රනිල්ගේ සියඹලාණ්ඩු කතාවට චීනය දුන් මරු උත්තරේ!
කරුයි වික්ටර් අයිවනුයි කැබිනට් එකට ගහපු ගේම!
සජිත්ගෙන් මැතිවරණ කොමිසමේ සභාපතිට ඇමතුමක්!
ගෝඨාට වෙච්ච දේ!
සියඹලාණ්ඩුවේ ගිහින් අතෑරපු බෝම්බය!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සති අන්තයේ සිටියේ සියඹලාණ්ඩුවේය. එසේ සියඹලාණ්ඩුවට ගොස් ගොවි ජනතාව හමුවීමට කටයුතු කළ ජනාධිපතිවරයා ගොවීන් හා කුඩා දරුවන් වටකරගෙන සිටියදී අපූරු කතාවක් ඔවුන්ට පහදා දීමට පියවර ගත්තේය. ඒ, ජාත්‍යන්තර සිදුවීමක් පිළිබඳවය. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ තමන් එදින චීනයේ මුදල් අමාත්‍යවරයා සමග දුරකතන සංවාදයක නිරත වූ බවත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීන මුදල් ඇමැතිවරයා ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූ බවත්ය. ජනාධිපතිවරයා සියඹලාණ්ඩුවට ගොස් කී මේ කතාව සියලුම මාධ්‍ය ඒ මොහොතේම වාර්තා කිරීම නිසා සියල්ලන්ම සිතා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානම කොන්දේසිය වන චීන ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු වීම හේතුවෙන් දැන් කිසිදු අවුලකින් තොරව එම අරමුදලේ ණය සහනය ලංකාවට ලබාගත හැකි වනු ඇතැයි කියාය.
ජපන් සිද්ධිය නිසා කට්ටියම රනිල්ගේ කතාව පස්සේ පන්නයි!
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම චීන කතාව අපේ රටේ ජනතාව එතරම් ගණන් නොගත් කතාවක් වුවද ජාත්‍යන්තර ප්‍රජාවට නම් එය එසේ වූයේ නැත. ඒ අනුව ජනාධිපතිවරයා කරන ප්‍රකාශ පිළිබඳ දැඩි අවධානයෙන් සිටින ජාත්‍යන්තර ප්‍රජාව මෙන්ම තානාපති අංශවල නියෝජිතයන් වහ වහා මේ පිළිබඳ විමසීම් කරමින් මෙම කතාවේ ඇත්ත නැත්ත සොයන්නට වූහ. එමෙන්ම මෙරට දේශපාලන පක්ෂ නියෝජිතයන්ද මේ පිළිබඳ තානාපති අංශවලින් කරුණු විමසන්නට වූයේ මෙහි ඇත්ත නැත්ත දැනගැනීමටය. ඒ සඳහා විශේෂ හේතුවක් තිබේ. එම විශේෂ හේතුව වෙන මොකක්වත් නොව ආණ්ඩුව මීට පෙර රටට කියපු ඇතැම් ජාත්‍යන්තර කතා අලි බොරු බව ඇස් පනාපිටම ඔප්පු වී තිබීම නිසාය. උදාහරණයක් ලෙස වරක් ආණ්ඩුව ජපානය ලංකාව මුල් කරගෙන ණය සමුළුවක් පවත්වන්නට තීරණය කර ඇති බව රටට කියා සිටියේය. ජාත්‍යන්තර මාධ්‍ය මෙම කතාව වාර්තා කරද්දී ජපානය හැරෙන තැපෑලෙන් කියා සිටියේ එවැනි කිසිම තීන්දුවක් ගෙන නොමැති බවය. අනතුරුව ජපානය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මැදිහත්කරුවකු වීමට කැමැත්ත ප්‍රකාශ කොට ඇති බව ආණ්ඩුව කියා සිටියේය. එහිදීද ජාත්‍යන්තර මාධ්‍ය මෙම කතාව වාර්තා කරද්දී හැරෙන තැපෑලෙන් ජපානය එම පුවත ප්‍රතික්ෂේප කළේය. තානාපති අංශ නිලධාරීනුත්, දේශපාලන පක්ෂ නියෝජිතයනුත් ජනාධිපතිවරයා සියඹලාණ්ඩුවට ගොස් කී මේ චීන මුදල් ඇමැතිවරයා සමග සාකච්ඡා කළ කතාවේ ඇත්ත නැත්ත විපරම් කිරීමට පියවර ගත්තෙ ආණ්ඩුවේ මේ පුරුද්ද දන්නා නිසාමය.
චීන තානාපතිට දිගින් දිගටම ඇමතුම්!
ඒ සඳහා ඔවුන් කතා කළේ ඒ පිළිබඳ හොඳින්ම කරුණු දන්නා මෙරට චීන තානාපති කී ෂෙන්හොන්ග් මහතාටය. එහිදී චීන තානාපතිවරයා මෙම කතාවේ ඇත්ත නැත්ත සහ කතාවේ දිග පළල නිසි ආකාරයට අනාවරණ කිරීමට පියවර ගත්තේය.
‘ඔව් සිකුරාදා දිනයේ චීන මුදල් ඇමැතිවරයා සමග ජනාධිපතිවරයා දුරකතන සාකච්ඡාවක් පැවැත්වූවා. ඒක සිද්ධ වුණේ ලංකා ආණ්ඩුව පාර්ශ්වයෙන් දිගින් දිගටම කළ ඉල්ලීමකට අනුවයි. එහෙම නැතිව චීනයේ අවශ්‍යතාව මත එහෙම සාකච්ඡාවක් පැවැත්තුවා නෙවෙයි…’ යනුවෙන් චීන තානාපතිවරයා පිරිසට දැනුම්දී තිබිණි.
ණය ගැන තානාපති කියපු දේ!
එහිදී මෙම පිරිස් යළිත් විමසා සිටියේ ජනාධිපතිවරයා ප්‍රකාශ කළ පරිදි චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ එකඟතාවකට පැමිණියේද යන්න පිළිබඳවය. ඊට නම් චීන තානාපතිවරයාගෙන් ලැබුණේ අපූරු පිළිතුරකි.
‘චීන මුදල් ඇමැතිවරයා හා ජනාධිපතිතුමා අතර ඉතා සුහද සාකච්ඡාවක් සිදුවුණා තමයි. හැබැයි මම දන්න විදියට නම් චීනය පැත්තෙන් ඒ ගැන එහෙම පොරොන්දුවක් දීලා නෑ…’ යැයි කී චීන තානාපතිවරයා ඉතා උපහාසාත්මක ලෙස ලංකාව මෙහිදී අනුගමනය කර ඇති ක්‍රමවේදය පිළිබඳ අදහස් දැක්වීමටද පියවර ගත් ආකාරයක් දැකගත හැකි විය.
