• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

ආණ්ඩුව දෙකට බෙදෙයි! තෙල් සටනින් දිනන්නේ බැසිල්ද ගම්මන්පිලද! කාදිනල් හිමි ආණ්ඩුව ජාත්‍යන්තර අධිකරණයට නග්ගවයිද! අදානිට දෙන්න යන කුට්ටියට මන්ත්‍රීවරු බයවෙලා! ලන්සා ප්‍රතිප්‍රහාරය අකුලගත්ත හැටි! (රාජ්‍ය රහස්)

February 27, 2022
in Exclusive, Rajya Rahas
Reading Time: 21 mins read
A A
ආණ්ඩුව ඇතුළේ පිපිරුමක්! ගෝඨාගෙන් සිංගප්පූරුවේ සිට තහනමක්! බැසිල් අමෙරිකා ගියේ නොඑන්නමද? ප්‍රබල ඇමැති විපක්ෂයට දෙමළෙන් දුන් පණිවුඩය! (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

කාදිනල් හිමියන්ගේ ගමන කවුරුවත් දන්නේ නෑ!

ගාමිණී සෙනරත් අවුලක් හදාගත්තාද?

තෙල් ප්‍රශ්නෙට මහින්ද මැදිහත් වෙයිද?

බයිඩන්ගේ පණිවුඩය අරන් එන යකඩ ගැහැනිය!

පාස්කු ප්‍රහාරය සම්බන්ධ සිදුවීම මේ වන විට ඇත්තේ ජාත්‍යන්තරකරණයට ලක්වය. ඒ පිළිබඳ විමර්ශන නිසි අයුරින් සිදුනොවන බවට කතෝලික පල්ලිය තුළින් නිරතුරුවම මැසිවිලි නැඟුණු අතර රට ඇතුළෙන් ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශන පවත්වා එහි මහමොළකරුවන් අත්අඩංගුවට නොගන්නේ නම් ජාත්‍යන්තර හමුවට යන බවද එම මැසිවිලිවලින් තවදුරටත් කියැවිණි. නමුත් ඒ හරහා කුමක් කරන්නේද යන්න පිළිබඳව කිසිදු අවස්ථාවක තොරතුරු එළියට පැමිණි ආකාරයක් දැකගන්නට නොලැබිණ.
එවැනි පසුබිමක් යටතේ ඉකුත් සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප පළමුවරට විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉටුකරවා ගැනීම සඳහා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඉතාලියේ වතිකානුව බලා පිටත්ව යෑමට සූදානමින් සිටින බවකි. එම වතිකානු ගමනේදී පාප්වහන්සේ මුණගැසී මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමටත්, ඉන් අනතුරුව ඇමෙරිකාවට පිටත්ව යෑමට සූදානමින් සිටින බවත් එහිදී අපි වැඩිදුරටත් කියා සිටියෙමු. එමෙන්ම පාප්වහන්සේ වතිකානුව බලා රැගෙන යෑම සඳහා වතිකානුවේ සිට විශේෂ නියෝජිතයකු ලෙස නෙවිල් ජෝ පියතුමා ලංකාවට පැමිණ සිටින බවද අපි එහිදී අනාවරණය කර සිටියෙමු.

වෙනදා කොළඹින් පිට යන ජෝ පියතුමා මෙදා දොරවල් වහගෙන දිවා රෑ රහස් සාකච්ජාවල!

ඒ අනුව මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අනාවරණය කිරීමට සූදානම් වන්නේ මෙම ගමනේ සැඟව තිබූ තවත් විශේෂ කරුණු රාශියකි. සාමාන්‍යයෙන් නෙවිල් ජෝ පියතුමා ලංකාවට පැමිණීමෙන් අනතුරුව කොළඹින් පිට පළාත්වලට යාමද නිරතුරුව සිදුවන්නකි. නමුත් මෙවර කුතුහලය දනවන සිදුවීම වූයේ නෙවිල් ජෝ පියතුමා ලංකාවට පැමිණීමෙන් පසු කොළඹ පිහිටි අගරදගුරු නිල නිවෙසින් එළියටවත් නොබැසීමය. ඒද නිකම් නොව කාදිනල් හිමියන් සමග දොරගුලු ලාගෙන සාකච්ඡා පවත්වමින්ය. දිවා රෑ වෙනසක් නැතිව පැවැත්වුණු මෙම සාකච්ඡාවලට තවත් පියතුමන්ලා දෙදෙනෙක්ද සම්බන්ධ වී තිබීම විශේෂ සිදුවීමක් විය.

වැඩ බලන්නත් කවුරුත් නෑ! තුන්දෙනෙක් විතරයි දන්නෙත්!

මීට අමතරව සාමාන්‍යයෙන් වෙනදා කාදිනල් හිමිපාණන් විදෙස්ගත වන්නේ නම් එහි වැඩ බැලීම සඳහා වෙනත් පියතුමකු පත්කිරීමක් සිදුකෙරේ. නමුත් මෙවර කාදිනල් හිමිපාණන් සිය වතිකානු සංචාරය අතරතුර සිය තනතුරේ වැඩ බැලීම සඳහා කිසිදු පියනමක පත්කළේ නැත. ඒ වෙනුවට උන්වහන්සේ කර තිබුණේ සිය වතිකානු ගමන පිළිබඳ තමන්ට සමීප ජ්‍යෙෂ්ඨ පියතුමන්ලා තිදෙනෙකු දැනුවත් කර තිබීම පමණි.

යන දවසක්-යන වෙලාවක් කවුරුවත්ම දන්නෙ නෑ!

මේ සියල්ල අතරතුර දැකගැනීමට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මෙම වතිකානු ගමන අවසාන මෙහොත වනතෙක්ම රහසක් ලෙස තබා ගැනීමට කාදිනල් හිමිපාණනුත්, කතෝලික පල්ලියත් වගබලාගෙන තිබීමය. එසේම කාදිනල් හිමිපාණන් යන්නේ කුමන රටවල්වලටද, එසේ යන්නේ කවදාද, එසේ ගොස් හමුවන්නේ කවුරුන්ද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් පිටතට නොදීමටද මෙහිදී සියල්ලන්ම වගබලාගෙන තිබිණි. ඊට හේතු වශයෙන් දැක්වූයේ යම් හෙයකින් එම තොරතුරු එළියට ආවා නම් කාදිනල් හිමියන්ගේ සංචාරයට යම් යම් බාධා පැමිණෙනු ඇති බවට කතෝලික පල්ලිය තුළ තිබුණු සිතුවිල්ලය. ඒ අනුව ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ කාදිනල් හිමියන් මෙම සංචාරයේදී පළමුව වතිකානුවට ගොස් ඉන් අනතුරුව ජර්මනියටත්, පසුව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරටත්, අවසානයේදී ඇමෙරිකාවටත් යෑමට සැලැසුම් කර ඇති බවකි.

