මහින්දානන්ද දාපු නෝන්ඩියට දයාසිරි දුන් කන පැලෙන උත්තරය!
පක්ෂ නායක රැස්වීමේ මල්වෙඩි සංදර්ශන!
‘අපි එහෙනම් මේක එළියෙදි බලාගමු…’ රතන හිමිගෙන් තගක්!
ගෝඨා සභාවට එද්දී හිටියෙ 56යි!
පොහොර ප්‍රශ්නයෙන් රට මේ වන විට ඇත්තේ ගිනියම්වය. ආණ්ඩුව එක්වරම රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හේතුවෙන් කෙතරම් අසීරුවට පත්ව සිටිනවාද කියනවා නම් දිනපතාම පාහේ ගොවි විරෝධතා පැවැත්වෙනු දැකගත හැකිය. මේ ඇතැම් විරෝධතා සඳහා දේශපාලන මැදිහත්වීමක් දැකගන්නට ලැබුණත් බහුතරයක් විරෝධතාවන් දේශපාලන මැදිහත්වීමකින් තොරව සිදුකරන ආකාරයක්ද දැකගත හැකිය. නමුත් ආණ්ඩුව නම් ප්‍රසිද්ධියේම කියා සිටින්නේ මෙම ගොවි විරෝධතා පසුපස සමගි ජන බලවේගයත්, ජනතා විමුක්ති පෙරමුණත් හොල්මන් කරන බවකි.
ඒ කෙසේ වෙතත් පසුගිය සතියේ ජනාධිපතිවරයා සම්බන්ධ සිදුවීම් දෙකක් දැකගන්නට ලැබිණි. ඉන් එකක් වූයේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණීමය. මේ බව ආණ්ඩුවේ පැත්තෙන් ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක් කෙරුණු අතර පාර්ලිමේන්තු සහභාගිත්වය අනිවාර්ය බවද එහිදී කියැවිණි. නමුත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු පැමිණෙන විට ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ගෙන් සභා ගර්භයේදී දැකගන්නට ලැබුණේ 56 දෙනකු පමණි.
රජගෙදරට ආවේ 156න් 108යි!
ඒ වන විට ඉරිදා දින ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේ පැවැත්වෙන බවටද සියලු මැති ඇමැතිවරුන්ට දැනුම් දීමට පියවර ගෙන තිබිණි. විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සමගින් මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වෙන බව කියැවුණද බොහොමයක් දුර බැහැර සීමිත මන්ත්‍රීවරුන් නම් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ තරමක් අවුලකිනි. ඇතැමුන් සිය හිතවතුන් සමග කියා සිටියේ ඉරිදා දිනයේදීත් අමුතුවෙන්ම කොළඹට පැමිණිමට සිදුවන බැවින් තමන් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට නොපැමිණෙන බවකි. තවත් සමහර මන්ත්‍රීවරුන් කියා සිටියේ කණ්ඩායම් රැස්වීමට පෙර ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන බැවින් තමන් මෙම රැස්වීමට සහභාගි නොවන බවකි. ඒ අනුව ඉරිදා දින ජනාධිපති මැදුරේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වී සිටියේ 150කට අධික මන්ත්‍රීවරුන්ගෙන් 108ක් පමණක් වීමද විශේෂ සිදුවීමකි.
කණ්ඩායම් රැස්වීමේදී මල්වෙඩි සංදර්ශන!
කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ආරම්භයට පෙර ආණ්ඩුවේ කැරැලිකාර පිල නියෝජනය කරන විමල් ඇතුළු කණ්ඩායම වෙනම රැස්වී යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් දක්වා තිබූ විරෝධතාව හේතුවෙන් බොහෝ දෙනා සිතා සිටියේ මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඉතා උණුසුම් එකක් වනු ඇතැයි කියාය.
විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම කැරළිකාර කණ්ඩායම නියෝජනය කරන පක්ෂ 11 ජනාධිපතිවරයා වෙත යොමුකොට තිබූ ලිපියට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා සාකච්ඡාවක් ලබා නොදීමත්, ඒ වෙනුවට අගමැතිවරයා හා බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සමග සාකච්ඡා කරන ලෙසට දැනුම්දී තිබීමත්, සිකුරාදා දිනයේදී පළමු වරට මෙම පක්ෂ 11 පිටකෝට්ටේ සෝලීස් ශාලාවේදී ආණ්ඩුවට එරෙහි පළමු ප්‍රසිද්ධ රැස්වීම පැවැත්වීමට සාකච්ඡා කොට තිබීමත් නිසා බොහෝ දෙනා සිතා සිටියේ රැස්වීම ආරම්භයේ සිටම දෙපැත්තෙන් මල් වෙඩි සංදර්ශන දැකගන්නට හැකි වේවි යැයි කියාය.
වාසුට වැඩේ බාර දෙයි! රෝහිත දෙබරෙට ගල් ගහයි!