ලංකාව වැඩේ අනාගෙනද?
‘අනෙක් කාරණය තමයි ලංකාවේ ආණ්ඩුව මේ ණය ප්‍රතිව්‍යුහගත කරන එක ගැන චින ආණ්ඩුවත් එක්ක කතා කළේ නෑ. කතා කරලා තියෙන්නේ ඒ ණය ගත්ත චීන බැංකුත් එක්ක. ඉතින් බැංකුවල තියෙන නීතිරීති අනුව ඒ අය ඒක බලාගනීවි. අපට දැන් ඉතින් ඒකට කරන්න දෙයක් නෑ…’ යන්න තානාපතිවරයා එහිදී කියා සිටි කරුණ විය.
බැංකු පිටින්ම තියා චීනය අතපිහිදාගෙන!
චීන තානාපතිවරයාගේ මේ කතාව අනුව එක දෙයක් පැහැදිලිය. ඒ, කෙටි මාර්ග සෙවීමට ගොස් ආණ්ඩුව චීන ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය අනාගෙන ඇති බවය. චීන රජයද ලංකාව අනුගමනය කළ ක්‍රියාපටිපාටියට අනුව යමින් මෙම වැඩපිළිවෙළ චීන බැංකු පිටම තබා ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියෙන් අත පිසදාගෙන ඇති බවය.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානම කොන්දේසිය වන චීන ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය මේ වන විට ඇත්තේ අර්බුදකාරී තත්ත්වයකට පත්වය.
එන පොට හරි නෑ!
කෙසේවෙතත් අප මේ පිළිබඳ කරුණු සොයා බලා වාර්තා කළේද කරුණු දෙකක් මුල් කරගෙනය. පළමු කරුණ වන්නේ අන් කිසිදු මාධ්‍යයක් මෙම තොරතුරු වාර්තා නොකිරීම හේතුකොටගනය. අනෙක් කරුණ වන්නේ මුළු රටම මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදල් ආධාර දෙස බලා සිටියදී ඔවුන්ගේ ප්‍රධාන කොන්දේසිය වන චීන ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියේ ඇත්ත තත්ත්වය රටේ ජනතාව දැනගත යුතු වීම හේතුකොටගෙනය. ඒ ඇත්ත තත්ත්වය නම් ජනාධිපතිවරයා සියඹලාණ්ඩුවේ ගොස් කුමක් කීවද චීන ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය තවමත් අස්ථාවර අඩියක පවතින බවය.
තවම ඉන්දියාවෙනුත් වෙලාව දීලා නෑ!
චීනය සමග අර්බුදය මේ ආකාරයට මතුවෙද්දී අනෙක් පැත්තෙන් ආණ්ඩුව ඉන්දියාව සමගද අර්බුදයක් ඇති කරගෙන ඇති බවක් පෙනී යන්නේ තවමත් ජනාධිපතිවරයාට ඉන්දියාවෙන් නිල ආරාධනාවක් ලැබී නොතිබීම හේතුවෙනි. සාමාන්‍යයෙන් ලංකාවේ නව ජනාධිපතිවරයකු පත්වූ වහාම ඔහුගේ පළමු සංචාරය බවට පත්වන්නේ ඉන්දියාවය. ඒ, ඉන්දියාව යනු ප්‍රධාන අසල්වැසියා මෙන්ම කලාපයේ බලවතාද වීම නිසාය. ඒ හේතුවෙන් ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීම කළ සැණින් නව ජනාධිපතිවරයාට ඉන්දීය රජය කාලවේලාව වෙන් කිරීම මෙතෙක් පැවැති සම්ප්‍රදාය විය.
ඒ අනුව යමින් පාර්ලිමේන්තුවෙන් නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීමෙන් පසු ආණ්ඩුව ඉන්දියාවෙන් හමුවීමක් සඳහා වේලාව ඉල්ලා තිබිණි. නමුත් ඉන්දියාව සිටියේ නිහඬ ප්‍රතිපත්තියකය. ඊට හේතුව කුමක්ද යන්න නිශ්චිතව කිව නොහැකි නමුත් ආණ්ඩුව දිගින් දිගටම ඉල්ලීම් කරද්දීත් ඉන්දියාවෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම විශේෂ සිදුවීමක් විය.
මිලින්ද වෙලාව ගන්න වැඩේට බහී!
කෙසේ වෙතත් දිගින් දිගටම නරේන්ද්‍ර මෝදි රජයෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් මේ වන විට අලුතෙන්ම මෙම මෙහෙයුමට එක්තරා විශේෂ පුද්ගලයෙක් මැදිහත් වී තිබේ. ඒ, වෙන කවුරුවත් නොව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා වූ මිලින්ද මොරගොඩ මහතාය. ඒ සඳහා ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මිලින්දට සිය තනතුරට අමතරව ඉන්දීය රජයේ ප්‍රබලයන් සමග සමීප සබඳතා පැවැතීමය. ඒ අනුව පසුගිය සතියේදී මිලින්ද සිය පෞද්ගලික සම්බන්ධතා උපයෝගී කරගනිමින් මෙම මෙහෙයුමට අවතීර්ණ විය. එහි සාර්ථක අසාර්ථක බව අපට ඉදිරියේදී දැකගැනීමට පුළුවන.
බංග්ලාදේශයත් දීපු ණය ආපහු ඉල්ලයි!
මේ අතර පසුගිය සතියේ බංගලාදේශ මුදල් ඇමැතිවරයා සහ ශ්‍රී ලංකාවේ බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එම සාකච්ඡා පැවැත්වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සැසිවාරයන්ට සහභාගි වීම සඳහා රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ හා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් ඇමෙරිකාවට ගොස් සිටියදීය. මෙම සාකච්ඡාවේදී බංග්ලාදේශ බලධාරීන් විසින් ලංකාවට ලබාදී ඇති ඩොලර් මිලියන 300ක ස්වැප් පහසුකම පිළිබඳ සිහිකැඳවීමක් කිරීමට පියවර ගනු ලැබීය. එහිදී ඔවුන් කියා සිටියේ දැනට දෙවතාවක්ම මෙම මුදල් පියවීම සඳහා කල් ලබාදුන් බවත්, තවදුරටත් ඒ කාලය දීර්ඝ කළ නොහැකි බවත්ය. ඒ අනුව නිසි වේලාවට එම මුදල පියවනු ඇති බවට බංග්ලාදේශය බලාපොරොත්තුවෙන් සිටින බවද එරට මුදල් ඇමැතිවරයා ආණ්ඩුවේ බලධාරීන්ට දැනුම්දී සිටියේය.
