තමන් වෙත පවරන ලද කිසියම් කාර්යයක් නිසි පරිදි ඉටුකිරීමට අසමත්ව එය අවුල් ජාලයක් බවට පත්කළ විට ගැමියන් ගත් කටටම කියන කතාවක් තිබේ. ඒ, ‘ඒක හත්පොළේ ගාගත්තා’ කියාය. මේ කියන හත්පොළ ගැන බහුතරයකට වැටහීමක් හෝ ඒ ගැන දැනගැනීමට වුමනාවක් නැති වුවද කටින් බතල කොළ හිටවන වැඩ බැරි දාසලාගේ රෙදි ගැලවීමට මේ කියමන නම් අපූරු එකක් බව පෙනේ.
මේ ‘හත්පොළේ ගාගත්තා’ යන කතාව ලියුම්කරුගේ මතකය ආවේ 2022 අයවැය ලේඛනය ගැන සමාජ මාධ්‍යවල පළවන විවිධාකාර අදහස් හා විවේචන දකින විටය. වෙන කිසිම අයවැයක් හා සම්බන්ධයෙන් දැකගත නොහැකි ආකාරයෙන් මෙවර අයවැය ගැන අපූරු කතාවලින් සහ විවේචනවලින් සමාජ මාධ්‍ය පිරී ඉතිරී ගොස් තිබේ. මේවා කියවන විට හාස්‍යයක්, සිනා රසයක් දැනුණද තවත් මොහොතකින් ඇති වන්නේ පපුව පැළෙන්න තරම් දුකක් හා කනගාටුවකි.
ඒ, බැසිල් රාජපක්ෂත් හත්පොළේ ගාගත්තා දැයි සැක මතුවන හෙයිනි.
කන්දක් විළිලා මී පැටියෙක් වැදුවා සේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ දෙවැනි අයවැය ලේඛනය ජනතාව අතර විවේචනයට ලක්වන්නේ බැසිල් රාජපක්ෂ එය ඉදිරිපත් කළ ආකාරය නිසාම පමණක් නොවේ. සමාජ මාධ්‍යවල පළවන ආකාරයට බැසිල්ට ලියා දුන් කතාව කොළය බලාගෙන කියවීමට නොහැකි වීම, අක්ෂර වින්‍යාසය වැරදීම පමණක් නොව කතාව අතරමග නතර කර විවේක ගැනීමද බරපතළ ප්‍රශ්න ලෙස සැලකිය නොහැකිය. ඒවා හුදු හාස්‍යය වෙනුවෙන් නම් අගනේය. එහෙත් ප්‍රශ්නය වන්නේ 2023 නොවැම්බර් දක්වා පමණක් නොව තවත් බොහෝ කාලයක් මේ ‘තීන්දු – තීරණ හා යෝජනා’ සමග ගතකිරීමට රාජපක්ෂලා බලයට පත්කළ 69 ලක්ෂයට පමණක් නොව මිලියන 22ක් වන සමස්ත ශ්‍රී ලාංකිකයන්ට සිදුවීම නිසාය.
2022 අයවැය ගැන විවේචනය හුදු හාස්‍ය රසයෙන් හා දේශපාලන කණ්ණාඩියෙන් ඔබ්බට ගිය එකක් විය යුතුය. මන්ද බැසිල්ගේ අයවැය මගින් ඉදිරිපත් කළ යෝජනා, ගත් තීන්දු ආපහු හැරවීමට මේ කිසිදු විවේචනයකට නොහැකි බැවිනි.
ඇයවැය නීති විරෝධී එකක්ද?
වත්මන් ආණ්ඩුවේ උපන්ගෙයි දෝෂයක් තිබේ. ඒ නීතිය, සම්ප්‍රදායන් හා සම්මතයන් නොකතා හැරීමය. නැතහොත් ඒවා ගණන් නොගැනීමය. මුදල් ඇමැති බැසිල් අයවැය ලේඛනය ඉදිරිපත් කරන විට පුටුවේ වාඩිවී එය ඉදිරිපත් කිරීම, කතාව අතර තුර විරාමයක් ගැනීම අයවැය ඉදිරිපත් කිරීමේ සම්ප්‍රදායන් කඩ කිරීමකි. එහෙත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්නට අනුව 2022 අයවැය ‘නීති විරෝධී’ අයවැයකි.
