පසුගිය සතියේ මෙරට දේශපාලනය උණුසුම් කළ ප්‍රධාන මාතෘකාව වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රමුඛව ඇති කර ගත් නව දේශපාලන සන්ධානයය. ප්‍රධාන පක්ෂ දෙකට අමතරව තවත් පක්ෂ කිහිපයක එකතුවෙන් නිර්මාණය වූ එය නම් කර තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙසිනි. එම සන්ධානයේ නායකයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නම් කර තිබූ අතර බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ සිදුවීම වූයේ එම නව සන්ධානයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නම් කර තිබීමය.
තමන් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින බව හිටපු ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ සඳහන් කර ඇත. ඒ අනුව පෙනී යන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා මැතිවරණයට තරග වදින්නේ අලුතෙන් බිහිවූ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ බවය. හිටපු ජනාධිපතිවරයා පමණක් නොව එතුමාගේ පාර්ශ්වය නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කළේ පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගත විය හැකි නමුත් කිසිසේත්ම තමන්ට පොහොට්ටුව ලකුණට එකඟ නොවිය හැකි බවය. ජනාධිපතිවරණයට පෙරද ඒ බව ප්‍රකාශ වූ නමුත් අවසානයේදී පොහොට්ටුව ලකුණින් තරග කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබා දීමට හිටපු ජනාධිපතිවරයා ඇතුළු පාර්ශ්වයට සිදු විය. ඒ අවස්ථාවේ ඔවුන් ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයෙන් පසු ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවය. එහෙත් පසුගියදා බිහි කළ නව සන්ධානයේ ලකුණ ලෙස පොහොට්ටුව ලකුණ යොදා ගන්නා බව ප්‍රකාශ කර තිබීමෙන් පෙනී යන්නේ මහ මැතිවරණයේදී පොහොට්ටුවෙන් තරග වැදීමට හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිස හිත හදා ගෙන ඇති බවය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි වූ මුල් කාලයේ සිටම එය විවේචනය කළ අය අතර ඉදිරියේම සිටි එක් පුද්ගලයකු වූයේ මෛත්‍රිපාල සිරිසේන මහතාය. එපමණක් නොව පසුගිය වසර කිහිපය පුරා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කළ පුද්ගලයන් අතරද සිරිසේන මහතාට ප්‍රමුඛ ස්ථානයක් හිමි විය. දැන් ජනතාව විමසන්නේ එලෙස විවේචනය කළ නායකයකු යටතේ ඇති තමන් දැඩිව විවේචනය කළ දේශපාලන පක්ෂයකින් හිටපු ජනාධිපතිවරයා තරග වදින්නේ කෙලෙසද යන්නය. දේශපාලනයේ සදාකාලික මිතුරන් සහ සතුරන් නොමැති බව ලොව පුරා ප්‍රකට මතයක් බව සැබෑය. එමෙන්ම දේශපාලනඥයන් යනු ලැජ්ජාව නොහඳුනන පිරිසක ලෙසද ජනතාව තුළ මතයක් ඇත. මේ පසුගිය වසර කිහිපය පුරා අවස්ථා කිහිපයකදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිදු කළ ප්‍රකාශයන්ය.