නමුත් එවැන්නක් සිදු නොවුණේ කැරැලිකාර කණ්ඩායම එම රැස්වීමට පෙර ගෙන තිබූ තීන්දුවක් මුල් කරගෙනය. ඒ, මෙම කණ්ඩායම් රැස්වීමේදී යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් කිසිවක් සාකච්ඡා නොකරන බවට ඇති කරගත් එකඟතාවය. එමෙන්ම තම කණ්ඩායමේ මතය ප්‍රකාශ කිරීම වාසුදේවට භාරදීමටද පිරිස පියවර ගත්හ. මීට අමතරව කැරැලිකාර පිලට නායකත්වය ලබාදෙන විමල්, මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි නොවීමද රැස්වීම සාමකාමී එකක් බවට පත්වීමට එක් හේතුවක්ව තිබිණි.
එසේ වුවත් ආණ්ඩුව ඇතුළේ ඇති මෙම අර්බුදය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා නොවුණාම නොවේ. විවිධ කරුණු සාකච්ඡා කරන අතරවාරයේදී අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මෙම කරුණ ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරවූවේය. රෝහිත පෙන්වා දුන්නේ ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න තියෙනවා නම් ඒවා ආණ්ඩුව ඇතුළේම සාකච්ඡා කොට විසඳාගත යුත බවකි. එසේ නොමැතිව ප්‍රසිද්ධියේම ආණ්ඩුව ඇතුළේ අර්බුද එළියේ සාකච්ඡා කොට ගහමරා ගැනීමට යෑම හරහා සියලු දෙනාම විනාශ වී යෑම නොවැළැක්විය හැකි බවද රෝහිත කියා සිටියේය.
කුට්ටිආරච්චිගේ හරක් කතාව!
රෝහිතගෙන් පසු කතා කළ තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාද දැරුවේ මේ ස්ථාවරයමය. තරමක ආවේගශීලීව කතා කළ කුට්ටිආරච්චි, ආණ්ඩුවේ කැරැලිකාර පිලට ප්‍රහාර වැලක්ම දියත් කිරීමට පියවර ගත්තේය.
‘දැන් ජනාධිපතිතුමනි, ඔබතුමා තීන්දුවක් ගත්තා රසායනික පොහොර භාවිතය තහනම් කරලා කාබනික පොහොර වගාවට යන්න. ඒ ගැන යම් යම් ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් ජනාධිපතිවරයා යම් තීන්දුවක් ගත්තාම අපි ඔක්කොම ඒ වෙනුවෙන් පෙනී සිටින්න ඕනෙ. ඒ ගැන විවේචනය කරන එක නෙවෙයි කරන්න ඕනෙ. හැබැයි මේ එළියේ කෑගහන එක්කෙනෙක්වත් ඔබතුමා ඉදිරියේ මේ ගැන කතා කරන්නෙ නෑ. ඒකයි ප්‍රශ්නෙ. හැබැයි අපි ඒ ගැන කියද්දි අපේම සමහර ඇමැතිවරු අපිට හරක් කියලා බණිනවා. ඒගොල්ලො එහෙම කරනවා නම් අපිත් සූදානම් ඒ භාෂාවෙන්ම ඒ අයට උත්තර දෙන්න…’ යනුවෙන් කුට්ටිආරච්චි කියද්දී කලින් ඇතිකරගත් එකඟතාවට අනුව කැරැලිකාර පිල වෙනුවෙන් වාසුදේව කතා කිරීම ආරම්භ කළේය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ සිය පරිණතභාවය උපයෝගී කරගනිමින් වාසු රාජ්‍යතාන්ත්‍රික ආකාරයට සිය කණ්ඩායමේ ස්ථාවරය ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට ප්‍රකාශ කිරීමට කටයුතු කිරීමය.
වාසුගෙන් ‘ඩිප්ලොමැටික්’ කතාවක්!