පසුගිය 17 වැනිදා අයවැය විවාදයට එක්වෙමින් ඉරාන් වික්‍රමරත්න කියා සිටියේ ‘නීති විරෝධී අයවැයක් ඉදිරිපත් කර එයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව’යි.
මෙය අයවැය ගැන ප්‍රබල විවේචන ඉදිරිපත් කළ කිසිවකුගේ අවධානයට ලක් නොවූ කරුණකි. ඒ නිසා ආර්ථික විශේෂඥයකු වන ඉරාන්ගේ කතාව ගැන අප සැමගේ අවධානය යොමුවිය යුතුය.
ඉරාන් මේ ගැන පැහැදිලි කරමින් මෙසේ කීවේය, ‘මවාගත් සිහින මත ඉදිරිපත් කර ඇති 2022 අයවැය මගින් එහි පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.8%ක් වනු ඇතැයි මුදල් අමාත්‍යවරයා තක්සේරු කර තිබෙනවා. එහෙත් අය වැය හා මූල්‍ය විනය සම්බන්ධයෙන් පනවා තිබෙන 2003 වසරේ මූල්‍ය වගකීම් පනත අනුව අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 5% නොඉක්ම විය යුතුයි. ඊට වැඩි පරතරයක් සහිත අයවැයක් ඉදිරිපත් කොට ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලීම නීති විරෝධී බැවින් එවන් නීති විරෝධී පනතකට රජය අනුමැතිය ඉල්ලීම පවා ප්‍රතික්ෂේප කරනවා’ ඉරාන් කීවේය.
ඉරාන් වික්‍රමරත්න කරන මේ චෝදනාව අතිශය බරපතළ එකකි. ඒ ගැන විපක්ෂය වෙතින් මෙන්ම මේ ගැන උන්නදුවක් දක්වන පාර්ශ්වයන් වෙතින් ද දැඩි අවධානයක් යොමුවිය යුතුය.
ජනතාවට බිලිපිත්ත වෙනුවට කඹයක් දුන්නාද?
පසුගිය කාලය පුරාම අයවැය ලේඛනයක් ඉදිරිපත් කළ වහාම ආණ්ඩු පක්ෂය සහ ආණ්ඩුවට ආවඩන විශේෂඥයන්, විද්වතුන් කියන සුපුරුදු ප්‍රකාශයක් තිබේ. ඒ, ‘ආණ්ඩුව ජනතාවට බිලිපිත්තක් දුන්නා’ යන්නය. ඔවුන් එමගින් අදහස් කරන්නේ ‘අපේ වැඩේ අවසන්, දැන් වැඩේ තිබෙන්නේ ජනතාව අතේ’ යැයි විය යුතුය. මන්ද බිලීපිත්ත දුන් විට මාළු බාගැනීම ජනතාව විසින් සිදුකළ යුත්තකි.
එහෙත් ප්‍රශ්නය වන්නේ ආණ්ඩුවේ ගජමිතුරු කල්ලිය ‘වළ ඉහගෙන කා’ ඇති විටක ජනතාවට බාගැනීමට මාළුවෙක් නොව කූනිස්සකු පවා නැති වීමය. මේ ගැන ආණ්ඩුව පාර්ශ්වයෙන් වචනයක් කියන්නේ නැත. ඒ ගැන කිවයුත්තේ විපක්ෂය සහ ආණ්ඩුවට ගොට්ට නොඅල්ලන විද්වතුන්ය. මෙය වියතුන්ගේ ආණ්ඩුවක් නිසා අයවැය විවේචනය කළ හැකි විද්වතුන් සොයා ගැනීම ‘නිකිණි සොයා ගැනීම’ සේ අසීරු යැයි මුලදී සිතුවද ඇයවැය ගැන එළිපිට විවේචන කරන විද්වතුන් බහුතරයක් අපට සොයාගත හැකිය.
ඒ අතර ලෝ ප්‍රකට ආර්ථික විශේෂඥයකු වන රුහුණ විශ්වවිද්‍යාලයෙහි ආර්ථික විද්‍යා අධ්‍යයනාංශ ප්‍රධානී සහ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපතිවරයා වන මහාචාර්ය ඩැනී අතපත්තු ඉදිරිපත් කළ අදහස් වඩාත් ස්වාධීනය.