ආණ්ඩුව ජන්ද කල් දාන ගේමක!
මේ සියල්ල අතරවාරයේ මේ වන විට පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්ද ඉතා උණුසුම් කතාබහක් ආණ්ඩුව ඇතුළේ මෙන්ම රට ඇතුළේද මතුව තිබේ. සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ සියලු පක්ෂ ‘පවතින නීතියට අනුව‘ මැතිවරණ පවත්වන ලෙස ඉල්ලා ආණ්ඩුවට බලකරන මෙහෙයුමක් මේ වනවිට ආරම්භ කොට තිබේ. ‘පවතින නීතියට අනුව’ යනුවෙන් ඔවුන් අවධාරණය කර සිටින්නේ ලබන මාර්තු මාසයට කලින් පළාත් පාලන මැතිවරණය පවත්වා අවසන් විය යුතුව ඇතත්, ආණ්ඩුව මේ වන විට පළාත් පාලන මැතිවරණය විවිධ උපක්‍රම සහ උප්පරවැට්ටි යොදාගෙන කල් දැමීමට සැලසුම් කරමින් සිටින නිසාය.
රනිල් කරුවත් එළියට අරන් එයි!
ආණ්ඩුවේ මෙම උත්සාහය පළමු වතාවට එළියට පැන්නේ ජනාධිපතිවරයා සහ එජාප වෘත්තීයවේදීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය. මෙම සාකච්ඡාවේදී පළමු වරට ජනාධිපතිවරයා පළාත් පාලන ආයතනවල සිටින 8,000ක ප්‍රමාණය 4,000 දක්වා අඩු කළ යුතු බවත්, සභාපතිවරයා සතු බලතල සභාපතිවරයා ඇතුළු කමිටුවකට පැවරිය යුතු බවත් ප්‍රකාශ කළ අතර අවශ්‍ය නම් ඊට ජනමත විචාරණයක් පවා පැවැත්වීමට හැකි බව ප්‍රකාශ කර සිටියේය. එමෙන්ම මෙහිදී මෙම ප්‍රකාශය මධ්‍යස්ථ එකක් බව පෙන්වීමට හිටපු කතානායකවරයකු වූ කරු ජයසූරිය මහතා යෝජනා කොට ඇති ජනසභා ක්‍රමය උපයෝගී කොටගත හැකි බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.
කැබිනට්ටුවේදී කතාව ඇදුනාම රනිල් කියපු දේ!
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම සම්පූර්ණ ප්‍රකාශයම පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කරන ලද උප්පරවැට්ටියක් බව ඒ මොහොතේ සිටම විපක්ෂය රටට පෙන්වා දුන් කාරණයක් විය. වරෙක කැබිනට් මණ්ඩල රැස්වීමේදී පවා විපක්ෂය මතු කරන මෙම චෝදනාව පිළිබඳ ඇමැතිවරුන් කිහිප දෙනකුම ආණ්ඩුවට අවාසිදායක බව ජනාධිපතිවරයාට පෙන්වා දෙද්දී ජනාධිපතිවරයා කියා සිටියේ ‘නෑ මම මේක ගේන්නේ ඡන්ද කල්දාන්න නෙවෙයි. රටම ඉල්ලලන්නේ සිස්ටම් චේන්ජ් එකක්. ඒකටයි මම මේක කරන්නේ…’ යැයි කියාය.
රනිල් කරුවයි වික්ටර් අයිවන්වයි කැබිනට් එකට අරන් එයි!
කෙසේ වෙතත් කැබිනට් මණ්ඩලය හමුවේ මෙවැනි ප්‍රකාශයක් කළ ජනාධිපතිවරයා පසුගිය සතියේම එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට පියවර ගත්තේය. ඒ, මෙම කටයුත්ත මධ්‍යස්ථ වැඩක් ලෙස පෙන්වීම සඳහා කරු ජයසූරිය ලවා කැබිනට් ඇමැතිවරුන්ට ජනසභා ක්‍රමය පිළිබඳ දේශනයක් පැවැත්වීමට සැලසුම් කිරීම හරහාය. ජනාධිපතිවරයා ඊට තවත් පුද්ගලයකු සම්බන්ධ කළේය. ඒ, සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන වික්ටර් අයිවන්ය. ඒ අනුව පසුගිය සතියේ ‘කාටත් හොරා’ ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමට කරු සහ වික්ටර් අයිවන් කැඳවීමට පියවර ගත්තේය. එසේ කොට ජනසභා ක්‍රමය පිළිබඳ ඔවුන් ලවා කැබිනට් අමාත්‍යවරුන්ට දේශනයක් ලබාදීමට පියවර ගත්තේය. නමුත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ආණ්ඩුව පැත්තෙන් හෝ කරුගේ පැත්තෙන් මේ පිළිබඳ වචනයක්වත් එළියට නොදැමීමය.
කරු උපක්‍රමයට අහුවෙලාද?
එසේ වුවත් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට කරුවත්, වික්ටර් අයිවන්වත් කැඳවා ජනසභා ක්‍රමය පිළිබඳ දේශනයක් දී ඇති පුවත රහසක් ලෙස තබාගන්නට ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ නැත. ඒ අනුව සියල්ලන්ම පුදුමයට පත්වූ කාරණාව වූයේ කරු වැනි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ නොබියව සටන් කළ පුද්ගලයකු විශේෂයෙන් රාජපක්ෂවරුන්ගේ දින 52 කුමන්ත්‍රණයේදී ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සිටගත් අයකු දැන හෝ නොදැන ආණ්ඩුවේ ඡන්ද කල්දැමීමෙ උපක්‍රමයට හසුවී තිබීම පිළිබඳවය. අනෙක් අතට මැතිවරණ කොමිසම පවා මාර්තුවට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වා අවසන් කරන බවට නිල නිවේදනයක් නිකුත් කර තිබියදී ආණ්ඩුව කරුගේ ජනසභා පෙන්වා මැතිවරණය කල්දැමීමට දරන උත්සාහයට එරෙහි විපක්ෂය මේ වන විට තීන්දු කොට ඇත්තේ පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් දැවැන්ත සටනක් ආරම්භ කිරීමටය.
ඩලස් ජන්ද ගන්න විපක්ෂ එකතු කරයි! ජවිපෙ මගහරී!