‘සන්ධාන ආණ්ඩුවක් වුණාම විවිධ මත තියෙන පිරිස් ඉන්නවා. විවිධ පක්ෂ නියෝජනය කරන අය ඉන්නවා. ඒ කරුණ විශේෂයෙන්ම මේ පසුපෙළ මන්ත්‍රීවරුන් දැනගන්න ඕනෙ. මොකද ආණ්ඩුව රකින එක එකක්. තමන්ගෙ මතය දරන අයිතිය තව එකක්. මේ සියල්ලටම කලින් අපිට වෙලා තියෙන වැඩේ පොඩ්ඩක් හිතලා බලන්න. අපි මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ ආණ්ඩුව යටතේ 17 වැනි සංශෝධනය ගෙනාවාම ඒකටත් අත ඉස්සුවා. මහින්ද මහත්තයා 18 වැනි සංශෝධනය ගෙනාවාම මම දැඩිව ඒකට විරුද්ධව මගේ මතය ප්‍රකාශ කළා. හැබැයි ආණ්ඩුව තීන්දුවක් ගත්තාම මම ඒකට පක්ෂව අත ඉස්සුවා. යහපාලන ආණ්ඩුව කාලෙ 19 ගෙනාවාම ඒකටත් අත ඉස්සුවා. ඊට පස්සේ 20 ගේද්දි අපි විරුද්ධව අදහස් ප්‍රකාශ කළත් ඒකටත් අත ඉස්සුවා. ආණ්ඩුව ආරක්ෂා කරන්න එක අපි ඒ විදියට වැඩ කළා. මමයි, මහින්ද මහත්තයයි අවුරුදු 50ක් දැනට දේශපාලනය කරලා තියෙනවා. ඒක මහින්ද මහත්තයා දන්නවා. ඒ නිසා තමන්ගෙ මතය ප්‍රකාශ කරන්න ආණ්ඩුවක් ඇතුළෙ නිදහස තියෙන්න ඕනෙ. ඒක මර්දනය කරන්න සූදානම් වෙනවා නම් ඒක වැරැදියි…’ යනුවෙන් කියමින් වාසු දීර්ඝව පැහැදිලි කරද්දී කිසිවකුත් ඊට බාධා කරන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.
පොහොර ගැන ජනපති රහසක් හෙළිකරයි!
වාසුගේ ප්‍රකාශයෙන් පසු ජනාධිපතිවරයා දීර්ඝව අදහස් ප්‍රකාශ කරන ආකාරයක් දැකගත හැකි විය. විශේෂයෙන්ම ජනාධිපතිවරයා අවධානය යොමු කර තිබුණේ දැනට රට තුළ උද්ගතව පවතින පොහොර අර්බුදය පිළිබඳවය. ජනාධිපතිවරයා කියා සිටියේ තමන් මෙම තීන්දුව හදිසියේ ගත් එකක් නොවන බවත්, කෘෂිකර්ම අමාත්‍යාංශයට වසරක කාලයක් ලබාදීමෙන් අනතුරුව ගත් තීන්දුවක් බවත්ය.
‘මම කාබනික පොහොර වගාව ගැන ගත්ත තීන්දුව හදිසි එකක් නෙවෙයි. මම ඒක ගැන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයටත් ඇතුළත් කළා. ඊට පස්සේ මම කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දුන්නා පියවරෙන් පියවර මේ කටයුත්ත කරන්න. පළමු අවුරුද්ද ඇතුළත රසායනික පොහොර භාවිතය 30%යි, කාබනික පොහොර භාවිතය 70%යි වශයෙන් මේ කටයුත්ත කරන්න කියලා මම ඉලක්කයක් දුන්නා. හැබැයි ඒ නිලධාරීන් ඒක හරියට කරලා තිබුණෙ නෑ. මම බලද්දි 70යි 30යි යන්නෙ අනිත් පැත්තට. ඒකයි මම තීන්දුවක් ගත්තෙ රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම නවත්වන්න. මොකද මම ජනතාවට පොරොන්දුවක් දුන්නා මේ දේ කරනවා කියලා….’ යනුවෙන් ජනාධිපතිවරයා විනාඩි 45ක පමණ දීර්ඝ කාලයක් ගෙන මෙම කරුණු මැති ඇමැතිවරුන්ට පැහැදිලි කිරීමට පියවර ගත්තේය.
රජගෙදර පාටියේ විස්කි-බ්‍රැන්ඩි-තාරා-බැටලු මස්!
ඉන් අනතුරුව දැනට රට තුළ මතුව පවතින අර්බූද ගණනාවක් පිළිබඳව අදහස් පළ කළ ජනාධිපතිවරයා පසුව සියලු මැති ඇමැතිවරුන්ට රාත්‍රී භෝජනය සඳහා ආරාධනා කිරීමට පියවර ගත්තේය.
ඇත්ත වශයෙන්ම මෙම රාත්‍රී භෝජන සංග්‍රහය කලකින් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට ලැබුණු ඉහළම ගණයේ සාදයක් බඳු එකක් විය. ඊට හේතු වූයේ සියලු රස මසවුලෙන් සහ විදෙස් මත්පැනින් රාත්‍රී භෝජන සංග්‍රහය සමන්විත වී තබීමය. සාදයට ඌරු මස්, හරක් මස් නොතිබුණු නමුත් ඒ අඩුව මැකී යන්නට බැටලු මස්, තාරා මස් සහ කුකුළු මස් නොඅඩුව තිබිණි. ඉහළම වර්ගවල විස්කි, බ්‍රැන්ඩි සහ වයින් වර්ග සාදයේ කුල්මත් බව ඉහළ නැංවීමට සමත්ව තිබිණි. සාදය තවත් වර්ණවත් කළේ නාවික හමුදාවේ වාද්‍ය වෘන්දයය. මන්ත්‍රී මධුර විතානගේද හොද ඩ්‍රම්ස් වාදකයෙක් බව සියල්ලන්ම දැනගත්තේ සාදය ආරම්භ වී ටික වෙලාවකින් කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදකයාගේ ආසනයේ මධුර වාඩිවී ඩ්‍රම්ස් ගැසීමට පටන් ගැනීමත් සමගය.
