මුළු මහත් ලෝකයක් කතාබහ කළ ටයිටැනික් නෞකාවේ කතාව එසේ සිදුවෙද්දී හරියටම ඊට වසර හැත්තෑ පහකට පමණ පසු තවත් එවැනිම වූ රුදුරු මාරාන්තිකම සමුද්‍රීය අනතුරක් සිදුවිය. ඒ ඩෝනා පාස් නෞකාව සහ වෙක්ටර් නෞකාව එකිනෙක ගැටීමයි. එදා විදෙස් මාධ්‍ය වාර්තා කළ අන්දමට දෙවැනි ලෝක යුද්ධයෙන් පසු වැඩිම මිනිස් ජීවිත ගණනක් බිලිගත් අනතුර සිදුව තිබුණේ මෙම නෞකා දෙක ගැටීමෙනි. 1987 දෙසැම්බර් 20 වැනිදා පිලිපීනය ආසන්න මුහුදු සීමාවේ සිදුවූ එම සමුද්‍රීය අනතුර හේතුවෙන් සුන්දර මිනිස් ජීවිත හාරදහසට අධික ප්‍රමාණයක් එදා සිය ජීවිත කතාවට සමුදුන්හ.
එහෙත් එම අනතුර සිදුවී එයින් හරියටම වසර තිස් දෙකකට පසු අඩි 1,600ක් තරම් ගැඹුරු මුහුදු පතුලේ සැඟව තිබූ අදාළ නෞකා දෙකෙහි සුන්බුන් සොයා ගැනීමට ඇමෙරිකානු සාගර ගවේෂණ සමාගමක් පසුගියදා සමත් විය. ඒත් සමඟ එම පුවත දෙස්-විදෙස් ජනමාධ්‍යයන්ට ඉතා සුවිශේෂී මෙන්ම නැවුම් පුවතක් විය.
අඩි 1,600ක් තරම් ගැඹුරු වූ මුහුදු පතුලේ සැඟව තිබුණු එම නෞකා දෙකෙහි සුන්බුන් සොයා ගැනීමට සමත් වූ ඇමෙරිකානු සාගර ගවේෂණ සමාගම වූයේ මයික්‍රොසොෆ්ට් සමාගම ආරම්භ කිරීමට බිල් ගේට්ස් හා එක්ව කටයුතු කළ පෝල් ඇලන් විසින් පිහිටුවන ලද සමාගමයි. සැබෑවටම එය ලෝක යුද්ධ සමය තුළ මුහුදු පතුලේ සැඟව ගිය නෞකා පිළිබඳව පැසිෆික් සාගරය තුළ ගවේෂණය කරනා විශේෂ වූ ගවේෂණ සමාගමකි. ඒ සමාගමෙන් ඩෝනා පාස් මගී නෞකාව තුළ එදා ගමන් කරමින් සිටියදී මියගිය එම පිරිසගේ නෑදෑයන් සිදු කළ ඒ ඉල්ලීමක් මත මෙම ගවේෂණය සිදුකර තිබිණි. එම ඉල්ලීමට අනුව එම අදාළ සමාගම ඩෝනා පාස් නෞකාවේ මෙන්ම වෙක්ටර් නෞකාවේ සුන්බුන්ද රැසක්ම පිලිපීනය ආසන්න මුහුදු පතුලෙන් සොයා ගන්නට විය. ගවේෂණයෙන් පසු එම සමාගම පැවසුවේ නෞකා දෙකම අදටත් කිසිදු වූ වෙනසකින් තොරව මුහුදු පතුලේ ඍජු අතටම තිබෙන බවයි. මේ අතර වෙක්ටර් නෞකාවේ සුන්බුන් සමාගමට හමුවී ඇත්තේ ඩෝනාපාස් නෞකාව තිබුණු ස්ථානයට මීටර් 2,200ක පමණ දුරකිනි.
