බොහොමයක් දෙනා කුජ හෙවත් අඟහරුට ඇත්තේ දැඩි බියකි. එමෙන්ම නිතරම විවාහය ගැන කතා කරද්දී මෙය ප්‍රධාන වෙයි. කුජ ගැන කොතරම් කතා කළද අවසානයක් දක්වා කතා කළ නොහැකි තරමට කුජත්, විවාහයත් අතර ඇත්තේ ප්‍රබල සම්බන්ධයකි. විවිධ තැන්වලදී කසාදයට පෙර කුජ ඉස්සර කරගන්නා තැන් අනන්තවත් තිබේ. ‘එයාට කුජ දෝෂ, මෙයාගේ කුජ හතේ…’ වැනි මත ප්‍රකාශ කරමින් විවාහයන් පස්සට දමන තැන්ද අනන්තය. අප්‍රමාණය. එහෙත් ඒ බහුතරයක් දෙනාට ඇත්තේ කොහෙන් හෝ ඔළුවට දමාගත් මතවාදයන් මිස මුහුකුරා ගිය ජ්‍යොතිෂමය දැනුමක් හෝ ජ්‍යොතිෂමය තර්ක විතර්ක නොවේ. එනිසා කසාදයක හැම අඩුවක් පාඩුවක්ම කුජ පිටින් දමා ගැලවී සිටින්නට උත්සා කිරීම අපරාධයකි.
කුජ දෝෂ දක්වන්නේ එක, දෙක, හතර, හත, දොළහ ස්ථානවල සිටියදීය. ඉහත සඳහන් කළ ස්ථානයක සිටින කුජගේ එකම රාජකාරිය විවාහ කඩාබිඳ දැමීමත්, මංගල කටයුතු කඩාකප්පල් කිරීමත් ලෙස සිතන්නන් වැඩිය. එහෙත් වඩාත් හොඳින් අවබෝධ කරගත යුත්තේ කුජගේ එකම කාර්යය විවාහ කඩාකප්පල් කිරීම පමණද යන්නයි.
කුජ යනු ශක්තියට මුල් තැන දෙන්නාය. තේජවන්තකමට, එඩිතරකමට, හිතුවක්කාරකමට මෙන්ම සල්ලාලකමටද අධිපතිත්තවය දරන ග්‍රහයායි. සැඟවීමකින් තොරව කරන දේ එළිපිට කිරීමට තරම් බලයක් ඇති කුජ ග්‍රහයාට ඕනෑම දෙයක් ක්ෂණිකව කඩාබිඳ දැමීමේ බලයක්ද වෙයි. මේ හේතු නිසාම විවාහයේදී සෑම කෙනෙක්ම කුජ ගැන බිය වන්නේ බිය නොවී බැරිකමටමය.
එහෙත් යම් කේන්දරයක කුජ බලවත්වී සිටීනම් එම ජන්මියා එඩිතර ගති ඇති ශක්තිමත් අයකු වෙයි. හෙතෙම එඩිතර තද හිතක් ඇති අයකු නිසාම ක්‍රියාවේ දක්ෂයකු වෙයි. ඔහු කිසිවකින් පසුබට නොවන අතර ඕනෑම අභියෝගයක් හමුවේ ඉදිරියටම යන්නකු ලෙසද ප්‍රකට වෙයි. යම් කෙනකුගේ කුජ ලග්නයේ සිටීනම් ඔහු සෑම විටම එඩිතරව ක්‍රියා කළද විවාහය නමැති මාතෘකාවේදී කුජ ගැන බැලිය යුත්තේ ඊට ගැළපෙන අයුරිනි. එසේ බලද්දී කුජගේ ඉවසීමේ ගුණය අඩුකම ඉක්මනින් කෝපවීම වැනි කාරණා මූලිකත්වයට පැමිණේ.
