එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ පැනනැඟී ඇති නායකත්ව අර්බුදය විසඳා ගැනීම සඳහා අවසන් වරට ඉකුත් 09 වැනි බ්‍රහස්පතින්දා සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එජාප මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම මෑත කාලයේ පැවැති ඉතාමත් අශීලාචාර, අශෝභන සහ ආන්දෝලනාත්මකම මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම ලෙස මේ වනවිට ඉතිහාසයට එක්වී හමාරය. ඒ සම්බන්ධයෙන් අප විශේෂ හෙළිදරව්වක් කරමින් පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්‘ තීරයේ සඳහන් කර සිටියේ මෙම රැස්වීමේදී පරුෂ වචන පවා හුවමාරු වූ බවත්, ආවේගශීලී වූ මන්ත්‍රිවරුන් අතපය උරුක් කරගෙන එකිනෙකාට පහරදීමට පවා උත්සාහ දැරූ බවත්ය. කෙසේ වෙතත් පැය හතරහමාරක් පුරා පැවැති එම මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවසන් කරනු ලැබුවේ තමන්ට පසු දිනයේදී විදෙස්ගත වීමට සිදුව ඇති බැවින් ඊළඟ බ්‍රහස්පතින්දා (16දා) නැවැත වතාවක් මන්ත්‍රි කණ්ඩායම රැස්වී පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගත හැකි බව සඳහන් කරමිනි. එහිදී ඡන්ද විමසීමක් සිදුකිරීමට පවා රනිල් මන්ත්‍රිවරුන් හමුවේ එකඟතාවය පළ කළේය.
රනිල් කල් තියා සූදානම් වෙයි
කෙසේ වෙතත් එසේ අවසන් වූ උණුසුම්කාරී මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට ප්‍රථම එම රැස්වීමේදී මෙවැනි උණුසුමක් මතුවිය හැකි බවටත්, ඊට මුහුණදිය යුතු ආකාරය සාකච්ඡා කිරීම සඳහාත් රනිල් පිල කිසියම් පෙරහුරුවක් සිදුකර ඇති බව මේ වන විට හෙළිදරව් වී තිබේ. ඒ අනුව මෙම සාකච්ඡාවට තමන්ට අතිශය හිතවත් දසදෙනකුගෙන් යුත් පිරිසක් කැඳවා ඇති රනිල් මෙම කණ්ඩායම් රැස්වීමේදී මතුවිය හැකි ප්‍රශ්න පිළිබඳවත්, ඊට ලබාදිය යුතු පිළිතුරු පිළිබඳවත්, ගැටුමක් ඇතිවුවහොත් ඊට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳවත් සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබේ. මෙම සිද්ධිය සිදුවූ දැනට දෙසතියක් ගතවී ඇතත් අප මෙම සිදුවීම මේ සතියේ ‘රාජ්‍ය රහස්‘ තීරයේ වාර්තා කිරීමට තීන්දු කළේ රනිල් සමඟ සිටින මන්ත්‍රිවරුන්ගේ ස්වාභාවය පිළිබඳව පාඨකයන් දැනගත යුතු නිසාය.
මෙහිදී සාකච්ඡාව ආරම්භයේ සිටම ගමේ භාෂාවෙන් කියනවා නම් “චණ්ඩි ටෝක්” දෙමින් අදහස් දැක්වූ මන්ත්‍රිවරුන් බොහෝ දෙනකු “අපි රැස්වීමේදී මෙහෙම කියමු”, “අපි රැස්වීමේදී අරෙහෙම කරමු”, “අපි මේ මේ යෝජනා ඉදිරිපත් කරමු” යනුවෙන් අදහස් ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි. නමුත් මන්ත්‍රිවරුන්ගේ මේ චණ්ඩි කතා පිළිබඳව එක් මන්ත්‍රිවරයෙක් පමණක් තරමක උපහාසයෙන් යුතුව බලා සිටින ආකාරයක් දැකගත හැකි විය. ඒ වෙන කවුරුවත් නොව ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිවරයාය. මන්ත්‍රිවරුන්ගේ මේ චණ්ඩි කතා දෙස ඉතා නිහඬව උපහාසයෙන් යුතුව බලා සිටි කිරිඇල්ල අවසානයේදී සිය කටහඬ අවදි කරමින් කියා සිටියේ අපූරු කතාවකි.
චණ්ඩි ටෝක් දුන් අයට කිරිඇල්ල කියපු දේ
“මං මේ මන්ත්‍රිවරු කියන කතා දිහා මෙච්චර වෙලා බලාගෙනයි හිටියේ. හැබැයි මට මෙතැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම ඒක දැන් ප්‍රසිද්ධියෙම කියන්නම්. මෙතැන දැන් මහ ලොකුවට ලොකු කතා කිව්වත්, එක එක පොයින්ට් දැම්මත් ගෲප් මීටින් එකට ගියාම කවුරුත් සද්ද නෑ. මේ කෑගහන සමහරු එතැන්දි ඩබල් ගේම් ගහනවා. මොකද මම මේවයෙන් හොඳට බැට කාලා තියෙන කෙනෙක්. උදාහරණෙකට 2018 ඔක්තෝබර්වල මෛත්‍රිපාල අපෙන් අගමැතිකම ගත්තහම අපි මේ වගේම සාකච්ඡා තිබ්බා. එතැන්දි මේ විදිහටම ඔක්කොම කිව්වෙ මෛත්‍රිට දැන් ගහන්න ඕනෙ. එයාගෙ මූණටම අපි මේව කියන්න ඕනෙ. මේක නිකම් අතඅරින්න හොඳනෑ වගේ දේවල්. හැබැයි මෛත්‍රි ගාවට ගියාම කවුරුවත් වචනයක් කතා කළේ නෑ. ඔක්කොම සද්ද නැතුව හිටියා. ඒ විතරක් නෙමෙයි හොරෙන් ගිහින් එතුමත් එක්ක ඩීල් දැම්මා. බලන් ඉන්න බැරිම තැන මම එතුමට කිව්ව ඔබතුමාට බෑ අගමැතිතුමාව අයින් කරන්න, ඒක තීන්දු කරන්නෙ අපියි කියලා. එතැනදි එතුමා මගෙන් ඇහුව ඔබතුමා මට චැලේන්ජ් කරනවද කියලා. අන්තිමට එතුමා මගෙත් එක්ක වෛර බැඳගත්තා. මට තිබ්බ ඇමැතිකමත් නැතිවුණා. හැබැයි ඩීල් දාපු අයට හොඳ ඇමැතිකම් හම්බවුණා. මෙතැන වෙන්නෙත් ඒකම තමයි.” යන්න එහිදී කිරිඇල්ල කියා සිටි කතාව විය.
අනාවැකිය හරියටම හරි යයි
ඇත්ත වශයෙන්ම පසුගිය සතියේ පැවැති ආන්දෝලනාත්මක මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදීද සිදුවූයේ කිරිඇල්ල කී ඒ කතාවමය. මන්ත්‍රිවරුන් මුලින් චණ්ඩි ටෝක් දුන්නද මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී කට ඇර කතා කළේ නවීන් දිසානායක පමණි. නවීන්ට විරෝධය එල්ල වෙද්දී රනිල් පාර්ශ්වය වෙනුවෙන් කතා කිරීමට කිසිවකු ඉදිරිපත් නොවීම එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීමය. ඒ අනුව රනිල්ට සිදුවූයේ අවසානයේදී මන්ත්‍රිවරුන්ගේ නම් කියමින්ම කතා කරන ලෙස ඉල්ලා සිටීමටය. ඒ අනුව කිරිඇල්ල කී කතාව සියයට සියයක් හරිගිය ආකාරයක් එහිදීද දැකගන්නට ලැබිණ.
සජිත් රනිල්ගෙන් කළ ඉල්ලීම
කෙසේ වෙතත් එම උණුසුම්කාරී මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම රනිල් අවසන් කළේ තමන් ඊට පසු දින විදෙස් ගතවන බවත්, එසේ ගොස් නැවැත පැමිණි පසු ඊළඟ බ්‍රහස්පතින්දා (16දා) දින නැවැත මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමක් පවත්වා නායකත්ව අර්බුදය විසඳාගත හැකි බවත් කියමින්ය. එපමණක් නොව ඡන්ද විමසීමක් පැවැත්වීමටද රනිල් මන්ත්‍රි කණ්ඩායම හමුවේ එකඟතාව පළකරනු දැකගන්නට ලැබිණි. එහිදී රනිල් සමඟ කතා කළ සජිත් ඔහුට කියා සිටියේ තමන්ට බ්‍රහස්පතින්දා මල්වතු, අස්ගිරි මහ නාහිමිවරුන් මුණගැසීම සඳහා වේලාව ලබාදී ඇති බැවින් හැකි නම් මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම සවස් වරුවේ පවත්වන ලෙසටය. විපක්ෂ නායක ධුරයට පත්වීමෙන් පසු මහ නාහිමිවරුන් මුණගැසීම සඳහා තමන් දිනයක් ඉල්ලා සිටි බවත්, උන්වහන්සේලා බ්‍රහස්පතින්දා දිනයේ තමන්ට එම කාලවේලාවන් ලබාදී ඇති බවත් සජිත් එහිදී රනිල්ට දැනුම්දී සිටියේය. සජිත්ගේ ඉල්ලීමට අනුව රනිල් කියා සිටියේ තමා විදෙස් සංචාරය නිමාකොට පැමිණීමෙන් අනතුරුව මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පවත්වන වේලාව සම්බන්ධයෙන් දැනුම්දීමට හැකි යැයි කියාය.