කාදිනල් හිමි සාධාරණය ඉල්ලා හේග් නුවරටත් යයි!

කෙසේ වෙතත් මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප තවත් අතිවිශේෂ කරුණක් හෙළිකිරීමට සූදානම්ය. ඒ, මෙම සංචාරයේදී කාදිනල් හිමියන් නෙදර්ලන්තයේ හේග් නුවරටද යෑමට සැලැසුම් කර ඇති බවය. එසේ හේග් නුවර බලා යන්නේ අන් කිසිවක් නිසා නොව එහි ඇති සාධාරණත්වය සම්බන්ධයෙන්ධි වූ අධිකරණයට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහාය. සාමාන්‍යයෙන් ලොව කුමන හෝ රටක සිදුවන අසාධාරණ ක්‍රියාවක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් අධිකරණමය කටයුතු සිදුවන්නේ හේග් නුවර පිහිටි මෙම සාධාරණත්වය සදහා වූ අධිකරණය හරහාය. ලොව රාජ්‍ය නායකයන්, හමුදා නිලධාරීන් බොහෝ දෙනෙකුට එරෙහිව මෙම ජාත්‍යන්තර අධිකරණයේ තවමත් විවිධ නඩු කටයුතු ක්‍රියාත්මක වන ආකාරයක් දැකගන්නට පුළුවන. ඒ අනුව මෙවර කාදිනල් හිමියන් සූදානම් වෙන්නේ සිය අවසන් තුරුම්පුව ලෙස පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ. එසේ වුවහොත් පාස්කු ප්‍රහාරය මුල්කරගෙන ලංකාවට අතිශය බරපතළ සහ අතිභයානක තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු නොඅනුමානය. මේ සම්බන්ධයෙන් කාදිනල් හිමියන් පසුගිය මාස 2 පුරාම ලෝක විවිධ අගරදගුරු හිමිවරුන් සමග ඔන්ලයින් තාක්‍ෂණය ඔස්සේ සංවාද රැසක් පවත්වා විශාල වැඩකොටසක් අවසන් කොට ඇති ආකාරයක්ද මේ වන විට අනාවරණය වී තිබේ.

දූත පිරිසත් වෙනස් කරයි!

මීට අමතරව මෙවර කාදිනල් හිමියන් සිය සංචාරය සඳහා වෙනදා රැගෙන යන පියතුමන්ලා වෙනුවට සම්පූර්ණයෙන්ම වෙනස් කණ්ඩායමක් සිය දූත පිරිස ලෙස තෝරා ගැනීමටද පියවර ගෙන ඇති බව ආරංචිය. එසේ යන බව දැනුම් දී ඇත්තේද වතිකානුව බලා පිටත්ව ගිය ඉකුත් අඟහරුවාදා දිනට පෙර දිනය. එහිදීද තමන් ගුවන්යානයට ගොඩවෙන වේලාව සම්බන්ධයෙන් කිසිවක් සඳහන් නොකිරීමටද කාදිනල් හිමියන් වගබලාගෙන තිබීම විශේෂ සිදුවීමකි.

ගාමිණී සෙනරත් අවුලක් කළාද?

හිටපු ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජකාරි කරන කාලවකවානුවේ එල්ල වූ විශාල චෝදනාවක් වූයේ ජනාධිපති කාර්යාලයත්, අගමැති කාර්යාලයත් අතර නිසි සම්බන්ධීකරණයක් නොපවත්වන බවය. ජනාධිපතිවරයා හා මැති ඇමැතිවරුන් අතර නිසි සම්බන්ධීකරණයක් නොපවත්වන බවය. මේ නිසාම නිරතුරුවම පී. බී. එම තනතුරෙන් ඉවත් කරන ලෙසට ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරුන්ගෙන් පමණක් නොව රාජපක්‍ෂ පවුල ඇතුළෙන්ම පවා ජනාධිපතිවරයා වෙත ඉල්ලීම් ඉදිරිපත් විය. අවසානයේදී පී. බී. මාතෘකාව මුල්කරගෙන රාජපක්‍ෂ පවුල ඇතුළේ සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීමට පවා සිදුව තිබිණි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ පී. බී.ට ජනාධිපති ලේකම් තනතුරෙන් ඉවත්ව ගෙදර යෑමට සිදුවීමය. අගමැතිවරයාගේ උපදෙස් පරිදි නව ජනාධිපති ලේකම්වරයා ලෙස අගමැති ලේකම් ගාමිණී සෙනරත් මහතා පත්කිරීමය. බොහෝ දෙනාගේ අදහස වී තිබුණේ ගාමිණී සෙනරත්ගේ සම්ප්‍රාප්තිය හරහා ආණ්ඩුව ඇතුළේ කැකෑරෙමින් තිබූ මෙම අර්බුදය සමනය වනු ඇතැයි කියාය.

ජනපතිත් අනුමැතිය දීලා!

ඒ අනුව ගාමිණී හීන්සීරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ යම් යම් වෙනස්කම් කරමින් රාජකාරි සිදුකරන ආකාරයක් පසුගිය සති කිහිපය පුරා දැකගන්නට ලැබිණි. නමුත් ඉකුත් සතියේ තත්ත්වය හිටිහැටියේම වෙනස් වූයේ ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළේ ප්‍රබල තනතුරු 4ක් වෙනස් කිරීමට ගාමිණී සෙනරත් කටයුතු කර තිබීමත් සමගය. අපට ඇති ආරංචි මාර්ග අනුව නම් ගාමිණී මුලින්ම සිදුකොට ඇත්තේ එතෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේ පුරප්පාඩුව පවතින තනතුරු පිරවීම සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමය. එහිදී ජනාධිපතිවරයාද ඊට රුකුල් දෙමින්, ‘මටත් මේ පෙළක් පත්වීම් ගැන එපාවෙලා තියෙන්නේ. ඒ අය අයින් කරලා ඔයාට කැමැති විදියට පරිපාලන නිලධාරීන් දාගන්න…’ යනුවෙන් ප්‍රකාශ කොට ඇති බවක් ආරංචිය.

