වෙනදට වෙන් වෙන් වශයෙන් රට කෑ කණ්ඩායම් දැන් එකට එක්වී රට කන්න ඒ ඒ අයට ආරාධනා කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වෙන් වෙන්ව කළ හොරකම්,වෙන් වෙන්ව කළ මගඩි,වෙන් වෙන්ව කළ රට බංකොලොත් කිරීම දැන් එකට එක්වී කරන්නට ඔවුනොවුන් සැරසෙන බවත්, මේ රට විනාශ කොට ජන ජීවිත පීඩාවෙන් පීඩාවට පත්කළ කල්ලියට නැවත මේ රටේ බලය ලබා ගැනීමට සමගි ජන බලවේගය ඉඩ ලබා දෙන්නේ නැති බවත් කී විපක්ෂ නායකතුමා, මේ රටේ ජනතාවද ඒ හොරුන්ව නැවත බලයට ගෙන ඒමට සූදානම් නැතැයි පැවසීය.
සමගි ජන බලවේගයේ මහියංගනය ආසන බලමණ්ඩලය අමතමින් විපක්ෂ නායකතුමා අද(09) මේ බව පැවසීය.
එය සංවිධානය කොට තිබුණේ සමගි ජන බලවේගයේ මහියංගන ආසන සංවිධායක ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා විසිනි. අති විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.
දැන් නැවතත් ඩීල්කාරී හොර කණ්ඩායමක් එකට එක්වී නැගිටින්න සුදානම් වී සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ සඳහා එක්වන ලෙස පුද්ගලයෙක් හඬා වැලපෙමින් ඉල්ලා සිටින බවද පැවසීය.
හැබැයි එහෙම අඬන ඔහුට මේ රටේ ලක්ෂ දෙසිය විස්සක් ජනතාව අදත් හඬ හඬා ජීවත්වන බව නොතේරෙන බව ද විපක්ෂ නායකතුමා පැවසීය.
දරුවන්ට කිරි පිටි ටිකක් දීගත නොහැකිව අම්මාවරුන් හඬන බවත්,පොහොර නැති කමින් ගොවි ජනතාව හදන බවත්,අනාගතයක් නොමැතිව තරුණ පරම්පරාව හඬද බවත් පොදුවේ ලක්ෂ 220 ම හඬමින් ජීවත් වන බවත් ඔවුන්ට නොතේරීම පුදුමයක් බවත් ඒ මහතා පැවසීය.