ඒ සඳහා විපක්ෂය එකමුතු කරන සටනට අත තිබ්බේ පොහොට්ටුවේ සිට ඉන් ඉවත්ව ‘නිදහස මහජන සභාව’ නිර්මාණය කළ ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ කණ්ඩායමය. ඒ අනුව මුලින්ම ඩලස් – ජී.එල්. ඇතුළු කණ්ඩායම මැතිවරණ කොමිසම මුණගැසී මේ පිළිබඳ සාකච්ඡා කළහ. දෙවනුව විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නියෝජිතයන් එක මේසයක අසුන්ගෙන සාකච්ඡා කිරීම සඳහා තලවතුගොඩ මොනාක් ඉම්පීරියල් හෝටලයේ විශේෂ සාකච්ඡාවක් සංවිධාන කළහ. ඊට ආරාධනා කර තිබුණද ජවිපෙ හැර අනෙක් සියලු විපක්ෂ මන්ත්‍රීවරුන් සහ නියෝජිතයන් ඊට එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. එම සාකච්ඡාවේදී එළඹුණු ප්‍රධානම තීන්දුවක් වූයේ මැතිවරණ කල්දැමීමට එරෙහිව විපක්ෂයේ සියලු පක්ෂ සහ සිවිල් සංවිධාන එකතුව ඒකාබද්ධ ප්‍රකාශයකට අස්සන් තැබීමය. ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී පාර්ලිමේන්තුවේ කමිටු අංක 7දී මෙම කටයුත්ත සංවිධාන කිරීමට ඩලස් පිල කටයුතු කළහ. මෙහිදීද දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ විපක්ෂයේ පක්ෂවලට අමතරව පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පෙරටුගාමී සමාජවාදී පක්ෂයද පැමිණ ඊට අස්සන් තැබුවද ජනතා විමුක්ති පෙරමුණ පමණක් ඊට අස්සන් තැබීමට නොපැමිණීමය.
ආණ්ඩුවට අධිකරණයෙන් පරාජයක්!
ඒ අතරවාරයේ ආණ්ඩුවට පසුගිය සතියේ තවත් දේශපාලන පරාජයකට මුහුණ දෙන්නට සිදුවිය. ඒ, ආණ්ඩුව ඉදිරිපත් කළ පුනරුත්ථාපන පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරනු ලැබ තිබීම හේතුකොටගෙනය. විපක්ෂයේ චෝදනාව වී තිබුණේ ආණ්ඩුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් අරගලකරුවන් ඉලක්ක කර මෙම පනත ගෙන ඒමට කටයුතු කරනවා යැයි කියාය. ඒ නිසාම සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ඊට එරෙහිව අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමට පියවර ගෙන තිබිණි. එම පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය අවසානයේදී තීන්දු කර තිබුණේ එම පුනරුත්ථාපන පනතින් අරගලකරුවන්, සටන්කරුවන් යන වචන ඉවත් කළ යුතු බවත්, අවශ්‍ය නම් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමට ඊට ඇතුළත් කළ හැකි බවත්ය. අධිකරණය මගින් ආණ්ඩුවට දුන් මෙම ප්‍රබල සංඥාවත් සමග ආණ්ඩුවද දැන් තක්කු මුක්කු වී සිටින්නේ මැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන් විපක්ෂය ගැනීමට සූදානම් වන අධිකරණ ක්‍රියාමාර්ගයන්වලදී කුමන තීන්දුවක් අධිකරණය මගින් ලබාදෙනු ඇද්දැයි කියාය. ආණ්ඩුව කරුගේ ජනසභා ක්‍රමය ඉදිරියට දමා වැඩේ ගොඩින් බේරාගැනීමට සැලසුම් සකස් කරන්නේ ඒ නිසා බව විපක්ෂයේ බොහෝ දෙනාගේ කල්පනාවය.
සජිත්ගෙන් මැතිවරණ කොමිසමට ඇමතුමක්!
මේ අතරවාරයේ පසුගිය සතියේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතාට දුරකතන ඇමතුමක් ලබාදීමට පියවර ගත්තේය. ඒ, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහාය. සජිත් එහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් විමසා සිටියේ තමන් එම සතියේදී පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට සූදානමින් සිටින බවත්, මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කොමිසමේ ස්ථාවරය කුමක්ද යන්නත්ය. එහිදී ඍජුවම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සජිත්ට කියා සිටියේ තම කොමිසම කිසිසේත්ම ඡන්ද කල්දමන ස්ථාවරයක නොමැති බවය. නමුත් දේශපාලනික වශයෙන් මැතිවරණය කල්දැමීම සඳහා විවිධ උපක්‍රම එල්ල විය හැකි බවත්, ඒ සම්බන්ධයෙන් කොමිසමද අවධානයෙන් සිටින බවත් සභාපතිවරයා සජිත්ට දැනුම්දී සිටියේය.
සභාපති දීපු උත්තරේ!
‘දැන් වුණත් අපට ඡන්දය ප්‍රකාශයට පත්කරන්න පුළුවන්. හැබැයි එහෙම කළොත් තරුණ ඡන්ද ලක්ෂ දෙකහමාරකට විතර අසාධාරණයක් වෙනවා. ඒ හින්දා ඡන්ද නාමලේඛනය සකස් කරලා අවසන් වුණු ගමන් අපි සූදානම් ඡන්දය ප්‍රකාශයට පත් කරන්න. නමුත් මේවට යම් යම් දේශපාලන බාධා එල්ල වෙන්න පුළුවන්. ඉතින් ඒ පැත්තෙන් මේ ගැන බලන්නත් ඕනෙ…’ යනුවෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සජිත්ට කියා සිටියේය.
22ට රනිල් ගහපු ගේම!
මේ අතර රනිල් පසුගිය සතියේ තීන්දු කර තිබුණේ 20 සහ 21 යන දෙදින තුළ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට විවාද කර සම්මත කරගැනීමටය. නමුත් එහිදී මූලික ප්‍රශ්නය බවට පත්ව තිබුණේ මුල් අදියරේදීම පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් ඇතුළු බැසිල් හිතවාදීන් කණ්ඩායමක් 22ට සහාය නොදෙන බවට ප්‍රකාශයට පත්කර සිටීමය. විශේෂයෙන් ද්විත්ව පුරවැසිභාවය ඇති අයකුට පාර්ලිමේන්තුවට පැමිණිය නොහැකි බවට 22හි ඇතුළත්ව තිබූ වගන්තිය ඔවුන්ගේ මෙම විරෝධයට හේතු විය. ඒ අනුව සාගර කාරියවසම්, සංජීව එදිරිමාන්න, ඩබ්.ඩී. වීරසිංහ ඇතුළු පිරිසක් පොහොට්ටුවේ ප්‍රධාන කාර්යාලයේ සිට මාධ්‍ය හමු පවත්වමින් 22ට තමන් විරුද්ධ බව ප්‍රසිද්ධියේම කියා සිටියහ.
