ, සර්වපාක්ෂික සමුළුවට ආරාධනා කරමින් සජබය වෙත එවා තිබූ ලිපිය පරීක්ෂා කිරීමේදීය. එය සජබය වෙත එවා තිබුණේ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතාගේ අස්සනින් යුතුවය. එම නිසා සජබ නායකයන් තීන්දු කළේ විපක්ෂ නායකවරයාගේ ලේකම්වරයා වූ නීතිඥ රවි ජයවර්ධන මහතාගේ අස්සනින් යුතුව මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කිරීමටය.
අනුර සර්ව පාක්ෂිකේ පලු යවයි!
කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ නුගේගොඩදී පැවැත්වූ රැස්වීම ආරම්භ වී තිබුණේද මෙම සර්වපාක්ෂික සමුළුව පැවැත්වෙන අතරතුරදීය. ඒ අනුව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සර්වපාක්ෂික සමුළුව කැඳවා ඇති ප්‍රධානීන් පිළිබඳ සහ ඊට සහභාගි වී ඇති නියෝජිතයන් පිළිබඳ දැඩි ප්‍රහාරයක් සිය කතාවේදී එල්ල කිරීමට පියවර ගත්තේය. එහිදී අනුර කියා සිටියේ ‘මරු බඩු‘ ටිකක් සර්වපාක්ෂික සමුළුවට සහභාගි වී සිටින බවත්, වත්මන් පාලනයට වඩා තමන්ගේ පාලනය හොඳ යැයි කී මෛත්‍රිපාල සිරිසේන විසින් එම යෝජනාව ඉදිරිපත් කර ඇති බවත්ය. එමෙන්ම නඩු කිහිපයක් තිබී ජනාධිපති මුක්තිය හේතුවෙන් ඒවා ඉවත් කරගත් අයකු එහි ප්‍රධානත්වය දරන බව කී අනුර, තවත් නඩු කිහිපයක්ම ඇති බැසිල් එහි මුලසුනක සිටින බවත් සඳහන් කළේය. මීට අමතරව බැඳුම්කර හොරා යැයි කියමින් පට්ට ගැසූ රනිල් වික්‍රමසිංහ මහතා එහි ප්‍රධාන නියෝජිතයකු බවට පත්ව සිටින බවද අනුර එහිදී කියා සිටියේය.
කෘත්‍යාධිකාරිය රැස්වෙයි! තීන්දු රැසක් ගනී!
මේ අතර රටේ උද්ගතව පවතින තත්ත්වය’ පිළිබඳ සහ ඉදිරි දේශපාලන උපාය උපක්‍රම පිලිබදව විශේෂ සාකච්ඡාවක් සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ විපක්ෂ නායක කාර්යාලයේදී රැස්විය. එහිදී ආණ්ඩුවේ අන්තනෝමතික හැසිරීම සහ ඊට එරෙහිව සමගි ජනබලවේගය ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ එහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, අවසානයේදී තීන්දු තීරණ කිහිපයක් ගැනීමට පිරිස පියවර ගත්හ.
ඉන් පළමුවැන්න වූයේ ආසන මට්ටමේ විරෝධතා මාලාවක් පවත්වන්නටත්, සමගි ජනබලවේගය මුල්වූ ප්‍රධාන ජාතික වේදිකාවක් නිර්මාණය කිරීමටත්ය. එමෙන්ම ආණ්ඩුව පලවා හරින ‘නොනවතින අරගලය’ ආරම්භ කිරීමටද කෘත්‍යාධිකාරි මණ්ඩලය සිය අනුමැතිය ලබා දුන්නේය. මීට අමතරව මෙවර මැයි රැලිය මහනුවර පැවැත්වීමටද පිරිස එහිදී තීන්දු කළහ.
බැසිල්ගේ හෝම් ෂොප් සජිත් පාර්ලිමේන්තු අරන් යයි!