ජනපතිට මැණිකේ මතක් වෙයි!
ඒ අනුව මැතිඇමැතිවරුන් සවුදිය පුරා සාදය නැඟලා යද්දී සියලු දෙනාටම මන්ත්‍රීවරුන්ගේ ගීත ගැයීමේ දොළදුකක් ඇතිව තිබිණි. මේ බව දැනගන්නට ලැබීමත් සමග ජනාධිපතිවරයා සාමාන්‍යයෙන් ගීත ගායනයට දක්ෂතාවක් දක්වන දයාසිරිට කතා කොට ගීතයක් ගායනා කරන ලෙස ආරාධනා කරනු දැකගන්නට ලැබිණි. ඒ අනුව දයාසිරි ජනාධිපතිවරයාට අවශ්‍ය ගීතය කුමක්ද කියා විමසද්දී ජනාධිපතිවරයා කියා සිටියේ යොහානිගේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගායනා කරන ලෙසය.
නයිට්‍රජන් ක්ලෝරයිඩ් දයාසිරි-කාබනික අකාබනික වෙනස දන්නෙ නැති කෘෂිකර්ම ඇමැති
ඒ අනුව මහින්දානන්ද මයික්‍රෝෆෝනය අතට ගෙන දයාසිරිට විහිළුවක් කරමින් ‘නයිට්‍රජන් ක්ලෝරයිඩ් දයාසිරිට ගීතයක් ගායනා කිරීමට මා ආරාධනා කරනවා…’ යැයි කීවේ ජනාධිපතිවරයාද සිනහ ගන්වමිනි. ඊට හේතු වූයේ දයාසිරි කාබනික වගාව විවේචනය කරමින් අදහස් දක්වා තිබීමය. නමුත් දයාසිරිද අතහැරියේ නැත. දයාසිරි මහින්දානන්දගෙන් මයික්‍රොෆෝනය අතට ගත්තේ ‘කාබනික අකාබනික වෙනස දන්නෙ නැති කෘෂිකර්ම ඇමැතිතුමාට ස්තුතියි…’ යැයි කියමින් නැවත වරක් සියලු දෙනාම සිනා සයුරේ ගිල්වමිනි. ඒ අනුව දයාසිරි ‘මැණිකේ මගේ හිතේ’ ගීතයත්, අමරදේවයන්ගේ ගීතයකුත් ගායනා කිරීමෙන් අනතුරුව මහින්දානන්දත්, උද්දික ප්‍රේමරත්නත් ගීත ගායනා කරනු දැකගන්නට ලැබිණි.
ජනපතිගේ ස්කොට්ලන්ත ගමනේ අවුලක්
ජනාධිපතිවරයා ඉදිරි දින කිහිපය ඇතුළත ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන ‘කොප් 26’ සමුළුවට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව යෑමට සූදානමින් සිටින බව මීට සති කිහිපයකට පෙරාතුව ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පළමු වරට රටට අනාවරණය කිරීමට කටයුතු කළෙමු. එම සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා හා දෙමළ ඩයස්පෝරාව අතර හමුවක් සිදුවනු ඇද්ද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනා බලා සිටින බවද එහිදී අපි සඳහන් කර සිටියෙමු. කෙසේ වෙතත් මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප හෙළිදරව් කිරීමට සූදානම් වන්නේ ජනාධිපතිවරයාගේ ස්විස්ටර්ලන්ත සංචාරය මුල් කරගෙන මතුව ඇති එක්තරා විශේෂ තත්ත්වයකි.
ද හෙරල්ඩ් පත්තරේ සම්පූුර්ණ පිටුවක්!
ඒ අනුව පසුගිය සතියේ ස්කොට්ලන්තයේ පළවන ‘ද හෙරල්ඩ්’ පුවත්පතේ ජනාධිපතිවරයාගේ රුව රැගත් සම්පූර්ණ පිටුවක් පළව තිබුණේ සියලු දෙනාම විමතියට පත්කරමිනි. ‘ද හෙරල්ඩ්’ යනු ස්කොට්ලන්තයේ වැඩිම විකිණුම සහිත පුවත්පතක් වන අතර ඉතා පැරැණිම පුවත්පතකි. ඒ අනුව හිටි හැටියේම ස්කොට්ලන්තයේ පළවන පුවත්පතක් ලංකාවේ ජනාධිපතිවරයාගේ රුව සහිත සම්පූර්ණ පිටුවක් පළවීමත් සමග බොහෝ දෙනා එහි සඳහන්ව ඇති කරුණු පිළිබඳ අවධානය යොමුකොට තිබූ ආකාරයක් දැකගත හැකි විය.