පොහොට්ටුව විරුද්ධයි! සාගර එළිපිට කියයි!
මීට අමතරව මේ සම්බන්ධයෙන් පැවැති පළමු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සාගර කාරියවසම් කෙළින්ම ජනාධිපතිවරයාට කියා සිටියේ තමන් සමග 30 දෙනකුගේ මන්ත්‍රී කණ්ඩායමක් සිටින බවත්, 22 මේ අයුරින් ඉදිරිපත් කළහොත් ඊට විරුද්ධව ජන්දය ලබා දෙන බවත්, එසේ වුවහොත් එහි වගකීම 22 ඉදිරිපත් කරන අය විසින්ම භාරගත යුතු බවත්ය. නමුත් එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ එය තමන් විසින් ඉදිරිපත් කරන ලද සංශෝධනයක් නොවන බවත්, එය ගෝඨාභය විසින් ඉදිරිපත් කරන ලද්දක් බවත්, සංශෝධන ඇත්නම් ඒවා විජයදාස රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කොට විසඳගන්නා ලෙසත්ය. ජනාධිපතිවරයා එසේ කීවත් පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම තුළ පසුගිය සති කිහිපය පුරාම 22 සම්බන්ධයෙන් පැවැතියේ දැඩි විරෝධයකි.
විශේෂ රැස්වීමක් තියයි!
මේ නිසාම පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ මතය විමසීම සඳහා පොහොට්ටුවේ හදිසි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පැවැත්වීමට පියවර ගැනිණ. අඟහරුවාදා සවස සියලු මන්ත්‍රීවරුන්ට කළ දැනුම්දීමකින් කියැවුණේ බදාදා පෙරවරු 11ට පොහොට්ටුවේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පැවැත්වෙන බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙන බවත්ය. ඊට අධිකරණ ඇමැති විජයදාසද සහභාගි වන බැවින් පවතින ප්‍රශ්න එහිදී සාකච්ඡා කොට විසඳාගන්නා ලෙසද මෙම දැනුම්දීමෙන් වැඩිදුරටත් කියැවිණි.
විජයදාස මගහරී!
මෙම පණිවුඩය ලද වහා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් එකිදෙනාට කතා කරමින් විජයදාසගෙන් දැඩිව ප්‍රශ්න කළ යුතු බව කියා සිටි ආකාරයක් දැකගත හැකි විය. ඊට හේතුවී තිබුණේ විජයදාස ඊට පෙර දින මාධ්‍ය හමුවේ කර තිබූ කතාවකි. එම කතාවෙන් විජයදාස කියා තිබුණේ 22 වැනි සංශෝධනයට පොහොට්ටුවේ සියලු මන්ත්‍රීවරුන් සහාය ලබාදිය යුතු බවත්, එසේ නොවන මන්ත්‍රීවරුන් පිළිබඳ ජනතාව බලාගනු ඇති බවත්ය. කෙසේ වෙතත් මේ බව මොහොතක් යෑමට මත්තෙන් විජයදාසගේ කනටද වැටිණි. ඒ අනුව විජයදාස තීන්දු කළේ බදාදා පැවැත්වෙන රැස්වීමට සහභාගි නොවී සිටීමටය.
විරෝධය වැඩිවෙයි! ආශුට රනිල් එක්කන් එන්න කියයි!
ඒ අනුව රැස්වීම ආරම්භ වූයේ විජයදාස නොමැතිවය. මෙම රැස්වීමේදීද පොහොට්ටුවේ මන්ත්‍රීවරු සැලකිය යුතු පිරිසක් 22 වැනි සංශෝධනයට එරෙහිව අදහස් දැක්වීමට පියවර ගත්හ. ඔවුන්ගේ අදහස්වලට මහින්දද සාවධානව ඇහුන්කන් දී සිටි ආකාරයක් දැකගත හැකි විය. අවසානයේදී 22ට එරෙහිව දැඩි විරෝධයක් පොහොට්ටු මන්ත්‍රීවරුන් අතර මතුවෙද්දී මහින්ද කළේ මේ බව වහාම ජනාධිපතිවරයාට දැනුම් දෙන ලෙස දිනේෂ්ට උපදෙස් දීමය. ඒ වන විටත් ජනාධිපතිවරයා නියෝජනය කරමින් ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු ලේකම්වරයා වන අශූ මාරසිංහ මහතා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වී සිටි බැවින් දිනේෂ් කියා සිටියේ පවතින තත්ත්වය ජනාධිපතිවරයාට දැනුම් දීමට පියවර ගන්නා ලෙසය.
රනිල් ඒ වෙද්දිත් පාර්ලිමේන්තුවේ! වැඩේ දැනගෙනම කල් තියා ඇවිත්ද?
කෙසේ වෙතත් පොහොට්ටුවේ කවුරුත් නොදන්නා විශේෂ දෙයක් මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ සිදුවෙමින් තිබිණි. ඒ, පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම විරෝධය මතුවනු ඇති බව කල් තියාම දැන සිටි ජනාධිපතිවරයා බදාදා පෙරවරුවේම පාර්ලිමේන්තුවට පැමිණ සිය කාර්යාලයට වී සිටීමය. ඒ බව නොදැන සිටි දිනේෂ් ජනාධිපතිවරයාට තත්ත්වය වාර්තා කරන ලෙස අශූට දැනුම් දෙද්දී අශූ කියා සිටියේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සිය කාර්යාලයේ රැඳී සිටිනවා යැයි කියාය. ඒ අනුව අශූ ජනාධිපතිවරයා කැඳවාගෙන ඒමට රැස්වීමෙන් පිටව යද්දී මන්ත්‍රීවරු සිනාසෙමින් කීවේ, ‘වැඩේ ඔක්කොම කලින්ම සෙට් කරලා හෙමින් සැරේ ඇවිත් වාඩිවෙලා ඉන්නව නේද?’ යැයි කියාය. අශූ ගිය පසු පොහොට්ටු මන්ත්‍රීවරුන් එකිනෙකාට කියා සිටියේ, ‘අපි දැනගෙන හිටියේ නෑනේ රනිල් පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නවා කියලා. ඒ කියන්නේ මේක දැනගෙනම තමයි ඇවිත් තියෙන්නේ…’ යැයි කියාය.