පසුගිය සතියේදී අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අනාවරණ කළ විශේෂ කරුණක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබීම විශේෂ සිදුවීමක් විය. ඉකුත් සතියේදී අප විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ ඉන්දියාවෙන් ලැබීමට නියමිත ඩොලර් බිලියනයක ණය මුදලින් ලබාගන්නා ආහාර වර්ග ගම් මට්ටමින් බෙදාහැරීම සඳහා පොහොට්ටු සාමාජිකයන් උපයෝගී කරගෙන ‘හෝම් ෂොප්’ නමින් වෙළෙඳසලක් ඉදිකිරීමට පොහොට්ටුව සැලසුම් කර ඇති බවත්, ඉන් භාණ්ඩ ලබාගැනීම සඳහා පොහොට්ටු සාමාජිකයන් අතරේ රුපියල් 2,000ක කූපනයක් බෙදාහැරීමට සැලසුම් කර ඇති බවත්ය. අප කළ මෙම අනාවරණයෙන් පසු සජිත් එම තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එහි සත්‍ය අසත්‍යතාව විමසා සිටීමට පියවර ගත්තේය. සජිත්ගේ මෙම ක්‍රියාමාර්ගයත් සමග මේ වන විට අපට ලැබී ඇති තොරතුරුවලින් කියවෙන්නේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයද මෙම තොරතුරු පිළිබඳ දැඩි උනන්දුවකින් සිටින බවය. ඒ අනුව මෙම බඩු භාණ්ඩ බෙදාහැරීම සම්බන්ධයෙන් වූ වැඩපිළිවෙළ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකරන ලෙස ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ආණ්ඩුවේ ප්‍රධානීන්ට දැනුම්දී ඇති බවක්ද ආරංචිය.
අපි කිව්වා වගේම ආණ්ඩුවේ 113 නැති වෙයිද?
මීට සති දෙක තුනකට පෙරාතුව සිටම ආණ්ඩුවේ බහුතර බලය සම්බන්ධයෙන් දැඩි අර්බුදයක් මතුව ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අවස්ථා කිහිපයකදීම අනාවරණ කර සිටියෙමු. එහිදී අප පෙන්වා දුන්නේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමත් සමග ඔවුන් හා ශ්‍රීලනිපයද එක්ව ඇති බවත්, එම පිරිස 30කගෙන් සමන්විත වන බවත්ය. එම නිසා දැනටමත් ආණ්ඩුව සතුව පවතින 151ක බහුතරය 121 දක්වා පහත වැටී ඇති බවත්, මේ වන විට ආණ්ඩුව ඇතුළේ තවත් 10 දෙනකුගේ කණ්ඩායමක් ස්වාධීන වීමට තීන්දු කර තිබීමත් හේතුකොට ගෙන එම බහුතරය 111 දක්වා පහත වැටීමට නියමිතව ඇති බවත් අපි එහිදී පෙන්වා දුන්නෙමු. ඒ අනුව යම් තීරණාත්මක අවස්ථාවකදී 113ක් වූ සරල බහුතරය ආණ්ඩුවට අහිමි වී යනු ඇති බව වැඩිදුරටත් අපි එහිදී සඳහන් කළෙමු.
එම අනාවරණයන්හිදී අප ආණ්ඩුව ඇතුළේ සිටින ස්වාධීන කණ්ඩායම පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණ නොකළද, මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප එම ස්වාධීන කණ්ඩායම පිළිබඳවත්, ඔවුන් සිදුකිරීමට සූදානමින් සිටින දේශපාලන වැඩපිළිවෙළ පිළිබඳවත් රටට කරුණු ඉදිරිපත් කිරීමට සූදානම්ය.
අගමැති සුසිල්ද-අනුරද-විජේදාසද?