ඒ අනුව මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම නිමා කිරීමෙන් අනතුරුව රනිල් පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව යෑමට ප්‍රථම නැවැත වතාවක් රනිල්ට හිතවත් මන්ත්‍රි කණ්ඩායම හා රනිල් අතර සාකච්ඡාවක් පැවැත්විණ. ඔවුහු එහිදී මේ වන විටත් දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර යමින් තිබූ කටකතා සම්බන්ධයෙන් රනිල්ගෙන් විමසා සිටීමට කටයුතු කළහ.
රනිල් කට්ටියව වටේ යවයි
“ඇත්තද නායකත්වය කරුට දෙනවා කියන්නෙ….”
“නායකත්වය ගැන මීළඟ ගෲප් එකේදි ඡන්දයක් තියෙනවද?”
“ඉස්සරහට හදන සන්ධාන නායකත්වය කරුට දෙනවද?”
“ඔබතුමා නායකත්වය කීයටවත් අතඅරින්නෙ නෑ කියන්නෙ ඇත්තද?” යනාදී වශයෙන් මන්ත්‍රිවරුන් එහිදී විවිධ ප්‍රශ්න රනිල්ට ඉදිරිපත් කර තිබුණු අතර, රනිල් එම මන්ත්‍රිවරුන්ට එක් එක් ආකාරයෙන් පිළිතුරු දී තිබීම එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීමක් විය. එහිදී රනිල් එක් මන්ත්‍රිවරයකුට කියා තිබුණේ සන්ධානයේ නායකයා ලෙස කරුව නම්කොට අවශ්‍ය වුවහොත් ඒ සඳහා ඡන්ද විමසීමක් පවත්වනවා කියාය. තවත් මන්ත්‍රිවරයකුට කියා තිබුණේ ඡන්ද විමසීමක් නොමැති බවත්, ඉදිරියේදී කරු ජයසූරිය මහතාට භාරදෙන භූමිකාවේ ස්වභාවය පිළිබඳව පැහැදිලි කිරීමක් පමණක් සිදුකරන බවත්ය. එමෙන්ම තවත් මන්ත්‍රිවරුන් කිහිපදෙනකුට කියා තිබුණේ නායකත්ව මණ්ඩලයක් පත්කිරීමට යෝජනා කරන බවත්, එහි සභාපති ධුරය කරුට ලබාදීමට පියවර ගන්නා බවත්ය. නමුත් ඒ කතා කළ සෑම මන්ත්‍රිවරයකුටම සිය පැහැදිලි කිරීමේදී එක් ඉඟියක් ලබාදීමට නම් රනිල් කටයුතු කර තිබිණ. එම ඉඟිය වූයේ කිසිසේත්ම නායකත්වයෙන් ඉවත් වීමට තමන්ගේ සූදානමක් නැතැයි යන්නය. මේ වන විට පක්ෂයේ ප්‍රධාන තීන්දු තීරණ ගන්නා කෘත්‍යාධිකාරී මණ්ඩලය නීත්‍යානුකූලව අහෝසි වී ඇති බැවින් නව නායකයකු තෝරා පත්කර ගැනීම සිදුකළ නොහැකි බවත්, නව නායකයකු තෝරා ගන්නේ නම් පක්ෂයේ මහා සම්මේලනයක් පැවැත්විය යුතු බවත්, ඒ සඳහා කිසිදු සූදානමක් නොමැති බවත් රනිල් මෙහිදී තමන්ට කතා කළ සෑම මන්ත්‍රිවරයකුටම දැනුම් දී සිටි කාරණය විය.
ඒ අනුව පෙළක් මන්ත්‍රිවරුන් එසේ නම් කරුට පක්ෂයේ දෙන තැන සහ බලතල මොනවාද යන්න සම්බන්ධයෙන් විමසා සිටිද්දී රනිල් මේ සියලු දෙනාටම කියා සිටියේ ඒ සම්බන්ධයෙන් තමා කරු සමඟ සාකච්ඡා කොට ඇති බවත්, දෙදෙනාම ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවකට පැමිණ ඇති බවත්ය.
“නෑ නෑ මායි කරුයි ඒක දැනටමත් කතා කරගෙනයි තියෙන්නෙ. ඒක අපි දෙන්න එකතු වෙලා කරන්නම්…” යන්න රනිල් එහිදී තමාට කතා කළ සෑම දෙනාටම දුන් පිළිතුර විය.
කරු කිසිම දෙයක් දැනන් ඉදලා නෑ
කෙසේ වෙතත් රනිල් පක්ෂයේ අනාගතය සම්බන්ධයෙන් කරු සමඟ සාකච්ඡා කොට අවසන් තීන්දුවක් ගෙන ඇති බවට වූ එම කතාව පසුගිය සති අන්තය වන විට කරුගේ කනටද වැටී තිබිණ. ඒ අනුව මන්ත්‍රිවරුන් කරුගෙන් මේ සම්බන්ධයෙන් විමසද්දී කරු දැඩි කලබලයට පත්වන ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ, රනිල් කී ආකාරයට කිසිදු එකඟතාවක් රනිල් හා කරු අතර ඇතිව නොතිබීම නිසාය. අවම වශයෙන් වෙන්නේ මොනවාද කියාවත් කරු නොදැන සිටීම මේ කලබලයට හේතු වී තිබිණ. ඒ අනුව රනිල් නැවැත වතාවක් තමන් බිල්ලට දී දේශපාලන ගේමක් ගැසීමට සූදානම් වන බව කරුට වැටහිණ. සන්ධානයක් බිහිකිරීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් නොමැතිව සහ එවැනි සන්ධානයක් ලියාපදිංචි නොකොට එම සන්ධානයේ නායකත්වයට තමන්ව නම් කිරීම රනිල්ගේ තවත් දේශපාලන උගුලක් බවද කරුට වැටහිණ. එමෙන්ම නායකත්ව මණ්ඩලයද එවැනිම උගුලක් බව වටහා ගත් කරු වහාම කළේ රනිල්ට පණිවුඩයක් යැවීමය. එම පණිවුඩය හරහා කරු රනිල්ට දැනුම් දී සිටියේ තමාව පෙන්වා පක්ෂය තුළ මතුව ඇති අර්බුද යට ගැසීමට කටයුතු නොකරන ලෙසත්, එවැනි වටපිටාවක තමන් කිසිසේත්ම පක්ෂයේ කිසිදු වගකීමක් භාර නොගන්නා බවත්ය. පක්ෂය දෙකඩ නොවී එක්සත්ව ඉදිරියට රැගෙන යෑම සඳහා ඕනෑම කැප කිරීමක් කිරීමට තමන් සූදානම් බව මෙහිදී රනිල්ට දැනුම් දී සිටි කරු, පක්ෂයේ වගකීම් භාර ගැනීමට තමන් සූදානම් බවත්, එසේ වුවද සියලු බලතල සහිතව දෙනවා නම් පමණක් එය භාර ගැනීමට සූදානම් බවද දැනුම් දී සිටියේය. එසේ නොමැතිව නාමිකව කිසිදු තනතුරක් බාර ගැනීමට තමන් සූදානම් නැති බවත්, පක්ෂය ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑම සඳහා රනිල් සහ සජිත් යන දෙදෙනාම අත්‍යවශ්‍ය බවත් කරු එහිදී සිය පණිවුඩය මඟින් රනිල්ට දැනුම් දී සිටියේය. ඒ තිදෙනාගේම එකඟතාව සහ අනුමැතිය මත පමණක් තමන් යම් වගකීමක් භාර ගැනීමට සූදානම් බවද මෙහිදී පෙන්වා දී සිටි කරු කණ්ඩායම් රැස්වීම තුළ යම් පාර්ශ්වයක ගැලවිල්ල සඳහා තමන්ගේ නම භාවිතා කිරීම සම්බන්ධයෙන් තමන් විරෝධය දක්වන බවද රනිල්ට දැනුම්දී සිටීමට කටයුතු කළේය.
අස්ගිරි හිමියන්‌ගෙන් රනිල්ට උපදෙසක්
මේ සියල්ල අතරවාරයේ මෙතෙක් එළියට නොපැමිණි කාරණාවක්ද මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පාඨකයන්ට හෙළි කිරීමට අප සූදානම්ය. ඒ, අස්ගිරි පාර්ශ්වයේ මහ නාහිමියන් වන වරකාගොඩ ඤාණරතන හිමියන්ගෙන් රනිල්ට ලැබුණු විශේෂ දුරකතන ඇමැතුමක් සම්බන්ධයෙන්ය. එම දුරකතන ඇමැතුම ඉතා බරපතළ ගනයේ එකක් වූයේ පක්ෂ නායකත්වයෙන් වහාම ඉවත් වන ලෙසට අස්ගිරි මහ නාහිමියන් එම ඇමැතුම මඟින් රනිල්ට දැනුම්දී සිටීම නිසාය.