එස්.බී. බලතල ඉල්ලයි!
ඒ අනුව ජනාධිපතිවරයා පැමිණීමෙන් පසු පළමුව අදහස් දැක්වීමට පටන් ගත්තේ එස්.බී. දිසානායකය. එස්.බී. පෙන්වා දුන්නේ විධායකය දුර්වල කරන සංශෝධනවලට සහාය ලබා නොදිය යුතු බවත්, රටක් දියුණු වීමට නම් විධායකය සතුව බලතල පැවැතිය යුතු බවත්ය. දියුණු වූ රටවල් පිළිබඳ උදාහරණ දක්වමින් එස්.බී. වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඒ සියලු රටවල් ආඥාදායකත්වයක් සහිතව දියුණු වූ රටවල් යැයි කියාය.
හිට්ලර් නෙමෙයි මොළයයි ඕන!
ඊට සිනාසෙමින් පිළිතුරු දුන් රනිල් කියා සිටියේ ආඥාදායකයෙක් ලෙස හඳුන්වමින් බලයට ගෙන ආ ගෝඨාට අවසානයේ රටින් පිටව යෑමට වැඩ සිදුවූ බවත්, ආඥාදායකයෙක් ලෙස නොව මොළය පාවිච්චි කොට වැඩකටයුතු කළ යුතු බවත්ය.
ගෝඨාට මොකද වුණේ!
‘දැන් ඔය ආඥාදායකයෙක් ගෙනාවා කියලා මේ වැඩ කරන්න බෑ. දැන් 20 වැනි සංශෝධනයෙන් විධායක බලතලත් වැඩි කරගෙන, තුනෙන් දෙකේ ආණ්ඩු බලයකුත් අතේ තියාගෙන ආඥාදායකයෙක් කියලා ගෙනාපු ගෝඨාභය රාජපක්ෂට මොකද වුණේ? එතුමට ලංකාවෙත් ඉන්න බැරි වුණා. එහෙම ආඥාදායකත්වයක් තිබුණා කියලා මේවා කරන්න බෑ. මමත් මෙතැනට ආවේ ඔක්කොමල්ලා හිට්ලර් කෙනෙක් ඉල්ලන වෙලාවක. හැබැයි එහෙම ඇවිත් මම මොළෙන් ගේම ගහගෙන යන්නේ. එහෙම තමයි මේක කරන්න ඕනෙ. මේ 22 වැනි සංශෝධනය අපි පාස් කරගන්න ඕනෙ. මොකද ජාත්‍යන්තරය මේ දිහා බලාගෙන ඉන්නේ. අපි ඒ අයට පෙන්වන්න ඕනෙ විධායක බලතල අඩු කරලා ප්‍රජාතන්ත්‍රවාදී විදියට ගමනක් යන්න ලෑස්තියි කියලා. ජාත්‍යන්තරය ඉන්නේ ඒ මතයේ. ඒ නිසා මේක අපට සම්මත කරගන්න බැරි වුණොත් ජාත්‍යන්තරයෙන් අපට එරෙහිව ලොකු ජන මතයක් හැදේවි. එහෙම වුණොත් මටත් මේක දිගටම අල්ලන් ඉන්න බෑ. ඒ වගේ තත්ත්වයක් උදා වුණොත් මටත් වෙන්නේ ලබන අප්‍රේල් වෙද්දී පාර්ලිමේන්තුව විසුරුවලා මහ ඡන්දයකට යන්න. හැබැයි ඕගොල්ලන්ට මේක සම්මත කළා කියලා අවුරුදු දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවන්නෙ නෑ කියලා මම සහතිකයක් දීලයි තියෙන්නේ…’ යනුවෙන් කියමින් රනිල් ඇඟට පතට නොදැනී හීන් සීරුවේ ජන්දය පෙන්වා පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම බියවැද්දීමට පියවර ගත්තේය.
කොමිසම්වලට ප්‍රහාරයක්!
එමෙන්ම 22 වැනි සංශෝධනයේ විධායක බලතල අඩු නොකොට එම බලතල අතට ගන්නා ආකාරය පිළිබඳවද රනිල් මෙහිදී මන්ත්‍රීවරුන් හමුවේ පැහැදිලි කිරීමක් කළේය.
‘දැන් බලන්න ගෝඨා ගෙනාපු 20 වැනි සංශෝධනයෙන් පත්කරපු කොමිෂන් සභාවල කිසිම පාලනයක් ආණ්ඩුවට නැතුව ගියා. ඒකෙන් ගෝඨටම වෙච්ච දේ බලන්නකො. අන්තිමට එතුමා පත්කරපු අයම එතුමාට කටුනායකින් යන්න දුන්නෙ නෑ. මගේ ගේ ගිනිතිබ්බා. අන්තිමට මානව හිමිකම් කොමිසමෙන් කළේ මොකක්ද, මගේ ගේ ගිනිතිබ්බ අය හොයනවා වෙනුවට, මගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාගෙන් ප්‍රශ්න කරපු එකයි…’ යනුවෙන් කී ජනාධිපතිවරයා මැතිවරණ කොමිසමට සහ එහි සභාපති නිමල් පුංචිහේවා මහතාට එරෙහිවද දැඩි ප්‍රහාරයක් දියත් කිරීමටද පියවර ගත්තේය.
ආණ්ඩුව එක්වෙමු! විපක්ෂය බෙදමු!
‘අනෙක දැන් බලන්න මැතිවරණ කොමිසම මේ වෙලාවෙ ඡන්ද තියන්න හදනවා. මේක මේ ඡන්ද තියන වෙලාවක්ද? අපට ඒක පාලනය කරන්න විදියක් නෑ. මම ඒකයි මේ 22 ගෙනල්ලා මේ බලය ආපහු අපේ පාලනයට ගන්න හදන්නේ. 22 සම්මත වුණාම මගේ බලය නැතිවෙන්නේ නෑ. මම ඒවා හිතලා තමයි මේක ගේන්නේ. 22 සම්මත වුණාම අපි ඒක හරහා කොමිෂන් සභාවලට අපට ගැළපෙන නියෝජිතයන් පත්කරලා ඒවායෙ පාලනය අතට ගන්න පුළුවන්. ඒ හින්දා අපි මේ වෙලාවෙ කරන්න ඕනෙ මේකට ආණ්ඩුව බෙදෙන එක නෙවෙයි, මේක හරහා විපක්ෂය බෙදන එකයි. විපක්ෂය බෙදන එක අපි සාර්ථකව කරලා තියෙනවා….’ යනුවෙන් ජනාධිපතිවරයා 22 සම්බන්ධයෙන් සිය ස්ථාවරය පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමට දැනුම්දී සිටියේය.