මෙම ස්වාධීන කණ්ඩායම නියෝජනය කරන්නේ ආණ්ඩුව ඇතුළේ සිටින ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසකි. මීට මාස කිහිපයකට පෙර සිටම, විශේෂයෙන්ම සුසිල් ප්‍රේමජයන්ත මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු මෙම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම විවිධ ස්ථානවල සාකච්ඡා පවත්වා යම් යම් තීන්දු තීරණවලට එළැඹ සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. කෙසේ වෙතත් පසුගිය සතියේදී එක දිගට රාත්‍රීන් කිහිපයක්ම මෙම පිරිස ස්ථාන කිහිපයකදී මුණගැසී තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබූ අතර, එහිදී ඔවුන් තීරණය කොට ඇත්තේ දැනට ආණ්ඩුව ඇතුළේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය යටතේ තීරණාත්මක කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමටය. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ස්වාධීනව කටයුතු නොකළහොත් ඉදිරියේදී දේශපාලනය කළ නොහැකි තත්ත්වයක් උදාවනු ඇති බවද එහිදී ඔවුන් අතර සාකච්ඡාවට ලක්වී තිබේ.
නීතිමය තත්ත්වය සොයා බලයි!
ඒ අනුව අප ඉකුත් සතියේදී ‘රාජ්‍ය රහස්’ තීරයෙන් තවත් විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ මෙම ස්වාධීන වීමේ තීන්දුව ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දීමට ආණ්ඩුවේ සිටින මෙම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කණ්ඩායම තීන්දු කර ඇති බවය. නමුත් පසුගිය සතියේ පැවැති සාකච්ඡාවලදී එම ස්ථාවරය වෙනස් කිරීමට ඔවුන් කටයුතු කර තිබේ. ඒ අනුව ඔවුන් පැවැත්වූ සාකච්ඡාවලදී මුලින්ම අවධානය යොමුකොට තිබුණේ යම් හෙයකින් ස්වාධීනව කටයුතු කරන්නේ නම් ඊට බලපාන නීතිමය තත්ත්වය කුමක් විය හැකිදැයි සොයාබැලීමටය. විශේෂයෙන්ම සන්ධානයක් ඇතුළේ කටයුතු කරද්දී එම සන්ධානයේ ප්‍රධාන පක්ෂයේ සිටින සාමාජිකයන් ලෙස ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡා කොට තිබිණි.
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ලංකාවේ ව්‍යවස්ථා නීතිය පිළිබඳ ප්‍රකටම නීතිඥවරුන්ගේ උපදෙස් පවා මෙම පිරිස ගෙන තිබීමය. ඒ අනුව ඔවුන්ට එම නීතිඥවරුන් විසින් ස්වාධීන වීමෙ ක්‍රමවේදය සම්බන්ධයෙන් නීතිමය උපදෙස් ගණනාවක් ලබාදීමට පියවර ගෙන ඇති බවක්ද ආරංචිය.
හිටපු අගවිනිසුරු මව්රටට තීන්දුව කියයි!
ඒ අනුව ඉකුත් අඟහරුවාදා දින මෙම ප්‍රවෘත්තිය අප www.mawratanews.lk වෙබ් අඩවියේ අතිවිශේෂ පුවතක් ලෙස වාර්තා කිරීමෙන් පසු එය ආණ්ඩුව ඇතුළේ මහත් ආන්දෝලනයට තුඩුදුන් පුවතක් බවට පත්වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ සමගම එම ආන්දෝලනය දෙගුණ තෙගුණ වූයේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිට ගෝඨාභය රාජපක්ෂ පෙරළිය දක්වාම දේශපාලන පෙරළි ගණනාවකට නීති උපදෙස් ලබාදී තිබූ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අප වෙබ් අඩවියට සිදුකළ ප්‍රකාශයත් සමගය. එහිදී උදාහරණද පෙන්වමින් ඔහු කියා සිටියේ සන්ධානයක මන්ත්‍රීවරුන් වී ස්වාධීනව කටයුතු කිරීමේදී කිසිදු නෛතික ගැටලුවක් නැතැයි කියාය.