විරෝධතා පළවෙයිද?
පසුව ඒ පිළිබඳ සොයා බලද්දී එය ලිපියක් නොව කිසියම් පිරිසක් විසින් මුදල් ගෙවා පළකර තිබූ දැන්වීමක් බව පැහැදිලිවම දැකගත හැකි විය. ස්කොට්ලන්තයේ වෙසෙන ද්‍රවිඩ පිරිස් විසින් මෙම දැන්වීම පළකොට තිබූ අතර එම දැන්වීමෙන් කියැවුණේ ජනාධිපතිවරයා ග්ලාස්ගෝ නුවරට පැමිණීමට නියමිතව ඇති බවත්, යුද්ධය පැවැති කාලයේදී එල්ලවී ඇති චෝදනා මුල් කරගෙන ජනාධිපතිවරයාගේ මෙම සංචාරයට විරෝධය පළකිරීමට කටයුතු කළ යුතු බවත්ය.
සිංහල අයත් සටනට සූදානම් වෙයි!
කෙසේ වෙතත් මෙම දැන්වීම ‘ද හෙරල්ඩ්’ පුවත්පතේ පළවීමත් සමග ස්කොට්ලන්තයේ සිටින සිංහල ජනතාවද ඇවිස්සී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව මේ වන විට එම සිංහල ජනතාවද තීන්දු කොට ඇත්තේ ජනාධිපතිවරයාට සහාය පළකරමින් ‘ද හෙරල්ඩ්’ පුවත්පතේ එවැනිම ආකාරයේ සම්පූර්ණ පිටුවක දැන්වීමක් පළකිරීමටය. බොහෝ දුරට එම දැන්වීම මේ සතියේදී පළවීමට නියමිතව ඇති බවද දැනගන්නට ඇත.
ඥානසාර හිමිගේ අර්බූදය
පසුගිය සතියේ දේශපාලන කරළිය උණුසුම් කළ ප්‍රධානම පුවත බවට පත්ව තිබුණේ වෙන මොකක්වත් නොව ජනාධිපතිවරයා විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව ‘එක රටක් – එක නීතියක්’ ස්ථාපිත කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති කාර්යසාධක බළකායේ ප්‍රධානියා ලෙස පත්කිරීමට පියවර ගැනීමත් සමගය. මෙය කොපමණ උණුසුම්කාරී මාතෘකාවක් වුණාද කියතොත් ඥානසාර හිමියන් එම කාර්යසාධක බළකායට පත්කළ මොහොතේ සිටම විශාල විරෝධයක් බොහෝ පාර්ශ්වයන්ගෙන් එල්ලවන ආකාරයක් දැකගන්නට ලැබිණි. විශේෂයෙන්ම මුස්ලිම් ප්‍රජාව පමණක් නොව දෙමළ ප්‍රජාවද, මධ්‍යස්ථ සිංහල ජනතාවද මෙම පත්කිරීමට එරෙහිව අදහස් දක්වන ආකාරයක් දැකගත හැකි විය.
මහින්දට දිගට හරහට කෝල්ස් ඇවිත්
කෙසේ වෙතත් මේ පත්කිරීමත් සමග අගමැති මහින්ද රාජපක්ෂ මහතාටද ඉස්පාසුවක් නොවුණේ උදෑසන සිටම විවිධ පාර්ශ්වයන් අගමැතිවරයාටද කතා කොට මේ පිළිබඳ විමසීමට පටන්ගෙන තිබීම නිසාය. විශේෂයෙන්ම තානාපති කාර්යාලවල නිලධාරීන් විශාල පිරිසක් අගමැතිවරයාට කතා කොට මේ පිළිබඳ දිගින් දිගටම විමසීම නිසා අගමැතිවරයාගේ රතු කට්ටද පැන තිබූ ආකාරයක් දැකගත හැකි විය.
වෙන්න යන්නෙ මොකක්ද කියලා මට හොඳට පේනවා
ඒ අනුව අගමැතිවරයා වහාම ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාට කතා කොට මෙම කතාවේ ඇත්ත නැත්ත විමසා බලන්නට පියවර ගත්තේය.
‘මොකක්ද පී.බී. මේ ඥානසාර හාමුදුරුවො කාර්යසාධක බළකායකට පත්කළා කියන එකේ ඇත්ත නැත්ත? මට උදේ ඉඳලා ඉන්න නෑ එක දිගට කෝල්ස් එනවා. එම්බසිවලිනුත් කතා කරලා අහනවා. මොකක්ද මේ කියලා…’ යනුවෙන් අගමැතිවරයා විමසද්දී පී.බී.ද කියා සිටියේ එම කතාව ඇත්ත යැයි කියාය. ඒ අනුව අගමැතිවරයා දුරකතනය තැබුවේ, ‘වෙන්න යන්නෙ මොකක්ද කියලා මට හොඳට පේනවා’ යැයි කියාය.