සංජීව විරෝධය පළ කරයි!
ඉන් අනතුරුව කතා කළේ සංජීව එදිරිමාන්නය. සංජීව කියා සිටියේ ද්විත්ව පුරවැසි බව හිමි අයකුට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි බවට වූ වගන්තියට තමන් විරුදධ බවත්, ඒ හේතුවෙන් තමන් ඊට ඡන්දය පාවිච්චි නොකරන බවත්ය. මෙම සංශෝධන පුද්ගලයන් ඉලක්ක කොට ගෙන එන ඒවා බැවින් ඊට අත එසවීමට තමන් සූදානම් නැති බව මෙහිදී සංජීව ජනාධිපතිවරයාට කියා සිටියේය. ඊටද ජනාධිපතිවරයා දුන්නේ ඇඟ බේරාගන්නා පිළිතුරකි.
රනිල්ගෙන් අමුතු වචනයක්! පොහොට්ටුවම හොල්මන් වෙයි!
‘මේක මමවත්, විජයදාසවත් ගෙනාපු සංශෝධනයක් නෙවෙයි. මේක ගෙනාවෙ හිටපු ජනාධිපති ගෝඨාභය මැතිතුමා. එතුමා තමයි මේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ වගන්තිය මේකට දැම්මේ. ඒක හින්දා මට ඒ ගැන ප්‍රශ්නයක් නෑ. ඒක ඔබතුමාලා විජයදාසත් එක්කත් කතා කරලා ඒකට කමිටු අවස්ථාවෙදී සංශෝධන අරන් එන්න. මම මේ කරන්නේ ‘ඔරේන්ජ් ඔපරේෂන්’ එකක්. පුටින් යුක්රේනයේ කරන්නේ ‘ඔරේන්ජ් රෙවලූෂන්’ එකක්. ඔරේන්ජ් ඔපරේෂන් කියන්නේ ජනමතයක් තියෙනවා කියලා පෙන්නලා ඒකට ජනතාවගේ අනුමැතිය ගන්න එක. මම මේ දවස්වල කරන්නේ ඒක….’ යනුවෙන් ජනාධිපතිවරයා අමුතු වචන භාවිත කරමින් සිදුකළ විග්‍රහයෙන් පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම තක්කු මුක්කු වී ගිය ආකාරයක් දැකගත හැකි විය.
තාරක පොහොට්ටුව බෙදයි!
ඒ අනුව පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 22ට එරෙහි මතයක සිට මෙම රැස්වීමට සහභාගි වුණත්, අවසානයේ ජනාධිපතිවරයා අමුතු වචන දමමින් කළ අදහස් දැක්වීමෙන් පසු ඒ මොහොතේදීම පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම තුළ 22 මුල් කරගෙන බෙදීමක් ඇතිවූ ආකාරයක් දැකගත හැකි විය. එය පැහැදිලිවම දැකගන්නට ලැබුණේ ඒ අවස්ථාවේදීම රාජපක්ෂවරුන්ට ළැදි පවුලක් සේ සැලකෙන බාලසූරිය පවුල නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා 22ට පක්ෂව සිය ස්ථාවරය ප්‍රකාශ කිරීමය. බාලසූරිය පවුල රාජපක්ෂ ළැදි බවට සඳහන් කළේ මහින්ද බලයේ සිටින සමයේදී තාරක බාලසූරියගේ පියා වන ජගත් බාලසූරියට සහ කුමාරි බාලසූරියට ආණ්ඩුවේ ඉහළ තනතුර ලබාදීමට මහින්ද පියවර ගෙන තිබීම නිසාය. නමුත් මෙහිදී අදහස් දැක්වූ තාරක බාලසූරිය කියා සිටියේ තමන් පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටිමින් මෙම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වීමට කටයුතු නොකරන බවත්, ජනතාව ඉලක්ක කරගෙන ගෙන එන මෙම සංශෝධනයට සහාය ලබාදෙන බවත්ය.
මහින්ද රැස්වීමෙන් නැගිට යයි!
තාරකගේ මෙම ප්‍රකාශයත් සමග ජනාධිපතිවරයා රැස්වීමට පැමිණීමට පෙර තිබූ උණුසුම්කාරී තත්ත්වය පහව ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. ඊට බලපෑ තවත් ප්‍රධාන හේතුවක් වූයේ මෙම ව්‍යවස්ථා සංශෝධනයට විපක්ෂයේ සහාය හිමිවන බවට රනිල් දිගින් දිගටම පොහොට්ටුවෙ මන්ත්‍රී කණ්ඩායමට පෙන්වා දීමය. එමෙන්ම මෙම අවස්ථාවේදී එතෙක් වේලා රැස්වීමේ සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද තමන්ට අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා රැස්වීමෙන් පිටව ගිය ආකාරයක්ද දැකගන්නට ලැබිණ.
පොහාට්ටුවෙන් සජිත්ටත් ඇමතුමක්!
ඒ අනුව තරමක වික්ෂිප්තභාවයකට පත්ව සිටි පොහොට්ටු මන්ත්‍රීවරුන් රැස්වීමෙන් පිටතට පැමිණ නැවත වතාවක් වෙනම හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගත්හ. එම සාකච්ජාවට ජොන්ස්ටන්, සාගර කාරියවසම් සහ සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ. මෙහිදී ඔවුන් එකිනෙකාගෙන් විමසා සිටියේ දැන් ගන්නා තීන්දුව කුමක්දැයි කියාය. ඒ අනුව තීන්දුවක් ගැනීම සඳහා වහාම බැසිල් සම්බන්ධ කරගන්නා ලෙසත්, නාමල් සමග සාකච්ඡා කරන ලෙසත් එහිදී කියැවිණි. එමෙන්ම මෙම හමුවේදී ජනාධිපතිවරයා දිගින් දිගටම කියා සිටි කතාවක් වූ විපක්ෂයේ සහාය 22ට හිමිවනවා යැයි කී කතාව තහවුරු කරගැනීමටද පොහොට්ටු මන්ත්‍රීවරු පියවර ගත්හ. ඒ අනුව එක් මන්ත්‍රීවරයකු විපක්ෂ නායක සජිත්ටද දුරකතන ඇමතුමක් දී මේ සම්බන්ධයෙන් විමසා සිටීමට පියවර ගත්තේය. සජිත් කියා සිටියේ කොන්දේසි සහිතව ඊට සහාය ලබා දීමට සජබය සැලසුම් කරමින් සිටින බවය. එමෙන්ම ඒ වන විට සජිත්ටද ජනාධිපතිවරයා පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සජබය 22ට සහාය ලබාදෙන බව කිහිප වතාවක්ම කියා ඇති බවටත්, ස්වාධීන කොමිෂන් සභාවල බලය අතට ගන්නා බවටත්, ඉන් අනතුරුව සජබය දෙකඩ කරන බවටත් ප්‍රකාශ කොට ඇති බවට තොරතුරු වාර්තා වී තිබිණි. සජබය විකුණා රනිල් පොහොට්ටුව බයකොට ඇති බවටද සජිත්ට තොරතුරු වාර්තා වී තිබිණි.