ස්වාධීන වෙන්න බාධාවක් නෑ!
එය අප වෙබ් අඩවිය ඔස්සේ අනාවරණ කළේ මෙසේය.
‘වත්මන් ව්‍යවස්ථාව යටතේ ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හට සිය හෘදය සාක්ෂියට අනුව ස්වාධීන වීමේ අයිතිය පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පැවැසීය.
‘මව්රට’ පුවත්පත වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් හිටපු අගවිනිසුරුවරයා සඳහන් කර සිටියේ ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමය අනුව සකස් වී ඇති බවත්, ඒ යටතේ මන්ත්‍රීවරුන් නියෝජනය කරන්නේ ජනතා පරමාධිපත්‍ය බවත්, ජනතාවට හානිකර අවස්ථාවකදී ජනතාව වෙනුවෙන් තීන්දු ගැනීමේ පූර්ණ අයිතිය මන්ත්‍රීවරුන් සතු බවත්ය.
ඒ පරමාදර්ශය මුලින්ම රටට පෙන්වූයේ 1952දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සහ ඩී.ඒ. රාජපක්ෂ මහත්වරුන් බව පෙන්වා දුන් හිටපු අගවිනිසුරුවරයා, ඔවුන් ජනතා සුබසිද්ධිය තකා හෘදය සාක්ෂියට එකඟව ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන්ගත් බවද කියා සිටියේය.
ඕනෑම සන්ධාන ආණ්ඩුවක් යටතේ හවුල්කාර පක්ෂ සිටින බව කී හිටපු අගවිනිසුරුවරයා එම පක්ෂවලට ඕනෑම අවස්ථාවක ජනතාව වෙනුවෙන් හෘදය සාක්ෂියට එකගව තීන්දු තීරණ ගැනීමේ අවස්ථාව හිමිවන බවද කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂයෙන් කරු ජයසූරිය මහතා මන්ත්‍රීවරුන් 17 දෙනකු සමග ආණ්ඩුවට එක්වූ අවස්ථාවේදී ඔවුන්ගේ මන්ත්‍රී ධූර ආරක්ෂා වූයේත්, ලලිත් ඇතුළත්මුදලි මහතාගේ පක්ෂය නියෝජනය කළ ප්‍රේමරත්න ගුණසේකර මහතාගේ මන්ත්‍රී ධූරය ආරක්ෂා වූයේත් එම පදනම යටතේ බවද හිටපු අගවිනිසුරුවරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ස්වාධීනව කටයුතු කිරීමේ නීතිමය බාධාවක් තිබේද යනුවෙන් කළ විමසීමකදී හිටපු අගවිනිසුරුවරයා සඳහන් කර සිටියේ ඊට කිසිදු නෛතික බාධාවක් නොමැති බවකි.’
අප මෙම පුවත පළ කිරීමත් සමග බදාද රාත්‍රිය වන විට දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ කටකතා පැතිර යන ආකාරයක් දැකගන්නට ලැබිණි.
ආණ්ඩුව පෙරළෙන බවට කටකතා!
‘පැය 24න් ආණ්ඩුව පෙරළෙනවා… පැය 48ක් යද්දි අලුත් ආණ්ඩුවක්…. අලුත් අගමැති කෙනෙක් එනවා…’ යනුවෙන් මෙම කටකතාවලින් කියැවුණු අතර, පාර්ලිමේන්තුවේ ලොබියේදී තවත් පිරිසක්, ආණ්ඩුවේ කණ්ඩායමක් ස්වාධීන වීමට සූදානමින් සිටින බවත්, මේ හේතුවෙන් ආණ්ඩුවේ බහුතරය නැතිවී අලුත් අගමැතිවරයෙක් පත්වීමට නියමිත බව කියා ඇති බවත් දැනගන්නට ලැබිණ.