හමුදා නිලධාරීන් 4ක් අයින් කරයි! ‌අරුණ පත්තරේ එළියට දමයි!

ඒ අනුව ගාමිණීද වහාම ක්‍රියාත්මක වෙමින් එම පුරප්පාඩු පුරවන අතරවාරයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජකාරි කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සිව්දෙනෙකුද එම තනතුරුවලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබිණි. එසේ ඉවත් කොට එම තනතුරු හතරටද වෙනත් පරිපාලන නිලධාරීන් පත්කිරීමට ගාමිණී කටයුතු කර තිබිණි.
කෙසේ වෙතත් මෙම ඉවත් කිරීම්, පත්කිරීම් පිළිබඳව ඒ මොහොතේ ගැටලුවක් ඇති නොවුණත් සිද්ධිය ආන්දෝලනාත්මක එකක් බවට පත්වුණේ ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාට අයත් ‘සති අග අරුණ’ පුවත්පත ජනාධිපති ලේකම් කාර්යාලයේ තනතුරු රැසක් වෙනස් කිරීමට පියවර ගෙන ඇති බවට පුවතක් පළ කිරීමත් සමගය. එම පුවත ඇතුළෙහි මේජර් ජෙනරාල්වරු හතර දෙනෙකු ඉවත් කොට තිබූ බවද සඳහන්ව තිබිණි.

තනතුරු වෙනස මග නවතී!

ඒ අනුව එම අනු පුවතෙහි කිසියම් විශේෂත්වයක් ඇති නිසා එම කොටස පමණක් උපුටා දක්වමින් අප ‘මව්රටනිවුස්’ වෙබ්අඩවියද එය පළකිරීමට පියවර ගෙන තිබිණි. කෙසේ වෙතත් එම පුවත අප විසින් පළ කිරීමත් සමග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළේ කිසියම් කැළඹීමක් හටගෙන තිබිණි. එම කැළඹීම කොපමණ දුරදිග ගියාද කියනවා නම් අදාළ තනතුරු වෙනස අත්හිටුවන තරමටම තත්ත්වය ඔඩුදුවා තිබිණ. ඒ අනුව අවසානයේදී ජනාධිපතිවරයා තීන්දු කර තිබුණේ ඉහත සඳහන් විශ්‍රාමික මේජර් ජනරාල්වරුන් සිවුදෙනාගේ තනතුරු වෙනස් නොකිරීමටය. මීට අමතරව ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් පවා මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබිණි. අදාළ නිවේදනය ජනාධිපති ලේකම් කාර්යලෙය් තනතුරු වෙනස්කම් මුල්කරගෙන නිකුත් වුවද එහි කිසිදු තැනක එවැනි වෙනස්කමක් සිදුව ඇති බවක් සඳහන්ව නොතිබීම විශේෂ සිදුවීමක් විය. එමෙන්ම මේ සම්බන්ධයෙන් ගාමිණී සෙනරත්ගේ පාර්ශ්වයෙන් හෝ යම් නිවේදනයක් නිකුත් වන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. ඒ අනුව එම සිදුවීම හීන්සීරුවේ යටගියත් තනතුරු වෙනස් කිරීම මුල්කරගෙන යම් අර්බුදයක් මතුව තිබූ බවක් නම් පැහැදිලිව දැකගන්නට ලැබී තිබිණි.

ඉහළින් තවත් අත්හිටුවීමක්! ඇමැතිවරයෙක් කලකිරීමෙන්!

මේ තනතුරු වෙනස් කිරීම සම්බන්ධයෙන් මතුව තිබූ අර්බුදයට අමතරව පසුගිය සතියේ තවත් තනතුරක් සම්බන්ධයෙන්ද යම්කිසි අර්බූදයක් මතුව තිබිණ. ඒ, ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් ඇමැතිවරයෙකුට අයත් දෙපාර්තමේන්තුවක ඉහළ තනතුරක් මුල්කරගෙනය. කලක් තිස්සේ ඉදිරිපත්ව තිබූ චෝදනා හේතුවෙන් මෙම ප්‍රබල අමාත්‍යවරයා අදාළ නිලධාරියාව එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබිණ. නමුත් මොහොතක් යෑමට මත්තෙන් ආ ඉහළ නියේගයකින් එම නිලධාරියාව ඉවත් කිරීම අත්හිටුවීමට කටයුතු කළ ආකාරයක් දැකගන්නට ලැබිණ. මේ හේතුවෙන් අදාළ ප්‍රබල අමාත්‍යවරයා මේ දිනවල යම් කලකිරීමකින් සිටින බවද ආරංචිය.

ලන්සා ෂේප් කරපු හැටි!

පසුගිය සතියේ ආණ්ඩුව ඇතුළේ කැරැල්ලක් ගැසූ රාජ්‍ය අමාත්‍යවරයා වූයේ නිමල් ලන්සා මහතාය. ඒ අනුව පසුගිය සතියේ ලන්සා සම්බන්ධයෙන් විශේෂ තොරතුරු රැසක් ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රටට අනාවරණය කිරීමට අපි පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ ලන්සා සතුව අතිශය රහස් හඬපට රැසක් පවතින බවත්, කිසිවකු හෝ ඔහුට එරෙහිව ප්‍රහාර එල්ල කරන්නේ නම් එම හඬපට එළියට දැමීමට ඔහු සූදානමින් සිටින බවත්ය.

විශේෂ ප්‍රකාශය අතේ රෝලක්!

කෙසේ වෙතත් පසුගිය සඳුදා මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය රැසක්ම පුවත් පළකරමින් කියා සිටියේ අඟහරුවාදා දින පාර්ලිමේන්තුවේදී ලන්සා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට සූදානම්ව සිටිනවා යැයි කියාය. නමුත් ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කළේ ලන්සා විසින් එවැනි ඉල්ලීමක් ආණ්ඩුව වෙත ඉදිරිපත් කොට නැති බවකි.

ආණ්ඩුවේ පිටිපස්සෙම වාඩිවෙයි!