නාමල්ගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුව රැස්වෙයි!
මේ අතරවාරයේ නාමල් සමග මන්ත්‍රී කණ්ඩායම නැවත වතාවක් සාකච්ඡා කළේ 22ට ගන්නා තීන්දුව කුමක්දැයි කියාය. මෙහිදී මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු නාමල්ගෙන් විමසා සිටියේ ජනාධිපතිවරයා කියන ආකාරයට කොමිසම්වල බලයත් ජනාධිපතිවරයාට හිමිවනවා නම්, සජබයත් දෙකඩ කරනවා නම් 22ට විරුද්ධ වන්නේ කුමන පදනමක් මතද යන්නය. එම නිසා 22ට පක්ෂව ඡන්දය ලබාදී කමිටු අවස්ථාවේදී ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී මන්ත්‍රීවරුන්ට ඊට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ලබාදීමට ඉඩ සලසා දිය යුතු බවට එහිදී මන්ත්‍රීවරු යෝජනා කළහ. නමුත් එහිදීද 22 සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට හැකි වූයේ නැත.
සජිත් කණ්ඩායම කැදවයි!
මේ අතර සජබයද පසුගිය බ්‍රහස්පතින්දා (20) දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම කැඳවීමට පියවර ගත්තේය. ඒ, කොළඹ විපක්ෂ නායක කාර්යාලයේය. එහිදී විශේෂ කරුණු දෙකක් පිළිබඳ මූලික අවධානය යොමු විය. එකක් ආණ්ඩුව ගෙන එන්නට නියමිත 22 වැනි සංශෝධනයයි. අනෙක මැතිවරණ කල්දැමීමට ආණ්ඩුව ගනිමින් සිටින උත්සාහයයි.
‘අවස්ථාවාදී විදිහට, එක එක්කෙනාගේ දේශපාලන වුවමනාවලට අනුව ව්‍යවස්ථා සංශෝධන කරන්න ඉඩ දෙන්න බැහැ. මේක වැරදි පූර්වාදර්ශයක් වෙලා තියෙනවා. ව්‍යවස්ථාවක් කියලා කියන්නේ රටක සුවිශේෂම ලියවිල්ල. ඒක මේ වාර ප්‍රකාශනයක් නෙවේ…’ යැයි කියමින් විපක්ෂ නායක සජිත් අදහස් දැක්වීම ආරම්භ කළේ එහෙමය.
‘ඔබතුමා හරියටම හරි. 17ට, 18ට, 19ට, 20ට මේ සේරටම අත උස්සපු අය පාර්ලිමේන්තුවේ ඉන්නවා….’ හර්ෂ කීවේය.
‘පාර්ලිමේන්තු විසුරුවන කාලය වසර දෙක හමාරයි. ව්‍යවස්ථාදායක සභාව ගැන සංශෝධනය පිළිගත යුතුයි. ද්විත්ව පුරවැසි තහනම ක්‍රියාත්මක කළ යුතුයි. මේ කොන්දේසි මත තමයි අපි 22 ගැන තීන්දුවක් ගන්න ඕන…’ කිරිඇල්ල කීවේය.
සජිත් රටට දුන් හුස්ම!
මේ අතර’සමගි ජන බලවේගයෙන් ‘හුස්මක්’ 53 වැනි අදියර ලෙස රුපියල් 550,000ක් වටිනා දන්ත ශල්‍ය වෛද්‍ය උපකරණ මහරගම මුඛ සෞඛ්‍ය ආයතනයට පරිත්‍යාග කිරීමේ අවස්ථාව සිදුවිය. ඒ, විපක්ෂ නායක සජිත්ගේ ප්‍රධානත්වයෙනි.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ‘සමගි ජන බලවේගයෙන් හුස්මක්’ වැඩසටහනට සමගාමීව’සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහන් 53ක් තුළ රුපියල් 160,266,900ක රෝහල් උපකරණ සහ ඖෂධ පරිත්‍යාග කොට තිබේ.
‘බල න්‍යාය පත්‍රය අතේ තියාගත්ත ආණ්ඩුවකට බෙහෙත් නැතුව රෝගීන් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙනවා කියන එක පේන්නේ නෑ. ජනතාවට තියෙන්නේ ජීවත්වීම පිළිබඳ සටනක්. ආණ්ඩුවට තියෙන්නේ බලය රැකගැනීම පිළිබඳ සටනක්. දෙමව්පියන්ට තියෙන්නෙ තමන්ගෙ දරුවට හරිහමන් කෑම වේලක් දීලා අධ්‍යාපනයක් ලබාදීම පිළිබඳ සටනක්. ආණ්ඩුවට තියෙන්නේ ඇමැතිවරු ටික පත්කිරීම ගැන සටනක්. මේ රටේ තරුණ පරම්පරාවට තියෙන්නෙ රස්සාවක් කරලා ඔළුව උස්සා ගැනීමේ සටනක්. ආණ්ඩුවට තියෙන්නෙ තරුණයන් මර්දනය කිරීම පිළිබඳ සටනක්. මේ රටේ දූ දරුවන්ට තියෙන්නෙ ලස්සන රටක් නිර්මාණය කිරීමේ සටනක්. ආණ්ඩුවට තියෙන්නේ ඩීල් එකක් දාලා කීයක් හරි හම්බ කරගැනීමේ සටනක්. අපෙයි ආණ්ඩුවෙයි වෙනස මොකද්? අපි ඉන්නේ කොන්දේසි විරහිතව ජනතාවගේ සටනත් එක්ක. ආණ්ඩුව ඉන්නේ ඕනෙම දෙකයි පනහේ වැඩක් කරලා බලය තහවුරු කරගැනීමේ සටනක් එක්ක…..’ සජිත් වැඩසටහනෙන් අනතුරුව මාධ්‍ය අමතා එහෙම කීවේය.