අපිත් ඇත්ත නැත්ත හොයන්න ගත්තා!
මේ හේතුවෙන් අපද බදාදා රාත්‍රිය වන විට මෙම පුවතේ සත්‍ය අසත්‍යතාව සොයන්නට පියවර ගත්තෙමු. එහිදී අපට දැනගන්නට ලැබුණේ මෙම කටකතාවල යම් සත්‍යයක් ඇති බවකි. ඒ අනුව අපට දැනගන්නට ලැබුණේ ස්වාධීනව සිටින කණ්ඩායමක් මේ වන විට ආණ්ඩුව ඇතුළේ නිර්මාණය වී ඇති බවකි. එම කණ්ඩායමට මුල් අදියරේදී අට දෙනකු සම්බන්ධ වී සිටින බවත්, ඔවුන් ස්වාධීන වීමෙන් පසු තවත් කණ්ඩායමක් ඔවුන්ට එක් වීමට සූදානමින් සිටින බවත් එහිදී වැඩිදුරටත් අනාවරණ විය. පසුගිය සතියේ විමල් මහනුවරට ගොස් මහානායක හිමිවරුන් හමුවී ආණ්ඩුවට 113ක බහුතරය අහිමි කරන බවට සඳහන් කර සිටියේද මෙම කරුණ මුල් කරගෙනය.
පණිවුඩකරු මහින්දානන්ද!
මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ පාර්ලිමේන්තුව ඇතුළේද විශේෂ සිදුවීමක් සිදුවිය. සාමාන්‍යයෙන් මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා ප්‍රසිද්ධව සිටින්නේ ඔහුට යම් පණිවුඩයක් ලැබුණද, එසැණින් එය ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හෝ මුදල් ඇමැතිවරයාට ලබාදෙන්නකු ලෙසටය. මේ හේතුව නිසාම ඇතැමුන්ට ජනාධිපතිවරයාට පණිවුඩයක් ලබාදීමට අවශ්‍ය නම් එය විශේෂ පුවතක් ලෙස පළමුව දැනුම් දෙන්නේ මහින්දානන්දටය. මහින්දානන්ද එය අනෙක් පැත්තට ජනාධිපතිවරයාට දැනුම් දීම ඊට හේතුවය.
අනුර මහින්දානන්දට පණිවුඩය දෙයි!
පසුගිය සතියේදී පාර්ලිමේන්තු ලොබියේදී මහින්දානන්දට අනුර කුමාර දිසානායක මුණගැසිණි. සාමාන්‍යයෙන් එළියේදී නම් මොවුන් එකිනෙකාට චෝදනා එල්ල කරගත්තත්, පාර්ලිමේන්තුවේදී හමුවූ විට මිත්‍රයන් ආකාරයෙන් සාකච්ඡා කිරීම සාමාන්‍ය සම්ප්‍රදායය. ඒ අනුව අනුර දුටු සැණින් මහින්දානන්ද, ‘කොහොමද අනුර, මොනවද වෙන්නේ?’ යැයි විමසා සිටියේය. ඊට පිළිතුරු දුන් අනුර කියා සිටියේ, ‘මට තියෙන ආරංචිය නම් වැඩි කල් යන්න කලින් ආණ්ඩුවට බහුතරය නැතිවෙනවා කියලා…’ යැයි කියාය. ‘හරි ඊට පස්සේ මොකද වෙන්නේ?’ මහින්දානන්ද යළිත් අනුරගෙන් අසද්දී අනුර කියා සිටියේ, ‘ඔය ඕගොල්ලන්ගෙම වෙන කවුරුහරි කෙනෙක් අගමැති වෙලා පාර්ලිමේන්තුව විසුරුවා හරිනකම් අන්තර්කාලීන ආණ්ඩුවක් අරගෙන යයි. කොහොමත් මේ ප්‍රශ්නෙ විසඳගන්නෙ මහ ඡන්දයකින්නෙ. හැබැයි ඉතින් ඕගොල්ලො දාන්න යන අගමැති අපිත් කැමැති එක්කෙනෙක් වෙන්න එපායැ…’ යි කියාය.
