අල්ලස් කොමිසමේ සභාපති ඇතුළු කොමසාරිස්වරු තිදෙනාගේ පූර්ව අනුමැතියකින් තොරව පසුගිය කාලයේ ගොනු කළ නඩු 45ක් පමණ ඉල්ලා අස්කර ගැනීමට එම කොමිසමේ නව පාලනාධිකාරිය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි ජනාධිපතිනීතිඥවරයකු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවසීය.
අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ ලක්සල ආයතනයේ හිටපු සභාපති අනිල් කොස්වත්ත මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා එම දැනුම් දීම සිදුකළේය.
ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ප්‍රකාශයට පත්කිරීම තිබෙන “අනෝමා පොල්වත්ත” නඩු තීන්දුව මඟින් අල්ලස් කොමිෂන් සභාවේ සාමාජිකයින් තිදෙනාගේ පූර්ණ අනුමැතියකින් තොරව නඩු පැවරීම නීති විරෝධී බවට තීන්දු කර ඇතැයි සඳහන් කළේය.
එම නඩු තීන්දුව අනුව යමින් අල්ලස් කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයින් තිදෙනාගේ පූර්ණ අනුමැතිය නොමැතිව පසුගිය කාලයේ පැවරූ නඩු ඉල්ලා අස්කර ගැනීමට එහි නව සභාපතිවරිය ඇතුළු කොමිෂන් සභාවේ සාමාජිකයින් තිදෙනා තීරණය කර ඇති බව ජනාධිපති නීතිඥවරයා පැවසීය.
ඒ යටතේ ඉකුත් කාලයේ පැවරූ අල්ලස් නඩු 45ක් පමණ ඉල්ලා අස්කර ගැනීමට නියමිත බවද ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ සඳහන් කළේය.










