ඕනෑම කෙනෙකුට ආගමක් විශ්වාස කිරීමට ඇදහීමට හෝ එසේ නොකර සිටීමට අයිතියක් ඇති නමුත්, අනෙකාගේ විශ්වාස වලට ඇදහිලි වලට සහ ආගම් වලට ගැරහීමට හෝ අපහසු පහත කිරීමට කිසිවකුට අයිතියක් නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ රට සියලු ආගමිකයින්ට, සියලු ජාතීන්ට සංහිඳියාවෙන් ජීවත් විය හැකි රටක් බව පැවසූ විපක්ෂ නායකතුමා ඇතැම් විප්ලවකාරී යැයි කියාගන්නා කල්ලි විසින් කරනු ලබන ආගම් විරෝධී ප්‍රකාශ හෙළාදකින බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
සක්වලට සමගාමීව හරහා කරනු ලැබූ 65වන අදියර යටතේ රුපියල් ලක්ෂ 50 ක් වටිනා බස්රථයක්, ඊයේ (06) ජා ඇල නිවන්දම ජිනරාජ ජාතික පාසැල වෙත පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය. ඒ අනුව මේ දක්වා සක්වලට සමගාමීව රුපියල්. 314,200,000ක බස් රථ පරිත්‍යාග කොට ඇත.
ආගම් සහ ජාතීන් අතර විරසක භාවය නිර්මාණය වීම නිසා ඉතිහාසයේ අප්‍රමාණ පාඩම් ඉගෙන ඉගෙනගෙන ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, එකිනෙකාගේ විශ්වාසයන්ට ගරු කිරීමත් එකිනෙකා අතර සංහිඳියාව පැතිරවීමත් සියලු දෙනාගේ වගකීමක් බවද පැවසීය.
දේශපාලන පක්ෂ කඳවුරු වශයෙන් බෙදී වෙන්වී මැතිවරණවලදී තරග කරන නමුත් රටක් ගොඩනැඟීම සහ රටේ සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු යැයි ද පැවසීය.


