ඒ කොයිහැටි වෙතත් ලන්සා පසුගිය සඳුදා ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වීමට පියවර ගත්තේය. ඒ තමාගේ අතිජාත මිතුරා වූ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දු සමගය. එසේ නලින් සමග පැමිණි ලන්සා වාඩිවූයේ කණ්ඩායම් රැස්වීමේ අවසන් පේළියේය. ලන්සා සමග දුරකතන ඇමැතුමක් හරහා පැටලුණු පුත්තලමේ සනත් නිශාන්ත සිටියේ ලන්සාට පේළි 4ක් ඉදිරියෙනි. ඒ වන විටත් කණ්ඩායම් රැස්වීම ආරම්භ වී තිබුණු අතර අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාත්, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාත්, ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් සිටියේ මුලසුනේ අසුන්ගෙනය.

කතාකරන්න අත උස්සයි!

එහිදී පළමුවෙන්ම මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡා වූයේ ආර්ථිකය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්‍ෂය ඉල්ලා තිබූ විවාදයේදී අදහස් දක්වන මැති ඇමැතිවරුන් පිළිබඳවය. එහිදී සාමාන්‍යයෙන් සිදුවන්නේ කතා කිරීමට කැමැති මැති ඇමැතිවරුන් අත ඔසවා ඊට කැමැත්ත ප්‍රකාශ කිරීමය. ඒ අනුව ලන්සාද පිටුපස ආසනයේ සිට සිය අත එසවීමට පියවර ගත්තේය.

ජොනී උපරිම වෙලාව දෙයි!

මෙසේ විවාදයක් සඳහා කථිකයන් ඉදිරිපත් වූ විට ඒ සඳහා කලවේලාව වෙන් කරනු ලබන්නේ ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය මගිනි. ඒ අනුව ප්‍රධාන සංවිධායකවරයා වූ ජොන්ස්ටන් කිසිදු ගැටලුවකින් තොරව ලන්සාට විනාඩි 12ක කාලයක් ලබා දීමට පියවර ගත්තේය. එපමණක් නොව ලන්සා ජ්‍යෙෂ්ඨ කථික ලැයිස්තුවට ඇතුළත් කර කාලවේලා ලබා දීමටද ජොන්ස්ටන් කටයුතු කළේය. ලන්සා බදාදා දිනයේ සිය කතාව සිදුකළේ ජොනී ලබා දුන් ඒ වේලාවට අනුවය. ඒ නිසා එය එදින වෙන්කර දී තිබූ කතාවක් මිස විශේෂ ප්‍රකාශයක් බවට පත්වුණේ නැත.

අදානිට ලොකු කුට්ටියක් දෙන්න යයි!

කෙසේ වෙතත් මෙවර ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට විශේෂ කණ්ඩායමක්ද එක්ව සිටියහ. ඒ, මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් පිරිසක්ය. ඔවුන් පැමිණ රටේ දැනට පවතින ආර්ථික තත්ත්වය ගැනද මන්ත්‍රී කණ්ඩායමට ඉදිරිපත් කිරීමක් (ප්‍රසන්ටේෂන්) සිදුකළේය. එමෙන්ම තවත් විශේෂ කරුණක් හෙළිකරමින් එම පිරිස කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකිරීමට සූදානම් සිටින ඉන්දියාවේ අදානි සමාගමට සහ ජෝන් කීල්ස් ආයතනයට ලබා දීමට නියමිත දැවැන්ත බදු සහන පිළිබඳව විශේෂ අනාවරණයක් කිරීමටද පියවර ගත්තේය.

මන්ත්‍රීවරු බය වෙයි!

ඒ සමගම මන්ත්‍රී කණ්ඩායමෙන් විවිධ ප්‍රතිචාර ඉදිරිපත් වූ ආකාරයක් දැකගත හැකි විය. ඇතැම් මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ බටහිර වරාය පර්යන්තය හේතුකොට ගෙන එක් වතාවකුත් ආණ්ඩුව රට ඉදිරියේ බරපතළ අපහසුතාවකට පත්වූ බවත්, එම නිසා අදානි නමට රට ඇතුළේ දැඩි විරෝධයක් පවතින පවත්ය. එම නිසා මේ අවස්ථාවේ අදානි සමාගමට විශාල බදු සහන ලබා දීමට කටයුතු කළහොත් රට ඇතුළේ ආණ්ඩුව තවත් අප්‍රසාදයට ලක්විය හැකි බවද එම මන්ත්‍රිවරු පෙන්වා දුන්හ.

බැසිල් වැඩේ ෂේප් කරයි!

මේ අයුරින් තුන් හතර දෙනෙකු අදානි සමාගමට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීමට කටයුතු කළත් එම විරෝධතා ඒ අවස්ථාවේදීම සමනය කර ගැනීමට බැසිල්ට හැකියාව ලැබිණි. ඒ අනුව අදානි සමාගමට ඉදිරියේදී බටහිර වරාය සංවර්ධනය කිරීමේ විශාල බදු සහනයන් හිමි වීමට නියමිතය.

කෙසේ වෙතත් මේ හරහා දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ගිනිපෙනෙල්ලෙන් බැට කෑ මිනිසා කනාමැදිරි එළියටත් බයයි කීවා සේ අදානි සමාගම සම්බන්ධයෙන් ආණ්ඩුවේ මන්ත්‍රිවරු අතර පවතින භීතිකාවය. ඔවුන්ගේ ස්ථාවරය වී ඇත්තේ මෙම මාතෘකාව රට ඇතුළේ ආණ්ඩුවට එරෙහිව නැවැත වතාවක් විරෝධයක් මතුකරලීමට සමත් මාතෘකාවක් වනු ඇතැයි කියාය.

විමලවීරට හරක් ප්‍රශ්නයක්!

ඉන් අනතුරුව කිරි ගවයන් කැලෑ වැදීම සම්බන්ධයෙන් මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් සිදුවිය. මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ තණ කෑමට ගන කැලෑවලට ඇතුල්වල කිරි ගවයන් වනජීවිය විසින් අත්අඩංගුවට ගෙන රාජසන්තක කිරීම නිසා කිරිගොවීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවකි. ඊට පිළිතුරු දුන් වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පෙන්වා දුන්නේ ඒ පිළිබඳ කිසිදු බියක් ඇතිකර නොගන්නා ලෙසත්, එසේ ගවයන් නොඅල්ලන ලෙස තමන් වනජීවියට උපදෙස් දී ඇති බවත්ය. යම් ගැටලුවක් ඇත්නම් තමන්ට ඒ අවස්ථාවේදීම දුරකතන ඇමැතුමක් ලබා දෙන ලෙසද විමලවීර කියා සිටියේය.