ආණ්ඩුව නැවත පිපිරවූ යුගදනවි
මේ වන විට ආණ්ඩුව පත්වී වසර 2කට ආසන්න කාලයක් ගතව ඇති අතර, ඒ ගෙවුණු වසර 2ක කාලය තුළ ආණ්ඩුව ඇතුළේ පිපිරීම් කිහිපයක්ම සිදුවනු දැකගන්නට ලැබිණ. එහි පළමු සිදුවීම වූයේ ආණ්ඩුව පත්වූ සැණින්ම කරළියට ආ 20 වැනි සංශෝධනයය. මෙහිදී පළමු වරට ආණ්ඩුවේ බෙදීම එළියට අරගෙන ආවේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු කැරැලිකරුවන්ය. ඔවුන් එහිදී එළිපිට කියා සිටියේ විසිවැනි සංශෝධනයට තමන් විරුද්ධ නැති නමුත් එහි ඇති ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට හැකිවන ආකාරයේ ඇති වගන්තිවලට විරුද්ධ බවය.
කෙසේ වෙතත් අවසානයේ 20 වැනි සංශෝධනය සම්මත වුවද ආණ්ඩුව ඇතුළේම පැහැදිලි බෙදීමක් ඒ අවස්ථාවේදී දැකගන්නට ලැබිණි.
දෙවැනි බෙදිල්ල වරාය
ආණ්ඩුවේ දෙවැනි බෙදිල්ල දැකගන්නට ලැබුණේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමට පියවර ගැනීම හරහාය. එහිදී විමල් පිල එළිපිට ඊට එරෙහිව අදහස් පළ කළා පමණක් නොව ආණ්ඩුවට ඇතුළේ විශාල විරෝධයක්ද මතු කළ ආකාරයක් දැකගන්නට හැකි විය. එහි ප්‍රතිඵලය වූයේ නැගෙනහිර වරාය සිතූ ආකාරයට ඉන්දියාවට ලබාදීමට ආණ්ඩුවට නොහැකි වීමය. ඒ වෙනුවට බටහිර ජැටිය ඉන්දියාවට ලබාදීමට ආණ්ඩුව පියවර ගත්තේය. කෙසේ වෙතත් ආණ්ඩුව ඇතුළේ එකොළහේ කණ්ඩායම නිල වශයෙන් මෙම සිදුවීම හරහා කලඑළි බසින ආකාරයක් දැකගත හැකි විය.
මේ පාර වැඩේ දරුණුයි
එම සිදුවීම් දෙකේදීම විමල්ගේ මෙම එකොළහේ කණ්ඩායම ආණ්ඩුව සමග ඉදිරියට යෑමට පියවර ගත්තත් මෙවර යුගදනවි බලාගාරය ඇමෙරිකාවට පවරා දීමට ආණ්ඩුව ගෙන ඇති තීන්දුව හරහා විමල් පිල ආණ්ඩුවෙන් ඉවත් වන තරමට ප්‍රශ්නය උඩුදුවා ඇති ආකාරයක් දැකගන්නට තිබේ. මුල සිටම විමල් පිල මෙම බලාගාරය ඇමෙරිකානු සමාගමට පැවරීමට පියවර ගත් ආකාරය ප්‍රශ්න කළ අතර ඊට එරෙහිව ප්‍රසිද්ධියේම විරෝධය පළ කරන ආකාරයක් දැකගත හැකි විය. පසුව විමල් පිල මේ පිළිබඳ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීම සඳහා වේලාවක් ඉල්ලා ලිපියක් යොමු කළද ඊට ජනාධිපතිවරයාගෙන් ලැබී තිබුණේ තරමක ඍණාත්මක ප්‍රතිචාරයකි. ජනාධිපතිවරයා ඊට පිළිතුරු ලිපියක් එවමින් දැනුම්දී තිබුණේ ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා හා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කරන ලෙසය. එමෙන්ම යුගදනවි ගිවිසුමේ ඇති වාසි පිළිබඳවද ජනාධිපතිවරයා සිය ලිපිය මගින් අවධාරණය කොට තිබිණි.
විමල්ලා වෙනම ගමනකට මුල පුරයි
නමුත් විමල් පිල ජනාධිපතිවරයාගේ මෙම තීන්දුව පිළිගැනීමට සූදානම් වුණේ නැත. ඒ වෙනුවට ඔවුන් පසුගිය සතියේ කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයට රැස්වී මේ පිළිබඳ දීර්ඝව සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. එම සාකච්ඡාවේදී ඔවුන් තීන්දු කළේ ආණ්ඩුව මෙම තීන්දුව ආපසු හරවන්නේ නැතිනම් මහජනතාව ඉදිරියට ගොස් මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමටය. ඒ අනුව එහි පළමු රැස්වීම සිකුරාදා (29) දිනයේ කෝට්ටේ සෝලීස් ශාලාවේ පැවැත්වීමට ඔව්හු තීන්දු කළහ.