2022 අයවැය ගැන මාධ්‍ය හමුවේ තම විශ්ලේෂණය ඉදිරිපත් කරමින් මහාචාර්ය අතපත්තු කියා සිටියේ ‘අද අපේ රටේ පවතින ආර්ථික ප්‍රශ්න කොරෝනා වසංගතය නිසාම ජනිත වූවක් නොව ඒවා කාලයක් තිස්සේ පවතින ප්‍රශ්න’ බවය.
‘ලංකාව පහළ මැදි ආදායම් රටක් ලෙස ලෝක බැංකුව විසින් වර්ග කරනු ලැබුවේ 1997දීයි. අවුරුදු 24ක් ගතවී තිබියදීත් අප තවමත් සිටින්නේ 1997දී පටන් ගත් තැනමයි. ඉහළ ආදායම් ලබන රටවල් අතරට යාමට නම් අපේ රටේ ඒකපුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 12,000ක් පමණ විය යුතුයි. එහෙත් දැනටත් අපේ රටේ ඒකපුද්ගල ආදායම පවතින්නේ ඇමෙරිකන් ඩොලර් 3,500 සිට 3,600 අතරයි. ඉහළ ආදායම් ලබන රටවල් අතරට යාමට නම් ලංකා ආර්ථීකයේ ප්‍රතිසංස්කරණ විය යුතුයි. සංවර්ධනයට දියුණුවට අහිතකර ලෙස බලපා තිබෙන බාධක හඳුනගෙන ඒවා ඉවත් කිරීම ආණ්ඩු කරන අයගේ වගකීමක්. ආණ්ඩුකරණය කියන්නේ එයටයි. ඒ සඳහා කෙටි, දිගු හා මධ්‍ය කාලීන සැලසුම් ආණ්ඩුවකට තිබිය යුතුයි. අයවැය ලේඛනයද එහි කොටසක්. අයවැය ලේඛනය කෙටි කාලීන සැලැස්මයි. ඉහත කී සැලැස්මට අදාළ කරුණු අයවැය ලේඛනයේ ඇතුළත් විය යුතුයි. අයවැයෙහි තිබිය යුත්තේ ඒ කෙටිකාලීන සැලැසුම්. රාජ්‍ය ප්‍රතිපත්ති. එහෙත් මෙවර අයවැය ලේඛනයට එවැනි දැක්මක් තිබෙන බවක් මට දැකගත නොහැකියි’ මේ දෙස් විදෙස් පතළ ආර්ථික විද්‍යාඥයකුගේ තුලනාත්මක, ස්වාධීන විශ්ලේෂණයයි.
එහෙත් ආණ්ඩුවට හෝ ආණ්ඩුවට කඩේ යන විද්වතුන්ට මේ අයවැය ලේඛනය රොනී ද මැල්ගේ පවා පැසසුමට ලක්වන එකකි. ජනතාවට බිලිපිත්ත දෙන එකකි. එහෙත් එය එසේ නොව එකම අවුලක් බව ස්වාධීන විශ්ලේෂකයන් අවධාරණය කරන්නේය.
ප්‍රමුඛතා නොසලකා හැරීම
2022 අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට පෙර සිට නොව බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධුරය භාරගත්දා සිට ආණ්ඩුව හා ආණ්ඩු හිතවාදීන් කියා සිටියේ ‘මොළ හතක් ඇති බැසිල් ආණ්ඩුවේ හා ජනතාවගේ ගැළවුම්කාරයා’ බවය. ඉන්ධන මිල ඉහළ යාමේ සිට සියලු ජනතා ගැටලුවලට විසඳුම් බැසිල් ආගමනය මගින් ලැබෙනු ඇතැයි ආණ්ඩුව කීවේය.