“එක්සත් ජාතික පක්ෂය කියන්නෙ ඓතිහාසික පක්ෂයක්. ඒක නිසා මේ පක්ෂය විනාශ වෙන්න ඉඩ දෙන්න එපා. ඔබතුමා ගැන දැන් අපිට විශ්වාසයක් නැතිවෙලයි තියෙන්නෙ. අනෙක මෙච්චර කාලෙකට පක්ෂයට තිබ්බ සිංහල, බෞද්ධ පදනමත් දැන් නැතිවෙලා ගිහිල්ල තියෙන්නෙ. ඒ නිසා අපි ඔබතුමාගෙන් මේ වෙලාව ඉල්ලීමක් කරනවා දැන්ම පක්ෂ නායකත්වයෙන් අයින් වෙලා හොඳ සිංහල බෞද්ධයෙක් වෙච්ච කරු ජයසූරිය මහත්මයට ඔය පක්ෂය භාර දෙන්න කියල. ඒක තමයි මේ වෙලාවෙ ගන්න තියෙන හොඳම විසඳුම…” යනුවෙන් අස්ගිරි මහ නාහිමියන් රනිල්ට දැනුම් දෙද්දී රනිල් තරමක් කලබල වන ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව ඉතා පිරිස්සමෙන් වචන එහෙ මෙහෙ කරමින් සීරු මාරුවට අස්ගිරි මහ නාහිමියන්ට පිළිතුරු ලබා දුන් රනිල් කියා සිටියේ පක්ෂ නායකත්වය වෙනස් කිරීම යනු දිගු කලක් ගතවන කටයුත්තක් බවත්, ඒ සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ලබාගෙන එම යෝජනාව පක්ෂ මහ සම්මේලනයේදී සම්මත විය යුතු බවත්ය. රනිල්ගේ මේ උත්තරයට අස්ගිරි මහ නාහිමියන් දුන්නේ තරමක් සැර උත්තරයකි.
“ඕව මට මුකුත් කියන්න එපා මහත්තයො. ඔය කිසි දේකින් ඔය පක්ෂයට වැඩක් වෙන්නෙ නෑ. අඩුම තරමෙ ඔබතුමා ඊළඟ ඡන්දෙදි ස්ටේජ් එකකටවත් නඟින්නෙ නැතුව පැත්තකට වෙලා ඉන්න. දැන් කරන්න පුළුවන් හොඳම දේ තමයි සිංහල බෞද්ධ නායකයෙක් විදිහට මුළු රටම පිළිගන්න කරු ජයසූරිය මහත්තයට ඔය පක්ෂය භාරදෙන එක…” යනුවෙන් මහ නාහිමියන් යළි කියද්දී රනිල් ඊට පිළිතුරු නොදී නිහඬව සිටින ආකාරයක් දැකගත හැකි විය.
ජන්දෙට කට්ටිය විරුද්ධයි: කිරිඇල්ල පක්ෂයි
කෙසේ වෙතත් සිය සිංගප්පූරු සංචාරය නිමාකොට රනිල් ලංකාවට පැමිණියේ පසුගිය බදාදා දිනය. ඒ පැමිණි වහාම තමන්ට හිතවත් මන්ත්‍රිවරුන් දසදෙනකු පමණ කැඳවූ රනිල් ඊට පසු දින පැවැත්වීමට නියමිත මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී කළ යුතු දෑ පිළිබඳව සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. එහිදී පැමිණ සිටි බහුතරයක් මන්ත්‍රිවරුන් තදින්ම කියා සිටියේ කිසිසේත්ම ඡන්දයකට යෑමට කටයුතු නොකරන ලෙසටය. එසේ කළහොත් රනිල්ට දැඩි අවාසිසහගත තත්ත්වයක් උදාවනු ඇති බවද එහිදී මන්ත්‍රිවරු රනිල්ට පෙන්වා දුන්හ. නමුත් එම සාකච්ඡාවට සහභාගිව සිටි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පමණක් එම මතයට එරෙහිව අදහස් දක්වන ආකාරයක් දැකගන්නට ලැබිණ. කිරිඇල්ල කියා සිටියේ එය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන බරපතළ පහරක් යැයි කියාය.
“අපි කොහොමද එහෙම කරන්නෙ. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු ප්‍රශ්නයක්. මන්ත්‍රි කණ්ඩායම ඉල්ලනව නම් බහුතර මතය විමසල ඡන්දයක් තියමු කියල අපි කොහොමද ඒක නොකර ඉන්නෙ. එහෙම තත්ත්වයකට මේ පක්ෂය පත්කරන්න එපා…” යනුවෙන් කිරිඇල්ල කියද්දී ඊට එරෙහිව මන්ත්‍රිවරුන්ගෙන් විවිධ තර්ක විතර්ක ඉදිරිපත් වනු දැකගන්නට ලැබිණ. නමුත් අනෙක් පිරිස දැඩිවම කියා සිටියේ කිසිසේත්ම ඡන්ද විමසුමක් තැබීමට කටයුතු නොකරන්න යැයි කියාය. නමුත් නැවැත වතාවක් කිරිඇල්ල කියා සිටියේ එවැන්නක් කළ නොහැකි බවත්, පක්ෂයේ බහුතරය ඡන්දයක් ඉල්ලා සිටින්නේ නම් ඊට එකඟ වීමට සිදුවනු ඇති බවත්ය.
ජන්දයක් ඉල්ලුවොත් කරන දේ
ඒ අනුව පිරිස ඊළඟට කතා කළේ සජිත් පාර්ශ්වය ඡන්දයක් ඉල්ලා සිටියහොත් කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳවය. එහිදී රනිල් කියා සිටියේ එසේ ඡන්දයකට යෑමට බලපෑම් කළහොත් ඔවුන්ට විස්සකට ආසන්න මන්ත්‍රි සංඛ්‍යාවක් සිටිනු ඇති බවත්, තමන්ට ජයග්‍රහණය කළ හැකි බවත්ය. නමුත් ඊට ඉඩ නොතබා කළ යුතු හොඳම ක්‍රියාව වන්නේ තමන් සහ මහලේකම්වරයා සාකච්ඡාවෙන් නැඟිට ඉවත් වීම බව එහිදී පිරිසට කියා සිටි රනිල් එවිට ඡන්ද ප්‍රතිඵලවල නිල භාවය සම්බන්ධයෙන් නීතිමය ගැටලුවක් මතුවන බව පෙන්වා දුන්නේය. ඒ අනුව අවසානයේදී තීන්දු වූයේ එසේ ඡන්දයකට යෑමට බලපෑම් කළහොත් රනිල් ඇතුළු පිරිසක් සාකච්ඡාවෙන් නැඟිට ඉවත් වීමටය.
මන්ත්‍රීවරු දෙකට බෙදෙයි
මේ අතරවාරයේ එජාපය ඇතුළේ ඇති ගැටුම ප්‍රසිද්ධියේම කරලියට එන ආකාරයක් දැකගන්නට ලැබුණේ පක්ෂය දෙකට බෙදී ස්ථාන දෙකක සිට ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීමටත්, එම සාකච්ඡාවලදී පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේම කරුණු දැක්වීමටත් පටන් ගැනීම නිසාය. එහීදී රනිල්ට හිතැති මන්ත්‍රිවරුන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දිනපතාම ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් බ්‍රහස්පතින්දා දිනයේදී පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුනොවුණු ඇති බවටත්, රනිල් තවදුරටත් නායකයා වශයෙන් කටයුතු කරනු ඇති බවටත් ප්‍රකාශ කරනු දැකගන්නට ලැබිණ. අකිල විරාජ්, ආශු මාරසිංහ, වජිර අබේවර්ධන පසුගිය දින කිහිපයේ එසේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වූ රනිල්ගේ කණ්ඩායමට අයත් වූවෝ වූහ. ඊට අමතරව විපක්ෂ නායක කාර්යාලයේ ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් සජිත්ට හිතැති මන්ත්‍රිවරුන් කියා සිටින්නට වූයේ පක්ෂ නායකත්වය වහාම වෙනස් විය යුතු බවත්, සජිත්ට විපක්ෂ නායක ධුරයට අමතරව පක්ෂ නායකත්වයද හිමිවිය යුතු බවත්ය. හර්ෂණ රාජකාරුණා, නලින් බණ්ඩාර එසේ විපක්ෂ නායක කාර්යාලයේ ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වූ මන්ත්‍රිවරු අතර වූහ. මේ හේතුව නිසාම පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් එජාප අර්බුදය එළිපිට ගැටුමකට යන ආකාරයක් දැකගැනීමට හැකි ලකුණු පහළ කර තිබීම නිසා බදාදා වන විටත් මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම නොපැවැත්වෙන ලකුණු එජාපය ඇතුළේ පහළ කර තිබෙනු දැකගත හැකි විය. කරු රනිල්ට ඉදිරිපත් කර තිබූ ස්ථාවරයත්, මන්ත්‍රිවරුන් දෙපැත්තට බෙදී ගැටුම්කාරී ආකාරයෙන් ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීමත් ඒ සඳහා හේතුවී තිබිණ. කෙසේ වෙතත් බදාදා සවස් වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයෙන් මන්ත්‍රිවරුන්ට ලැබුණු දුරකතන ඇමැතුම්වලින් කියැවුණේ යොදාගත් පරිදිම බ්‍රහස්පතින්දා සවස 5.00ට මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට රනිල් තීන්දු කොට ඇතැයි කියාය.