නොදුන් පක්ෂ නායක රැස්වීම ඉබේම එයි!
කෙසේ වෙතත් මෙම තීන්දුව ගැනීමත් සමග ආණ්ඩුවද යම් කලබලයකට පත්වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව ආණ්ඩුවේ පාර්ශ්වයෙන් වහාම සියලු පක්ෂ නායකයන්ට පණිවුඩයක් ලැබුණු අතර, ඉන් කියැවුණේ බ්‍රහස්පතින්දා පස්වරු 5ට අරලියගහ මන්දිරයේ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බවත්, ඊට ජනාධිපතිවරයාද සහභාගි වන බවත්ය. ඒ අනුව පවතින ගැටලු සියල්ල මෙහිදී සාකච්ඡා කළ හැකි බව එම පණිවුඩයෙන් වැඩිදුරටත් කියවිණි.
ඒ අනුව බ්‍රහස්පතින්දා සවස 5ට ආරම්භ වුණු පක්ෂ නායක රැස්වීමට ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතාට අමතරව දැනට ගැටලු උද්ගතව පවතින ක්ෂේත්‍ර රැසක ඇමැතිවරුන් සාකච්ඡාවට කැඳවීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණි. ඒ අනුව නාමල්, ප්‍රසන්න, බන්දුල, රෝහිත, මහින්දානන්ද, කෙහෙළිය සහ ලොකුගේ යන අමාත්‍යවරු මෙන්ම සාගර කාරියවසම්ද සාකච්ඡා මේසයේ අසුන්ගෙන සිටින ආකාරයක් දැකගත හැකි විය.
යුගදනවි අන්තිමට දැම්මාට විමල්ගේ විරෝධය!
කෙසේ වෙතත් බැලූ බැල්මට න්‍යාය පත්‍රයේ කරුණු 12ක් අඩංගු වී තිබිණි. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ප්‍රධානම කරුණ වූ යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් වූ මාතෘකාව අවසාන මාතෘකාව ලෙස නම් කිරීමට ජනාධිපතිවරයාගේ පාර්ශ්වය පියවර ගෙන තිබීමය. නමුත් න්‍යාය පත්‍රය දුටු සැණින් ඊට විරෝධය පළ කළේ විමල්ය. විමල් ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ මේ වන විට රට තුළ මතුව ඇති ප්‍රධානම ප්‍රශ්නය යුගදනවි ගිවිසුම නිසා ඒ පිළිබඳ මුලින්ම සාකච්ඡා කළ යුතු යැයි කියාය. ඊට ජනාධිපතිවරයාගේ එකඟතාව පළවීමෙන් පසු පළමුව අදහස් දැක්වීම ආරම්භ කළේද විමල්ය. විමල් එහිදී යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්න ගණනාවක්ම ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කිරීමට පියවර ගත්තේය.
විමල්ගෙන් සැර කතාවක්!
‘කැබිනට් පත්‍රිකාවක් නැතිව ලංකා ඉතිහාසයේ පළමු වතාවට තමයි මේ වගේ ගිවිසුමක් අස්සන් කරන්න පියවර අරන් තියෙන්නේ. ඒක වැරැදි පූර්වාදර්ශයක්. අපි තවම දන්නෙ නෑ මේ ගිවිසුමේ මොනවද තියෙන්නේ කියලා. ඒක හින්දා කිසිසේත් මේ ගිවිසුම අස්සන් කරන්න එපා. ඒක රටට කරන විශාල හානියක්. මේ වෙනකොටත් ඒ කැබිනට් පේපර් එක අපට ලැබිලා නෑ…’ යනුවෙන් විමල් කියද්දී මීට පෙර කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව කී ගාමිණී ලොකුගේ සහ ප්‍රසන්න රණතුංග සද්ද නැතිව සිටි ආකාරයක් දැකගත හැකි විය.
ගම්මන්පිලත් විමල්ගේ පාරේ!
විමල්ගේ කතාවෙන් අනතුරුව කතා කිරීම ආරම්භ කළේ ගම්මන්පිලය. ගම්මන්පිල මෙහි ඇති තාක්ෂණික ගැටලු ජනාධිපතිවරයා ඇතුළු පිරිසට පෙන්වා දුන්නේය.
‘මේක කළොත් අපට සිද්ධ වෙන්නේ ජීවිත කාලෙටම මේ සමාගමෙන් ගෑස් ගන්න. දැන් අපි මන්නාරම් ද්‍රෝනියේ ගෑස් තියෙනවා කියලා හඳුනාගෙන තියෙනවා. නමුත් අපි මේ සමාගමට ගෑස් ඒකාධිකාරය දුන්නොත් අලුත් ආයෝජකයෝ මේ ක්ෂේත්‍රයට එන්නෙ නෑ. ඒක අපට විශාල පාඩුවක්…’ යනුවෙන් උදය පෙන්වා දීමෙන් පසු කතා කළේ වාසුදේවය. වාසුදේව කියා සිටියේ රටේ ආර්ථික මර්මස්ථානවලට අත තැබීමේදී ඉතා ප්‍රවේශමෙන් එය සිදුකළ යුතු බවය.