එහෙත් ‘කියන කොට එහෙමයි – කරන කොට මෙහෙමයි’ නැතහොත් ‘කොකාගෙ සුද පේන්නේ ඉගිලෙනකොට’ කීවා සේ තම මුල්ම අයවැය ලේඛනය මගින්ම බැසිල් කොළය ඉරා ගත්තේය. ගමේ භාෂාවෙන් කියතොත් ‘හත්පොළේම ගාගත්තේය’. ඒ ආණ්ඩුවේ තවත් මොළකරුවෙක් වන පී.බී ජයසුන්දර කීවා සේ ‘ජනතාව හුස්ම ගන්න පුළුවන් අයවැයක්’ ඉදිරිපත් කිරීම මගින් නොව ‘තමන්ගේ පතටම බෙදා ගැනීම’ නිසාය.
බැසිල්ගේ මංගල අයවැයෙන් වැඩිම ප්‍රතිපාදන ලබාදී ඇත්තේ සුපුරුදු ලෙස ආරක්ෂක අමාත්‍යාංශටය. එය රුපියල් බිලියන 373කි! යුද්ධයක් නැති රටක ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් කෝටි 37,300ක් වෙන්කිරීම ගැන රාජපක්ෂ ආණ්ඩුව ජනතාවට කරුණු පැහැදිලි කළ යුතුය. මන්ද තවමත් පහව නොගිය ගෝලීය කොරෝනා අවදානම හමුවේ පවා ආණ්ඩුව සෞඛ්‍ය සඳහා වෙන් කළේ රුපියල් බිලියන 153කි. අධ්‍යාපන අමාත්‍යංශයට බිලියන 127කි. රටේ ආර්ථීකයට දිගුකාලීන බලපෑමක් කළ හැක්කේ සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රවලටය. කොරෝනා වසංගතය නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයට මීට වඩා දැඩි අවධානයක් යොමුකරනු ඇතැයි ජනතාව සේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවා විශ්වාස කළේය. එහෙත් එය දැන් පුස්සක්වී තිබේ.
කොවිඩ් වසංගත හමුවේ මාස 18කට අධික කාලයක් තිස්සේ බිඳවැටී ඇති අධ්‍යාපන ක්ෂේත්‍රයට මීට වඩා අවධානයක් යොමුකරනු ඇතැයි විශ්වාස කළේය. මන්ද, මානව ප්‍රාග්ධනය ශක්තිමත් කිරීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අත්‍යාවශ්‍යමය. නමුත් අවශ්‍ය තරම් මුදල් ප්‍රමාණයක් අධ්‍යාපනයට වෙන්කර නැත. අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වෙන්කර තිබෙන මුදල රුපියල් බිලියන 280කි. එහෙත් ආරක්‍ෂක අමාත්‍යංශයට පමණක් රුපියල් බිලියන 373කි.
රට ආර්ථීක අර්බුද රැසකට මුහුණදී සිටියදී රජය මෙසේ ප්‍රමුඛතා හඳුනා නොගෙන මුදල් වෙන් කිරීම අදහාගත නොහැකි කාරණයක් බව ආර්ථික විශේෂඥයන්ගේ අදහසය.
ඡන්ද මැෂිම ක්‍රියාත්මක කිරීම
බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාව සිටි සමයේ ප්‍රදේශීය දේශපාලනඥයන් නඩත්තු කිරීමට නොකළ දෙයක් නැති බව රහසක් නොවේ. ඒ නිසාම 2015දී රට හැරගිය බැසිල්ට 2017 දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකර 2017 පළාත් පාලන මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වූ අතර එය යහපාලන ආණ්ඩුවේ මරණ සහතිකයද ලියා දුන්නේය. මේ නිසා බැසිල් යළිත් බලය අතට ගත් විට තමන්ගේ දේශපාලන හෙංචයියන් නඩත්තුකර පෝෂණය කිරීමට කළ හැකි උපරිමය කර තිබේ. ඒ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ 40 සහ 150 බැගින් ලබාදීම මගිනි.