දයාසිරි විරෝධය පළ කරයි! සී.බී. මැදිහත් වෙයි!

විමලවීරගේ මේ පිළිතුරට පළමු විරෝධය එල්ල වූයේ දයාසිරිගෙනි. දයාසිරි කීවේ, ‘අනේ ඇමැතිතුමා මේ හරක් අල්ලන අල්ලන වෙලාවල්වලට ඔබතුමාට කෝල් කරන්න බැනේ. ඒක නිසා මේකට ස්ථිර විසඳුමක් විදියට නිතීයක් ගේන්න’ යැයි කියාය. ඒ අනුව සිද්ධියට මැදිහත් වූ අමාත්‍ය සී. බී. රත්නායක කියා සිටියේ තමන්ට සතියක කාලයක් ලබා දෙන ලෙසත්, කිරි ගවයන්ට කැලෑ තුළට ඇතුල්වීමට අවසර ලබා දෙමින් නීතියක් ගෙන ඒමට තමන් කටයුතු කරන බවත්ය.

ප්‍රමිතගෙන් තෙෂාරට-ජනකට ෂෙල් වෙඩි!

මෙම සිදුවීමෙන් අනතුරුව රැස්වීම අවසන් භාගයේදී පසුපෙළ ප්‍රධානියකු වූ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් විසින් ආණ්ඩුවේ ප්‍රධාන නිලධාරීන් දෙදෙනෙකු ඉලක්ක කර බරපතළ ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගනු ලැබීය. ලිට්‍රෝ සභාපති තෙෂාර ජයසිංහ සහ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා වූ ජනක රත්නායක මහත්වරුන් ප්‍රමිතගේ ප්‍රහාරයට ඉලක්ක වී තිබිණ. ප්‍රමිත එහිදී පෙන්වා දුන්නේ වත්මන් ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට ලක්වීම සඳහා මෙම නිලධාරීන් දෙදෙනාගේ ක්‍රියාකලාපය විශාල ලෙස බලපා ඇති බවය.

අපි හැදුවා… මේ අය කඩනවා…!

‘අපි මේ ආණ්ඩුව පිහිටුවාගන්න විශාල වෙහෙසක් දැරුවා. මේ ඉන්න ඔක්කොම මේ ආණ්ඩුව පිහිටුවන්න දැවැන්ත කැපකිරීමක් කළා. හැබැයි අපි අමාරුවෙන් හදපු ඒ ආණ්ඩුව මේ නිලධාරීන් දෙතුන් දෙනෙක් එකතුවෙලා විනාශ කරනවා. දැන් බලන්න ලිට්‍රෝ සමාගමේ සභාපතිතුමා, එතුමා ආ හැටියෙම ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කිව්වා ලිට්‍රෝ එකේ කෝටි 1000ක වංචාවක් වෙලා තියෙනවා කියලා. ඒකෙන් අන්තිමට කියැවුණේ අගමැතිතුමාගෙයි, බැසිල් රාජපක්‍ෂ ඇමැතිතුමාගෙයි කාලෙ එහෙම දෙයක් වෙලා තියෙනවා වගේ. ඊළඟට මෙයා කිව්වා ඩොලර් 50ට ගන්න පුළුවන් ගෑස් හිටපු අය ඩොලර් 98ට ගෙනාවා කියලා. එහෙම කියපු එයත් දැන් ගෑස් ගන්න යන්නෙ ඩොලර් 98ට. අනෙක එතුමගේ පඩිය විතරක් ලක්‍ෂ 35ක්. පෞද්ගලික ආරක්‍ෂකයෝ 4දෙනෙක් එතුමට දීලා තියෙනවා. එහෙම කරලත් ඒ අය කරන්නෙ ආණ්ඩුව අපහසුතාවට පත්කරන එක.
අනෙක් කෙනා තමයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක. එතුමා උදේ ප්‍රවෘත්ති සාකච්ඡා තියලා කියනවා ලයිට් කපන්නේ නැහැ කියලා. හැබැයි රෑ වෙද්දි රටේම පැය දෙක තුන ලයිට් කපලා. මිනිස්සු බනින්නේ ඒ අයට නෙවෙයි ආණ්ඩුවට. ඉතින් අගමැතිතුමනි මේ අය ගැන වහාම තීන්දුවක් ගන්න ඕනෑ…’ යනුවෙන් ප්‍රමිත කියද්දී බොහෝ දෙනා ප්‍රමිතගේ අදහස පිළිගනිමින් ඊට අනුබල දුන් ආකාරයක් දැකගත හැකි විය.

කැටගොඩ කපුකමක! ලන්සා රංජිත්ට කුණුහරුපෙන් බනී!

කෙසේ වෙතත් මෙම ආණ්ඩු පක්‍ෂ රැස්වීම නිමවූ වහා බැසිල්ට අතිශය සමීප මන්ත්‍රිවරයකු ලෙස සැලකෙන ජයන්ත කැටගොඩ මහතා, නිමල් ලන්සා අසලට පැමිණ යෝජනාවක් කිරීමට පියවර ගත්තේය. ඒ, බැසිල් හමුවී දැනට ඔහුට පවතින ගැටලු විසඳා ගනිමු යැයි කියාය. ඒ අනුව කැටගොඩත්, ලන්සාත්, නලින් ප්‍රනාන්දුත් බැසිල් රැඳී සිටි කාමරයට යෑම සඳහා පාර්ලිමේන්තුවේ පහළ මාලයට පිවිසෙන ආකාරයක් දැකගත හැකි විය. එහිදී ලන්සාට විදුලි සෝපානය අසල මහාචාර්ය රංජිත් බණ්ඩාර මන්ත්‍රිවරයා රැඳී සිටින ආකාරය දැකගත හැකි විය. රංජිත් දුටු සැණින් ලන්සාට උන්හිටි තැන් අමතක වූයේ පසුගිය දිනෙක ස්ථාන කිහිපයකදීම රංජිත් බණ්ඩාර ලන්සා ඉලක්ක කර ප්‍රබල විවේචනයක් සිදුකර ඇති බව වාර්තා වී තිබීම නිසාය. ඒ අනුව වහාම රංජිත් සිටි තැනට ගිය ලන්සා රංජිත්ගේ කන් දෙක පිරෙන්නට හොඳට හැටි බැන වදින ආකාරයක් දැකගත හැකි විය. ලන්සා මෙහිදී උස් හඬින් කෑගැසුවා පමණක් නොව ප්‍රසිද්ධ මාධ්‍යයක භාවිත කිරීමට නොහැකි වචන පවා යොදාගනිමින් බැනවැදුණු ආකාරයක් දැකගන්නට ලැබිණි.