විවාහයකදී සිදුවන්නේ දෙදෙනකු එක්ව ගමනක් යෑමය. අදහස් උදහස් කොතරම් සම වුවද සිත් දෙකක් එක්ව ගමනක් යෑම යනු මත ගැටුම් වාද භේද ඇතිවීමේ ප්‍රවණතාව වැඩි වූ කාරණයකි. එනිසා විවාහයේදී ඉවසීම අංක එකට සැලකේ. කුජගේ ස්වභාවය එහි අනෙක් පැත්ත නිසා කුජ විවාහයට බාධා කරන්නකු ලෙස ප්‍රකටය. කුජ, ඉවසීම වෙනුවට ඉක්මන් වේ. සාමය වෙනුවට රණ්ඩුවට බර වේ. එනිසා කුජ හත්වැන්නට නොගැළපේ. ඒ හේතුවෙන් හත්වැන්නේ කුජ දෝෂයක් ලෙස සැලකීම එක පැත්තකින් සර්ව සාධාරණය. කෙසේ වුවද කුජ ග්‍රහයා ආවාට ගියාට අතහැරිය හැකි ග්‍රහයකුද නොවේ. පිරිමියකුගේ සහකාරිය නිවේදනය කරන්නේ සිකුරු වුවද කාන්තාවකගේ සහකරු නිවේදනය කරන්නේ කුජය. යම් ස්ත්‍රියකගේ කේන්දරයේ මකර, මේෂ, වෘශ්චික යන රාශියක කුජ සිටීනම් එම කාන්තාවට හිමිවන සහකරුවා ක්‍රියාශීලී පුද්ගලයකු වන බව පැවැසේ. ඔහු කඩවසම්, ආකර්ෂණීය අයකුද වේ. එවැනි තත්ත්වයක වුවද කුජ 7 වැන්නේ සිටීම සුබ නැත. කුජ නිතරම බලන්නේ හත්වැන්නට බාධා ගෙනදීමටය. හත්වැන්නට කාරක ග්‍රහයා සිකුරුය. සිකුරුගේ වැඩේ කරන්නට සතුරු කුජට හැකියාවක්ද නොමැත.
කුජ හතේ බලවත්ව සිටීමට වඩා කුජ හතේ නීච වීම නරක බව වටහාගත යුතුය. එය වඩාත් දෝෂ සහිත වේ. මකර ලග්න පුරුෂයකුගේ කුජ හතේ නම් ඔහුගේ සහකාරියට අපල ඇති කිරීමට සමත් වෙයි. එවැනි ස්ත්‍රියක් ලබන පුරුෂයා දුර්වල අයකු වේ. එසේ නොමැති විට දෙදෙනාගෙන් කෙනකු අනෙකාව ප්‍රතික්ෂේප කිරීම අනිවාර්යයෙන් සිදුවේ. කුජ හත අධිපති සමග සංයෝග වීමද විවාහයට බාධා ගෙන දෙන පිහිටීමකි. එහිදී අනෙක් ග්‍රහයන් ගැනත් සැලකිලිමත් විය යුතුය. විශේෂයෙන් ගුරුගේ තත්ත්වය බලා තීරණයකට එළැඹිය හැකිය. කෙසේ නමුත් මේ සියල්ල සමග වඩාත් ආන්දෝලනාත්මක මතයක්ද තිබේ. එනම්, කුජගේ දෝෂය ප්‍රබලව බලපෑම් කරනු ලබන්නේ හිරිමල් තාරුණ්‍යයටය යන ප්‍රකාශයයි. එනම් වයස අවුරුදු විසි ගණන්වලදී සහ ඊට පෙරයි (වයස අවුරුදු 28ට පෙර). මෙලෙස අවුරුදු 28ට පෙර තරුණ තරුණියන්ගේ විවාහයන්ට කුජ ප්‍රබලව බලපෑවද 28 පසුවී විවාහ වීමේදී කුජගේ දෝෂය ප්‍රබල බලපෑමක් නොමැති බවටද මතයක් පවතී. මේ තත්ත්වය වඩාත් උනන්දුවෙන් අධීක්ෂණය කළ යුතු තත්ත්වයකි. මෙවැනි කාරණා ගැන ආවාට ගියාට තීරණ නොගත යුතුය. එවැනි විවාහයන් මෙන්ම එවැනි කේන්දර ගැනද ඉතා සුපරීක්ෂාකාරීව තෝරා බේරාගෙන අධීක්ෂණය කළ යුතුය. එවිට සත්‍යය අවබෝධ කරගැනීමට පහසු වේ.
කෙසේ නමුත් විවාහයකදී සියල්ල කුජ පිටම පටවා නිදහස් වීමට නොහැකිය. මන්ද, කුජ යනු විවාහයේ එකම සතුරා නොවන නිසාය. ඊට තවත් කරුණු කාරණා ගණනාවක් බලපාන්නේය. ඒ ගැනත් ඉතා අවධානයෙන් සිතා බලා තීරණ ගැනීම සුදුසු වේ.
ප්‍රවීණ ජ්‍යොතිෂ සහ අංග ලක්ෂණ පර්යේෂණවේදී ජයශ්‍රී නන්ද කුමාර