ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය ඇතුළුව එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම් සමූහයට අයත් දේපොළ විකිණීම සිදුව ඇත්තේ නීති විරෝධී ආකාරයට බව එම සමාගමේ අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇතැයි මුද්‍රිත මාධ්‍ය වාර්තා කොට තිබේ.
එසේම එහිදී මුදල් විශුද්ධිකරණයක් සිදුව ඇති බවටද කොමිසම කරුණු අනාවරණය කර ගෙන ඇත.
මේ අනුව එම දේපොළ රජයට පවරා ගැනීමටත්, හිමිකරුවන් වූ එදිරිසිංහ පවුලට එරෙහිව අපරාධ නීතිය යටතේ නෛතිකව කටයුතු කිරීමේ හැකියාව ඇති බවත් කොමිසම වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම සඳහා මහ බැංකුවේ මැදිහත්වීමෙන් එම සමාගම් සමූහය සතු දේපොළ විකිණීමේදී අක්‍රමිකතා සිදුව ඇත්දැයි සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පසුගිය ජනවාරි මාසයේදී මෙම කොමිසම පත් කෙරිණි. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි සභාපතිත්වය දැරූ එම කොමිසමේ සෙසු සාමාජිකයන් වූයේ හිටපු සොලිසිටර් ජනරාල්වරයකු වන සුහද ගම්ලත් හා ජ්‍යෙෂ්ඨ බැංකුකරුවකු වන ඩී.එම්. ගුණසේකර යන අයයි.
එම සමාගම සතුව තිබූ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය විදේශ සමාගම් කිහිපයකට විකිණීම සිදුව ඇත්තේ මෙරට නීතියට පටහැනිවද යන කාරණය සම්බන්ධයෙන් සොයා බැලීමද මෙම කොමිසමට පැවරී තිබිණි.
කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.
කෙසේවෙතත් ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය මිලදී ගත් ලයිකා මොබයිල් හිමිකරු වන සුභාෂ්කරන් අලිරාජා නැමැත්තා කොටි සංවිධානය සමග සමීප සබධතා පැවැත්වූවකු බවටත්, ඔවුන් සමග මුදල් ගනුදෙනු සිදු කළ අයකු බවටත් විශාල චෝදනාවක්ද එල්ල වී ඇත.