‘තමුසේ මුල මතක නැති මිනිහෙක්. දැන්ද තමුසෙට මාව මතක් වුණේ. මට ආරංචියි තමුසෙ පසුගිය කාලෙ කියලා තිබුණු දේවල්. ඉස්සෙල්ලාම කෙළෙහිගුණ තියන්න ඉගෙනගන්නවා’ යැයි කියමින් ලන්සා එහිදී රංජිත්ට බැනවදිද්දී සිද්ධියට මැදිහත් වූ නලින් ප්‍රනාන්දුත්, ජයන්තත් වහා මැදිහත්ව ලන්සා බැසිල්ගේ කාමරයට රැගෙන යෑමට කටයුතු කළහ.

බැසිල් ජනපතිගේ කාර්යාලයේ!

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ බැසිල් සිටින්නේ අගමැතිවරයාට වෙන් කර ඇති කාර්යාලයේය. නමුත් එදින අගමැතිවරයා හමුවීමට විශාල පිරිසක් පැමිණ සිටි බැවින් බැසිල් සිටියේ ජනාධිපතිවරයාට වෙන්කර තිබූ කාර්යාලයේය. ඒ අනුව ලන්සාත්, කැටගොඩත්, නලිනුත් ගියේ අරලියගහ මැදුරේ ජනාධිපතිවරයා වෙත වෙන්කර තිබූ කාර්යාලයටය.

ලන්සා කූල් වුණු හේතුව!

කෙසේ වෙතත් මෙහිදී බැසිල් හා ලන්සා අතර විනාඩි 10ක පමණ සාකච්ඡාවක් සිදුවූ අතර ලන්සාගේ ගැටුම ආරම්භ වීමෙන් පසු එය බැසිල් හා ලන්සා අතර පැවැති පළමු සාකච්ඡාව වීම විශේෂ සිදුවීමක් විය. සාමාන්‍යයෙන් ලන්සා බැසිල්ගේ මිනිහෙක් ලෙස ප්‍රකටව තිබුණත් ගැටුමින් පසු බැසිල් කිසිදු අවස්ථාවක ලන්සාට දුරකතන ඇමැතුමක් හෝ ලබා දී නොතිබූ නිසා බොහෝ දෙනා සිතා සිටියේ බැසිල් ලන්සා අතහැර ඇතැයි කියාය. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී දෙදෙනා අතර කතාබහට ලක්වූ තොරතුරු මොනවාද යන්න පිළිබඳව තොරතුරක් නැතත් බොහෝ දෙනා කියන්නේ ලන්සා බදාදා දින පාර්ලිමේන්තුවේදී කළ කතාව ඉතා දැඩි එකක් නොවීමට මෙම සාකච්ඡාව හේතු වූවා යැයි කියාය. ඒ අනුව ලන්සා බදාදා දින කළ කතාවේදී ආණ්ඩුවට ලොකු ප්‍රහාරයක් එල්ල නොකළ අතර සනත් නිශාන්තට පමණක් ඍජුවම යම් අනතුරු ඇගවීමක් කිරීමට පියවර ගෙන තිබීම විශේෂත්වයක් විය. එමෙන්ම විපක්ෂයට ආරාධනාවක් කළ ලන්සා පවතින අර්බුදය හමුවේ රට බේරා ගැනීම සඳහා එකතු වන ලෙස ඉල්ලීමක්ද සිදුකළේය.

අමෙරිකාව අලුත් ගේමක් ගහන්න යයි!

මේ වන විට රට ඇතුළේ පමණක් නොව රටට පිටතින් නිර්මාණය වී ඇති බරපතළ ප්‍රශ්න ගණනාවක් හේතු කොටගෙන ආණ්ඩුව පමණක් නොව ජනතාවද සිටින්නේ ඉදිරි මාස කිහිපය ඇතුළත කුමකින් කුමක් වේදැයි සිතාගත නොහැකිව දැඩි අවිනිශ්චිත තත්ත්වයකය. එක් පසෙකින් ජිනීවා මානව හිමිකම් මණ්ඩල රැස්වීම ලබන සඳුදා ආරම්භ වීමට නියමිත අතර අනෙක් පසින් පාස්කු ප්‍රහාරය මුල්කරගෙන වතිකානුවෙන් යම් පීඩනයක් ආණ්ඩුව දෙසට එල්ල වීමට නියමිතව ඇති ආකාරයක් දැනට දැකගන්නට ඇති සිදුවීම්වලින් පෙනෙන්නට ඇති කරුණකි. ඒ අතරවාරයේ ඇමෙරිකාවද මේ වන විට ලංකාව ඉලක්ක කර යම් න්‍යාය පත්‍රයක් දියත් කරමින් ඇති ආකාරයක්ද තිරය පිටුපසින් දැකගැනීමට පුළුවන.

යකඩ ගැහැනියක් ලංකාවට!

ඇමෙරිකාව ලංකාව සම්බන්ධයෙන් සිය ස්ථාවරය තරමක් දැඩි කිරීමට පියවර ගත්තේ වත්මන් ජෝ බයිඩන් පාලනය බලයට පැමිණීමත් සමගය. ඒ අනුව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන්ට ඇමෙරිකාවට පැමිණෙන ලෙසට දැනුම් දීමක් කළ අතර, ඔවුන් සමග සාකච්ඡා කිරීමටද පියවර ගත්තේය.
මෙවර අපි ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ හෙළිදරව් කරන්නේ ඇමෙරිකාව ඉදිරි දින කිහිපය තුළ ගැනීමට නියමිත තවත් පියවරක් පිළිබඳවය. ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත බයිඩන් පාලනය විසින් ලංකාවට ඉතා ප්‍රබල නියෝජිතවරියක් එවීමට තීන්දු කොට අවසානය. ඇය නමින් වික්ටෝරියා ජේන් නුලාන්ඩ්ය. මේ නුලාන්ඩ් සැලකෙන්නේ ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම්වරයා වූ ඇන්ටනි බ්ලින්කන්ගේ තුන්වැනියා ලෙසටය. නැතහොත් දේශපාලන කටයුතු සම්බන්ධයෙන් බ්ලින්කන් හට වාර්තා ලබා දෙනුයේ නුලාන්ඩ් විසිනි. ඒ අතින් ගත් කල ඇමෙරිකානු රජයේ ඉහළම නිලධාරිනියක් ලෙස නුලාන්ඩ් සැලකිය හැකිය.

