පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් තැන්පත් අත්හිටුවන ලෙස රාජ්‍ය පරිපාලන ලේකම්වරයා නිකුත් කළ නියෝගයේ සදහන් පරිදි එවැනි තීන්දුවක් කැබිනට් මණ්ඩලය විසින් ගත්තේද යන්න ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා අද දිනයේදී පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.
ඊට පිළිතුරු දෙමින් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කර සිටියේ එවැනි තීන්දුවක් ගෙන නොමැති බවත්, එය මාධ්‍ය විසින් වාර්තා කළ අසත්‍ය පුවතක් බවත්ය.
එහිදී විපක්ෂනායකවරයාද කියා සිටියේ කැබිනට්ටුව එවැනි තීන්දුවක් ගෙන නැතිනම් එවැන්නක් ප්‍රකාශ කළ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව පියවර ගත යුතු බවකි.
කැබිනට් ලේකම් මැතිවරණ කොමිසමට යැවූ ලිපිය!

හපුහින්න යැවූ ලිපිය!

ජී.එල්. කළ හෙළිදරව්ව!
කෙසේවෙතත් මෙවැනි කැබිනට් තීන්දුවක් ගත්තේද යන්න පිළිබදව අප පුවත්පතද පසුගිය සතියේදී මුල් පුවත මගින්ම ප්‍රශ්න කර සිටියේ මෙසේය.
පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන පක්ෂවලින් සිදුකරනු ලබන ඇප තැන්පත් කිරීම් අත්හිටුවන ලෙසට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට යවා තිබූ ලිපියක් හේතුවෙන් මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල අර්බුදයක් මතුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
ඒ සඳහා හේතුවී ඇත්තේ හපුහින්න මහතා සිය ලිපිය මගින් මෙම තීන්දුව කැබිනට් මණ්ඩලය විසින් ගෙන තමන්ට දැන්වූ බවට කර ඇති ප්‍රකාශයය.
ඒ බව දැක්වෙන ලිපියක් කැබිනට් මණ්ඩල ලේකම්වරයා විසින් හපුහින්න මහතා වෙත යොමුකරනු ලැබ තිබුණද මේ වන විට දැනගන්නට ඇති නිල නොවන තොරතුරුවලින් කියැවෙන්නේ එවැනි සාකච්ඡාවක් පසුගිය සඳුදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම තුළ සිදුව නොමැති බවකි.
එමෙන්ම ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් හෝ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර නැති බවක්ද විවිධ ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.
මේ සම්බන්ධයෙන් කැබිනට් ඇමැතිවරුන්ගෙන් යම් යම් පාර්ශ්ව විසින් කර ඇති විමසීම්වලදී ඔවුන්ද ප්‍රකාශ කොට ඇතැයි කියැවෙන්නේ එවැනි කිසිදු කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්ව නොමැති බවකි.
මීට අමතරව ඇප මුදල් භාරගැනීම අත්හිටුවන ලෙසට වූ ව්‍යවස්ථා විරෝධී තීන්දුව කැබිනට් මණ්ඩලය විසින් ගත්තාද යන්න පිළිබඳ ප්‍රකාශයක් කළ යුතුව ඇතැයි පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී අනුර කුමාර දිසානායක මහතා ද කියා සිටියේය.
කෙසේ වෙතත් තවමත් ආණ්ඩුවේ කිසිදු අමාත්‍යවරයකු මෙවැනි යෝජනාවක් කැබිනට් මණ්ඩලයේදී සම්මත වූ බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු නොකර තිබීමද විශේෂ සිදුවීමකි.
ඒ අනුව කැබිනට් ලේකම්වරයා සහ හපුහින්න මහතා නිකුත් කර ඇති ලිපි මුල්කරගෙන මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයක් ඇතිව ඇති ආකාරයක් දැකගන්නට තිබේ.