එදා කියපු කතා
අලුත් පක්ෂයක් හැදූ දවසට මෙතෙක් කල් නොකියපු රහස් එළියට දාලා මහ පාරේ ඇවිද ඇවිද ඉන්න අවශ්‍ය වටපිටාව හදනවා
සමහර අය සිහින මවනවා. සැබෑ නොවන සිහින මවනවා හෙට අනිද්දා ආණ්ඩු ගන්න පුළුවන් කියලා. බැහැ. ආණ්ඩු ගන්න බැහැ. අපි බොහොම පැහැදිලිවම කියනවා. මේ ආණ්ඩුව ඉදිරි අවුරුදු 5 ඉදිරියට ගිහිල්ලා අපි ඊළඟට ආණ්ඩු කරන්නේ කොහොමද කියලා 2020දී තීරණය කරනවා. රට විනාශ කළ මිනිස්සු, ප්‍රජාතන්ත්‍රවාදය නැති කළ මිනිස්සු, සුදු වෑන් සංස්කෘතියෙන් මේ රටේ මුළුමහත් ජනතාවක් භීතියට පත් කළ මිනිස්සු මේ රටේ කෝටි ප්‍රකෝටි ගණනක් හොරකං කළ මිනිස්සු, මේ රටේ ඉතිහාසයේ අසීමිතව කිසිම කාලයක නොආ විදියට දූෂණයට, වංචාවට, නාස්තියට ඔටුනු පලඳපු මිනිසුන්ට මේ රටේ නැවත ආණ්ඩුවක් කරන්න අපි කිසි දවසක ඉඩ තියන්නේ නැහැයි කියන එක බොහොම පැහැදිලිව තමුන්නාන්සේලාට කියනවා. දැන් අපිව පෙරළන්න අලුත් පක්ෂ හදනවලු. හදලා බලමු. මම ඒ අයට කියනවා ගිය අවුරුද්දේ ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණය වෙලාවේ ඒ ගොල්ලන් කළ වංචා දූෂණ හොරකම්, ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු, රටක් පාලනය කරද්දී කළ අශීලාචාර තත්ත්වය අපි එදා හෙළි කළා වගේම ඒ අය අලුත් පක්ෂයක් හැදුවොත් හැදූ දවසට මෙතෙක් කල් නොකියපු දේවල්, මෙතෙක් කල් රහස් විදියට රැකගෙන සිටි දේවල්, ඒ අයට සදාකාලිකවම ආණ්ඩු කරන්න නෙවෙයි මහ පාරේ ඇවිද ඇවිද ඉන්න අවශ්‍ය වටපිටාව අපි මේ රටේ හදනවයි කියන එක මම බොහොම පැහැදිලිව තමුන්නාන්සේලාට ප්‍රකාශ කරනවා.
ඔය අලුත් දේශපාලන පක්ෂය හදා ගෙන තියෙන්නේ මොකටද? එක පවුලක් අනාගතයේ ආණ්ඩුවක් හදා ගන්න: දූෂිත පවුලක් නැවත මේ රටේ රාජ්‍ය බලය සඳහා ගෙන එන්න හදාගත්ත පක්ෂයක්
ඔය අලුත් දේශපාලන පක්ෂය හදා ගෙන තියෙන්නේ මොකටද? එක පවුලක් අනාගතයේ ආණ්ඩුවක් හදා ගන්න. බොහොම සරල උත්තරය ඒකයි. මොන තර්කය දැම්මත්, මොන උත්තරය දුන්නත්, ඇත්ත කතාව ඒකයි. ආණ්ඩුවක් පරාජය වුණේ, පක්ෂයක් පරාජය වුණේ. මේ රටේ ජනාධිපති කෙනෙක් පළමුවැනි වරට ඡන්දයකින් පරාජයට පත් වුණේ එක පවුලක දූෂිත පවුල්වාදී පාලනය නිසයි. ඒක තමයි ඇත්ත කතාව. අලුත් පක්ෂය මොන බෝඞ් එකෙන් ආවත්, මොන වීරත්වය කිව්වත්, මොන දේශප්‍රේමීත්වය කිව්වත්, පැහැදිලිවම අලුත් පක්ෂය කියන්නේ දූෂිතයන් ආරක්ෂා කර ගන්න හදා ගත්ත, ඒ දූෂිත පවුලක් නැවත මේ රටේ රාජය බලය සඳහා ගෙන එන්න හදාගත්ත පක්ෂයක්. කවුද එතැන ඉන්නේ. ඔවුන් මාධ්‍ය වීරයෝ වගේ කතා කරන්නේ. බොහොම