සජිත් පිල රෑම හමුවක
සිරිකොතින් ලැබුණු මෙම පණිවුඩයත් සමඟම බදාදා රාත්‍රියේ මුණගැසී සාකච්ඡා කිරීමට සජිත් පිල පියවර ගත්හ. එහිදී පසුදින පැවැත්වෙන මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට මුහුණදෙන ආකාරය පිළිබඳවත්, එහිදී රනිල් පාර්ශ්වයෙන් ඉදිරිපත් විය හැකි කාරණා පිළිබඳවත්, ඊට පිළිතුරු ලබාදෙන ආකාරය පිළිබඳවත්, පොරොන්දු වූ ආකාරයට කටයුතු නොකොට රනිල් ප්‍රශ්නයෙන් ලිස්සා යෑමට කටයුතු කළහොත් ඊට ගත හැකි පියවර පිළිබඳවත් පිරිස දීර්ඝව මෙහිදී සාකච්ඡා කිරීමට කටයුතු කළහ. එහිදී ඇතැම් මන්ත්‍රිවරුන් තරමක් බරපතළ ආකාරයේ යෝජනා ඉදිරිපත් කරනුද දැකගන්නට ලැබිණ. මහ මැතිවරණය සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තවත් සති පහකට ආසන්න කාලයක් පමණක් ඇති නිසා මෙම ප්‍රශ්නය තවදුරටත් ඇදගෙන යෑමට රනිල්ට කිසිසේත්ම ඉඩ ලබාදිය යුතු නැති බවත්, එම නිසා බ්‍රහස්පතින්දා දිනම තීන්දුවක් ගතයුතු බවත් මන්ත්‍රිවරුන් බහුතරයකගේ මතය විය. එහිදී එස්.එම්. මරික්කාර් මන්ත්‍රිවරයා යෝජනාවක් කරමින් කියා සිටියේ මේ අවස්ථාවේදී ගත යුතු හොඳම පියවර ගැනීමට සූදානම් විය යුතු යැයි කියාය. ඒ අනුව මරික්කාර් මෙහිදී මන්ත්‍රි කණ්ඩායමට තරමක් වෙනස් අදහසක් ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.
මරික්කාර් කරපු යෝජනාව
“දැන් අපි මේ තියෙන හැම ඔප්ෂන් එකක්ම බලන්න ඕනෙ. දැන් අපි සීයට සීයක්ම මේක ඕනෙ, සජිත්ටම නායකත්වය ගන්න ඕනෙ කියන මතයේ විතරක් අපි දිගටම හිටියොත් සමහර වෙලාවට අපිට ඒක කරගන්න බැරි වෙයි. ඒ හින්ද අපි ඊළඟ ඔප්ෂන් එක මොකක්ද කියල බලන්න ඕනෙ. දැන් රනිල්ගෙ පැත්තෙන් හැම එක්කෙනාම කියන්නෙ සිංහල බෞද්ධ බලවේගය නියෝජනය කරන කරු ජයසූරිය මහත්තයට දෙන්න ඕනෙ කියලයි. එතැනදි නායකත්වය ගැන නොකියා වෙන වෙන දේවල් ඒ පැත්තෙන් කියනවා. අපෙ හාමුදුරුවරුත් කියන්නෙ කරු ජයසූරිය මහත්තයට දෙන්න කියලයි. අස්ගිරියෙ නායක හාමුදුරුවොත් කියන්න කරු ජයසූරිය මහත්තයට දෙන්න කියලයි. රනිල්ගෙ පැත්තෙනුත් ඒකම කියනව නම්, හාමුදුරුවරුත් කියනවා නම්, පක්ෂය එකමුතු කරල ජයග්‍රහණය කරවන්න පුළුවන් නම් අපිත් එකතු වෙලා ඒකට සහයෝගය දෙමු. අපි පිළිගන්න ඕනෙ පක්ෂයෙ ජනප්‍රිම නායකය සජිත්. කරු ජයසූරිය මහත්තය ඒ තරම් ජනප්‍රිය නෑ. රනිල්ව කොහොමත් මාකට් කරන්න බෑ.” යනුවෙන් මරික්කාර් කියද්දී සුළු සුළු විරෝධතා පැමිණියද මරික්කාර් ඉදිරිපත් කළ එම මතය සජිත්ගේ මන්ත්‍රි කණ්ඩායම ඇතුළේ දීර්ඝ ලෙස සංවාදයට ලක්විය. අවසානයේදී දැඩි ස්ථාවරයක සිටි මන්ත්‍රිවරුන් පවා මරික්කාර් ඉදිරිපත් කළ අදහසට එකඟතාවය දක්වනු දැකගන්නට ලැබිණ.
එසේ කරුට සන්ධාන නායකත්වය ලබාදීමට සජිත් පිළ එකඟ වීමෙන් පසු බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට එය දැනුම්දීමට කළින් කරුට එම පණිවුඩය දැනුම් දීමට පිරිස තීන්දු කළහ. එය ඔවුන් භාරදුන්නේ රන්ජිත් මද්දුමබණ්ඩාරටය. එමෙන්ම බදාදා රාත්‍රියේම සජිත් පිල නියෝජනය කරන තවත් විශේෂ නියෝජතයකු කරු මුණගැසීම සඳහා යැවීමටද එහිදී තීන්දු විය.
රනිල්ට සජිත් දෙන තැන මෙන්න
මීට අමතරව තවත් එක්තරා විශේෂ සිදුවීමක්ද එහිදී දැකගන්නට ලැබිණ. ඒ සජිත්ද කරුට සන්ධානයේ නායකත්වය ලබාදීම සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නොදක්වාම එකඟතාව පළකිරීමය. ඉන් නොනැවතුණු සජිත් වහාම දුරකතන ඇමැතුමක් ගෙන එම ස්ථානයේ සිටම කරුට කතා කිරීමටද පියවර ගත්තේය. එහිදී දෙදෙනා අතර කෙටි සංවාදයක් පැවැත්වුණු අතර, සජිත් සිය කණ්ඩායමේ මතය කරුට දැනුම්දීමට පියවර ගත්තේය. මෙහිදී කරු එක්තරා විශේෂ ඉල්ලීමක් සජිත්ගෙන් කළේය. ඒ, රනිල්වද පක්ෂයෙන් ඉවත් නොකොට ඔහුත් සමඟම පක්ෂයේ ඉදිරි ගමන යා යුතු යැයි කියාය. එහිදී දෙදෙනා අතර රනිල්ට ලබාදිය හැකි පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන්ද කෙටි සාකච්ඡාවක් පැවැත්විණ. ඒ අනුව යෝජනා වූයේ පක්ෂ නායකත්වයට ඉහළින් සිටිය හැකි පරිදි ‘පක්ෂ අනුශාසක‘ යනුවෙන් නව තනතුරක් නිර්මාණය කොට එය රනිල්ට ලබාදීමටත්, එළැඹෙන මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට රනිල්ට අවස්ථාව සලසා දීමටත්ය.
කරුගේ කතාවට සජිත් විරුද්ධ වෙයි
එම එකඟතාවයෙන් පසු සුපුරුදු පරිදි කරු සජිත්ට කියා සිටියේ ඉකුත් ජනාධිපතිවරණ සමයේදී සිදුකළාක් මෙන්ම නැවැත වතාවක් සජිත් හා රනිල් අතර මුහුණට මුහුණ හමුවක් සූදානම් කිරීමට තමන් කටයුතු කරන්නම් යැයි කියාය. නමුත් ඊට සජිත්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ඉදිරිපත් වන ආකාරයක් දැකගන්නට නොලැබිණ. සජිත් කීවේ එය ප්‍රායෝගික නැති නමුත් රනිල් සමඟ ඉදිරියට යෑමට තමන්ගේ අකැමැත්තක් නැති බවකි. එසේ වුවත් කරු දිගින් දිගටම සජිත්ට පෙන්වා දුන්නේ සියලු දෙනාම එකඟතාවයකින් යුතුව කටයුතු කළහොත් පක්ෂය ජයග්‍රාහී මාවතකට රැගෙන ඒම එතරම් අසීරු නැතැයි කියාය.