ඩෝනා පාස් නෞකාව මෙන්ම වෙක්ටර් නෞකාව එකිනෙකට ගැටුණේ 1987 දෙසැම්බර් 20 වැනිදාය. ඒ මීට වසර තිස් දෙකකට පෙරය. ඩෝනා පාස් යනු මගී නෞකාවක් වූ අතර, වෙක්ටර් යනු පිලිපීනයේ තෙල් නෞකාවකි. අදාළ දිනයේ මධ්‍යම රාත්‍රි දොළහට පමණ අනතුර සිදුවූයේ කිසිවකුත් නොසිතූ අන්දමිනි. එය නෞකා දෙකෙහිම සිටි කිසිවකුත් සිහිනෙකින් හෝ අපේක්‍ෂා නොකළ සිදුවීමකි. කෙසේ හෝ අන්ධකාරය තුළින් ඇදී ආ වෙක්ටර් තෙල් නෞකාව ඩෝනා පාස් මගී නෞකාවේ ගැටිණි. එයින් මහා පිපුරුමක් ඇතිවූ අතර, වෙක්ටර් තෙල් නෞකාව තුළ හදිසියේම මහත් ගින්නක් ඇති විය. ඒ මොහොතේ වෙක්ටර් නම් තෙල් නෞකාව තුළ තෙල් බැරල් 8,800ක් පමණ ගබඩා කර තිබුණු අතර, අදාළ නෞකාවේ තෙල් කාන්දු වීම නිසා ඒ අසල මුහුදද එකම ගිනි ජාලාවක් බවට පත්විය. එසේ සිදුවී විනාඩි කිහිපයකින් පසු ගින්න ඩෝනාපාස් මගී නෞකාවට ඇදී ආවේ මගී ජීවිත හාරදහස් ගණනකට මරුකැඳ
වමිනි.
ඩෝනා පාස් මගී නෞකාවේ ගමන් කළ හැකිව තිබුණේ මගීන් 1,500ක් තරම් පිරිසකට පමණි. නමුත් අනතුර මොහොතේ එහි මගීන් 4,300 ඉක්මවා සිටි බව පැවසෙයි. හැබෑවටම එයින් පැහැදිලි වන්නේ එම ඩෝනාපාස් මගී නෞකාවට ගමන් කළ හැකිව තිබූ මගීන් ප්‍රමාණයට වඩා තුන් ගුණයකින් පමණ මගීන් පටවා තිබූ බවයි. එම හේතුව උඩ එදා පාස් නෞකාව සෑහෙන වූ බරකින් තිබෙන්නට ඇති බවද පැහැදිලිය. එම නෞකාව එදා ගමන් කරමින් තිබුණේ පිලිපීනය ආසන්නයේ පිහිටි ‘ලෙයිටි’ නමැති දූපතේ සිට එරට අගනුවර වූ ‘මැනිලා’ වෙතය. ඒ දෙසැම්බර් නිවාඩු සමය හේතුවෙන් පමණට වඩා එහි මගීන් සිටි අතර, එයින් බොහෝ ප්‍රමාණයක් සිටියේ සිය නිවාඩුව ගතකිරීම සඳහා මැනිලා නුවරට ගමන් කරමිනි. මේ අතර වෙක්ටර් තෙල් නෞකාව පිලිපීනයේ වරායක සිට එහිම තවත් වරායකට ගමන් කරමින් තිබුණු බව සඳහන්ය. කෙසේ හෝ නෞකා අනතුරින් මියගිය අය වෙනුවෙන් එක් අයකුට ඇමෙරිකානු ඩොලර් 4,000ක් වන්දි ලෙස ගෙවා ඇති අතර, මගී ලැයිස්තුවේ නම් සඳහන් නොවුණු අය සඳහා එසේ වන්දි නොගෙවූ බව පැවසෙයි.