2017 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව රටේ ඇති පළාත් පාලන ආයතන අතිබහුතරයක 2/3කට වඩා මන්ත්‍රීවරු වත්මන් පොහොට්ටු පක්ෂයේය. පළාත් පාලන කොට්ඨාස 4,917ක් රටේ පවතී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටත් පක්‍ෂ බේදයකින් තොරව, රුපියල් ලක්ෂ 150 බැගින් බෙදන බවද මුදල් අමාත්‍යාංශවරයා කියයි. දිවයින්නේ පිහිටි ග්‍රාම නිලධාරී වසම් 14,021ම ආවරණ වන පරිදි රුපියල් ලක්ෂ 30 බැගින් ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබාදෙන බව මුදල් ඇමැති කියයි. එහෙත් ඒ සල්ලි බෙදන්නේ කුමක් අරමුණු කරගෙන ද කවර සැලසුමක් මතද යන්න අපැහැදිලිය. එසේ මුදල් බෙදා දෙන්නේ කවර ව්‍යාපෘති සඳහාද යන්නද අවිනිශ්චිතය. සෑම කොට්ඨාසයකටම සමාන මුදලක් බෙදීම ද අදහාගත නොහැකි ක්‍රියාවකි. ඒ ඒ කොට්ඨාසවල තිබෙන ප්‍රශ්න විවිධය, විසමය. එහෙත් මුදල් දෙන්නේ සමානවය. එයින් පෙනෙන්නේ මෙය යටි අරමුණකින් සල්ලි බෙදීමක් මිස සැලසුම් සහගතව රටට ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් කරන ක්‍රියාවක් නොවන බවය.
දීමනා කැපීම
බැසිල් රාජපක්ෂගේ 2022 ඇතැම් අයවැය යෝජනා ජනතාව තුළ පමණක් නොව ආර්ථික විශේෂඥයන් තුළ පවා දැඩි කනස්සල්ලට හා හාස්‍යයට හේතුවී තිබේ. ඒ අතර සමාජ මාධ්‍යවල වඩාත් හාස්‍යයට ලක්ව ඇත්තේ මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන ලීටර් පහක් කැපීමේ යෝජනාව සහ විශ්‍රාම වැටුප ලබාදීමට වසර 10ක සේවා කාලයක් තිබිය යුතුය යන යෝජනාවයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවන විශ්‍රාම වැටුප මුළුමනින්ම අහෝසි කළ යුතු බව බහුතරයක් ජනතාවගේ අදහස වන අතර මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව ලීටර පහකින් කපා හැරීම ගැන කතා කළ යුතු දෙයක් නොවන බවත් ‘මේවාට හිනාවෙන්න ඕනෑ මොන මුඛයෙන්ද කියන එකයි ප්‍රශ්නේ’ යන්න ජනතාවගේ අදහසයි.
රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යායුතු වයස අවුරුදු 65 දක්වා ඉහළ දැමීම සේම මෝටර් රථ අනතුරකදී හානියට පත් පාර්ශ්වයෙන් පවා රජයට බද්දක් අයකර ගැනීම ජනතාව තුළ දැඩි කෝපයට ලක්ව ඇති තවත් අයවැය යෝජනාවකි.
රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස අවුරුදු 65 කිරීම ගැන ජනතාව තුළ බරපතළ විවේචනයක් වර්ධනය වී ඇත්තේ වත්මන් රාජ්‍ය සේවය ගැන පොදුජනතාව තුළ ඇති පොදු කලකිරීම නිසාම පමණක් නොවන බව ආණ්ඩුව වටහා ගත යුතුය. අනෙක් අතින් රථවාහන අනතුරකදී වින්දිතයාගෙන්ද ආණ්ඩුව දඩ මුදලක් ලබා ගැනීම ‘ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැනි’ ක්‍රියාවකි.
හිඟන්නාගේ පාත්තරෙන් ගසාකෑම
පසුගිය පාස්කු ප්‍රහාරයේ සිට රටේ ආර්ථිකයේ බොහෝ අංශ බිඳවැටෙමින් හෝ දුර්වල වෙමින් තිබේ. ඒ අතර සේවා අංශය ප්‍රමුඛය. සංචාරක ව්‍යාපාරයට යනඑන මං නැති තත්ත්වයක් තිබේ. එහෙත් ආණ්ඩුව අයවැය මගින් මේ අංශ වෙත කිසිම ආකාරයක දිරිගැන්වීමක් හෝ සහනයක් ලබාදී නැත. මේ සඳහා දැක්විය හැකි කදිම උදාහරණය වන්නේ සංචාරක ව්‍යාපාරයයි. පසුගියදා සංචාරක ව්‍යාපාරයේ කඩාවැටීම සහ එමගින් අහිමි වූ බව කියන ඩොලර් බිලියන පහක ආදායම ගැන කිඹුල් කඳුළු හෙලූ ආණ්ඩුව මෙවර අයවැය ලේඛනය මගින් සංචාරක අමාත්‍යාංශයට වෙන්කර ඇත්තේ රුපියල් මිලියන 923ක් නැතිනම් රුපියල් කෝටි 92.3ක් වැනි සොච්චමකි. ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂයෙන් 1/373කි! ආණ්ඩුවේ ආර්ථික සැලසුම් සහ සංවර්ධන ප්‍රමුඛතා ගැන අපූරු වැටහීමක් අපට මේ අනුව ලබාගත හැකිය.
