ලෝක කුසලාන සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාවේ පළමු තරගය ලෙසින් අද (23) හෝර්බාර්ට් හී පැවැත්වෙන අයර්ලන්තය සමග තරගයේදී ආරම්භ පිතිකරු පැතුම් නිශ්ශංක සහ වේග පන්දු යවන ප්‍රමෝද මධුෂාන් ක්‍රීඩා නොකරන බව වාර්තා වේ.
සුළු අබාධවලට ලක්ව සිටි මේ දෙදෙනාගේ සහභාගීත්වය, වඩාත් අභියෝගාත්මක ඉදිරි තරග වෙනුවෙන් ලබාගැනීමේ අපේක්ෂාව සහිතව ඔවුන්ව තවදුරටත් විවේක ගැන්වීමට තීරණය කර ඇති අතර ලබන 25 වැනිදා පර්ත් හී පැවැත්වීමට යෙදී ඇති ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගයේ සිට ඔවුන් දෙදෙනා කණ්ඩායමට එක්වීමට නියමිතය.
පැතුම් නිශ්ශංකගෙන් හිස්වන ආරම්භක පිතිකරු අවස්ථාව ධනංජය ද සිල්වා වෙත හිමිවනු ඇති අතර ඒ අනුව ධනංජය සහ කුසල් මෙන්ඩිස් වෙත අද ඉනිම ඇරඹීමේ වගකීම පැවරේ. එසේම පැතුම් නිශ්ශංකගෙන් හිස්වන කණ්ඩායමේ ස්ථානය අශේන් බණ්ඩාරට හිමිවනු ඇත.
පිතිකරු අනුපිළිවෙලේ වෙනස්වීමත් සමග අංක 3 පිතිකරු ලෙසින් චරිත් අසලංකත් අංක 4 පිතිකරු ලෙසින් අශේන් බණ්ඩාරත් යෙදවීමට නියමිතය.
මේ වන විට හෝර්බාර්ට්හී වලාකුළු සහිත අහසක් පවතින අතර අද තරගයට වර්ෂාවෙන් බාධාවීමේ අවදානමක්ද පවතී.