මේ ආකාරයට කරු සහ සජිත් බලතල බෙදාගැනීම සම්බන්ධයෙන් කිසියම් එකඟතාවයකට පැමිණියද සජිත්ගේ පාර්ශ්වය නියෝජනය කරන දැඩි මතධාරී මන්ත්‍රිවරුන් දෙතුන් දෙනකු බ්‍රහස්පතින්දා වන විට තරමක් දැඩි ස්ථාවරයක සිටිමින් අදහස් දක්වන ආකාරයක් දැකගන්නට තිබිණ. ඊට හේතු වී තිබුණේ පක්ෂ නායකත්වය කරුටවත්, සජිත්ටවත් නොදී තවදුරටත් රනිල් යටතේම තබා ගැනීමට රනිල් විසින් තීන්දු කර ඇති බවට එම මන්ත්‍රිවරුන්ට කනින් කොනින් ආරංචි වී තිබීම නිසාය. මෙහිදී එම මන්ත්‍රිවරුන් සජිත්ට කතාකොට කියා සිටියේ පක්ෂ නායකත්වය වෙනස් නොවුණහොත් කිසිදු මන්ත්‍රිවරයකුට මෙවර ගමට ගොස් පක්ෂයට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලන්නවත් නොහැකි තත්ත්වයක් මතුවනු ඇතැයි කියාය.
“දැන් ආණ්ඩුව ප්‍රශ්න ගොඩකට මුහුණදීල තියෙන්නෙ. ඡන්ද කාලෙ පොරොන්දු වෙච්ච විදිහට බඩු මිල අඩුකරගන්නත් බෑ. රස්සා දීගන්නත් බෑ. දිස්ත්‍රික්කවල ප්‍රශ්න ගොඩගැහිලා. ඒ අස්සෙ අපේ පාක්ෂිකයො බලන් ඉන්නවා පක්ෂ නායකත්වය වෙනස් වෙලා පක්ෂයට අලුත් මුහුණුවරක් ලැබෙයි කියලා. මේ ප්‍රශ්නය ඉක්මනට විසඳුණේ නැත්නම් අපි සිරිකොත ඇතුළෙ අඛණ්ඩ උපවාසයක් ආරම්භ කරන්න ඕන. පාක්ෂිකයො රට වටෙන්ම සිරිකොතට ගෙන්නල මේ ප්‍රශ්නය ඉවර වෙනකම් අපි අරගල කරන්න ඕනෙ” යනුවෙන් එම මන්ත්‍රිවරුන් සාකච්ඡා කරනු දැකගත හැකි විය.
සිරිකොතේ තහනමක්
කෙසේ වෙතත් බ්‍රහස්පතින්දා සවස වන විට එජාප පාක්ෂිකයන් පමණක් නොව සියලුදෙනාම බලා සිටියේ මෙම මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම දෙසය. සවස 5.15 පමණ වන විට රැස්වීම ආරම්භ වූ අතර රනිල් සමඟ ඊට මන්ත්‍රිවරුන් 65 දෙනකු සහභාගිව සිටි බවක් දැකගන්නට තිබිණ. කෙසේ වෙතත් රැස්වීම ආරම්භයේදීම ජංගම දුරකතන ගෙන ඒමට තහනම් කිරීමට රනිල් නියෝග නිකුත් කොට තිබුණත් එම නියෝගය නොතකා මන්ත්‍රිවරුන් කිහිපදෙනකු ජංගම දුරකතන රැස්වීමට රැගෙන ආ ආකාරයක්ද දැකගන්නට ලැබිණ. එක් මන්ත්‍රිවරියක් සිය ජංගම දුරකතනය රැගෙන ආවේ තම අත් බෑගය ඇතුළේ සඟවාගෙනය.
ඒ අනුව රැස්වීම ආරම්භ කරමින් සාකච්ඡාව පටන් ගත්තේ මේ දිනවල මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්ව ඇති රන්ජන් රාමනායකගේ සිදුවීම පිළිබඳ සාකච්ජා කරමින්ය. ඒ පිළිබඳව නීත්‍යානුකූලව කටයුතු සිදුවනු ඇති බවට දැනුම් දීමෙන් පසුව පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාව ආරම්භ විය. එහිදී සුපුරුදු පරිදි රනිල්ගේ පිලත්, සජිත්ගේ පිලත් දෙපැත්තට බෙදී අදහස් දැක්වුවද පසුගිය සතියේ තරම් එය ආන්දෝලනාත්මක තැනකට ගියේ නැත. ඒ අනුව සජිත් පාර්ශ්වයෙන් කියා සිටියේ ව්‍යවස්ථානුකූලව තවත් අවුරුදු පහකට නායකත්වය දැරීමට රනිල්ට හැකියාව තිබුණද පවතින තත්ත්වය මත මේ ආකාරයට පක්ෂය ඉදිරියට කිසිසේත්ම රැගෙන යා නොහැකි යැයි කියාය. ඒ අනුව පක්ෂ නායකත්වයේ වෙනසක් වහාම අවශ්‍ය බවද සජිත් පාර්ශ්වයේ මන්ත්‍රිවරු එහිදී රනිල් ඇතුළු එම පාර්ශ්වයට පෙන්වා දුන්හ.
දෙපැත්තම සටනට බසී
නමුත් රනිල් සහ ඔහුගේ මන්ත්‍රිවරුන් එම තර්කය පිළිගන්නා ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. ඔවුන් නිතරම කරු ජයසූරිය මහතාගේ නම භාවිතා කරමින් අලුතින් බිහි කිරීමට නියමිත සන්ධානයේ නායකත්වය කරු ජයසූරිය මහතාට ලබාදිය යුතු යැයි කියමින් කරුව ඉදිරියට දමන බවක් දැකගන්නට ලැබිණ. ඒ අනුව එම සංවාදය දිගින් දිගටම ඇදී යද්දී කබීර් හෂීම් සහ අජිත් පෙරේරා ඉතා පැහැදිලිවම මෙම තත්ත්වය තවදුරටත් ඉදිරියට රැගෙන යා නොහැකි බව රනිල්ට පෙන්වා දීමට කටයුතු කළහ. වෙනදා නම් අජිත් පෙරේරා ඉතා ආවේගශීලීව අදහස් දැක්වීමට කටයුතු කර තිබුණද එදින යම් සංයමයකින් යුතුව අදහස් දක්වන ආකාරයක් දැකගන්නට ලැබිණ.
“පක්ෂයට තවදුරටත් මෙහෙම යන්න බෑ. මේක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. ඉතින් මේක ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ඉදිරියට රැගෙන යන්න බහුතරය කැමැති එක්කෙනකුට භාරදෙන්න. එහෙම නැතුව බලෙන් මේක තියාගෙන ඉන්න ගියොත් අපිට කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා…” යනුවෙන් අජිත් සහ කබීර් කියද්දී සාකච්ඡාවට මැදිහත් වෙමින් සුජීවද කියා සිටියේ මෙම ප්‍රශ්නය ඡන්දයක් පවත්වා ප්‍රජාතන්ත්‍රවාදීව විසඳා ගැනීමට කටයුතු කරමු යැයි කියාය. නමුත් එම ඡන්ද කතාව සුජීවගේ කටින් පිටවනවාත් සමඟම රනිල්ගේ පාර්ශ්වය කලබලයට පත්වූ ආකාරයක් දැකගන්නට ලැබිණ.
රනිල්ගේ සංඥාවට පිරිසක් කරපු දේ
ඒ අනුව කලින් සැලැසුම් කරගෙන සිටි පරිදි රනිල් කිසිවකුටත් නොපෙනෙන්නට රැස්වීම පසුපස අසුන්ගෙන සිටි ඔහුගේ නියෝජිතයන් වූ ආශු මාරසිංහ, වජිර අබේවර්ධන, නවීන් දිසානායක, විජයපාල හෙට්ටිආරච්චි ආදී පිරිසට හිසින් යම් සංඥාවක් කරනු දැකගන්නට ලැබිණ. රනිල්ගේ එම සංඥාවත් සමඟ එම පිරිස වහාම සාකච්ඡාවෙන් නැඟිට ඉවතට යන ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ සමඟම රනිල් සහ අකිලද සාකච්ඡාවෙන් නැඟිට යෑමට සූදානම් වුවද ඊට ඉඩක් නොලැබුණේ සජිත්ගේ පාර්ශ්වය නායකත්වය සඳහා ඡන්දයක් විමසනවා වෙනුවට වෙනත් යෝජනාවක් ඉදිරිපත් කිරීම නිසාය. එහිදී සජිත් පිල කියා සිටියේ නායකත්වය සඳහා ඡන්දයක් විමසීමට නොහැකි නම් නායකත්වය වෙනස් විය යුතුද යන්න සම්බන්ධයෙන් මත විමසුමක් පැවැත්වීමට කටයුතු කරමු යැයි කියාය. එහිදී සජිත්ද කියා සිටියේ තමන්ට කිසිවකුත් පක්ෂයෙන් පැන්නීමට අවශ්‍ය නැති බවත්, සියලු දෙනා එක්ව මේ ගමන ඉදිරියට යා යුතු බවත්ය. නමුත් ඊට කන් නොදී රනිලුත්, අකිලත් සාකච්ඡා කාමරයෙන් වහාම පිටව යෑමට උත්සාහ කිරීමත් සමඟ මන්ත්‍රිවරුන් සිය ආසනවලින් නැඟිට කෑකෝ ගැසීම නිසා එහි තරමක උණුසුම්කාරී වාතාවරණයක් පැනනඟින ආකාරයක් දැකගන්නට ලැබිණ.