පිරිසුදු මිනිස්සු වගේ කතා කරන්නේ. ගන්න එතැන ඉන්න අයගේ නාම ලේඛනය. පොඩි පිරිසක් ඉන්නවා හොඳ පිරිසක්. නොමඟ ගියා හෝ, ඈත් වෙන්න බැරි කමට හෝ හොඳ පිරිසකුත් එතැන ඉන්නවා. නමුත් එතැන බලය හසුරුවන්නේ සහ බලය මෙහෙයවන්නේ එක් පවුලක් සහ ඉතාම දූෂිත දේශපාලනඥයෝ පිරිසක්. මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා, මගේ හොඳ මිත්‍රයා, නීතිය පිළිබඳ මහාචාර්යවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන “අ” යන්නක් දන්නේ නැති මහාචාර්යවරයා, ඒක තමයි ඇත්ත කතාව. එහෙම කෙනෙක් තමයි අලුත් පක්ෂ හදාගෙන කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දක්ෂ නීතිඥයෙක්ලු. බණ්ඩාරනායක දර්ශනය තියෙන කෙනෙක්ලු. මේක පුදුම කතාවක්. බණ්ඩාරනායක දර්ශනය මරපු, බණ්ඩාරනායක දර්ශනය මරන්න අලුතෙන් පක්ෂ හදපු, මම පක්ෂ ලේකම් කාලේ බණ්ඩාරනායක නම කියන්න එපා කියලා මට ලියුම් ගහපු මිනිස්සු, දැන් බණ්ඩාරනායක මැතිතුමාගේ දර්ශණය, ප්‍රතිපත්තිය තියෙන්නේ එතැනයි කියනවා. ඒ අය කාර්යාලවලත් බණ්ඩාරනායක මැතිතුමාගෙයි, මැතිනියගෙයි ෆොටෝ ගහගෙන ඉන්නවා. 2010න් පස්සේ මට කියූ දේවල මම දන්නවා. ඒ නිසා තමයි මම එතැනින් අයින් වුණේ. මට නොගැළපෙන නිසා. ප්‍රජාතන්ත්‍රවාදය නැති නිසා.
මම පැරදුනා නම් මේ වෙද්දි පොළොවේ පස් යට
මම ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වුණා නම් තමුන්නාන්සේලාට නැවත මාව දකින්න නොලැබෙන්න තිබුණා. මට විතරක් නෙවෙයි. මගේ බිරියට, දරුවන්ට මේ වන විට මේ මහ පොළොවේ පස් යට ඉන්න තිබුණේ කියන එක මම දන්නවා. මම දන්නවා ඡන්දයට පෙර මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලනය තුළ සියලු පිඹුරුපත් සකස් කර තිබුණා මැතිවරණය අවසන් වූ වහාම මගේ දරුවන් අත්අඩංගුවට ගන්න.
රජ පවුලේ ඉන්න යුව රජෙක් මේ බහුජාතික සමාගම් නියෝජනය කළා
ගොවි පවුලක උපන් දරුවකු ලෙස ගොවි ජනතාවගේ ප්‍රශ්න මම දන්නවා. මම කෘෂිකර්ම ඇමැති ලෙසත්, සෞඛ්‍ය ඇමැති ලෙසත්, කැබිනට් එකට යෝජනාවක් ගෙනාවා වකුගඩු රෝගයට බලපාන වල්නාශක, කෘමිනාශක ගේන්න එපා කියලා. ඒ යෝජනාව ගෙනාව හැම අවස්ථාවකම මම අසරණ වුණා. රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක, පාඨලී චම්පික ඇමැතිවරු මට සහයෝගය දුන්නත්, රජ පවුලේ ඉන්න රජ පවුලේ ඉන්න යුව රජෙක් මේ බහුජාතික සමාගම් නියෝජනය කරන නිසා ඒ යෝජනා යටපත් වුණා. ඒ වගේම තමයි දුම්කොළ ජාවාරම්කාර සමාගම් සහ ඖෂධ ජාවාරම්කාර සමාගම් රකින්න ඉස්සරහට එන්නෙත් මේ යුවරජ තමයි.