රට ගොඩදාන්න සිහින දකින සංචාරක කර්මාන්තයට කෝටි 93ක් වෙන්කරන ආණ්ඩුව ආරක්ෂක අමාත්‍යාංශයට කෝටි 37,300ක් වැය වෙන්කිරීම ගැන සංචාරක විෂය භාර ඇමැතිවරයා විස්මයට පත් නොවිය යුතුය.
එසේම රටටත්, රාජ්‍ය භාණ්ඩාගාරයටත්, ජනතාවටත්, අයවැය ලේඛනයටත් මහා බරක්ව තිබෙන ලංගම, ලංවීම, තෙල් සංස්ථාව සහ එයාර් ලංකා වැනි රාජ්‍ය ව්‍යවසායන් ඒ තත්ත්වයෙන් මුදාගැනීමට කිසිම ක්‍රමයක් මේ අයවැයෙන් යෝජනා නොකිරීම විස්මයට කරුණකි.
අයවැය සංඛ්‍යා ලේඛන සාවද්‍යද?
වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කරන සංඛ්‍යා දත්තවල බරපතළ සාවද්‍ය බවක් අපට පසුගිය කාලය පුරාම පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි විය. මේ සම්බන්ධයෙන් මහාචාර්ය ඩැනී අතපත්තුද සිය සැකය පළ කළේය.
‘අය-වැය ලේඛනය ඔස්සේ ආණ්ඩුව රට හමුවේ තබා ඇත්තේද ව්‍යාජ සංඛ්‍යාලේඛන බවට මතයක් පවතී. ආණ්ඩුව තමන්ගේ ඇත්ත වියදම අයවැයෙහි සඳහන් කර නොමැති බව එක් චෝදනාවකි. ආණ්ඩුවට ගෙවීමට තිබෙන ණය, රජයේ සමස්ත වියදමෙහි ඇතුළත් කර නොමැති බවට චෝදනා එල්ල වෙයි. ආණ්ඩුව ඇතුළත් කර තිබෙන්නේ පොලිය පමණකි. ණය මුදල මුළු වියදමෙහි ඇතුළත් කර නැත. එය සඟවා ගැසීමකි. ඉලක්කම් විජ්ජාවකි. රජය 2022දී ගෙවීමට තිබෙන මුළු විදෙස් ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,531කි. එය ඇතුළත් කළහොත් රටේ මුළු වියදම ආණ්ඩුව කියන රුපියල් බිලියන 3,912ට වඩා ඉතා ඉහළය. ඒ අනුව අයවැය පරතරය අය වැයෙන් කියනවාට වඩා ඉතා විශාලය. මා මේ පෙන්නුම් කිරීමට උත්සාහ කරන්නේ අනාගතයේදී මූල්‍යමය වශයෙන් රටෙහි ඉතා විශාල අස්ථාවරභාවයක් ඇතිවන බවය‘
මහාචාර්ය ඩැනී අතපත්තු මෙසේ කියන අතර, විපක්ෂ මන්ත්‍රී ඉරාන්ද මේ ගැන ප්‍රබල විවේචනයක් කළේය. ‘අයවැය ලේඛනය දිහා බලන විට රජය මවාගත් සිහින මත අධි තක්සේරුවෙන් යුතුව හුදු සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර ඇත. මේ ආණ්ඩුව යන්නේ, රිවර්ස් එකට. 2021 වෙනුවෙන් මේ ආණ්ඩුව ආදායම තක්සේරු කර තිබුණේ රුපියල් බිලියන 2,029කට. නමුත් ලැබුණේ රුපියල් බිලියන 1,561යි. බිලියන 500ක අඩුවක් තියෙනවා. අද වෙනකොට 2022 රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2,284ක් යැයි පුරෝකථනය කරලා තිබෙනවා. ඒ කියන්නේ, රුපියල් බිලියන 800ක ආදායම් එකපාරටම වැඩි කරගන්නවා කියලද කියන්නේ.