රනිල් මාරුවෙද්දී අජිත් මුහුණටම කියපු කතාව
ඒ උණුසුම මැදම හීන් සීරුවේ රනිල් මන්ත්‍රිවරුන් මැද්දෙන් ඉවතට යන ආකාරයක් දැකගත හැකි විය. මේ ආකාරයට රනිල් රැස්වීමෙන් පිටව යද්දී ඔහුගේ මුහුණ ඉදිරිපිටටම ගිය අජිත් පෙරේරා “මොකක්ද මේ නායකත්වය. තමන්ගෙ මන්ත්‍රි කණ්ඩායම මතයක් විමසද්දී ඒකට මුහුණදෙන්න බැරි නායකත්වයෙන් වැඩක් තියෙනවද?” යනුවෙන් විමසද්දී කිසිදු වචනයක් නොකියමින් රනිල් අහක බලාගෙන පිටතට යන ආකාරයක් දැකගන්නට ලැබිණ.
රනිල් ඇතුළු ඔහුගේ පිරිස ඒ ආකාරයට සාකච්ඡා කාමරයෙන් පිටව ගියද අනෙකුත් මන්ත්‍රිවරුන් එහිම රැඳී සිටිමින් පක්ෂ නායකත්වය සජිත්ට හිමිවිය යුතුද යන්න සම්බන්ධයෙන් මත විමසුමක් පැවැත්වීමට පියවර ගත්හ. ඒ අනුව රංජිත් මද්දුමබණ්ඩාර ඊට මුලපුරමින් යෝජනාව ඉදිරිපත් කළ අතර එය ස්ථිර කළේ හරීන් ප්‍රනාන්දුය. ඒ අනුව එම යෝජනාවට පැමිණ සිටි මන්ත්‍රිවරුන් 65න් 52ක් සහාය පළ කරමින් අත ඔසවනු දැකගන්නට ලැබිණ. 13ක් රැස්වීමෙන් පිටව ගොස් තිබුණු ආකාරයක් දැකගත හැකි විය.
ඔක්කොම යනකම් රනිල් නිල කාමරයේ
මේ ආකාරයට මත විමසීමෙන් ජයගත් සජිත් පාර්ශ්වය තවත් පැය භාගයක පමණ කාලයක් සිරිකොත මන්දිරයේ රැඳී සිටිමින් ලැබූ ජයග්‍රහණය භුක්ති විඳීමට පියවර ගත්හ. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ සජිත්ගේ කණ්ඩායම නියෝජනය කරන අන්තිම සාමාජිකයාද සිරිකොතෙන් නික්ම යන තෙක්ම රනිල් සිරිකොතේ තමන්ට ඇති නිල කාමරයෙන් එළියට නොපැමිණීමය. රනිල් සමඟ ඔහුට හිතවත් කණ්ඩායමද ඒ අනුව සිරිකොත මන්දිරය තුළ රැඳී සිටිනු දැකගත හැකි විය. කෙසේ වෙතත් එසේ රැඳී සිටින අතරතුර සජිත් පිල නියෝජනය කරන කබීර් හෂීම්ටත්, මලික් සමරවික්‍රමටත් තමන් සිටින කාමරයට පැමිණෙන ලෙසට රනිල් දැනුම් දීමක් කළේය. එම දැනුම්දීමට අනුව කබීර් සහ මලික් රනිල්ව මුණගැසී කෙටි සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගත්හ. මෙහිදී රනිල් ඒ දෙදෙනාටම දැනුම් දී සිටියේ ලබන සිකුරාදා (24දා) දින තවත් මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමක් පවත්වා මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට කටයුතු කරමු යැයි කියාය. නමුත් කබීර් සහ මලික් පැහැදිලිවම රනිල්ට කියා සිටියේ තවදුරටත් මෙම ප්‍රශ්නය ඉදිරියට ඇදගෙන යෑමට නොහැකි බවත්, සජිත් ඇතුළු පිරිස විකල්ප ක්‍රියාමාර්ගවලට යොමුවීමට දැනටමත් සූදානමින් සිටින බවත්ය.
සජිත් සුළගත් රට වටා හමයි
කෙසේ වෙතත් මේ ජයග්‍රාහී මානසිකත්වයෙන්ම බ්‍රහස්පතින්දා රාත්‍රියේ සජිත් පිල ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගත්හ. මෙහිදී සියලු දෙනාම එක හඬින් කියා සිටියේ තවදුරටත් කල් මැරීම් සිදුකළ නොහැකි නිසා සජිත්ගේ නායකත්වය යටතේ වෙනම සන්ධානයක් පිහිටුවා ඉදිරි මැතිවරණයට තරග වැදීමට කටයුතු සැලැසුම් කළ යුතු යැයි කියාය. සජිත්ගෙන්ද ඊට විරෝධයක් පළ නොවීම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීමක් විය. ඒ අනුව සිකුරාදා (17) දිනම එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා ආරම්භ කිරීමටත්, සඳුදා දින සිට පක්ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රිවරුන් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් කොළඹට කැඳවා සාකච්ඡා ආරම්භ කිරීමටත් පිරිස තීන්දු කළහ. මීට අමතරව තවත් එක් විශේෂ තීන්දුවක්ද බ්‍රහස්පතින්දා රාත්‍රියේ ගනු ලැබිණ. ඒ, ලබන බ්‍රහස්පතින්දා දින සජිත්ගේ පළමු කළඑළි බැසීම සනිටුහන් කරමින් නුගේගොඩ නගර මධ්‍යයේ දැවැන්ත රැස්වීමක් පැවැත්වීමටය. 2015 ජනාධිපතිවරණය පරාජයට පත්වීමෙන් පසු තංගල්ලේ මැදමුලන වලව්වේ සිටි මහින්ද රාජපක්ෂ මහතා යළිත් දේශපාලනයට කැඳවාගෙන එමින් නුගේගොඩ පැවැත්වූ ‘මහින්ද සුළඟ’ රැලිය හා සමානවම මෙම රැලි මාලාව රට පුරා සංවිධාන කිරීමටද එහිදී පිරිස තීන්දු කළහ. ඒ අනුව ලබන බ්‍රහස්පතින්දා දිනයේ සිට නුගේගොඩින් ඇරැඹීමට නියමිත ‘සජිත් සුළඟ’ රට වටා ගමන් කරන ආකාරයක් එජාප පාක්ෂිකයන්ට දැකගැනීමට හැකි වනු ඇත. මේ අතර කරු ජයසූරිය මහතාද සිකුරාදා (17දා) උදෑසන සිටම තවත් මෙහෙයුමකට අත තබා තිබිණ. ඒ, මෙම ගැටලුව සජිත් හා රනිල් අතර සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමටය. ඒ අනුව සිකුරාදා උදෑසනම සජිත්ටත්, රනිල්ටත් දෙදෙනාටම කතා කළ කරු මේ බව දැනුම් දීමෙන් පසු දෙදෙනාගෙන්ම ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබුණු ආකාරයක්ද දැකගන්නට ලැබිණ.
රන්ජන්ගේ ඇස්වල කදුලු
එජාප මන්ත්‍රි රන්ජන් රාමනායකගේ හඬපට සිද්ධිය මේ වන විට කිසිදු බේදයකින් තොරව සෑම ක්ෂේත්‍රයකම විශාල කැලඹීමක් ඇතිකර අවසානය. මේ නිසාම එජාප මන්ත්‍රිවරුන්ටත්, විශාල පීඩනයකට මුහුණදීමට සිදුව තිබූ අතර, ඒ නිසාමදෝ රන්ජන්ව අත්අඩංගුවට ගැනීමට පෙර දින පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා රන්ජන්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව කියා සිටියේය. අකිලගේ මේ ප්‍රකාශයෙන් පැය 24ක් යෑමට මත්තෙන් රන්ජන්ව අත්අඩංගුවට ගැනීමත් සමග එම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කලින් තොරතුරු ලැබී ඔහුව පක්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කළාද යන්න පිළිබඳව එජාප මන්ත්‍රිවරුන් අතර තිබුණේ කිසියම් සැකමුසු බවකි.
කෙසේ වෙතත් රන්ජන්ව දෙවැනි වතාවට අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී වෙනදා දැකගන්නට ලැබුණු එජාප මන්ත්‍රිවරුන්ගේ මුහුණු එදා දැකගන්නට ලැබුණේ නැත. ඒ වෙනුවට රන්ජන් ඒ සියල්ලටම මුහුණ දුන්නේ තනිවමය. පොලිසියට ගියේද, උසාවියට ගියේද තනිවමය. රන්ජන්ව රිමාන්ඞ් කරන මොහොතේ පවා එහි කිසිදු එජාප මන්ත්‍රිවරයකුගේ මුහුණක් දැකගන්නට ලැබුණේ නැත.
මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ රන්ජන්ව රඳවා තැබුණේ බන්ධනාගාරයේ ‘පී’ වාට්ටුවේය. සාමාන්‍යයෙන් බන්ධනාගාරයේ අනෙකුත් වාට්ටු වන ‘ජී’, ‘එච්’, ‘ඕ’ වැනි සිර මැදිරි තරමක පහසුකම්වලින් යුත් යම් ඉඩකඩක් සහිත මැදිරි වුවද ‘පී’ මැදිරිය එසේ කිසිදු පහසුකමක් නොමැති ඉඩකඩ හෝ නොමැති කුඩා කූඩුවක් වැනි එකක් විය. අප සෑම අවස්ථාවකදීම පාහේ රන්ජන් සිනාමුසු මුහුණින් සිටින ආකාරයක් දැක තිබුණද මෙම ‘පී’ සිර මැදිරියට දමා බන්ධනාගාර නිලධාරීන් එහි දොරගුළුලන විට ඔහුගේ දෑස් තෙත් වී තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණ. එළියේදී සිතා සිටියාට වඩා තරමක අසීරු කුඩා කූඩුවකට රන්ජන්ට යෑමට සිදුවීම ඊට හේතු වූවා විය හැකිය. එමෙන්ම සිර මැදිරියට ඇතුළු වූ දිනයේම රන්ජන් තමන් පැළඳ සිටි බොරු කොණ්ඩය ඉවත් කොට තට්ටය ගෑමටද පියවර ගත්තේය. කෙසේ වෙතත් මේ වන විට රන්ජන්ගේ නීතිඥවරුන් ඔහුව ‘පී’ සිර මැදිරියෙන් ඉවත් කොට ‘ජී’, ‘එච්’, ‘ඕ’ වැනි සිර මැදිරිවලින් එකකට මාරු කරන ලෙසට බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කිරීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.
කෙසේ වෙතත් පසුගිය සතිය වන විට රන්ජන්ගේ හඬපටවල ප්‍රතිඵල එකින් එක සමාජය ඉදිරියේ දිගහැරෙන ආකාරයක් දැකගන්නට ලැබිණ. ඉන් පළමුවැන්න වූයේ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා රන්ජන්ගෙන් තමන්ට බලපෑම් එල්ලවූ බවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමය. දෙවැන්න වූයේ රන්ජන් සමඟ දුරකතන සංවාදවල නිරත වූ බව කියන බද්දේගම මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිසම පියවර ගැනීමය. මීට අමතරව රන්ජන් සමඟ කතාකළ සියලුම විනිසුරුවන්ගෙන් ප්‍රකාශ ලබාගන්නා ලෙසත් කොළඹ අපරාධ කොට්ඨාසයට මේ වන විට නියෝගයක්ද ඉදිරිපත් කොට තිබේ.
මීට අමතරව පසුගිය සතියේ මහා සංඝරත්නය නියෝජනය කරමින් කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ද රන්ජන්ගේ වීඩියෝපට සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබිණ. එහිදී උන්වහන්සේ කියා තිබුණේ එම ඇතැම් හඬපටවල ඇති තොරතුරු ඉතා අශික්ෂිත මට්ටමේ ඒවා බවත්, මේ වන විට එම හඬපට කිසිදු පාලනයකින් තොරව යූටියුබ්, ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලවල සැරිසරන බවත්, එම නිසා කිසියම් හෝ පිරිසක් එම හඬපට සංසරණය වීම පාලනය කිරීමට පියවර ගතයුතු බවත්ය.
ලෝක බලවතුන් ලංකාවට
ඉකුත් සතිය එජාපයට මෙන්ම ආණ්ඩුවටද ඉතා තීරණාත්මක සතියක් විය. එජාපයට එම සතිය තීරණාත්මක වූයේ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් මඟහැර යා නොහැකි තැනකට එම ප්‍රශ්නය පැමිණ තිබූ නිසාය. ආණ්ඩුවට එම සතිය තීරණාත්මක වූයේ ලොව බලවත්ම රාජ්‍යයන් තුනක ඉහළ පෙළේ නියෝජිතයන් තිදෙනකුම එකම දිනකදී කොළඹට පැමිණීම නිසාය. එනම් පසුගිය සඳුදා (13දා) ලොව ප්‍රධානම රාජ්‍යයන් තුනක් වූ ඇමෙරිකාව, චීනය සහ රුසියානු නියෝජිතයන් මෙසේ කොළඹට පැමිණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසී සාකච්ඡා පැවැත්වීමට පියවර ගෙන තිබිණ.
ඇමෙරිකාවෙන් ලංකාවට පැමිණි නියෝජිතවරිය වූයේ එරට රජයේ මධ්‍යම සහ ආසියානු කලාප භාර නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරිය වන ඇලිස් වෙල්ස් මහත්මියය. චීනයෙන් පැමිණියේ එරට විදේශ අමාත්‍යවරයා වන වැන්ග් යී මහතාය. රුසියාවෙන් පැමිණියේ එරට විදේශ අමාත්‍යවරයා වන සර්ගෙයි ලැව්රොව් මහතාය. මෙම තිදෙනාගෙන් වඩාත්ම අවධානය යොමුවී තිබුණේ ඇමෙරිකානු සහ චීන නියෝජිතයන් දෙසය. ඒ ඇමෙරිකාව සමඟ එම්.සී.සී. ගිවිසුමට අස්සන් කරනවාද, නැද්ද යන්න සම්බන්ධයෙන් විශාල කතිකාවක් මතුව තිබීමත්, ණය බර හේතුවෙන් විශාල ආර්ථික අර්බුදයකට මුහුණදීමට ලංකාවට සිදුව තිබීමත් නිසාය.
MCC ගැන ගෝඨා කියපු දේ
මෙහිදී බලාපොරොත්තු වූ ආකාරයටම වෙල්ස් සමඟ පැවැති සාකච්ඡාවේදී මාතෘකාව වූයේ එම්.සී.සී. ගිවිසුමය. ආරම්භයේදීම ජනාධිපතිවරයාගේ පත්වීමට උණුසුම් සුබපැතුම් එක් කළ වෙල්ස් රටේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට විශේෂ ස්තුතියක්ද පිරිනැමීමට කටයුතු කළාය. ඉන් අනතුරුව එම්.සී.සී. ගිවිසුම පිළිබඳව සාකච්ඡාව ඇදී ආ අතර ජනාධිපතිවරයා එහිදී පැහැදිලිවම ඇමෙරිකානු නියෝජිතවරියට දැනුම්දී සිටියේ මේ සම්බන්ධයෙන් තවමත් අධ්‍යයනයක නිරතව සිටින බැවින් එම වාර්තාව ලැබීමෙන් පසු අවසන් තීන්දුවක් ගත හැකි බවකි.
“ඇමෙරිකානු රජයත්, අපේ රජයත් ප්‍රජාතන්ත්‍රවාදයට බොහොම ගරු කරනවා. ඒ නිසා ගිවිසුම් අස්සන් කිරීමේදී අපි ප්‍රජාතන්ත්‍රවාදීව ඒ ඒ රටවල්වල අයිතීන්ට ගරු කරන විදිහට කටයුතු කරන්න ඕනෙ. ඒ නිසා එම්.සී.සී. එක ගැන දෙපාර්ශ්වයේම අභිලාෂයන් අපි සැලකිල්ලට ගන්න ඕනෙ. ඒ නිසා මම දැනටමත් විද්වත් කමිටුවක් පත්කරල මේ ගැන අධ්‍යයනයක නිරත වෙනවා. ගිවිසුමේ තියෙන අඩුපාඩු මොනවාද, අවාසි මොනවාද කියලා හොයාගෙන යනවා. ඒක ස්වාධීන කමිටුවක්. එතැනදි මේ වගේ ගිවිසුම්වලට එළැඹුණු අනෙක් රටවල්වල අත්දැකීම් සහ සිදුවීම් ගැනත් අපි සොයා බැලීමක් කරගෙන යනවා..” යනුවෙන් කියමින් ජනාධිපතිවරයා සිය ස්ථාවරය ඍජුවම ඇමෙරිකානු නියෝජිතවරියට දැනුම් දෙද්දී ඇයද කියා සිටියේ එය ඉතාමත් හොඳ දෙයක් බවත්, සිය රජයද ගිවිසුම්වලට එළැඹීමේදී එවැනි අධ්‍යයනයක නිරත වන බවත්ය. ඉන් පසුව ජනාධිපතිවරයා තාක්ෂණය මුල්කරගත් කර්මාන්ත සඳහා ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමටත්, කෘෂිකර්මය ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රයන්වල නව තාක්ෂණයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සහාය දක්වන ලෙසත් වෙල්ස්ගෙන් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර දැක්වීමටද වෙල්ස් කටයුතු කළාය.
චීනයෙන් ගෝඨා ඉල්ලපු සහනය
ඇමෙරිකාව සමඟ පැවැති සාකච්ඡාවේදී එම්.සී.සී. ගිවිසුම නිසා බොහෝ දෙනා ඒ දෙස බලා සිටියද ඇත්ත වශයෙන් ආණ්ඩුවට බොහෝ වැදගත් වූයේ ඇමෙරිකානු නියෝජිතවරිය සමඟ පැවැති සාකච්ඡාවට වඩා චීන විදේශ ඇමැති වැන්ග් යී සමඟ පැවැති සාකච්ඡාවය. ඊට හේතුවී තිබුණේ මෙම වසර ඇතුළත ආණ්ඩුව ඩොලර් බිලියන 6ක ණය සහ පොලී මුදලක් ගෙවීමට නියමිතව තිබීම නිසාය. බොහෝ ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙය ශ්‍රී ලංකාව ඉදිරියේ පවතින භයානක අර්බුදයක පෙරනිමිත්තක් බවත්, ආණ්ඩුවට එම ණය පියවීම සඳහා තව තවත් විදෙස් ණය මත යැපීමට සිදුවනු ඇති බවත්ය. ඒ නිසා රටේ ආර්ථිකය ගොඩගත නොහැකි විශාල අර්බුදයක ගිලී පවතින බවක්ද ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබිණ.