රෝහල්වල ගිලන් රථයක් නැහැ: හැබැයි රාජපක්ෂ පවුලේ කුමාරවරුන්ට, යුව රජාට විතරක් නෙවෙයි යුව රජාගේ රැජිනියටත් ගිලන් රථයක් පස්සෙන් යවන්න ඕනෑ
මහින්ද රාජපක්ෂ මහත්තයා හිතාගෙන ඉන්නේ මේ රටේ මිනිස්සු හොඳට සැප විඳිනවා කියලා. රාජපක්ෂ පවුලේ කන බොන හැටි, අඳින පලඳින හැටි, රජ සැප විඳින හැටි, රජ මාලිගා පසුගිය අවුරුදු කිහිපයෙහි හදපු හැටි, ජනාධිපති මන්දිර හයක් කෝටි දහස් ගානක් වියදම් කරලා සුඛෝපභෝගී කළ හැටි, වෙඩි නොවදින කාර්, ජීප්, රජ පවුලේ කුමාරවරුන්ට, මහ රැජිනට, ගම්පහ දිස්ත්‍රික්කයේ යුව රජාට, මේ ඔක්කොටම ගෙනාවා. මට කනගාටු රත්තරන් දරුවනේ මම සෞඛ්‍ය ඇමැති විදියට අවුරුදු හතර හමාරක් වැඩ කෙරුවා. මම ඔය ටිකට ඇම්බියුලන්ස් 480ක් ගෙනාවා. ගෙනාවේ තුන් සැරයකට. පිට රටින් ගිලන් රථ ගෙනාවම හැමදාම අරලිය ගහ මන්දිරයෙන් ඕඩරය එනවා මට එන හැම ගිලන් රථ කාණ්ඩයකම හොඳම ටික යවන්න ඕනෑ. කුමාරවරුන්ටයි, මහ රැජිනයටයි, යුව රජාටයි ආරක්ෂාවට පස්සෙන් යන්න. මම මේ ඇත්ත කියන්නේ. අපේ ඈත එපිට ගම්වල උතුරු නැඟෙනහිර, අනුරාධපුර, පොළොන්නරු, අම්පාර ඒ මහා දුෂ්කර ප්‍රදේශවල ගම්වල ග්‍රාමීය රෝහල් වල අසරණ රෝගීන් බරපතළ තත්ත්වයක් ඇති වුණාම මහ රෝහලට ගේන්න ගිලන් රථයක් නැහැ. හැබැයි රාජපක්ෂ පවුලේ කුමාරවරුන්ට, යුව රජාට විතරක් නෙවෙයි යුව රජාගේ රැජිනියටත් ගිලන් රථයක් පස්සෙන් යවන්න ඕනෑ.
මහින්දගේ දූෂිත පාලන කාලයෙහි තමයි ලංකා ඉතිහාසයේ මිනීමැරුම්, කාන්තා හිංසනයන්, ළමා අපචාර, ගණිකා වෘත්තිය, එතනෝල් ජාවාරම්, කුඩු ජාවාරම් වැඩි වශයෙන් සිදුවී තිබෙන්නේ
මහින්දගේ දූෂිත පාලන කාලයෙහි තමයි ලංකා ඉතිහාසයේ මිනීමැරුම්, කාන්තා හිංසනයන්, ළමා අපචාර, ගණිකා වෘත්තිය, එතනෝල් ජාවාරම්, කුඩු ජාවාරම් වැඩි වශයෙන් සිදුවී තිබෙන්නේ. එතනෝල් ගෙන්වන කැබිනට් ඇමැතිවරු පස් දෙනෙක් ඉන්න බව මම ඒ ආණ්ඩුවේ හිටපු ඇමැතිවරයෙක් ලෙස දන්නවා. මේ ආණ්ඩුව මහ පරිමාණයේ ව්‍යාපෘති සිදු කළාම එහි 2/3ක කොමිස් මුදල රාජපක්ෂ පවුලට යනවා. වරායවල්, පාරවල්, ගුවන්තොටුපොළවල් මේ ආදී සියලුම දේවලින් කොමිස් මුදල රාජපක්ෂ පවුලට ලැබෙන විදියටයි මේ අය කටයුතු කරලා තියෙන්නේ.
හෙලිකොප්ටර් හයක් ළමයින්ට බෙදුවා: බකිංහැම් අශ්වගාලෙන් රත්තරන් අශ්වයකුත් ගෙනාවා: වෙඩි නොවදින කාර්: හැම තැනම ජනාධිපති මන්දිර: මේ කාගෙ සල්ලිද?
