මහ මැතිවරණයට පෙර දින රාත්‍රියේ ඇමෙරිකාව ආරුගම්බේට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කිරීම කොළඹ දේශපාලන අංශවල ටෝකින් පොයින්ට් එකක් වී තිබිණි. මෙම තහනම මැතිවරණ දිනට පෙර දින රාත්‍රියේ ඉවත් කරගැනීම අහම්බෙන් සිදුවූවක් නොවන බව කාගෙත් පොදු මතය විය. මැතිවරණ දිනට පෙර මෙම සංචාරක තහනම ඉවත් කරගැනීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවත් මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයත් අතර එකඟතාවක් තිබූ බව පෙනෙන්නට තිබේ. ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිළිබඳ අනතුරු හැඟවීමක් දේශපාලන වාසි සඳහා පාවිච්චි කිරීමට මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය එකඟ වීම පුදුමය දනවන සුලුය. (Sri Lanka Latest News)
එහෙත් ආරක්ෂක අංශ ආරංචි මාර්ග කියන්නේ එම ත්‍රස්ත ප්‍රහාරයට සැක කරනු ලැබූ බිලාල් මොහොමඩ් අත්අඩංගුවට ගන්නා ලෙස ඇමෙරිකානු බුද්ධි අංශ ලංකාවට දැනුම් දුන් අතර, ලංකාව ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇමෙරිකාව තහනම ඉවත් කිරීමට එකඟ වූ බවය. සැකකරුව අත්අඩංගුවට පත්වූයේ මැතිවරණයට සතියකට පෙරය. එසේ නම් ඒ මොහොතේ තහනම ඉවත් කරගැනීමට ඇමෙරිකාවට හැකියාව තිබිණි. ඇමෙරිකාව ඡන්දය දිනට පෙර දිනය වනතෙක් එය පමා කළේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට දේශපාලන වාසියක් ලබාදීමට බව පැහැදිලිය.
මේ තහනම ඉවත් කිරීමෙන් පසු දකුණු ආසියානු භූ දේශපාලනය පිළිබඳ විශේෂඥයකු වූ මහාචාර්ය එස්.ඩී. මුනි, අනුර කුමාරව ජනාධිපති ධුරයට පත්කිරීමේදී ඇමෙරිකාව ඔවුන්ගේ ඩිප්ලොමැටික් ඉන්ෆ්ලුවන්ස් හරහා සෙන්ට්‍රල් රෝල් එකක් ප්ලේ කළ බව ඉන්දියාවේ ප්‍රකට විශ්වවිද්‍යාලයක දේශනයක් කරමින් පැවැසීය.
ජවිපෙට මේ ඇමෙරිකානු හංවඩුව මුලින්ම ගැහුවේ 1970-77 බණ්ඩාරනායක අගමැතිනියගේ සමගි පෙරමුණු ආණ්ඩුවය. 1970 ඇය ආණ්ඩුව පිහිටෙව්වේ වාමාංශික පක්ෂ සමගය. ඇයගේ ආණ්ඩුවට එරෙහිව ජවිපෙ 1971 කැරැල්ල දියත් කරද්දී ආණ්ඩුවේ ප්‍රධාන ඇමැති ධුර දරපු වාමාංශික නායකයන් දැඩි අපහසුතාවකට පත්විය. ජවිපෙ කැරැල්ල ගැහුවේ ආණ්ඩුව වාමාංශික ප්‍රතිපත්ති අනුගමනය කරනවා කියා බොරු පොරොන්දු දී ධනවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා කියාය. එවිට වාමාංශික පක්ෂ නායකයන් කීවේ ජවිපෙ ඉටුකරන්නේ ඇමෙරිකානු සී.අයි.ඒ. කොන්ත්‍රාත්තුවක් බවය. වාමාංශික ආණ්ඩුව වට්ටවන්න ජවිපෙ සී.අයි.ඒ. කොන්ත්‍රාත්තුවක් බාරගෙන ඇතැයි ඔවුහු කීහ.
එහි ඇත්ත නැත්ත කුමක් වුවද ජවිපෙ ඇමෙරිකාව සමග සමීප සබඳකම් ගොඩනගා ගත්තේ 2010 ෆොන්සේකාට සහාය පළකරද්දී මංගල සමරවීර හරහාය. 2015 මහින්ද රාජපක්ෂ පාලනය බිඳදැමීමට ජවිපෙ අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකර වක්‍රව මෛත්‍රීපාලට සහාය දුන්නේත් ඇමෙරිකාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේ බලපෑම මතය. වත්මන් ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් අනුර කුමාර සහ විජිත හේරත් සමග මිත්‍රය. අනුරගේ ඇමෙරිකානු සංචාරය සම්බන්ධීකරණය කළේත් ඇයය. නමුත් ඇමෙරිකාව අනුර කුමාරට සහාය දක්වන බවට සාක්ෂි පෙනෙන්නට තිබුණේ නැත. ඇමෙරිකාවට බලපෑම් කළ හැකි සුළු ජාතික පක්ෂ සහාය දුන්නේ සජිත්ටය. දමිළ ඩයස්පෝරාව උතුරේ දමිළ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම පිටුපස ඇමෙරිකාව සිටියාද කියා කීමට අසීරුය.