ඩෝනා පාස් නෞකාව මෙන්ම වෙක්ටර් නෞකාව අතර සිදුවූ මෙම නාවික අනතුරින් දිවි ගලවාගත්තේ මගීන් 24ක් පමණි. ඔවුන් අනතුරින් පසුව මාධ්‍ය වෙත පවසා තිබුණේ තමන් ගිය ඩෝනාපාස් නෞකාව යමක වේගයෙන් ගැටෙන බව ඔවුන්ට දැනුණු බවයි. ඔවුන් ඒ මොහොතේදී නින්දේ සිටි බවද පැවසෙයි. කෙසේ හෝ මෙම අනතුරෙන් ඇති වූ ගින්නට මගීන් සහ කාර්යය මණ්ඩලය ඊට හසුවිය. නමුත් බොහෝ දෙනෙක් ගින්න මොහොතේ මුහුදට පැන තිබිණි. එහෙත් ඒ අවස්ථාවේ නෞකා අසල මුහුදද තිබුණේ ගිනි ගනිමිනි. එමෙන්ම ඒ අසල මුහුදද වඩා ගැඹුරුය. මේ හේතුවෙන් ඔවුන්ට ජීවිත බේරා ගැනීම පහසු නොවීය. පසුව සඳහන් වූයේ ඩෝනාපාස් මගී නෞකාවේ ජීවිතාරක්‍ෂක ඇ`ඳුම් පවා සියල්ල කබඞ්වල දා අගුළු දමා තිබීමත් එහි රේඩියෝ පණිවුඩ ලබාදිය හැකි උපකරණ නොතිබීමත් නිසාම මගී ජීවිත අකාලයේ විනාශ වූ බවයි. තවද මේ අනතුර මොහොතේ මගී නෞකාව රැගෙන ගොස් තිබෙන්නේ ප්‍රධාන කප්පිත්තා නොව ආධුනිකයෙක් බව පසුව සඳහන් විය. එයද අනතුරට බලපා තිබිණි.
මෙම සමුද්‍රීය නාවික අනතුර සිදුවන අවස්ථාවේ ‘ඩොන් ක්ලොඩියෝ’ නම් තවත් මගී නෞකාවක් එම සමීපයෙන් යාත්‍රා කර තිබේ. ඔවුන්ද මෙම සිදුවීම දැක තිබිණි. එහෙත් මුහුදේ ඇතිව තිබූ විශාල ගින්න නිසා ඔවුන්ටද කරන්නට යමක් තිබී නැත. එහෙත් තරමක් එම නෞකාව අනතුර සිදුවූ ස්ථානයට ළංකොට පණ පිටින් සිටි මගීන් කිහිපදෙනෙක්ම බේරා ගැනීමට ඔවුන් කටයුතු කර තිබිණි. ඒ ඩොන් ක්ලොඩියෝ නෞකාවේ සිට විශාල දැලක් මුහුදට දැමීමෙනි. පසුව එහි සිටි වෛද්‍යවරුන් සහ හෙදියන් බේරාගත් මගීන්ට හදිසි ප්‍රථමාධාර දී ඔවුන්ගේ ජීවිත බේරාගෙන ඇත. ඩොන් ක්ලොඩියෝ නෞකාවේ සිටි පිරිස පවසන්නේ අනතුර සිදුවී පැය දෙකකින් පමණ පසු ඩෝනා පාස් නෞකාව මුහුද පතුලේ සැඟව ගිය බවයි. එය සැඟව ගොස් යළි ස්වල්ප මොහොතකින් වෙක්ටර් නෞකාවද මුහුදු පතුලේ සැඟව ගොස් තිබේ. එවකට 1987 දෙසැම්බර් 20 වැනිදා සිදුවූ එම මාරාන්තික සමුද්‍ර නාවික අනතුර වී දැන් වසර 32කි. එහෙත් වසර 32ක් ගෙවී ගිය තැන ඩෝනා පාස් මගී නෞකාවේ මෙන්ම වෙක්ටර් තෙල් නෞකාවේ කතාවද මෙසේ නැවැතත් ඉහළට මතුකර ඇත. නමුත් නෞකාවන් ඉහළට මතු කළද එදා ජීවිත කතාවට සමුදුන් දහස් ගණනක මිනිසුන් අදද ඇත්තේ කිසිවකුට නොපෙනෙන ලොවක නිහඬවය.
නලින්ද සම්පත්