ගිය අවුරුද්දේ හෙලිකොප්ටර් හයක් ගෙනත් ළමයි අතරේ බෙදලා දුන්නා. එංගලන්තේ බකිංහැම් අශ්වගාලෙන් රත්තරන් අශ්වයකුත් ගෙනාවා. උදේ හෙලිකොප්ටරේ ගිහින් දරුවා අශ්වයා පදිනවා. හවස නුවරඑළියේ ඉඳන් ඒකෙම කොළඹ එනවා. කුමාරවරුන්ට හෙලිකොප්ටර්. වෙනම ආරක්ෂාව. වෙඩි නොවදින කාර්. මෙන්න තාරුණ්‍යයට හෙටක්. මේ රටේ කිසිම රාජ්‍ය නායකයෙක් ඔය කොටුවේ ජනාධිපති මන්දිරයට තීන්ත ටිකක් ගෑවා මිසක් ඇතුළේ ගොඩනැගිලි හැදුවේ නැහැ. නමුත් පහුගිය අවුරුදු පහේදී හයේදී ජනාධිපති මන්දිරයට කෝටි සිය ගණනක් වියදම් කළා. ජනාධිපති මන්දිර කීයක් තියෙනවාද දන්නවාද? දැන් අනුරාධපුරේ, මහනුවර, නුවරඑළිය, ඇඹිලිපිටිය හැම තැනම ජනාධිපති මන්දිර. මේ කාගෙ සල්ලිද?
මහින්ද රාජපක්ෂ එක්ක මගේ කිසිම ගනුදෙනුවක් නැහැ
බොහොම පැහැදිලිව මම කියන්න ඕනෑ ඉදිරි මැතිවරණ ව්‍යාපාරයෙහි මහින්ද රාජපක්ෂ මහත්මයත් එක්ක මගේ කිසිම ගනුදෙනුවක් නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයාට ජනවාරි 08ට කලින් තිබුණු විරෝධය මගේ අදත් එහෙමමයි. ඒක තමයි ඇත්ත තත්ත්වය. මේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරනවා නම් මහින්ද රාජපක්ෂ මහත්තයා හැර ඕනෑ තරම් ජ්‍යෙෂ්ඨයෝ ඉන්නවා අගමැති ධුරයට පත් කරන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති විදියට ඉන්න කාලේ වෙන කිසිවකුට ජනාධිපති වෙන්න ඉඩ නොදී ජනාධිපති වෙලා ඉන්න පුළුවන් වාර ගණන අයින් කෙරුවා. එතකොට එයා ජීවත්ව ඉන්න කල් සදාකාලිකව තරග කරන්න පුළුවන්. වාර ගණන අසීමිතයි. එතකොට දැන් මේ මොකද කරන්න හදන්නේ. දැන් මේ පක්ෂයේ අගමැතිවරු විදියට සුදුසුකම් තියන අනෙක් ජ්‍යෙෂ්ඨයන්ට තියෙන අවස්ථාවත් නැති කරලා එතැනට එන්න තමයි එයා සූදානම් වෙන්නේ. ඒ හින්දා මේ මැතිවරණ ව්‍යාපාරයෙහි මම බොහොම මැදිහත් පිළිවෙළකයි ඉන්නේ.
මේ රටේ මත්ද්‍රව්‍ය වැපුරුවේ මහින්ද රාජපක්ෂ
මේ රටේ මත්ද්‍රව්‍ය වැපුරුවේ මහින්ද රාජපක්ෂ පාලනයයි. මහින්ද රාජපක්ෂ ජනතාවට සිනාසෙමින් ඡන්ද තියමින් ඉතාම දූෂිත ලෙස ජන මතය කොල්ලකමින් දූෂිත නායකයකු බවට පත් වුණා. මම එළියට එන්න පැය 11කට කලින් ආප්ප කාලා තේ බීලා ආවා. දැන් ඒ අය කියනවා ආප්පත් කාලා, තේත් බීලා නේද මෛත්‍රිපාල ගියේ කියලා. ඔව්. ආප්පත් කාලා තමයි එළියට බැස්සේ. රටේ ජාතික ධනය කාපු නායකයොත් එක්ක ඉන්න බැරි නිසයි එළියට බැස්සේ.