ව්‍යාපාරයක් කරන කෙනෙක් දන්නවා වසරකින් ආදායමක් 45%කින් වැඩිකරන්න බැරි බව. එය උපරිමය 10% හෝ 12% කින් වැඩිකිරීම යථාර්ථයක් වනු ඇත. කාවද මේ රවට්ටන්න යන්නේ? මෙයාලා හැමදාම බොරු කියලා, මේ සභාවයි, ජනතාවයි රවට්ටනවා. එහෙනම් මේ, දවල් හීන නේද ආදායම් පුරෝකථන විදියට ඉදිරිපත් කරලා තියෙන්නේ? ඇත්තටම මේ ජනතාව රැවට්ටීමක් නෙවෙයිද?’
රාජ්‍ය සේවකයාට ගැරහීම
තම මංගල අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ඊට පසුව රාජ්‍ය සේවය රටට බරක් බව පවසමින් ‘වාඩිවී සිටින අත්තද’ කපාගත්තේය. ඒ වත්මන් ආණ්ඩුවේ කොඳු නාරටිය බවට පත්ව ඇති ආරක්ෂ හමුදාද ඇතුළත් වන (ලක්ෂ 15කට ආසන්න රාජ්‍ය සේවය තුළ 3,17,000ක් ආරක්ෂක අංශය නියෝජනය කරයි) ‘රාජ්‍ය සේවකයන් රටට බරක්’ යැයි පවසමින් ඔවුන්ගේ වැටුප් වැඩි නොකිරීම සාධාරණීකරණයට යාම සමගය.
ලංකාවේ රාජ්‍ය සේවය අකාර්යක්ෂම බවත්, යල්පැනගිය බවත් පොදු චෝදනාවක් වුවත් මේ රටේ අතිබහුතරයක් රාජ්‍ය සේවකයෝ වීමට උපන්ගෙයි කැමැත්ත ඇත්තෝය. කලා උපාධිධාරීන් පමණක් නොව පහ වසර දක්වා උගත් අය පවා පතන්නේ රජයේ රැකියාවකි.
එහෙත් ප්‍රශ්නය වන්නේ අද රාජ්‍ය සේවය වහ කදුරුවී ඇති රාජපක්ෂවරුන්ම 2005-2015 දක්වා දශක පාලනය තුළ රාජ්‍ය සේවය ලක්ෂ 7කින් පුළුල් කිරීමය. එය ඡන්ද බැංකුවක් බවට පත්කර ගැනීමය. වැඩිදුර යායුතු නැත. බැසිල් මහ මොළකරුවී සැලසුම් කළ සෞභාග්‍යයේ දැක්මේ 08 වසර දක්වා උගත් පිරිස්වලට රජයේ රැකියා 100,000ක් ලබාදෙන බව උජාරුවෙන් සඳහන් කළ අතර 2019දී බලයට පත්වූ විට තම හෙංචයියන්ගෙන් ඒ පත්වීම් 100,000 පිරවීමටද ක්‍රියා කළේය. එසේම මැතිවරණ පොරොන්දුවක් ලෙස උපාධිධාරීන් 54,000කටද රැකියා ලබාදුන්නේය. ඔවුන් 2022 ජනවාරි මස රාජ්‍ය සේවයේ ස්ථිර කරන බවට සහතිකයක්ද ලබා දුන්නේය.
මෙය සැලකිය හැක්කේ 2005 මැතිවරණයේදී රුපියල් 350ට පොහොර දෙන බව කියා ගොවීන් අතිබහුතරයකගේ ඡන්දය දිනාගෙන බලයට පත්ව මහින්ද රාජපක්ෂටම තම දෑස් ඉදිරිපිට ‘රසායනික පොහොර රකුසෙක් ගැන’ අසමින් කාබනික ගොවිතැනට ආණ්ඩුව ගමන්කරනු දැකීමට සිදුවීමටය.