ඒ අනුව එකක් පැහැදිලිය. ඒ, එසේ අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් විපක්ෂයද එකඟ වන අගමැතිවරයකු පත් කළ යුතු බවකි. ඒ අනුව මහින්දානන්ද මේ බව ආණ්ඩුවේ ඉහළ තැන්වලට මේ වන විටත් දැනුම්දී ඇති බව අපගේ විශ්වාසයය.
අලුත් අගමැතිවරයා කවුද!
ඒ අනුව ආණ්ඩුව ඇතුළේ බිහිවීමට නියමිත අලුත් අගමැතිවරයා කවුද?
අප ඉකුත් සතියේ මෙම තීරය ඔස්සේ විශේෂ හෙළිදරව්වක් කරමින් කියා සිටියේ විමල් ඇතුළු කණ්ඩායමක් ආණ්ඩුව ඇතුළේ සිටින එක්තරා පුද්ගලයකු අලුත් නායකයා ලෙස අභිෂේක ගැන්වීමට සූදානමින් සිටින බවකි. අපද මුල් පුවත ඔස්සේ ආණ්ඩුව ඇතුළේ සැඟවුණු නායකයකු සිටින බව එහිදී අනාවරණ කර සිටියෙමු. ඒ අනුව විමල්ලා බිහිකරන්නට යන අලුත් නායකයා කවුද, එම නායකයා ගෙන ඒම සඳහා තිරය පිටුපස සිටින කණ්ඩායම කවුද, ඔවුන් එම නායකයා ගෙන ඒමට කටයුතු කරන්නේ කුමන අවස්ථාවේදීද යනුවෙන් කරුණු රාශියක් මේ වන විට අප වෙත ලැබී අවසන්ය. මේ අලුත් නායකයා බිහි කරන තිරය පිටුපස සිටින කණ්ඩායමේ ඇතැම් සාමාජිකයන් පිළිබඳ අපට ඇත්තේ විශාල පුදුමයකි. මන්ද එම පිරිස්ම වත්මන් ආණ්ඩුව සහ නායකයා බිහිකිරීම සඳහාද විශාල කැපකිරීමක් කර තිබීම හේතුවෙනි. මොවුන් නියෝජනය කරන ක්ෂේත්‍ර පවා මේ වන විට අප වෙත ලැබී ඇති නමුත් මේ අවස්ථාවේදී අප එම නම්ගම් හෙළිදරව් කිරීමට සූදානම් නැත. නමුත් නිසි අවස්ථාවේදී ඒ සියල්ල රටට හෙළිදරව් කිරීමට ‘රාජ්‍ය රහස්’ තීරය සූදානම්ය.
පිටුපස ඉන්න අය ගැන පුදුමයි!
මෙතෙක් මෙම තීරය ඔස්සේ අප අනාවරණ කළ කිසිදු තොරතුරක් වැරැදී තිබුණේ නැත. එම නිසා ඇතැම් පිරිස් රට සහ දේශප්‍රේමය ඉදිරියට දමා මැතිවරණ සමයන්හිදී කළ කී දේවල් හේතුකොට ගෙන රටට වූ විනාශය එසේ තිබියදීම නැවත වතාවක් එම පුද්ගලයන්ම තවත් අලුත් නායකයකු බිහිකිරීමට සූදානම් වීම නිසා නිසි අවස්ථාවේදී අප එම කණ්ඩායම පිළිබඳ තොරතුරු රටට හෙළිදරව් කිරීමට සූදානම්ය. එහිදී අපට වන අවාසිය කුමක් වුවත් ඒ අවාසිය දැරීමට අප සූදානම්ය.
විමල්ලා ගේන්න යන නායකයා!
