සංඝමිත්තා තෙරණිය ක්‍රි. පූ. 236 දී දේවානම්පියතිස්ස රජ සමයේදී උඳුවප් පොහෝ දිනක ශ්‍රී මහා බෝධි ශාඛාවක් රැගෙන ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට වැඩම කළාය. ශ්‍රී පරාක්‍රමබාහු විල්ගම්මුල සඟරාජ හිමි විසින් රචිත සිංහල බෝධි වංශය වැනි පුරාණ පර්යේෂණ කෘතීන්හි දක්වා ඇත්තේ සංඝමිත්තා තෙරණිය භික්ෂුණීන් වහන්සේලා, කුමාරවරුන් සහ විවිධ ශිල්පයන්හි දක්ෂ පිරිස් සමඟ ශ්‍රී ලංකාවට වැඩම කළ බවයි. මෙසේ පැමිණි ශිල්පීන්ගෙන් ඇතැම් අය වෙත ශ්‍රී මහා බෝධි ශාඛාවේ ආරක්ෂාව මෙන්ම ශ්‍රී මහා බෝධිය වෙනුවෙන් පුද පූජා සහ වතාවත් ඉටු කිරීමේ වගකීම පවරන ලදී. Sri Lanka Latest News
මෙම පිරිස තිස්ස වැව ආශ්‍රිත ගම්මානයන්හි පදිංචි වූ අතර පසුකාලීනව එම ගම් විහාර බුලංකුලම, විහාර පලුගම, විහාර කලංචිය සහ විහාර මැදවච්චිය යනාදි නම්වලින් හඳුන්වන ලදී. මිහිඳු මහ රහතන් වහන්සේගේ උපදෙස් අනුව දේවානම්පියතිස්ස රජතුමා බෝධි ගුප්ත සහ සුමිත්ත යන කුමාරවරු දෙදෙනාගේ පරම්පරාවන්ට ශ්‍රී මහා බෝධිය උදෙසා පුද පූජා සහ වතාවත් ඉටු කිරීමේ කාර්යභාරය පවරන ලදී.
2025 ජූලි 11 වන දින ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් සිදු කළ උතුරු මැද පළාත් සංචාරය අතරතුර දී එතුමා විහාර කලංචියට ගොස් මහා දුරයා වන ජයවර්ධන මහතා සහ ශ්‍රී මහා බෝධිය ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබෙන වත්මන් පරම්පරා ගම්මාන නවයෙහි ප්‍රධානීන් හමු විය. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ඔවුන් බෝධි ගුප්ත කුමාරයාගේ පරම්පරාවට අයත් වන බවයි. සංඝමිත්තා තෙරණිය සමඟ ශ්‍රී ලංකාවට පැමිණි පිරිස උතුරු ඉන්දියාවේ අය බව ඔවුන්ගේ මුතුන් මිත්තන් ඔවුන්ට පවසා ඇත. ගම්මාන නවයෙහි එක් එක් පරම්පරාව දැඩි ගෞරවයකින් සහ භක්තියකින් කළින් පරම්පරාවෙන් තම වගකීම භාර ගෙන ඇත.
මහ කොමසාරිස්තුමා පරම්පරා ගණනාවක් මුළුල්ලේ මෙම භාරදූර කාර්යය සිදු කරන පවුල් සඳහා සිය මහත් ගෞරවය සහ ප්‍රශංසාව ප්‍රකාශ කළේය. ඔවුන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බොදු උරුමයේ මෙන්ම සහශ්‍ර වර්ෂ ගණනාවක් පුරා දෙරට අතර පවතින සබඳතාවයේ සුවිශේෂී බැඳීමක් නියෝජනය කරන බව එතුමා ප්‍රකාශ කළේය. දෙරට අතර පවතින සුවිශේෂී සහ ශක්තිමත් සංස්කෘතික සබඳතා තවදුරටත් සවිමත් කිරීමට ඉන්දියාවේ කැපවීම එතුමා අවධාරණය කළේය.
වත්මන් ඉන්දීය මහ කොමසාරිස්තුමාගේ උපන් නගරය ද සංඝමිත්තා තෙරණිය සමඟ පැමිණි පිරිසගේ මුල් ගම්බිම් අතරින් එකක් බවට විශ්වාස කෙරෙන බිහාරය බව දන්නා අනුරාධපුර අටමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් මෙම සුවිශේෂී හමුව පිළිබඳව අදහස් දක්වමින් මහා දුරයා වන ජයවර්ධන මහතාට සහ ගම්මාන නවයෙහි ප්‍රධානීන්ට ප්‍රකාශ කළේ එතුමාගේ පැමිණීම නෑයෙකුගේ පැමිණීමක් බවයි.




ප්‍රියන්ත හෙට්ටිගේ