මේ හේතුව නිසාම ජනාධිපතිවරයා පසුගිය මාස දෙකක කාලය පුරා මෙම ණය උගුලෙන් ලංකාව ගලවා ගන්නා ආකාරය පිළිබඳව සියුම් විශ්ලේෂණයක් කිරීමට පියවර ගෙන තිබිණ. මේ හරහා ජනාධිපතිවරයාට වැටහී තිබුණු එක් කාරණයක් වූයේ කෙසේ හෝ ඇතැම් රටවල් සඳහා ගෙවිය යුතු ණය මුදල් සඳහා යම්කිසි සහන කාලයක් ලබාගැනීමට හැකි වුවහොත් ඒ හරහා විශාල සහනයක් රටේ ආර්ථිකයටත්, ජනතාවටත් ලබාගත හැකි යැයි කියාය. ඒ අනුව චීන විදේශ ඇමැතිවරයා සමඟ හමුවේදී ජනාධිපතිවරයා අවධානය යොමු කළේ එම කාරණය සම්බන්ධයෙන්ය. ඉකුත් ජනාධිපතිවරණ සමයේදී හම්බන්තොට වරාය හා පෝර්ට් සිටි ගිවිසුම යළි සංශෝධනය කරන බවට ගෝඨාභය සඳහන් කර තිබුණද ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා නවතා දැමීමට ආණ්ඩුව පියවර ගෙන තිබුණේ මේ කාරණාව හේතුවෙන් බව එකල බොහෝ දෙනාගේ මතය වී තිබිණ. ඒ අනුව ජනාධිපතිවරයා චීන විදේශ අමාත්‍යවරයාගෙන් කළ එම ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබුණු අතර, හෙතෙම තවදුරටත් කියා සිටියේ තමන් බීජිං නුවරට ගිය වහා අදාළ බලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට පිළිතුරක් ලබාදෙන්නම් යැයි කියාය. අපට දැනගන්නට ඇති ආකාරයට ඉදිරියේදී වසර තුනක කාලයක් සඳහා චීන ණය සහ පොලී ගෙවීමට සහන කාලයක් ලබාදීමට චීනය බොහෝ දුරට තීන්දු කරනු ඇති බව ආරංචිය.
හොරෙන්ම ලංකාවට ආ දිල්ලි අමුත්තා
කෙසේ වෙතත් මේ ආකාරයට ඇමෙරිකානු සහ චීන, රුසියානු ඉහළ පෙළේ බලධාරීන් ලංකාවට පැමිණ ප්‍රසිද්ධියේම සාකච්ඡා පවත්වා යළි ලංකාවෙන් පිටව ගියද ඉකුත් සතියේ ඉතාම රහසිගතව තවත් එක් විශේෂ විදෙස් නියෝජිතයකු ලංකාවට පැමිණ ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේද ප්‍රධානීන් සමඟ සාකච්ඡා පවත්වා රහසින්ම පිටව ගිය ආකාරයක් රාජ්‍ය රහස් තීරයට දැනගන්නට ලැබිණ. මෙසේ හොර රහසේම පැමිණ තිබුණේ ඉන්දීය රජයේ ඉහළ පෙළේ නියෝජිතයෙකි. හෙතෙම නමින් රාම් මාධව් වන අතර භාරතීය ජනතා පක්ෂයේ මහලේකම්වරයාද වේ. එමෙන්ම ඉන්දීය ආර්.එස්.එස්. හෙවත් ජාතික ස්වේච්ඡා සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙකි. මෝඩි රජයේ ප්‍රබලයකුද වන රාම් මාධව් පසුගිය 12 වැනිදා ලංකාවට පැමිණ ඉතා රහසිගතවම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාත්, එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාත්, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාත්, දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයනුත් මුණගැසී සාකච්ඡා කිරීමට පියවර ගත්තේය.
කෙසේ වෙතත් රනිල් සමඟ පැවැති සාකච්ඡාවේදී මාධව් ඔහුගෙන් මේ වන විට එජාපය ඇතුළේ ඇති අර්බුදය පිළිබඳව විමසීමට කටයුතු කළේය. එහිදී රනිල් පැහැදිලිවම සඳහන් කර ඇත්තේ තමා කිසිසේත්ම සජිත්ට නායකත්වය ලබාදීමට සූදානම් නැති බවත්, වෙනත් විකල්ප මාර්ග කිහිපයක් ඒ සඳහා ඇති බවත්, ඉතාමත් ඉක්මණින්ම එම ගැටලුව විසඳා ගන්නා බවත්ය.
ට්විටර් පණිවුඩයෙන් වැඩේ ගැස්සෙයි
නමුත් සැවොම සඟවාගෙන තබාගත්තද වැඬේ පත්තු වූයේ රාම් මාධව් ඉන්දියාවට ගොස් ඊට පසුදිනම සිය ට්විටර් ගිණුමේ මේ සම්බන්ධයෙන් පණිවුඩයක් තැබීමත් සමඟය. එහිදී ඔහු සඳහන් කර සිටියේ තමන් ඊයේ දින කොළඹදී ගෝඨාභය සහ මහින්ද සමඟ සාකච්ඡා කළ බවත්, එහිදී ඔවුන් ලද ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් එක් කළ බවත්ය. එපමණක් නොව එම හමුවේ ඡායාරූප පවා ඔහු පළමු වරට සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කර තිබිණ. රාම් මාධව්ම මේ ඡායාරූප එළියට දමන තෙක් අවම වශයෙන් මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හෝ ඒ සම්බන්ධයෙන් වචනයක් හෝ නොකීවේ අවම වශයෙන් ඔවුන් පවා මාධව්ගේ මේ ලංකා ගමන සම්බන්ධයෙන් කරුණු හරි හැටි නොදැන සිටීම නිසා විය යුතුය. බොහෝ දුරට ඊට හේතුව වී ඇත්තේ මේ දිනවල ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා වශයෙන් කටයුතු කරන තරංජිත් සිං මහතා ලංකාවේ රැඳී නොසිටීම විය යුතුය. සාමාන්‍යයෙන් තරංජිත් සිං මහතා ඉන්දීය රජය නියෝජනය කරන ප්‍රබල රාජ්‍යතාන්ත්‍රිකයකු වන අතර ජනාධිපතිවරයාගේ මෙන්ම විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉන්දීය සංචාරයන් පවා සම්බන්ධීකරණය කළේ තරංජිත් සිංය. දිනේෂ් සමඟ දිල්ලියට ගිය ගමනෙන් පසුව ලන්ඩන් හරහා ඉතාලිය බලා ගිය තරංජිත් මේ දිනවල ඉතාලියේ රැඳී සිටින බව දැනගන්නට ඇත.
තරංජිත් අමෙරිකාවට: බාග්ලේ ලංකාවට
මෙසේ තිබියදී ඉන්දීය මහකොමසාරිස්වරයා ලංකාවේ නොමැති අවස්ථාවක මේ රාම් මාධව්ගේ ලංකා සංචාරය සංවිධානය කළේ කවුද, එසේ කළේ කුමකටද යන්න පිළිබඳව මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ බරපතළ ගැටලු රාශියක් මතුව ඇති තත්ත්වයක් දැකගන්නට තිබේ. එමෙන්ම ආණ්ඩුවත්, විපක්ෂයත් මාධව්ගේ මෙම ගමන රහසක් ලෙස තබාගත්තේ ඇයිද යන්න පිළිබඳවත් බරපතළ ප්‍රශ්නයක් මේ වන විට මතුව තිබේ. මීට අමතරව ලබන මස මුලදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාද සිය පළමු නිල සංචාරය ලෙස ඉන්දියාව බලා පිටව යෑමට නියමිත අතර ඒ සඳහා පසුබිම සකස් කිරීමට මාධව් ලංකාවට පැමිණියාද යන්න පිළිබඳවද කිසියම් සැකයක් මේ වනවිට මතුව තිබේ.
කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය ඇතුළත තරංජිත් සිංව යළි ඉන්දියාවට කැඳවා ඔහුට උසස් වීමක් ලබාදී ඇමෙරිකාවේ ඉන්දීය තානාපතිවරයා ලෙස පත්කිරීමට මෝඩි රජය මේ වන විට සැලැසුම් කර ඇති බවක් දැනගන්නට තිබේ. ඒ අනුව තරංජිත් සිංගෙන් හිස්වන ලංකාවේ මහකොමසාරිස් ධුරයට ගෝපාල් බාග්ලේ පත්කිරීමට යෝජනා වී ඇති අතර, හෙතෙම ප්‍රකට රාජ්‍යතාන්ත්‍රිකයකු මෙන්ම මෝඩිගේ ඒකාබද්ධ ලේකම්වරයා ලෙසත්, විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා ලෙසත් කටයුතු කර ඇත්තෙක් බව කියැවේ.
කපිල පුංචිමාන්නගේ