ඒ අනුව ඇමෙරිකානු රජය මේ වන විට තීන්දු කොට ඇත්තේ ආසියානු කලාපයේ සංචාරයක් සඳහා නුලාන්ඩ් එවීමටය. මෙම ගමනේදී ඇය ලංකාවට අමතරව ඉන්දියාව සහ බංග්ලාදේශයටද යෑමට නියමිතය.

කව්ද මේ නුලාන්ඩ්!

ඒ අනුව අපද මෙම නුලාන්ඩ් කව්රුන්ද යන්න පිළිබඳව කිසියම් සොයා බැලීමක නිරත විය. එහිදී අපට දැනගන්නට ලැබුණේ 2015-2019 කාල සමයේ ඇය යුරෝපා කොමිසමට සම්බන්ධ වී කටයුතු කොට ඇති බවකි. ඒ, යුරෝපා කොමිසමේ කටයුතු භාර සහකාර ලේකම්වරිය ලෙසටය. එමෙන්ම ඇමෙරිකානු යුද බලය සහිත නේටෝවට සම්බන්ධ ඇමෙරිකානු නියෝජිතවරිය ලෙසද කලක් නුලාන්ඩ් කටයුතු කළාය. ඒ 2005 – 2008 කාලසීමාවේදීය. ඉන් අනතුරුව නුලාන්ඩ් ක්‍ැබඑැර දෙර භැඅ ්පැරසජ්බ ීැජමරසඑහ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද කලක් කටයුතු කළාය. ඒ අනුව නුලාන්ඩ් යනු ආර්ථිකය, ආරක්‍ෂක යනාදී වපසරියන් කිහිපයක්ම පිළිබඳව නිපුණත්වයක් සහිත නිලධාරිනියක් ලෙස ප්‍රකටය.

බයිඩන්ගේ රහස් පණිවුඩයක්!

කෙසේ වෙතත් ඇමෙරිකාව විසින් ඉදිරි දින කිහිපය ඇතුළත නුලාන්ඩ්ව ලංකාවට එවීමට තීරණය කොට ඇති බවට වූ පුවත වාර්තා වීමත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාද වහාම ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත පණිවුඩයක් යොමු කිරීමට පියවර ගත්තේය. එම පණිවුඩය හරහා ජනාධිපතිවරයා දැනුම් දුන්නේ ඇමෙරිකානු නියෝජිතවරිය ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමට ආණ්ඩුව සූදානම් බවකි. එමෙන්ම ඇයගේ පැමිණිම හරහා දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගත හැකි වනු ඇති බවද ජනාධිපතිවරයා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත යොමු කළ පණිවුඩයේ සඳහන්ව ඇති බවක් ආරංචිය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා යොමු කළ පණිවුඩයට තවමත් ඇමෙරිකානු පාර්ශ්වයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව දැනගන්නට ඇත.

ලංකාවට එන්නෙ 22!

එසේ නම් වික්ටෝරියා ලංකාවට ඒමට නියමිතව ඇත්තේ කවදාද? අපට ඇති ආරංචිවලට අනුව නම් ඇය ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තෙ ජිනීවා සැසිවාරය අවසන් වීමෙන් පසු මාර්තු 22 වන දිනය. 22 ලංකාවට පැමිණෙන ඇය 23 වැනි දින ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව ඇත. ඒ අනුව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ විශේෂ පණිවුඩයක් රැගෙන එන නුලාන්ඩ්ගේ ශ්‍රී ලංකා ගමන බොහෝ දුරට ලංකාවට ඉතා තීරණාත්මක එකක් වනු ඇති බව බොහෝ දෙනාගේ අදහසය.

විශේෂ කැබිනට්ටුවේ තෙල් අර්බූදය!

මේ දිනවල ආණ්ඩුව මුහුණ දී සිටින ප්‍රධානම ප්‍රශ්නය වී ඇත්තේ උග්‍ර ඉන්ධන අර්බුදයය. ඩොලර් හිඟය මුල්කරගෙන ඉන්ධන ගෙන්වා ගැනීමට නොහැකි වී ඇති පසුබිමක බලාගාර පවා දුවාගත නොහැකි වී තිබීම නිසා මේ වන විට රටේ ජනතාවට සිදුව ඇත්තේ දිනකට පැය 5ක තරම් කාලයක් විදුලිය නැතිව ගෙවා දැමීමටය. ඒ අනුව මේ අර්බූදය පිළිබඳව සාකච්ජා කිරීම සඳහා සාමාන්‍යයෙන් සඳුදා දින පැවැත්වෙන කැබිනට් රැස්වීමට අමතරව අඟහරුවාදා දිනයේදීද විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.

ආණ්ඩුව ඇතුළෙත් බෙදීමක්!

කෙසේවෙතත් මේ වන විට තෙල් මිල සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ පවා ශීතල යුද්ධයක් හටගෙන තිබුණේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඇතුලු ඇමැතිවරු කිහිප දෙනෙක් වහාම ඉන්ධන මිල ඉහළ දැමිය යුතු බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ සිදුකරද්දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු තවත් ඇමැතිවරු කණ්ඩායමක් සිටියේ මේ මොහොතේ ඉන්ධන මිල ඉහළ දමා ජනතාවට තවත් පීඩාවක් එල්ල නොහැකි බවට වූ ස්ථාවරයක සිටීම නිසාය. එම නිසා ආණ්ඩුව ඇතුළේද තෙල් මිල සම්බන්ධයෙන් කිසියම් බෙදීමක් හටගෙන තිබූ ආකාරයක් මෙම ප්‍රකාශවලින් දැකගත හැකි විය.

කබ්රාල් දුන් දරුණු නියෝගය!