කෙසේ වෙතත් විමල්ලාගේ එම අලුත් නායකයා පසෙකින් සිටියදී ආණ්ඩුව ඇතුළේ බිහිවීමට නියමිත ස්වාධීන කණ්ඩායම හරහා රටට බිහිවන අලුත් නායකයා කවුද? මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ සාකච්ඡාවට බඳුන්ව ඇති ප්‍රධාන මාතෘකාව එයය. මන්ද යත් මෙම නායකයාට අනිවාර්යයෙන්ම විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගයේ සහාය අත්‍යාවශ්‍යය. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමළ මුස්ලිම් පක්ෂවල සහායද අත්‍යාවශ්‍යය. ඒ අනුව මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ මෙම අලුත් නායකයා පිළිබඳ කිසියම් ඉඟියක් ලබාදීමට සූදානම්ය. එම නායකත්වයට තිදෙනෙක් නම් කොට ඇති අතර ඉන් එක් අයකු වන්නේ සුසිල් ප්‍රේමජයන්තය. දෙවැන්නා අනුර ප්‍රියදර්ශන යාපාය. තුන්වැන්නා විජේදාස රාජපක්ෂය. එම නායකයන් තිදෙනාම උගත්, නීතිමය දැනුම ඇති, ප්‍රායෝගික දැනුම ඇති, දේශපාලන දැනුම ඇති පුද්ගලයන් වීම විශේෂිතය. ඒ අනුව විමල්ලා හදන්න යන අලුත් නායකයා සහ මෙම ස්වාධීන කණ්ඩායමේ නායකයා අතර බරපතළ වෙනස්කම් ගණනාවක් තිබේ.
මහ ජන්දයක් අත ළග!
කෙසේ වෙතත් මෙම අලුත් නායකයා බිහිවන්නේ ඉතා කෙටි කලකට පමණි. ඒ, මහ මැතිවරණයක් පවත්වන තෙක් පමණි. මීට පෙරද අප අනාවරණ කර සිටියේ ව්‍යවස්ථාවට අනුව ලබන වසරේ පෙබරවාරි 05 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ නීත්‍යනුකූල බලය ජනාධිපතිවරයා වෙත ලැබීමට නියමිත බවකි. ඊට පෙරාතුව පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට නම් පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් අස්සන් කළ යෝජනාවක් සම්මත කොට එය ජනාධිපතිවරයා වෙත දැනුම් දීමට කටයුතු කළ යුතුය. නමුත් ඒ අවස්ථාවේදීද ජනාධිපතිවරයාට අවශ්‍ය නම් මහ මැතිවරණයක් නොකැඳවා සිටීමට අවස්ථාව තිබේ.
පෙරළිය අප්‍රේල්වලද?
නමුත් පසුගිය දින කිහිපය තුළ පැවැති සාකච්ඡාවලදී තවත් විශේෂ කාරණයක්ද මතුව තිබේ. ඒ, ඉතා පහසුවෙන් සහ ලේසියෙන් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ක්‍රමයක් වන ආණ්ඩුවේ මුදල් පනතක් පරාජයට පත් කිරීමය. එසේ දෙවරක් මුදල් පනතක් පරාජය වීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අවස්ථාවක් උදාවන නිසා ලබන නොවැම්බර් මාසයේදී ආණ්ඩුව ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ලේඛනය ඉතා තීරණාත්මක වනු ඇති බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ. එමෙන්ම සර්වපාක්ෂික සමුළුවේදී අලුත් අයවැයක් අප්‍රේල් මාසය වන විට ඉදිරිපත් කිරීමට සූදානමක් ඇති බවට බැසිල් සිදුකළ ප්‍රකාශයත් සමග එම අයවැය සම්බන්ධයෙන් සිදුකිරීමට නියමිත ඡන්ද විමසීම ඉතා තීරණාත්මක එකක් වනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී ඇත.