බැසිල් ගිවිසුම දැක්කේ නැතිලු! හොද ඒවා ඉස්සරහටලු!
ඉන් අනතුරුව ආණ්ඩුව පැත්තෙන් අදහස් දැක්වීම ආරම්භ කළේ බැසිල්ය. බැසිල්ගේ කතාවේදී කියැවුණු විශේෂම කරුණ වූයේ බැසිල්ද තවමත් ඒ ගිවිසුම හරියට දැක නැති බවකි.
‘මේක රටට එන්නේ ආයෝජනයක් විදියට. මොකද මේ වෙද්දි අපට ලොකු ඩොලර් හිඟයක් ඇතිවෙලා තියෙනවා. ඒ වගේ වෙලාවක මෙහෙම ආයෝජනයක් එන එක රටට වාසියක්. අනෙක තාම මම වුණත් මේ ගිවිසුම හරියට දැකලා නෑ. ඒ හින්දා මේ ගිවිසුම නෙවෙයි වැදගත්. ඉස්සරහට එන්න තියෙන ඊළඟ ගිවිසුම් දෙක තමයි වැදගත්. ඒකට ඔබතුමාලගේ යෝජනා ඉදිරිපත් කරන්න. අපි ඒ යෝජනා ගිවිසුමට ඇතුළු කරන්න කටයුතු කරන්නම්…’ යන්න බැසිල් කියා සිටි කාරණාව විය.
ජනපති කරපු ඉල්ලීම!
ජනාධිපතිවරයා කතා කිරීමට පටන් ගත්තේ ඉන් අනතුරුවය. ජනාධිපතිවරයා සිය කතාවේදී කියා සිටියේ තමන්ගේ ස්ථාවරය 80%ක් පුනර්ජනනීය විදුලියෙනුත්, 20%ක් ගල් අඟුරු, ඩීසල් වැනි ප්‍රභවයන්ගෙනුත් ලබාගත යුතු බවකි. එමෙන්ම මෙම ප්‍රශ්න ආණ්ඩුව ඇතුළේම විසඳා ගන්නා ලෙසත්, එළියේ ඒ සම්බන්ධයෙන් කතා කිරීමෙන් වැළකී සිටින ලෙසත් ජනාධිපතිවරයා සියලු පක්ෂ නායකන්ගෙන් ඉල්ලීමක් කිරීමටද කටයුතු කළේය.
කෙසේ වෙතත් යුදගනවි ගිවිසුම සම්බන්ධයෙන් වූ සාකච්ඡාව ඒ අයුරින් නිමාවට පත්වූයේ කිසිදු අවසන් එකඟතාවකින් තොරවය. එම මාතෘකාව අවසන් වීමෙන් පසු සෙසු ගැටලු පිළිබඳවද පිරිස අතර දීර්ඝ සාකච්ඡාවක් පැවැත්විණි.
ඥානසාර හිමිගේ ප්‍රශ්නයත් විමල් එළියට අදී!
නමුත් රැස්වීම නැවත වතාවක් දැඩි ලෙස උණුසුම් වූයේ අවසන් භාගයේදී ඥානසාර හිමියන් ‘එක රටක් එක නීතියක්’ ඇතිකිරීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බළකායට පත්කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ ප්‍රශ්න කිරීමත් සමගය. විමල්ට අමතරව ගෙවිඳු කුමාරතුංග සහ රතන හිමියන්ද ඒ පිළිබඳ ආණ්ඩුවෙන් ප්‍රශ්න කරද්දී ඊට පිළිතුරු දුන්නේ බැසිල් රාජපක්ෂය. බැසිල් කියා සිටියේ රටේ ලක්ෂ 69ක් ජනතාව ජනාධිපතිවරයාට ජන්දය ලබා දී ඇති බවත්, ඒ නිසා ජනාධිපතිවරයාට අවශ්‍ය පත්කිරීම් කිරීමට බාධාවක් නැති බවත්ය.
අපි එහෙනම් මේක එළියෙදි බලාගමු… රතන හිමිගෙන් තගක්!
නමුත් මේ පිළිතුරත් සමග පිරිස ඊට එරෙහිව අදහස් පළ කිරීමත් සමග දෙපාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවන ආකාරයක්ද දැකගත හැකි විය. අවසානයේදී රතන හිමියන් සාකච්ඡාවෙන් නැඟිට්ටේ, ‘අපිත් හොඳට පාරෙ සටන් කරලා පුරුදු මිනිස්සු. අපි එහෙනම් මේක එළියෙදි බලාගමු…’ යැයි කියමින්ය.