අටේ පාරක් ගහලා ඊළඟට කුමාරයාට රට භාර දෙන්න තමයි මේ හදන්නේ
පහක් කරලා දෙවැනි සැරේ දුන්නා දහයක් ගියා. දැන් අහනවා එක සැරේ අටේ පාරක් ගහන්න. මේක පැහැදිලිව තේරුම් ගන්න. ලෝකයේ කිසිම රටක නායකයෙක් ඡන්දෙන් පත්වෙලා අවුරුදු අටකට බලය දෙන ව්‍යවස්ථාවක් කොහෙවත් නැහැ. තව අවුරුදු දෙකකින් තියන්න ඕනෑ ඡන්දය මෙහාට අරගෙන ඒක හැබැයි ඉල්ලන් කනවා ඒකට කරන්න දෙයක් නැහැ. තව අවුරුදු දෙකක් බලයේ ඉන්න තිබුණා. දැන් බලය අරගෙන තව අවුරුදු දෙකකින් දිවුරුම් දීලා අවුරුදු 8ක් යන්න මේ හදන්නේ. ඡන්දයක් නැතිව අටේ පාරක් තමයි රාජපක්ෂ පවුල ගහන්න හදන්නේ. කොහොමද සෙල්ලම. මොළේ කළඳක් තියෙන මිනිහෙක් මේ මිනිසුන්ට ඡන්දය දෙනවාද? දහය ඉඳලා තව අටේ පාරක් ගහලා ඊළඟට කුමාරයාට රට භාර දෙන්න තමයි මේ හදන්නේ.
කී දෙනෙක්ට සර් කියන්නද: ඇයි මහින්ද-බැසිල්-ගෝඨා-නාමල් ඔය ඔක්කොම ජනාධිපතිවරු
මේ සටනේදී මහ ජනතාවට තියෙන්නේ සරල ප්‍රශ්නයක්. රට රකිනවාද? පවුල රකිනවාද? රට රකිනවා නම් හංසයාට. පවුල රකිනවා නම් බුලත් කොළයට. පහුගිය කාලේ අපේම ඇමැතිවරු මගෙන් ඇහුවා කී දෙනකුට සර් කියන්නද කියලා. ඇයි මහින්ද- බැසිල්- ගෝඨාභය- නාමල් ඔය ඔක්කොම ජනාධිපතිවරු. හොඳ ගතිගුණ තියෙන්නේ චමල්ට විතරයි. රටේ ජාතික ධනය, භාණ්ඩාගාරය, රාජ්‍ය වත්කම් 60%ක් තියෙන්නේ මේ තුන්දෙනා අතේ.
මහින්ද නියෝජනය කරන්නේ අවි බලය
මහින්ද මහත්තයා නියෝජනය කරන්නේ අවි බලය, ධන බලය. මම නියෝජනය කරන්නේ ජන බලය. මෙදා ස්ථිරවම අවි බලය, ධන බලය පරදා ජන බලය දිනනවා.
අද කියන කතාව
ගෝඨාභයට තුනෙන් දෙකේ බලයක් ලබා දෙන්න මම සූදානම්
අද සමහර අය පක්ෂ ගැන කතා කරනවා. දේශපාලන පක්ෂ නෙවෙයි අද මේ රටේ ප්‍රශ්නය. රට සහ ජනතාව. එතැනටයි විසඳුම් දෙන්න ඕනෑ. පක්ෂ බදාගෙන ඒකට රණ්ඩු වෙන එක නෙවෙයි කරන්න ඕනෑ. අපේ එක ලොකු එක අපේ එක පොඩි එක කියලා කතා කරන එක නෙවෙයි කියන්න ඕනේ. අද රට තියෙන තැනින් කොහොමද ගොඩ ගන්නේ? ආර්ථික අර්බුදයත් එක්ක කොහොමද රට ගොඩ ගන්නේ? එතැනටයි අපි යන්නට ඕනෑ. ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන්න අපි තීරණය කළේ පසුගිය ඔක්තෝබර් මාසයේදී. අපි ගිවිසුම් අස්සන් කළා. එතුමා සමඟ අස්සන් කළා. පොදුජන පෙරමුණ එක්ක අස්සන් කළා. ඒ ගිවිසුම් අනුව තමයි අපි ඒ මැතිවරණය කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබා දුන්න විශිෂ්ට සහයෝගය හින්දා තමයි වැඩි ඡන්ද ගානක් එතුමාට ගන්න පුළුවන් වුණේ. දැන් ඉදිරි මැතිවරණයේදී අපි එතුමාට 2/3ක බලයක් ලබා දෙන්න ඕනෑ. ඒ වෙනුවෙන් කැප වෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම්.
චන්දන පොන්නම්පෙරුම