ඒ හරහා දැකගන්නට ලැබුණේ බැසිල් මෙම ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් ලෙස ගෙන ආණ්ඩුවට අවාසිදායක තත්ත්වයක් නිර්මාණය කළ නොහැකි බවට වූ ස්ථාවරයේ සිට පිළිතුරු සෙවීමට සැලැසුම් කර ඇති බවකි. ඒ නිසාම පසුගිය දින කිහිපය පුරා බැසිල් හා උදය ගම්මන්පිල අතර ගැටලු ගණනාවක් මතුව තිබූ අතර ඊට පිටින් පාර්ශ්වද එකතු වී සිටි ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව ගම්මන්පිලගේ සහායට පැමිණ සිටි ප්‍රබලතම පුද්ගලයා වී සිටියේ වෙන කවුරුවත් නොව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ය. කබ්රාල්ද අවස්ථා කිහිපයකදීම ප්‍රසිද්ධියේ කියා සිටියේ අනිවාර්යයෙන්ම තෙල් මිල ඉහළ දැමිය යුතු බවත්, තවදුරටත් තෙල් මිල ඉහළ නොදැමීම හරහා මූල්‍ය ආයතන පවා දැවැන්ත අර්බුදයකට ගමන් කිරීම නොවැළැක්විය හැකි බවත්ය. එතනින් නොනැවතී කබ්රාල් පසුගිය සතියේ රාජ්‍ය බැංකුවලට දරුණු නියෝගයක් නිකුත් කරමින් කියා සිටියේ තවදුරටත් ඛනිජ තෙල් සංස්ථාවට ණය ලබා දීමෙන් වළකින ලෙසත්, එසේ ණය ලබා දී රාජ්‍ය බැංකු කඩා වැටීමකට ලක්වුවහොත් එහි වගකීම මහබැංකුවට බාරගත නොහැකි බවත්ය.

ජනපති අසරණ වෙයි!

මෙම සිදුවීම හරහා කබ්රාල් ඍජුවම ප්‍රහාර එල්ල කොට තිබුණේ වෙන කාටවත් නොව බැසිල්ටය. ඒ අනුව විශේෂ කැබිනට් රැස්වීම පැවැත්වීමට පෙර ජනාධිපතිවරයාද සිටියේ තෙල් මිල ඉහළ නොදැමිය යුතු බවට දැඩි ස්ථාවරයක සිටින බැසිල්ගේ පැත්ත ගන්නවාද, එසේත් නැතිනම් විශාල අගයකින් තෙල් මිල ඉහළ දැමිය යුතු බව කියන ගම්මන්පිල හා කබ්රාල්ගේ පැත්ත ගන්නවාද යන්න සිතාගත නොහැකිව විශාල දෙගිඩියාවකය.

කබ්රාල් අමාරුකම් කියයි!

කෙසේ වෙතත් අඟහරුවාදා පැවැති විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමටද මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කැඳවීමට ජනාධිපතිවරයා පියවර ගත්තේ ආර්ථිකයේ සැබෑ තත්ත්වය කැබිනට් මණ්ඩලයට පැහැදිලි කර දීම සඳහාය. ජනාධිපතිවරයාගේ ආරාධනාව අනුව පැමිණි කබ්රාල් දැඩිව කැබිනට් මණ්ඩලයට පෙන්වා දුන්නේ තෙල් මිල ඉහළ නැංවීමක් අවශ්‍යයෙන්ම සිදුකළ යුතු යැයි කියාය. එමෙන්ම දැනට පවතින ඩොලර් අර්බුදය, භාණ්ඩ ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කරගැනීමේ නොහැකියාව, ණය අර්බුදය පිළිබඳවද කබ්රාල් මෙහිදී විවෘතව අදහස් පළකිරීමක් කළේය.

තෙල් මිල බැසිල් දැක්ක හැටි!

ඒ අනුව කබ්රාල්ගේ අදහස් දැක්වීමෙන් පසු අනෙකුත් ඇමැතිවරුන් මෙන්ම ජනාධිපතිවරයාද මැද තැනක සිට තෙල් මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් අදහස් පළ කළ ආකාරයක් දැකගත හැකි විය. නමුත් මෙහිදී දැනගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ තෙල් මිල දේශපාලන ප්‍රශ්නයක් බවට පත්කරගෙන සිටි බැසිල් ඊට සිය දැඩි විරෝධය පළ කිරීමට පියවර ගැනීමය. බැසිල්ගේ විරෝධය හමුවේ ජනාධිපතිවරයාටද සිදුවූයේ තෙල් මිල සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් නොගෙනම කැබිනට් හමුව අවසන් කිරීමටත්ය.

මහබැංකුව වෙනමම මහින්ද හමුවී අමාරුකම කියයි!

මේ සිද්ධියෙන් පසු තවත් විශේෂ සිදුවීමක් සිදුවිය. ඒ මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් තුන්දෙනෙකු මතුව ඇති තත්ත්වයේ ඇති බරපතළකම පිළිබඳව අගමැතිවරයා දැනුවත් කිරීමට පියවර ගැනීමට කටයුතු කිරීමය. එහිදී මෙම නියෝජ්‍ය අධිපතිවරුන් තිදෙනා මහින්දට පෙන්වා දී තිබුණේ ඉන්ධන මිල වහා ඉහළ නොදැමුවහොත් බරපතළ අර්බුදයකට රටට මුහුණ දීමට සිදුවනු ඇති බවත්, මේ සම්බන්ධයෙන් වහාම ජනාධිපතිවරයා හා මුදල් ඇමැතිවරයා සමග සාකච්ඡා කරන ලෙසත්ය. එමෙන්ම මේ වන විට උග්‍ර ඩොලර් හිඟයක් රට ඇතුළේ මතුව ඇති බව අගමැතිවරයා හට පෙන්වා දුන් මෙම පිරිස ඉදිරි සති තුන, හතර ඇතුළත රුපියල් හිඟයකට මුහුණ පාන්නට සිදුවනු ඇති බවට අනතුරු ඇඟවීමක්ද කළේය. එවිට ආර්ථිකයේ පවතින මෙම තත්ත්වය තවත් අර්බුදකාරී වනු ඇති බවට අනතුරු ඇඟවීමක් කිරීමටද එම නියෝජ්‍ය අධිපතිවරුන් තිදෙනා කටයුතු කළහ.
ඒ අනුව අවසානයේදී අගමැතිවරයාද ඔවුන්ට දැනුම් දී සිටියේ තමන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමග වහාම මේ පිළිබඳව සාකච්ඡා කිරීමට පියවර ගන්නා බවකි.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

ජපානයේ Panasonic සිංගර් සමග අත්වැල් බැඳගනී…

Next Post

ඇමැතිවරු-බැංකු-පොලිසිය එක්ව කරන මහා ඉඩම් කොල්ලයක තොරතුරු එළියට! දැනටමත් රට වටේම ඇති වටිනා ඉඩම් අල්ලලා ඉවරයි! (VIDEO)

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.